මහිලාවන් අවධි කිරීම

                                                                  මහිලාවන් අවධි කිරීම

මහිලාවන් අවධි කිරීම

                        අසූව දශකය ආරම්බයේදී සමීප කළණ මිතුරෙකු ලෙස ඇසුර පටන්ගත් සර්පයා හෙවත් කේ කේ සමන් කුමාරගේ “මහිලා වංශය“ නැමැති හය ඈඳුතු නවකතාව 2016 සැප්තැම්බර් අට වෙනිදා පොත්සන් කිරීමට නියමිත බව දැනගත් විට මා ප්‍රීතියෙන් පිනා යාමට හේතු කාරනා බොහෝ තිබේ. කංකානම් කපුගේ සමන් කුමාර නැමැති ඔහු කේ. කේ සමන් කුමාර නමින් පොත් පත් ලීවාට අප අයත් පරපුරේ ඔහුගේ ආදර නාමය නම් සර්පයා විය. අද වන විට සර්පයා හෙවත් කේ. කේ සමන් කුමාර පිළිඹඳ තොරතුරු සාහිත්‍යය කලාවට ආදරය කරන බොහෝ පාටකයෝ දනිති. එහෙයින් මේ සටහන කේ කේ සමන් කුමාර නම් ඔහු පිළිඹද එක මතකයකට පමනක් සීමා කිරීම ගැටලුවක් විය නොහැක. මන්ද ඔහු පිළිඹඳ මතක සටහන් ලිවීමට පැයක් හමාරක්
වැය කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැති නිසාය. තවද අප අයත් පරපුරේ මිතුරන් කොතරම් සමීප මිත්‍රයන් වුවද සාහිත්‍ය සහ දේශපාලන මතවාද වලදී කිසිදා මිත්‍රත්වය අදාල කරගන්නේ නැත. කොටින්ම කිසිවෙකුට හේතු කාරනා නොමැතිව  තවකෙක්  කළ හොඳක් හෝ කියන්නට පවා සිතන්නටවත්  නොහැක. එය මා අයත් අප  පරපුරේ  නොවෙනස් ගුණයක් සේ දැකිමටද පුළුවන. මා මේ ලියන්නේ මතක සටහනක් විනා සමන්ගේ   නිර්මාණ සඳහා විචාරයක් නොවන වග මුලින්ම සඳහන් කර සිටින්නේ ඒ නිසාය.

                        ව්‍යාහාරික වර්ෂ 2000 මැයි 26 දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී කේ කේ සමන් කුමාර විසින් රචිත ග්‍රන්ථ පහක් දොරට වැඩීමේ උලෙල වෙනුවෙන් මා විසින්ද අපෝහක භෞතික වාදය හා යාන්ත්‍රික භෞතිකවාදය පටලවා ගත් පිරිසකගෙන් ඇනුම් පද අසමින් “ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහ චාරය “ නැමති පොත් පිංචක් ලියා පළ කරන ලදී. එකල සමහර දාර්ශනිකයන් සහ විශ්ව සාහිත්‍ය කරුවන්ට උපන් වේලාවක් හෝ ලග්නයක් ඇති බව හෝ තවත් විවිධ ආකාරයට ඔවුන්ව විශ්ලේශනය කිරීමට මිනිසුන් කොට්ටාසයක් ලොකයේ වෙසෙන වග බොහෝ දෙනා දැන සිටියේ නැත. එකල පමණක් නොව අද පවා බොහෝ දෙනෙකු ග්‍රහචාරය යනු කපටි තක්කඩියන්ගේ මගඩි වැඩක් පමණක් බව පිළිගැනීමටද සාධාරණ හේතු කාරනා බොහෝ තිබේ. නමුත් ග්‍රහ ක්‍රම වේදය යම් ආකාරයක කලාපයකට අනුව විදිමත් සීතිමේ ක්‍රමයක් බවත් ඒ සඳහා තමන් පිළිගන්නා මතවාදයක් භාවිතා කළහැකි බවත් මා පවසන කළ අප ඇසුරු කළ වැඩිහිටි සාහිත්‍ය සහ වාම දේශපාලනය දත් විද්වතුන්ගේ කුලකයේ එවන් කාරනා ගැන අවබෝධයක් තිබුනේ සයිමන් නවගත්තේගමට සහ සුගතපාලද සිල්වා නම් නිර්මාණ කරුවන්ට පමණි. මෙවන් වකවානුවක එකල නව සාහිත්‍යය කරුවෙකු වූ  කේ.කේ  සමන් කුමාර ඔහු පිළිඹඳ ග්‍රහ චාරය හරහා පොත් පිංචක් ඵල කිරීමට අවසර දීම සැබෑවටම ඒ කාලයේ පමණක් නොව අද පවා සම්මතයක් නොව අසම්මත ක්‍රියාවකි. ජ්‍යෝතිෂයේ එවැනි බොහෝ සිතීම් සැබෑවටම අනාවැකි නොව මග හැරී ගිය සිතීමේ කළාවකි. එවන් සංකල්පයෝ නව මතවාද ඔස්සේ පහසුවෙන් විශ්ලේෂණයට බඳුන් කළ හැක. මීට වසර දාසයකට පෙර එම ග්‍රන්තයේ කේ කේ සමන්කුමාර ගැන අදට වැදගත් වන  අදහසක් 30 වන පිටුවේ ගොනුකර තිබීම මේ සඳහා කදිම උදාහරණයකි.


