මහා පුරුෂයාගේ නො හැකියාව

                              මහා පුරුෂයාගේ නො හැකියාව

                              ගැහැණිය කිසිදා තේරුම්ගත නොහැකි බව අදහස් වෙන පුරුෂ ප්‍රකාශන පිටුපස සැඟවුන අරුත් බොහෝමයක් ඇති බව සැබෑවකි. ස්ත්‍රීන් විසින් පුරුෂ පක්ෂය තේරුම් ගෙන තිබෙණ බවට හැඟීමක්ද ඉන් ජනිත වේ. එසේම එවැනි දේවල් තේරුම් ගැනීමේ අයිතිය ඇත්තේ  පුරුෂයාට පමණි  යන ආඥාවක්ද මේ අදහස හැඟවුම් කරයි. ස්ත්‍රියව තේරුම් ගැනීමට ස්ත්‍රියකට සිය ජීවිතයෙන් ඉල්ලීමක් සිදු නොවේ. නපුංශකයෝ නම් බොහෝ විට ගැහැණුන්ට අමුතුම ආකාරයේ  සතුරු කම් කිරීම සාමාන්‍ය  දෙයක් බැවින් බොහෝ ස්ත්‍රීන් නපුංශකයන් සමග එතරම් ඇයි හොඳයියක් නැත. ස්ත්‍රී, පුරුෂ සහ නපුංශක ත්‍රිත්වය සංකල්ප වශයෙන් සලකන කල අපේ මතකය ඉතිහාසයට ගමන් කරයි. ඉතිහාසය අතීතයට අයිති වූවත් මතකය නම් මේ මොහොතේ අපේ ඔලුගෙඩිවල තිබේ. නමුත් හිත තිබෙන්නේ මොළයේද යන්න තවමත් මිනිසාට ප්‍රශ්නයකි. විද්‍යාත්මක සොයාගැනීම් වලින් මිනිසාට අසීමිත වැඩ කොටසක් කරගැනීමට හැකි වූවත් බොහෝ විද්‍යාත්මක මතවාද වෙන් කොට දාර්ශනිකව විමසන කල එතරම් ශක්තිමත් නැති වග සැබෑවකි. එසේ ශක්තිමත්  වූවානම් දර්ශනය කියා විෂයක් හෝ දාර්ශනිකයන් කියා මිනිසුන් කොට්ටාසයක් බිහි වීමට ඉඩ අඩු විය යුතුය. කොටින්ම එකල මාක්ස් නැමති දාර්ශනිකයා ට නැවත විද්‍යාත්මක යයි කියන චින්තන වලට පිටින් වෙනම දර්ශන පද්ධතියක් ගොඩනගන්නට සිදු වන්නේද නැත. බටහිර විද්‍යාත්මක න්‍යායන්ද හවුල්කර ගත් නිසා මාක්ස්ගේ දර්ශන වාදයද අවුල් වී ඇති බව පවසන දෘෂ්ටිවාද පවා අවුල් වී තිබේ. සරලව බලන විට දර්ශනවාද කොහොමත් පවතින්නේ අවුලක් අරමුණු කරගෙනය.

          ග්‍රහ මණ්ඩලයේ මනාලිය සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයාය. මිනිසාට මේ ග්‍රහයා සමීප ග්‍රහයෙකු වන්නේ පෘථිවිය සහ ග්‍රහයා අතර පරතරය අඩුවීම නිසාම නොව සියලු සත්වයන්ගේ පැවැත්ම තීරණය කරන්නා වූ මහා සාධකය වන ලිංගික, ලිංගිකත්වය නැමති සංකල්ප සදහා සිකුරු නම් ග්‍රහ සංකල්පය වග කියන නිසාය. අතීත මිනිසුන් සිකුරා මත බලහත් කාරයෙන් ලිංගිකත්වය තබා සංකල්ප ගොඩ නැගුවා නොව දේවල් සිදුවී තිබෙන්නේ ස්වභාවයාට යටත්වය. පසුකාලීනව දේශපාලන සහ වෙනත් බලපෑම් හමුවේ තොරොම්බල් වී තිබෙන්නේ සිකුරා නොව සිකුරු ලෝලයන්ගේ  විකාර මතවාද වීම වෙනම කාරනයකි.
       
