අවජාතක කාල කළමනාකරණය

අවජාතක කාල කළමනාකරනය-BUSY

                   කාර්මික යුගයේ මිනිසා යන්ත්‍ර සූත්‍ර නිපදවීමේ හේතුවෙන් ශ්‍රම අතිරික්තයක් ඇතිවන බව පැවසූ යාන්ත්‍රික භෞතික වාදීන්ගේ විද්‍යාත්මක අනාවැකි විහිලුවක් බවට පත් කරමින් තවත් එක් ශුවිශේෂ යුගයක් එදා නිමාවට පත්විය. යාන්ත්‍රික භෞතික වාදීන් ලෙස පෙනී සිටින්නන් හොඳින් දන්නේ එක් දෙයක් පමණි. ඒ සියලු ආගම් සහ සම්ප්‍රධායන් අත්තනෝමතිකව විද්‍යාවෙන් පමණක් විචාරය කිරීමටය. ශ්‍රී ලාංකේය වම්මු යයි කියන බොහෝ පුද්ගලයන් දයලෙක්තිකය කියා යාන්ත්‍රික භෞතික වාදය පටලවාගෙන ඇති බව පෙනේ. මාක්ස් එංගල්ස් යුගයේ මේ කරදරය තරමක් අවසාන වී තිබෙන්නේ  ඔවුන් දයලෙක්තික භෞතික වාදය සිද්ධාන්ත සමග ශක්තිමත් කළ පසුව බව පැහැදිලි කරගත හැක. සොබාදහමේ දයලෙක්තිකය මතුකර ගැනීමේදී විද්‍යාත්මක සිද්ධාන්ත  සිය දර්ශනය කර නොගත්තාට විද්‍යාව අධිනිශ්චය කරගැනීමේ අඩු පාඩුව මාක්ස් වාදී සිද්ධාන්ත හරහා  අද කරලියට විත් තිබේ. ජාතික වාදයට අත තැබීමට මාක්ස් වාදයට නොහැකි වී තිබීමට එයද එක් හේතුවකි. ගණිතය හැදෑරු අයට මේ තත්ත්වය සරලවම වැටහෙන්නට පටන් ගැනීමද අහඹුවක් විය නොහැක.

       සියළු දේශපාලන මතවාද අප රට තුළ ගණුදෙනු කිරීමේදී කුළ ව්‍යුහය පෙරමුණ ගෙන තිබීම ප්‍රසිද්ධ රහසකි. මේ මොහොතේ පවා දේශපාලනික බල රේකා නිසිලෙස ප්‍රකාශ කිරීමට කුල ව්‍යුහයෙන් තොරව කෙසේවත් නොහැකි බව පෙනේ. එහෙත් ඒවා තවමත් උදාහරණයට ගත නොහැක්කේ  වික්ටෝරියා ගේ  අවතාරය මේ මොහොතේද සදාචාර පාලිකාව වී ඇති බැවිනි. වික්ටෝරියාගේ කරදරය ඇත්තේ ශරීර නිරුවතට පමනක් නොවන වග බොහෝ දෙනෙක් තවමත් නොදන්නා බව පෙනේ. යාන්ත්‍රික භෞතික වාදින් පරයා ජ්‍යොතිෂ වන් ගණිතමය විෂය පද්දති තෝරා සම්ප්‍රධායට කොකා පෙන්වනු ලැබුවේ වික්ටෝරියා අවතාරය බව තවමත් බොහෝ දෙනෙක් නොදන්නා බව පෙනේ. දන්නවානම් බුද්ධිමතුන් වීමට අවැසි කොන්දේසියක් වශයෙන් ජ්‍යොතිෂ්‍ය පිළි නොගැනිම අනුමත කරන්නේ නැත. ලෝකයේ කාලය කළමනාකරනය කිරීමට අවැසි ප්‍රධානම සාධකය වූ දින දර්ශන විනාශයටද වික්ටෝරියා පෙරමුනේ ගමන් කරයි. කොටින්ම වර්තමාන ලෝක කැලැන්ඩරය වනාහී පාලකයන්ට සහ සමාගම් වල උවමනා එපාකම් මත ඔවුන්ගේ වාසියට සහ ජනතාවගේ අවාසියට නිර්මාණ්‍ය කරන ලද යථාවෙන් පිට ඇති ගණිත ගැටලුවක් පමණි. එය සාධාරණීය කිරීමට අධික අවුරුදු වැනි මනස්ගාත ඔබ්බා ගණිතයේ සරල බව සංඛීර්න තලයක් දක්වා ඔසවා තබා තිබේ.


