මාර මතක

                   භරතමුනි‌‌ගේ සිහින අනුව අපි අද මල් පැලකරන්නේ නැත
මේ ඡායාරූපයේ ‌‌තේරුම් ‌සොයන්නට කිසිවෙකුට සිත් ඇතිවන්නේ නැත. කවුදෝ පිස්සෙක් ජනේලයක් කැමරාගත කර තිබේ යන්න එයට දිය හැකි ඒක්තරා ‌හේතුවාදී තල ජ්‍යාමිතික විචාරයක් විය හැක. නමුත් ‌මේ ජායාරූපය දැක මට ඇතිවුයේ කිසිදා අමතක ‌නොවන මාර මතක මනෝභාවයකි.ඒ් ඉන්දුලංකා ගිවිසුම සමයේ වසර ‌දෙකකට ආසන්න මගේ බන්ධනාගාර ජීවිතයේ මනෝ භාවයයි. ඒ සිරකඳවුර කිසිසේත්ම අපට බිය සැක ජාතක ‌නොකළ බව මතකයේ තිබේ. මන්ද එහි සිටි රැඳවියන් පිරිස ‌ලෝකයේ අතීත ‌දේශපාලන සිරගත ජීවිත අත්දැකීම් වලින් ‌‌පෝෂණ අවකාශයක් නිර්මානය කරන්නට වූ බැවිනි. අප නිදහස් බලාපොරොත්තු ‌වෙනුවෙන් සටන් වැදුනෙමු. එහෙත් මට නම් ඒ සතුට සදය සතුටක් වූයේ ‌වසර පහක් දුකසැප ‌බෙදාගත් මගේ ආදර ‌පෙම්වතිය මා සිරගත වීමත් සමගම අපේ ආදර මිහිර ඉතිහාසයට ඒකතු කිරීමට පියවර ගැනීම පමණි. එතැන් සිට සතුට සදය සතුටක් වී ‌වේදනාත්මක මනෝභාවයක මා ජීවත් වූ අයුරු ‌මේ ඡායාරූපය මට නැවත සිහිකළා ‌සේ දැනේ. ‌ එහෙත් ‌වෙනසක්ද තිබේ. ඒ මනෝ භාවය ඒදා ‌වේදනාවක් ‌ලෙසද ‌අද ‌මේ ඡායාරූපය විසින් සතුටක් ‌ලෙසද මට දැනී යාම ඒ ‌‌‌වෙනස බවද සටහන් කළ යුතුය. ඒ කලාවේ ජීව ගුණයයි. භරත මුනි පැවසූ පරිදි ඒ ‌සෝකයත් රසයක් නිසා වීමට පුළුවන. ඒහෙත් භරතමුනි‌‌ගේ සිහින අනුව අපි අද මල් පැලකරන්නේ නැත.එක ඒකා කියන බුදුන්ගේ ‌හෝ මාක්ස්ගේ ‌හෝ ‌මොකාගේවත් ‌වෙළඳ සිහින අනුව අප මල් කැඩිය යුතුද නැත. ‌මේ යකඩ මලද ‌රෝ්ස මල කියා ‌වෙළඳාම් කරන කාලයයි. අප සැම ‌දෙනා ‌දැවැන්ත ආදරයක් ‌සොයන කාලයයි.

 *****************************************************************************                                                               
                                       බස් මතක


රාත්‍රියකට ඩොලර් 50 ට අඩු මුදලකට ඔබට තංගල්ලේ ප්‍රදේශයේ විලක් අසල තිබෙන මෙම ද්විත්ව ඇඳ බස් රථයේ රැඳී සිටිය හැකිය යන විස්තරයක් අන්තර්ජාලයේ දැක එකපාට අතීත මතකයක් සිහිවුනා. දහනම වියේදී උසස් ‌පෙළ විභහගයට මුහුනදී (1980 මුල ) ඉදිරි කාලය භාවිතයෙන් ඉවත් කළ බස්රතයක කාඹරයක් හදාගෙන ඒ තුළ වනගත ජීවිතයක් ගතකිරීමට මමත් මගේ මිතුරෙකුත් තීරණය කළා. වනගත පුරෝගාමී ‌සේවයක වාර්තාවක් හදාගෙන බස්රතයක් ලබා ගැනීමට කටුබැද්ද ඩිපෝ‌ෙවෙන් යමක් කරගන්න හැකි මහතෙකුත් හමුවුනා මතකයි. එයා බස් එකට ‌දෙකක් ‌දෙන්න අපි ‌දෙන්නට ‌පොරොන්දු ‌වෙලා අපට අම්මලා එක්ක එන්න කියලා අවධාරණය කළා . එයාටත් අපි තරම් පුත්තු ඉන්න කතාවකුත් කිව්වා. එයා අම්මලා එක්ක එන්න කිව්වේ කිව්වේ බස් ‌දෙන්න ‌නෙවේ අම්මලාට ලනුදෙන්න කියන එක අපට නියමෙට ‌තේරුනා. අපිි මිනිහට බැන බැන ‌ගෙදර ගියා. අපි ‌දෙන්නම ඒ කාලේ ඡායාරූප ශිල්පයට තිබ්බේ මාර ආශාවක්. පසුගිය භීෂණ සමයේ ඒ මිතුරාව බලධාරීන් විසින් අතුරුදහන් කළ බව ‌නොලිව්වොත් ඒකත් මහා අඩුවක්. ඇත්තටම ඒ බස් මහත්තයා එදා ‌‌පොළවට පස්වෙලා යන බස්කෑල්ලක් අපට දුන්නනම් ජීවිතය ‌කොච්චර ‌‌ලස්සන ‌වෙන්න තිබ්බද යන සිතිවිල්ල ‌මේ ඡායාරූපය නැවත සිහි කළා වගේ. අපි අපිටත් රටටත් වැඩක් කරන්න ඉල්ලුවේ ‌ලොකු රස්සාවක් ‌හෝ මසුරන් ‌නෙවේ. අහක විසී කරලා ඒ කාලේ ‌පොළවට පස්වෙලා යන බස් කෑල්ලක්. ඒක ඉල්ලුවෙත් ‌ගෙවන්න හරි කියලා.
********************************************************************************
                                නාට්‍ය සහ කැමරා මතක
                          "#වෙබ්_විරිත
#මාරස
#මතක
නාට්‍ය සහ කැමරා පිස්සුව තදේටම තිබි කාලයකි.මතකයේ විදිහට අනූව දශකයේ මුලය.ලයනල් වෙන්ට් රඟහලේ මනමේ විශේෂ දර්ශනයකි.කැමරාව රඟහල තුළට ගෙනයාමට සංවිධායකයෝ අවසර දුන්නේ ආලෝකයෙන් රසිකයන්ගේ වින්දනයට කරදරයක් නොකරන බවට පොරොන්දු වී බැගෑපත් වීමෙන්   පසුවය.කෘතීමාලෝකය අපට තරම් නොවන වග ඔවුන් දැන සිටියේ නැත. රංඟ භූමියේ ඇති අලෝකය හොඳටෝම ප්‍රමාණවත්ය.කාච විවරයද ෂටරයද අපට කීකරුය. එහෙයින් වරින් වර ෂටරයේ හඬනම් තමාටම තිගැස්මක් ඇති නොකළාද නොවේ. මැකීයමින් පවතින එම ඡායාරූප කිහිපයෙන් මහන්සියකින් තොරව ඔබ දෑසට පිදිය හැක්කේ මෙය පමණි."
නාට්‍ය සහ කැමරා පිස්සුව තදේටම තිබි කාලයකි.මතකයේ විදිහට අනූව දශකයේ මුලය.ලයනල් වෙන්ට් රඟහලේ මනමේ විශේෂ දර්ශනයකි.කැමරාව රඟහල තුළට ගෙනයාමට සංවිධායකයෝ අවසර දුන්නේ ආලෝකයෙන් රසිකයන්ගේ වින්දනයට කරදරයක් නොකරන බවට පොරොන්දු වී බැගෑපත් වීමෙන් පසුවය.කෘතීමාලෝකය අපට තරම් නොවන වග ඔවුන් දැන සිටියේ නැත. රංඟ භූමියේ ඇති අලෝකය හොඳටෝම ප්‍රමාණවත්ය.කාච විවරයද ෂටරයද අපට කීකරුය. එහෙයින් වරින් වර ෂටරයේ හඬනම් තමාටම තිගැස්මක් ඇති නොකළාද නොවේ. මැකීයමින් පවතින එම ඡායාරූප කිහිපයෙන් මහන්සියකින් තොරව ඔබ දෑසට පිදිය හැක්කේ මෙය පමණි
**********************************************************************************************************************************
                       හොම් කමින්                                   

                    1985 "පරවේණි" නාටකය කරලා 11 දර්ශනය පුහුණුවට පෙරදා අවු 2ක් මැගසින් බන්ධනාගාරයේ නිවාඩු ගත කරන්න සිද්ද වුනා. පසුව 2000 අල්ලා සංජය වර්ණගේ ගේ බලකිරීම නිසා "හෝම් කමින්" නාටකයට අත ගැහැව්වා. නිලියො හොයලා එපා වුනා. ප්‍රවීන අයට කාලයක් නැහැ. අර්ධ ප්‍රවීන අය ටෙලියට තමා මුල් තැන. අනික හෝල් නැහැ. අවුරුද්දෙම කොළඹ අපිට ඕන හෝල් ඔක්කොම කලා ව්‍යාපාරික අතරමැදියෝ වෙන් කරගෙන. අන්තිමට සයිමන් නවගත්තේගම මැදිහත් වෙලා ජෝන්ද සිල්වා එකේ 13 වෙනිදා එන දිනයක් අරන් දුන්නා. ඒක ඉතිරි වෙලා තිබුනෙත් 13 අසුබ නිසාලු. ඒත් සයිමන් මැදිහත් වෙනකම් අසුබ දිනයක්වත් ගන්න අපට ලැබුනේ නැහැ. සංජයටත් කරදර ආවා. සල්ලිත් වියදම් කර කට්ට කෑමට මමත් අකමැති වුනා. පිටපත පොත් රාක්කෙට දැම්මා. නිහඬ වුනා.විචාර වගේ සටහනක් ලියා තිබ්බේ ඒ යුගයේ දුහුනන් දෙදෙනෙකු පමණයි. නමුත් නාට්‍ය ප්‍රදර්ශනය වූ මහ රෑ මංජූල වෙඩිවර්ධන නිලංකත් එක්ක බෝතලයකුත් අරන් කඩාගෙන ඇවිත් කිව්වා මේ අපේ ලයිප් මචන් පොත ගහන්නත් ඕන නාට්‍ය දිගටම කරන්නත් ඕනා කියලා.මම කිව්වා මගෙනම් බලාපොරොත්තුවක් නැහැ කියලා. උඹට බැරිනම් මට කරන්න දියන් කිව්වම මම කිව්වා කරපන් කියලා. ඌත් දේශපාලන හේතු මත රටින් පිට වුනා. නාට්‍ය පොත් රාක්කේ තනිවුනා.නාට්‍යට වඩා වැදගත් ඒ කාලේ වගකිව යතු නව පැරණි අයගේ නිහඬ කම. කොටින්ම යුගලන පවුලේ වර්තමාන ලාංකේය චලිතය සොයනවාට ප්‍රතිවිරුද්ධ නිහඬ කම රැකපු දාර්ශනිකයෝ ගැන.ඒවා ගැන කවුරු අමනාප වුනත් ඉදිරියේදි ලියන්න සිද්ධවෙන එක අනිවා.වැඩි දෙයක් මේ නාට්‍යට ගත්තේ නැහැ. කසාද බැඳලා රමණයේ යෙදුන මොහොතේ සිට වෙන්වෙන්න හිතෙනවා ඒත් වෙන්වෙන්නේ නැහැ. දිගටම එච්චරයි. චෙකෝප් ඉබ්සන් ගැන හැදෑරීම් මතු කරන්න හැදුවට ඒ ගැන කතාකරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. හිටපු උන් හිටියේ වෙනත් අර්බුද මැද්දේ. 

