දින දර්ශන පැටිගිරිය

           
                                 
 දින දර්ශන පැටිගිරිය

                        ප දන්නා පාරක ගමන්  කරන අවස්තාවක මං සලකුකුණු සිහිවීම ඉබේම වාගේ සිදුවේ. නොදන්නා පාරකනම් ආයාසයෙන් හෝ මං සලකුණු සිහියේ තබා ගැනීම සිරිතක් වී තිබේ. කොටින්ම අපේ හිස තුල අපිටම අවේනික මනස් සිතියමක් තිබේ. මිනිසා ජීවිත ගමනේදී සරලව ප්‍රයෝජනයට ගන්නේ මේ මනස් සිතියමය. භූගෝලීය සිතියම සාමාන්‍යයෙන් ජීවිතයේදී  වැදගත් වන්නේ මේ මනස් සිතියමට ආධාරකයක් වශයෙනි. නමුත් සංකීර්ණ රාජකාරි කටයුතු සදහා භූගෝලීය සිතියම වැදගත් වේ. නැතිනම් විරුද්ධ රටකට යවන මිසයිල මිත්‍ර රටකට වැටී මල ජංජාලයක් වීමට ඉඩ තිබේ. එලෙසම අගහරුට යවන චන්ද්‍රිකාවක් අනවශ්‍ය තැනක කක්ෂ ගතවිමටද පුලුවන. මේවාද සිදු සිදු නොවූ දේවල් නොවේ. කෙසේ හෝ මේ භූගෝලීය මනස් සිතියම පවා කාල සිතියමට යටත්ය. මන්ද සියලු වෙනස් වීම්  කාල අවකාශයක තබා දකින්නට මිනිසා පුරුදුවී ඇති නිසාය. ක්ෂණයක්, ක්ෂණයක් පාසා  සියලු ප්‍රපංචයන්ගේ වෙනස් වීම සිදුවන නිසා කාල සිතියමට පිටින් කටයුතු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. තප්පර විනාඩි, පැය, දින සති මාස අවුරුදු ලෙස කාලය තවදුරටත් වර්ගීකරණය කර ඇති අතර අනාගතය

සැලසුම් කර ගැනීමට දින දර්ශන හෙවත් කැලැන්ඩර ක්‍රමයක් මිනිසා විසින් නිර්මාණය කරගෙන තිබේ. වසරක් ගෙවී යන විට එය යල් පැන යන විට ඉතිහාස පොතේ එම වසරේ යටගියාව ක්‍රමිකව කාල සිතියම තුළ තහවුරු වේ. දින දර්ශනයට හෙවත් කැලැන්ඩරයට විද්‍යාත්මක පදනමක් තහවුරු වීම සැබෑවටම පාලක පංතියට මළ වදයක් බවට පත්විය. මේ මළ වදය මිනිසාගේ විමුක්තිය උදෙසා විද්‍යත්මක අරගලක් බවට පත්වූයේ කාල් මාක්ස් නැමති සැබෑ මිනිසා ශ්‍රම කාලය විනිවිද ඔලුවෙන් හිටවා තිබි දැනුම දෙපයින් සිටුවීමට පියවර ගත්තාට පසුවය. ඒ අර්ථයෙන් ගත් කල කැලැන්ඩරය යනු තවමත් පොදු ජනතාවගේ කාල කලමනාකාරකයක් නොව පාලකයන්ගේ කාල කලමනාකාරී අධිකාර බලයකි. නූතන තත්ත්වයන් මත අද කැලැන්ඩරය පාලකයන්ගේ සහ වෙළද පොල ප්‍රාග් ධනයේ අනාගත කාලය කළමනාකරණයේ ගණිතමය උපකාරික ප්‍රකාශනයයි. කාලය කළමනාකරණය කිරීමේ දී වසරක ආරම්භය මිනිසුන්ටද නව බලාපොත්තු ඇතිකරයි. අද වෙළද ප්‍රාග් ධනය එය හිතා මතා උපක්‍රමිකව ඇතිකරවනු ලබයි. සමාජයේ සිවිල් බලයක් ඇතිකර ගැනීමට නක්ෂත්‍රය ගනිකා වෘත්තියේ යොදවන බලවන්තයින් ලවා මිනිසුන්ගේ දෛවය නැමති සැබෑ ආධ්‍යාත්මික සංකල්පය විකාරයක්, මිත්‍යාවක් බවට පත් කරයි. සැබෑ නක්ෂත්‍ර ක්‍රම වේදයදයට පාච්චල් කරමින් තවත් කොටසක් සිවිල් සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිකරගැනීමට වලි කයි. ක්‍රිස්තියානි අනුගාමිකයන් පවා වැඩි දෙනෙක් පිළි නොගන්නා නමුත් ජේසු තුමාගේ උපතද ඒ මත පටවා වෙළද ප්‍රචාරනයට ,ලෝක ආධ්‍යාත්මික මුහුණුවරක්ද  හැඟවුම් කර තිබේ.
     
