ආදරයේ සිට අපාය කරා

ආදරයේ සිට අපාය කරා

        නෑදෑයෝ වනාහි ඇතුවත් බැරි නැතුවත් බැරි පවුල් කුලකයේ  තවත් එක් වර්ගයකි. පවුල විකාශනය වීම කොයි ආකාරයෙන් ඉතිහිසය තුළ සිදුවී තිබේද,  එලෙසම ඥාති පදනමද ඊට සමගාමීව විකාශනය වී ඇති බව සැබෑවකි. මෙය ඉබේ සිදුවූවක් නොවන අතර එය දේශපාලනය පසුබිම් කොට සිදු වූවක් බව පෙනේ. අපේ කොදෙව්වේ පවුලේ විකාශනය අන් රටවලට වඩා බොහෝ වෙනස්ය. එහෙත් මේ වන විට ඒ වෙනස්කම් ඉරිතැලී ගොස් තිබේ. අද නම් අපේ රටේ පවුල ආනයනය වී  ස්වීකරනය වූ අමුතුම විලාසිතාවක් බවට පත් වූ ආයතනයකි. කොටින්ම අපේ රටේ තිබි පවුල බටහිරකරණය වී වෙනම විකාරයක් වෙමින් චලිත වේ. එය ඉබේ සිදුවූවක් නොව අක්‍රමණිකයන් විසින් බලහත්කාරයෙන් සිදු කරන ලද්දකි. කවුරුන් කෙසේ කීවත්, පවුල වනාහී රජයේ පුංචිම නිශ්පාදන මාදිය වග පැහැදිලිය.

     සම්පූර්ණයෙන්ම පවුල ගොඩනැගී තිබෙන්නේ දේපළ පදනම මුල් කොට ගෙනය. එහෙත් බොහෝ අය සිතන්නේ පවුල දෙවියන්ගේ නිර්මාණයක් ලෙසටය. දෙවියන් ද පවුලේ විකාශනයත් සමග චලිත වන තවත් එක් සංකල්පීය කතාන්දරයක් පමණක් බව පෙනේ. මා මෙහි කතාන්දරයක් කීවේ දේව කතාන්දර සමාජ විද්‍යාත්මක නැති වග හෝ මිත්‍යාවක් බව තහවුරු කරන්නට නොව ඕනෑම සම්මුති ගත සූත්‍රයක් කතාන්දරයක ආකාරයකින් මිනිසුන් වටහාගන්නා බැවිනි. නිව්ටන්ගේ ඇපල් ගෙඩියේ සිට අයින්ස්ටයින්ගේ සූත්‍ර සංකල්පද මිනිසා වටහා ගන්නේ කතන්දරක විලාසයෙනි.
     
     මුල් කාලයේ ලෝකයේ තිබී ඇත්තේ පොදු පවුලක් බව අපට පෙනී යන කාරනයකි. සැබෑවටම එය ශ්‍රේෂ්ඨ පවුලකි. යූ ටියුබ් ජාලයේ ජීවමාන රූපරාමු මගින් අදටද මේ පැරණි පොදු පවුලේ නෂ්ටාවෙශේෂ අවැසිනම් රූප මගින්ද හැදෑරිය හැක. පොදු පවුලේ  අම්මා කෙනෙකුට දරුවන් සිටියේ නැත. අම්මා වරුන්ට නම් නම් දරුවෝ සිටියෝය. තමන්ගේ නොවන දරුවෙක් කුස ගින්නේ හඬා වැටෙන කලත් පිට අම්මලාට කිරි එරෙන වග කිරි අම්මලා දනී. මෙය තාත්තලාද නොදන්නා රහසක් නොවේ. ස්වභායේ විදිහ දැනගත හැකි මෙවන් කාරණා බොහෝ තිබෙන වගද සැබෑවකි
.
     දේශපාලන පදනම මත දේපල පදනම වෙනස් වෙමින් විකාශනය වන විට අද තිබෙන ආත්මාර්ථකාමී පවුල බිහිවූ ආකාරයට වටහා ගැනීම කාලෝචිත වග පෙනේ. මන්ද බොහෝ දෙනෙකු පවුල පිළිඹඳ හැදෑරීමේදී පොට වරදාගන තිබෙන්නේ මේ ලක්ෂ්‍යයේදි නිසාය. දේපල පදනම ප්‍රධාන කොට සහ  අවශේෂ කාරණා මත නිර්මාණය කරගත් ඒක ලිංගික පවුලේ එක ගැහැණියකට එක මිනිහෙකුගේ අයිතිය නියම වී තිබේ. (යුගලන පවුල) පුරුෂයාටද එසේමය. සාමාජීයව  පෞද්ගලිකත්වය රජ කරන්නට පටන් ගත්තේ එසේ වග සැබෑවකි. මෙය දිගම දිග කතාවකි. පවුලේ ඉතිහාසය සුන්දර වුවත් බරපතල විෂයක් බවද සඳහන් කළ යුතුය. පොදු ආදරය සහ පවුල පෞද්ගලික ආදරයක් සහ පුද්ගලික පවුලක් වීම එක අතකින් මාහා ඛේදවාචකයක් බවට සමාජය පත්වීමට හේතුවක් වී තිබේ.  ඒක ලිංග කේන්ද්‍රීය පවුල විග්‍රහ කර ගැනීම සඳහා ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. කොටිම මේ පවුල් පදනම ත්‍රිකෝණාකර හැඩයකින් ගණිතමය මානයකින් අවබෝධ කර ගැනීම සරළව කාරනා පැහැදිලි කරගැනීමට පහසු මාර්ගයක් බව පෙනේ.

