නිර්ව්‍යාජ මිනිසුන් දිනේවා!!!


                   
                                    නිර්ව්‍යාජ මිනිසුන් දිනේවා!!!            
                         70 දශකයේ අග භාගයේ පාසැල් කාලයේ කටුනායක ගමේ නිවසක් මගේ නවාතැන විය. නවාතැන හිමි කාරියගේ මලනුවන් එකල අවුරුදු 65ක් පමණ වයස ධර්මසේන නැමති උගත් තනිකඩයෙකි. ඉංග්‍රීසි උගතෙකු වූ ඔහු මා නවාතැනට ඉදිරිපිට ගරා වැටුන විශාල පොත් ගොඩක් ඇති පිළිවෙලක් නැති කාඹරයක ජීවත් විය. මගේ ඉංග්‍රීසි දැණුම දියුණු කිරීමේ රාජකාරිය මා මව විසින් ඔහුට පවරා තිබුණි. මධුලෝයෙකු වූ ඔහුව බොහෝ දිනවල රාත්‍රී කාලයට කවුදෝ මහත්වරු පිරිසක් වාහන වලින් කැදවාගෙන යන්නේ දර්ශන විද්‍යා ගැන කතා බහ කිරීමට බව මා ඔහුගේ අක්කන්ඩියගෙන්  දැන ගතිමි. කාලය ගතවන විට ඔහු වේද වේදාන්ත සහ දර්ශන සාස්ත්‍ර උගත් ප්‍රාමාණික බුද්ධිමතකු බවත් ඔහුව කැදවාගෙන යන්නේ මීගමුවේ නඩුකාරයන් දොස්තරවරුන් නීති වේදීන් වැනි පිරිසක් බවත් මම තේරුම් ගතිමි. ඒ වාහන විදුරු මත සිංහ සමාජයේ ලේබල් අලවා තිබුණු බවත් මගේ මතකයේ තිබේ. මගේ ඉංග්‍රීසි පංතිය විකාරයක් වූයේ ඉන් පසුවය. මන්ද මා විසින්  ඔහුගේ දැණුම හාරා අවුස්සා දර්ශනික කතා අසන්නට පටන් ගත්තේ ඉන් පසුවය. සාමාන්‍යයෙන් ගමේ බොහෝ මිනිසුන් ඔහුට ඇහුන්කන් දුන්නේ නැත. ගමේ මිනිසුන් ඔහුව පාවිච්චි කරන ලද්දේ ඉංග්‍රීසි ලිපියක් පරිවර්තනය කර ගැනීමට සහ කේන්දරයක් සාදා ගැනීමට පමණි. අවසානයේදී මගේ ඇහුන්කන් දීම හමුවේ වේද වේදාන්ත වලින් කතාව පටන් ගත් ඔහු භාවනාව හරහා සිද්ධාර්තයෝ මුණ ගැසී නක්ෂත්‍රයේ නිවේදන ඔස්සේ කාල් මාක්ස්ගේ සිතීම දක්වා පොත් පෙරලමින් මා සමග සංවාද කරන්නට විය. ක්‍රමයෙන් වයසේ වැරැද්දට පංඩිතකම් දෙඩුවාට මා නොදන්නා බොහෝ දේ තිබෙන බව මට අවබෝධ වන්නට විය. එතැන් සිට පොත් පත් කියවීමට  සහ යම් යම් අය සමග සංවාද සදහා මා වැය කළ කාලය දෙගුණ තෙගුණ විය. අයින්ස්ටයින්ගේ නිර්ව්‍යාජත්වය ගැන ඔහුගේ කතා මට තවමත් ඇසෙනවා සේය.
      මල් වට්ටියක් ගෙන පංසල් යන මිනිසාට රයිපලයක් ගෙන අරගලයට යා හැකි බවත් රයිපලයක් ගෙන අරගලයට යන මිනිසාට මල්වට්ටියක් ගෙන පංසල් යා හැකි බවත් අප ඒ කාලයේ වටහාගත් බව දැනෙන්නේ පසු කාලයේදී මුණ ගැසුන ව්‍යාජ විප්ලව වාදීන් සමග ඇතිවූ කලකිරීම නිසා වීමට පුළුවන. යමෙක් විඥාන වාදියෙක් ලෙස මාහට චෝදනා මුඛයෙන් අමතන විට  ඔහු විප්ලව වාදියෙකුට ඇදගෙන සිටින බව දැන ගැනීමට එකල ඔහුගේ ඇසුරින් ලැබූ දැනුම අතැඹුලක්ම විය. නමුත්  නුඹ අහවල් වාදියෙක් ලෙස යමෙක් චෝදනා කරන්නේ කිසියම් මතවාදී දේශපාලන කණ්ඩායමකට කොක්ක ගසා ගැනීමට බව දැන ගැනීමට බොහෝ දේවල් නැති කර ගැනීමට සිදුවේ. අහවල් වාදියෙක් යනුවෙන් චෝදනා එල්ල කරන්නන් මාක්ස් වාදීන් නොව මාක්ස් වාදීන්ට ඇඳගත් පුද්ගලයන් බව කලින්ම වටහා ගැනීම බොහෝ කාලය ඉතිරි කර ගැනීමට පහසු මගක් වීමට පුලුවන. කෙසේ හෝ ධර්මසේන අංකල්ගේ මතකය සිහියට නැගුනේ ව්‍යාජ මිනිසුන් සමග කිසිවක්  කරන්නට තබා සිතන්නටවත් නොහැකි  බව ජීවිතයෙන්ම දැනගත් පසුවය.   