             සරක් ගෙවී ගොස් නව වසරක් උදාවෙන්නට ආසන්නය. නමුත් ඒ නව වසරත් ලබා දින 365 ගිය තැන තවත් වසරක් උදාවෙයි. ඒ වසරත් ගෙවී ගොස් තවත් නව වසරක් උදාවේ. මෙය දින දර්ශන ක්‍රමවේදයේ ස්වභාවයයි.  මිනිසා කාලය පිළිඹ‍ඳ  සංකල්ප ගොඩනගා ගත්තේ ග්‍රහ තාරකාවන්ගේ චලිතයට අනුරූපවය. මේ අකාරයට සිතන විට අතීතයට ගෙවී ගිය සහ අනාගතයට ලැබීමට නියමිත වර්ෂවල කෙලවරක් සිතිය නොහැක. ගණිතය විෂය දත්තෝ අනන්තයේ සෙල්ලම් දමන්නේ මෙවැනි අවස්ථා වලදීය. දාර්ශනිකයෝ ගණිත ලෝකයට රිංගා සුරංගනා කතන්දර කියන්නේද මෙවන් නිමේශ වලදීය. මිනිස් මනස අවිඥානයට වගකියන්නේ අනාගත කාලයේදීය. කවුරුන් වුවත් අනාගතයේ සිදුවන යමක් මේ මොහෝතේ පවසන විට සැකය හේවෙන් එය සුරංගනා කතාවක් බවට පත්වේ. ගණිතයට අනුව අනන්තය සීමා සහිතයි කියාද සාධනය කළ හැක. ඕනෑම තර්කයක් හරවා පෙරලා ඕනෑම අතකට කරුණු ඉදිරිපත් කළ හැකි නිසා ගණිත මිනිත විද්‍යාවන්ගේ සංකල්ප තුළ නපුංශක ගතියකුත් නැත්තාම නොවේ. පුරාණ කාලයේ පවා විද්‍යාවට වග කියන     බුධ ග්‍රහයා නපුංශක ග්‍රහයෙක් වශයෙන් සලකා තිබේ. විද්‍යාව වැඩිදුර ඉගෙන ගත් මිනිසුන් බලවත් බව සිතන අප සමාජයට මේ තත්ත්වය විකාරයක් වන අවස්ථා බොහෝ තිබේ. කාන්තාවන්ගේ ශාරීරික ගැටලු පිළිඹදව විද්‍යාඥයන් පවා ගෝත්‍රික ගැහැණු සමග පවා කතාබහ කර කරුණු සොයන අවධියක විද්‍යාව ටිකක් කටගාගත් සමහර පිරිමි ගැහැණුන්ගේ ඔසප් වීම  පිළිබදව   ගැහැණුන්ටම අන්තර්ජාලයෙන් පවා උපදෙස් දෙමින් විකටයන් වන්නේ මේ තත්ත්වය නිසාදැයි සැකයක්ද මතුවේ.


