එ සඳ මෙ සඳ සඳ

එ සඳ  මෙ සඳ සඳ 

අසන්ඩ නන්දන සුරතල් කීව           එකෙන්දී
වවන්ඩ සුන්දර එ සුගත් සස්න            වරන්දී 
දරන්ඩ මුද්දර දිලිනිල් වේවැල්          බොන්දී 
යකුන්ඩ  ගින්දර සෙනරත්           අදිකාරන්දී
          යකුන්ඩ ගින්දර දුන් සෙනරත් අධිකාරම් බුදුනුවෙක්දැයි ව්‍යාධගෙන් අැසීම මට මදිකමක් මෙන් දැනේ. අද නම් යකුන්ව දෙවියන්ව එකට තබා බුදුනුවන්ට මුවා වී අපහස කරන්නේ විද්‍යා  විෂය අධිනිශ්චය කරගත්,  තමුන් සිවිල් මහත්වරුන් ලෙස සිතන පිරිසකි. ඔවුනට සහයෝගය දීමට භික්ෂුන් වහන්සේලා පිරිසක්ද සිටිති. ව්‍යාහාරික වර්ෂ එක්දහස් නමසිය හැත්තෑ හතේ දී විවෘත අාර්තික ප්‍රතිපත්තිය අප රට තුල බලය තහවුරු කරගත් පසු මාධ්‍ය අවකාශය ඉබේම වාගේ නැගී සිටින්නට වී. තත්ත්වය වඩාත් භයානක වූයේ ඉන් පසුවය. බුදුනු මහිමයට මුවා වී සිය බලය තහවුරු කරගන්නට මාන බලන සයිබර් දොස්තරලා අතරට භික්ෂූණ් වහන්සේලා  පිරිසක්ද මාධ්‍යා අවකාශය තුල නැගී සිටින්නේ රට වැසියාගේ යහපත් බලාපොරොත්තු ඉටු කිරීමට මෙනි. මිතුරු වෙසින් නැගී ආ සයිබර් අවකාශය මිනිසුන් එදා වැළඳගත් ආකාරය එක් පසකින් රට වැසියාගේ පසුගාමීත්වයේ ප්‍රකාශනයක් ලෙස  සමහර විද්වතුන් විග්‍රහ කරන ලදී. තවමත් ඒ තත්ත්වය මහා පරිමානයෙන් වෙනසකට ලක් වී නැත. කෙසේ හෝ වේවා යකුන්ව දෙවියන්ව විවේචනය වීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. යක්ෂ නාග ගෝත්‍ර පවා දැඩි විවේචන වලට ලක් විය. චන්ද්‍ර කේන්ද්‍රීය කාලය මත ගොඩ නැගී ඇති සංස්කෘතික අවකාශය යක්ෂාවේශ වන්නට විය. සිපිරි ගෙවල් පිරී තිරී යන්නට විය. එදා සිටි තරුණ පරපුරටනම්  කිසි සේත්ම දොස් පැවරිය නොහැක. මක් නිසාද  යත් එදා සිටි තරුණ පරපුරම දේශපාලනිකව සිතන්නට පටන් ගත්  පිරිසක් විය. පක්ෂ කණ්ඩායම් වශයෙන් එදා කාලයේ අයිතිය කිසිම සංවිධානයකට හිමි නොවේ. කොටින්ම මරා දමා මර්ධනය කිරීම අවසානයේදී සිදුවිය. ඊට සිංහලයාය, දෙමලාය, තම්බියාය කියා කිසිදු බේදයක් නොවූහ. ව්‍යාධගේ භාෂාවෙන් එදා කුමන හෝ දේශපාලන කියවීමක් මිනිසුන්ට බලපෑම් කළ ආකාරය පුදුමාකාරය. 
            වර්තමානය ගැන මා දොඩන විට ව්‍යාධදේව නියවන්නේ නිකම්ම නොවන බව මම දනිමි. නමුත් මමද ව්‍යාධ මෙන්ම මිනිසුන්ව විශ්වාස කරමි. දෙවියන් වගේ සිටින මිනිසුන්ට යකා වගේ වෙනස්වන්නටත් මහා කාලයක් ඇවැසි නැත. යකුන් ගේ සහ දෙවියන් ගේ රුධිරය කොදෙව් වැසියන්ට උරුමය. හෞතිකව පමණක් නොව සංස්කෘතිකවද උරුමය. මේ කොදෙවේ පරිනාමය වූ සියලු වර්ගයන්ටද මේ තත්ත්වය පොදුය. මට අම්මෙක් තාත්තෙක් නැත; විශ්වයේ සියලු අම්මලා තාත්තලා මගෙත් අම්මාය තාත්තාය කියා සිතන මිනිසුන් බිහිවන්නේ කවදාද, ඒ කාලයේදී වර්ගවාදය යන වචනය පවා ශබ්ද කෝෂ සහ විශ්ව කෝෂ වල හොල්මන් සේ ඉතිරි වනු ඇත. එවන් ලෝකයක සිහින දකින්නෙකු ලෙස සිටි කාලය තවමත් මගේ මතකයේ හොල්මන් කරයි. ඇමරිකන් කාරයාට අභ්‍යාවකාශය  ජයගන්නට තිබෙන ආශාවත්, මාක්ස් වාදීන්ට කොමිනියුස්ට්  ලෝකයක් බිහි කිරීමට ඇති ආශාවත් ගැන මම සතුටු වෙමි. ඒවා සිහින ලෙස දකින්නෝ සිහිනය වනාහී යථාර්තයේ ප්‍රතිභිම්බයක් බව නොදනිති. එහෙත් ඒ තත්ත්වය මගේ ජීවිත කාලයට ප්‍රශ්නයක් කර නොගන්නට මම වග බලාගන්නට පටන් ගත්තේ ව්‍යාධට පින්සිදු වන්නටය. පෙර ආත්මයක් හෝ භවයක් ජීවිත තන්හාවකින් තොරව විශ්වාස කිරීමට මට නොහැකි බව ව්‍යාධට මම පැවසුවෙමි. ඉතින් විශ්වාස නොකර ඉන්න කියා ව්‍යාධයෝ මට සරදම් කරන්නට වූහ. එයත් කළ නොහැකි බව මම උන් වහන්සේට පැවසුවෙමි. නුඹට ගිය ආත්මය හෝ භවය මතක තිබේදැයි  උන් වහන්සේ මගෙන් විමසුවෝය. නැත, නැත, නැත කියා උන්වහන්සේට මම පිළිතුරු දුනිමි. නුඹ සිතන්නේ සිතින් නොව ඇස් දෙකෙන් කියමින් ව්‍යාධයෝ මට නියවන්නට වූහ. සිත වනාහී ඉනුද්‍රියක් බව මට දැනෙන්නට වී; මම සිතෙන් සිතන්නට පුරැදු උනෙමි. භාවනාව මිත්‍යවක් නොවන වග නිවරදිව වටහා දෙන්නට උන්වහන්සේ ගන්නා උත්සාහය මම දැඩි සේ විවේචනය කලෙමි.ජීවිතයත් භාවනාවක් බව දැනීයන්නට පටන් ගත්තේ ඉන් පසුව බව සදහන් කළ යුතුය.

