දින දර්ශන පැටිගිරිය 01-හාවා සහ සමාගමේ ලුම්පන් චන්ඩියෝ

දින දර්ශන පැටිගිරිය 01

                               

         
              ජ්‍යෝතිශාශාස්ත්‍රය යනු යමක් සිදුවීමේ හැකියාව ගැන සරල අනාවැකි සොයන මගඩි ව්‍යාපාරයක් බවට අද පත් වී තිබේ. අගක් මුලක් නැති පරිභෝජනය පමණක් ප්‍රධාන කොට ඇති ආර්ථික රටාවක් බලවත් වූ සමාජයක ඉර්ෂීන් වහන්සේලා සේ පෙනී සිටිමින් ලාබය පමණක් අරමුණු කොට  කටයුතු සිදුවන්නේ ජ්‍යෝතිශාශාස්ත්‍රය මුල් කොට පමණක් නොවන වග කිසිවෙකුට රහසක් විය නොහැකිය. රහතුන්, දෙවියන්, විද්‍යාඥයන් පමණක් නොව දාර්ශනිකයන් පවා මාධ්‍ය ප්‍රාග්ධනය විසින් වරින් වර මතු කර කිරුළු පළඳා  කලක් ගත වන විට එම මාධ්‍ය  අවකාශයේම විකටයන් බවට පත් කර විනාශ කර දැමීම අදවන විට සරල ක්‍රියාවක් බවට පත් වී තිබේ. බොහෝ විට ජන මාධ්‍ය වෙළද සමාගම් ඉටුකරනු ලබන්නේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ ඉල්ලීම් බැවින් ඔවුන්ද සමාජ විරෝධී තත්ත්වයන් මතු වූ අවස්ථා වලදී මෙහි වගකීම ජනතාව මතම පටවයි. මේවාට විරුද්ධව සැබෑ මතවාද ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන්නේද මේ ජන මාධ්‍ය සමාගම්  හරහා ක්‍රියාත්මක වන මාධ්‍ය අවකාශය උපයෝගි කරගෙනම බව නොදන්නා බුද්ධිවාදීන්ගේ විරෝධය පවා විහිලුවක් බවට පත් වීම සැබෑවටම හාස්‍යජනකය. මගඩි අනාවැකි අවකාශයෙන් ඔබ්බට අධ්‍යාත්මික විද්‍යාවක් සේ ජ්‍යෝතිශාශාස්ත්‍රය දකින ප්‍රවනතාවන් සමාජයේ ඉහල  පංතියකට පමණක් සීමා වී තිබෙන වග බොහෝ දෙනා නොදන්නා රහසකි. භගවාන් රාජිනීස් හෙවත් ඕෂෝ වැන්නන්ගේ ආධ්‍යාත්මික සංවිධාන හේතුවෙන් අපර දිග රට වල මේ සැබෑ ප්‍රවනතාව සාමාන්‍ය මිනිසුන් අතරටද ව්‍යාප්ත වූ නමුත් අප රටේ අබයගිරි යුගයේ පවා ඉතා දියුණු තත්ත්වයක තිබූ ජ්‍යෝතිශාශාස්ත්‍රය අද වන විට ඊනියා විශ්මිත අනාවැකි කරුවන්ගේ සහ ඊනියා භෞතිකවාදීන්ගේද, සියලු දර්ශන ඉක්මවා බටහිර විද්‍යාව පමණක් අධිනිශ්චය කරගත්  බුද්ධිවාදීන්ගේද මාධ්‍ය සංදර්ශනයක්  බවට පත් වී හමාරය. මේ තත්ත්වය විය යුත්තක් විනා කණගාටු දායක තත්ත්වයක් ලෙස මේ බලොග් කරු නොදකින බවද සැලකිය යුතුය.
             
