සිරිමල් සහ සුමනාට තුති පිදීමකි!!!



  “රෝගය සමග පොර බදමින් ලෝකය විදින්නට නොහැකිව කරන්නට අන් දෙයක් නැති නිසා තනිකමට පෙම් බදිමින් සිටි මා දුක සැප බලන්නට නොසිතූ මොහොතක තමා විසින් ලියා පල කළ පොතක්ද රැගෙන චින්තන ධර්මදාස මිතුරා පැමිණ මා ඉදිරියේ රිටක් මෙන් හිට ගෙන සිටී. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා සේය. මිතුරන්ගේ දුක සැප බැලීමට යාම චින්තාගේ සිරිතක් බව මම දනිමි. පොත් සල්පිල් නොගියාට මටද අපට පසු පරපුරේ සගයෙකුගෙන් පොතක් ලැබිණි. සාහිත්‍යය මාසයේ ඕපා දූප ගැන කතා බහ කරන්නට කාලයක් නැතිවීම හිස් බවක් ඇති නොකළා කීවොත් මා බොරු කාරයෙකු වන බවද දනිමි.
                       පොත් කරුවන්ගේ පොත් පුම්බා උඩ හැරීම ගැන ලියන අදහස කල් දමා මම චින්තාගේ පොත අතට ගත්තෙමි. ඒ පුම්බා උඩ හැරීමට නොවේ. පුම්බා උඩ හැරීමට හුලං මිලදී ගත යුත්තේ සංකේත ප්‍රාග්ධනය ඔස්සේ බව සැබෑවකි. මා හිස් බෝතල් හැර එවැනි දේ ඉතිරි කරගෙන නොමැති බව චින්තා නොදන්නවා නොවේ.“
(2015- 08- 15 හදවත-පොත-සිත)

       
       ඉහත උපුටා දක්වන ලද්දේ 2015 දී චින්තාගේ තිත්ත තොල් නව කතාවට ලියන ලද සටහනකින් කොටසකි. 2015දී මෙන්ම 2017-09-17 දිනද චින්තා ඔහුගේ පෙම්වතියත් සමග මා හමුවීමට පැමිනියේ ඔහු විසින් ලියා ඇති “FACULTY OF SEX“ නැමති ග්‍රන්තයේ පිටපතක් මා අතට පත් කිරීමටය. අප දෙදෙනාගේ කතා බහ අතරට බාල පරපුරට අන්තර් ජාලයට අත තැබීම තහනම් කිරීමේ උන්ඩයක්ද පාත් වූ නමුත් මෙත්තාව පලිහක්කොට මා එය කෙටි කාලයකින් නිෂ්ක්‍රීය කලෙමි.
                  
     චින්තාගේ මෙවර සාහිත්‍යය මාසයේ දැන්වීම් අවකාශය තුළ ප්‍රචාරය කර තිබුනේ තමාද කුඩා කල සිටම සෘංගාර සාහිත්‍යයට කැමති බැවින් මෙවර පොත ඒ ඔස්සේ ලියවුන නවකතාවක් බවය. සරලව ගත් කල භරත මුණිගේ රස වාදයේ අට වෙනි රසය විස්තර කොට ඇත්තේ රතිය හෙවත් රාගය නිශ්පත්තිය කොට ගෙන ඉපදෙන රසය සෘංගාර රසය ලෙසය. මිනිසුන් අන් රස විඳීමට වඩා සෘංගාර රසයට දැඩි කැමැත්තක් දක්වන නමුත් ලාංකේය සලාද සදාචාරයේ හැසිරීම හේතුකොටගෙන සෘංගාරාත්මක කලාව රහසේ රසවිඳින්නට පසුගිය කාලයේ අපට සිදුවූ වග අමුතුවෙන් සටහන් කළ යුතු නොවේ. ලෝක දේශපාලනයේ ගෝලීය වෙනසින් පසු වර්තමානයේ ඒ තත්ත්වයෙහි යම් වෙනසක් ඇතිවූ නමුත් අදටද බොහෝ දෙනෙකු ඒවා රස විඳින්නේ හොර රහසේය. යමෙක් එවන් සාහිත්‍යයට විරුද්ධව පෙනී සිටින්නේනම් සංවාද කිරීමටත් වඩා සුදුසු වන්නේ මුර පදය ඉල්ලාගෙන ඔහුව ගූගල් පරීක්ෂණයකට ලක්කිරීම පමණි. එවිට අපට ඔහුගේ සෘංගාර පැටිගිරියේ අග මුල දැන ගැනීමට තරම් අද වන විට තාක්ෂණය දියුනු වී තිබේ. චින්තාගේ කෘතියේ සාහිත්‍යමය අඩුපාඩුහෝ සාර්තකත්වය ගැන කිසිත් නොසලකා සටහනක් තබන්නේ සලාද සදාචාරයේ යතුරු හිල් සදාචාරය කරදයක් වූ නිමේෂයක කුමන අරමුණකින් හෝ මෙවන් දෙයක් නිර්මාණය කිරීම ගැන යම් තරමක හෝ ධනාත්මක බලාපොරොත්තුවක් ඇති නිසා වන්නට පුළුවන.