                                     
        චන්ද්‍ර කේන්ද්‍රීය කාලය මත එකල ගොඩ නගාගත් සංස්කෘතික විශ්වය සම්බන්ද දුරවබෝධය නිසා අද බොහෝ විද්වතුන්  වටිනා සංස්කෘතික සංකල්ප මිත්‍යා මත ලෙස බැහැර කිරීමට පෙළඹී තිබේ. තවද සමහරු සූර්ය කේන්ද්‍රීය කාලය අධිනිශ්චය කර ජ්‍යෝතිශ්ශාස්ත්‍රය බටහිර විද්‍යාව සමග පෑස්සීමට තැත් කිරීමද කොදෙව් පුරානයට සාපයක් වී තිබේ. සැබවින්ම සූර්ය කේන්ද්‍රීය කාලය මත ගොඩනගා ගත් සංස්කෘතික අවකාශය වනාහී පුරුෂ මූලික දේශපාලනික අවකාශයම බව වටහා ගත හැක. ප්‍රාතමික ජ්‍යෝතිෂයෙහි රජුන්, යුධ සෙනෙවියන්, පුරුෂයන්  පමනක් නොව යුද්ධය ගැන පවා කරුණු විමසන්නේ සූර්ය කේන්ද්‍රීය කාල සංස්කෘතිය මුදුනා කරගෙන බව කවුරු කවුරුත් දැනගත යුතුය. චන්ද්‍ර කේන්ද්‍රීය කාල අවකාශය වනාහී ගස් කොලන්, සතා සීපාවා, ස්ත්‍රිය, දරැවන්, සෞන්දර්ය, දෙවියන් වැනි සංකල්ප දැකීමට නිර්මානය කරගත් සංස්කෘතික අවකාශයම වේ. කොටින්ම චන්ද්‍ර කේන්ද්‍රීය කාල ක්‍රමවේදය පරිසරය, ස්ත්‍රිය, අාධ්‍යාත්මය සහ දරුවන් ගේ සැබෑ ආත්මයයි. මා මේ ටික ලියන්නට පරිගණකයෙන් අකුරු අමුනන සද වෛරසයක් මෙන් ව්‍යාධයෝ ක්ෂණිකවම තිරය මතට කඩා පැන බුදුනුවන්ටත් පෙර චන්ද්‍ර කේන්ද්‍රීය කාල දැක්ම නොන්ඩි ගසමින් තිබි බවත් උන් වහන්සේ ඊට සැබෑ ප්‍රති කර්ම කර සැබෑ චන්ද්‍රයා මතුකරගත් බවත්, උන් වහන්සේගේ ධරමය පුරා චන්ද්‍රයා සැගවී සිටින බවත්, අහස වහලය කොටගෙන එලිමහනේ උන්වහන්සේ්ගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිනිවන් පෑමත් සිදුවීම අහඹුවක් නොවන බවත්,  අමා මහ මෑනී යන අාමන්ත්‍රණය තුලද චන්ද්‍රයා සැගවී සිටින වගත්, සූර්ය වංශයේ සහ චන්ද්‍ර වංශයේ දේශපාලන ස්වභාවය ගැනත් කියා ගෙන, කියා ගෙන ගොස් අතුරු දහන් වූහ. පොහොය නිමාඩුව අවලංගු වී සති අන්ත නිවාඩුව ඉරිදා ලෙස සම්මත වීම සම්බන්ධවද අටුවා ලියන්නට සිතෙන නමුත් එය මෙවන් ලිපියකට තරම් නොවන වග ව්‍යාධගේ අදහසයි.

