අති විශේෂ




අති  විශේෂ

       අට උමතුවේ අටවන උමතුව සුරා උමතුවයි.  මත් වතුරේ රසායනික නාමය ඇල්කොහොල්ය. මිනිස්සුන්ගේ භාවිත වචනය  අරක්කුය. අතීතයේ සිට මිනිසුන් සුරා බොති.    මත් වෙති. වෙරි වෙයි කියාද කියති. සමහරු පදමට බී    නිදියති. සමහරු වෙරි මරගාතේ සංවාද කරති. බොහෝ දෙනා රටේ නැති පිස්සු කෙලිති.ඒ කරන්නට අන් දෙයක් නැති වූ කලය.
          ඇල් කොහොල් වර්ග රාශියක් තිබේ. ප්‍රමාණයෙන් දැක්වීමට පවා අපහසුය. නීතියට අනුව නිපදවන සහ නීතියට පටහැනිව පෙරන මත් වතුර වර්ගද තිබේ. පැන් යන වචනය ආගමික වී ඇති බැවින් අද මත්පැන් මත් වතුර ලෙස සමහරු  වහරන්නට පටන් ගෙන තිබේ. ශිෂ්ට සිහිනය එසේ උවද මාරයා ලියන්නේ මත්පැන් ලෙසය. මාරයාට ශිෂ්ට අශිෂ්ට බේදයක් නැති වග සූසාන භූමි සංස්කෘතිය විසින් මිනිසුන්ට උගන්වා තිබේ. රසායනික අරුතින් ලියන විට මත්පැන් මධ්‍යසාර වේ. මිල අධික මධ්‍යසාර වර්ගද දිනපතා ලොව පුරා නිෂ්පාදනය කරයි. මේ සියලු නිෂ්පාදන මිනිසාගේ  හැඟීම්  වෙනස් කරගෙන සතුටක් ලැබීමට උපකාර වේ. මත් ලෝලීන්ටද උප සංස්කෘතියක් තිබේ. එහි තිබෙණ මත්ලෝලී සංස්කෘතික  ව්‍යාකරණ බොහෝ වැදගත්ය. මත්පැන් බොන්නා මේ ව්‍යාකරණ රැකිය යුතුය. නැතිනම් සතුට වෙනුවට දුක ලැබේ.  සමහර විට මාරයාද නියමිත වේලාවට කලින් ඔබ පසුපස එලවයි.අකල් මරණය සහ සුරාව අතර අති සියුම් සම්බන්ධයක් තිබේ.නමුත් මෙලතියන් විෂ මදුරුවා පත්තියම් කර ගත්තා සේ කෝටාල් වලින්ම බොකු පොලිතින් වී තිබෙණ ප්‍රවීණ බේබද්දන්ව ගලේ ගහලාවත් මරණයට පත් කළ නොහැකි බව ගැමි කතාවක තිබේ.  
      කවුරු හෝ මධුලෝලී සමාජයේ ව්‍යාකරන කඩන්නට පටන් ගත් විටම බේබද්දා යන නාමට ඔහුට  ආදේශ වේ. මේ තත්ත්වය පිළිබඳ  අනවබෝධයෙන් ක්‍රියා කළ විට ඔහු මධුලෝලී සමාජයේ කවටයා බවට පත් වේ. මධුලෝලයන්ගේ  සමාජයේ කවටයා වන විටම පිටස්තර සම්මත සමාජයේ පිස්සෙකු බවට පත්වීම නිතැතින්ම සිදුවේ. මී මැස්සාවද මධුලෝලයා ලෙස හඳුන්වයි.ඉන් මහා අරුතක් ජනිත වෙයි.