           80දශකය අග භාගයේදී හිර ගෙදරින් නිදහස් වි පැමිණි මම ඉතා අසීරු වැඩකට අත තැබුවෙමි. ඒ අප කොදෙව්වේ සමාජයේ නම ගිය පුද්ගලයන්ගේ නක්ෂත්‍ර දක්ත එතතු කිරීමය. ජනප්‍රිය තලයේ සිටින කලාකරුවන් සහ දේශපාලකයන්ගේ තොරතුරු නක්ෂත්‍ර මාධ්‍යවේදීන් විසින් අපිළිවෙලට හෝ  එකතුකර තිබේ. නමුත් මෑත කාලයේ විද්‍යාත්මක චින්තනය අභිසේක වූවාට පසුව තමන්ට කේන්දරයක් ඇති බව කියන්නට පවා උගතුන්  වැඩි පිරිසක් අකමැති විය. නමුත් ලාංකේය සිවිල් සමාජයේ චින්තනය මෙහෙය වූ අග නගරයේ ජ්‍යාතන්තර බුද්ධිමතුන් ලෙස පිලිගත් විද්වතුන්ගේ නිවෙස් වල කේන්දර යකා කියන තරම් කලු නැති බව මම දැන සිටියෙමි. එකල මම අසංවිධිත මධුලෝලී සංගමයේ ජාතික මට්ටම නියෝජනය කළ බැවින් අනෙකුන් නොදන්නා තොරතුරු  දැන ගැනීමට මට හැකියාව තිබිණි. එහෙත් අනියම් මාර්ග වලින් ඉබේ ලැබුණ තොරතුරු පුද්ගලික දැනුම සදහා පමණක් ප්‍රයෝජනවත් වේ. පොදු ප්‍රවේශයකට ඒවා සුදුසු නොවන වග තේරුම් ගෙන මම පිළිවෙලකට නක්ෂත්‍ර දක්ත සොයන උත්සාහය අත් නොහැරියෙමි. එම කටයුත්තේදී එකල නොමද අපහාසයට සහ උපහාසයට ගොදුරු වූ මා සැනසීමක් ලැබුවේ සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම යන විද්වතුන් දෙදෙනාගෙන් පමණි. ඔවුන් දෙදෙනා එදා නොබියව ඔවුන්ගේ තොරතුරු සහ අත් සටහන් ලබා දීමටද කටයුතු කරන ලදී. පසු කාලයක ඔවුනට පසු පරම්පරාවේ මා අයත් පරපුරේ කේ.කේ සමන් කුමාරද නක්ෂත්‍රය ඇසුරින් ඔහුගේ කෘති විමසීමට අවසර දීම එකල මට මහා පුදුමයක් විය. 'ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය' ග්‍රන්ථය එදා එහි ප්‍රතිඵලය විය. ඔවුන් නිර්ව්‍යාජ මිනිසුන් බව මා දැන සිටියත් මේ කටයුත්තේදී ඒ සිදුවීම් වැදගත් වන්නේ ඇයිද යන්න අමුතුවෙන් ලිවිය යුතු කාරණාවන් නොවන වග හගිමි. තවමත් නක්ෂත්‍රය වැනි ක්‍රම වේදයන් ආධ්‍යාත්මික විද්‍යාවක් සේ නොදකින බොහෝ පිරිසක් මේ කොදෙව්වේ වසති. වික්ටෝරියානු සදාචාරය වධයක් වී ඇත්තේ හුදු නිරුත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීමට පමණක් නොවන වග අවබෝධ කරගත් පිරිස ඉතා සීමිත බවද වටහා ගැනීමට ලැබීම තවත් පැත්තකින් ලියන්නෙකුට අතුරු වාසියක්වීමටද ඉඩ තිබේ.
          අප ජීවත් වන්නේ අහසේය. අහසත් පොළවත් වෙන්  කළ නොහැක. මන්ද පොළව තිබෙන්නේද අහසේය. මිය යමින් පවතින අහසක අපද මිය යමින් ජීවත් වේ. පැවැත්මේ ස්වභාවය එයයි. අරගලය යනු ජීවිතයම වේ. මේ මගේ ප්‍රකාශයක් නොව චලිතය අනිවාර්ය බව අවබෝධ කරගත් සැමගේ සිතීම වීමට පුළුවන. 'මා' විදෙස් විද්වතුන්ගේ ජන්ම තොරතුරු පමණක් වැඩිපුර පළ කරන්නට හේතුව සමහරු මගෙන් විමසයි. එය සැබෑවකි. කාල් මාක්ස්ගේ සිට චේලා  කැමූලා දක්වා විප්ලවීය මිනිසුන්ගේ ජන්ම තොරතුරු අන්තර් ජාලයේ තිබේ. පොත පත පවා ලියවී තිබේ. නමුත් නක්ෂත්‍රයට අයිතිය ඉල්ලා සිටින අප කොදෙව්වේ යම් පර්යේෂණයක් කිරීමට අත්‍යාවශ්‍ය වූ බොහෝ විද්වතුන්ගේ සැබෑ තොරතුරු අන්තර් ජාලයේ තබා ඔවුන්ගේ ඥාතීන් සන්තකයේවත් නොමැත. අයින්ස්ටයින්ලාගේ නම්  මියගිය මොළය පවා මිනිසුන් පසුකාලයේ පරීක්ෂා කර තිබෙණ බව සමහර විට බොහෝ දෙනෙක් තවමත් නොදන්නවා විය හැක.
   