            එක් රටක විකිනීම සදහා හාවන් ඇති කළ මිනිසෙකු සිය ගමේ සිටි ළමුන්ට  සිය හාවුන්ට නම් තබන්නට ඉඩදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් නම තැබූ හාවා ඇති දැඩි කිරීමේ වගකීමද ළමුන් විසින් සිය කැමැත්තෙන් බාර ගන්නා ලදී. මේ ක්‍රියාවෙන් නොසෑහෙන ලාබයක් සහ විවේකයක් හාවන් අයිතිකරු ලබා ගත් බව මා කුඩා කළ කියවා ඇති පොතක තිබූ බව මතකයක් තිබේ. නමුත් කිසිම අවස්ථාවක හාවුන් විකිනීමේදී මේ ළමුන්ගෙන් අවසර ගැනීම හෝ ඔවුන්ව දැනුවත් කිරීම වෙළෙන්දා  විසින් කිසි දා සිදු නොකළ  අතර හාවෙකුගේ  ඉල්ලුම මතු වූ වයසින් පසු තවත් හා පැටවුන් දෙදෙනෙකුට නම් තැබිමේ වරම ප්‍රති ලාබ වශයෙන්  ළමුන්ට ලබා දුන්හ. මේ කාරණය  නිසා ඔවුන් බොහෝ  සතුටු වීම වෙලෙන්දාගේද සතුටට හේතු විය. එවිට ළමයකුගේ මතු බලාපොරොත්තුව වූයේ හාවුන් තිදෙනෙකුට නම් තැබීමේ වරමය. හාවන් විකිනීමේ ඉල්ලුම සහ සැපයුම ළමුන් නොදැන සිටි අතර ළමුන්ට දැනී ගියේ හාවා හා සමාගම යුක්ති ගරුක සාධාරණ තමන්ගේම බූදලයක් සේය. මෙහෙයින් හාවා සහ සමාගමේ ළමා ශ්‍රමය පාලනය ළමා ප්‍රජාව විසින්ම ඉබේටම මෙන් සිදු විය. කොටින්ම ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන තත්ත්වයකට පත්විය. හාවා සහ සමාගමේ හිමිකරු තම ව්‍යාපාරයේ හාවන් ඇති දැඩි කිරීමේ ශ්‍රම හමුදාව  පාලනයෙන්ද  නිදහස් වූවේ  තමන් කිසිවක් නොදන්නා  සේය. අන්තර්ජාලයේ තිබෙන නිදහස් සමාජ ජාලාවල ක්‍රියා කාරිත්වය තේරුන් ගැනීමට බ්ලොග් කරුට  නැවත ප්‍රාග් ධනය ගැන කියවන්නට අවශ්‍යතාවයක් ඇති නොවූයේ කුඩා කල මේ කතාව කියවා තිබීම නිසා වන්නට පුළුවන. 
                  රාජ්‍ය වර්ෂ 1913 දී ලංකා ආන්ඩුව මුද්‍රනය කරන ලද ලංකා රොඩී ගැටිස්සියෙකුගේ උඩු කය නිරුවත් නීති ගත ඡයාරූපයක් මුහුණු පොතේ පළ කිරීම හේතුවෙන් දඬුවමක් ලෙස එම ගිණුමේ සියලු ගොණු තැපැල් කිරීමේ  පහසුකම පැය 24 කට අත්හිටු වීම සිදුවූ දිනක බ්ලොග් කරුට  සිහි වූයේද හාවා හා සමාගමේ ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීමේ නියමයයි. රොඩී නමුත් ලංකාවේ ගැටිස්සියක් බැවින් මේ දේ සිදු වූ බව සැබෑවකි.  පියවුරු දුටු විටම සිය මවගේ කිරි පවා අමතක වන පිරිසක් ලෝකයේ තවවමත් ජීවත්වන වග සමාගම් හිමිකරුවෝ නොදන්නවා නොවේ. මෙහෙයින් අන්තර් ජාල සමාජ ජාලා මෘදුකාංග නිපදවන්නන් ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය වන පරිදි මෘදුකාංග නිපදවා තිබේ. මෘදුකාංග ඉංජිනේරුවන්ට සමාජ ජාලා ව්‍යාපාරිකයන් මෙලෙස උපදෙස් දී තිබෙන්නේ මේවා භාවිත කරන තම සුවෙච්චා මාධ්‍ය කරුවන්වද  රසිකයන්ව සහ පාලකයන්වද  ඇඟට නොදැනී කළමණාකරනය  කර ගැනීමටය. එය සමාජ ජාලා නරඹන ප්‍රජාවේම ඉල්ලීමක් විනා මිය ගිය වික්ටෝරියානු රැජිනගේ නියෝගයක් විය නොහැක. පියවුරු පමණක් වුවත් නැරඹිය හැකි වෙබ් අඩවි කප්පරක් තිබියදී බුද්ධිමතුන් අතර සැඟවී සිටින නස්ට කාමයෙන් පෙලෙන්නන්ට කලාවේ නිදහසේ නාමයෙන් හෝ සමාජ සත්කාර කිරීමට සමාජ ජාලා  පවා උපයෝගී  කර ගැනීමේ නොහැකියාව මේ ශත වර්ෂයටද තවමත් වලංගු වන්නේ එසේය. 
             
