හදවත- පොත- සිත

                         
                               


                                    දෙවන වතාවටත් මම මධු ලෝලත්වයට සමු දුන්නෙමි. මින් තවත් අදහසක් සංනිවේදනය වේ. ඒ තෙවෙනි වතාවටත් මා නැවත මධුලෝලී අවකාශයට ඇතුලු වන බවයි. එහෙත් ස්වභාවයා අප හිතන පතන අකාරයට කටයුතු නොකරන බව සැබෑවකි. කොහේදෝ සැගවී බලා සිට හදිසියේම හෘදරෝග තත්වයක් නියමිත වේලාවකට මගේ පපු කැවුත්තේ බලහත් කාරයෙන් පදිංචි විය. දැන් බටහිර වෙදුන් පවසන්නේ රෝගය සමග ලිබරල් චින්තනයෙන් කටයුතු කර ඉතිරි ආයුස ගෙවා දැමිය යුතු බවයි. රෝගය නිසා බාදා වී ඇති රුධිර නාල කෘතීමව විශාල කර හෝ නැතහොත් කපා කොටා බද්ධ කර සැත්කමක් මගින් නාල අලුත් වැඩියා කර නැවත එවන් තත්ත්වයක් ඇති නොවන්නට කෘතීම ඔෟෂධ ගනිමින් දිවි ගෙවීමට ඔවුහු උපදෙස් දෙති. කාරණය සැබෑවකි.


