මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය සහ අන්න නියම දොස්තර



මධු ලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය  සහ 
අන්න නියම දොස්තර 


                       මා මධුලෝලයකු ලෙස මධුලෝලී උප සංස්කෘතික අවකාශයේ ජීවත්වූ කාලයේ  සිට මගේ අක්මාව ගැන වැඩිපුරම විපරම් කෙරුවේ මත් විරෝධීන්ය. එකල එය මට මහා කරදරයක් විය. මෙවන් ප්‍රතිවිරොධී ප්‍රවනතා  මධුලෝලී උපසංස්කකෘතියට පමණක් සිමා වී සිදුවන්නක් නොවේ. නක්ෂත්‍රය පිළිඹදව දිගින් දිගටම දේශන පවත්වන්නේ එවන් දේවල් පිළි නොගන්නා පිරිසකි.  එලෙසම ආගමික විශ්වාස පිළිඹදවද වැඩිපුරම හරබර දේශන පවත් වන්නේනේද ආගම් විරෝධියෝය. සමාජවාදය පිළිඹදවද තත්ත්වය මෙසේමය. විප්ලවය සහ මාක්ස් ලෙනින්ලා ගැන වැඩිපුරම දොඩවන්නේ ධනවාදී චින්තකයන් ලෙස හදුන්වන පිරිසකි. ඔවුන්ගේ දේශනා වලින් සමාජයට හෝ අඩු ගණනේ තමන්ටවත්  කිසිත් යහපත් දෙයක් නොවන වග වැඩිපුරම දන්නේද ඔවුන්මය. ඔවුහු සමාජ සේවයක් වශයෙන් එවැනි දේ කරනවා කියා හිතා ගත නොහැක. මන්ද මට හමු වූ එවන් බොහෝ දෙනා තමන්ගේ පවුලේ උදවියටවත් හරිහැටි ගනු දෙනුවකින් තොරව සැලකිය යුතු උපකාරයක්වත් කර නොමැත. නමුත් මේ පිරස අතරද අවංක මිනිසුන් කීපදෙනෙක්වත් නැතැයි කීමට මම කලබල නොවෙමි.  මේ තත්ත්වය අද සමාජ විලාසිතාවක් සහ සිය ප්‍රතිරූපය සමාජගත කර ගැනිමේ විලාසිතක් වී හමාර බව ඒ පිරිස නොදැන සිටීමට හේතුවක්ද නැත.
                    බොහෝ මත් විරෝධී අම්‍ධ්‍යපයන් මධිරාබාදය වැළදුන රෝගීන්ට අනුකම්පාකර ඒ අයගේ පවුල් වෙතට සමීප වෙන්නේ අනුකම්පාව පෙරදැරිකරගත් දේවදූතයන් මෙනි. එහෙත් අනතුරුව සිදුවන්නේ මදිරාබාදියාගේ පවුලේ උදවිය සමග සන්ධාන ගතවී තමන්ගේ උපායශීලී මතවාදය  ඔවුන්ගේ හිස මත පැටවීමය. මෙය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවීම වෙනම කාරණයකි. මෙවැනි  තත්ත්වයන්  කිසිවෙක් එලිපිට කතා නොකරන තවත් ආකාරයක අපයෝජන තත්වයකි. අදාල මදිරා බාදය සුව අතට හරවා ගෙන මත් ඇබ්බැහියෙන් මිදී නැවත සමාජ ගත විමට  මධිරා බාදියාට මෙවන් විකාරයන්  නිසා අපහසු   වීමටද මේ තත්ත්වය වැඩි වශයෙන් හේතු වන බව බොහෝ දෙනෙක් දන්නා නමුත් කිසිවෙක් මේ දේවල් නිවැරදි බුද්ධිමය දෘෂ්ටියකින් විමසන්නේද නැත. මන්ද මධු ලෝලයන්ට මදිරාබාදය වැළදුන පසු ඔවුන් දුර්වලයන් ලෙස සමාජ පිළිගැනිමට ලක් කර ඇති නිසාය. නමුත් මේ දේ අදාල වන්නේ සමාජ බලයක් නැති අහිංසක මිනිසුන්ට පමණක් බව පෙනේ. මෙහෙයින් මත් ඇබ්බැහියෙන් මිදී මධිරාබාදියා