     එක් කොනක  ගැහැනියක් සහ මිනිහෙක් එකට සම්පන්ධ වී සිටී. ඔවුන් දෙපලට දරුවන් ලැබුණ පසු ඔවුන් දෙදෙනාද ඥාතීන් බවට පත්වීමද සම්මුතියකි. ඥාති නාම වන්නේ දරුවන්ගේ පැත්තෙන් අම්මා සහ තාත්තාය. එවිට දරුවා නිසා ආදර වන්තයන් දෙපළක් ඥාති පදනමකින් බැඳි යන වග පෙනේ. කසාද බඳිනවා යන්නෙහි බඳිනවා යන අරුත සෙල්ලමක් නොවන්නේ එහෙයිනි. පොදු පවුලක මෙන් මේ අවස්තාවේදී මිනිසුන්ට නිදහසේ සෙල්ලම් කිරීමට නොහැක. ළමයි හදා වෙනතක් බලා ගැනීම පිරිමින්ගේ සිරිතක් වන හෙයින් නීතිමට පදනමකින්ද බැඳ තැබීමට රජයට සිදුවිය. වන්දි, නඩත්තු, දඬුවම්, අනාචාරය, පවුල් උසාවිය, නීතියට එකතුවීමේ ඉතිහාසය හැදෑරීමද සෙල්ලමක් නොවන්නේ ඒ නිසාය. ආදර යුවළ දරුවන් ලබා ඥාති පදනමෙන් බැඳී යන කල ඥාති සනුහර දෙකක්ද මේ ව්‍යුහට එකතු වේ. ලේ ඥාති පදනම සහ අවශේෂ ඥාති පදනම පිළිඹඳව සරලව ගත් කල කවුරු කවුරුත් දන්නා වග හඟිමි. පුරුෂ මූලික සහ ස්ත්‍රී මූලික තත්ත්වයන් විකාශනය වූ ආකාරය වෙනම කතා කළ යුත්තකි. එහෙත් ලේ ඥාති පදනම අද සම්මුති ගතවී තිබෙන්නේ පුරුෂ මූලිකවය. ගැහැනියගේ කුසින් හෑල්ලු වූවත් පුරුෂයාගේ වාසගම දරුවාට තබන්නේ මේ නිසාය. මන්ද දේපල පදනමේ උරුමය පුරුෂ මූලිකව දේශපාලනික මතවාදයක සම්මත වී ඇති නිසාය. කුල ගෝත්‍ර වාදයට විරුද්ධ වන්නන් පවා අදටද පෙනී සිටින්නේ සිය වාසගම මුල් කරගත් නමකිනි. පෙර කල වම්මුන් වාසගම් පසකලා සහෝදරයන් සේ පෙනීසිටියත් අද නම් වාසගම මුල්කොට හිරිකිතකින් තොරව සිය නාමය ප්‍රසිද්ධ කරගන්නා බව පෙනේ. ඒ ඇයිදැයි  ඒ අයගෙන්ම ඇසිය යුතුය. වාසගම පසුපස සිය කුළය, බලයක් ලෙස පවතින වග සැබෑවකි. සමහරු වාස ගම වෙනුවට ගමේ නම සඳහන් කරයි. එය පන්සල් වලද සිරිතයි. එයද වාසගමක් ලෙස අද වන විට ක්‍රියාත්මකය. මන්ද කුල ක්‍රමය මත සාසනයද කොටස් වී ඇති නිසාය.