*********************************************************************************               

ටෝච් එක සහ බෝක්කුව
       

     අප ගැටව් සන්දියේදි චිත්‍රපට වර්ග දෙකක් තිබ්බා. සම්භාව්‍ය ඒවට ආස කට්ටියත් වානිජ චිත්‍රපට කියන ඒවා බලන්න ගියා. ජනප්‍රිය වානිජ ඒවට පෙනීහිටින කට්ටිය සම්භාව්‍ය කට්ටියට සමච්චල් කරද්දි අපි කිව්වේ අපි ඒව බලන්න යන්නේ නිලියන්ගේ බෝක්කු බලන්න කියා. කෙල්ලන්ගේ හෝ ගැහැනුන්ගේ කකුල් පලල්වෙලා අඩ නිරුවතින් පේන දර්ශනයට තමා බෝක්කු කියලා ප්‍රසිද්ධ වුනේ. දවසක් මිනුවන්ගොඩ පුෂ්පමාලි සිනමා හලේ ගාමිනී මාලනී රඟන කස්තුරි සුවඳ පෙන්වනවා. මාලනී ඇඳක් උඩ. කොල්ලන්ගේ භාෂාවෙන් බෝක්කුව පේනවා.මීයට පිම්බා වගේ නමුත් සියලු පිරිමින්ගේ රසාස්වාදයට වින කරමින් කවුද එකෙක් කෑලි හයක  ටොච් එක බෝක්කුව අස්සට ගැහුව ඇතුල බලන්න වගේ. දැන් තිරේ විතරයි එතන සුදුවට පේන්නේ. ආතල් කුඩු. අඩෝ නිමපන් කියලා කොල්ලෝ වගයක් ගැලරියෙන් කෑගැහැව්වා. 6.30 දර්ශනය අවසානයි. අපි එලියට එද්දි වලියක්. කොල්ලො ටික ටෝච් කාරයාට පහර දීලා ටෝච් එක උදුරන් බයිසිකල් වලින් පලා ගිහින්. කෝමද බෝක්කුවක වටිනාකම. මෙතන තියන පාදඩ කම දෙස නොව සමාජ විද්‍යාත්මකව විමසිය යුතු දේ සොයන්න. බොහෝ දේ ඔබට හමුවෙයි. ඒවා අදටත් වලංගුයි.

********************************************************************************

                        අපේ කාලයේ තවත් වීරයෝ ටිකක්
1985 මම යාලුවොත් එක්ක කරපු පරවේණි නාටකය රට වටේ යන්න ගත්තා විතරයි රද්දොලුගම දර්ශනයට පුහුණුවට පෙරදා නීතිපති මාවත් මැගසින් එකේ වසර දෙකකට පමණ නොමිලේම බෝඩින් කළා. නාට්‍ය ඉවරයි. මේ කියන්න යන්නේ ඊට සම්බන්ධ වෙන මතකයක්. ඒකාලේ පරවේණියට සංගීතයට ගත්තේ නියම කට්ටියක්. කලනි පෙරේරා,එච්. එම් ජයවර්ධන, තිස්සසිරිලගේ කල්ලිය තමා ඒකාලේ වැඩකාරයෝ කියලා ප්‍රසිද්ධ. පුන්තිලා නාට්‍යය බළලා මම කලනිව බොක්කටම වැදිලා පරවේණියේ සංගීතය බාර දෙනවා. කලනිගේ කැරකෙන රෝදේ හැම තැනම ඇහෙන කාලේ. එච් එම් සංගීතයෙන් විතරක් නෙවේ දේශපාලනයෙන්ද වීරයේක් වුන කාලයක්. එච් එම් මුහුදු ලිහිණි චිත්‍රපටයට සම්මාන දීපුවාම මේක මට නෙවේ කේම දාස මාස්ටර්ට දියයුත්තේ කියලා සම්මානය ප්‍රත්ක්ෂේප කරපු කාලය. සත්‍යයේ ගීතය සමගත් මොකක්ද ලෙඩක් මේ කට්ටිය දාගෙන අයින් වුණ කාලය. ඒක හින්ද ජන  මාධ්‍ය එච් එම් ව හැඳින්වූයේ අපේ කාලයේ වීරයෙක් කියලා.බම්බල පිටියේ එදා මැජස්ටික් හෝල් එක ගාව ලොකු අවන් හලක් තිබ්බා. මේකේ අපේ අලුත් කොල්ලො සෙට් එක සෙට් වෙලා ඉන්නකොට මේ සංගීත පොරවල් ටිකත් ආවා. එයාලා මේසයක් අරන් මට කතා කරල කිව්වා ඇයි වෙනම ඉන්නේ එන්න මෙතන්ට කියලා. දැන් මධු ලෝලත්වය නැගලා යනවා. බඹර පදමෙන් මම නැවැත්තුවා.කොහොම හරි මධුලෝලයෝ දැන් ගෙවල් බලා යන වෙලාව. ඔන්න අපේ කට්ටියත් පඩිපෙල බහිනවා. මෙතනදි එච්. එම්ගේ කකුල පැටලිලා පඩිපෙලෙන් බිමටම රීටුවා. මග හිටිය සුදත් හිනාවුනා මිසක් ඇල්ලුවේ නැහැ. මම ඌව තනිකරන් ඌට බැන්න. ඌටත් වෙරි. ඌ අහනවා මගෙන් අපේ කාලයේ වීරයා පස්ස පැත්තෙන් එනවා දැකලා ඌට හිනා ගියාලු. මේවා කිසිදා අමතක නොවන මතක.මේ කට්ටිය ගැන තව දෙයක් කියන්න ඕනා. මිනුවන්ගොඩ දර්ශන වාරෙදි ආපසු යන බස්එකේ ප්‍රමාද දෝසයක් ඇති වෙලා සංවිධායකයෝ වෑන් එකක් දුන්නා. නමුත් ලයිට් බඩු ඒකේ ගෙනියන්න බැහැ. ලයිට් කරපු සේනව දාලා යන එක කලනිලා ප්‍රතික්ෂේප කළා. එලිවෙලා හරි එකට ආව කට්ටිය එකට යන්න ඕන කිව්වා. බීෂණය එලිපත්තේ සුන්දර කාලයක්. ඒක යුගයක්. නේද කෝරළයෝ. තව දෙයක් ලියන්නම ඕන. එදා අපි ක්ෂේත්‍රයට අලුත් වුනාට අපේ හැදෑරීම් වලට මේ අය මාර විදිහට ගරු කළා. ඒ හින්දා ඇත්තටම අපිත් ආදරය කළා. මේ මතක විතරයි. මෙයාලා කට්ටියගේ මෙහෙවර ගැන වෙනම ලියන්නම්කෝ.

******************************************************
රුධිර වාරණය

       
                   කේ කේ සමන් කුමාර හෙවත් සර්පයා මගේ අසනීප තත්ත්වය විමසන්න 2000 මැයි 20 දා ආවේ ඩිටෝල් නාගෙන. මොකද මට විෂබීජ යයි කියන බයට. උගෙ පැමිණීම නිසා දවස් දෙකක් මට රෝගය අමතක වුනා. හැබැයි මටත් කේ. කේගේ එක තහනම් නියෝගෙකට යටත් වෙන්න සිදුවුනා. ඒ ලේගැන සැත්කම ගැන කතා නොකර සිටිය යුතු බවට කේ කේ නිකුත් කළ සර්ප නියෝගය. මොකද ඒවා ගැන කතා කළොත් කේ කේව රෝහල් ගත කරන්න වෙනවා. මේක ඇත්තක් බව දන්න හින්දා මමත් ලේ ගැන මොකුත් නොකිය ඉන්න පරිස්සන් වුනා. ඒ අවස්ථාවේ සුන්දර භයානක මතකයක් මම මතක් කළා ඒක ලියන්න ඕන මතකයක්.2000ට ආසන්න දවසක්. කේ. කේට දත් කැක්කුමක් හැදිලා ගීතත් එක්ක අපේ ගෙදර ආවා. කේ කේට ලෙඩක් හැදුනම අඳෝනාවක්. හරියට දුක්කරනවා. දත ගලවන්න බැහැ කියලා අපිට තග දානවා. කෝම හරි සනසවලා සව්මිත් ගීතාත් මමත් මෙයාව මොරටුවේ එකල ප්‍රසිද්ධ දත් දොස්තර කෙනෙක් ළගට එක්ක ගියා. මම විස්තරේ කලින්ම ඩොකාට කියලා තිබ්බේ. එයත් දේශනයක් දීලා දැන් සර්පයව පුටුවේ තියලා පුටුව දිගහැරලා වැඩේ පටන් ගන්න හදන්නේ. දොස්තර හිරිවට්ටන බෙහෙත් බෝතලේ අරන් උස්සල එන්නත් කටුව ඒකට ඇන්න විතරයි. කාල ගෝට්ටියයි. දන්ත සායන සයනයෙන් සර්පයෙක් වගේ කලන්තේ දාලා සර්පයා කඩා වැටුනා. සර්පයාගේ ඔලුව බිම.  කඳ පුටුවේ. දොස්තරයි සව්මියි ගීතයි තව එතන හිටපු අයයි වට වෙලා. දොස්තරගේ කුප්පි එන්නත් කටු කොහෙද දන්නේ නැහැ. සර්පයාට ටික ටික සිහිය ආවා. මට හිනායනවා. මොකද මට මතක් වුනේ අර මොඩන්ස් ටයිම් චිත්‍රපටියේ කම්කරුවන්ට කෑම කවන්න දෙන මැෂිම අවුට් ගිය වෙලාවේ චැප්ලින්ගේ සීන් එක. කලබලේට දොස්තරත් පුටුව දකුනට කියලා වමට හරවනවා. වමට කියලා දකුනට හරවනවා. කකුල් පාත් වෙනවා- උඩ යනවා. ඒකේ වැදිලා ගෑණු වැටෙන්න යනවා. කෝකටත් මම කිව්ව සිහිය එන්න කලින්ම දොස්තරට එන්නත් කටු හංගන්න කියලා. කෝකටත් සමන් යනකම් මට තුවාල බැඳපුවා හංගන් ඉන්න සිද්ධ වුණා.