       ලාංකේය පක්ෂ දේශපාලන තත්ත්වයේ පවතින කුලවාදී හෙජමොනික තත්ත්වයට මේ වන විට සැඟවුන සංවාද රැල්ලක් නිර්මානය වෙමින් පවතින වග පෙනේ. රාවය කතෘ වික්ටර් අයිවන්   විසින් බොහෝ අවස්තා වල මතු කරන ලද කුළ සාධකයේ දේශපාලනික ස්වරූපය විද්වතුන් නොසලකා හැරියා නොව කාලයකට පමණක් නිහඬ වූ බව අද වන විට පෙනීයන්නට පටන් ගෙන තිබේ. මෑත කාලයේ නන්දන වීරරත්න විසින් සමාජ ජාලා සඳහා ලියන ලද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ජාතික දේශපාලනය පිළිඹඳ ලිපියේද කුළ සාධකයේ ව්‍යුහාත්මක තත්ත්වය යම් හැදෑරීමකින් යුතුව මතුකර තිබිණි. එලෙසම කේ.කේ සමන් කුමාරද කුලවාදී ව්‍යුහයේ බලපෑම හරහා නාට්‍ය කලාවට එල්ලවූ පසුගාමී තත්ත්වයන් සම්බන්ධව "උන්ගේ කලාව සහ අපගේ කලාව" යනුවෙන් ග්‍රන්තයක් ලියා තිබේ. කාල කලමනාකරනය පිළිඹඳ කතා කිරීමේදී ජ්‍යෝතිෂය නැකතියන්ගෙන් ගොයිගමයන් සහ අනෙකුත් වංශයන් උදුරා ගැනීමේදී නැකතියන් විසින් උන් අධිපතිත්වය දැරූ විෂයේ සැබෑව සැඟවිම ලාංකේය  ලොකුම ගුරු මුෂ්ටිය බවට අද පත් වී තිබේ. මහා විහාර වාසීන් විසින් අබය ගිරි වාසීන් පලවා හැරීමේ ක්‍රියාවලියේදී දකුණු දෙසට පැමිනි අතිදක්ෂ අභය ගිරි වාසී ශිල්පීන්ගෙන් නවන්දන් සහ නැකතියන් වැනි ශිල්පීය කුල සංස්කෘතිය ඇති වූ කතාව මග හැරිය නොහැකි ඕපාදූපයක් බවට අද පත්වී හමාරය. කාලය නැමති සංස්කෘතියේ අයිතිය චන්ද්‍රයාගෙන් ග්‍රිනිච් නගරය දක්වා මාරු වීමේ දේශපාලනය තුළ මේ කුලවාදී ව්‍යුහයේ චලිතයද කිසි සේත්ම අවතක්සේරුවට ලක් කළ නොහැකි බව ඉදිරියේදී ඔබට වටහා ගැනීමට හැකි වනු ඇත. ශිල්පීය කුළ බිහිවන්නේ අභයගිරි හිමිවරුන්ගෙන් නොව අභයගිරි ඇබිත්තියන්ගෙන් වැනි කටකතා තවමත් විද්වත් කුල සමාජයේ  නොකිය වෙන සහ නොකියා සිටිය යුතු කතා නොවන බව පැවසිය යුත්තේ එවන් කතා පිටුපස ඇති දේශපාලනික තත්ත්වයන් තේරුන් ගැනීමේ වැදගත් කම අද මතුව ඇති නිසාය
.
    දැන් අපට අපතයන්ගේ කාල කළමනා කරණය ගැන සිතන්නට පොටක් පෑදී තිබේ. කාලය යනු වෙනස් වීම මැනීමේ ප්‍රධාන මිනුම් දණ්ඩකි. එහෙත් කාලයෙන් වැඩ ගැනීමට එය වර්ග කළ හැකි  ක්‍රමවේද තව බොහෝ තිබේ. එලෙසම ඒ දෙස විවිධ අරමුණු වලින් බැලිය හැකි ක්‍රමද බොහෝය. සියලු විද්‍යාන්ගේ සූත්‍ර සිද්ධාන්ත ගොඩනැගීමේදී කාලය මූලික වී ඇති බව පෙනේ. කාලයේ සාපේක්ෂ බව සාධනය කළ ඇල්බට් අයින්ස්ටයින් කාලයත් සමග දැමූ සෙල්ලම් එසේ මෙසේ දෙයක් නොවන වග ගණිතය නොදන්නෝ පවා දනිති. අයින්ස්ටයින් විසින් කාලය සංකල්පය හරහා මිනිසාගේ අර්ධයක් සූත්‍රගත ආකාරයට අමරණීය කළා කීවද ගැටලුවක් නැත්තාසේ පෙනේ. ඉතිරි අර්ධය ජය ගැනීම අනාගතයට පැවරුවා සේ සිතන්නටද පුළුවන. එහෙත් එහි හිස්තැන් පිරවීම වනාහී හිතන තරම් සුළුපටු කාර්යක් නොවන බවද සැබෑවකි. කාලයේ විශ්වීය දැනුම් පද්ධතියට චන්ද්‍ර කාලයේ බොහෝ සැඟවුණ දේ තිබෙන්නේ අප රට තුළ බව සැබෑවකි. ඒවා වික්ටෝරියානු වාදී බුද්ධිමතුන් ජ්‍යෝතිෂයත් සමගම වලලමින් සිටින්නේ තක්කඩි විශ්මිත අනාවැකි කරුවන්ගේ සහාය ලබමිනි. මේ තත්ත්වය මතද ඇත්තේ කුලවාදී බල ව්‍යුහයේ ඔල්මාදය බව සාධනය කළ හැක.