     කසාද බැන්දාට පසු ගැහැනියට සහ මිනිසාට හිතූ හිතූ වෙලාවට වෙන් වන්නට නොහැකි වී තිබෙන්නේ බැඳීම දේශපාලනිකව නීති ගත කර ඇති නිසාය. කොටින්ම දරුවන්ද දේපලක් වී තිබේ. ත්‍රිකෝණයේ දරුවන්ද අයිති වන්නේ ඥාති පදනමටම බව පෙනේ. සැමියා සහ බිරිඳ වෙන් වෙන්නේ නම් මේ දේපල ද බෙදා වෙන් කරගත යුතු වීම අනිවාර්යක් වන්නේ ඒ නිසාය. එයට නීතියේ පිහිටද සෙවිය යුතුය. නීතියෙන් දේපල වෙන් කිරීම වනාහී සරල කටයුත්තකි. ඒ නීතියට එකඟව කටයුතු සිදුවූ විටය. එහෙත් නීතියෙන් ආදරය බෙදා වෙන් කරගන්නේ කෙසේද යන්න තවමත් ගැටලුවකි. ආදරය සහ දේපෙල පදනම කොතරම් ප්‍රතිවිරෝධීද යන්න දැන ගැනීමට හොඳම තැන පවුල් උසාවියයි. මාක්ස් එංගල්ස්ලාට කබර හමට තඩිබාන්නා සේ තඩිබාන ඈයෝ එංගල්ගේ “පවුල පෞද්ගලික දේපල සර රජය ඇති වූ හැටි“  ග්‍රන්ථය පමණක්වත් කියවා, විනෝදයටවත් පවුල් උසාවියට ගොස් පවුල් නඩු හබ එකිනෙකා විසඳා ගන්නා ආකාරය නරඹන්නේ නම් යහපත්ය. බොහෝ ලිපි ලේඛන තුළද පවුලේ විකාශනය හරි හැටි ලියවී නැති බැවින් එය සටහන් කළෙමි. පවුලේ නීතිය වෙනස් කිරීම පහසු නොවන වග දැනගත හැක. ඒ සඳහා කළ යුතු අරගලය දැවැන්තය. අරගලයේ සැබෑ අරගලට තිබෙන්නේ සැබෑවටම පවුල් නීතිය තුළය. ඒ සඳහා සමහරු ගෙනෙන සමහර සටන් පාට සිහිවෙන විට ඔවුනට පවුල් ඉතිහාසයේ පදනම අවබෝධ වී නැති වග පෙනේ. හොර මිනිහා හෝ අනියම් පෙම්වතාට මේ ත්‍රිෙකා්නයේ හිමි වන්නේ සැමියා සහ බිරඳට අයත් ලක්ෂ්‍යම බව පෙනේ. හොර කම එලි වූ පසු අන් කොන් දෙකේම විරෝධය මුසුවී ත්‍රිකෝණය කුඩුපට්ටන් වීමට ඉඩ කඩ වැඩි වග පෙනේ. අවසානයේදී අනියම් පෙම්වතාටද වන්දි ගෙවීමට හෝ දඬුවම් විඳින්නට සිදුවිය හැක්තේ එබැවිනි. විවාහ වූ විට පතිවෘතාව මනමාලිය විසින් පුරුෂයාට සහ පුරුෂයාගේ ඥාති සනුහරයට පෙන්විය යුත්තේද දේපල පදනම අරමුණු කොට ගෙන වග පෙනේ. මන්ද, මනමාලිය විසින් වෙනත් පුරුෂයෙකුගේ ලේ අයිති දරුවෙකු කුස දරා විවාහ වූ විට කාලයාගේ අවෑමෙන් පිට ගෝත්‍රයකට  තම ගෝත්‍රයේ දේපල හිමිවි ගෝත්‍ර සටන් ඇතිවීමට ඉඩ ඇති නිසාය. අනියම් පුරුෂයා හොර සැමියා ඒක ලිංගික පවුල් සංස්තාවට පිළිලයක් වන්නේද මේ පදනමෙනි. එහෙත් පසුකාලයේ එය පුරුෂයන්ගේ මානසික සින්ඩ්‍රෝමයක් බවට පත්වී තිබේ. පෙට්ටිය නැති කෙල්ල වල් කෙල්ලක් බවට පත්වන්නේ එසේය. එහෙත් බොහෝ ආර්තික සහ සමාජීයව දියුනුයැයි සම්මත රට වල එම දේපල ලක්ෂ්‍යට හිරිහැර නොවන ආකාරයට නීතිය ක්‍රියාත්මක වීම සංසෝධනය ලක්වී ඇති බැවින් මහා බලපෑමක් ඔවුනට ඇති නොවන වග පෙනේ. පතිවෘතාව අද වන විට ඒ රටවල නොසලකා හරින දෙයකි. රටක් වශයෙන් ආර්තික සහ සංස්කෘතික සාධක දියුනු තත්ත්වයට පත් වූ බැවින් ඒ තත්ත්වය ඇතිවී ඇති වග පෙනේ. එහෙත් වන්දි ගෙවීමට සිදුවීම අනිවාරයකි. සමාජ අපවාදයද එවන් රට වල එතරම් දැඩි බවකින් ක්‍රියාත්මක නොවන මුත් පසු ගාමී රට වල තත්ත්වය මේ නිමේශයේද කාන්තාවන්ට හිරිහැරයක් වී තිබේ.
     