**********************************************************************

අමිල මතක
      ඒ අමිල තේනුවරයි මමයි එකට ලේක් හවුස් වැඩකරන කාලේ.අපි දෙන්නට පත්තර මහගෙදර යාලුවො කිව්වේ අඹුඩෙයි පුකයි කියලා. අමිල කොතනද මම එතන. මම කොතනද අමිල එතන. කෙලින්ම වැඩ ඇරිල අපි දෙන්නම කෝච්චියේ හරි බස්එකේ හරි යන්නේ පානදුර පරත්තේ අපේ ගෙදර. කොච්චර සප්පායම් වෙලා ගියත් මොරටුවෙන් බැහැලා තවත් ෂොට් එකක් ගහලා තමා බෝතලයක් හරි භාගයක් එක්ක ගෙදර යන්නේ. මාලු. මස් .දරුවන්ගේ ආශාවන් මල්ලකුත් ගෙනියන්න අමතක කරන්නේ නැහැ. මුහුණ කට සෝදන් ගිය ගමන් පටන් ගන්න කවි කලා දර්ශන කතා ඉවර වෙන්නේ එලිවෙන ජාමේ. අමිල සින්දු ලියන්න ගියාට හපන් කියන්න ගියාම. දොරවල් මේස ඉවරයි. සමහර දවස්වලට උදේට සව්මි වතුර ගහල තමා අපි දෙන්නව වැඩට යන්න ඇහැරවන්නේ.
      දවසක් වැඩ ඇරිල අපි දෙන්න ගෙදර එනවා පුද්ගලික බස් භාගෙක හිටගෙන. මැද සීට් පවා පිරිලා. පිටිම පස්සේ සීට් එකේ කෙලවරේ අහිංසක ජෝඩුවක් ලව් කරනවා. ඒ දෙන්නගෙ අතක් එතන හිටපු තලත්තෑනි සුචරිත වාදියෙකුගේ අතේ වැදිලා. මූ මහ හයියෙන් බුද්ධාගමයි සදාචාරයයි අර තරුණ ආදර ජෝඩුවට තගෙන් උගන්වනවා. අර ගැහැණු ලමය අඩනවා. මාව වෙව්ලනවා. අමිලගෙන් මම අහැව්ව පටන් ගමුද කියලා. මේක බනිනවා ඉවරයක් නැහැ. මම පටන් ගත්තා. පරයෝ කට වහපන් තොට නංගිල දුවල නැතිද කියලා. පස්සේ ඌට කිව්ව වචන මේකෙ ලිව්වොත් ඒ වගේ උන් රිපෝට් කරනවා අනිවා. බස් එකම අපේ පැත්ත ගත්තා. කුණුහරුපෙන් කිව්වට ඒවා දාර්ශනික කුණුහප්ප. අපි දෙන්න තාරුණ්‍යයේ අයිතිය පෙන්නලා දෙන මුවාවෙන් සුචරිතවාදී කුහක කම නැති කළා මතකයි. මම කෑ ගහලා කිව්වා මේ කතාකරන්නේත් ඒ කාලේ ඔය වගේ පරිප්පු කාපු අද තාත්තල දෙන්නෙක් යකෝ කියලා. ඒ අහිංසක ජෝඩුව වැල්ල වත්තෙන් බැස්සා. අපි අර සුචරිද වාදියව එහා බස්නැවතුමෙන් බැස්සුවා. වෙනද අපි දෙන්න මොරටුවෙන් බැහැල කරන්නේ මාලු අරන් බාර් එකට යන එක. එදා අපි අවන් හලට ගිහින් බාර් එකටත් ගිහින් මාලු ගත්තේ. එදා දවසේ අපේ මාතෘකාව උනේ සුචරිත වාදය සහ ලිංගික ඊර්ෂියාව.

*****************************************************************************

මිනු නාලන්දා මතක


































අපේ ඉස්කෝලේ ඒ කාලේ විද්‍යාගාරයටත් රඟහලටත් මැද්දේ ලොකු ඉඩක් තිබ්බා. අපි එතකොට අටේ. අටේ නවයේ කොල්ලො උදේටයි ඉන්ටවල් එකටයි සෙල්ලම් කරන්නේ මේ හිස් තීරුවේ. සර්ලගේ පාපැදි සහ යතුරු පැදි ගාල්කරන්නෙත් මේ තීරුව අයිනේ විද්‍යාගාරයේ පැති වහලේ යට. මෙයාලා එයාලගේ සයිකල් වල ආරක්ෂාවට එම තීරුවේ සෙල්ලම් කරන එක තහනම් කළා. දින තුනකට පස්සේ පැසැල ඇරුන වෙලේ සර්ල ඔක්කොම එතන සාකච්ඡාවක්. සර්ලගේ සියලු බයිසිකල් වල කොල්ලො හුලං ඇරලා. එයාල වස ලැජ්ජාවේ සයිකල් තල්ලු කරන් පෝලිමේ විංකල් බලා පෙරහැරක් යනවා. අපි හොරෙන් බල බලා ආතල් ගන්නවා. බඩ මිරිකලා කරකවන ආරිය දාස ගනන් සර් පහුවෙනිදා මගෙන් අහනවා උඹත් එකෙක් නේද කියා.මම කියනවා මට එකකවත් හුලං අරින්න බැරිවෙච්ච එකයි ප්‍රශ්නේ සර් කියලා. ඇල්ලුවා බඩෙන්.දෙපාරක් කැරකුවා. ටික ටික ආයේ ඒ තීරුවේ කොල්ලො සෙල්ලම් කරන්න පටන් ගත්තා. අධ්‍යාපනය ගුරු මූලික නොව ශිෂ්‍ය මූලිකයි කියලා දැනගන්න මහප්‍රාන මොකටද?

*******************************************************************************

                                                   ඈ දුන් ඔවා මී                                                       


තාත්තා නැති දරුවා කියා අනුකම්පාව ලබන්නට ඉඩ සලසා මා යාන්තන් අල්ලා හිටගන්නා විටම මපියා සදහටම සිතීම නැවැත්වීය. එතැන් සිට මට පියා වූවේද ලීීලා ජයසිංහ නැමැති මගේ මවය. ඇය දරුවන්ට දුන් නිදහස පුදුමාකාරය.අපි ලෝකය සෙව්වෙමු. අවසානයේදී කැපුවත් අලියට ඡන්දය දෙන අම්මා අපි නිසා වාමංශිකයන් පිඳිඹඳ විශ්වාසය ඇති කර ගත්තේය.85 මා අත්අඩංගුවට ගන්නා විට පොලිස් නිළධාරීන් ඉදිරියට පැමිණි අම්මා මගේ මහත්තයත් කාකි කෝට් ඇඳපු ජේලර් වරයෙකු බවත් වරදක් තියනවානම් නීති මගින් දඬුවම් කරන ලෙසත් නැතිනම් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය. මා සිරගතව සිටියදීත් අම්මාගේ විශ්‍රාම දිනයට යහලුවන් කීපදෙනෙක් තැපැල් කාර්යාලයට පැමිනෙන බව අම්මා මා සමග පැවසුවායඒ පැරණිිිි පුරුද්දටම මුදල් කීයක් හෝ ලබා ගැනීමටය. එදා සල්ලි ගත්තේ පන්ති යාමට සහ සිගරට් බීමට බවත් ඇය දැන සිටියාය. පසුකාලයේ මා මිතුරන් මුදල් ලබාගත්තේ රතු දේශපාලනයකට බවත් ඇය නොදැන සිටියා නොවේ. ආරක්ෂක අංශයට හොරා මම පෙම්වතියට යැවීමට විසිට් එකේදී අම්මාට කකුලෙන් ආදර හසුන් දෙම්. ඇයට බන්ධනාගාර නිළධාරින් හුරුය. ඇය රහසේ ඒවා ගෙන ගොස් මා එදා පෙම්පෙ කළ පෙම්වතියට තැපැල් කරණු ලබයි.ඇය මිනුවන්ගොඩ බෝටියාවත්ත සහ බොරගොඩවත්තටත් දෙවලපලටත් ගරු කළාය. පදි'චිය මොරටුවට මාරු කළ මුත් ඇය විශ්‍රාම ගත්තේ මැරෙන තෙක්ම මිනුවන්ගොඩ තැපැල් කාර්යාලයෙනි.කුඩා කලද ඇය අපට නොපෙන්වූ නාටකයක් චිත්‍රපටයක් තිබිය නොහැක. ඇයද පොත් බැලුවා පමණක් නොව ඒවා බලන්නට අපවද හුරු කළේය. සිය ගමේ කුළවාදයට එරෙහිව ඇය ගෙන ගිය හුදකලා සටන වෙනම කතා කිරීමට බලාපොරොත්තු වෙමි.ඕනෑම අළුත් දෙයක් ධනු ලග්න කාරයාට අළුත් නැතැයි කතාවක් තිබේ. ගඩොල් භාගය යුගයේ ඇය ජංගම දුරකතනයක්ද කොහෙන්දෝ හමුවී ඒ සම්බන්ධව විස්තර මගෙන් ඇසුවාද මතකය. අපටත් වඩා අප අයියාගේ සහ අක්කලා දෙදෙනාගේත් මගේත් යාලුවෝ ඇයට ආදරය කළෝය.2010 මැයි 19 දින ඇය සදහටම සිතීම නැවැත්වීය. එය මටත් වඩා පාඩුවක් වූයේ මා මිතුරන්ට කීවත් වරදක් නැත. මට ඇයට කියන්කිනට ඇති පොදු දෙයක් වෙතොත් සී. ටී ප්‍රනාන්දු සහෘදයා එය අපට කියන්නට දෙයක් ඉතිරි කර නැත.
*****************************************************************************************************
                                     ඩොටී ඩොටී


පාන්දර ජාමයේ අපේ ගෙවල් අද්දර කුරුල්ලෙක් පැය භාගයක් පමණ ඩොටී ඩොටී කියා තාලයකට බෙරිහන් දෙනවා. මම පුතාට කියනවා එයාගේ බිරිඳ ඩොටී වෙන්න ඇති. ඒ එයා එයාව ඇහැරනවා කියලා.මෙයා පොල්කිත්තෙක් විය නොහැකියි. හිර ගෙදර ඉන්නකොට මම බණ්ඩාර සහෘදයත් සමග කුරුල්ලො ගැන කතා කරනවා. එයා පොල්කිත්තා 
කෑගහන විදිහ කිව්ව හැටි මට තාම මතකයි. "අප කීච කීච එනමද මීච මීච ගහමද පෙව් පෙව්." පොල් කිච්චා එක්ක සින්දු කියන්නනම් මිනිස්සුන්ට කිසිදා නොහැකියි කියන එක නියතයක්.එත කොට ඩොටී කියන්නේ කවුද? හෙව්වා. අනේ කවුඩු පණික්කියෙක්. එයා ඉතින් භාෂාවන් අනුකරණයට මාර දක්ෂයෙක් වගේම චූටි උනාට චන්ඩියෙක්නේ. උකුස්සන්ටවත්, කුරුළු ගොයාටවත් බය නැහැනේ. පූසන්ට කොටලා යන එකත් උගේ විනෝදයක්නේ. කොටල ගිහින් පූස විදිහට කෑ ගහලා නෝන්ඩි පාරකුත් දානවානේ. අනේ මේ ඩොටීගේ මහත්තයා කියා අපි හිතන් ඉන්න කවුඩු පනික්කියා දැන් මාස තුනක ඉඳන් ශබ්දයක් නැහැ. කොහේ කියලා හොයන්නද? ඒත් ඩොටී කියන කවුඩු පනික්කියාටත් මගේ හිසේ තියන ඉඩ ටික දිගටම තියේවි. ආදර තියෙන්නේ එකම අරමුණක නෙවේ. ඒක බහුත්ව වාදීව හිතන අයට දැනේවි.


