සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ආදරයෙන් පැතිකඩක්.

සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ආදරයෙන් පැතිකඩක්.



මමද කාලයක් ලේක් හවුසියේ සිටියෙමි. ඒ චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපති වී ජනදාස පීරිස් මහතාව ලේක්හවුසියේ සභාපති කළ කාලයයි. කොටින්ම ඒ කාලය වනාහී පත්තර මහ ගෙදර ස්වර්ණමය කාලයකි. ඒ කාලයේ කතෘමණ්ඩල අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් කරුණාරත්න පරණ විතාන අඟනා වැඩ කොටසක් ඉටුකළේය. දැනට ඊ පවුරෙන් පමනක් හමුවන එදා සී ඕ යන නිළ නාමයම ඔහුගේ නාමය කරගත් රෝහන හෙට්ටිආරච්චි ගැනද නොකියා බැරිය. නමුත් මේ නිළ මඩුල්ලට ප්‍රතිවිරෝධී වූ වෘත්තීය පුවත්පත්වේදීන්ගේ නායකත්වය ඡන්ද බලයෙන්ම සනත් බාලසූරිය හිමිකරගෙන සිටියේය. ‍සනත්ලා පෝද්දලා වනාහී රටින් පිටුවහල් වන තරමටම තියුනු දේශපාලනයක් කරන ලද්දේ ඒ කාලයේය. ඒවා කාගේ කාගේත් ඇඟට පතට දැන් දැන් දැනෙන බව හඟිමි.
ඒ කාලයේද අපේ පැරණි මතයක් වූ සම්භාව්‍ය සහ පීචන් උප සංස්කෘතීන් සම්බන්ධව මත වාද බොහෝ තියුනු ලෙස තිබි බවද මතකයේ තිබේ. අවසානයේදී දුහුලු මලක් සිනමා පටය නිසා සමාන්තර සිනමාව කියා බෙදීමක් ඇතිවිය. ඒවා දයලෙක්තිකය අසරණ වී පශ්චාත් නූතනවාදී මතවාද සඳහා තිරය අරින්නට ආධාර කළ සංකල්ප වූවා සේය. මා සමන්ගේ කලා භාවිතාව සම්බන්ධවද දකින්නේ දුහුලු මලක් න්‍යායමය. දුහුලු මලක් චිත්‍රපටයකටත් වඩා සිනමාවට පමණක් නොව ලාංකේය කලා ලෝකයටම යම් න්‍යායික නිවේදනයක් කළ න්‍යායාත්මක නියමයක් වූවා සේය. සමන් චන්ද්‍රනාත් සමග මා කතා කළානම් විනාඩි කීපයක් කතා කර ඇත්තේ ඒ ගැන පමණි. ජ්‍යෝතිෂය සහ හස්ත රේකා ගැන යම් වෙනස් හැදෑරීමක නිරත වී සිටි මම ඒ කාලයේ සමන්ගේ අත අල්ලා අල්ල බලාද මොනවා හෝ කියන්නට ඇත. ඉන් පසු විශේෂ හැඳින්වීමක් නැත.
ඒ 2010ට ආසන්න කාලයක් වගේ මතකය. ලේක්හවුසියේ මා සිටියේ එකල රංජන්ගේ කුටියේය. එක් දිනක සමන් එතැනට මා සොයා  ඇවිත් පැවසුවේ ලේක්හවුසියේ ජ්‍යෝතිෂය පත්තරය ‍වන සුභසෙත පත්තරයට කතෘ කෙනෙක් පත් කිරීමට ඉල්ලුම් පත් කැඳවා තිබෙන බවය. ඊට සුදුස්සා මා බව ඔහු තහවුරු කළේය. මා සාමාන්‍යයෙන් තරඟකාරී කටයුතු වලට සම්බන්ධ වන්නේ නැත. නමුදු ඔහුගේ මිත්‍රත්වයටත් දැනුමටත් තිබි ආදරය ගැන මා මේ මොහොතේ මේවා ලිවිය යුතුමය.
ජ්‍යෝතිෂය විෂය සම්බන්ධව නව පරිභෝජන ආර්තික රටාවක නිර්මාණය වූ තක්කඩිකම් වලට පිටින් අහසේ න්‍යායන් නොව ඒවා ප්‍රකාශකරන දෘෂ්ටිවාද සම්බන්ධව හදාරමින් සිටි මා එදා අහම්බෙන් හෝ ඒ බලය හිමි වූවානම් ඒ කෙසේ වනු ඇතිදැයි සමන් දැන සිටින්නට ඇත. ලේක්හවුස් වන් ආයතනයක ඉන් මා පරාද වන බව දැන දැනද ඊට මුහුන දුන්නේ සමන්ගේ සහ දෙනගමයන්ගේ ආදර ඉල්ලීම නිසාමය. 
ඉතින් සමන්. ඒ ටික දැන් මම මාරසින් කරනවා. කාට මිය ගියත් ඔයාව මාරසට මිය ගිහින් නැහැ. මාරස කවුරුත් කියනවා වගේ ඔයාට සුබ ගමන් කියන්නේ නැහැ. මොකද ගිය ආත්මය හෝ බවය ගැන මට මේ ආත්මයේ හෝ බවයේ කිසිදු මතකයක් නැති නිසා අනික් ආත්ම බව ගැන කතා අදාල නැහැ. මන්දා! ඒත් ඇස්වලට කඳුලු ආවා. ආදරය විතරක් ප්‍රකාශ කරන්නම්. ඔයා මේ දැන් මා ලඟ තාම ජීවතුන් අතර ඉන්නවා කියමින් සටහන අවසාන කරන්නම්.
ජගත් මාරසිංහ
2022 02 16


Powered by Blogger.