සුවපත් වෙන කාලය එළෙඹන කල එක්කෝ මධිරා බාදියාගේ පවුලටම දේශපාලන කොක්කක් ගසන්නට මේ මත් විරෝධියෝ කටයුතු කර ඇත. නැතහොත් වෙනත් විෂම සමාජ සම්බන්ධතා ජාලයකට ඔවුන්ව ගාල් කර තිබෙන්නට පුළුවන. මෙම මෙහෙයුම පුද්ගලික මට්ටමින්ද  සිදුවීමට ඉඩ තිබෙන අතර මදිරාබාදියාගේ පවුල් සබඳතා වල මෙවන් තත්ත්වයන් නිසා  බරපතල ගැටුමක් නිර්මානය වීම අනිවාර්ය බව පැහැදිලි කර ගැනීමට අටුවා ලිවීමට අවශ්‍යය නොවේ. එහෙත් මෙවැනි අවස්ථාවල සිදුවන්නේ සියලුම කුනු බෙංගාල බොක්කටයි කියා චූදිතයා බවට මධිරාබාදියාව පත්කිරීමය. අද සමාජ සදාචාරය ප්‍රශ්න කිරීමට පෙළෙඹන යුගයක් උදා වී ඇති බැවින් මේවා සමාජය තුළ සංවාදයට බදුන් වීම නොවැලැක්විය හැකි නිසා බුද්ධිමය නව සමාජ ක්‍රියාකාරින්ගේ යුතු කම විය යුත්තේ මේ තුළ ක්‍රියාත්මක වන සමාජ දේශපාලන තත්වයන් සැබෑ දෘෂ්ටි කෝණයකින් තේරුම් ගැනිමට උත්සාහ කිරීමය. මන්ද කුමන නමකින් පෙනී සිටියද ඕනෑම සංවිධානයක් පිටුපස රතු, කහ නිල්, කොල යන වර්ණයන් සැගවී ඇති නිසාය 

          කෙසේ හෝ මධිරාබාදය පාවිච්චි කර තම සංවිධානයේ හෝ පුද්ගලික මට්ටමින් හෝ මදිරා බාදය හෝ මතට ඇබ්බැහි වූවන්ගේ නෑයන්, මිතුරන්  සමග ගනුදෙනු කිරීමට බොහෝ දෙනා පොටක් පාදා ගන්නේ බුදු වීමට නොවන වග මේ සමාජ ආර්තික ක්‍රමයේ ජීවත් වන මිනිසුන් වටහාගෙන සිටීම තම ජීවිත ගමනට වඩාත් පලදායක විය හැක. මත් ලෝලයාද, මත් පැන් හෝ මත් ද්‍රව්‍ය අලෙවි කරන්නාද, මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයාද,  මත් ලෝලයන්ව විශෝධනය හෝ පුනරුත්තාපනය කරන්නන් යන සියලු පුද්ගලයන්ද  තමන්ට යැපෙන්නට අවැසි ධනය වනාහී මත් උප සංස්කෘතියක ප්‍රාග්ධනයම බවත් එම  මුදලටද  ලාබයට  අදාල සියලු වැදගත් සහ අවැදගත් කොන්දේසි ක්‍රියාත්මක වීම අනිවාර්ය බවත්  ජනතාව දැනගතයුතුය. එමෙන්ම මතට ඇබ්බැහි වූවන්ට වඩා මත්බවේ උප සංස්කෘතියෙන්  යැපීම් මාර්ගය සහ ලාබ ලබන තත්ත්වයක් නිර්මානය කරගෙන ඇති පිරිස සිය දහස් ගුණයකින්  වැඩිය. හාසය සහ කේදය පවතින්නේද මෙතැනය. මේ තත්වය මත් සංස්කෘතිය ගැන ලියන කියන මාධ්‍ය වේදීන්ටද අදාල අතර මෙය රජයේ බදු සහ දඩ මුදල් සමගද, ජාත්‍යන්තර ප්‍රාග්  ධනය  සමගද ඍජුවම සම්බන්ධ බව මත් බව පිළිඹද ආගමික හෝ සමාජීය දේශනා පවත්වන්නෝ සහ ලියන කියන සියලු දෙනා නොදන්නේ නම් දැන්වත් දැන ගත යුතුය. එවිට තරමක්වත් පුන පුනා බේ බද්දන්ට පමණක්  දෙහි කපමින් ලියන කියන දේ වෙනස් වීමෙන් මිනිසුන්ගේ ඇස් කන් වලටවත් යම් යහපතක් වීමට ඉඩ ඇත. කොටින්ම මත් සංස්කෘතිය