          කෙසේ නමුත් කාර්මික යුගයේදී යන්ත්‍රසූත්‍ර හරහා නිර්මානය වූ අතිරික්ත ශ්‍රමයේ ප්‍රබන්ධ කතා පරයා වැඩකරන ජනතාවට සිදුවූ කේදවාචකය ගැන පොත් පත් කියා හදාරන්නට දෙයක් චාලි චැප්ලින් නැමති සිනමා කරුවා ලෝකයාට ඉතිරි කර නැත. කාර්මික විප්ලවය නැමති කේදවාචකයට ඔහු තනියම සිනා සීම පසක තබා මිනිසුන් සමගම සිනහ වෙන්නේ කෙසේදැයි යන්නද අපට උගන්වා තිබේ. සුඛාන්තයක් යනු දුඛාන්තයකම ප්‍රකාශනයක් බව සිහි ගන්වමින් මොඩන්ස් ටයිම්ස් නම් සිනමා පටය ලෝක සිනමාවේ දේශපාලනික ඉන්ද්‍රඛීලයක් වී හමාරය. යාන්ත්‍රික භෞතික වාදීන්ට මේවා නොතේරෙන්නේ සැබෑවටම ඔවුන් දේශපාලනය නොදන්නා නිසා නොව තමන් දෙසා බාන විද්‍යාවේ පදනමේ මූලය නොදන්නා නිසාය. කොටින්ම එදා සමාගම් හිමි ධනපතියා කාර්මික විප්ලවයේ ජයග්‍රහනයෙන් ලැබුනා වූ ශ්‍රම කාලයේ අතිරික්තය යාන්ත්‍රික භෞතික වාදී හේතුවාදීන්ගේ කතාන්දර පරිදි ජනතාවට කිසිසේත්ම බෙදා දුන්නේ නැත. ඔවුන් ඒ හරහා සිදුකරන ලද්දේ කම්කරුවාවද යන්ත්‍රයක් කර තව දුරටත් ශ්‍රම කාලය වැඩි කර ගැනීමට යන්ත්‍ර මගින් කම්කරුවාට කැවීමට පෙවීමටද යෝජනා කිරීමයි. චැප්ලින්ගේ මොඩන්ස් ටයිම් සැබෑවටම  සිනමාව තුළද මොඩන් වෙන්නේ  ඊට ඊට අදාල රූප රාමු තුළය. එහෙත් එහි යතාර්තය පශ්චාත් නූතන වාදීව මොඩන් වන්නේ පරිඝණකයේ ක්‍රියාකාරිත්වයත් සමග නිපන් අති විශාල අතිරික්ත ශ්‍රම කාලය සමාගම් හිමියන් විසින්  යාප්පුවෙන් සම්පූර්ණයෙන්ම සොරා ගෙන ඇති මේ නිමේශයේය. මිනිසාගේ කාලය එක එල්ලේම ශ්‍රමයට සම්බන්ධය. කොටින්ම ජීවිතයට සම්බන්ධය. 