                  

                    කාලය පිළිඹද සූත්‍ර ගොඩ නැගීමේදී මිනිස් ශිෂ්ඨාචාරයේ මුල් අවධි වල දීර්ග කාල පරාසයකට ආරම්බයක් සලකුණු කර ගැනීමට ග්‍රහ තරු චලිතයෙන් යම් සම්මුතියක් ඇතිකරගෙන තිබේ. අග මුල අනන්තය ලෙස තබා යම් ගණිත රටාවක් ගොඩ නැගීමේදී කොතනින් හෝ බිංදුව තබා ඉදිරියට සහ පසුපසට ගැණ ගැනීමට ආරම්බයක් ගත යුතුය. මුල් කාලයේ ඉර හඳ , ග්‍රහ තාරකා සහ ස්ත්‍රී ලිංගික ශාරීරික  ලකුණු මගින් සංඥා කරණය වූ කාලය පිළිඹද සංකල්ප පසු කාලීනව ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ලෙස වර්ග වී ඒ ඔස්සේ දින දර්ශන බිහිවීම ආරම්බ විය. පොළොවේ සිට අහස දැකිය හැකි වටය  අංශක 360 කට බෙදා ඒවා සලකුණු කර ගැනීමට තාරකා පංති නම් කරගැනීම වසර ගණනාවක මිනිස් අත්දැකීම් වල ප්‍රතිඵලයකි. ග්‍රහයන් ගෙන් සීමා සලකුණු කරගත්තේ  අහසේ මායිම් ගල් සිටවීමට නොහැකි නිසා බවද ලියා තබන්නේ සමහර කතා අසද්දී එයද නොදන්නා පිරිසක් සිටින වග දැක ඇති නිසාය. තරු පංති අනුව අංශක 360 ප්‍රමාණය කොටස් දොළහකට බෙදා ගත් අතර එවිට එක කොටසක හැරවුමේ ප්‍රමාණය අංශක 30ක් පමණ වේ. එදා මිනිසුන් තමන් නිතර දෙවේලේ දැක ඇති සතා සීපාවාගේ නාමයන් යොදා මේ තරු පංති නම්කර ගත් අතර පසු කාලීනව ලග්න දොළස ලෙස හදුන්වන්නේ මේ ග්‍රහ රාශි දොළහම බව වටහාගත හැක. ඉක්බිති මාස දොළහක් ලෙස නම් කරගන්නේද මේ ග්‍රහ තාරකා රාශි දොළහම  බව පෙනේ. මෙම අංශක 30ක හැරවුමක අහස් ප්‍රදේශයේ  සූර්යා ගමන් කිරීමට යන කාලය  සූර්ය මාසයක් ලෙස සලකන ලදී. තමා සිටින පෘතුවිය තමා වටේ කැරකීම හරහා දිනයක් තේරුම් ගත් මිනිසුන් මසකට දින 30ක් ලෙස සම්මුතියක් ඇතිකරගත් අතර චන්ද්‍රයාගේ ගමන අනුව චන්ද්‍ර මාසයත් කාලයක් ගතවන විට ග්‍රහයන් හත් දෙනාගේ නමින් සතියට දින ගණනද සම්මත කරගත් බව පෙනී යයි. පෙරදිග සහ අපර දිග වෙන් වෙන් වශයෙන් යම් යම් වෙනස්කම් සහිතව මේ ක්‍රමවේදයම මිනිසුන් සම්මත කරගත් බව පෙනී යන අතර අධිරාජ්‍යයන්ගේ දේශපාලන යුද්ධ හේතුවෙන්  දින දර්ශන ක්‍රම වේදය ඇතැම් තැනක රට රටවල අත්දැකීම් එකතුවී සංවරධනයට ලක් විය. එහෙත් සංස්කෘතික අහංකාර කම බලය සමග අත්වැල්  බැද ගත් අවස්ථාවල දින දර්ශන රටාවේ ඇතැම් සාධනීය දේවල් පරිහානියටද පත් වී තිබේ. උදාහරණයක් ලෙස අප කොදෙව්වේ  භාවිත කළ සිංහල වර්ෂ මානන ක්‍රමය ස්වභාවයට සමීප බොහෝ දියුණු තත්ත්වයක ක්‍රම වේදයක් නමුත් අධිරාජ්‍ය වාදී ආක්‍රමණ හමුවේ  ඒවා ජ්‍යෝතිශ්ශාස්ත්‍රකරුවන්ට පමණක් සීමා වූ යල් පැනගිය හැට පැයේ ගණිත ක්‍රමයක් බවට පත් කර  තිබේ. මේ තත්ත්වය නිසා යල් පැන ගොස් තිබෙන්නේ අනිකක් නොව වර්තමාන දිනදර්ශන ක්‍රමයම බව ගණිතය හැදෑරූ සැබෑ විද්වතුන් නොදන්නවා නොවේ.
                විවිධ ජාතීන් ගේ දින දර්ශන වෙනස්කර බලය කේන්ද්‍ර කර නිර්මානය කරගත් වර්තමාන දිනදර්ශන වල ගණිතමය පරිවර්තන  ගැටලු අවුලක් නිර්මාණය කර ඇති අතර අද ඊට පිළිතුරක් වශයෙන් දිගට හරහට පරිගණක ඇප් සහ මෘදුකාංග නිර්මාණය වෙමින් ජනප්‍රිය වෙළෙඳ ප්‍රචාරනයක් මිනිසුන් මත පටවා තිබේ.