********************************************************************************************************

ඔයාලට පිං

   සුගත පාලද සිල්වාද සිල්වා යනු නිල වචනයකි. අපි ආදරයට කියන්නේ සුගත් සර්ය. නැතිනම් සුගත් අයියාය. සුගත් අසනීප වීමට ආසන්නයේ මම හස්ත රේකා සායනයක් පටන් ගතිමි. මම දසොයිසාරාමයේ දී මගේ එහි ප්‍රචාරක අත් පත්‍රිකාව ඔහුට පෙන්නුවෙමි. මම බලාපොරොත්තු වූයේ යාන්ත්‍රික භෞතිකවාදී තර්කය. ඔහු කීවේ කිංස්ලි ගුණතිලකගේ්‍ කයිරලොජි වල ගුණ අගුණය. හේතු වාදය ගැනද දාර්ශනිකව අප කතා කළ හැටි පාලිත තේනුවරට අමතක නැති බව දනිමි. හෑන්බිල ගැන ඔහු දැඩිව මට කීවේ නුඹගේ හෑන් බිලේ නීති වැඩී කියාය. මිනිසුන්ට මෙතරම් නීති දමන්නට එපා කිව්වේය. මිනිසුන් නොරටවා කරන ඇඩ්වටයිසින් ගැන ඒ යුගයේ ඔහුට තිබි දැනුම පුදුමාකාරය. පසුව ඔහුගේ අත් සටහන සහ කේන්දරය ඉල්ලා හදාරා කී දේවල් හරිද නිවැරදිද කියා ශීලක්කාගෙන් ඇහුවානම් වඩා හොඳය. මා කියන්නට යන්නේ නැත. ස්වභාවයේ නියමය පරිදිම වෙන සියල්ල ඔහුට වූවා සේ බව මතුවට ලියන්නට තබමි. දවසක් පොහෝ දියනයක මම ගෙදර ගසේ තිබි තැඹලි වල්ල කඩාගෙන අප පවුලම ඔහු හමුවීමට ගියා මතකය. පොහොයට ගියේ නිවාඩු දවසක් නිසා මිස පින් ලබා ගැනීමට නොවේ. ඔහු මා දුව සමග කතා කර කර සිටියේය. මට දුව කීවේ ලෙඩින් සිටින මා බැලීමට පැමිනීමෙන් මා පිනා ගිය නිසා ඔයාලාට පිං කියා ඔහු පැවසූ බවය. මතක වලින් ලියන්නේ දර්ශනයේ සුවඳ නොව දර්ශනයේ හරය බව පැහැදිලි කිරීමට අව්‍ය තාවක් නැත.


***********************************************************************************************************************

සයිමන් මතක‍
     මා ස්කවුටින් වල යම් කෙලවරකට ගිය අයෙකි. ඒ නිසාම මා මාකට් යන්නට ඇත්තේ පුදුම ආශාවකි. දැන් එය යම් දුරකට දැනුමක් වී හමාරය. මාකටින් යාමට නම් තවම මා සමග ගැහැනියක් හමුවී නැත. එහෙත් ඒ සියල්ලන්ටම වඩා වෙනස් අයෙකු දිනක් හමුවිය. ඒ කවුරුත් දන්නා සයිමන් නවගත්තේගමය. එදා එයාගේ බිරිඳ රට ගොසින්ය. අපි දෙදෙනාට සප්පායම් වීමට අවැසි දේ ගෙන ආපසු එන විට සොයිසාපුර මාර්කට් එක ලඟදී මට ඔහු මෙසේ කීය."මාරේ එලවලු ටිකක් අරන් යන්න ඕනා" මම ඔහු කරන දේ බලා සිටියෙමි. කෝච්චියක්, අහස්යානයක්,අලියෙක් දුටුවහොත් අහැ නොගහන කෙනෙක් නැත. සරමක් ඇඳ පාවහන්වත් නොපැළද යන සයිමන් නවගත්තේගම සමග දිග රැවුලක් වවා ගත් තවකෙක් බෑගයක් ගෙන ගමන් කරයි. සියල්ල අප දෙස බලනවා සේය. එළවලු කඩයක එකෙකු සිනහ වී ආ මහත්තයා කියයි. සයිමන් නතර වෙයි. ප්‍රශ්න ටික මට මතකය. ඔයාට නෝනා කෙනෙක් ඉන්නවානේ. ඔව් කියයි. දරුවොත් ඉන්නවානේ.ඔව් කියයි. වෙනමොනවද? අද මගේ නෝනා දින තුනකට ගෙදර නැහැ දින දෙකකට තුන් දෙනෙකුට විතර ඔයාගේ ගෙදරට කියා එළවලු දෙන්නකෝ කියා රු 500/= දුන්නා මතකය. සයින්මන්ව බලා ගන්නට ගෙදරට කෙනෙකු මල්ලිකා අක්කා තියා ගොස් තිබිණි. ඒ මනුෂ්‍යා තෝර තෝරා හොඳම එළවලු බෑගයට පිරෙව්වා මතකය. අසාධාරණයිනේ කියා තවත් මුදලක් ඒ එළවලු වෙළෙන්දාට දුන්නාද මතකය. මාද ඒ ක්‍රමය නියම ක්‍රමයක් බව දැන ගතිමි. මම ඔහුගේ සාහිත්‍ය කලාව පමණක් නොව මාකටින් යන ආකාරයේද නව දේ දුටිමි. ගෙදර ගොස් අප දෙදෙන සප්පායන් වන විට‍ු අප දෙදෙනාගේ කතාව දිග දුර ගියේය. ඒ සියදිවි නසාගැනීමේ යථ දුටු ජර්මානු හිමිනමක් ගැන යන්න මට මතක තිබේ.( මේවායේ එකලද වන් ටෙන් රීල් කැමරාවෙන් හැකිතාක් වාටා පිටාවට රහසේ ගත් කළු සුදු සැබෑ ඡායාරූප මා සතුව ඇත. සෙවිය යුතුය. සොයාගත් විට දාන්නම්)

******************************************************************************************************
මෙන්න ගැහැණු

  ඇය අපගේ සෙනෙහෙවන්ත ආදර යෙහෙලියෙකි. මට අවැසි ඇගේ දේශපාලනය හෝ සමාජ බලය නොව ඇගේ තිබි පිරිපුන් ගැහැණු කමයි.නමුත් ගැහැනුකම වෙනුවෙන් පෙනී සිටීමේ දේශපාලයද අපට කිසිසේත්ම අමතක කළ නොහැක. එක් දිනක් ලේක් හවුසියේ අපි එකට සිටි කාලයේ මට මාර මතකයක් තිබේ. මම උදෑසන පත්තර මහගෙදරට ගොඩවන විටම මහා දෙවැනි දොරටුවේ කලබැගෑනියකි. මම ද හිස දමා බැලුවෙමි. තනියම ගැහැනියක් ආරක්ෂක නිළධාරීන් සමග වාග් සටනකය. ඒ තමාගේ අත් බෑගය පරීක්ෂා කිරීමට පිරිමි නිළධාරීන්ට ඉඩ නොදීම හේතුකොට ගෙනය. බැරිම තැන ලොක්කෝද ආවෝය. කෙලින්ම ඇය කීවේ කාන්තා නිළධාරිනියකට ඇර සිවිල් සමාජයේ අනෙකෙකුට තමාව පරීක්ෂා කිරීමට අයිතියක් නැති බවය. කාන්තා අරක්ෂක සේවිකාවක් පැමිණීමට විනාඩි විස්සක් පමණ ගතවිය. ඇය හිටි වනම සීරුවෙන් සිටියාය. කාන්තා නිළධාරිණිය පැමිණි විට ඇය සිනහ මුසු මුහුනින් සිය අත් බෑගය විවර කර පෙන්වා සුපුරුදු අවිහිංසක ගමනින් පඩි නැග්ගේය. මෙවන් කාන්තාවන් වනාහි සැබෑ කාන්තාවන් ලෙස දැනෙන්නේ දේවිකා වඩිකමංගාව නැමැති එම යෙහෙලිය සිහිවන විටය. ඇය අානමඩුව වාමංශික ව්‍යාපාරයේ නායකයකු වූ සර්ධාතිස්ස වඩිගමංගාවගේ දියනියයි. තවත් පසකින් සනත් බාලසූරියගේ ආදර වන්තියයි. ඒ සියල්ලටමත් වඩා ඇය කිව්වොත් කිව්වාය. ලිව්වොත් ලිව්වාය.දොඩාවත්තලා, මනුබන්දුලා, අරවින්දලා, සුමුදුලා, සුමේධලා, පමණක් නොව දෙනගම සිරිවර්ධනලාද එකල එක කාඹරයකය. අප සිළුමිණට ලස්අසන අතිරේකයක් කළාද මතකයේ තිබේ. සියල්ලන්ටමත් වඩා අැය කාන්තාවක් වුවත් බාල මහලු සැමට යෙහෙලියක්ම විය. කොටින්ම වරෙක අපේ අම්මා වූවා කීවත් වරදක් නැත. සහෝදර යහලුවන්ගේ ඕනෑම දෙයකට අත දමන්නීය. සනසන්නීය. දුක්වනිනීය. සැපතේදී සතුටු වන්නීය. දැන් කොහේ සිටිනවාදයයිි මම නොදනිමි. නමුත් ඒ කෙටි ලේක් හවුස් මතකයට ඇය ගැන නොලීවොත් මා හට කාන්තාවන් ගැන ලිවීමට මගෙන්ම සදාචාර අයිතියක් මට හිමි නොවේ. මේ ඒ කෙටි එහෙත් දිගු මතකයෙන් අබැටක් පමණි. සුව දේවිකා මචං - නංගී -අම්මේ.

*******************************************************************************************************
අක්කලා සහ අයියලා
(මිනු නාලන්දා පාසැල් මතක)



අපි උසස් පෙල පන්තියට යනකම්ම අයිලා අක්කලා ගොඩාක් අපට හිටියා.ඒත් අපිට අක්කල හිටියේ හයේ පන්තියට යනකම් විතරයි. හෝඩියේ පන්තියේදි ඉන්ටවල් එක කියන්නේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන වෙලාව වගේ. අපේ අක්කලත් එක්ක එකතුවෙලා අපිව බලන්න එන්නේ අක්කලා රංචු පිටින්. අයියලත් එහෙම තමා. දෙන්නෙක් ගහගන්නවා දැක්කොත් මෙන්න එතන්ට දුවන් ඇවිත් රන්ඩුව බේරනවා. අපි කිසිදේකට බය නැහැ. මොකද ආරක්ෂාවට ගෙදර යනකම් අයියලා.කිසි දෙයක් හොරෙන් කරන්න බැහැ.ගෙදර යද්දි ඒක අම්මලා දන්නවා. ගුරුවරයෙක් තරවටු කලොත් ඒකත් දිනක් ඇතුලත ගෙදරට ආරංචිවෙනවා. ඇත්තටම අපි ඉස්කෝලේ අයියලාට තිබ්බේ බයක් නෙවේ. පුදුමාකාර ගෞරවනීය ආදරයක්. අදත් හම්බවුනාම කට පුරා මල්ලියේ. මේ මාරෙගේ මල්ලි - මේ පනාවලලගේ මල්ලි- ආදීවශයෙන් පුදුමාකාර තොරතුරු ජාලයක් අයියලා සහ අපි අතර තිබුණේ. අනේ. අපි අයියලා වුනාමත් මේ තත්ත්වයම තිබ්බා. අදනම් මේ තත්ත්වය විකාර විදිහට වෙනස් වෙලා. මම හිතන්නේ අද මල්ලිලා ලොකු අයියලා වෙලා නිසා වෙන්න ඇති.