     “පාඨකයාව ලිංගික ව උත්තේජනය කිරීමේ අරමුණ ඇති ව හෝ ලිංගික ව උත්තේජනය කිරීමට හැකි අන්දමින් මානව ලිංගික හැසිරීම් විෂය කරගනිමින් ලියැවුණු ප්‍රබන්ධමය හෝ  නිර්ප්‍රබන්ධමය වූ  රචනාවන් ශෘංගාර සාහිත්‍යයට අයත් බව අප දන්නා කාරණයකි. මේවා නවකතා, කෙටිකතා, කාව්‍යය, ආවර්ජනා සහ ලිංගික අත්පොත් වැනි ඕනෑම ස්වරූපයකින් ප්‍රකාශයට පත්විය හැකිය. වෛශ්‍යකර්මය, කාම සැණකෙළි, සමලිංගිකත්වය, ස්වයං පරපීඩා කාමුකත්වය සහ වෙනත් නොයෙක් අශ්ලීලමය විෂයන් වැනි තේමාවන් ඇසුරු කරගත් අශ්ලීලමය වූ හෝ නොවූ භාෂාවකින් රචනා වන ප්‍රකාශනයන් ද මෙම ශානරයෙහි ම  තබා විග්‍රහ කර ගත හැකිය. උපහාසය සහ සමාජ විචාරය පමණක් නොව සමාජීය මානසික ව්‍යාධි ආදිය පවා මෙයට අයත් අනෙකුත් පොදු මූලිකාංගයන්ය. මෙවැනි දේ පිළිබඳ ව සංස්කෘතික තහංචි පැවතුන ද මුද්‍රණ ශිල්පය සොයාගැනීමට පෙර සෘංගාර සාහිත්‍යෙයේ ව්‍යාප්තිය ප්‍රබල ලෙස ඉස්මතු වී නැත. එයට හේතුව වූයේ අත්පිටපත් නිෂ්පාදනය වියදම් අධික කාර්යයක් වූ බැවින් තෝරාගත් පාඨක පිරිසක් අතර සුළු වශයෙන් ව්‍යාප්ත වීමයි. 15වන සියවසේ මුද්රන ශිල්පය සොයාගැනීමත් සමඟ දැවැන්ත වෙළඳ පොළකට මෙන් ම (අශ්ලීලත්වය පිළිබඳ සමාජාකල්ප හේතුවෙන්) වාරණය සහ නෛතික අවහිර කිරීම් වැනි  සීමාකිරීම්වලට ද හිමිකම් කීමට සෘංගාර සාහිත්‍යය කරුවන්ට සිදුවිය. මෙහි ප්‍රතිඵලය වුයේ මෙවැනි ප්‍රකාශන බොහොමයක නිෂ්පාදනය සංස්කරණය සහ සංසරණය රහසිගත ව සිදුවීමයි.