     පවුලේ විකාශනයත් සමග ජ්‍යොතිශ්ශාස්ත්‍රය තුළද විවිධ ග්‍රහයෝග යම් යම් රටාවන්ට මිනිසා විසින් සූත්‍ර ගතකරගෙන තිබේ. පොරොන්දම් බැලීම යනු මිත්‍යවක් නොවන්නේ එහෙයිනි. ඒවාද නීතිය මෙන්ම මිනිසාගේ යම් හේතූන් මත ගොඩ නගා ගත් සම්මුතිය. කිසිදු මිනිසුන් දෙදෙනෙකුගේ සිතුම් පැතුම් සහ ක්‍රියාවන් කිසිදා එකට ගැලපෙන්නේ නැත. අද තක්කඩි සාස්තර කාරයන් විවාහයට සහකාරික් හෝ සහකාරයෙක් තෝරන්නට සොයන්නේ දෙදෙනාගේම සිතුම් පැතුම් එකට ගැලපෙන ආකාරයේ ක්‍රම වේදයකි. එහෙත් පොරොන්දම් ගැලපීමේද සැබෑ අරුත වන්නේ දෙදෙනෙකුගේ ගැලපීම නොව දෙදෙනාගේ නොගැලපීම කොතරම්ද යන කාරනයට ආසන්න වීමට උත්සාහ කිරීමය. වෙළඳ පොළ පොරොන්දමේ වැඩවසම් අරුත එසේ ගැලපීම සෙවීම බව පෙනේ. සැබෑ සම්මුතිය වන්නේ ස්වභායක් වූ දෙදෙනෙකුගේ නොගැලපීම ගැලපීමක් ආකාරයෙන් ගොඩනගා ගෙන සතුට සෙවීමට දෙදෙනාට සූත්‍රයක් නිර්මානය කරගැනීමට සහය වීමය. නොහැකිනම් වෙන් වීමට සහය වීමය. ඒක ලිංගික පවුල සාධාරනය කිරීමක් මින් සිදු නොවේ. එය අසාධාරන වූවාට එයද ඓතිහාසික චලිතයක යම් කාලයක අනිවාර්යකි. ඒවා වෙනස් කිරීමට නව දේශපාලනික ක්‍රමවේද සෙවීමට අරගලය කිරීම වනාහී වෙනත් කරුනකි. ඒවා වෙනස් කරගන්නා විට ග්‍රහ සංකල්ප රටා සහ සංකෘතික සාධකද සමාජ විද්‍යාවට සමගාමීව මිනිසා විසින්ම වෙනස් කරගන්නා බව අවධි සිහියෙන් සිතන කළ වටහා ගත හැක. සමාජ ක්‍රම වෙනස් වී ඇත්තේ අද ඊයේ පමණක් නොවේ. ඇබ්බැහියක් වුවත් අදනම් පොරොන්දම් බැලීමේ කලාව ක්‍රියාත්මක වන්නේ උපදේශන ආකාරයට නොව පරම සත්‍යයේ ප්‍රකාශන ලෙසය. සැබෑවටම මේවා පරම සත්‍යන් නොව ගොඩ නගා ගත් සම්මුතිය. විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස ක්‍රියාත්මක වීම තවත් පැත්තකින් විහිලුවක් වී තිබේ. මේ පිළිඹඳව මහා සංවාදයක් මාධ්‍ය හරහා සිදුවෙමින් පවතී. ඒ සංවාදය ක්‍රියාත්මක වන්නේ මාධ්‍ය ප්‍රාග්ධනයේ අභිවෘදියට විනා දේශපාලන අරුතකින් නොවන වග ඒවාට සහභාගි වන ජනප්‍රිය විද්වතුන් නොදන්නවා විය හැක.   

