ඔබාමාගේ ස්ත්‍රී ප්‍රශ්නයට පෙර අසූවේ සිරිමලා ගේ මතක


ඔබාමාගේ ස්ත්‍රී ප්‍රශ්නයට පෙර අසූවේ සිරිමලා ගේ මතක!!!



             මතකයේ විදිහට මමත් පත්තර මහගෙදර වැඩක් නැතිව වැඩ කරමින් හිටි කාලය. රීගල් සිනමා ශාලාව දිහා බලන් මමයි මනුබන්දු විද්‍යාපතියි හිනාවෙනවා. ඒක උපහාස සිනහවක් නෙවේ. පපුවෙන්ම එන සමකාලින සොයුරන් ගැන ආදරණීය සතුටු සිනහවක්. ඒ චිත්‍රපටයේ නම “පිටසක්වල කුමාරයයි පැන්චො හතයි” අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සිරිමල් විජේසිංහ. ඇත්තටම අපි හිනාවුනේ පැත්තකින් පොඩිඑකෙක් වශයෙන් දකින්න හැකි තවත් පැත්තකින් මහඋනගෙන් ඔබ්බට ගිහින් උන්ගෙනුත් බැනුම් අහන සිරිමල් විජේසිංහ මේ පිල්ම් එක කරපු එක ගැන. සිරිමල් විජේසිංහ ඇසුම්, දැකුම්, රුකුල් කියන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතාව පැත්තෙන් ජීවිතයෙන් දැකුම් සාගරයක්. 90 දශකයේ තාරුණ්‍ය වෙනස් කළ පාරාදීසය පත්තරය ගැන මතකය අවධිකරමු. කොහොම හරි මේකේ ප්‍රධාන කතෘ සිරිමල් විජේසිංහ.  ඒ 80 දශකයේ පරපුරේ තවත් මොනවා හරි දෙයක් වෙනසක් කරපු කොල්ලෙක්.
       පාරාදිසය පත්තරය මල් පත්තරයක් වගේ. ඒත් ඒ කාලේ තිබ්බ මාතොට වගේ පශ්චාත් නූතනත්වය මගින් ගලවන්න බැරි යථාර්තවාදී විචාර කලාව ගලවලාදාලා බලය ගත් සඟරාවලටත් සමගාමී වගේ. කුනුහරුප වගේ දේවල් කියවලා අනිත් පිට  පෙරලනකොට මෙන්න මාක්ස්වාදය ගැන අලුත් අදහසක් ලියලා තියනවා. තව පිටක් පෙරලනකොට සෙක්ස් කරන්න දාගත්ත කෙල්ලව අම්මටත් වඩා ගෞවරනීය වෙනවා. ජනප්‍රිය කලාවයි සම්භාව්‍ය කලාවයි විතරක් නෙවේ තවත් මානවල පිහිටපු සකල කලාවම එක පිඬකට ඌ ගන්නවා. මේ පත්තරය සහ සහ “මාතොට” “ලන්ඩන්” වගේ සඟරා කරන්න අනුග්‍රහය දුන් ග්‍රහයෝ ගැන මට කිම්. කොටින්ම මයියොක්ක ගලවන්න ආපු මට අල්ලපු වත්තේ හතරමායිම් වලින් කිම් කම්ම තමා.
       පාරාදීසය පත්තරය එදා යම් තරුණ ප්‍රවණතාවයක අත්පොතක් වුනා වගේ. චින්තන ධර්මදාස ඇතුළු තවත් තරුණ ප්‍රවණතාවක් ලංකේය  ලිඛිත මාධ්‍ය සංස්කෘතිය හොල්ලන්න පටන් ගත්තා. නමුත් ගුවන්විදුලිය සහ රූපවාහිණී ජාලාවල මේ වන විට නිමල් ලක්ෂපති ආරච්චි සහෘදයා මේ වෙනස කරලා තිබ්බ බව නොකිව්වොත් ඒක අවුලක් වෙනවා. නමුත් මේ අද සමාජ ජාලාවලත් ජීවමාන භාෂාවක් වෙලා තියන පවුරු පදනම් බස සම්භාව්‍ය කළේ ජෝ සෙනෙවිරත්න කියලයි  මට හිතෙන්නේ. මොකද ජෝ මාක්ස්වාදී ගමනක අවසාන යුගයක රාජිනිස් හෙවත් ඕෂෝගේ පොත් පරිවර්තනය කරන්න හැම මිනිහෙකුටම තේරෙන භාෂාවක් හොයන්න ගත්ත. ජෝ අල්ල ගත්තා. ඒක මාර ජීවිත සමීප භාෂාවක්. සමජජාලා මාධ්‍ය වලට අද නිශ්චිත ව්‍යාකරණ ඇත්තේත් නැහැ. තන්ත්‍රයානයට ‌ථේරවාදය එකතුකළ භාෂාවක් වගේ තමා සමාජජාලා භාෂාව. මේක තමා සමාජජාලා අලුත්කොල්ලන්ගේ හද බස වෙන්නේ. 