                “ස්ත්‍රී පක්ෂපාතිකයා, ස්ත්‍රී වාදියා යනු දෙදෙනෙකි. ස්ත්‍රී පක්ෂපාතිකයා සහ ස්ත්‍රීවාදියාගේ පරතරය අති මහත් වන්නේය. එහෙත් සමන්ගේ කෘති තුළ සමහර විටක ස්ත්‍රීත්වය විවරණය වෙද්දී මේ රචකයා ස්ත්‍රීවාදියෙකුටත් වඩා ස්ත්‍රීපක්ෂපාතිකයෙකු දැයි සැක මතුවන්නේය. එහෙත් ඉන් තව සෙතක්ද සිදු වී තිබෙයි. ළදරු වලිප්පුව ඉස්මතු වීමෙන් රතු හැට්ට ඇඳගත්, බෝම්බ අතින් ගත්, පුහු ලොකුකම් කියන බලහත්කාරයෙන් ගොඩ නගනලද ස්ත්‍රී චරිත සමන්ගේ කෘති තුළ දකින්නට නොලැබේ. ජීවිතයෙන්ම මතුව එන ස්ත්‍රියක් සමන්ගේ කෘති තුළින් මතුව එයි. එකම ස්ත්‍රිය තුළින් කුඩා සිඟිත්තිය, දැරිවිය, දඟකාරිය, ප්‍රේමිය, වේසිය, මාතාව, දියකිඳුරියන්, සමනලුන්, ගෝල්ඩ්පිසයන් වේශයෙන් සුරතලුන්ද යොදවා සමන් අපට ස්ත්‍රිය වින්දනය කරවයි. කෙසේ වුවත් සමන්ගේ පරිනත නිමේෂයන්ට වයස සම්බන්ධ වන විට ස්ත්‍රීත්වය තුළින් හැමටම ආදරය කළ හැකි පූර්වාදර්ශ ස්ත්‍රියක් සමග ස්ත්‍රී සහිත්‍යයක් සඳහා නව ක්‍රමවෙදයක් මතුවිය හැකැයි පෙනී යාම සෙතක්ම වන්නේය.“

ස්ත්‍රිය ලිංගිකත්වය ග්‍රහචාරය.
(කේ කේ සමන් කුමාරගේ නිර්මාණ වෙත කවුළුවක්)

