සඳ මඬලේ විප්ලවය.

         
                                           සඳ මඬලේ විප්ලවය.



                                                                                                                       මාරස කවරයේ කතාව
ඉරට ඔබිය ඉර මුදුනේ              සිටියා
සඳට ඔබිය සඳ වට කර තරු     සිටියා
ලියට ඔබිය සුදු සේලේ          නෙරියා
අපට ඔබිය සබ මැද ලී           කෙලියා
                              (ලී කෙලි)
        ඈත ඈත කාලයේ ඉතිරියෝ චන්ද්‍රයාට තමාගේ ඇති සම්බනධය ඉතා හොඳින් දැන සිටියහ. තමාගේ මාස් මාරුව පමණක් නොව දරුවකු පිළිසිඳ ගැනීමේ සිට කුසෙක් හෑල්ලු කිරිම දක්වා වූ ස්වභාවයේ කාල සටහන මුලුමන්න්ම චන්ද්‍රයා සමග සමගාමීව චලිත වන වගද ඇය දැන සිටියාය. චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයෙකු ලෙස නම් කරන ලද්දේ ඉතිහාසයක් පුරා ඉතිරියන් විසින් තම ශරීරයෙන්ම විඳ ගත් අනේක විද ස්වභාවික අරගල මුල්කොට ගෙනය. චන්ද්‍රයාගේ ගමනත් සමග මිනිස් සිතේ ස්වභාවයද වරින් වර වෙනස් වන වග ඇය දැනගත්තාය. චන්ද්‍රයාව සිතට අධිපති බවට පත් කරන ලද්දේද ඉතිරියෝම වන්නෝය. ප්‍රාතමික සමාජයේ සිරිත් විරිත් ලස්සන සහ සාධාරන වීමට හේතුවක් වන්නට ඇත්තේද චන්ද්‍ර මූලික ක්‍රමය අනුදැන සිතීමේ වැඩි දායකත්වයක් තිබි නිසා බවද පැහැදිලි කරගත හැක. සිකුරාවද ඉතිරියක් සේ සලකනු ලැබූවත් ස්ත්‍රීත්වයේ හර පද්ධතිය මිනිසුන් විසින් චන්ද්‍රයාට තබා සොයා බලා ඇති බව පෙනේ.