     ඇබ්බැහියක් වනාහී අවසානයේ විහිලුවක් පමණක් නොව අපරාධයක්ද වන වග සැබෑ මිනිසුන්නම් නොදන්නවා නොවේ. එදා පොරොන්දම් බලා ඒ උපදෙස් මත සැමියා සහ බිරිදෑ වරු ආදරයට නව මං පෙත් විවර කරගත්හ. අද මිනිසා තමාගේ ඕනා කම් මත පොරොන්දම් ගලපා ගනිති. සුව කරගත නොහැකි රෝගයක් සුව කරගැනීමට එක් එක් වෙද ක්‍රමවේද පසුපස යන මිනිසුන්ගේ පුරුද්ද  මෙනි. යමක් වැරදුන විට කිතුලට ගොස් සිටින සාස්තර කාරයන්ට කියන්නටද ඕනා තරම් කරුණු තිබේ.  ඒවාට ශාන්ති කර්ම කළ තක්කඩියන් කියන්නේ ඉතා සුළු අදහසකි. කොහෙදි හරි හරක් මස් ඉදුල් වෙන්නට ඇතැයි වැනි සංස්කෘතික කතා අදට ගැලපෙන්නේ නැති උවත් අද තිබෙන්නේ සංස්කෘතියක් නොව සලාද සදාචාරයක වෙස් ගත් පුරාවෘත සංස්කෘතියකි. අවසානයේදී වෙන් වූ යුවල් එකිනෙකාට සාප කරගනිති. සිනමා කරුවන්ටනම් මේවා මරේ මරුය. හේතුවාදී සිනමා කරුවන්ට මරේම මරුය. දේවාල වල යල් පැන ගිය ඇදහිලි ක්‍රම වලටද මේවා  මරුය.
     දික්කසාද පිටුපස පවුල් උසාවි වලට අමතරව තක්කඩි කට්ටඩි රැලක් බිහිවන්නේ අහඹුවකින් නොවන වග සැබෑවකි. එහෙත් එම ක්‍රමවේද මිත්‍යාවක් බව මින් අදහස් නොවේ. මන්ද වෙළෙඳ ප්‍රචාරනය රජ වූ මේ මොහොතේ මිත්‍යාව ගැන දෙඩවීම විකාරයකි. ප්‍රචාරනය යනු මහා මිත්‍යාවකි. මෙහෙයින් මහා මිත්‍යාවාදී වෙළඳ ප්‍රචාරණයන්  සිදුවන වපසරියක කිසිවකට මිත්‍යාෙවන් ගැලවිය නොහැක. යම් කලාපයක උපදේශන ක්‍රමවේද කාලයට අනුව වෙනස් නොවන පුරාණ සම්ප්‍රධායික දැනුමකින් දුරස්  නොවීම  කොතරම් අපරාදයක්ද යන්න කිසිවෙක් හිතන්නේ නැත. පවුල තුළ බිහිවී තිබෙන ඥාති වර්ගයාගේ වැඩ කටයුතු නම් මේ තත්ත්වය යටතේ තනිකරම විකාරයක් වී තිබේ. ඔව්හු යම් යුවලක් ආදරයෙන් සිටින විට වින කරති. විරසක වූ විට ජොලි කරති. ඒ හරහා තමන්ගේ පුද්ගලික බලාපොරොත්තු ඉටු කර ගැනීමට උපාය යොදති. ලේ නෑයන්ගේද පිට නෑයන්ගේද තත්ත්වය මෙසේය. පවුලක් පුපුරායන විට දේපල පදනම දෙදරා යයි. එය සමහර නෑයන්ගේ විනෝදයටද, බියටද හේතු වන වග පෙනේ. මිනිසුන්ගේ පරම හතුරන් වන්නේ මීයා, වේයා, නෑයා, කියා ජන වහරේ කියවේ. මෙය සැබෑවක් වී තිබෙන්නේ පවුල් සංස්ථාව යන කෘතීම ත්‍රිකෝණයේ හැඩය නිසා වග කිසිවෙක් නොසිතති. පවතින ක්‍රමය සාධාරන ලෙස වෙනස් කිරීමේදී පවුල අහෝසි වන වග දන්නේද අතලොස්සක් පමණ මිනිසුන් ප්‍රමාණයකි. කල්පනාකාරීම පවුල් නොකෑවොත් දරුවන්ට දෙවියන්ගේම පිහිටයි කියන්නට සිදුවී තිබෙන්නේද මේ නිසාය. නූනත මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත භ්‍රමනය වන්නේද අම්මා යන න්‍යෂ්ටිය වටාය. දේවල් තේරුම් ගැනීමේ පහසුව මේ සිද්ධාන්ත හරහා ලැබී තිබේ. එහෙත් අතර මග ගැටලුවට පුද්ගලිකව සහනයක් සොයා ගැනීමට මේවායින් නොහැකි වගද සැබෑවකි. කෙසේ හෝ පවතින ක්‍රම විරෝධී දේශපාලනික සමාජයක දරුවන්ට දෙවියන්ගේම පිහිටයි කියා කියන්නට සිදුවන්නේද නූතන මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයන්ගේ න්‍යෂ්ටියක් වී තිබෙන අම්මා සහ තාත්තා යන සංකල්ප නිසාමය.