             තමන්ගේ කියා හාවෙකු මිළදී ගැනීමට ළමයින්ටද හැකියාව ඇත්තා සේ අන්තර් ජාලයේ වෙබ් අවකාශයක් මිලදී ගැනීමට හැකි වූවත් එහි දක්ත ගබඩා වී තිබෙන්නේ අදාළ සමාගමේ  පාලනය යටතේ බැවින් වෙබ් අවකාශයේද මිනිසාට  මිනිසා  වෙනුවෙන්  කළ හැකි මහා දෙයක් නැති බව මේ බ්ලොග් කරු නොදන්නවා නොවේ. මහා සමාජ ව්‍යාපාර ප්‍රචාරක අංශ වල වෙබ් අඩවි පවා තප්පර ගානකින් අතුරුදහන් වන්නේ අන්තර් ජාලයේද අප ඔබන බොත්තමක් බොත්තමක් පාසා දේශපාලනයක් ක්‍රියාත්මක වන නිසා බව බොහෝ දෙනා තවමත් නොදන්නා බව හාවා සහ සමාගමේ ලුම්පන් චණ්ඩියන්ගේ  චංඩි කතා  හරහා අපට වටහා ගත හැක. එසේනම් සැබෑ සමාජ ව්‍යාපාර සිහිනයක් වූ මොහොතක මේ බ්ලොග් කරු ලියන්නේ ඇඟේ අමාරුව විනෝදයක් කරගැනීමට බව ඔබ සිතන්නේනම් එය නිවැරදිය. එහෙත් විනෝදය සැබෑ විනෝදයක් වීමට නම් ඔබද සතුටු කිරීම ලියන්නාගේද සතුට වේ. විශ්මිත අනාවැකි අවකාශයෙන් ඔබ්බට ආධ්‍යාත්මික විද්‍යාවක් ලෙස ජ්‍යෝතිශාශාස්ත්‍රය  නැවත කියවන්නේ එවන් මාර්ගයකින් හැර මේ හරහා සිදුවන රැවටීමෙන් සහ වංචාවෙන් මිනිසුන්ව ගලවා ගැනීමට අන් ක්‍රමයක් නැති වග සැබෑවක් නිසාය. මිත්‍යාවට එරෙහිව කියමින් ගෙන ගිය කෙස් පැලෙන යාන්ත්‍රික භෞතිකවාදී සංවාද වලින් මේ වන විට සිදුවී තිබෙන්නේ සිය ප්‍රතිරූපය බලයක් බවට පත්කරගත් ජනප්‍රිය චරිත බිහිවීම පමණි. එවැන්නෝ වාමාංශික මුහුණුවරකින් ආරම්බ කර දක්ෂිනාංශික තනතුරකින් සිය ගමන නවතා දමා ඇත. අද තරුණයින් සිය ප්‍රතිරූපය පුම්බා ගැනීමට එවන් සංවාද සිතා මතා කරනු ලබන තත්ත්වයකට පත් වී තිබේ. සෑම විද්‍යාවකටම මිත්‍යාවක් තිබෙන අතර සෑම මිත්‍යාවකටම විද්‍යාවක් තිබෙන බව මොවුන් නොදනී. විද්‍යාව විද්‍යාවෙන්ම විචාරය කරන්නට යාමෙන් තමන්ද අතරමං වෙන වග මේ පිරිස නොදන්නවා සේම දැන ගැනීමට අවශ්‍යතාවක්ද තිබිය නොහැක. මන්ද ඔවුන්ගේ අරමුණ විද්‍යාව හෝ මිත්‍යාව නොව තමන්ගේ පුද්ගලික ගමනක ඉලක්කයකි.
            