                      පුරාණ සූර්ය චන්ද්‍ර දින දර්ශන ක්‍රමවේද නිරික්ෂණය මත පදනම් වූ දින දර්ශන ලෙස සලකා ඒවා අභාවයට ගිය බව ඇතැමුන් සලකන නමුත් ඒ ඒ රටවල තවමත් නක්ෂත්‍ර ගණිතය සහ වෛද්‍ය විද්‍යා සහ කෘෂිකාර්මික කටයුතු සදහා ඒවා භාවිතා කරනු ලබයි. අද පවා අපරදිග සහ පෙරදිග නක්ෂත්‍ර ක්‍රම වේදයේද පැහැදිලි වෙනසක් දකින්නට තිබේ. එහෙත් මේ ක්‍රම දෙකෙහිම පදනම තුළ මහා වෙනසක් දැකිය නොහැක.


                      දින දර්ශන හෙවත් ප්‍රතිසංස්කරණ කැලැන්ඩර් ඉතිහාසය ගැඹුරු විෂය කරුණු සහ ඓතිහාසික තොරතුරු වලින් අනූන විෂය පද්ධතියකි. ප්‍රථම වාර්තාගත දින දර්ශනය ලෝකඩ යුගය දක්වා දිවයන බව සලකයි. මේ පිළිඹද  විමසන විට පුරාණ ඊජිප්තු සුමේරියානු පර්සියා සහ බැබිලෝනියා දින දර්ශන කිසිසේත්ම නොසලකා හැරිය නොහැක. එසේම ජුලියස් සිසර් විසින් ප්‍රතිසංස්කරණය කළ බව සැලකෙන රෝම කැලැන්ඩරයද දින දර්ශන ඉතිහාසයට කර ඇති බලපෑම සුලුපටු නොවේ. කෙසේ නමුත් වර්තමාන කාලයේ නව වසරක ඇරඹුම ජේසු තුමාගේ උපතේ සිට ගණනය කරන ලදැයි සලකනු ලබන්නේ ජනවාරි පළමු වෙනිදාය. එහෙත් ජේසු තුමාගේ අනුගාමිකයන් වැඩි පිරිසක් ජේසු උපත ලෙස පිලිගන්නේ දෙසැම්බර් 25 වෙනිදාය. තවත් පිරිසක් ජනවාරි 07 ලෙස පිලිගනී. තවත් මත තිබේ. මේ පිළිඹදව දින දර්ශන ඉතිහාසය පටලා බොහෝ විද්වතුන් විවිධ මත ඉදිරි පත් කර ඇති නමුත් අද වෙන තෙක් කිසිවෙකුට ජේසු උපත භාවිත දින දර්ශනය මගින් තහවුරු කිරීමට නොහැකිවී තිබේ. ව්‍යාහාර කැලැන්ඩරයේ විද්‍යාත්මක මුහුණුවර දෙදරන්නට ආරම්භ වන්නේ මෙතැන් සිටය. 