                                                මම හැරී පිටුපස බැලුවෙමි. ව්‍යාධයෝ විටක් හපමින් පරිගණක මැෂිම දෙස බලා සිටී.එවන් තියුනු බැල්මක් මා කිසිදා බිතිසිතුවමකින්වත් දැක නැත. එවන් හැගීම් බර මුහුණක් කිසලොවොස්කිගේ සිනමා පටයකින්වත් මට දැක ගන්නට ලැබී නැත. චන්ද්‍රයාගේ සැබෑව නුඹ වටහා ගත් නිසාම මේ දෙරණ මත ලෞකික වශයෙන් සතුටු වීමට නුඹට තව ආත්ම ගණනක් ගත වීමට ඉඩ ඇති බව ව්‍යාධ පැවසීය. චන්ද්‍ර දේවිය චන්ද්‍රමන්ත්‍රයෙන් මා මෝහනය කළ දා සිට මට රත්පිත් උන්මාදය වැළදීම නම් කරදරයක් වී තිබේ. ඇලපති වෛද්‍ය විද්‍යාවේ ඩිප්ප්‍රෙෂන් යනුවෙන් හදුනාගෙන ඇති මානසික තත්ත්වය රත් පිත් උන්මාදයට සමගාමී වේ. එහෙත් මට චන්ද්‍රයාගෙන් වෙන්වීමට නොහැක.චන්ද්‍රයාගෙන් තොරව ආදරය ගැන සිතන්නටවත් මම අපොහොසත් වෙමි. දැන් මට මොහොතින් මොහොත ව්‍යාධගේ ඇසුර අවශ්‍ය වී තිබේ. මම පිටුපස බැලුවෙමි. ඔහු නැවත අතුරුදහන් වී ඇත. මම චන්ද්‍රයා පසු පස යන්නට වී. එවන් සුන්දර අරමුනක් අන් කවර අරමුණකින් අත් විදිය හැකිද? සීතා දේවියගේ මුහුනේත්, අනුලා බිසවගේ මුහුනේත්, ගජමන් නෝනාගේ මුහුනේත්, දැක්ක ගමන් මොකක්දෝ වෙන සමහර ගැහැණු මූනු වලත් එකී මෙකී නොකී සියලු ස්ත්‍රී ආත්ම වල මුහුණු වලත් පරමාත්මය චන්ද්‍රයාම බව ව්‍යාධයෝ මට අවබෝධ වන්නට ඉඩ හැර තිබේ. ඇගේ නෙතින් උනන කදුලු ස්වභාවයේ ඇති දැඩි කිරීමේ ගුණයේ වෙහෙසම වන සද මම තව තවත් ඇයට තුරැලු උනෙමි. ලංවන්නට ලංවන්නට අෑත් වන ඇය කිසි වෙකුට කිසිදා මරා දැමිය නොහැකිය. සියලු පුරෂ ්ං වනාහි ඇගේ ජීවාත්මයේ කොටස් කාරයෝ පමණි. මහා විද්‍යාඥයෝ චන්ද්‍රයා අහසේ තබා භෞතිකව පරීක්ෂා කරන සඳ, මුතුන් මිත්තන්ගේ නාමයෙන් මිනිස් හිස තුල කිසිදා නොමියන චන්ද්‍රයාව ව්‍යාධගේ ඉල්ලීම මත මම හදවතේ තබා පරීක්ෂා කරන්නට පටන් ගතිමි.