*********************************************************************************

සිංහ ගිරිය
                                        
       දවසක් කොළඹ සිට වැඩ ඇරිලා චූටි(අාරූඩ නමකි) එන්න පරක්කු උූනා. මමයි සතියයි ගියා මිනුවන්ගොඩ සිංහගිරියට. අරක්කු බොන්න. මෙන්න බස්පරක්කුවෙලා චූටිත් ඇවිත් එතැනඉඳගත්තා තරහෙන් මාව හදන්න. මම අසරණ වුණා.. මම කිව්වා මේ වගේ තැනකට ආවනම් අපි බොමු කියා. එක වචනයකින් මාව එයා බිම දැම්මා. අපි ගෙදර ගිහින් බොමු දෙයියෝ කිව්වා. ඔක්කෝම එයාගේ පැත්තේ. වෙන මොනවා කරන්නද මාත් එයා කියපු දේ කළා. ඒත් ඒ සම්බන්දධය බෞතිකව කැඩුනා. ඒක දේශපාලනිකයි. වෙනම ලියන්නම්.
*********************************************************************************************
                                                                

*********************************************************************************
බිත්තර සහ ආදරය (මිනු නාලන්දා මතක)



                     එදා මිනුවන්ගොඩ නාලන්දේ සත්‍යයේ ගීතය. ටිකට් ඉවරයි. දොරවල් පෙරලන් ඉතිරි අය ඇතුලට ගියා. මම ලව් කරන කෙල්ල චූටිවය් එයාගේ මිතුරියයි ඇතුලට දැම්මා. චූටි මට බත් මුලක් ජනේලෙන් දුන්නා. මම එලියේ ඉඳන් නන්දව අහනවා. බත්එක දිග ඇරලා කන්න ගන්නවා. අම්මට හුඩු බිත්තර තුනයි. (අද සර් කෙනෙක් වෙලා ඉන්න චන්ද්‍රරත්නට මතක ඇති) අපි භීෂණය කාලේ වෙන්වුනා. ඒ අපේ ප්‍රශ්නයකටත් වඩා දේශපාලනික කතාවක්. සත්‍යයේ ගීතයට මටත් ගැඹුරු විචාර තියනවා. සුචරික කරපු විචාර වලටත් වඩා දේ තියනවා. ඒත් සත්‍යයේ ගීතය මතක් වෙද්දි මට මතක් වෙන්නේ බිත්තර. ඇත්තටම ඒක තමා අපේ කාලයේ යොවුන් ආදරයේ සිහිවටන වගේ දැනෙනවා. අවුල්ද? මට අවුල් නැහැ. චූටිටත් එයාගේ මහත්තයාටත් දරුවන්ටත් මම ආදරෙයි. විකාර නෙවේ. ඇත්තටම.මේ මතක ලියන්නේ අලුත් පරපුරට. ආදරය ගැන හිතන්න.



*********************************************************************************
                                             කුකුල් ආදරය


Image may contain: outdoor
මේ කියන ගම දූනගහ. නාරද කියා සමස්ත ලංකා ගිය ක්‍රීඩකයෙක් හිටියා.ඒත් නිසි තැනක් ලැබුනේ නැහැ.එයාගේ තාත්ත ඒ කාලේේ වයසයි. ඒත් වමෙක්.අන්තිමට නාරද කියන ශුවිශේෂ ශකතියක් තිබි කොල්ල ඒකාලේ දේශපාලනික වුනා. ප්‍රතිපලය සමස්ත ලංකාවටම පේන්න මරා දැමීම.එයා එක්ක හිටපු සුදුවා මේ ළඟදි නිකන් මලා. සතිය කියා තවත් දැනුම ස්ටෝරුවක් එතන හිටියා එයත් මලා. නාරදලාගේ ගෙදරට එනවා ලස්සන කුකුලෙක්. පොර කුකුලෙක්. පොලිසියේ කෙනෙක්ලු දරුවෙක් වගේ හදන්නේ. අපිටවත් කිට්ටුවෙන්න බැහැ . උඩ පැනලා මූනට පහර දෙන්නේ. ඒක පාරක් හඬලපුවම ගමේම කිකිලියෝ එයා වටේ. වගේ ඒකාලේ මට වැටුප් දවසකම නාරද හමුවෙන්න මා ගියා. රටඉඳි වලින් පෙරණ කසියා ගෙනත් කට්ටිය බිව්ව.පළමුව දාර්ශනික දේශපාලන කතා. දෙවනුව කලා කතා තෙවනුව සින්දු කවි බයිලා මාර රස බයිට් එකක් එදා තිබ්බා. පහුවදා හවස මම කියනවා මචන් අර ලස්සන පොර කුකුළ අද ආවේ නැහැනේ කියා. කට්ටියම හිනාවෙනවා.මට හොඳටම තද වෙලා ඒ වෙලේම සැතපුම් හතලිහක් ගෙවා ගෙදර එනවා. ආයේ යනවා ගිහින් මම දන්න කුණු හර්ප ඉවර කරනවා.. ඒ සත්ව අවිංසාව හෝ පින පව කියා මට දැනෙන්නේේ නැහැ. . සත්තු සමග හාද වීමේ ලලිත කළාව හොයන්න. ඒකත් මාර විෂයක්.උන් එක්ක හාද වුනාම ජීවිතේ උන් අපේම වෙනවා.මට ඇති වෙන්නේ මගේ ආදරවන්තයෙකුගේ මස්ද මම රස කර කර කාලා තියෙන්නේ වගේ එකක්. කොහොම වුනත් මගේ යාලුවො වගේම ඒ කුකුල් යාලුවත් මා මිය යන තුරු මගේ ඔළුවේ ඉන්නවා. අනිවා මචන්. මා නිර්මාංශිකයෙක් නෙවේ. එත් මචන් උඹලා මිය ගියාය වඩා දුකයි මිය ගිය යඑලුවෙකුගේ මස් නොදැන රස් කර කෑම.

*****************************************************************************


සෝමා උඩ භාගේ
අපේ අම්මලාගේ කාලේ අය හිටිවන කවි වලට හරිම ආසයි. වඩා කැමති හතර පද සංවාද වලට. දවසක් ගැහැනු සහ මිනිසුගේ කවි සංවාදයක් තිබ්බලු. එතන හිටපු සෝමා උඩුභාගේ කියන කිවිඳිය දෙපදක් කිව්වලු.

සෝමාඋඩු භාගේ සෝමා උඩු                      භාගේ්‍

පරදින්නේම නැහැ සොමා උඩු                    හාගේ

අත්පොඩි වැලයිලු

අනිත් පැත්තේ හිටපු පිරිමි කවියෙකුට තද වෙලා ඉතිරි දෙපදය සම්පූර්ණ කරලා

සෝමා උඩු භාගේ සෝමා උඩුභාගේ

පැය භාගෙකට දෙනවද ඔබෙ යටි භාගේ කියා

                                                                   හූ වැලයිලු                                                                                                                                                                                                                                                                                                                 



*********************************************************************************
                                                            ගල්බත් සහ ආදරය
                                       
              මම ස්කවුටින් කළේ ළමා ව්‍යාපාරයට තියන ආදරයට. මම වැටී ගිය කණ්ඩායම් කීපයක් නැගිට්ටුවා. එකක් මිනු නාලන්දේ. අනික කොටුගොට රාහුල සහ රද්දොලුව මහා විද්‍යාලය. මුහුදු බාලදක්ෂ කණ්ඩායමටත් උදව් කළා. පසුව මොරටුව සුනන්දෝපන්න්දේ. මමම පටන් ගත්තා පැලැට් වල කණ්ඩායමක්. එකේ ආනන්ද - නාලන්ද- රෝයල් වගේ කොඳඹ බොහෝ පාසැල් වල කොල්ලෝ.හරිම අමාරුයි රෝයල් කොල්ලන්ව පාලනය කරන්න. අපි කඳවුරු යද්දි හාල් ගරල වේලල ගේන්න කියන්නේ පහසුවට. මොන ගැරලිද? කඳවුරේ බත් කන්න බැහැ ගල්. අද ගජභාවේ ලොක්කෙක් වි සිටින මායයි මමයි දැම්මා ගේන හාල් චෙක් කරන වැඩ පිලිවෙලක්. මෙන්න රෝයල් එකේ දක්ෂ කොල්ලෙක් වූ දුමියගේ හාල් කිලෝ දෙකෙන් බාගයක්ම වැලි. අපි සම්මාන සභාව තිබ්බා. තීරණය ඒයාට පමණක් එය උයා දීම. කන්න බැහැ. අපිට රව රවා තුක් ගානවා. පස්සේ මායටයි මටයි දුකයි. හොඳ බත් දීලා ආයේ හාල් චෙක් කරන එක එයාටම දුන්නා මතකයි. ආයේ කවදාවත් ගල් එක්ක බත් කෑවෙ නැහැ.ළමා ව්‍යාපාර දැක්කම මට හරිම ආසයි. සුන්දරම දිවියක්. මම කවදාවත් මගේ ළමයින්ට නීති දා නැහැ. ඒක ස්කවුටින් වළ ළමා මනෝ විද්‍යාවෙන් තේරුන් ගත් දෙයක්.

*********************************************************************************

                         ලබු වෙන්දේසිය (මිනු නාලන්දා මතක)

                      
        මතකයේ විදිහට 1976- නවයේ පන්තිය. හැම සිකුරාදාම පන්ති සමිතිය.ඒකෙන් තමා අපි කරලියට ආවේ. මම දැම්මා ඒකට වෙන්දේසියක්. ලබ්බා කියල නමක් දාපු කොල්ලෙක් හිටියා. අපි දෙන්නෙක් අමනාපයි එයත් සමග. වෙන්දේසියට තිබ්බා කටර්පෑන් ,පොත් විවිධ දේ,දැන් වෙන්දේසිය යනවා. මම ගස්ලබ්බකුත් තියලා.( ඒ නිමේෂයේ අමනාප පසුව මගේ හොඳම යාලුවෙක් වූ එරිකට ගහන්න.) අන්තිමට මම කියනවා හා දැන් මේ ලබ්බට ලංසුවක් තියන්න කියා.හිනා සාගරයයි. අදිකාරි මැඩම් පැන්ෂන් ගන්න කිට්ටුව. එයාට හරි සතුටුයි. ලබ්බ වෙන්දේසි වෙනවා සිනා සිසී. එරිකාට අප්සෙට්. අන්තිමට ඉස්කෝලේ ඇරුනම ඌය් මායි කානුවේ. දඩ බඩං. ඒ කාලේ තිබ්බා මාලුවෙක් වගේ චූටි පිහියක්. අපි ඔක්කොම ඒව හංගන් තියන් ඉන්නේ. කොහොම හරි ගෝරිය ඉවර වුනා. පහුවෙනිදා අධිකාරි මැඩම් අහනවා මම දැන්නේ දන්නේ මාරසිංහ වෙන්දෙිසිය තියන්නේ මොකටද කියා. නමුත් මේ පෙරේදා මම බේත් අරන් ඔළිඳ කොළ හොයන්න මම යන්නේ එයාලගේ ගෙදරට. මොනවද කියන්නේ. හැකිතතාක් සංග්‍රහ. දැන් අපි පනස් පහ පැනපු වුන්. හිනා කටයි.ආදරෙයි බන්. ඒ යුගයටත් නුඹටත්. ඔලිඳ පඳුරක්ම කොහෙන්ද ගලවන් ගෙනත් දුන්නා. දැන් ඉන්ග්‍රිසියෙන් ගණිතය කරන ඉහල ගුරුවරයෙක්.

*********************************************************************************
          අන්තරේ නායක රංජිදම්ගේ හිර ගෙදර කවි මඩුව
     මැගසින් එකේ කවි කියන තිදෙනෙක් හිටියා. හිටිවන කවියෝ. මාත් එක්ක තව දෙන්නයි. එක්කෙනෙක්. මාතර පැත්තේ. අනිත් කෙනා කැලණි කැම්පස් එකේ පොඩි සාදු කියන කෙනා. දවසක් රංජිදම් කවි මඩුවක් සංවිධානය කරලා. කැලණි කැම්පස් එකේ පොඩි සාදු. කවියෙන් අපි දේශපානය පතුරු ගහද්දි නිළධාරි වගයක් ගේට්ටු ගාව ඇහැ ගහන් ඉන්නවා. මෙන්න යකෝ පොඩි හාමුදුරුවෝ කවිය වෙනස් කරපි. බලන්නකො දස්ස කමක හැටි
දවසක් රෑ දෙකට සිදුකළ වැටලීම
අමතක කළ තැනකි රජයක වගකීම
අපි හිර වීම ගැන මේකයි වැටහීම
අපි කළ වරද ජේ වී පී නොකිරීම
(පිස්සු හැදෙන සඳ - සඳට පිස්සු නැත කිව්වලු)
අත්පොඩි වැලයි. තවගොඩක් මතක තියනවා. කියන්නම්කෝ. රංජිදම් නැහැ කියලා දන්නවා. අනේ මෙයාලා කෝ දැන්. ඉන්නවාද ? මැරිලාද? ප්‍රෙමලාල් පතිරාජ සහෘදයා රංජිදම්ගේ දුර්වල පොටෝ එකක් දාලා තිබ්බා. මැගසින් කවි මඩුවට උපහාරයක් වශයෙන් ඒක මෙහෙම දාන්නම්.