               අප කොදෙව්වේ අතීතයේ සිට පැවත එන බොහෝ සාම්ප්‍රධායික ක්‍රමවේද ඉතා උසස් මට්ටමක තිබෙන වගට විවාදයක් තිබිය නොහැක. ප්‍රශ්නය වන්නේ ඒ මත නිර්මාණය වී තිබෙන දේශපාලන සහ සංස්කෘතික බලයේ පවතින අසාධාරණ උද්ධච්ච පසුගාමී තත්ත්වයයි. ඊට ප්‍රතිපක්ෂව නැගී සිටි වාමාංශික කොටස් හරහා නිර්මාණය වී තිබෙන වාමාංශික සංස්කෘතියේද ඇති වි තිබෙන බලය සහ නිලධාරීවාදී  සම්ප්‍රධාය බොහෝ අවස්ථාවල ඊටත් හපන්ය. මේ බල සංස්කෘතීන්  ද්‍රවීකරණය වී බටහිර නැගෙනහිර වශයෙන්ද බෙදී  නොනවතින සංවාද අරගලයක නිරතවී සිටී. මේ බල රේකා මත මිනිසුන්ගේ සිතුම් පැතුම් නිර්මාණය වීම නිෂ්පාදනයක් අහිමි රටකට අගක් මුලක් නැති සංවාද රජ වී අංග විකල මාධ්‍ය භාවිතාවක් ඇතිවීම අහඹුවක් නොවන්නේ එබැවිනි. තවත් පසකින් මොවුන් ජනතාව ගෝත්‍රිකයෝ බව කියමින් අපහස කරන්නේ තමන්ද පශ්චාත් ගෝත්‍රයක සමාජිකයන් වග සැබෑවටම නොදන්නා බැවිනි. සමාජ ජාලා පරිහරණය කරන වර්ගවාදයට එරෙහි වන්නන් පවා වම දකුන සහ පෙර දිග අපරදිග වැනි වර්ගීකරන තුළ ගැත්තන් වී ඇති වග දැන ගැනීමට එහි තෝරා ගත් මුල් පිටු නියැදියක් ගෙන පිළිගත් ගණිතයම පරීක්ෂාවක් කිරීම පමණක් ප්‍රමාණවත්ය. මේ තත්ත්වය අද නව ගෝත්‍ර වාදයක් සිහිගන්වයි.  මෙය නව පශ්චාත් ඕපපාතික වර්ග වාදයක් සේ දකින්නටද පුළුවන. මේ නව වර්ග වාදය නුදුරු අනාගතයේදී  සිංහල බෞද්ධ මාක්ස්වාදයක් දක්වා ගමන් කිරීමටද ඉඩ තිබෙන වග පෙනේ. මේ තත්වය යටින් දිවෙන කුල හීන මාන තත්වයන් අති බිහිසුණු තත්ත්වයක් ජාතක කර තිබේ. ගෝලීය කරණය තුළ නව ප්‍රාග්ධන චලිතයෙන් සිදුවී ඇත්තේ කුල වාදය අවසන් වීම නොව ඒවා ප්‍රාග්ධන මායාවක් මත  එක් එක් කුල ප්‍රජාවන් සිහින ලෝකවල  අතරමං කිරීමයි. වගකිවයුතු සමාජ බුද්ධිමතුන්ගේ මේ නව ගෝත්‍ර තත්වයන් සන්හින්දියාව යන අදහසට සම්පුර්ණයෙන් ප්‍රතිපක්ෂය. එවිට අනාගත අනාවැකිය  කුමක්දැයි සියල්ලන්ටම  වඩා හොඳින් අවබෝධ විය යුත්තේ මාක්ස් වාදීන්ටය. එහෙත් මේ මොහොතේ එය එසේ නොවන බව හාවා හා සමාගම නම් ඉතා හොඳින් දන්නවා සේ පෙනේ.