                     කෙසේ හෝ සමන්ගේ නූතන නිර්මාන මහන්සියේ අතුරු පලයක් ලෙස   ඔහුගේ  සාහිත්‍ය භාවිතාවට නව ක්‍රමවේදයක් ඔහු තුළින්ම මතු වී තිබෙණ බව අද අපට අනුමාන කළ හැක. කොටින්ම සමන් කුමාර නැමති නිර්මාණ කරුවා සිය පරිනත වයසේදී මහිලා වංශය යන හය ඈඳුතු නවකතාවක පළමු පොත ලියා හමාර කර තිබේ. නක්ෂත්‍රෙයන් පමණක් නොව මේ ආකාරයට වෙනත් ක්‍රම වේද හරහාද බොහෝ දේ විමසාගත හැකි බව සැබෑවකි.එහෙත් නක්ෂත්‍ර ක්‍රමවේදයේ කාලය සම්බන්ධ ගැඹුරු කියවීම් මනාලෙස ගොඩනගා තිබේ. තවකෙකුට සමන් කුමාර තම ඉලක්කයට පැමිණි ආකාරය ඉතා සරළ ගමනක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් සමන්ට සිදුවූ දේවල් දන්නේ ඇසුරු කළ අපය. කොතරම් අසීරු අඩියට පත්වූවත් ඔහු සිය පන්හිඳ මොහොතකටවත් අතහැරියේ නැත. අනවශ්‍ය දේශපාලනික මෝඩ කතා කියමින් තම වාසිය තකා ප්‍රසිද්ධ වේදිකාවල මිනිසුන්ව අන්ඳනවාද මා දැක නැත. එහෙත් දාසය වසරකට පෙර ආසන්න කාලයක  ස්ත්‍රීත්වයේ දිශාව වෙනස්  වෙමින් පවතින බව අප දුටු මුත් එදා දේශපාලනය විසින් ඒවා නොදැක්කා සේ සිටීමට අපට බලපෑම් කර තිබිණි. කාලය ගෙවී ගිය සඳ, අද වන විට බොහෝ ස්ත්‍රි ආත්ම තමා පය ගසා සිටි පෘථිවියද අතහැර අහස් ගත වී හමාරය. තව නොබෝ දිනකින් අනාවැකි විකුණන්නෝ ස්ත්‍රිය දෙස බලා අහසේ තිබෙණ ග්‍රහයන්ගේ පලාපල පවසන්නට පුළුවන. මේ මාගම්සෝලිය සමන් කුමාර විසින් මහිලා වංශයේ නිර්මාණ භාවිතාව තුළ  කෙසේ ගොඩ නගා තිබෙනවාදැයි අපි තවමත් නොදනිමු. හයවන වෙළුමේ අවසාන පිටුව බැලීමට අප අශාවෙන් බලා සිටින වගද ඔහු හට දැණුම්දීම අප යුතුකමක් වේ. මක්නිසාද කංකානම් කපුගේ සමන් කුමාර නැමැති නිර්මාණ කරුවාට එදා මෙන් දිය කිඳුරියන් සමග අශ්වයන් යහන් ගත කිරීමට දැන් නොහැක. නිහඬව සිටියාට ස්ත්‍රීන් බොහෝ දෙනෙක් දැන් නිදිවදින්නට හිතන්නේ සිතන මනසක් ඇති මිනිසුන් සමගද නැතිනම් පාරිබෝගික වෙළඳ භාන්ඩ සමගදැයි මිනිසුන්ට සැකයක් මතු වී ඇති බැවිනි. කවුරුන් කෙසේ මතවාදීව ගොඩ නැංවීම් කළද මහ පොළවේ ඉලක්ක මධ්‍ය ලක්ෂ්‍යයට පෘථිවියත් සමග වටයක් කරකැවීමට හැකියාවක් තිබිය නොහැක. එහි සැබෑවනම් එසේ කරකැවෙන්නට එවන් මධ්‍ය ලක්ෂ්‍යයක් නොමැති කමය. එය මිනිසාට සත්‍යක් සේ අවබෝධ කරගත නොහැක්කේ එසේ තේරුම් ගත් විට සියළු ගොඩ නැංවීම් තමන්ගේ හිස මතට කඩා වැටීම අනිවාර්යක් නිසාය. මහිලාවන් කිසිදා අවධි වන්නේ නැත. අවධි කළ යුතු බවනම් සැබෑවක් සේ පෙනේ.

ජගත් මාරසිංහ
2016 සැප්තැම්බර් 09


1 comments:

මට ඇති දුක නම් ග්‍රහයන්ගේ ඇති බල්පෑම ප්‍රශ්න කරන මහා භෞතිකවාදියෝ දළඳාව වඳින්න යන එක.


Powered by Blogger.