             පංච කාම සම්පත්තියෙන් තොරව මිනිසාට ජීවිතය පිළිබද සිතා ගැනීම පවා දුෂකර බව කවුරුත් දන්නා කාරණයකි. එහෙයින්ම මිනිසා හරහා අහසටද ස්ත්‍රී  පුරුෂ නපුංශක සංකල්ප ආදේශ විය. සූර්යා පුරුෂ ග්‍රහයෙකු වන්නේත් සිකුරා ස්ත්‍රී ග්‍රහයෙකු වන්නේත් බුධ නපුංශක ග්‍රහයෙකු වන්නේත් අහසෙහි ජීවත්වෙන වග දැනසිටි මිනිසාගේ නිමක් නැති අත්දැකීම්  පදනම් කරගෙනය. සංසාර පුරුදු නිසාය කියන්නේ ඒවාටය. පරීක්ෂණයට වඩා සම්පරීක්ෂණය උතුම් බව ස්වභාවයා අපට උගන්වා තිබේ. ග්‍රහයෝ මිනිසාට ආදේශ කර හිතන්නට පටන්ගත් විට මිනිසාද ග්‍රහයන්ට ආදේශ වී සිතන්නට මාර්ග නිර්මාණය වේ. ඕනෑම විද්‍යාවක ඒක නිසා මේක මෙන්ම මේක නිසා ඒක කියා සාධාරන කිරීම එක් පසකින් අවිඥානය තුළ සවිඥානය පැවතීම මත සිදුවන්නකි. පුරාණ සූ සැට කලා ශිල්ප අතරද ස්ත්‍රී, පුරුෂ, නපුංශක ත්‍රිත්වය ගැඹුරින් හදුනා ගැනීමේ අංග ලක්ෂන ක්‍රමවේද තිබෙණ බව රහසක් නොවේ. මේ සියලු ක්‍රම වේද ග්‍රහ තරු ඇසුරින් විස්තර කරන්නටද මිනිසා පෙළඹී තිබෙන්නේ එදා ග්‍රහයන් සමග සිතීමේ කලාවට රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නිසා පමණක්ම නොවන බවද සැබෑවකි.
          අනුරාධපුරය අනුර නැකතින් ඉදිකළ බවට මහා වංශයේ සදහන් වී තිබේ. මිහිදු හිමියන් මුල නැකතින් සිරිලකට වැඩම කළ බව සමත්තපාදිකාවේ සදහන්ය. අප රටේ සංඝ ශාසනය මෙරට ස්ථාපිත කිරීමට පෙර ග්‍රහ තාරකා ක්‍රමවේදය දියුණු මට්ටමක තිබුණු බවට තව බොහෝ ශාක්ෂි තිබේ. බුදු සසුන පැතිරීමෙන් පසුද යම් යම් බෞද්ධ කටයුතු කෙරේ මේ තත්ත්වය වෙනස් වී නැති බවට ලිඛිත සාධක බොහෝ ඇත. රුවන්වැලි සෑයේ සියළු ඉදිකිරීම් කටයුතු එකල පාලන අධිකාරිය නැකැත් මුල් කොට සිදුකර ඇති බවටද ශාක්ෂි තිබේ. අභයගිරි විහාරයට අයත් ශිලා ලිපියක චන්ද්‍ර ග්‍රහණයක් පිළිඹද වාර්තාවක්ද තිබේ. ග්‍රහතාරකා ක්‍රමවේදය සම්බන්ධව විදිමත් ශාක්ෂි කීපයක් සදහන් කර සිටියේ පුරාණ ඊජිප්තුව බැබිලෝනියාව ඇතුලු මැද පෙරදිග රටවල් සහ පුරාණ භාරතයේත් සම්භාවිතාව පැවති ග්‍රහතාරකා ක්‍රම පුරාණයේ සිට ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වූ බව තහවුරු කිරීමටය. ඒ නොදන්නා අයගේ දැන ගැනීම සදහාය. 
           