   පුරුෂයා ඉතිරියව යටපත් කර බලය ලබා තමාගේ සංකේතීය ග්‍රහයා සූර්යා කරගැනීම වනාහී ජ්‍යෝතිශ්ශාස්ත්‍රිය දැණුම සම්බන්ධ ඉතිහාසයකටත් වඩා දේශපාලන ඉතිහාසයකි. චන්ද්‍ර වංශිකයන්ගෙන් සොරා ගත් කාලයේ ප්‍රධාන මිනුම් දඬු වූ චන්ද්‍ර මූලික ක්‍රමවේද  සූර්ය මූලික ක්‍රමවේද බවට පත් කරගත්තේ  පුරුෂයෝය. පිරිමින්ගේ බලයට බලයක් වූ තාක්ෂණය හරහා සූර්යාගේ ගමන උපකරණයක් කර අත් ඔරලෝසුවක් සේ අතේ බැඳගත් යුගයට පසු යුගයේ පවා චන්ද්‍ර කාලයට අනුව ස්වභාවය චලිත වීම මිනිසාට සංවේදී විය. ස්වභාවය මූලික වුවද  සූර්යාගේ සහ චන්ද්‍රයාගේ කතාන්දරයේද  අගමුල ලියන්නට දේශ පාලන සිතීමක අවශ්‍යතාවය ප්‍රථමක සාධකයම වී තිබේ. සූර්යා සහ චන්ද්‍රයා සමග පරිවාර ග්‍රහ තරු දේශපාලනයට සම්බන්ධ වන්නේ සූර්ය කාලයේ චන්ඩියන්ගේ මිත්‍යාමතික අවජාතක සිතීමක් හරහා නොවන වග පැහැදිලි කර ගැනීමට යාන්ත්‍රික වාදීන්ට කිසිදා නොහැකි බව පෙනේ. පුරුෂ මූලික සූර්යා මුල්කරගත් පුරුෂයෝ සූර්යා මුල්කොට දේශපාලකයන් වෙනුවෙන් මිනිසුන්ගේ හතුරන් බවට පත් වූවත් අහිංසක චන්ද්‍ර මූලික ක්‍රමවේදය තවමත් මව් කුස අබියස  නිහඬ හැදෑරීමක් කරමින් සැබෑ අනාවැකි සොයනවා සේ පෙනේ. චන්ද්‍රයා වනාහී කලාත්මක ස්වභාවික සංවේදනාවේ භාව ප්‍රකාශනයයි.  ගැඹුරින් සලකන විට එය සත්‍යයක් නොව සැබෑවකි. සූර්යාගේ සිරිත වන්නේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම වූවත් එයටම සමගාමී බොහෝ පුරුෂයෝ එසේ කිරීමට හේතුව හෝ නොදන්නා බව පෙනේ. විද්‍යුත් මාධ්‍ය සංවාද හරහාද එලි පහලියට එන්නේ බොහෝවිට බුද්ධිය ඉක්මවා ගිය පුරුෂ ප්‍රතිරූපයන්ගේ චන්ඩිකම් බව පැහැදිලිවම දැක ගත හැක. එහෙත් බොහෝ විට අනිකාට මේ අය පොරයට ආරාධනා කරන්නේ හේතු පල වාදය ගැන තමන්ගේ බහුශ්‍රැත දැනුම ප්‍රදර්ශනය කරමිණි. කතාව නම් හේතු- පල වාදය ගැනය. එහෙත් ඔවුන්ගේ හේතුපල වාදය දාර්ශනික සිතීමක නොව යාන්ත්‍රික සිතීමක සිරගත වී තිබේ. සිය අහවල් එකේ බලය තමාට නැතැයි යන හීනමානයෙන් අමුතුම බලයක් තමා හට ඇති බව මවා පෙන්වීමට මෙන් ඔවුහු නිතරම අනෙකාව සටනට කැඳවති. ඉතිරියන් ඉදිරියේ වීරයෙක් වීමේ අචේතනික ඓතිහාසික මානසික ඉතිරි බිතිරි මුල් වී මෙවැනි දේ වැඩි වශයෙන් සිදුවන වග මොවුන් නොදන්නා බව පෙනේ. 

රුසියානු විද්‍යාඥයෙකු වූ චිවිස්කිගේ සොයාගැනීමක් වූයේ වසර එකොළකට වරක් සූර්යා මත න්‍යෂ්ටික පිපිරීම් සිදුවන රටාවක් ඇතිබවය. සූර්යා මත න්‍යෂ්ටික පිපිරීම් සිදුවන සෑම අවස්තාවකම පෘථිවි වාසීන් නොසන්සුන් වීම සහ යුධ කෝලහල සහ කැළඹිලි, විප්ලව සිදුවන වග ඔහු සොයාගත්තේය. මේ සොයාගැනීම යටපත් කරන ලද්දේ ස්ටාලින් විසින් ඔහුව සයිබීරියාවට පිටුවහල් කිරීමෙන් බවද සිහිපත් කළ යුතුය. පිරිමි දේශපාලනයේ හෙවත් සූර්ය සිතීමක නිරුවත ප්‍රදර්ශනය වන මෙවැනි බොහෝ කාරනා ඉතිහාසය තුල සඟවා ඇති වග පෙනේ.