      යම් කාර්යක් කිරීම සඳහා යමෙකු විසින් යම් කාලයක් තුළ වැය කරන්නා වූ සචේතනික ශක්ති ප්‍රමාණය ශ්‍රමය ලෙස සැලකීම සාධාරණ වන්නේ දැනුවත්ව කරන ලද බව සචේතනික යන වචනයෙන් හැඟවෙන බැවිනි. නමුත් එය දිග කතාවකි. ශ්‍රම කාලය හොරා කෑමේ තක්කඩි කම අදටද මිය නොගිය සැබෑවකි. කාලයේ විවිධ අර්ථ දැක්වීම් සහ විද්‍යාත්මක සොයා ගැනීම් හමුවේ එහි අතිරික්ත ශ්‍රම කාලයේ වාසිය කිසිසේත්ම සමාගම් හිමියා සහ පාලකයෝ වැඩකරන මිනිසාට නොදෙන බව අදටද කාලකන්නි සැබෑවක් වී තිබේ. ඔවුන් කාලය කළමනාකරණය කර ඇත්තේ තම නිෂ්පාදන වාසියට විනා මිනිසුන්ගේ වාසියට නොවන වග පෙනේ. එහෙත් මේ තත්වය මිනිසුන්ට තේරුම් ගැනීමට නොහැකි වෙන තරමට සුමට කිරීමට ගෝලීය වෙළඳ පොලේ තාක්ෂණික ධනවාදයේ මුර බල්ලන් වන වෙළඳ දැන්වීම් නිර්මාණ තක්කඩියෝ කටයුතු කරමින් සිටිති. මේ නයින් තවත් එක් විෂය විෂය පතයක් නව මුහුණුවරකින් නවීකරණය කර බලවත් කර තිබේ.  එය කාල කළමනාකරණය නම් විෂය පතයයි. මෙය වැඩකරන ජනතාවගේ ශ්‍රමයෙන් උපරිම පල නෙලා ගැනීමට සමාගම් විදායකයන් සඳහා අදටද අනිවාර්ය විෂයක් වන අතර මේ තත්ත්වය අදවන විට නව වෙළඳපොල යතාර්තයටද උපකාරික විෂයක් වී තිබේ. යාන්ත්‍රික න්‍යායන්ට අනුව පරිගණකය ඔස්සේ විශාල කාල අතිරික්තයක් සයිබර් තාක්ෂණය නිසා  ඉතිරි විය යුතු මුත් ජනතාවගේ පැත්තෙන් සිදුවී තිබෙන්නේ විවේකයක් ගැන කතා බහ කිරීමට පවා බිය වීම පමණක් බව සැබෑවකි. කොටින්ම පොත් කඩ හිමියන්ගේ සංඛ්‍යා ලේකන අනුව වසරකට විශාල පොත් තොගයක් විකිනෙන නමුත් මේවා කියවීමට කාලය තිබෙන්නේ එක්තරා සීමිත පාටකයන් කොට්ටාසයකට පමණි. ඒ අතලොස්සට කළ හැකි සමාජ කාර්ය භාරය වන්නේ පොත් ප්‍රකාශකයන්ව චූන් කිරීමේ ක්‍රියාවලිය පමණක් බව විචාරකයන්ද නොදන්නා බව පෙනේ. අන්තර් ජාලයේ සමාජ ජාලා අඩවි තුළ මිනිසුන් සජීවීව ඇති බව සෙලියුලර් පෝන් වලට පිංසිදු වන්නට කොළ එලි විහිදුවමින් දර්ශනය වේ. එහෙත් මිනිසුන් සජීවීව සිටින්නේ එක්කෝ සිය වාහනයේ රාකාරියට යන ගමන්ය, නැතිනම් බස්රතයේ, දුම්රියේ, කාර්යාලයේ, වැඩපලේ හෝ කොහේ හෝ නිදා සිටින ගමන්ය. මේවා තුළින් වර්තමානයේ ඇතිවෙන මිනිස් සබඳ තා හෙලා දැකීමෙන් කිසිදු පලක් නොවන වගද සැබෑවකි. මේ අහිංසක මිනිසුන් මහ මගදී, මළ ගෙදරකදී, මගුලකදි පමණක් නොව දුරකතනයෙන්ද, ඊ පවුරෙන්ද අඬන්නේ මිතුරන් ඥාතීන් සමග කතාබහ කිරීමට හමුවීමට, වීනෝදවීමට ඇති අවශ්‍යතාවයට කාලයක් නැති බව කියමිණි. කොතරම් නය වී ඇතත් අතේ යම් මුදලක් ඉතිරි වීමද නව ලිබරල් ක්‍රමය මාරයි කියන්නට ප්‍රධාන සාධකයකි. නමුත් මිනිසුන් මිනිසුන්ව භෞතිකව මුණ ගැසීමේ අවස්ථාව අහිමි වී තිබේ. ක්‍රමයෙන් පෙම්වතුන්ද ස්පර්ශයෙන් ඈත් වෙමින් සිටී. මේ තත්වය ජපානය ආදී රට වල ජනගහන වර්ධනය සම්බන්ධ ජාතික ප්‍රශ්නයක් බවට පත්වූ ආකාරය පිඳිඹඳ වාර්තා පසුගිය කාලයේ පලවිය. මෙවන් සංවේදනාවන් ප්‍රකාශ කිරීමටද අනගි ස්ටිකර් විශාල ප්‍රමාණයක් ඊ පවුරේද ගබඩාකර තිබේ. මේ තත්ත්වය මත අද වන විට සමාජ සම්බන්ධතාවලින් වැඩි ප්‍රතිශතයක් සයිබර් තරංග විසින් කළමනාකරනය කරන තත්ත්වයකටට පත්වී හමාරය. එය නොවැලැක්විය හැකි යතාර්තයක් ලෙසද වර්ග කළ හැකිය. කොටින්ම අනාගත විප්ලයක් ගැන විශ්වාස කරන්නන්ට පවා විප්ලවය සිදුකිරීමට කාලයක් තිබේද යන්න ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව පෙනී යන කාටුන් බොහෝ ගණනක් අන්තර් ජාලයෙන්ම සොයා ගත හැක. සියළු ප්‍රශ්න වලට විසඳුම් විප්ලවයෙන් පසු ලැබෙන වග පෙන්වීමට ස්ටිකර් බුරුත්තක් අන්තර් ජාලයේ පලවී නැත්තේ සමාජ විප්ලවයක් ලංකාවට පමණක් ප්‍රශ්නයක් වී තිබෙන බැවින්දැයි සොයා බැලිය යුතු කාරනයකි.


