ජීවිතයට රංගනයෙන් දායක වෙන්නම්

ජීවිතයට රංගනයෙන් දායක වෙන්නම්


ඉගන ගනින් ගනින් කියා
මව් පියො බල කරන නිසා
එලි වෙනකම් නිදිමරමින්,
අකුරු කරන්නම්
එයින් අඩක් හරි හරියට
බ්ලූ නරඹන්නම්
පාන්දරම - සියළු මෙමරි මකා දමන්නම්

ලව් එක දහමක් කරගෙන

කෙල්ලො එක්ක හාද වෙලා 
වට පිට ගැනවත් නොබලා
ඉගන ගත්තු පාඩම් වල
මතක හිටපු හොඳම කොටස 
ගුරු මුෂ්ටිය මකා දමා
උන්ට පුදන්නම්
ඊට පස්සෙ යන්න ඇරල
ගැහැණු චපල බව කියමින් කවියෙක් වෙන්නම්

අවසානෙදි ගොඩ යා හැකි

යමක් කමක් ඇති එකියක්
සුදු වතින්ම අන්දවලා 
පොරොන්දමත් බලවගෙනම, 
සිරිත් විරිත් පොටෝ ගහල
කැන්දන් එන්නම්,
කැන්දන් විත් ඇයවත් මම වැඩට අරින්නම්-
වැඩ නැති විට කුස්සි අම්ම කෙනෙක් කරන්නම්

බෝධි සත්ව ගුණෝපේත 

ගති ඇති බව පෙන්වන්නට 
ජීවිතයට රංගනයෙන්
දායක වෙන්නම්
ඊට පස්සෙ පුතෙක් හදලා සිංහය වෙන්නම්

පුතාගෙ තනියට කියලා

හදපු බබා අහඹුවකින් 
දුවක් උනොත් ආදරයෙන් 
නීති දමන්නම්-
හොඳ බණ පද තෝර තෝර
ගිරවෙක් වාගේ දෙසමින්
සුප්පා දේවිගේ දෙසවන් මම පුරවන්නම්- 
රෑ ජාමේ ඒ බණ පද වෙනස් කරන්නම්

උගුරු ගැටය නෙරා ඇවිත්

රළු හඩකින්- මොර ගසමින්
සිංහබාහු දගලනකොට 
ඒ වෙනුවට කට ගොන්නක් 
බීගන එන්නම්
එහෙම අැවිත් රටේ ප්‍රශ්න කතා කරන්නම්
මේ ඡන්දෙදි - රතු පාටට දෙනව කියන්නම්

ජගත් මාරසිංහ
 2018 02 25


1 comments:

කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක් , දැන් ඕකට වග කියන්න ඕනේ කවුද ? බ්ලූ බල බල ඉගෙනගත්ත ලමයාද නැත්තං වෙන කවුරු හරිද?


Powered by Blogger.