          අපරදිග තාරකා විද්‍යාඥයෝ අන් ග්‍රහයන් මෙන්ම සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයාද විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරති. අපරදිග තාරකා විද්‍යාත්මක දක්තයන් සහ නක්ෂත්‍ර දක්තයන් අතර ඇත්තේ මිතුරු සම්බන්ධයකි. අප රටෙහිද විද්‍යාව විෂයක් වශයෙන් ඉහලට හැදෑරූ අයගේ තත්ත්වය එසේ වුවත් විද්‍යාත්මක චින්තනයද බලයක් ලෙස ක්‍රියාත්මක වන බැවින් ඒ වෙනුවෙන් පෙනී සිටින සමහර චින්තන ප්‍රවනතා අගක් මුලක් නැති සංවාදවල පැටලී සිටිති. එක් පසකින් ඉන් මිනිසුන්ට  යහපතක්  වන අතර තවත් පැත්තකින් සැලකිය යුතු අයහපතක්ද සිදුවේ. මේවා මේසේ සිදුවන්නේ සිවිල් සමාජය දේශපාලනිකව තවමත් නිසි ලෙස සංවර්ධනය වී නැති නිසා බව අනෙකුත් සමාජීයව දියුණු රටවල් දෙස බැලීමේදී පෙනී යන කාරණයකි.
             අපරදිග තාරකා විද්‍යාවේ සහ ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ දක්ත අතර බොහෝ සමානකම් සහ අසමාන කම් තිබේ. මේ තත්ත්වය මත විවිධ ගුරුකුල පවා බිහිවී තිබේ. එක් එක් ගුරුකුලයට වෙනස් වූ සිද්ධාන්ත තිබේ. තාරකා විද්‍යාව සහ නක්ෂත්‍ර ක්‍රමවේදය විෂය පද්ධති දෙකක් බැවින් දෙගොල්ලන්ටම පොදු කාරණා සීමිත බැවින් ඒ ගැන පොදු ලිපියකට කරුණු ගොණු කිරීම පල රහිත ක්‍රිරියාවකි. 
             එදා මිනිසුන් විසින් මිනිස් ජීවිතයේ එක් එක් නිවේදනයන් ග්‍රහයන් නව දෙනෙකුට බාර දී තිබේ. එසේ කර තිබෙන්නේ අතීතයේ පිස්සු මිනිසෙක් හෝ පිස්සන් කොට්ඨාසයක් නොව සමාජ පරිනාමය තුළ ජීවත් වූ සාමාජීය මිනිස් සංහතියම බව පෙනේ. මුලු මහත් මිනිස් සංහතියේම ජීවිත අත්දැකීම් ක්‍රමයෙන් බෙදී ගොස් ඒවා සංකේතාත්මකව ග්‍රහතරු වලට ආදේශ වී තිබේ. පසු කාලයක විවිධ දැනුම් පද්ධති දේශපාලනිකව විකාරයක් වී තිබෙන්නේ නක්ෂත්‍රයේ පමණක් නොවන වග බොහෝ දෙනෙක් අමතක කර තිබේ. ගණනය කිරීමට පහසු සහ විදිමත් විද්‍යාත්මක දින දර්ශන නොසලකා ග්‍රෙගරියන් කැලැන්ඩරය ලෝක සම්මත වන්නේද පසුකාලීන දේශපාලනික අර්බුද හමුවේ බල අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි.                  