වනාහී අද ජ්‍යාතන්තර වෙළද ජාලයක ප්‍රතිපලයකි. රාජ්‍ය නොවන සංවිධාන මේ කටයුත්තට මැදිහත් වී සිටින්නේ මේ තත්ත්වයන්  ගැන දැනුවත් ක්‍රියා කාරීන්  ලෙස නිසා ඔවුන්ගේ  මත් විරෝධී රාජකාරිය ගැන ලියන්නට බොහෝ දේ තිබේ. ඒවායේ මත් විරෝධී විලාසිතාවට සමගාමීව අමද්‍යප ව්‍යාපාර ලෙස දේශපාලන සංවිධාන පවා හැසිරෙන බැවින් ඒ සම්බන්ධ වැඩි විස්තර හිතන විට නිරායාසයෙන්  දයානන්ද ගුණවර්ධනගේ ආනන්ද ජවනිකා වාර්තා රංගනය සිහිනෙන් මෙන් පෙනෙනවා සේය.

         අමධ්‍යප  ක්‍රියාකාරීන්ගේ පසුගාමී මිනිස් සබඳතා හේතුකොට මදිරාබාදීන්ගේ  ඥාති පදනම  මතවාදීව දෙකට බෙදී යන අතර බොහෝ විට පවුල් දෙදරීම ආරම්බ වන්නේ මෙවන් හැරවුම් ලක්ෂ්‍ය වලදී බව පෙනේ. 2000 දී මා මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය නැමති වාර්තාවක් “මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුධය" නමින්  ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ අතර එමගින් මධුලෝලයන්ගේ උප සංස්කෘතියට හිමි වී තිබෙන දෙබිඩි විරෝධය නිසා මධුලෝලයන් බේබද්දන් වී අවසානයේ මධිරාබාදය වැළදී සුරා උන්මත්තකයන් බවට පත් වීම සම්මත වෙමින් පවතින වග විස්තර වශයෙන් එලිදරව් කරන ලදී. එහෙත් ඉන් පසු අන්තර් ජාලයේ සහ විවිධ පොත පතෙහි නව පරපුරේ දක්ෂ ලේඛකයන් ගේ ලියවිලි තුළ මත් විරෝධීන්ගේ බොරුව සහ බේබද්දන් පවා රජයට ගෙවන බද්දට සාපේක්ෂව මත් වීමේ අයිතියට නිදහස ඉල්ලීම යහමින් සිදු වෙන නමුත් මත් වීරෝධී සංස්කෘතියේ තිබෙන බල දේශපාලනික ගනුදෙනුවේ අව භාවිතාව පිළිබද දැක්මෙහි යම් අඩුවක් ඇති බව පෙනේ. මත් විරෝධීන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව  මධිරාබාදීන්ගේ පවුල් තමන්ගේ මතවාදයට හරවා ගැනීමට  ගන්නා උත්සාහය මත මධුලෝලී රෝගීන්ට සිදුවන සමාජ අසාධාරණය නිසා බොහෝ විට නැවත මතට අපගමනය වීම සිදුවීමද දේශපාලනිකව  මතු කිරීම මේ නව පරපුරෙන් සිදුවිය යුතු බව සිහි කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. සහල් ප්‍රමාණයක් ලිප තබා බතක් පිළිවෙල කරගැනීමට ලිප් ගල් තුනක් ඇවැසි බව සදහන් කරමින් මතට ලොල් වූවන් පුනරුත්තාපනය හෝ විශෝධනය කිරීමට ලිප්ගල් තුන මෙන් රෝගියාද, රෝගියාගේ පවුලේ පිරිසද, අම්‍ධ්‍යප සංවිධානයද යන තුන් ගොල්ලන්ම අවැසි බවට නියමක් ගොඩ නගා ක්‍රියා වලිය ආරම්බ කරන නමුත් බොහෝ අමධ්‍යප පිරිස් බත සහ රෝගී ගල පසක දා රෝගියාගේ පවුල් ඒකකය සමග සන්දාන ගසා තමන්ම පුනරුත්තාපනය වෙන අවස්ථා හාස්‍ය ජනක බවද නොලියාම බැරිය.