       මත්පැන්වල රස දැනෙන්නේ උගුරට හෝ දිවට නොව කෙලින්ම මනසටය. ව්‍යාකරණ නොසලකා මධු බී ගත් විට මී මැස්සා හෝ බඹරා සිංහයා වී ගුටි කන්නේ ඒ නිසාය. සුරා උම්මත්තකයා රසවත් චරිතයකි. එහෙත් සමහර විට පුදුමාකාර ලොකු කමකින් ඔහු හැසිරෙන්නට පටන් ගනී. කොටින්ම සකල කොදෙව් වැසියෝ විසින් සඟවාගෙන සිටින හීන මාන කෑලිබෑලි අසුරු සැනකින්ම ඔහුගෙන් එලියට පනී. ඒ තත්ත්වයට පත්වූ අය සමග ඇසුරු කිරීමට සුරා ලෝලියෝද බය වෙති. 
       මතට ගිජු වූ අයෙකු පහසුවෙන්ම මතට ඇබ්බැහි වේ. මෙය රාජ්‍ය නොවන ඇතැම් සංවිධාන වලටනම් සුභ ආරංචියක් බව මාරයා ඉතා හොදින් දනී. මතට ඇබ්බැහි වූ මධුලෝලයා පලමුව අමධ්‍යප මිනිසුන්ගෙන්ද දෙවනුව ආධුනික මධ්‍යප මිනිසුන්ගෙන්ද තෙවනුව සිය ආදර බිරිදගෙන්ද අනතුරුව දරු පවුලෙන්ද ක්‍රමයෙන් වෙන් වෙන්නට පටන් ගනී. මාරයා පමණක් ඔහුට ලංවීමට පටන් ගනී. එහෙයින් මාරයා බේබද්දන් ගැන ඉතා හොදින් දනී.
     බේබද්දාට කාල අවකාශය ගැන හැගීමක් හෝ තැකීමක් නැත. එහෙත් ඒ ගැන මනා අවබෝධයක් ඔවුන්ට තිබේ.බේබද්දන්ට දාර්ශනික  අදහස් පහල වෙන සුරා සුරතාන්ත නිමේශයේ කිසිදු අයෙකුට ඔහුව වචන වලින් පරාජය කළ නොහැක. මිතුරන්ට මේ නිමේශයේදී  ඔහුව තනිකර යාමට සිදුවේ. බුදුනුවන් පවා ඔවුන්ව තනි නොකළ බවට සාධක ඇතත් අද මිනිසුන් එසේ කොන් කිරීම හිතා මතා සිදු කරයි. වර්තමාන සමාජ සංවර්ධනයේ මිනිස් කමේ තරමද මින් කිරා මැන ගත හැක.
       රටේ අය වැය පියවීමේදී  පවා සමාජ ප්‍රගතියේ නාමයෙන් මිනිසුන්ගේ මතට තිත තැබීම හගවමින්  මත් පැන් සහ සිගරට් මිල කිසිදු කොන්දේසියකින් තොරව ඉහල දමයි. එසේ  වූවා කියා රා අරක්කු බොන මිනිසුන් බොහෝ දෙනෙක් බීම නවත්තන්නේ නැති වග කුඩා ලමයින් පවා දනී. අපේ කොදෙවේ බොන මිනිසුන්ගේ තරම සෙවීමට සංඛ්‍යාලේකන අවශ්‍ය නැත. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පාර්ලිමේන්තුවට එනතෙක් පාර දෙපස වයින් ස්ටෝස් සහ තැබෑරැම් දෙස බලාගෙන යාම ප්‍රමාණවත්ය. සදාචාරය ගැන නන් දොඩන වියතුන් පොහෝ දිනට පෙර දිනක මේවා නැරඹීම කාලෝචිත බව හැගේ. 
       නොසෑහෙන බද්දක් ගෙවා අරක්කු පාරිභෝගිකයන් රෝහල් වලදී අපහසයට ලක් වන්නේ ඔවුන් රජයට ගෙවන  බදු මුදල ගැන හරි අවබෝධයක් රෝහල් සේවකයන්ට නැති නිසාය. මේ තත්ත්වය ගෙවල්වල සිටින ගැහැණුන්ට යම් සංවිධානයක් අවබෝධ කර දුන් දවසට අරක්කු මිල අඩු කරව්! තම හිමියන්ට බෙහෙත් දියව්! කියා වීදි බසින්නේ බේබද්දෝ නොව ඒ මිනිසුන්ගේ අඹු දරුවන් බව නුදුරු කාලයේදී දැක ගත හැකි වනු ඇත. ගණිකාවන් වීදි බැසීම, අනියම් ප්‍රේමයට සහ ම්ලේච්ඡ මරණ දඩුවමට එරෙහිව මිනිසුන්  වීදි බැසීම හුදු අහඹු ක්‍රියාවන් නොව සංස්කෘතික ප්‍රාග්ධන බල රේකාවන්ගේ අර්බුදයේ ප්‍රකාශනයක් බව මිනිසුන්ට ක්‍රමයෙන් අවබෝධ වෙන්නට පටන් ගෙන  තිබේ. 

        අසූව දශකයේ කීප දෙනෙක් මෙවැනි දේ පෙන්වා දෙන විට ඊනියා අමධ්‍යප මාක්ස්වාදී පිරිසක් ඊට විරුද්ධ වූ නමුත් අද වන විට ඔවුන්ටද කට පියාගෙන පැත්තකට වී සිටින්නට නොහැකි තත්ත්වයක් උදා වී තිබීම ඉතිහාසයේ සරදමක් වැනිය. එහෙත් තවමත් ඔවුන්ට ලිංගික යන වචනය නිවැරදිව උච්චාරණය කිරීමට බයක් ඇති බව පෙනේ.විය යුතු තැනින්ම එනම් පාර්ලිමේන්තුවෙන්ම ක්ෂණික කෝපය නිසා හෝ ප්‍රසිද්ධියේ කුණුහරුප කීම සමාජ ගතවීමෙන් වාසියක්ද සිදුවිය.දැන් තරුණ කොලුවන් සහ කෙල්ලෝ පෙර කල කොදුරමින් දෙඩවූ ලිංගික, යෝනි,තනේ පුක වැනි වදන් හිරි කිතකින් තොරව ප්‍රසිද්ධියේ කියන්නට පටන්ගෙන තිබේ.කෙසේ හෝ සැබෑ නව විද්‍යාත්මක සංස්කාතික දේශපාලන දැක්මක් මිනිසුන් ඉල්ලන මොහොතක් අද නිර්මාණය වී තිබේ. ජාතික හෝ ධනේශ්වර හෝ වාමාංශික හෝ නූතන හෝ මොකා හෝ කාටත් තම ගතානුගතික න්‍යාය පත්‍ර නව සංස්කෘතික දේශපාලන සංශෝධනයකට ලක් කිරීමට සිදුවී තිබේ. නැතිනම් ඉතිහාසයේ කුනු කූඩය පිරී තිරී  යන බව සැබෑවකි. පෙර සූදානම යන වචනය පවා ඉඳහිටවත් නොකියන නොලියවෙන සමාජයක එසේ සිදුවිය නොහැක. මන්ද,දන්න කාලයේ සිට කවුරුත් ඉස්තාලය වහන්නේ අස්සයා පැන ගිය පසුවය.එසේනම් මේ බහුභුත ලියන්නේ කම්මැලි කමට බව කාට හෝ හිතෙන්නට පුළුවන. කම්මැලි කමද වෙනස් වීමට සහ චලිතයට අයත් සංකල්පයකි.
මාරයා
2015 12 05


                              www.jagathmarasinghe.com




Powered by Blogger.