               කෙසේ හෝ පෘථිවිය නැමති නිවසේ නව ග්‍රහයන්ට අනුරූපව තොරතුරු රාක්ක නමයක් විවෘත වූ අතර සමාජ චලිතයත් සමග මෙම රාක්කද වෙනස් වෙමින් සංසෝධනය වෙමින් චලිත වන්නට විය. මිනිසා ග්‍රහයන් නවයක් තෝරා ගත්තේ ස්වභාවයේ යම් රටාගත නියමයක් නිසාය. චන්ද්‍ර මාස එකින් එකට එක් එක් ස්ත්‍රී කණ්ඩායම් ඔසප් වන අතර පිළිසිඳ ගත් දරුවා පවා ප්‍රසූත කිරීමට නව මසක් ගතවේ. ආරම්භක ශාරීරික දින දර්ශන තවමත් වෙනසකට බදුන් වී නැති අතර අහසේ සිට පොළව ගැන හිතන ක්‍රම වේදයකට පොළවේ සිට අහස ගැන සිතන ක්‍රම විධි පරස්පර වීම විය යුක්තක්ම වේ. මෙම තොරතුරු ගොනු මේ වන විට මිනිසාගේ අතීත කාමය වෙළද පොළ කරණය වීම  විසින් කොන්ක්‍රිට් කරනය වී ඇති අතර එහෙයින් නව සාමාජීය චලිතය ගබඩා වීමට තිබි ඉඩ කඩ ඇහිරී තිබේ. කොටින්ම මේ තත්ත්වය නිසා නක්ෂත්‍ර වේදය නියති වාදයකට යටත් වී තිබේ. කාලය පදනම් කර ගත් ක්‍රමවේදයක් නියති වාදී වූ පසු එය විගඩමක් පමණක් නොව වංචාකාරී ක්‍රියාවක් බවට පත්වීම අනිවාර්ය වේ. නව ජාන විද්‍යාව තුළද මෙවැනි දේ සිදුවෙමින් තිබේ. ජාන විද්‍යා සූත්‍ර වැරදි ආකාරයට පටලවා ගනිමින් පවුල දේපල සහ රජය සම්බන්ධ ඓතිහාසික කියවීම් බොරු කර එ්ක ලිංගික පවුල දේශපාලනික නිර්මානයක් නොව ස්වභාවික නිර්මානයක් කිරීම යාන්ත්‍රික භෞතික වාදියෝ අතින් අචේතනිකව සිදුවේ. ඔවුන් කරන්නට වලි කන්නේ සත් ක්‍රියාවකි. නමුත් සිදුවන්නේ ප්‍රතිගාමී විකාරයකි. අචේතනිකව කීවේ එබැවිනි.
          
                සිකුරාට නියමිත තොරතුරු රාක්කයේ සංදර්ශනය,පිරිසිදුකම, සතුට, ආදරය, ලිංගිකත්වය, කරුණාව, විවාහය, ක්‍රීඩාව, තාරුණ්‍යය, ශුක්‍ර ධාතුව,ස්ත්‍රී ලිංග පද්ධතිය වැනි බොහෝ දේ එකතු වෙමින් තිබේ. මේ තොරතුරු රාක්ක පරිහරණය කරන්නේ නක්ෂත්‍ර කරුවන් පමණක් නොවේ. ආයුර්වේද ක්‍රමවේදයද, පාරම්පරික වෙදකමද, විවිධ තාන්ත්‍රික ක්‍රමවේදයන්ද මේ හා බැදී තිබේ. මේ ජනවේදී තොරතුරු රාක්ක දාර්ශනිකයන්ද නිරන්තරයෙන් ඇසුරු කර තිබේ. රතැඹුල පෙති මෙන් රත් වූ මොළොක් වූ පතුල් ඇති ස්ත්‍රීන් මෙන් කියමින් අතෝරක් නැති ස්ත්‍රී අංග ලක්ෂණ ශාස්ත්‍රය නිර්මාණය වී තිබෙන්නේ පුරුෂ ආශාව මුල් කරගෙන විනා සිකුරු ග්‍රහයාගේ ආශාවට නොවන වග සැබෑවකි. ස්ත්‍රී අංග ලක්ෂණ හැගවුම් පුරුෂ ඔලුගෙඩි වල නලියන තරම දැන ගැනීමට නිල් චිත්‍රපට නැරඹිය යුතු නැත. මග තොට දකින ස්ත්‍රී ඇදුම් ආයිත්තම් පමණක් ප්‍රමාණවත් වේ.