             
               කෙසේ නමුත් මගේ අක්මාව ගැන ඇල්කොහොල් විනිවිද විශ්ලේලේෂණාත්මක අර්ත කතන දුන් සැමට මා ගරු කළ යුතුය. මන්ද මගේය කියා අක්මාවක් නැති බව ඔවුන් මට පසක් කළ නිසාය. අමධ්‍යපයින්ගේ මතවාදයන්ට ශාක්කි සපයන බොහෝ බටහිර සහ දේශිය වෙදුන්ද අක්මාව එතනෝල් පිට පටවා මා අපහසු තාවයට පත් නොකළාද  නොවේ. මගේ නමින් මධුලෝලයා ඔවුන්ගේගේ නමින් බේබද්දාය. බේබද්දන්ට ඕනැම බිතිකාවක් පහ වෙන්නට තිබෙන එකම බෙහෙත වන්නේද ඇල්කොහොල්ය. කෙසේ හෝ දෙවන වතාවටත් මා මතට තිත තැබුවේ සමාජ ව්‍යාපාර ලෙස පෙනී  සිටින අමධ්‍යප සංවිධාන විසින් ඇති කර තිබෙන කෝටාල් බීතිකාව නිසා නොව මධුලෝලී උපසංස්කෘතිය නව ලිබරල් වාදීලෙස හදුන්වන ආර්ථික ක්‍රමය මත පසුගාමී තත්ත්වයකට පත් වී ඇති නිසාය. කොටින්ම අයවැය පියවීමේ සිට සමාජ විරෝධී සිදුවීම් සහ සියලු ලෙඩ රෝග බොහෝමයක් අහිංසක බේබද්දන්ගේ කරේ පටවන නිසාය. ඉසිලිය නොහැකි බරක් සමග මධුවිතක රස සහ  නිසි නිදහස්  උත්තේතේජනය වෙනුවට රත්පිත් උන්මාදයෙන් පීඩාවට පත් වීම විකාරයක් වෙන නිසාය. මධුලෝලත්වය සහ මුදල් විනාශය පිළිඹද මා ඉහත දැක්වූ වාර්ථාවේ බොහෝ දේ ලියා තිබේ. මධු ලෝලීන්ගේ  මුදල් විනාශ කිරීම  පිළිඹදව මිනිසුන් කියන්නේ ඇත්තක් නම් මත් ලෝලයෙක් ඉන් ඉවත් වී වසරක් ගතවන විට ඔහු කෝටිපතියෙක් විය යුතුය. මත් ලෝලයන්ගේ සංස්කෘතික අවකාශය යනු විවිධ හැකියා සහ සම්පත් ඇත්තවුන්ගේ ජාලයක් බැවින් මතටම සරිලන පුදුමාකාර මිනිස් සබඳතා සහ ප්‍රාග්ධන සබඳතා ගැන මෙවන් කෙටි ලිපියකින් විස්තර කළ නොහැක. උපකාරයක් වශයෙන් චාලි චැප්ලින්ගේ "සිටි ලයිට්" චිත්‍රපටයේ මධුලෝලී සංස්කෘතික සිදුවීම් වෙනත් ආකාරයකින් ලංකාවටද අදාල වග පැවසිය හැක.