  ගැහැනුන් ඉදිරිපිට පිරිමින් වීරයන් වීමේ ස්වභාවය ගැන සොයා බැලීමේදී චන්ද්‍රයා පරාජය කිරීමට පටන් ගත් කාලයේම පුරුෂ නිරුවත ඉතිහාස ගත වී ඇති බව පොරකෑමට කැමැත්තෝ නොදන්නා වග පෙනේ. කෙසේ නමුත් ජ්‍යෝතිෂයේ සැබෑ කතාන්දරය ලියා තැබීමට කාලය පැමිණ තිබෙන වග යාන්ත්‍රික පුරුෂයෝ කුලකයක් අනියමින් ඉල්ලා සිටින වගද සැබෑවකි. කාගේ හිත් අමනාප වූවත් කියන්නට ඇති දේ කෙලින් කියන්නේ ගැහැනු යැයි කතාවක් තිබේ.  චන්ද්‍ර මූලිකව සිතන පතන කාගෙ කාගෙත් කට හොඳනැති වග මේ කිසිවෙක් නොදැන සිටිය නොහැක. චන්ද්‍රයාගේ අයිතිය වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින මාරස අතිරේකයද චන්ද්‍රයාට තරමක් හෝ අවනතය. චන්ද්‍රයාට අවනත වීම යනු හිරුවාරදයෙන් මනස අවුල් කරගත් පුරුෂයන් මෙන් දඟලන ඉතිරියන්ට කොන්දේසි විරහිතව පක්ෂපාතී වීමනම් නොවන වග ඉතිරියන්ද දැනගත යුතුය. ස්ත්‍රීවාදය සහ ස්ත්‍රී පක්ෂපාතී බව පටලවා නොගත් මිනිස් ප්‍රජාවක් තවමත් ජීවමාන බව සංවාද හිතැත්තෝද දැන ගත යුතුව තිබේ. එසේ වුවද මේ මොහොතේ ඉතිරියන්ගේ පුරුෂ වෙස් මුහුන ඉතිරියන්ට පමණක් නොව පුරුෂයන්ටද මහා කරදරයක් වී තිබේ. ඉතිරියන්ගේ විකට පුරුෂ වෙස් මුහුණ චන්ද්‍රයාගේ නාමයෙන් ගලවා දැමීම අප විසින් සිදු කළ යුත්තක් නොවන වගද පෙනේ. මක්නිසාද එහි අයිතියද අද මාධ්‍ය සමාගම් විසින් සින්නක්කරවම මිල දී ගෙන ඇති වග පෙනී යන නිසාය.  කවුරුන් කෙසේ කීවද ජ්‍යොතිශ්ශාස්ත්‍රයේද සැබෑ අයිතිය ඉතිරියන්ගේ බව අවසාන වශයෙන් පැවසිය යුතුව තිබේ. චන්ද්‍රයා කවියන්ගේ හුරතලිය වූ යුගය අවසන් වී ඇති වග කවියන්ද දැනගත යුතු අතර විශ්වයේ කාලයට අනුව සළකන විට සූර්යාද දැන් මහලු වීමට පටන්ගෙන ඇති වගද ඊට සමගාමීව චන්ද්‍රයාද මහලු වෙමින් ඇති බවද අප දැනගත යුතුය. නමුත් ග්‍රහ තාරකාවන් කාලය ගැන නොදනී. ග්‍රහයන් දෙස බලා කාලය ගැන සංකල්ප ගොඩනගාගෙන ඇත්තේ මිනිසුන් විසින් බව සංසාරය ගැන විශ්වාසය තබන  නොතබන අති පණ්ඩිතයන්  විශේෂයෙන්ම දැන ගත යුතුය.