                           ස්වදේශිකයන්ගේ පරාජයෙන් පසුව සෞන්දර්ය වාදීන්ගේ පුරඟන ඔබ වූවාට මිනිස් ආධ්‍යාත්මයේ පංචකාම සම්පත්තියේ ඉෂ්ඨ දේවතාවිය තවමත් චන්ද්‍ර දිව්‍ය  මාතාව වූ ඔබමය. ඔබේ කාලය මරා දැමිය නොහැකිය. මේ නිමේශයේ මර්ධනය කර සඟවා තබා ඇති බව පෙනේ. එහෙයින්ම ගැහැණුන් පිරිමින් ලෙස ජවුසන් නටන්නට ආරම්භ වී තිබෙන්නේය. ඔබ වහන්දෑට සමීප වීමට ස්ත්‍රීන් මුහුනවල් පින්තාරු කර ගත්තාට සායම් සේදී ගිය පසු සූර්ය ලක්ෂණ මතුවන්නේ ස්වභාවයට නිගරු කිරීම නිසාදෝයි සැක මතුවේ. සංඛීර්ණ පරිබෝජන සමාජයක මිනිසාට සැම දෙයක්ම තවත් එක් පරිබෝජන භාණ්ඩයක් පමණක් බව සැබෑය. ස්වභාවය ව්‍යාකරණ සහිත බවත්, සියලු විද්‍යාවන් විසින් සූත්‍රගතකර ඇත්තේ ඒ ස්වභාවයම බවත්, ස්වභාවධර්මය චලිත වන්නේ චන්ද්‍රයාට සමගාමීව බවත් විද්‍යාඥයන්ට මතක ඇති මුත් මේ කොදෙවේ විද්‍යා පණ්ඩිතයින්ට අමතක වී තිබේ. අමතක වීම වනාහී නොදන්නා කමේද මූලික තත්ත්වයක්ම බව ව්‍යාධ පවසන්නේ ඇඟට පතට නොදැනෙන අයුරිනි. ලුනටික් යනු ඔබ වහන්දෑම බවත් මීට වසර තුන්දහසකට පමණ පෙර ඔබ  සහ මිනිස් මනස සම්බන්ද භාවිතාවක් තිබූ බව බොහෝ බටහිර විද්‍යාඥයන් පිළිගත් නමුත් අපේ කොදෙව්වේ ඊනියා විද්වතුන් චන්ද්‍ර කේන්ද්‍රීය සංස්කෘතික අවකාශය ගැන නන් දොඩවන වගත් සටහන් කළ යුතුය. පුංචි කාලයේදී මම ද ඔබෙන් කිරිත් පැනිත් ඉල්ලා අඩන්නට ඇත. එහෙත් මා අද ඔබෙන් ඉල්ලා අඩන්නේ අපේ වංශ කතාවේ සැගවී ඇති ඔබේ උනුසුම බව සැබෑවකි.

                                 ඇගේ වා සෙම් අධිකය.බොහෝ ප්‍රඥාවන්ත බවෙන් යුක්තය. ලස්සන වක්වූ රවුම් අතපය වේ. දැකීමට ප්‍රිය උපදවන රූපය වේ. කතාවද බොහෝ මනහරය. චංචල ගති ඇති නිසා ජීවිතයම සිහිගන්වයි. කාමාශා අධික බැවින් වර්ගයාට පෙම් බන්දවයි.ඇය සෞම්‍ය ස්ත්‍රියකි. වාහනය ඇතාය. ආයුධය බද වෙලුමය. වාසස්ථානය ජලස්ථානයම වේ.නිලය නම් රජ වුවත් හිස මත ඇත්තේ ජටාවකි. පුරුෂ මූලික හිරුගේ හිස මත ඇත්තේ ඇගේ ඔටුන්න විය යුතුය. දිසා බලය නම් තවම සූර්යාට උදුරා ගන්නට හැකි වී නැත. තවමත් උතුරට අධිපති චන්ද්‍රයාය.රතු ඇස් ඇති කෙස් අඩු රන් ඔටුන්නක් හිස පැළදි අශ්වයා වාහනය කොට ගත් සිරිවැස ආයුධය කරගත් කෘෘර තඹ පාට පුරුෂ මූලික හිරු පමණක් මේ කොදෙව්වේ සංස්කෘතික විශ්වයට අරක් ගත්තේ නැත. ජීවිතය චන්ද්‍රයා නම් ඊට පිටින් සූර්යා බලය තහවුරු කරගත්තා සේය. මේ තත්ත්වය වැව් ජල ශිෂ්ඨාචාරය ඔස්සේ තව මතුකිරීමට බොහෝ කරුණු කාරනා තිබේ. මුලු කොදෙව්ව පුරාම ඇති ජලස්ථාන ඇගේ වාසස්ථානම වී තිබේ. ඇගේ සුන්දරත්වය විනාස කිරීමට කෙසේනම් රවි හෙවත් සූර්යාගේ සිරිවැසට හැකි වේද? අපේ කොදෙව්වේ අෑත කාලයේ බලංගොඩ කට්ටියත්  හෝටන් තැන්නේ කට්ටියත් මට සිහියට නැගේ. යොන් මග සෘතු මග ලෙස හැදින්වීම සහ චන්ද්‍රයාත් ස්ත්‍රියත් අතර එදා තිබි සම්බන්දය කාට හෝ තහවුරු  කිරීමට ගායක් මට නැත. හෝටන් තැන්නේ පරාග පරීක්ෂා කිරීමෙන් අනාවර්ණය වූයේද අෑත අෑත කාලයක එහි බාර්ලි වගාවන් කර ඇති බවය. මේ තත්ත්වයන්ද චන්ද්‍රයාට ඉතා සමීප කාරනාය. ස්ත්‍රීත්වය සම්බන්ද දේශපාලන මතවාද පසකට වූ මොහොතක මා චන්දුයාව ඔසවන්නට තැත් කිරීම විහිලුවක් නොවේදැයි මම වරක් ව්‍යාධගෙන් ප්‍රශ්න කෙරුවෙමි.ව්‍යාධ සහෝදරයා ඊට නොපැකිලව පිළිතුරු දුන්නේය.
ප්‍රංශයටද හද පායා තිබෙන්නට පුලුවන. එහෙත් කරුණු වශයෙන් සලකන විට ඒ අපට පායන සද නොවන වග දැන  ගත යුතුය.
එකෙනෙහිම මට ස්ත්‍රී වාදී මිත්‍රයෙකුගෙන් දුර කතන  ඇලැබිණ. සියලුස්ත්‍රීවාද කතන්දර වෙනම කියවීමකට ලක් කළ යුතු බවත් නූතන තත්ත්වයන් මත ස්ත්‍රී වාදී පැරණි මතවාද අදට වලංගු නොවන වගත් ඔහු දිගටම කියාගෙන ගියේය. මතකයේ හැටියට මේ සහශ්‍රය උදා වීමට අසන්න කාලයයි. චන්ද්‍රයා නීච වූ කළ හිත පිරිසිදු නොවන බවත් චන්ද්‍රයාගෙන් වන අගුණ වලට මුතු බැදි රිදී ආභරණ පැළදීම යහපත් බවත් මම කීවෙමි. උඹට පිස්සුදැයි ඔහු මගෙන් ඇසීය. අපස් මාරය සහ උන්මාදය චන්ද්‍රයාගේ චලිතය මත විග්‍රහ කරගත හැකි බව මම ඔහුට පහදා දුන්නෙමි. නුඹ ස්ත්‍රී වාදියෙක් නොවන වගත් නුඹ ස්ත්‍රීන්ට පහර දී ඇති බවත් කියමින් ඔහු මට අවලාද නගන්නට විය. ප්‍රංශයටද, එංගලන්තයටද, ලංකාවටද පායන්නේ එකම චන්ද්‍රයා ලෙස  ඔබ දුටුවාට මා එදාද එසේ නොදුටු බවත්, අද නම් කෙසේවත් එසේ නොදකින බවත් මම කීවෙමි. ස්ත්‍රී ශරීර දේශපාලනයටත් ස්ත්‍රී අනන්‍ය බවටත් පිටින් චන්ද්‍රකාලය පවතින බව ඔහුට තේරුම් කර දීමට කිසිදා නොහැකි බව මම දනිමි. මක් නිසාද යත් ඒ කාලයේ බොහෝ අය ස්ත්‍රී දේශපාලනය කරන ලද්දේ දේශපාලන දාර්ශනික හේතු මුල් කොට නොවන වග මම එකලද දැන සිටි බව පමණක් සදහන් කරමි. එහෙත් එදා ස්ත්‍රී දේශපාලනයට මට තවමත් ගරුත්වයක් ඇති බවද සදහන් කළ යුතුය. අද ජීවත් වන බොහෝ ස්ත්‍රීන්; ස්ත්‍රී වාදීන්  ලබාදුන් ජයග්‍රහන තුල උමතු වී සිටිනවා සේය. සැබෑවටම චන්ද්‍ර දේවිය ගැන ලියන්නට ව්‍යාධ මා පොළඹවන්නේ ඒ තත්ත්වය ගැන අවබෝධ කරගෙන බව මම දනිමි. ජීවත් වන අවකාශය තුල ස්ත්‍රියගේ ඓතිහාසික චලිතය නොදැන කළ කටයුතු නිසා ආදරනීය ස්ත්‍රී ජීවිත ගණනාවක් විනාශ වූ අකාරය වෙනම කතා කළ යුතුය. විනාසය යනුවෙන් අදහස්කරන්නේ ඊනියා පවුල් ජීවිතය නොවන වග ව්‍යාධ නිතර පවසයි. පවුල් විනාශ වීම ගැන මා කිසිත් නොලියන්නේ මගේ පවුල් ජීවිතය ගැනත් ලියන්නට මා බලාපොරාත්තු වන නිසාය. මගෙන් වෙන් වී මා දෙස බැලීමටත් ලිවීමටත් මට පුරුද්දක් ඇති බව මා ලියපු දෑ කියවා ඇති අය දන්නා වග මම දනිමි.