           අක්මාව පිළිඹද දේශීය සහ බටහිර වෙදුන් දුන් අනාවැකි පරයා මතට තිත තබා හය මසක් ගතවෙන විට මා උපන් පිය පරම්පරාවට උරුම හෘදයාබාධ තත්වයක් මට උරුම වූයේ  ස්වභාවයේ සරදමක් ලෙස මෙන් දැනේ. බොහෝ දෙනෙක් අති භයානක සේ සැලකුවත් බටහිර දැනුමේ වෛද්‍ය පර්යේයේෂණ සහ සැත්කම් ඉතා උසස් මට්ටමක ඇති බව කවුරුත් දන්නා ප්‍රරසිද්ධ කාරණයකි. මනා සැලසුම් සහගත ආයතන ගත උප සංස්කෘතික අවකාශයක සිදු කරණ සැත්කම් වලට මුහුණ දීම මහ පාරේ පයින් යනවාට වඩා ආරක්ෂිතය. එහෙත් අප කොදෙව් වාසී හදවත් රෝගීන්ට සැත්කමට වඩා ගැටලුව වන්නේ හෘර්ද රෝග සැත්කම් පෝලිමය. බලවන්තයන්ගේ හිතවත් කම් මගින් සියලු දෙනාම පෝලිම පැනීම පුරුද්දක් කරගෙන ඇති බැවින් පෝලිම පනින පිරිසටද තවත් දිගු පෝලිමක් තිබේ. ඉතා බලවත් නිල සම්බන්ධකම් වලින් තොරව කෙටි කාලයකින් හදවත් සැත්කම් මඩුව අසලකටවත් කිට්ටු කළ නොහැකි වන්නේ එහෙයිනි. රෝගී තත්ත්වය උත්සන්න වී සිටින තවත්  රෝගීන් නොසලකා පෝලිම් පැනීම නුසුදුසු නමුත් අපිලිවෙල පිලිවෙල බවට පත්වූ විට සිදුවන්නේ නුසුදුසු දේවල්ය. එහෙත් දසතින් ඇසෙනේ නව ලිබරල් ආර්තික ප්‍රතිපත්ති පිළිඹද සුරංගනා කතන්දරය. නමුත් අප රටේ රක්ෂණ වෙළද සමාගම් ජාලයේ පසුගාමිත්වය මෙවැනි පෝලිම්වවල දිග මැනීමෙන් දැන ගත හැකි බව වගකිවයුත්තතන් දන්නා නමුත්  ඒ පිළිඹද කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැත. මෙහි වගකීම ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂද සමාජ ක්‍රියා කාරීන්ද ඇතුලු සිවිල් සමාජයට උපදෙස් දෙන්නන් බාරගත යුතු  බව  සියලු මිනිසුන් දැන ගත යුතුය. ජනාධිපති අරමුදලින් සුලු සහනයක් ලබා දෙන නමුත් හන්දියක් හන්දියක් ගානේ බැංකුවක් සහ පඳුරක් පඳුරක් ගානේ රක්ෂණ නියෝජිතයින් ඇති රටක මිනිසුන්ට සමීප විය හැකි වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ඔවුන්ට උවමණාවක් නැත. පෙර කළ බැංකු වලින් පන්නා ගත් විශ්‍රාමිකයන්ට අද වන විට ඇප කරුවන් නොමැතිව ලබා දෙන පන් ලක්ෂයේ ණය මුදලද පූර්වාදර්ශයක් වශයෙන් සටහන් කළ හැකිය. නැතහොත් සමහර බුද්ධිවාදීන්  සේ පෙනී සිටින පිරිසක් හිතන ආකාරයට ලෙඩුන් සුවවීමට සමාජ විප්ලවය සිදුකරන තෙක් බලා සිටිය යුතුය.                                                         

                රෝගයක්  සදහා වුවත් කිසිදු  මිතුරෙකුගෙන් උදව් ඉල්ලීම මා නොකරන්නේ නියම මිතුරන්ට වචන ඉක්මවා කළ යුත්ත දැනෙන බව මා දන්නා නිසාය. නියම  මිත්‍රයන්ට  උදව් කිරීමට හැකියාවක් නොමැතිනම්  පෝලිමේ  සිටීම  හැර  වෙනත් විකල්පයක්ද  නැත. එහෙයින් අනෙක් රෝගීන්ගේ  අගක් මුලක් නැති කතන්දර අසමින් සැත්කමක් තිබේද නැද්ද යන්න ස්තිරවම දැනගැනීමට එන්. ජී. ඕ පරීක්ෂණ පෝලිමේ හය මසකටත් වඩා කට්ට කෑමට අන් බොහෝ දෙනෙකුට මෙන් මටද සිදුවිය. (පොත පතේ නැති වුවත්  අප කොදෙව්වේ නිදහසේ සිතන පතන මිනිසුන්ට හැමදාම ඒරාෂ්ටක බව මම අත්දැකීමෙන් දනිමි. එහෙයින් කට්ට යනු මා