     මිනිස් මොළය අනුදකිමින් නිර්මිත පරිඝණකයේ විශ්මිත ක්‍රියාකාරිත්වය නිසා කාලය නොසලකා හැරිය හැකි තරම් කෙටි කර ගැනීමට හැකියාව ලැබී තිබේ. නමුත් නව ලෝක සමාගම් හිමියන්ගේ  දැනුවත් ගෝලීය වෙළඳ පොළ මිනිසාගේ ආශාවන් අරමුණු කර නිශ්පාදනය සිදු කරයි. එය මනෝවිද්‍යාත්මක හැදෑරීමකින් සහ සංඛයාත්මක දක්ත විශ්ලේශනයකින් අතිශය විද්‍යාත්මක ක්‍රමයකට සිදුකරන බව සැබෑවකි. සමාගම් සහ වෙළන්දන්ගේ  මිනිස් ආශාව සහිත ඇමක් ගැසූ බිලී කොක්කේ ගුණාත්මක භාවය වනාහී තනිකරම පට්ටපල් බොරුවක් බව කවුරුත් දන්නා රහසකි. වෙළඳ දැන්වීම් කලාව හරහා උජාරුවෙන් සිදු කරනු ලබන්නේ බීලී කොක්කක් නැති බවත් ඇත්තේ රස ගුණ පිරි මාර ආහාරයක් යන මුසාව පාරිබෝගිකයාට ඒත්තු ගැන්වීමයි. එවිට මේ වෙළඳ දැන්වීම් ලියන්නන් සහ නිර්මානය කරන්නන් කරනු ලබන්නේ පවුකාර කමක් නොවේදැයි මිනිසුන් අසන්නේ නැත. මන්ද ඔවුන් දැනුවත්ව මේ කාර්යයට යොදා ගන්නේ ජනතාවගේ ගෞරවය දිනා ඇති හොරිකඩ දොස්තරලා ඉන්ජිනේරුවන්, පූජකයන් සහ දේශපාලකයන්ය. මේ වෙළඳ දැන්වීම් කලාවේ උපාය මාර්ගයට විද්වත් යයි කියා ගන්නා පැන්ෂන් ගිය මාක්ස් වාදීන්, ස්ත්‍රී වාදීන් පවා කතා කරන කෞතුක භාන්ඩ බවට පත්කරනු ලැබේ. සමහරු  ඔවුන්ගේ වචන හරඹ අසන්නට ආරාධනා කරන්නේ ද එස්. එම්. එස් තාක්ෂණය හරහාය.
යම් තාක් දුරට කාලය කළමනාකරණය කරගත් හෝ මේ සම්බන්දව කිසිත් නොදත් සමාජ ක්‍රියා කාරීන්ගෙන්ද අන්තර් ජාලය සහ යූටියුබ් චැනල පිරී ඉතිරී යන බව පෙනේ. මෙසේ කාලය පරිහරණය කිරීමට අනෙකුන්ට නැති නිදහසක් ධනයක් සමාජ ක්‍රියාකාරීන්ට තිබෙන්නේ කෙසේදැයි සොයාබලන්නට කාලය තවම කිසිවෙකුට බලපෑම් කර නැත. අනාගතයේ කරන්නේද නැති බව ඔවුන් නොදන්නවා නොවේ. මිනිසුන්ගේ සැබෑ ආශාවන්ට එවැනි ප්‍රහේලිකා තරම් නොවන වග මින් මනාව පැහැදිලි වේ.