                              මේ නිමේශයේ චන්ද්‍ර කාලය සුසර වන්නේ ඉතා කණගාටුදායක ආකාරයකට බව පෙනේ. මේ නිමේශය සහ චන්ද්‍ර කාලයේ සම්බන්ධය සෙවීම යනු ප්‍රාග් බෞද්ධ දෙවගනක් වූ පශ්චිම රාජිනියගේ කන්‍යා සිවිය සොගෙන යාම නොවේදැයි ව්‍යාධ ගෙන් අසා දැනගත යුතු කාරණයකි. පශ්චිම රාජිනියගේ වරතමාන හැඩය කියන තරම් සංඛීර්ණ නොවන වග ව්‍යාධ පවසයි. එහෙත් හිතන තරම් සරලද නොවන බව දැනගත යුතුය. පශ්චිම රාජිනියගේ වර්තමාන හැඩය වටහා ගන්නා තුරු පසුගිය වකවානු වල සිදුවූ සෑම සිද්දියක්ම දේශපාලන කුහකත්වය මත සිදුවූ විකාර දේවල් බව සංවේදීව වටහා ගනීමට නොහැකි වනු ඇත. මේ තත්ත්වය කලා කරුවන්ගේ නව නිර්මාණ බෙලහීන තත්ත්වයකට පත් කර ඇත. කොටින්ම ජීවිතයෙන් ජීවිතය දුරස් වී තිබේ. මෙ තත්ත්වය තුල කලාකරුවන් තවදුරටත් බලි තොවිල්, පරමාදර්ශ ගම්, වලව් බිදවැටීම, ඉතිහාස කතන්දර, වැනි දේවල් ප්‍රතිනිර්මානය කරන්නට නැවත පටන් ගෙන තිබේ. අෑත කාලයේ සිට කොතරම් දැවැන්ත නිර්මාන බිහි උනත් ඒවායේ පැවැත්ම තීරණ කර තිබෙන්නේ චන්ද්‍ර කාලය විසින් බව සාධනය කළ හැක. සූර්යා මත ගොඩ නගා ගත් සංස්කෘතික අවකාශය අහස නම් චන්ද්‍ර කාලය මත ගොඩ නගාගෙන ඇති සංස්කෘතික විශ්වය මේ අප ජීවත් වෙන මහ පොළවයි. චන්ද්‍ර කාලය ඔරලෝසු මායාවකටත් වඩා කාභනික යථාර්තයක් බව උත්තරායනයේ වසන්තයේ දිනයකදී ව්‍යාධයෝ මට වටහා දුන්හ.