*********************************************************************************
                            දරු ගැබෙන් හිතන ගැහැණු

        ඒ කාලේ මම හොඳ පුරෝගාමියෙක්. මට ආරාධනයක් එනවා මොරටුව සුනන්දෝපන්න්දේ හවුස් මීට් එකට් හට් එකක් ගහන්න උපදෙස් දෙන්න. මමයි බිරිඳයි රෑ යනවා. වෙලාව රෑ දොලහයි. අයේ මොනවාද හට් එක පළමු තැනම තමා. රෑ දොළහට විතර හවුස් එකේ ටීච එනවා යතුරු පැදියෙන් මහත්තයත් එක්ක. නම අමතකයි. එයාව වට කරන් හට් එකේ විස්තර ලමයි කියනවා. එයා කිසි දේකට ඇහුන්කන් නොදී කෙලින්ම ගිහින් හට්ටි අරිනවා. පාන් පරිප්පු ඒවිදිහටම තියනවා.තාමත් දරුවෝ කාලා නැහැ කියා මෙයාට ටිකක් තරහා යනවා. මෙයා එතන හිටපු සර්ටත් දොස්කියා කියනවා. හවුස් විස්තර කියන්න පෙර ලමයි කාලා ඉන්න කියා. මට ගර්භාෂය කියන සිතන ද්‍රව්‍යයේ සිතීම ගැන හිතිලා කඳුලු එනවා. එයාලට ඒ ශිෂ්‍යන්ටත් වඩා තමන්ගෙම දරුවෝ වෙලා.සියල්ලන්ටම කන්න දීලා තමයි එයා අනිත් විස්තර වලට ඇහුන් කන් දෙන්නේ. නව ගුරු වරුන්ට ආදර්ශයක් වේවා කියා පතන්නේ ආදරයෙන්.

*******************************************************************************************************
තං විශාල

අපි පොඩිකාලේ හිටියා වන්නි සර් කියා මිටි සර්කෙනෙක්. අඳින්නේ නැෂනල්. ලේසියකින් ගහන්නේ නැහැ.ඉගැන්නුවේ බුද්ධාගම. පන්තියටම දවසක් මේ ගාතාව කියන්න දුන්නා.
"ඉන්දනීල වන්න පත්ත 
සේතඛන්ධ භාසුරං
සත්ථූ නෙත්ත පංකජාහි
පූජිතග්ග සාතදං
අග්ගබෝධි නාමවාම
දේවරුක්ඛ සන්නිභං
තංවිසාල බෝධි පාදපං
නමාමි සබ්බදා"
කතාවක් නැහැ එදා හොඳටම අහිංසක සර්ට තරහ ගිහින්. දුන්න තුන් දෙනෙකුටම කම්බුල් රතුවෙන්න. මාත් එකෙක්. හේතුව තමා තංවිසාල කියන එක ටිකක් ශබ්දයෙන් ජෝක් එකට කීම. ඒ කාලේ තන් කිව්වත් තං කිව්වත් කුණුහරුපයක්. අපි කොච්චර බයෙන්ද පසුේ කාලෙත් ලව් කළේ. ගොලුහදවත හරියට බැලුවෙත් දොළහ පන්තියට ආවට පස්සේ. ඒත් හොරෙන් වගේ.ඒත් අපේ පරපුර සාහිත්‍ය තුළ ඒක වෙනස් කරන්න පුදුම සටනක් දුන්නා. පිරිවෙනට උගන්වන්න ගිහින් බික්කු බික්කුනි විනය ප්‍රාතිමෝක්ෂ වර්ණාව බලද්දි සියල්ල වෙනස් වුනා. ශරීරය සහ ධර්මයට කෙලින් කතා කරන්න පටන් ගත්තා. හංස විලක් - දුහුලු මලක් - හදවත් නැත්තෝ බලලා මම කාතා කරන්න කෙනෙක් හොයන් හෙන දුර යනවා. කේ කේට දීප්තිට හොඳටම මතක ඇති මේව ගැන ඉතිහාසය. ඉබ්සන්ගේ ඩෝල් හවුස් හෙවත් සෙල්ලම්ගේ කියවලා අපි පිල්ම් එකකුත් බලනවා. අනේ අපිව උඩු යටි කුරු වෙනවා. පෞවුල පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි තාම කට පාඩම් වගේ.සයිමන්ලා සුගත්ලා අපිට ආලෝකයක් වෙනවා වගේ. අපි දුන්න සටන. කෙලින්ම විනය පිටකයෙන් පටන් ගත්තේ. කට උත්තර නැතිව යන්න.
***********************************************************************************************************************
                         යටියන වල්පොළ ඉර්ෂි පරපුර
              අපේ තාත්තා 1962 මම උපන්කාලේ යනවා යටියන ස්නායු වෙද මහතා ගාවට.අතේ කැක්කුමක් හැදිලා. ගෙදර ගිහින් වහාම කසාය තම්බන් බොන්න කියනවා.තාත්තා රියදුරු අත කසාය ගෙදර එවා වැඩට යනවා. අනේ ආපසු ඇවිදින් තියෙන්නේ පෙට්ටියේ. මම යනවා එයාගේ පුතාව හමුවෙන්න. මොන සල්ලිද. කීයක් හරි තියන්නලු. කන්න ඕන්නම් කන්න. පොත් ඕන්නම් පොත්. සල්ලි අපිට දෙයි. මෙන්න යකෝ නාඩි අල්ලා එන් ජී ඕ පරීක්ෂණයම මට කියාගෙන ගියා.පුතා තමා දැන් මහාචාර්ය සරත් රණසිංහ. කාය චිකිස්සා පිඳිඹඳ මහාචාර්ය. එයා පී එච් ඩී අධ්‍යනය ගත්ත හැට්ත් මට කියනවා. මේ වෙද වරු නෙවේ. බය නැතිව කියනවා ඉර්ෂිවරු කියා. ශාක ගැන ශරීරය ගැන තියන දැනුම දැක්කම ඇත්තටම ජීවත් වෙන්න හිතෙනවා.වෙද මහතාට දීර්ඝායුෂ වේවා. වල්පොල ඉස්සර වෙද ගමක්. දැන් ඊන්නේ ඔබ විතරයි.තාමත් සල්ලි පැත්තක තියලා වෙදකම. ඇත්තටම සමාජවාදයට ආදරේ හිතෙනවා.මට යන්න වාහනේ දීපු ලක්සිරිටත් පින්.
********************************************************************************************************
                   දේශපාලනයෙන් ඔබ්බට චම්පික සමග

              චම්පික රණවක මගේ මාර යාලුවෙක්. ඒක ඇති වුනේ මුලින්ම කොසලගෙන්. පසුව අනුරුද්ධ ප්‍රදිපිගෙන්, ඒත් යාලු කම තියෙන්නේ අපි දෙන්නා ගාව. ඒක වැඩි කළේ සුකියා. උන් දැන් තරහා කාරයො වෙලාලු. අපි ගණන් ගන්නේ නැහැ දේශපාලන තරහා. දේශපාලනිකව අපි දෙපැත්තක හිටන් ඉන්නවා වෙන්න ඇති. දවසක් මමයි පුතයි චම්පිකයත් එක්ක අනුරාධපුරේ යනවා. ආපසු ගමනෙදි .පුත්තලමෙදි මාර සංවාදයක් පටන් ගන්නවා. රුවැන්වැලි සෑය ගාවට ගියාම අත් අරින්න හෝ හිස් වෙන එක ගැනත්, කතර ගම ගියාම අල්ල ගන්න හිතෙන එක ගැනත්. කොමඩු කකා අපි අහිංසක සංවාදයක් කරනවා. මතකයේ හැටියට මීගමුවට එනකම් අපි ඒ ගැන කතා කරනවා. ඒත් ඒක අහිංසක නැහැ. හරිම බරයි. කතාකරන්න. පක්ෂ දේශපාලනය අහකින් තියා.

*******************************************************************************************************
                ඔෆිලියා

මිනුවන්ගොඩ හදිරම ප්‍රේමරත්න අයියා. චිත්‍ර ශිලිපියෙක්. හෙවුඩ් එකේ මුල්ම සිසු සභාපතිද කොහෙද වෙච්ච බාල චන්ද්‍ර සර්ගේ සහ අලහේන්ද්‍ර සර්ගේ ප්‍රධාන ගෝලයා. මතකද නෙළුම් මල් හත උඩ සිද්ධාර්ත යනවා නුඹ හැදුවා. පස්සේ ගොප් කොළ වලින් බුද්ධගේ තොරණක් හැහැව්වා.අපි ගොක් කොල කියද්ද් බාලචන්ද්‍ර සර් කියනවා ගොක් නෙවේ ගොප් කියා. නැග එන. සරත් විජේසුරියත් ඒ කාලේ ඒ වලට එනවා.අන්තිමට එයා චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා. මගෙන් අහනවා හොඳම චිත්‍රය. මම කියනවා ඔපීලියා කියලා. මට 2018 04 20 මම එයාබ බලන්න යනවා. අනේ ඒ වගේමයි. එයා මට ඔපිලියාගේ චිත්‍රය තියාගන්නම දෙනවා.මට පුදුම මේ මම සොයන මොඩන් ගෑනිව එදා එයා ඇන්දේ කොහොමද කියන එකයි. මට මාර සතුටුයි. දැන් ඔපීලියා මා ගාව. ආදරෙයි ප්‍රේමරත්න අයියේ. මට ජීවත් වෙන්න ඔපිලියාව දුන්නට.ගැහැනියකගේ අහිංසක කමට යටින් වසකුත් තියනවානේ. ඒක මූ නියමෙට අරන්.


***********************************************************************************************************************
                                                       වෙද ගමක මතක (වල් පොළ)
     මගේ කලවේ ගෙඩියක් එනවා. දොස්තරලා මාස තුනක් බෙහෙත් දී අවසානයේ ගෙඩිය අයින් කරන්න තීරණය කරනවා.මගේ නැන්දා මැදිහත් වෙලා මිනුවන්ගොඩ වල්පොළ ගෙඩි වෙද මහතා ලඟට එක්ක යනවා. සති දෙකක් බෙහෙත් දී අන්තිම එක දී ගංසූරිය ගසේ පොතු සහ එරබුදු කොල සමග තවත් දේ දමා කැඳක් නියම කරනවා. මම අහනවා ඇයි ඒ කියා. එයා කියනවා මේක දියවෙද්දි වේදනාට එනවා. ඔයාට ඒක නොදැනී නින්ද යන්න කියා. මට මතකයි එදා දාපු බේතේ ගෙඩිය වටේ ගාන්න දුන්නේ බිත්තර සාරු. පහුවදා උදේ මම නැගිටිනවා. කිහිලිකරු මොකටද? ගෙඩිය නැහැ. දෙපයින් මම වැසිකිලි යද්දි නැන්දා කියනවා පුතේ කාරලා කෙල ගහපන් වෙද මහත්තයට ඇස්වහ වදී කියලා.වසර ගණනකට පසු මට වෙද මහත්තයා බස්එකක හිටගෙන යනවා දකියනවා. මම කතා කර එයාට ආසනය දෙනවා. එයා ඉඳගෙන එයාගේ කලව පෙන්වා මාත් එක්ක හිනා වෙනවා. මේ ඒ කාලේ යම් බලයක් තිබි අය.මොන විකාරද ඉර්ෂි වරු තමා. නියම වෙද්දු. මිනුවන්ගොඩ වල්පොල කියන්නේ වෙද ගම්මානයක්.ගෙඩි වෙදකමට එහා පැත්තේ ස්නායු වෙදකම. රණසිංහ වෙද මහතා. මේජරින්ගේ වාහනේ අපේ තාත්තා යනවාලු උදේම අතේ කැක්කුමක් හැදිලා බේත් ගන්න. පසුකාලෙක මෙජරින් අයියා මට කිව්වා. මහත්තයෝ නරක ලේ පාරක් යනවා ගෙදර ගිහින් ඉක්මනට මේ බෙහෙත් තම්බන් බොන්න කියා රණසිංහ වෙද මහතා කියා තියනවා. එයා මේජරින් මගින් බෙහෙත් ගෙදර එවා වැඩට යනවා. ආපහු ඇවිත් තියෙන්නේ පෙට්ටියේ. මම දන්නේ නැහැ මිනුවන්ගොඩ වල්පොළ තාම වෙද ගම්මානයක්ද කියා. ඒ ගම ඉර්ෂි වරු හිටි වෙද ගමක්. මම ලිව්වේ මගේ අත් දැකීම් විතරයි.බුදුන් කියනවානේ කපිලවස්තුපුර සුලඟත් මට සැපක් කියා. මම කොහෙ හිටියත් මටත් උපන් ගමේ සුලඟ සැපක්.ඒකෙ භෞතිකය තමා කාලය සහ අවකාශයේ අත් දැකීම.