තම ආයතනය මගින් නිශ්පාදනය කරන ලද භාණ්ඩ සඳහා ආශාව ඇති කරනවා පමණක් නොව කාලය බෙදා වාරිකව ගෙවීමේ පහසුකම් සලසා ඒ ආශාවන් ඉටු කරගැනීමටද පාරිභෝගියකයාට සමාගම් කරුවෝ මග සලසා තිබේ. මේ කප්පාදු කරන ලද ආර්තික රටාව මත තමා සිටින පන්තියෙන් උසස් පංතියකට මාරු වීමට  හැකියාවක් ඇති බව මිනිසුන්ට සිහිනයක් මෙන් පෙනේ. සෑම නගරයකම ලීසිං සහ බැංකු කරුවන්ගෙන් නම් අඩුවක් නැති බව අපි දනිමු. මාසයකට කීප වතාවක් නිවෙස් වලටද බැංකු ඇවිද එන අවස්තා තිබේ. චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය කෑලි බලා මිනිසුන් මනසින් තීරණය කරගෙන තිබෙන උසස් පංතියකට යාමට සෑම මිනිසෙකුටම පාහේ විවිධ මට්ටම් වලින් හැකියාව ලැබී ඇති බව පෙනේ. සමාගමකින් ගෙවන්නට ගත් මොටර් රථයක නැගී දහසක් ගැටලු මැද රිය පදවන්නෝ තම මිතුරන්ට දියුනුවෙන හැටි කියා දෙන්නට තරම් උපදේශක කලාව දියුනු කර තිබේ. එවැනි බොහෝ අය උන් හිටි ගමන් අතුරු දහන් වෙයි. කෙසේ හෝ දස දුක් විඳිමින් උවත් උජාරුවෙන් ලස්සන බලාපොරොත්තු සහිතව ආශාවන් ඉටුකරගත් සියලු මිනිසුන් සිය නය මුදල පොලියත් සමග අදාල සමාගම් වලට ගෙවා දැමිය යුතුය. සාධාරණ සත්‍යනම් මෙයයි. නැතිනම් සමාගම් හිමියා කොන්දේසි විරහිතව නඩු දමන බව දැන ගන්නේ අදාල සමාගමෙන් උපදේශකයන් තෑගි වෙනුවට උපදෙස් පත්‍රිකා සමග සිය නිවසට නොසිතූ මොහොතක පැමිණීමෙන් පසුවය. ඔවුන්ගේ අණ නොසලකා හැරියහොත් මී ලඟට තැපෑලෙන් ගෙදරටම ඔබ සොයා එන්නේ එන්තර වාසියයි. නය ගෙවා දැමීමට උපදෙස් සහ උදව් පදව්ද සමාගම් හිමියාගෙන්ම ලැබෙන තරමට රට දියුනු වී හමාරය. තමාගේ ව්‍යාජ පන්ති සිහින මානසිකත්වය බිඳ වැටීමෙන් තමන්ගේ දරුවාගේ අධ්‍යාපනයේ සිට සියළු සිහින කුඩුපට්ටන් වීමට නියමිත බව මිනිසුන්ට දැනෙන්නට පටන් ගනී. එහෙත් පිටට පෙන්වන්නේ මවා ගත් සතුටකි. තමා විසින් සාදන ලද නව නිවස, මිලට ගෙන ඇති යතුරු පැදිය හෝ මොටර් රථය වැනි  බොහෝ දේ ස්තාන ගතවී තිබෙන්නේ නව ලිබරල් වාදී ගෝලීය වෙළඳ පලේ මහත්මා සේ පෙනෙන තක්කඩි විද්‍යාත්මක වෙළඳ කලමණාකාරිත්වයන් මතය. ඒවායේ රාජකාරි කරන මහත්තරුන් කිසිදා පාරිභෝකයන්ට ජඩයන් වන්නේ නැත. මන්ද නොගෙවීමේ වරදට හිරේ විලංගුවේ වැටෙන්නට යද්දී තවත් කාලය කළමනාකරනය කරමින් මුලු අනාගතයම උගසට තබා බේරාගන්නේද මේ මහත්වරුන්ය. පරිඝණකයේ අනවශ්‍ය ගොනු නිර්මාණය වෙන ආකාරයටම ගෙවිය යුතු නය මුදල ඔස්සේ තමන්ට අදාල නැති ගොනුද නිර්මාණය වේ. සමහර විට ඒ තමාගේ දරුවන්ට දුන් ලස්සන තෑගි බෝගය. නැතහොත් උත්සව දිමනාවකි. පරිඝනකයේ නම් මේවා මකා දැමීමට ක්‍රම වේද ඇති මුත් පාරිභෝගික ජනතාවට මේ ලිපි ගොනු මකා දැමීමට ඇති එකම විසඳුම හැකි සෑම තප්පරයක්ම වැඩ කර නය ගෙවා දැමීම පමණි. ඔබේ මුලු අනාගතයටම නව ලිබරල් වාදය විසින් කෙලවා දමා ඇත කියා සැබෑ සමාජ ක්‍රියා කාරී දේශපාලනය දැක්මක් ඇති අය කීවාට ආශාවන්ට වහල් වී ඇති මිනිසුන්ට ඒ බව වැටහෙන්නේ නැත. සිය උත්සාහයෙන් ඔබ ඉහල පන්තියකට නැග්ගා කීමෙන් පමණක් ජනතාව සතුටු වෙන තැනට වෙළෙඳ සිතිවිලිද සමාජ ගත කර හමාරය. ගෙවිය යුතු නය මුදලේ ඉතිරිය දරුවන්ට බාරයි යන වචනයද කියන්නට සමහර දෙමව් පියන් පසුබට වන්නේ නැත. මන්ද ඔවුන්ට මේ නය මුදල දී ඇත්තේ සමාගම් විසින් නොව ග්‍රහයන්, දේවාල හෝ බෝ ගස් විසින් බව ඔවුන් සිතා සිටින නිසාය. මේසේ  සමාගම් සඳහා ගෙවා දමන ආදර අනාගත කාලය අමතක වන  ආශාවන්ටද වෙළඳ පොල උපායන් නිර්මානය කර ඇත්තේ පාරිභෝගිකයාගේ කීකරු සේවකයන් විලසය. පරණ රූපවාහිනියට, රෙදි සෝදන යන්ත්‍රයට ඔවුන් අලුත් යන්ත්‍ර සපයන්නේ සුලු පොලියකට මුත් පොලිය සහිත නයටම බව පාරිභෝගිකයාට අමතක වේ. මෙහෙයින් මුලු මහත් ජනතාවම ගෝලීය වෙළඳ  ලිබරල් වාදයේ ගුණ වයන පාරිභෝගිකයන් බැවින් මරණය දක්වා විවේකයක් නැති පලහිලව්වට කාලයට සාප කරමින් දිවි ගෙවීමට සිදුවී තිබේ.  සමාගම් හිමියන් වෙළෙන්දන් සහ පාලකයන් ජනතාව මෙහෙය වීමේ කාල කළමණාකරනය මනාව කරගෙන යන අතර ජනතාව ජීවිතයට ජීවිතයක් කියන්නට අදාල සතියකට පැයකවත් විවේකයක් නිර්මාණය කර ගැනීමට කාල කළමනාකරනය පිළිඹඳව සිතන්නේවත් නැත. දරුවන්ට පාඩම් කියාදෙන්නේද , පාඩම් කරවන්නේද ටියුෂන් මාස්ටර්ලා බැවින් පාසැල් ලමුන්ටද විවේකය යන වචනයද විකාරයක් වී තිබේ. සිනමාව සහ සාහිත්‍යය ගැන රසවාද සහ දේශපාලයනය යටි ගිරියෙන් කතා කරන බොහෝ දෙනාගේ පද හරඹ වල ඇති නිශ්පල බව මතුකිරීමට කාල කළමනා කරණය දිග්ගැස්සීම පසුවට කල් තැබිය යුතුය. රජයෙන් අය කරගන්නා 47.67/ බද්දේ සරළ අදහස අපට අයිති සෑම රුපියල් සියයකින්ම රුපියල් පනහකට ඉතා ආසන්න මුදලක් මේ මොහොතේ රජයට වෙන් කළ යුතු බවය. තත්ත්වය මරේ මරු වන්නේ මේ අවස්තාවේය. ආන්ඩු මාරු වීමෙන් සමාගම් විසින් ජනතාව විසින් තමන් සඳහා තමන්ටම අටවාගන්නට සලසා ඇති මේ උගුලෙන් ගැලවිය නොහැක. බදු අඩු කිරීමක් හෝ  දේශ පාලන සටන් පාටයකවත් මිනිසුන්ට දැනෙන පරිදි සටහන් වන්නේ නැත.