                                          ප්‍රාග් බෞවුද්ධ ව්‍යාධි  වලට අදිපති ව්‍යාධදේව මහ හඩින් මොනවදෝ කියවන හඩක් ඇසේ. දඩයමට අවශ්‍ය ආයුධ සහ අනෙකුත් කලමනා වල අයිතිය සූර්යාගේ නොවේදැයි අසමින් මම උන් වහන්සේට කවටකමක් කෙරුවෙමි. ප්‍රාග් ඓතිහාසික හෝ නූතන හෝ මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතිය එලිපෙහෙලි කර ගැනීමට ආයුධ ඉතා වැදගත් බව උන් වහන්සේ පැවසූහ. ස්ත්‍රිය මට සිලිටි කෙරුවේ සූර්යා පමණක් මුදුනා කරගත් මෝඩයන් පිරිසක් බව පවසමින් බූමරංගය වනාහි චන්ද්‍ර චක්කයම බවත් එය මුල් කොට ගෙන ආයුධ පරිණාමය වූ ආකාරයත් උන් වහන්සේ මට සිහිනෙන්ද පැහැදිලි කර දුන් සේක. සූර්ය දිව්‍ය රාජයාගේ ආයුධය වූ සිරිවැස උපහාසයට ලක් කරමින් චන්ද්‍රයාගේ නැකත අනුව ගණය සොයා ගණය අනුව යුධ ජයග්‍රහන සදහා ආයුධ තේරීමේ ක්‍රම වේදය උන්වහන්සේ දීර්ගව විස්තර කරන්නට වූහ. දේව ගණ, රාක්ෂ ගණ, මනුෂ්‍ය ගණ යන එක් එක් ගණයට අයත් වන ආකාරයට ආයුධ වර්ග කර තිබේ. ඒවායින් යෝජිත යුධ කටයුත්තේ ජයග්‍රහනයට භාවිත කළ යුතු ආයුධ වර්ග කරණ ආකාරයත් උන් වහන්සේ විස්තර කරන්නට වූහ. කෙසේ නමුත් චන්ද්‍රයාගේ සඟවා ඇති සැබෑ ඉතිහාසය රාවනා සංස්කෘතිය ගැනද ඉගි මතුකරයි. ඒවා ලියන්නට මේ කාලය නොවන බව ව්‍යාධයෝ පුන පුනා පවසන්නේ මන්දයයි ඔබත් තේරුම් ගත යුතුය.