80 න් පස්සේ  චින්තන ධර්මදාස සහ රසික කොටුදොරගේ වගේ අය ඇතුළු පිරිසක් තම පරපුරේ ආශාව ලියන්න අල්ල ගන්නේ මේකට තවත් දෙයක් එකතු කරලා. ඊට පස්සේ එයාලාට උන දේවල්  මේ ලිපියට අදාල නැහැ.  හරියට අර අනගාරික ධර්මපාලතුමන්ගේ නොඵල ලිපි මාලාව මනසින් නවීකරණය කරන් වගේ. ධර්මපාල තුමත්  ඒ ලිපි ලියන්නේ භාවිත ඉංගිරිසි  පද කඩින් කඩ භාවිත කරමින්. ඒකට ඒ කාලෙ කිව්වේ බ්‍රෝකන් ඉංගිරිසි කියලා. අපේ අක්කලා පෙම්කවි ලිව්වෙත් එහෙම තමා. ඒවා ඉතින් හොරෙන් බලන්නේ මල්ලිලානේ. ඒවුනාට ඒයාලා නංගිලාගේ අයියලා.
       සිරිමලා විප්ලවවාදී කොමිනියුස්ට් පක්ෂයේ ඉන්නකොට ඌත් එක්ක තවත් කට්ටියක් ඒකාලේ ජනකලා කේන්ද්‍රයේ ගසක්යට සංවාදයක. මමත් එතන හිටියා. උන් විප්ලවය වෙන ඒක ගැන කතාකරනකොට සිරිමලා දෙන ටෝක තමා විප්ලවය වෙන දෙයක් නෙවේ යකෝ කරන්න ඕන දෙයක් කියන සැබෑ කතාව. ඇත්තටම හරි. අතීත මතක වලදි සිරිමලා ගැන ටිකක් වැඩිපුර ලියවෙයි. ඒක රහසක් නෙවේ. මොකද ඒ කාලෙත් අපි දෙන්නම පාදඩයො තමා.
      සුගතපාල සිල්වානන්ගේ ගෙදරට යන හැම මොහොතකම සිරිමලා සහ පාලිත තේනුවර එතන සෙක්‍යුරටිලා වගේ මුර. සද්ධර්ම රත්නාවලියේ කතාවක් තියනවා තලවන්නා ඇට නම් තෙලට වේලෙම්හ. මී බෙටි නම් කුමට වේලෙම්ද කියා. එතකොට පාලිතනම් සුගතපාල දූ වනමලී නිසා ඒජොබ් එකේ කියමුකෝ. අපි බලපුවාම සිරිමලා මීබෙටිද කියලා යකෝ අපි හිතුවෙවත් නැහැ. වනමලිගේ  අයියා වන දිමුතුගේ ආදරියගේ අක්කාට සිරිමලා තාම මුර තමා. පාලිතයි සිරමලයි දෙන්නම සුගතපාලක සිල්වගෙයි ධර්මසිරිබණ්ඩාරණයකගෙයි නාට්‍ය වලට සිය වෘත්තියටත් ඔබ්බෙන් දායකත්වය දුන්නා කියලා අපි දන්නවා.
         ඔන්න එක්තරා කාලෙක සිරිමලා හැංගෙනවා. ආයේ මතුවෙන්නේ  ඔබාමාගේ ස්ත්‍රී ප්‍රශ්නය යන කෙටි කතා පොත එළි දක්වමින්. ඇත්තටම අසූවේ දශකයේ සිරිමලාගෙන් කල් පසුවී ලියවුන ඉතා වැදගත් පොතක් තමා ඔබාමාගේ ස්ත්‍රී ප්‍රශ්නය. මට ඒ පොත සිරිමලා තැපෑලෙන් එවනවා. එදාම රෑ මම ඒ ගැන ලියන්න සිරිමලා එක්ක කතා කරනවා. අපි කතාවෙන් කතාවෙන් ලෝක මුස්ලිම් දේශපාලන ප්‍රශ්නය අතගානවා. මේක කියනව පරංගියා ආවේ නැත්නම් අද ලංකාව මුස්ලිම් රාජ්‍යක් මචන් කියලා.  ලිවීම කල් දාලා අපි නිදාගන්නවා. නමුත් මම උදේ නැගිටින්නේ මුස්ලිම් ප්‍රවණතාවයක පාස්කුප්‍රහාරයත් සමග. මම කෝල් එකක් සිරිමලාට ගන්නවා. අරන් කියනවා පස්සෙ ලියන්නම් මචන් මාර කෙලියක් කියලා. කතාව අවසාන කරන්න පෙර අසූවේ පරපුර වල හෘද සාක්ෂියක් ලියන්න වෙනවා. මම දීප්ති කුමාර ගුණරත්නගෙන් දවසක් අහනවා ඇත්තටම මචන් උඹව මාක්ස්වාදියෙක් උනේ සිරිමලා නිසාද කියලා. දීප්තිගේ උත්තරය හරිම කෙටියි. 
"නැතිව මචන්. ඌ තමයි."

ජගත් මාරසිංහ
10 03 2020








Powered by Blogger.