       දියුනුයයි සම්මත රටවල ජනතාව මේ නව ලිබරල් වාදීයයි දෙසන ආර්තික ප්‍රතිපත්ති නිසා නිපන් තත්ත්වයන් යම් තරමකට හෝ ජයගෙන තිබෙන බව පෙනේ. ඔබ සේවා ආයතනයේ හිමිකරුවන්ගේ ඉහල නිළධාරීන්   ඔබ නිදා සිටියාට ඔබේ  ජීවිතය ගැන සොයා බලමින් සිටී. ඒ ඔවුන් ලැබූ ධනේශ්වර කළමනාකාර අධ්‍යාපනයේ විදිමත් බවය. ඔබට විඩාව( TIREDNESS) පීඩනය(PRESSURE) ආතතිය(STRESS) ඇතිවී ඇතිදැයි ඔවුන් නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටී. ඒ සඳහා ඔවුන් වසරකට වෙන් කර ඇති ඔබට ගෙවිය යුතු මුදලින් චාරිකා සැනකෙලි පවත්වා ඔබේ ආතති දුරු කරන්නේ සමාගමේ නිශ්පාදන ඉලක්ක සඳහා ඔබද යන්ත්‍රයක කොටසක් ලෙස සලකා බව පෙනේ. එහෙත් ඔවුන් එසේ කරන්නේ තමාට ආදරයට නොවන වග බොහෝ දෙනෙක් වටහාගෙන නැත. වටහා ගත්තානම් තම ආයතනය විසින් ඔබේ ආතතිය නැති කිරීමේ නාමයෙන් ආයතන පාලනයේ සඳහන් එවැනි ක්‍රියා සම්බන්ධව උජාරුවෙන් කතා කරන්නේවත් කුකුල් ගාතයන් සමග ඉඳුල් පිඟන් සහිත ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින්නේවත් නැත. සැබෑවටම මෙවන් තත්ත්වයන් මතද මිනිසුන්ට ආදරේ කරන තවත් මිනිසුන් කොටසක් ඇති බව පෙනේ. ඔවුන් සමහර විට වාමාංශිකයන් විය හැක. නැතිනම් වාමාංශිකයන්ගේ වැරදි විවේචනය කරමින් එන නව වාමාංශික විකල්පයක් සොයන නූතන වාදීන් විය හැක. ඉතා මහන්සියෙන් හැදෑරීමට කාලය වැය කරන ඔවුන් නිවැරදි දේශපාලනයකට සංවිධානය වීමට උත්සාහ කිරීම පැසැසිය යුතුය. එහෙත් දේශපාලනය ගැන කෙසේ වෙතත් ජනතාවගේ කාලය ගැන ඔවුන් කිසිත් නොදන්නා බව දැනෙන්නේ ඔවුන් ජනතාව දැනුවත් කිරීමට ලියන්නා වූ ලිපි සහ දේශන දෙස බලන කලය. බුද්ධිමතුන් පමණක් දැනුවත් කිරීමේ මධ්‍යම පංති ජනප්‍රිය දේශපාලනය ඔවුන්ගේ කාර්ය බව සිතන්නේ නම් ඒ බලාපොරොත්තුවට එතරම් අවිස තිබිය නොහැක. එහෙත් ජනතාවට නම් ලිපි කියවීමට චිත්‍රපට බැලීමට හෝ කිසිදු අමතර දෙයකට කාලයක් ඇති මුත් විවේකයක් නැති බවනම් සැබෑවකි. රට තොට වෙන දේ බස් රතයේදිවත් දැන ගන්නා හෙයින් සකර්බර්ග්ගේ ප්‍රාග් ධනයට නම් නොනිදන කාලයක් උදා වී තිබේ. මාරස මේවා ලියන්නේ කාටවත් බැලීමටත් වඩා බ්ලොග් කරුගේ ඇඟේ අමාරුවට බව නැවත නැවතත් තහවුරු කළ යුතුය.