                    ක්‍රිස්තු උපතේ අහස් සලකුනක් වූ එදා අහසේ  පෑයූ වල්ගා තරුව සහ ග්‍රහනය පිළිඹද සැබෑවන් නූතන දිනදර්ශනට තබා නක්ෂත්‍ර විද්වතුන්ගේ ප්‍රශ්න කිරීම  කිසිසේත්ම නොසලකා හැරිය නොහැක. මේ තත්ත්වය මත පුරාණයේ සිට අද දක්වා අධිරාජ්‍ය වාදීන්ගේ දේශපාලන බලය විසින්  ගණිත මිනිත විද්‍යාවන් සහ ආධ්‍යාත්මික උත්සව පවත්වන දින පවා අවුල් කර දමා ඇති බව පෙනේ. මේ ලියවිල්ලේ අරමුණ යම් විද්‍යාත්මක ක්‍රමයකට යම් දෙයක් ගණනය කිරීමට අද ව්‍යාහාරික දින දර්ශනය පමණක් ප්‍රමාණවත් නොවන වග පැහැදිලි කිරිමට විනා ජේසු උපත සෙවීම නොවන බවද සදහන් කළ යුතුය. 
                   කෙසේ නමුත් අධිරාජ්‍යවාදී බල දේශපාලනය වර්තමානයේ අභ්‍යාවකාශය දක්වා විහිදී තිබේ. අපිට නොපෙන ඇමරිකානු රුසියානු චීන ආදී කොඩි යටතේ අභාවකාශ යානා හරහා බලවත් රටවල් ඈත අහසේද බල අරගලයක  නිරත වී සිටී. අනාගතයේ දවසක සූර්යාට වඩා කාලය තීරණය කිරීමට අපේ චන්ද්‍රිකාව විදිමත් බව පැවසීමට මේ බල කාමීන්ට බැරිකමක්ද  නැත. සංවිධාන ගත නොවූ හැදෑරීමක් නැති  මිනිසුන්ට ඊට ඉහලින් දශමයක්වත් යා නොහැක. කාලය රටා ගත කිරීමට භාවිත වර්තමාන  දින දර්ශනය අධිරාජ්‍යයන්ගේ විකාරයක් නමුත් නොදැනුවත් කම නිසා හෝ එය සුදුසු බව මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු තවම පිලිගන්නා බැවින් ලබන්නා වූ 2016 වසර ඔබට සුබ නවවසරක් වේවායි පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ජීවිතයේ වෙනස්වීම මැනීමේ  මිම්මක් වූ කාලය පිළිඹඳව මිනිසුන් මීට වඩා අවධියෙන් සිටිය යුතු බව සැබෑවකි. එහෙත් කවියෙන් සහ පරිගණක තිරයෙන් පමණක් හඳ දකින වර්තමාන මිනිසාට සැබෑ හඳ  දැකීමට තවත් එතරම් කාලයක් ගත නොවන වගද සදහන් කළ යුතුය. මක්නිසාද සයිබර්තාක්ෂණය හමුවේ මිනිසාගේ දේශපාලන තේරුම් ගැනීමද වේගවත් වී ඇති නිසාය.

ජගත් මාරසිංහ
2012 දෙසැම්බර්  28  



Powered by Blogger.