   පවතින තත්වයන් යටතේ පැවැත්මත් සමග ජීවත් වන්නන්ට මේ කිසිවක් තරම් නොවන වග පෙනේ. පැවත්මත් සමග පවතින මිනිසුන් අති සරලය. ආදරය කළ හැක්කේ සරල මිනිසුන්ට පමණි. ආදරය ලැබිය හැක්කේද සරල මිනිසුන්ට පමණි. සිද්ධාර්තලා මාක්ස්ලා සරල මිනිසුන් වූ නිසා දෘෂ්ටිවාද පසකලා ඔවුනට සතුරන්ට පවා ආදරය කළ හැකි බව පෙනේ. එහෙත් පණ්ඩිතයන් වීමට  සිතාදෝ සිද්ධාර්තලා සහ මාක්ස්ලා ගැන විමසන බොහෝ දෙනෙකුට ආදරය අහිමි බව පෙනේ. චන්ද්‍රයා වනාහී ආදරයේද සංකේතයයි. නිලියන් පුරඟනන් සිකුරා වටා රොද බදින කල චන්ද්‍රයා වටා රොද බැඳීමට මේ මොහොතේ ඉතිරියන්ගේ අකමැත්තක් ඇති බව පෙනේ. මහා පරිභෝජන වෙළද රටාවක අතරමං වී ඇති ඉතිරියන් සූර්ය කේන්ද්‍රීය සිතීමේ ක්‍රමවේදය තුළම හිරගත වූවා සේය. චන්ද්‍රයා වටා රොද බඳින්නට හැකියාව ඇත්තේ පුරුෂ සූර්ය ක්‍රේන්ද්‍රීය පුරුෂ මූලික දෘෂ්ටිවාදයන්ගෙන් දූෂිත වූ ඉතිරියන්ට විය නොහැක. දෙනෝදහක් සෙනග සමග අපි ඔක්කොම එකට බුදු වීමට පතන්නෝ ඉතිරියන් සියල්ලෝම යසෝධරාවන් විය යුතු බව අනියමින් පතනා වග  නොදන්නවා සේ පෙනේ. සූර්ය මූලිකයන්ගේ වදන් වලින් ප්‍රකාශයට පත්වන්නේ සිය පරාජිත බවේ වේදනාවන් පමණි. බොහෝ විට පණ්ඩිතයන් සේ පෙනී සිටින්නාවූ ඇතැම් සමාජ ක්‍රියාකාරීන්ගේ වචන අතර ඇති හිස්තැන් වලින් පොලා පනින්නේ ස්වකීය සූර්ය දෘෂ්ටිවාදයේ ඓතිහාසික පරාජයේ විලාපයයි. මේ වන විටත් සමාජයේ පවතින උස් පහත් තත්ත්වයන් යම් ආකාරයකින් පරාජය කළද,  මිනිසා සහ ස්වභාවයා අතර පවතින නිරන්තර අරගලය අවසාන නොවන බව සැබෑවකි. කිසිදු බලවන්තයෙකුට මින් ගැලවිය නොහැක.
ආධ්‍යාත්මික විද්‍යාවක අවශ්‍යය තාවය මතුවන්නේ ස්වභාවයාගේ අරගලයෙන් පැන යාමට නම් නොවන වගද සැබෑවකි. එකඟ වීමට නොවන වගද කවුරු කවුරුත් දැනගත යුතුය. කොටින්ම අධ්‍යාත්මික විද්‍යාවේ පිම්මක් අවශ්‍ය වන්නේ සූර්ය වාදීන් මෙන් පොරකෑම පසක තබා චන්ද්‍ර වාදීන් මෙන් විදිමත් අයුරින් ස්වභාවයා සමග මිනිසාගේ පැවැත්ම තීරණය කිරීමටය. විප්ලවයක පැතුම වන්නේද එයම වේ. 
   ඉතිරිය සහ පුරුෂයා දෙදෙනෙකු වන්නේ නිතර නිතර පොරකෑමට කැමති පුරුෂ වාදීන්ටය. රමනය පතා නිතර නිතර පොරකෑමේ ගතිය තිරිසන් ගතියකින් ඉතිරි වූ මනුෂ්‍යත්වයට අනවශ්‍යය ස්වභාවයකි. සූර්යා සහ චන්ද්‍රයා එකම පද්ධතියක ක්‍රියාකාරිත්වයකි. ස්ත්‍රිය සහ පුරුෂයාගේ ස්වභාවයේ අරුතද ආධ්‍යාත්මික ඇසකින් දැකීමේ යථාව ඒ මතම ස්ථාන ගත වන වග පෙනේ. එහෙත් පෘථිවි වාසී මිනිසාගේ හිස සූර්යා වූවාට හදවත වන්නේ සොමි සඳය. ඇගේ සංකේතීය බලය චන්ද්‍රයා මත තබා විග්‍රහ කර ගත්තාට ඇගේ ආශාවේ බලය මේ මොහොතේ කොන්දේසි විරහිතව ගනු දෙනු කරනු ලබන්නේ පෙනුමෙන් ශාන්ත වූ පැවැත්මෙන් දුර්දාන්ත ගෝලීය වෙළෙන්දන්ගේ සැනකෙලියක් බඳු සල්පිලක් සමගය. එහෙයින් සියලුම ග්‍රහයන් භ්‍රමණය වන්නේ ස්ත්‍රී මූලික චන්ද්‍රයා වටා ලෙස ගොඩ නගා ඇති අැති පැරණි සම්මුති නියාමයන්  නැවත මේ පසු නූතන මොහොතටද යථාවක් වී තිබේ.  පුරුෂ මූලික ග්‍රහ සිද්ධාන්ත යටතේ ලෝකයේ කිසිවක් අද දවසේ දශමක් හෝ අවබෝධ කොට ගත නොහැකි බව පෙනේ. ලප නොමවන් සඳ සේ සොමි ගුණ සෙවීමට චන්ද්‍ර කේන්ද්‍රීය ගණිත රටා පමණක් නොව චන්ද්‍ර මූලීක සීතීමේ ස්වභාවයද ස්වභාවයාගේම ප්‍රතිබිම්බයක් වී තිබෙන්නේ අද ඊයේ නොවන වගද වටහා ගැනීම කාලෝචිතය.