අයත් පරපුරේ බොහෝ දෙනෙකුට අති සරල දෙයක් බවද සදහන් කළ යුතුය.) කාලය මෙසේ ගෙවී යන විට හදිසියේ මා සමග සංවාද කර පරණ රස  කතා අසන්නට පැමිණි ඊයේ පෙරේදා මිතුරෙකු වූ දොස්තර මිතුරෙකුට  මා මගේ සායනික වාර්ථා පෙන්වූ විට කිසිදු කතා බහක් නොමැතිව ඔහු සමුගෙන වෙනදා විදිහටම ආපසු ගියේය. සතියක් ගතවන්නටත් මත්තෙන් දුරකතනයෙන් මා ඇමතූ ඔහු අදාල පරීක්ෂනය සදහා ජයවර්ධනපුර රෝහලේ කටයුතු සූදානම් කළ බව දන්වන ලදී. මම රෝහලට ගෙවිය යුතු ගාස්තුව ගැන විමසුවේ දෙගිඩියාවක් සිතේ පැවති බැවිනි. එය ඔහු විසින් ගෙවා දමන බවත් ඒ ගැන නොසිතන ලෙසත් කියාගෙන කියාගෙන ගියේය. වෛද්‍ය ආයතන තුළ දී සමිප මිතුරන් සේ හැසිරෙන එහෙත් පිටත පැමිණි විට රෝගියාගේ මුහුණවත් නොබලන දොස්තර වරුන් බොහෝ සිටින උප සංස්කෘතියක් රජයන රටක කිසිදා මා බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවීම වෛද්‍පරීක්ෂණයටත් වඩා  සතුටට කාරණාවක් බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවන බව හඟිමි. තවත් පසකින් ඔහු මා විසින් ලියනු ලබන "මා රසබොලොග් අතිරේකයේද පාටකයෙකි. එහෙයින් ඔහු අකමැති නමුත් ඒ ගැනද සටහනක් තැබීම මගේ යුතුකමක් වි තිබේ. මේ ලියවිල්ල එහි ප්‍රතිපලයකි. කොටින්ම ඔහු නමින් දොස්තර ප්‍රභාත් යාපා බව ලියා නොතැබුවහොත් එය කියවන්නාටත් වඩා ලියන්නාට අඩුවක් විය හැකිය. එන්. ජී ඕ පරීක්ෂණයේ ප්‍රතිඵලය නැවත දිගු පෝලිමක අත්දැකීම් ලැබීම හෝ ක්ෂණික මුදල් උපයන මාර්ගයකට සේන්දු වීමට බල කිරීමක්  වීම වෙනම කාරණයකි. කෙසේ උවත් බොරු උපදෙස් අවවාද අනුසාසනා වලින් තොරව රෝගී තත්ත්වය මැන දුන් දොස්තර ප්‍රබාත් යාපා මිතුරා මගේ ලෝකයේ නොමැකෙන මතකයක් බවට පත් වූයේ නිරායාසයෙනි. අනිකුත් සියලු මිතුරන්ගේ නම් අමතක වන බව මින්  අදහස් නොවේ. මන්ද කෙනෙකු කෙනෙකුට අත හිත දෙන්නේනේ මිත්‍රත්වයේ නාමයෙන් පමණක් නොව සිය හැදියාවේ සහ ජීවන රටාවේ ධාරිතාවයට සාපේක්ෂ අතිරික්ත ශක්තියකින් බව මා නොදන්නවා නොවේ. නමුත් මේ මොහොතේ  දානමය තත්වයට වඩා මට වැදගත් වුයේ මා නොසිතූ මිතුරෙකු මගින් එවැනි දෙයක්  සිදුවීමය. මම ඔහුට මගේ පුද්ගලික ලෝකයේ "අන්න නියම දොස්තර" යන සම්මාන නාමය පිරිනමමි. 

             "අන්න නියම දොස්තර" යන අදහසටද  මට නොමැකෙන මතකයක් තිබේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබූ දින වල මා මැගසින් බන්ධනාගාරයේ රැදවියකු වී සිටි යුගයට ඒ මතකය දිව යයි. වසර දෙකකට ආසන්න කාලයක් මා එහි ජීවත් වූ අතර මගේ රෙට්ටුවට (පැදුරට) එහා රෙට්ටුවේ සිටියේ බොහෝදෙනෙක් දන්නා කියන එකල අන්තරයේ ප්‍රධාන 
චරිතයක්වූ  වූ රන්ජිදම් ගුනරත්නම්ය. සිර කඳවුර තුළ විශාල දේශපාලන රැඳවියන් පිරිසක් අතර දුම් පානය කරන ලද්දේ දෙදෙනෙකු පමණි. ඒ දෙදෙනාගෙන්ද වැඩිම දුම් උරන්නා වූයේ මම වෙමි. කිසිදු නිල දේශපාලනික කටයුත්තකට මා සහභාගි නොවූ අතර සංවාද විසංවාද වලින් නම් බන්ධනාගාරයේ සිටි පූසෙකුටවත් මග හැර නිහඬව සිටින්නට නොහැකි විය. 