          මෙවන් වර්ගීකරණ කණ්ඩායම් තුළ සාම්ප්‍රධායික චින්තනය වෙනුවෙන් පෙනී සිටින කුලකය විවිධ පැති වලින් බලවත් බව පෙනේ. බටහිර විද්‍යාව, බෞද්ධ දර්ශනය සහ සම්ප්‍රධාය සමග බහුවිද දැනුම ඇති උගත් විද්වතුන් සහ මාක්ස් වාදයද විෂයක් වශයෙන් සහ දේශපාලනිකව හැදෑරූ බොහෝ පිරිසක් (මාක්ස්වාදීන්ගේ වහරින්  බ්‍රෂ්ටයන්) මෙහි ගොණුවී සිටී. එහෙයින් ජාතික මට්ටමේ සංවාද වලදී මොවුන්ගේ ඒ දැනුමට වාමාංශිකයන්ට අලගු තබන්නටවත් නොහැකි වගද සැබෑවකි. එහෙත් වාමාංශික කොටස් මාක්ස්වාදී ශබ්දකෝෂ සහ විශ්ව කෝෂ දැනුමෙන් පොහොසත්ය. නමුත් වාමාංශිකයෝ සාම්ප්‍රධායික සහ ඉතිහාස දැනුමෙන්ද, බෞද්ධ දර්ශනයෙන්ද බොහෝ දිළිඳු බව පෙනේ. මේ තත්ත්වය මත වාමාංශික පිරිස් මෙවැනි වදන් පවා කියවීමට හෝ හැදෑරීමට අකමැත්තක් දක්වයි. මේ තත්වය මත කලාපයේ  අතීත නාමයන් අමතක කර මේ කලාපයේ මිනිසුන්ට දුරස් රට වල අතීත නාම නිදසුන් ලෙස මතු කිරීම මේ වන විට  දාර්ශනික විහිළුවක් බවට පත් වී තිබේ. පොදු මහ ජනතාව අතරද බොහෝ දැන උගත් මිනිසුන් කතා බහේදී වාමාංශික තර්ක විතර්ක පිලිගන්නා බව සැබෑවකි. එහෙත් මැතිවරන අවසානයේදී වාමාංශිකයින් අන්ත පරාජයන් ලබයි. විකල්ප ලෙස බිහි වූ නූතන වාමාංශික කුලක වලද තත්ත්වයද තවමත් එසේමය. එහෙත් සිය කුලකයෙන්  ඉවත්ව මැතිවරණ සඳහා  මුහුණ දෙන පිරිස වාර්ථා ගත වැඩි චන්ද ලබා ගැනීම කිසිවෙකු හදාරන්නේ නැත. සරල කාරනා හරහා දාර්ශනික මඩ ගැසීම නම් සම්ප්‍රධායක් බවට පත් වී තිබේ.  
               තමා විසින්  තෝරා ගත් තම ගෝත්‍රයට අයත් ලිපි පමණක් කියවන සහ ඒවාට පමණක් සිය කැමැත්ත සලකුණු කරන ගෝත්‍රවාදී පාටකයන් බොහෝ සිටින වග දැන දැනත් සමාජ අරමුණු වෙනුවෙන් ලියන ලේඛක පිරිසට තිබෙන්නේ දෙවියන්ගේ පිහිට පමණක් බව සිතෙන්නේ ඒ නිසාය. එහෙයින් මේ බ්ලොග් කරු මේවා ලියන්නේ මුලින් සඳහන් කළ ආකාරයටම  ඇඟේ අමාරුව සුව වීමට සහ විනෝදය සඳහාය. මේ ලියන මා රස බ්ලොග් තීරුවද අවිද්‍යාත්මක සාස්තර වැඩක් කියා සමහර විට සමහරුන් මග හැරීමට ඉඩ ඇති වග බ්ලොග් කරු නොදන්නවා නොවේ. එහෙත් විද්‍යාත්මක ලෙස ඔවුන් නිදසුනට ගන්නා රට වල ග්‍රහයන් පතෝල කර මෘදුකාංග නිපදවන ප්‍රවනතාවක් පවතින බවද  ඔවුන් නොදන්නවා නොවේ. නොදන්නවා සේ සිටිනවා වෙන්නටද පුළුවන. අද ජංගි කොට ගසා සිටින පරපුරට විශ්මිත අනාවැකි බලයක් වූ විට සැබෑ ආධ්‍යාත්මික විද්‍යාවක  අඩුව කවුරු කවුරුත් වටහා ගනු නියතය. එහෙත් ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් අවසානය. එහෙයින් මේ බ්ලොග් කරු  මේ තත්වය තේරුන් ගත් සමාජ ව්‍යාපාරයක සිහිනය සිහිනයක් පමණක් බව නොදන්නවා නොවේ. මේ මොහොතේ ආධ්‍යාත්මික විද්‍යාවක් නගා සිටුවීමට හැකිවන්නේ මේ තත්වය අවබෝධ කරගත් ප්‍රාග්ධන හිමියන්ට පමණි. එතෙක් විශ්මිත අනාවැකි කරුවන් පාළුගෙවල්හි වළන් බිඳීම නිදහසේ කරගෙන යනු ඇත. එයට විරෝධය පාමින් තවත් කොටසක් මිලක් සඳහා තම ප්‍රතිරූපය ජන ගත කරගනු ඇත. විවිධ ආකාර ගෝත්‍ර අරමුණු වලින්  නිදහස් වී අලුත් පරපුරේ කොල්න්ගේ සහ කෙල්ලන්ගේ විනෝදය බවට මේ ලියන දේවල් පත් වන්නේ කවදාද එදිනට ලියන්නන් ගේ විනෝදය පිටාර ගලනු ඇත. එවිට රට ගැන කුමන කතාදැයි සිතේ. එහෙත් එය සැබෑවක් විය හැකිද යන්නට අනාවැකි කීමට තරම් සාධක තවම මතු කරගත නොහැක. කොටින්ම පෙනෙන තෙක් මාණයේ හෙවනැල්ලක්වත් නැත. පුදුමාකාර ගූඩ බලාපොරොත්තු වලින් නම් මිසුන්ගේ සිත් පිරී ඇත.  
         