        මේ තත්ත්වය නිසා මිනිසුන්ට ඇතිවන මානසික ආතතියේ ස්වභාවය ඇසුම්, දැකුම්, රුකුල් මගින් තව බොහෝ දුරට විස්තර කළ හැකි උවද මෙම ලිපිය අවසාන කළ යුත්තේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින සමාජ ක්‍රියාකාරීන් වහාම ජනතාවගේ පැත්තෙන් කාල කළමනාකරණය ගැන විදිමත් වැඩපිලිවලක අවශ්‍ය තාවය න්‍යායිකව සහ ප්‍රායෝගිකව ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් කරමිනි. එය සමාගම් හිමියන්ගේ කාල කළමනාකරණ තක්කඩි කමට ප්‍රතිවිරෝධී මෙන්ම ජනතාවගේ පැත්තෙන් විකල්පයක්ද විය යුතුය. මන්ද මිනිසුන්ගේ අනාගත කාලය සමාගම් හිමියන් බදුගෙන ඇත්තේ ඔවුන්ගේ දරුවන්ටද පොලී ගෙවන්නට සිදුවන අයුරින් බව අප මතක තබාගත යුතුය. නව ලිබරල් වාදයේ නාමයෙන් වපුරා ඇති සමාගම් හිමියන්ගේ කාල කළමනාකරණයේ දයලෙක්තිකය එදා තෙපලූ කාලය සහ අවකාශය මත රඳා නොපවතින බවද පැවසිය යුතුව තිබේ. මිනිස් ආශාව අරමුණු කර සමාගම් හිමියන් විසින් කරන්නා වූ තක්කඩි කාල කළමනාකරණයට විරුද්ධ වීමට පෙර දැනුවත් වීම සඳහා මෙය ලියා නිම කළ බවද සටහන් කළ යුතුය.

 “කාලය වැනි හිඟ සම්පතක් හසුරුවා ගැනීමට නොහැකිවේ නම් හැසිර විය හැකි වෙනත් සම්පතක්ද නැත”

                                                    -Peetar Drucker-

(පීටර් ඩ්‍රකර් විශ්ව කීර්තියට පත් කළමණාකරණ විශේෂයකු ලෙස හඳුන්වයි. ඔහුගේ මෙම අදහස සමාගම් හිමියන් තම නිශ්පාදනය සඳහාද පාලකයන් සිය බලය සඳහාද ප්‍රයෝජනයට ගනිමින් සිටී. අද වන විට මෙය අදාල කරගත යුත්තේ ඔවුන් නොව ඔවුන්ගේ  ගැට වලට අසුවී සිටින සාමාන්‍ය ජනතාව බව අප මතක තබා ගත යුතුය. ඔවුන් අපට දී ඇත්තේ ජීවිතයක්ද යයි සිතීමටවත් කාලයක් අපට ඉතිරි වී නැති බව අප මතක තබා ගත යුතුය. සියල්ලෝ තමාටත් හොරා මහලු වෙමින් සිටිති.

ජගත් මාරසිංහ
2018 10 12


1 comments:

මුළු සමාජ ක්‍රමයම ඇතැඹුලක් සේ ලියා ඇත.කාලය අපෙන් සොරා ගත් අරැමය..


Powered by Blogger.

Follow by Email