     
                මේ කාලයේ රන්ජිදම් මගේ සිත්ගත් චරිතයක් වූ අකාරය බ්ලොග් සටහනකින් නම් කෙසේවත් විස්තර කළ නොහැක. පාදඩයෙකුට  උරුම ජීවිතයක් ගත කළ මා මගේ රෙට්ටුවට අල්ලපු රෙට්ටුවේ සිටි නිසා පමණක් නොව ජීවිතය සහ කලාව, ආගම, ගණිතය, දේශපාලනය සම්බන්ධ දාර්ශනික සංවාද හරහා පුදුමාකාර ලෙන්ගතු කමක් සමග සහජීවනයෙන් කටයුතු කළ  චරිතයක් බැවින්  රන්ජිදම්ද  මට  අමරණීය  මිතුරෙක්ම විය. එක් නිමේෂයක සිර කඳවුරේ රැඳවියන් අතර පැපොල, සරම්ප වැනි වසංගත රෝග සිඝ්‍රයෙන් පැතිර යන්නට වූ අතර රෝගීන් බියට පත් වී සිටියේ බන්ධනාගාර නීතිය අනුව ඔවුන්ව රෝහල් ගත කිරීමට කදවුරෙන් පිටත ගෙන යාම අනිවාර්යක් බැවිනි. මේ අතර සිරගත කර සිටි වෙද්‍ය සිසුන් රෝගීන්ට සාත්තු සප්පායම් කරමින් බොහෝ මහන්සි වෙන්නට විය. අවසානයේදී ඔවුන්ගේ සාත්තු සප්පායම් රෝගීන්ට කරදරයක් වන තරමට දුර ගියේය. මේ වෙද සිසුන්ගෙන් වැඩි දෙනෙක් පේරාදෙණි සරසවියේ සිසුන්  බවද මතකයේ තිබේ. එකල කඳවුරේ ජනප්‍රිය නවකතා පොතක් වූ "වෘකයන් අතර නග්නව" ග්‍රන්ථයේ කොටසක සෙවනැල්ලටත් ඩෙඩි තබන පරිසරයක සිරකරුවන් අතර සිටි දොස්තර කෙනෙකු රාත්‍රියේදී රෝගීන්ට කරදරයක් වන සේ ඇග උඩ නගිමින් ඇට පැන ඇති භංග සකසමින් තමන්ගේ දොස්තර රාජකාරිය බලදාරීන්ට රහසින් කරගෙන යන විට "අන්න නියම දොස්තර" කියා සිර කරුවෙක් මුමුණයි. රංජිදම් සහ මම මේ දෙබස අල්ලා සිය සාත්තුව රෝගීන්ට වදයක් වෙන තරමට කටයුතු කරන වෙද සිසුන්ට  "අන්න නියම දොස්තර" කියා විහිලු කරන්නට විය. කෙසේ නමුත් අවසානයේ වසංගත තත්වය සැලවී බන්ධනාගාර පාලකයෝ කලබල වූහ. ඔවුන් අදාළ රෝගීන්ව රෝහල් ගතකිරීමට සිදුවන බව පැවසූ විට රෝගී රැදවියෝද කලබල විය. මන්ද  එකල කදවුරෙන් පිටතට රැඳවියන්ව  ගෙනයාම ඔහුගේ මරණය විය හැක යන බීතිකාවක් කා තුලත් හොල්මන් කළ නිසාය. බන්ධනාගාර ප්‍රධානියාගෙන් බෝවන රෝගීන්ව සෙල් කුටි තුළ තබා රැදවියන්ටම සාත්තු කිරීමට අවසර ඉල්ලූ විට ඔහු කීවේ රෝගීන්ව වෛද්‍යයවරයාට  පෙන්වීම අනිවාර්ය බවත් දොස්තර වශයෙන් රාජකාරි කරන්නේ තරුණ ගැහැණු ළමයකු නිසා තමාගේ අකමැත්තක් නැතත්  ඇයගේ කැමැත්ත ලබා ගත නොහැකි බවය. එදින රාත්‍රිය සැබෑවටම නිහඩ රාත්‍රියක් විය. පසුදා උදැසනම රංජිදම් බොරු ලෙඩක් ගෙන දොස්තර වරිය මුණ ගැසුණි. ඇගෙන් ඔහු ඇසුවේ එකම එක  ප්‍රශ්නයක් පමණි. ඒ ඇය උපාධිය  කළ සරසවිය කුමක්ද යන්නය. එයද  නොදැන අසන ලද  පැනයක් නොවන බවද  සැබෑවකි. ඇගේ උත්තරය ඉතාම සරල විය. මමත් පේරා යන ඒ උත්තරය වැස්සටවත් පේරා නොගිය මට  තවමත්  ඇසෙනවා සේය. ඒ භීෂණය  යුගයේ එවන් උත්තරයක්  පිටුපස පුදුමාකාර මනුස්ස කමක් සහ එඩිතර කමක් සැඟවී තිබූන  නිසාය. විනාඩි දහයක් ගතවන්නටත් මත්තෙන්  තරමක් මිටි,  පැහැපත් සුදු කය වසා තද නිල් පාට සාරි කොටයක් ගසා සිටි දොස්තර කෙල්ල  දොස්තර නලාව කරේ දමා ගෙන දේශපාලන හිර කරුවන්ට ආචාර කිරීමට සිය දෑත් ඔසවා දෙපසට වනමින්  මිනීමරු ත්‍රස්තවාදීන්  ලෙස හඳුන්වන ලද  දහසකට වැඩි පිරිමි  දේශපාලන  සිරකරුවන් අතරට පැමිනියේ රැදවියන්ගේ අත්පොලසන් සහ ප්‍රීති ගෝසා මැද්දේය. ලෙඩුන් සුව වෙන තෙක්ම ඇය  ගමන නතර නොකළාය. මේ ප්‍රීති ජනක මොහොතේ පිටු පසින් මට කවුදෝ අතින් ඇන්නේය. ඒ රන්ජිදම්ය.  "අන්න නියම දොස්තර කියමින්" හිනැහෙමින් ඔහු මට අමතක නොවන තවත් රූප රාමුවක් හදවතට එක් කළේය. ඒ දොස්තර කෙල්ලගේ එඩිතර ගමනත් "අන්න නියම දොස්තර" කියමින් අත්පොඩි ගැසූ රංජිදම්ගේ සතුටු සිනහවත් පේරා යන අකුරු දෙකත් මහා සිනමාවේ රූප රාමු පෙලක් මෙන් මා මනසේ කොහේ හෝ තවමත් සැඟවී තිබේ. දොස්තර වරයෙක් නියම දොස්තර වරයෙකු  වන්නේ සිය රාජකාරියට පිටින්ද දොස්තර කෙනෙකු  වීමට හැකිනම් පමණක් යන අදහස අපේ එදා සංවාද තලයේ ඉතිරිය බවට පත් විය. ජීවිතයෙන්ම දොස්තර කෙනෙකු වීම ඊටත් වඩා අසීරුය. බුද්ධිමය තාත්තලා  සහ  මාමලා පරම්පරාවක් සදහටම අහිමි වූ වර්තමාන සරසවි දූ පුතුන්ගේ සමාව නොදිය හැකි අඩු පාඩු දෙස පවා උපේක්ෂාවෙන් බැලිය යුතු බව සැඟවී  සිටින මගේ පිය අර්දය මටම තදින් තරවටු කර අවවාද කරනවාසේ  දැනේ. රටකට  බුද්ධිමය තරුණ පරපුරක් අහිමිවීම මාපිය  පරපුරක් අහිමි වීමට දෙවෙනි නොවන බවට අටුවා ලියන්නට මගේ ශබ්දකෝෂයේ  සුදුසු  වචන නොමැති බවද ලියා තැබිය යුතුමය.


ජගත් මාරසිංහ
2016  ජුලි 20

                                                               ගමන නොනිමෙයි 


Powered by Blogger.