               මෙම අතිරේකයේ වීඩීයෝ කොටස් නිර්මාණය කර තිබෙන්නේ ඇසුම්, දැකුම්, රුකුල් යන ත්‍රිමාණය අද මාධ්‍ය භාවිතාවේ විනෝදය වී ඇති නිසාය. කාලය විනිවිදීමට නම් ඔබ දිනදර්ශන පැටිගිරිය සම්බන්ධවද අනිවාර්යෙන් සොයා බැලිය යුතුය. එහෙත් දින දර්ශන පැටිගිරිය විනිවීදීමට ජ්‍යෝතිශාශාස්ත්‍රයේ සාමාන්‍ය දැනුම අනිවාර්ය වේ. කාල් ජුන්ග්ලා ඕෂෝලා වැනි විද්වතුන් පවා ජ්‍යෝතිශාශාස්ත්‍රය පිළිබද දේවල් සොයා බැලුවේ එක් පැත්තකින් ඒ හේතුවත් මිනිස් ජීවිතයේ ප්‍රධාන සාධකයක් වීම නිසා බව පෙනේ. බුදුන් වහන්සේ ගිහියන්ට නොව බික්ෂූන්ට නක්ෂත්‍රය මග හැරියේ උන්වහන්සේගේ නිවන් අරමුනට ඒ දේවල් කිසිසේත්ම අදාල නොවන නිසාය. එමෙන්ම ඒ කාලයේ ජ්‍යෝතිශාශාස්ත්‍රය හින්දූන්ගේ දේශපාලන ආගමික බලයක් ලෙස ක්‍රියාත්මක වූ බැවින් උන්වහන්සේගේ දහමට නක්ෂත්‍රය ප්‍රතිගාමී තත්ත්වයක තිබූ නිසාය. එහෙත් බුදුන් වහන්සේගේ තෙමඟුලම සිදුවූයේ චන්ද්‍රයා මුල්කරගෙන බව නක්කත්ත සූත්‍රය උපුටමින් මිනිසාගේ ජීවන සාම්ප්‍රධායට විචාරයකින් තොරව කැලෑ පත්තර ගසන්නන් දැන ගත යුතුය.

            මෙහි සදහන් පැටිගිරිය වචනය අපර දිගින් නයට ගත් වචනයක්ම නොවන නමුත් අපරදිග වැසියන්ගේ පැටිගිරිය සොයන්නට තිබෙන කැමැත්ත පෙරදිග දේවල් අපරදිග වැසියන් මෙන්  වහරන අප  වමේය කියා ගන්නා  මිනිසුන්ට  නැත්තේ ඇයි දැයි සොයා බැලීමටද කාලය පැමිණ තිබේ.

ජගත් මාරසිංහ

2016 අප්‍රියල් 21 


Powered by Blogger.