     පියවරුන් වැපිරුවොත් දරුවන්ට කරල් අහුලන්නට පුළුවන් වෙනවා යන ජන වහරේ අදහසද ඉතා වැදගත්ය. වපුරන්නට ඉඩක් නැති තැන දේවාල වලට ගොස් කන්නලව් කළ යුත්තේ අතීසාරයට අඹුඩය ගසා ගැනීමට පිහිටක්  ඉල්ලා නොවේ. තවත් ආත්මයක් හෝ බවයක් තිබේනම් අඩු තරමින් මීළඟ භවයේ ප්‍රංශයේවත් ඉපදේවා වැනි ගොන් ඉල්ලීමක් දෙවියන්ගෙන් ඉල්ලාය. “නැවක් දිව්‍යවිමානයක් හෝ අපායක් කරගන්නේ ඒ නැවේ ගමන් ගන්නා නාවිකයන් විසින්මය“ යන පිරුළ මේ සටහන අවසාන කිරීමට කාලෝචිතය. මන්ද ප්‍රංශයේ ඉපදේවා යන්න ගොං කතාවක් වන්නේ ගිලෙන නැවක නාවිකයන් තම නැව බේරා ගැනීම පසක තබා නොගිලෙන නැවකට නැගීමට සිහින දැකීම ගොං ක්‍රියාවක් නිසාය.

අප්පගේ  සෙනේ අකලට වහිනවා             වගේ
අම්මගේ සෙනේ උල්පත ගලනවා             වගේ
නෑයගෙ සෙනේ යවුලෙන් අනිනවා           වගේ
වෑයම් මිසක නෑයන් මොටද    කලි            යුගේ
(ජන කවි)

ජගත් මාරසිංහ

2017 ඔක්තොම්බර් 30

1 comments:


Powered by Blogger.