මාරස දුටු වෙසක් සඳ

                                   මාරස දුටු වෙසක් සඳ
හෙට වෙසක් දවස. මම වෙසක් දවස බුදුන්ගේ තෙමගුලම සිදුවූ දිනය කියලා ඉස්සර විශ්වාස කළේ නැහැ. එහෙත් අදනම් විවිධ පැතිවලින් තදින්ම විශ්වාස කරනවා. හැම දේකින්ම අවසානයේ වැඩක් ගතහැකි වන්නේ විශ්වාසය මත බව මට වැටහී ඇති බැවින් ඒ දේවල් ගැන තර්ක විතර්ක සංදර්ශන කරන්න කිසිම අවශ්‍යවයක් මට දැන් නැහැ. පෙර දිනයක ඕෂෝ ලියපු ලිපියක තිබ්බ මතකයක් මේ දිනවල නිතරම මට සිහියට එනවා. දවසක් ඕෂෝ අහනවා කියමුකෝ එයාගේ අනුගාමිකයන්ගෙන් මේ ලෝකේ ආගම් කීයක් තියනවාද කියලා. ඉතින් එතන හිටපු අයගේ සීමාසහිත ගණිතමය කියවීම් වලින් පසුව ඔහු කියනවා නැහැ මේලෝකයේ මිනිසුන් කොතෙක් ප්‍රමාණයක් සිටිනවාද ඒ තරමටම ආගම් තියනවා කියලා. ටික වේලාවක් ගියාට පස්සේ මට ආවේ ඕෂෝ මගෙ හොම්බට ගැහැව්වා නේද වගේ අදහසක්. මේක ආගම් වලට විතරක් නෙවේ බොහෝ දාර්ශනික වාමාංශික කණ්ඩායම් වලටත් අදාලයි කියලත් හිතෙනවා.

මම කුඩාකාලේ පාසැල් යන විට අතරමග ගහපු බෝඩ් ලෑල්ලක තිබුනා මතකයි පන්සලේත්, පල්ලියේත්, කෝවිලේත් දැල්වෙන්නේ එකම පහනක් කියලා. ඒකාලේ බාලදක්ෂ ව්‍යාපාරයේ තිබ්බ ලෝක සහෝදරත්වය ඔලුවේ තියාගෙන මම මේක ගිරවෙක් වගේ එක එකීලට කියවන්න ගත්තා මතකයි. තවත් කාලෙක ජ්‍යාතන්තර වාදය ඔළුවේ තියාගෙන දත්මිටි කමින් මෙවැනි තවත් දේවල් කියවන්න ගත්තා කියන එකත් ඇත්තක්. නමුත් පසුව මට තේරෙන්න ගත්තා පන්සලේත් පල්ලියේත් කෝවිලේත් දැල්වෙන්නේ  එකම පහන් දැල්ලක් බව ඇත්තක් වගේ හිතන්න පුළුවන් උනත් ඒක දකින මිනිස්සු ඒ ආලෝකය තේරුන් ගන්න විදිහත් ඒ ආලෝකය විඳින විදිහත් ලෝක ජනගහනයටම ආසන්න වශයෙන් සමානයි කියලා. ඒවා දෙස බලන්නත් අද එක එක පාට පාට කණ්නඩි වෙළඳ පොළේ වැහි වැහැලා. ඔව් කොළ පාට, නිල් පාට කහපාට විතරක් නෙවේ රතුපාට කණ්නාඩිත් කළුපාට කණ්නාඩිත්  ජ්‍යාතන්තර වෙළඳපොලේ පවා අද ගජ රාමෙට විකිනෙනවා. ඒවයින් බලපුවාම ඒ ඒ දේවල් පේන විදිහත් ඇසුම්, දැකුම්, රුකුල් මගින් ගැඹුරින්ම අපට  කියා දෙනවා. ඇත්ත අවුල තියන්නේ මෙතන බව  හැම දෙනෙකුටම වගේ අද අමතක වෙලා නැහැ. ගොඩ දෙනෙක් අමතක කර ඇති බව පේනවා.

අද හැන්දෑවේ ටිකක් දරුණු විදිහට මගේ වාමාංශික මිතුරෙක් එක්ක හෙට දවස ගැන සංවාදයක පැටලුනා. ඒ සංවාදයත් පසුගිය දවස්වල සිදුවීම් පිළිඹඳව අමුවෙන් දෙඩවීමක් විතරයි කියන එකත් බොරුවක් විය නොහැකියි. කොහොමත් සංවාදය අවසාන උනේ  යම් ප්‍රමාණයකට දෙන්නගෙම හිත් නරක්වෙලා කියලත් හිතෙනවා. කියන්න තියන දේවල් තදින් ‍කිව්වම එහෙම හැඟීම් එන එකත් සාමාන්‍යයක්. කොහොමත් හිතේ සාංකාවට වගේ ‍හෙට වෙසක් දවස නිසා  මම හඳ බලන්න පුරුද්දට එලියට ගියා. හඳ දිහා බලනකොටම මාත් සමග එකඟ නොවුන  මිතුරගේ සංවාදය හරහා කලකට ඉහත මා කියවූ සෙන් කතාවක් සිහියට ආවා. ඒ කතාව මේකයි.

"රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිටි පුංචි පැලකට වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් හැන්දෑවක හොරෙක් ඒ පැලට රිංගුවා මොනව හරි හොරකම් කරන්න හිතා ගෙන. ඒත් කිසි දෙයක් තිබුණේ නෑ.
ඒ අතර රියෝකාන් ආවා. හොරා අතට ම අහුවුණා. ”ඔබ හුඟක් දුර ඉඳන් වෙන්න ඇති මාව හොයා ගෙන ආවෙ?” ඔහු හොරාට කීවා. ”ඔබ මෙච්චර දුර ඇවිල්ල හිස් අතින් යන එක හරි නෑ. ඒ හින්දා මං මේ ඇඳන් ඉන්න ඇඳුම තෑග්ගකට ගන්න.”
අන්දුන්කුන්දුන් වූ හොරා ඒ ඇඳුමත් අරගෙන එතැනින් ඉක්මනට ම මාරු වුණා.
රියෝකාන් නිරුවතින් වාඩි වී සිටියා. ඔහුට හඳ පායා ඇවිත් තිබෙනු දැකිය හැකි වුණා.” අහිංසකයා, මට මේ ලස්සන හඳ එයාට දෙන්න පුළුවන්කමක් තිබුණා නම්” ඔහු තමාට ම කියා ගත්තා."
ඒ මතකය සිහි වුනාට පස්සේ මං තරහ නැහැ මචන් කියලා මමත් මටම කියාගත්තා. 

ජගත් මාරසිංහ
 ( සෙන් කතා මතකය සෙන් බොදු කතා ග්‍රන්ථයෙනි.)

2 comments

සංවදය තුලනය වෙන්නෙ මත ගැටුණොත් විතරයි නෙද අයිය..ඉතින් මොකටද තරහ වෙන්නෙ සංවාදයෙන් තෘප්තිමත් වෙන්ව විනා....

අපි මොන තරම් විචාර ශීලී වුවත්; අප වඩාත් කැමති වන්නේ අනෙකා අපේ මතය පිළිගන්නවා දැකීමය. ඔනෑම රැඩිකල් යයි කියා ගත් මිනිසෙකු තුලම තම් විෂයෙහු ගත් විට අන්ත ප්‍රථිගාමී අදහස් ඇත!

කෙසේ වෙතත් සුන්දර ලිපියක්!


Powered by Blogger.

Follow by Email