*****************************************************************************
                                                      වෘෂණ කෝෂ සහ ගර්භාෂය
Image may contain: shoes
       මාර විවාදයක්.විද්‍යාවේ සහ ජීවිතය ගැන.අද මහාචාර්ය සරත් විජේසුරිය හෙවත් සරත්ටත් දේවල් අමතක වෙන්න විදිහක් නැහැ. මතක ඇති. කෙනෙක් පත්තරයක් පෙන්නා කියනවා අඩි උස සපත්තු දැමීමෙන් ගර්භාෂය පාත්වේ කියන වෛද්‍ය මතයක්. විද්‍යා කටිටිය ඒකට පිළිතුරු දෙනවා. ඇයි තමනුත් අඩි උස සපත්තු දාන්නේ. තමුසෙගේ වෘෂණ කෝෂ පාත් වෙය් කියා. අත් පොඩි වැලයි. එදා තමා කටුනායක ඉද්ද ගොඩැල්ලට මක්කම ගිය ගුවන් යානය කඩා වැටුනේ. මටනම් බන් හැම දෙයක්ම කට පාඩමින් කිව හැක්යි.

*********************************************************************************
                  මැගසින් බන්ධනාගාරයේත් විමුක්ති ගී
මැගසින්_මතක (ඉන්දු ලංකා ගිවිසුම පිටුපස)

අප්‍රියල් සැමරුමකට හිර ගෙදර විමුක්ති ගී. මට බට නලාව කනෙන් ගහන්න ඇහැකි.මම මෙලෝඩිකාවකුත් ගෙන්නගෙන එකත් ඉයර් එකට පුරුදු වෙනවා.ඇත්ත විමුක්තිගී නිවේදක බුද්ධි ඇතුලේ. සංගීතය කළ ජාඇල අයිවනුත් ඇතුලේ. අයිවන් මගෙන් මෙලෝඩිකාව ඉල්ල ගන්නවා. මම දෙනවා. මම එලියේ බීඩියක් ගගහ ඉන්නකොට රංජිදම් කියනවා මාරේ විමුක්ති ගී වලට බටනලාව ගහන්න ඕන කියා. මා කියනවා මා පක්ෂ සාමාජිකයෙක් නෙවේ ඒ නිසා ඔයාලාගේ ඇඳුම අඳින්නවත් මට අවසර නැහැනේ කියා. නැහැ. අපි ඒ ගැන කතා කළා. ඔබව අපිට තේරෙනවා. මේකට සහය දෙන්න කියා. බීඩි ලෝකල් ගහන මටත් එදා විමුක්ති ගී වල සංගීතයට සම්බන්ධ වෙන්න හැකි වෙනවා. කෝ රංජිදම්ල වගේ මිනිසුන් අද? ක්ම්බ්‍රේට් සුබසීල කොඩිකාර. මේ පොස්ට් එක ඔබට ආචර්යක් 

********************************************************************************************************
No automatic alt text available.
ගල නාලය= එස්ලෝන් බටේ

(මිනු නාලන්දා මතක)
අපේ අටේ පන්තියේ. විද්‍යා සර් අහිංසකයි. ඒත් තරහා ගියොත් ගහන්නේ ඔලුව පාත් කරලා පිට මැද්දට අත දිග ඇරලා චටෝං ගාලා හොල් එකටම ඇහෙන්න. දවසක් මාගාව ඉන්න කුරුට්ට කියන චන්ඩි කොල්ලෙකුගෙන් අහනවා ආහාර ගමන් ගන්න නාලයේ නම. ඌ මගේ කකුල පාගනවා. එදා ඌත් එක්ක මගෙ පොඩි අමනාපෙකුත් තිබ්බා. මම පොත පිටුපස එස්ලෝන් බටේ කියලා ලියලා පේන්න සැලැස්සුවා. ඌත් කියපි එස්ලෝන් බටේ කියාලා. සර්ට යකා නැගලා. ආවා ලඟටම. දුන්නා කොන්දට පටෝන්.ඉස්කෝලෙ ඇරිල අපි දෙන්නා පට පටෝන්. මතකද හේමන්තයෝ

********************************************************************************************************
සර්ලොක්හෝම් පිස්සුව (මිනු නාලන්දා මතක)

ස්කව්ටින් පිස්සුව හරහා සුදත්ටයි මටයි එදා සර්ලොක් හෝම් පිස්සුවක් හැදුනා. සුදත් බීෂණයේදි අතුරු දහන් වුනා. මේ පිස්සුව හැදුන කාලේ අපි තීරණය කළා අනාගතයේදි රහස් පරීක්ෂකයෝ වෙමු කියා. දවස සෙනසුරාදාවක්. දැන් කරන්නේ එක්කෙන් වෙස් වලාගෙන යනවා. පිටිපස්සෙන් ආරක්ෂාවට අනිකා යනවා. හදිරම පේමරත්න අයියා හොඳ ආර්ට් කාරයෙක්. දැන් ගුරුවරයෙක්ලු. සුදත්ව පිස්සෙකුට වේශ නිරූපනය කළා. අඳුරන්නම බැහැ. දැන් හිඟා කන්න යනවා. මිනුවන්ගොඩ හදිරම හන්දියෙන් හැරිලා නිල්පනාගොඩට වැටෙන පාර දිගේ. මෙයා අපේ යාලුවන්ගේ ගෙවල් වලටත් ගිහින් අමුතු පාට් දානවා. අනේ පව් කියලා සල්ලිත් දෙනවා. සමහරු එලවනවා. මම නොදැක්ක වගේ යනවා. ඔහොම යද්දි පාන් බයිසිකලයක් හම්බ වුනා. සුදතයා නටලා දැම්ම ඩාන්ස් එකක්.පාන් වෙළෙන්දා දුන්නා මාලුපාන් එකක්. මහත්තයෙක් වගේ යන මගෙන් පාං කාරයා ඇහුවා පව් නේද කියලා. මම කිව්වා ඔව් අනේ කියලා. බෝටියාවත්තට හැරෙන කිට්ටුව වංගුවෙන් පස්සේ තියන බොක්කුව උඩ සුදතය ඉඳගෙන ඉන්නවා.මම එනකම්. මාලුපාන් ගෙඩිය කන්න. දුන්න මටත් භාගයක්. දෙන්න හිනාවෙවී කනවා. එකපාට පාං කාරයා බයිසිකලේ ආපසු හරෝගෙන මේපැත්තට ආවා. අපි දෙන්නව දැකල තක්බීර් වෙලා මුලු ගමටම ඇහෙන්න මෙන්න හොරු කියා කෑගහන්න ගත්තා. ස්කව්ටින් දන්නවානේ දිසාව බලලා වතු මැද්දෙන් පාසැල එල්ල කරන් දුවන්න ගත්තා. පස්ස බැලුවේ නැහැ. කුරුණෑගල පාරට වැටෙනකන් මිනිස්සු එලෙව්වද දන්නේ නැහැ. බල්ලොනම් එලෙව්වා. උන් එලෙව්වෙත් වසමෙන් වසමට මාරු වෙමින්. අපි සර්ලොක් හොම් කියෙව්වා විතරක් නෙවේ. පුහුණුත් වුණා. මේ එකක් පමණයි. හොර අල්ලනවා කියන එක අදටත් ජීවිතය වෙලා. ඕන කෙනෙකුගේ අඩිසලකුනු විතරක් නෙවේ විවිධ දේ නිරීක්ෂණය කර් රහස් අල්ලන්න තරම් මේ ක්‍රීඩව දුර ගියා. එත් සුදත් ඔයා අද නැහැ. අපේ පරවේණියේ ශිෂ්‍ය නායක නලුවා. ඔයා පතපු දෙයක් වේවා කියා මාත් පතන්නම්.

********************************************************************************************************
                                   වීරසූරිය සහෝදරයා මරපු නිසා (මිනු නාලන්දේ මතක)

වීරසූරිය සහෝදරයා මැරුවා කියා මාර ප්‍රචාරයක්. මට මතකයි සෙනෙවි අයියාව. කෙලින්ම උදෑසන පාසැල් රුස්වීමේ විදුහල්පති කතා කරන මොහොතේම නැග්ගා බුදුමැදුරේ පඩිපෙල උඩටම. මේ මල් වගේ දරුවො මරන්න දෙන්න බැහැ කියා මාර කතාවක් කළා. කොටින්ම කිව්වේ අද තියෙන්නේ පාසැල් වැඩ නෙවේ සටනක් කියා.ඒ වෙලේම පොලිස් ජීප් එකක් හිමින් යනවා මැද පාරේ.එතැන සිටම කොල්ලන්ගේ හූ එකයි. සර්ල කොහේ ගියාද දන්නේ නැහැ. හැබැයි අයියලා අපිට කිව්ව කාටවත් ගල් ගහන්න එපා. ගේට්ටුවෙන් එලියට යන්න එපා කියා. අපි ගියා විද්‍යාගාරය ඇතුලට. ඇසිඩ් මානසිකත්වය හිසේ තියන්. ලැබ් ඇසිස්ටන් අයියලාට මේ බව කියලා.තව කට්ටියක් කලුගල් ලෑලිපොලු එකතු කරලා ගොඩවල් ගහලා.එරික් රෝහිත මතකද? අයියලා ඇවිත් මල්ලා එලියට යන්න කියනකන් අපි ලැබ් එක ඇතුලේ.ජීප් නෙවේ නිකන් කාර් වලටත් හූ කියනවා. අයියලා බස්වල අඳිනවා. සුදු කලු තීන්තෙන්. සර්ලා නෙවේ අයියලා අපිට එලියට එන්න දුන්නේ නැහැ.පිට එකෙක් ඇතුලට ආවනම් මොනවා වෙයිද දන්නේ නැහැ පොඩිවුන්ට කොහෙද ඇඩ්රස්.නමුත් අපේ අනාගත බලාපොරොත්තුව වූ කැම්පස් එක. ඒකේ අයියා කෙනක්ව මරපු වේදනාව නිසාද? ගැටවර කම නිසාද? අපි දන්නේ නැහැ. අර්. කේ නාරායන්.ඔයාගේ ස්වාමි නවකතාවේ ස්වාමිට වඩා අපිට මාර අත් දැකීම් තියනවා. පොඩිඋන්ට පාරට යන්න දුන් නැති නිසා අපි පාසැල් බිත්තිවල ඇන්දා බලි රූප නෙවේ සටන් පාට. හැබැයි ඒ ආපු හයිය මාරයි. තාම තියනවා වගේ. අනික එදා සිට දේශපාලනික වෙනස අපි එකිනෙකා තම තම නැන පමණින් අත් දැක්කා. දැන් අපිත් පරිනතයි. ඒත් අපි කාට කියන්නද? දැන් අපිත් තාත්තලා. මම කිසිම පක්ෂෙකට නැති වුනත් අසාධාරණයට සහ ක්‍රම විරෝධයට විරුද්ධව මැරෙනකම් පෙනී සිටිනවා.පසුකාලීනව ආපු සාගරයක් මැද සිනමාවට මොන විචාර දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒ මතක අපට අමතක කළ නොහැකියි.
******************************************************************************************************