       කෙසේ හෝ අප දන්නා පරිදි විවිධ කාරනා සඳහා පෙර කල අප කොදෙව්වේ සිදුවූ ආකාරයටම සමහර විට චින්තා සෘංගාර වෙළඳ අවකාශයේ කෙරුමෙකු වී අනාගතයේ ඔහුගෙන් රසිකයන් හට විය හැකි වාසියේ හෝ හානියේ හැඩය සෙවීම මේ සටහනේ අරමුණ නොවූ හේතුව ඉහත විස්තර වලින් පැහැදිලි වන්නට ඇතැයි හඟිමි. චින්තාගේ නිර්මානය කියවාගෙන යන කළ ඇතැම් තැන්හි ඔහුද යම්තාක් දුරකට සලාද සදාචාර තහංචි තුළ හිරවී රහසේ බඩ පිනුම් ගසන අවස්තා නැත්තේද නොවේ. එවන් අවස්තාවල රචකයාගේ විභවය සැඟවෙන බැවින් රහසේම සංසරණය වීමට මේ කටයුත්තද සිදු කරනු ලැබුවේ නම්  මීට වඩා යහපත් නිර්මාණයක් වන්නට තිබුනා යන හැඟීමක්ද ඇති නොවනවා නොවේ. එහෙත් වික්ටෝරියානු සලාද සදාචාරයේ ඇපෙන් ගැලවීමට විනය පිටකයේ උදායි තෙරනුවන් සෘංගාර අවකාශයේ අනිකා කර විචාර ලිවීම පසක තබා අප කොදෙව් සාහිත්‍යයේද අතීත යුගයක මනාව වැඩෙමින් තිබි සෘංගාර කලාත්මක අවකාශය අස්සීලත්වයෙන් ගලවා ගැනීමට  සැබෑ සෘංගාර සාහිත්‍යයකට හීන දකිමින් සිටි කාලය ප්‍රාග් ධනයේ නව හැඩය නිසා හෝ අවසාන වී ඇති බවද අප සිහිතබා ගත යුතුය. එලෙසම අද වන විට සෘංගාර සිනමාවේ මරා දැමිය නොහැකි ලේඩි චැටර්ලි වැනි සිනමා කෘති යූ ටියුබ් ජාලයෙන් පවා නිදහසේ බලා කියා ගත හැක. එවන් රසිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින රටකට සෘංගාර සාහිත්‍යය ලියනවා යනුවෙන් පෙනී සිටින නිර්මාන ශිල්පීන්ගේ එඩිතර බව තිබිය යුත්තේ වෙළෙද දැන්වීම් අවකාශයේ දෙබිඩි දැන්වීම් තුළ නොව කෘතියේ අන්තර්ගතයේ සහ ආකෘතියේම බව සිතට ගැනීම රසිකයන් හට යහපතක් වන වගද සටහන් කළ යුතුය. අප කොදෙව්වේ නග්න ඡායාරූප කරණයෙන් ඡායාරූප ශිල්පයේ නිම් වලලු පුළුල් කළ දොස්තර එම්. එස් වීරකෝන් සහෘදයා වරක් පැවසූ පරිදි සීගිරි ළලනාවන්වගේ පියවුරු නිරුවත් කර සිතුවම් කර ඇත්තේ ළදරුවන්ට කිරි උරා බීමට ආරාධනා කිරීමට නොවන වග සෘංගාර සාහිත්‍යයට එරෙහි වන්නන් වහ වහා වටහා ගත යුතු බවද සිහිපත් කළ යුතුය. අප පාසැල් ගිය සමයේ ප්‍රසිද්ධ රහසක් වූ “සිරිමල් සහ සුමනා“ ගේ කවි කතාව සෘංගාර රසය මතු කිරීමට නිර්මාණය කර තිබූ අනගි රහස් කවි පොතකි.  එහි තිබි එක් කවියකින් මෙය අවසන් කිරීම සුදුසු වන්නේ සැබෑවටම ඒ කවි නිර්මාණය කළ නිර්නාමික රචකයාට හදවතින්ම ස්තූති කිරීම සදහා බවද සටහන් කළ යුතුය. 

අත දැම්මත් ඔබේ ඇඳි රෙදි යටට                 මෙසේ
ඇත්තකි පන පෙවෙන බව තව මෑට               විසේ
හංකිති ගතිය සමගින් එහි තිබෙන                   රසේ
නොයිදුල් කෙල්ලකට ඉවසිය හැකිද            කෙසේ

ජගත් මාරසිංහ‍

2017 සැප්තැම්බර් 18


1 comments:


Powered by Blogger.

Follow by Email