   චන්ද්‍ර සූර්යාගේ උත්පත්තිය හෝ පැවැත්ම සහ මරණය අදාල වන්නේ සූරිය මූලික පුරුෂ වාදයකින් ලෝකය දැකීමටය. චන්ද්‍ර කේන්ද්‍රීය ස්ත්‍රී චිත්තය පවතින්නේ චන්ද්‍ර සූර්යා සමග මිනිසාගේ පැවැත්මේ සැබෑ ආකාරය සෙවීමට සහ වීඳීමටත් බව පෙනේ. මේ මොහොතේ පවතින අසාධාරණ ක්‍රමයන්ට එරෙහිව සැබෑ අරගලය පවතින්නේද එතනය. නමෝතේ බුද්ධ වීරත්ථූ යනුවෙන් රාහු අසුරයා පවා බුදුන්ට ආයාචනා කරන්නා සේ පද බැඳ ඇත්තේ අහඹුවකින් නොවන වග පෙනේ. බුදුනුවන්වද  අමා මහ මෑනී ලෙස නම් කර ඇත්තේ මව් පදවිය ඉක්මවා ගිය විශ්වීය පැවැත්මේ විශේෂිත ආධ්‍යාත්මික දැක්මකින් වග වටහා ගැනීම කාලෝචිත වන්නේ එබැවිනි.

යන්ට බැරි දේට වෑයම කමක්                   නැත
ගන්ට සඳ මඩල දිග ඇද්ද  නුඹෙ                 අත
කන්ට සිතුන දේ ඒවා මගට                       ඇත
කන්ට සිතුනි පණඩිතයින්ගෙ                  හදවත
                                        (විදුර ජාතකය)

  ජගත් මාරසිංහ.
2017 අගෝස්තු 01
                                                      www.jagathmarasinghe.com


Powered by Blogger.