                                      චන්ද්‍ර ශක්තිය රාවනාගේ ශක්තියම නොවේදැයි මම උන් වහන්සේගෙන් විමසන්නට සිතුවෙමි. රාවනාටත් අයිතිකාරයෝ බිහිවී සටන් කරන පෙදෙසක මගෙන් රාවනා ගැන කිසිත් අසන්නට එපා කියමින් උන්වහන්සේ මට තරවටු  කළහ. එහෙත් මගේ පෙරත්තය නිසා  ව්‍යාධයෝ ශාන්ති කර්මයන්හි එන සෝම ශාන්තිය ගැඹුරු ගැහැණු හඩකින් ගායනා කලෝය. ව්‍යාධ වරෙක මට මිතුරෙකි, වරෙක චන්ඩියෙක්, වරෙක දෙවියෙකි, සතුරු වන අවස්ථාද නැත්තේමත් නැත. අදනම් ව්‍යාධ යනු ඉතිහාසයම වී තිබේ. මම ඔහුගෙන් තවත් පංඩිත ප්‍රශ්නයක් ඇසුවෙමි.

                                          චන්ද්‍ර ශක්තිය සහ රාවනා ශක්තිය ගැන සෝදිසි කර ප්‍රාග් බෞද්ධ පශ්චිම රාජිනිය නැමති ස්ත්‍රී ආධ්‍යාත්මයේ වර්තමාන හැඩය ලෝක ප්‍රාග්ධන චලිතය තුල වෙනස්වන ආකාරය සම්බන්ධ පරීක්ෂාකාරී නොවීම අපේ කොදෙවේ තවත් ලේ වැගිරීමක් ඇති වීමට හේතුවක් නෝවන්නේදැයි මම උන් වහන්සේගෙන් ඉතා තදින් පුශ්න කලෙමි. ත්‍රී පිටකයේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ චන්ද්‍රපරිත්තය  සූත්‍රය සූර්ය වග්ගයට අයත් වූයේ කෙසේ දැයි උන් වහන්සේ පෙරලා මගෙන් ප්‍රශ්න කරන්නට වූහ. මරා යක් කිරීම සහ නොමරා යක් කිරීම උන් වහන්සේ සිහිපත් කෙළා්ය. මරධනය කිරීම, යටත් කර ගැනීම අද ඊයේ ඇති වූවක් නොවේ. මට ස්වදේශිකයන් පිළිඹද දැඩි හැගීම් ගලා එන්නට විය. දඹානේ වැනි කට්ටිය අකුරු කර ගණ කැලේ අයිතිය ගැන පමණක් පෙනී සිටීම සම්බන්ධව ව්‍යාධ කිපී සිටිනවා සේය. මම නැවත පෙර ප්‍රශ්නයම ව්‍යාධගෙන් ඇසුවෙමි. මගේ ආගන්තුක සගයා දුම් වැටියක් උරමින් වැලි පොළවේ ඇන තියාන සිටියේය. මම කාලය සම්බන්ධ සී පදයකින් උන්වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු උනෙමි.  ව්‍යාධ දේවයෝ ගැඹුරු හුස්මක් ගත්හ. ඉක්බිති රංචාගොඩ ලමයා කාලය සහ අවකාශයට ඔච්චම්  කරන හඩ රාව නැගෙන්නට වී....


මෙහෙව් රටේ රංචාගොඩ                          ඉපදීලා
රහුණු රටට මා දීලා                                ඉලව්වේ
බල්ලොත් නොකන වැල වරකා             ගල්කිස්සේ
කතරගං ගොසින් වැටුනා පිහියෙ                      මිට

                                                 
                                                     - MARAYA-



                     

                   


Powered by Blogger.