            සූර්යා වනාහි ග්‍රහ මංඩලයේ රජුය. මුලදී මිනිසා සම්මුති හදාගෙන තිබුනේ  රජා අප වටේ ගමන් කරනවා යන සිතීම මුල් කරගෙනය. එහෙත් මේ සම්මුතිය විද්‍යාවේ සම්මුති මගින් ඊටම සීමා වූ සාධක මත වෙනස් කරන ලදී. දැන් සම්මුතිය අපි රජා වටේ ගමන් කරන බවය. එහෙත් පෙරදිග වැසියෝද අපරදිගට පෙර පෘථිවිය සූර්යා වටේ ගමන් කරන බව කුමණ හෝ ප්‍රත්‍යක්ෂ නුවනකින් අවබෝධ කරගෙන සිටි බවද අප අමතක නොකළ යුතුය. ඒ පිළිඹද වැඩිදුර නොලියන්නේ මේ ලියවිල්ලට එවන් සංවාද එතරම් අදාල නැති නිසාය. යමක් සිදුවීමට වඩා වැදගත් වන්නේ එම සිදුවීම දෙස බලන ස්වරූපය බව බොහෝ විට අප අමතක කර තිබේ. මේ සම්මුති තත්ත්වයන්ට අනුව සිකුරා නමැති ස්ත්‍රියද මහා පුරුෂයා වන සූර්යා වටා ගමන් කරයි.  මුලු ග්‍රහ තාරකා පද්ධතියේම සර්පිලාකාර ලෙස  සාපේක්ෂකව භ්‍රමණ තත්ත්වයන්  දැකිය හැකි නිසා අනාගතයේදී මොකා මොක වටේ යන සම්මුති සාධනය කර ගනීද යන්න සැක සහිතය. එහෙත් ග්‍රහ චලිත කක්ෂය රේල් පීලි මෙන් අනන්ත කාලයකට එකට එක් වන්නේ නැත. කොටින්ම හිරු නැමති මහා පුරුෂයා සහ ස්ත්‍රී ආත්මයෝ සංකේතවත් කරන්නාවූ සිකුරා කිසිදා සිය ගමන් පථය වෙනස් කර හෝ සූර්යා සමීපයට තව දුරටත්  කිට්ටු වන්නේ නැත.  
             මහා පුරුෂ රත්නය වූ සූර්යා සිය ආලෝකය මගින් තමා විසින් සිකුරා ගේ පෙනුමේ ලක්ෂණ නිර්මාණය කළ බවට උදම් ඇන්නාට සිකුරා  දිලිසි දිලිසී කිසිත් නොදන්නාක් මෙන් ඇයට උරුම රාජකාරිය කරගෙන යයි. සූර්යා නොදන්නා අනිත් කරුණ වන්නේ තමන්ටත් වඩා අෑතින් සිටින අනෙකුන්ද සිකුරාව විවිධ කෝණ හරහා දකින බවය. මේ තත්ත්වය මත කඳුලු වගුරවන්නේ සූර්යා නොව සූර්යා වෙනුවෙන්දෝ පෘථිවි වාසී ඔහුගේ පුරුෂ ගෝල බාලයෝය. ශුක්‍ර ධාතුවේද ස්වභාවික අයිතිය ගර්භාෂයටය. මන්ද ගර්භාෂයෙන් තොරව ශුක්‍ර ධාතුවට පැවැත්මක් නැත. කිසි සේත්ම සූර්යාට තමාගේ පරාජයද දරාගත නොහැක. එයද සිකුරගේ නිවේදනයකි. සූර්යාගේ තත්ත්වය මෙසේ නම් මිනිසාගේ ලිංගික මානසික ආධ්‍යාත්මය ගැන කුමන කතාද? පුරුෂයාගේ පරාජයට පලිගැනීමට මෙන් අද බොහෝ විට සිදුවන්නේ ශුක්‍රගේ රාක්කයේ තිබෙන ශුක්‍ර ධාතුව ගෙන  තමන් වටේ කැරකෙන  සිකුරාගේ අත්ම සංකේතය වූ ළඟ සිටින අහිංසක සිකුරියගේ මුහුණේ අතුල්ලා ඉන්ද අාධ්‍යාත්මික අඩුව නොපිරෙන බැවින් කැමරා ෆෝනය ගෙන තමන්ගේ ජයග්‍රහනය අන්තර් ජාලයට දැමිම පමණි. ඉන් හිල් මරන්නන්ගේ සතුට නිසා පිනක් සිදුවීම කෙසේ වෙතත් සිකුරාගේ ගමනටවත්, තොරතුරු රාක්කයටවත් කිසිවක් සිදු නොවේ. සූර්ය විලාපයේ ස්වභාවය  එයයි.

              
                විද්‍යා පර්යේෂකයෝ කුමණ සූත්‍ර සංකල්ප ගොඩ නැගුවද, කුමණ පර්යේෂණ වල නිරත වුවද, සිකුරා නැමති රූමත් දඟකාර කාම දේනුව මිනිස් මනසේ සංකල්ප ගතවී තිබෙන්නේ පංඩිත බුද්ධිවාදී උද්දච්ච් අාකාරයකට නම් නොවේ. එහෙයින්ම එදා සිටම කලා කාරයෝ ඇයව හදවතේ තබා රමණයේ යෙදෙති. ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයෝ ඇයව ගණිතය සහ ජීවිතය හරහා ඇගේ හදවත අතට ගෙන රමණයේ යෙදෙති. තාරකා විද්‍යාඥයෝ ඇයව විද්‍යාගාරයේ තබා රමණයේ යෙදෙති. සාමාන්‍යය මිනිසුන් ඇයට පෙම් කරමින් ඇයත් සමග  ජීවත් වේ.
                  