   මේවා මේසේ සිදුවන්නේ විද්‍යාත්මක චිංතනයේ බලයක් නිසාද නැතිනම් පුද්ගලික අනන්‍යතාවය සම්බන්ධ කාරණයක් නිසාද යන්න සමාජ විද්‍යාත්මකව දකින්නට කිසිවෙක් උත්සාහ නොකරනු ඇත. මන්ද අභයගිරි කාලයෙන් පසු මේ අප සමාජයේ මේ මොහාතේ සිතීමේ තරම වන්නට පුළුවන. නව සිතීමකින් තොරව ආධ්‍යාත්මික වංචාවක් ලෙස වෙළද අවකාශයක සමහරු සිදු කරන ග්‍රහ තරු ක්‍රම වේදයේ නිවේදනයන්  නිවැරදි වග 'මා රස 'පිළිගන්නේ නැත. නමුත් එවන් දේ සිදුවන්නේ නක්ෂත්‍ර ක්‍රමවේදයේ පමණක් නොවන වග බොහෝ කොදෙව් වාසීන් අමතක කර තිබේ. මැද පංතියේ බොහෝ උගතුන් රහසේ කේන්දර බලන්නේ මක් නිසාද විමසීම සමාජ විද්‍යාඥයන්ට අයත් කාරියකි. එසේ විමසිය යුත්තේ නක්ෂත්‍රයට සුදු හුණු ගෑමට නොව මේ තත්ත්වය කුහක කමක් සේ සමහර විද්වතුන් පවසන නිසාය. නමුත් කිසිදා සමාජ විද්‍යාඥයන් ඒ කටයුත්ත මේ මොහතේ සිදු නොකරනු ඇත. මන්ද එසේ කළහොත් ඔවුන්ටද මිත්‍යාමත වපුරණ විද්‍යව නොදත් පිරිසක් ලෙස හංවඩුව ගසාගැනීමට සිදුවීමට බොහෝ දුරට තවමත් ඉඩ තිබේ. කෙසේ නමුත් නිර්ව්‍යාජ මිනිසුන් සොයන යුගයක් අද උදා වී තිබේ. එය සිහිනයක්ද යන්නට පිළිතුරු ලැබෙන්නේ අද දවසේ නොව හෙට දවසේය.
ජගත් මාරසිංහ
2016 ජනවාරි 05    

                                      
                                                     නිර්ව්‍යාජ මිනිසුන් දිනේවා!!!
                                                       www.blog.jagathmarasinghe.com


Powered by Blogger.