ටියුෂන්_මතක (රාජා අල්විස් සර්) 1979 අග වගේ
Image may contain: 8 people, people smiling, people standing
දවසක් එක් දහස් පන්සියයක් පමණ ඉන්න වැල්ලවත්ත පන්තියේ හැමදාම කවුද කොල්ලෙක් පඩ අරිනවා වගේ අමුතු හඩක් දානවා. සර්ටත් කරදරයක්. ඒත් සර් සද්ද නැහැ. සතියක් ගියාට පසසේ සර් කියනවා සෙනසුරාදා ක්ලාස් වලට එන අය නැගිටින්න කියා. නැගිටනවා. බදදා බුස්පත්න්දා දෙකටම තුනටම කියා ඔක්කොම නැගිට්ටම එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා. මේන්න මූ තමා සද්දේ දාන එකා. උසස් පෙල පාස් කරලා සංස්කරන සංයෝජන තවදුරටත් කරපුවාම මේවගේ දේවල් උඹටත් නිකම්ම අහුවෙයි කියනවා. කියා කියනවා ආයේ ඔය වැඩේ කළොත් මම ඔය සද්දෙට ප්‍රී කාඩ් එකක් දෙනවා කියලා. සංස්කරණ සංයෝජන එතනින්ම උගන්නලා ඉවරයි වගේ. අනේ මෙවන් ප්‍රායෝගික ගුරුවරු. මමත් මගේ යුතුකම වෙබ් විරිතෙන් භාගෙට දැනට කළා. සර් බුදුවේවා. ඒක අපේ ඉහලම පැතුමක්නේ. පැතුමක් භෞතික නොවන එක ඇත්තක්. ඒත් ආශාවේ ගෞරවයේ හදවත බෞතිකයි. මේ ටියුෂන් මතක අලුත් සර්ලාටද අත්වැලක් වේවා කියා පතනවා. මේ ටියුෂන් නවතා නැවත ලංකාවට ආපසු යන්න බැහැ.ඒවා වෙනම කතා කරමු.හැබැයි සර්ගේ පන්ති වලට කෙල්ලෝ අඩුයි. පස්සේ කාලෙක මටම තේරුණා මැත්ස් ක්ලාස් වලට කෙල්ලො අඩුයි කියා. හරිනේ තාක්ෂණයේ ජාන තියෙන්නේ කා ගාවද?




ලමයි දහකට වැඩී. වැල්ලවත්ත පන්තිය. ඩිකිය ඇරල හුනුපෙට්ටියයි බෝඩ් එක මකන්න සායක් වගේ එකකුයි අරන් ඔහේ එනවා පන්තියට. කොල්ලෝ ෂූ ගහනවා. අත්පොඩි ගහනවා. ඒයාට වැටහුනා මේ ඇයි කියලා. සායවගේ එක කියමුකෝ කාටත් පේන්න ගුරු මේසේ වැනුවා. ෂූව හොඳටම වැඩී. ඒ මදිවට අත්පොඩි. හුනුකැටේ අරන් කලුලෑල්ලේ ලිව්වා දෛශික කියලා. ඒක අපිට ඉස්සර හෙන අමාරු පාඩමක්. පන්තියම නිහඬයි. ෂූව නතර වුනාට පස්සේ කියනවා මම ඕක ලිව්වේ තමුසෙලාගේ සූව නතර කරන්න කියා. ආයේ කොල්ලෝ පටන් ගත්තා. මෙන්න ලිව්වා සාපේක්ෂ ප්‍රවේගය කියා. ඒක ඊට හපන් පාඩමක්. අයේ පන්තිය නිහඩයි. පන්තිය ඉවර වෙනකන් මීයට පිම්බා වගේ. සාපේක්ෂ ප්‍රවේගය කොල බොක්කටම වදින්න දුන්නා.. අයින්ටන්ව අපේ ඔලුවේ වගේ දැනුනා. ගණිතය කරන කොල්ලනේ ගනන් කියන්නේ ගීතයක්. හරියට අහු නූනොත් තමා ඔලුවම අපායක් වෙන්නේ
Image may contain: 1 person, text

රාජා අල්විස් සර් කියන්නේ අපේ පියෝ ඇප්ලයියිඩ් ටියුෂන් සර්. සර්. දවසක් ගානක් දීලා තරාදියක එල්ලන ලද විවෘත පෙටිටියක කරුල්ලෙක් ඉඳලා ඉගිල්ලෙනකොට තරාදියේ පාඨාංකය ගැන. ඔක්කොටම අප්සෙට්. එකෙක් කියනවා පාඨංකය වෙනස් වෙන් නැහැනේ කියා. සර් අහනවා අයිසේ මේ භෞතික විද්‍යා ගානකට දීපු සංවෘත පෙට්ටියක කුරුල්ලා ඉගෙල්ලෙන කතාව නෙවේ. සංවෘත පෙට්ටියක එහෙම වුනාට විවෘත පෙට්ටියක එහෙමද කියලා. කොල්ලො ගොන් ප්‍රශ්න අහන්න ගන්නවා. අහන්න ඉඩදීලා කියනවා අයිසේ එහෙනම් උඩින් ප්ලේන් යද්දි යට ඉන්න මිනිස්සු බරට මැරෙන්න ඕනා නේද කියලා.සියල්ල නිහඬ වෙනවා. මෙන්න නියම ගණන් ගුරුවරු. ගණිතය අපිට ගීතයක් කරනවා.මම ගණිතයේ යම් තාක් ඉදිරියට ගියා වගේම බටහිර පෙරදිග ගණිතයේ දර්ශනයත් හොයන්න ගන්නවා. තාමත් හොයවා ද කොහෙද. එකත් මටනම් දැනෙන කලාවක් වගේම දෙයක්.. බට්ටාචාර්යලලා ජීවනාතලා නකෂත්‍රයත් දැනෙන්න ගන්නේේ ඒ ගමනෙදි. බුධ ග්‍රහයා ගේ ගමන ගැනත් දෙන්න ඕනා උත්තර ඔයවගේම තමා. කරුණාකර සොයා බලා ලියන්න. දැන් සංවාද යුගය අවසානයි. දැන් තියෙන්නේ දේවල් තේරුන් ගන්න යුගයක්. හරිද වැරදිද කියන එක නෙවේ දැන් තියෙන්නේ. ශේණිගත ක්‍රමයක්. ඒ කියන්නේ විවිධ මටිටම් වලින් තේරුන් ගැනීම්.(වෙබ් විරිතේ මතු දීරග ලිපියක් ලියවෙනු ඇත.)
*******************************************************************************************************
තරුණ මතක (ඉන්දියාව)

                                                                                                          

අපි යනවා ඉන්දියාවේ ජම්බරියකට. 1979 දි සියළු ජාතීන් අපේ සහෝදරයෝ වෙනවා. මේ ඉන්දියාවේ මාරිමලයි ජම්බරියකට යන්න මිනු නාලන්දේ මාවත් තේරෙනවා.මේ එහෙදි හමුවුන හින්දු ලමයි දෙන්නෙක්. මෙතන එක ලමෙක් 1981 මුල වෙනකම් මට දෙමලෙන් ලියුම් ලියනවා. සහෝදරත්වය වෙන පැත්තකට හැරෙද්දිම ලංකා දේශපාලනය වෙනස් වෙනවා. මොනවා කරන්නද ලියුන් නවතිනවා. දෙමල පරිවර්තකයෝ ඕන තරම් සොයිසා මහල් නිවාසයේ හිටියා. සමහරු යාලුවෝ.සමහරු ගෝලයෝ. කලුජූලිය වෙලේ පැලැට් වල ගෙවල් ගනනක බඩු බිම දානවා. ඒක ජූලිය තමා. අපි කීප දෙනෙක් තමයි පන්සලේ හැංගුන දෙමල අයව රත්මලාන හින්දු විද්‍යාලයට ආරක්ෂාවට . යන්න සහය දුන්නේ. රජයෙන් බස් සපයලා තිබ්බා කල්යට මතක ඇති කියා හිතනවා. ගින්දරයි දුමයි මතක් වෙද්දිත් බයයි. පැලැට් එක ඇතුලෙනම් මතක විදිහට එකද ගාතනයක්වත් වෙන්න ඉඩ දුන්නේ නැහැ වගේ. මොකද හොඳ කොල්ලො ටිකක් සහ මිනිස්සු ටිකක් හිටි නිසා. එක් අයෙක් මගදි මරලා කියලා අරංචි වුනා. අපේ ගෙදරට උඩතට්ටුවේ සිටි කෙනෙක්. අනිත් අය රට ගියා.සමහරු කොහෙගියාද දන්නේ නැහැ. කීප දෙනයි ඉතිරි වුනේ. අපේ අම්මලා පවා මේ වැඩේට හරියට විරුද්ධ වුනා. මොකද මහල් නිවාසේ අපි එක වහලක් යට බෙදා හදාගෙන සතුටින් සිටි මිනිස්සු.

**********************************************************************************************************************
පිරිවෙන් මතක
මම සොයිසාපුර සිරි සුමංගල සිරිනිවාස පිරිවෙනේ ගණිතය උගන්වන කාලේ.(80 මුල) පිරිවෙන පටන් ගන්න පෙර හැඩි දැඩි මිනිහෙක් මොකක්ද හංගන් ඇවිත් හැංගුනා. අපිට මාර සැකයක්. මට විතරක් නෙවේ ඒ කාලේ පොඩි සාදුලටත් කරාටේ පිස්සුවත් තිබ්බා. අපි හංගන් ඉන්න දේ පෙන්වන්න කිව්වම දුවන්න හදනවා. කටිටිය කතාවෙලා මේ මනුෂ්‍යාව පොලීසියට කියන්න පෙර වට කර හංගන් ඉන්න දේ අපේ අතට අරන් දිග ඇරලා බැලුවා. අනේ කිකිලි් බිත්තරයක්. මානසික රෝගියෙක්. මතකද හාමුදුරුවනේ අපි අන්තිමට කන්නත් දීලා සල්ලිත් දීලා ඒ මනුෂ්‍යාව ආදරයෙන් පිටත් කළා.මට නූල් කෑල්ල කියන මොපසාංගේ කතාව මතක් වෙනවා. ආයේ බලන්න හිතුනා.අපේ පිරිවෙනේ තිබ්බේ තනිකරම ආදරය.අචාර්ය මංඩලය කිසි කෙනෙකුට අසමත් වෙන්න ඉඩ දුන්නේ නැහැ කියලත් මතකයි.අද ඔක්කොම ලොකු හාමුදුරුවරු. ගිහියෝ ඇත්තටම ලොකු මහත්වරු.

1 comments:

රංජිතන්ගේ ඡායාරූපය පරණ මතකයන් අවදි කළා!


Powered by Blogger.