                සූර්යා නමැති මහා පුරුෂයා සහ අවශේෂ  ග්‍රහයෝ ඇයට පෙම් කරන්නේ ඇස් දෙකෙන් සහ කන් දෙකෙන් පමණි. අප නොකිව්වාට අාධ්‍යාත්මිකව කෝනයකින් බලන විට ඇත්ත නම් එයයි. මූලික බෙදීම් වශයෙන් ගත් කල ඇසට පෙනෙන වර්ණද හතකි. සප්ත ස්වර ලෙස ශබ්ද සංඥාද හතකි. මිනිසාට බලපෑම් කළ හැකි බව වටහා ගත් ග්‍රහයෝද හතකි. අද සියලු වෙළඳ කටයුතු ප්‍රචාරණ වාදී දිශාවකට තල්ලු  වී තිබේ. නව ආධ්‍යාත්මික විද්‍යාවක අවශ්‍යයතාව මතු වන්නේ සැබෑවටම නූතන තත්ත්වයන් ගෙන් පසුවය. සියලු විචාර මනෝවිද්‍යා කරණයකට යටත් වෙමින් තිබේ. තමාට අහිමි කායික ආධ්‍යාත්මය සයිබර් අවකාශයක අතරමංවී තිබේ. මේ තත්ත්වය මැද සියලු  කැමරා ගත්තෝ කෙරුමෝ වී සිටිත්. සංගීතය කැමරාව සමග අනියම් පෙමක පැටලී මිනිසාව සිකුරාගේ හෙවනැල්ල වෙත ගෙනියයි. අාශාවන් දෙගුන තෙගුන වී තිබේ. මිය යමින් සිටි සංස්කෘතික සාම්ප්‍රධායික සංකල්ප වලට පණ ඉපදී මරණයෙන් නැගිට ඇති බව නොදත් පරණ වීමට නියමිත කලා කාරයෝ වැදි බණ දේශනා කිරීම අරඹා ඇත. එහෙත් සිදුවී ඇත්තේ සියලු සංකල්ප වල ස්වරූප වෙනසක් පමණි.
           
                  පුරුෂයෙකුගේ සිකුරා නරක් වූ කල තම නිවසේ සිටින සිකුරු ආත්මය තමා අතහැර පලා යන බවට කතාවක් තිබේ.  සිකුරා තමාට ඇවැසි ආකාරයට කටයුතු නොකරනවා කියා හිරුට කරන්නට කිසි දෙයක් නැත්තා සේ සිකුරු ගෑණු කෑලි වලට දැනෙන්නට කිසිත් කරන්නටද පුරුෂ සූර්ය කෑලි වලට නොහැක. දේවිය හැර ගිය පසු පුරුෂ රත්නයන්ගේ හිස මත සිටින අාධ්‍යාත්මික සිකුරා කුලප්පු වේ. ඒ වග එවන් ඉරනම් වලට වැඩියෙන් ගොදුරුවූ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ආධ්‍යාත්මික ඇසකින් කියවීමෙන් ඔබටම තහවුරු කරගත හැක. ලෝකයට සාධනීය යමක් එක් කළ මහා විද්වතුන්ගේ වැඩි ගණනක් ජන්ම කේන්ද්‍ර පත්‍ර වලද සිකුරා නරක්වී තිබේ.(මැකී ගිය තරු රටා පිටුව හරහා එවන් ග්‍රහ පිහිටීම් විමසිය හැක.) අපේ කොදෙව්වේද තත්ත්වය එසේමය. ඒ තත්ත්වය ඔවුන්ගේ ජීවිත තුළින්ද  සාධනය වී තිබේ.

ජගත් මාරසිංහ
2016 ජනවාරි 24
                                             www.jagathmarasinghe.com
  

1 comments:

කෙල්ලෝ බලලා යයි මෙව්වට


Powered by Blogger.