රෝගයට වෛර නොකර ඊටද පාඩුවේ ඉන්නට ඉඩ දී එම ක්‍රමවේයෙන් මටද පාඩුවේ ජීවත් විය හැක. බටහිර වෛද්‍ය ක්‍රමය කොතරම් ලිබරල් වාදීද යයි සිතන්නට මට පොටක් පෑදී තිබේ. එහෙත් ඔවුන් සිය පර්යේෂණ සදහා බලහත් කාරයෙන් පන පිටින් මිනිසුන් කපා කොටා මිය යාමට පෙරත් පසුත් පරීක්ෂා කළ බව මා අසා කියවා තිබේ. ජර්මානු ඔෟෂධ ඒ කාරණය නිසාම උසස් මට්ටමක තිබෙන
බවට මතයක්ද   විද්වතුන් අතර තිබේ. එහෙත් මේවා ලියන්නට යාම භයානකය. එක් පසකින් මා පෙරදිග චින්තනය පමණක් ඔසවන්නට තැත්කරනවා කියා විකාරයක් වීමටත් පුලුවන. තවත් පසකින් මේ කාරණා ජනප්‍රිය වී යම් මාධ්‍ය ආයතනයක් ක්‍රියා කළහොත් තත්වය තවත් භයානක විය හැක. මෙවන් කාරනා පෙරදිග වෙනුවෙන් පෙනී සිටින ප්‍රබලයින් තම සටන් පාට කර නො ගන්නා හේතුව මම වරක් දේශපාලන ඇම්මක් ඇති බටහිර වෙදෙකු ගෙන් විමසුවෙමි. සැබෑවටම ඔහුගේ උත්තරය ඉතා සරල විය. රෝහල් පිළිඹදව මිනිසුන්ට ඇති අසීමිත විශ්වාසය ඔහු සාධක සහිතව මට අවබෝධ කෙළ්ය. ලෙඩවලට බය වන්නේද මරණ බය නිසාය. සටනකදී පවා අනිකාව නොමැරුවොත් බොහෝ විට අනිකා විසින් තමාට මරණය ගෙන දෙනවා ඇත. තවත් පසෙකින් බටහිර වෛද්‍ය විද්‍යාවේ ම්ලේච අර්ධය ලියන්නට ගියහොත් තව බොහෝ දේ දේශපාලනිකව ලියන්නට සිදුවන වග මම දනිමි. තවද සමාජ සංවිධානයක රැකවරණයකින් තොරව චින්තනය සමග ගණුදෙනු කළ යුතු සීමාව මා නොදන්නවා නොවේ. 
                                       මටද තරුණ වියේ ළදරු වලිප්පුව ලෙස වාමාංශික පිරිස් වර්ග කර ඇති මානසික ව්‍යාධිය තදේටම තිබිණි. කලා කෘතිවල යථාර්ථය  සොයාගිය ගමනේදී ජනතා වාදය තේරුන් ගත් පසු මා හිස තුල පදිංචි වී සිටි ළදරු වලිප්පුව යම් තරමකට මර්ධනට වූවා සේය. එහෙත් තවමත් සමහර අවස්ථා වලදී ළදරු වලිප්පුව කරදර නොකර සිටින්නේද නැත. වාමාංශික චින්තන අවකාශයට ඇත්තේ ඇතුලු වීමේ දොරටු පමණක් බව අවබෝධ වන විට අන් දෙයක් කරන්නට කාලයක් ඉතිරිවී නැත. කොටින්ම වාමාංශික චින්තන අවකාශයට පිටවීමේ දොරටු නැති බව සැබෑවකි. මා මෙහිදී වාමාංශික අවකාශය ලෙස හදුන්වන ලද්දේ වාමාංශික දේශපාලන සංවිධාන පමණක් නොවන වගද සටහන් කළ යුතුය. වාමාංශික සංවිධාන ගතව සිටි බොහෝ අය ඉන් ඉවත් වී භාවනා කරන්නට ගියත් ඔහු භාවනාවටද ද්‍රව්‍යමය පදනමක් දෙන්නට ගොස් සියල්ල අනාගන්නවා සේය. අද විවිධ ආකාරයට සමාජ සංවිධාන කටයුතු කළද ඒවාට සමීප වී බලන විට එවන් අවකාශ වල හොල්මන් කරන වාම උප සංස්කෘතික ලක්ෂණ වල එතරම් වෙනසක් දැකිය නොහැකිවීම මගේ ලෙඩක් දැයි  නොදනිමි. 
                                  කෙසේ වෙතත් රෝගයකදී බට හිර නොවන වෙදකම්ද මෙවන් අවස්ථාවල නොසලකා හැරිය නොහැක. ඉන් ඉදිරියෙන්ම සිටින්නේ සිංහල පාරම්පරික වෙදකමය. ඔවුන්ගේ අදහස අවිහිංසාවාදී ලෙස පෙනුනත් විප්පවවාදීය. කැපුම් කෙටුම් කිසිවක් නොකර රෝගය ශරීරයෙන් එලවා දමා ශරීරය පෙර තත්ත්වයට පත්කර ගත හැකි බව ඔව්හු පවසති. බටහිර සහ සිංහල වෙදුන්ගේ සාම සම්මුතියක් අද වන විට අවිඥානිකව ක්‍රියාත්මක වේ. සිංහල වෙදුන් උපදෙස් දෙන්නේ බටහිර සායනික බෙහෙත් ගනිමින් සිංහල වෙදකම කරගෙන යන ලෙසයි. ඉංග්‍රීසි වෙදුන්ද මේ අදහසම නොකියා  වෙනත් ආකාරයකට  පවසයි. පෙර අපර චිංතන ගස්ටනයක් ඔවුන් අතර අද වන විට නොමැති වග මා මීට ටික කලකට කලින් දැන සිටියෙමි. දෙපසකට වී මතවාදීව මරාගත් දෙපිරිසක් මෙසේ අවිඥානික සන්ධාන ගතවීමකට එළඹ තිබීම රෝගීන්ගේ පැත්තෙන් රෝගීන්ට අාශීර්වාදයක් වී තිබේ. ඒ තත්ත්වයට හේතුව එක එක දෘෂ්ටි වාද කල්ලි වල ජයග්‍රහන නොව ගෝලීය වෙළද ප්‍රචාරනයේ සීතල ප්‍රාග්ධනය බව සැබෑවකි. වෙදුන් එසේ කටයතු කලද රෝගීන්ගේ  අනෙකුත් සමාජ සම්බන්දතා තවමත් සටනේය. පිරිසක් ජාතික සටනේය. අනෙක් පිරිස බටහිර ගැති සටනේය. ඔවුන් උපදෙස් දෙන්නේ රෝගියාගේ මරණ සහතිකය පෙන්වමින් රෝගියාව බියට පත් කරමිනි. මේ සටන් පිල් දෙකේම කට්ට කා ඇති මට නම් ඔවුන්ගේ තර්ක විතර්ක අති මහත් විනෝදයක් ගෙන දෙයි. මේ භාහිර පිරිස අතර ආගම් වාදීන්, හේතු වාදීන්, විවිධ දේශපාලකයින් යයි තමාම කියා ගන්නා බොහෝ පිරිස් සිටිති. කිසිවක් කතා නොකර අනුකම්පාවෙන් රෝගියාට සලකන පිරිසක්ද සිටිති. අති භයානක ඒ පිරස ලෙස මට දැනේ. මන්ද ඔවුන්ගේ සැගවුන සංනිවේදනය මරණ සහතිකයකි. ඒත් ඒ ඔවුන්ගේ මරණ සහතිකය බව මම වටහාගත්තේ බේබදු අවදියේදී බවද සැබෑවකි. මන්ද ඒ කාලයේ ඔවුන් මා දෙස බලා සිටියේ දෙකම්බුලේ අත ගසාගෙන අනේ අපොයි කියමිනි. මෙවන් කාල වල රෝගියා සමග පැරණි බුද්ධිමය මිතුරන් සම්බන්ධ වන්නේ ඉතා අඩුවෙනි. වැඩ අධික බව සමහරු පවසන්නේ දුරකතනයෙනි. මේ තත්ත්වය මා ලියන්නට අදහස් කළේ අතීතයට වඩා මේ මොහොතේ වෙනස ගැන හූල්ලමින් විදවන්නට පොටක් පාදාගැනීමට නොවන බව ඔබට දැනී යනු ඇතැයි සිතමි.
                                සයිබර් මිතුරන් අතරද ගොඩ නැගී ඇති මිනිස් සම්බන්ධ  මත යම් යම් දේ සිදුවන බව මට වැටහී තිබේ. ඇස් දෙකේ මිතුරන් ලෙස හැදින්විය හැකි සයිබර් අවකාශය තුලද බලාපොරොත්තු තැබිය හැකි අහඹු දේ මා අත් දැක තිබේ. මතකයේ හැටියට දෙදහස් දොළහ අවසාන භාගයේ දවසක මුහුණු පොතේ පුංචි ගැටයෙකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි. එකල මම පදමට සූර් වෙන අවධියයි. එදින මට තිබි එකම ගැටලුව තව භාගයක් බොන්නට මුදලක් අත
නැතිවීමයි. ඔහු මට ගෞරව දී අමතන විම මා කීවේ මා වැඩිහිටියෙක් උවත් මාරේ කියා ඇමතීම පුමාණවත් බවයි. (සැබෑවටම මා එය වෙනස් දෙයක් මවාගෙන කියන කතාවක් නොවන වගද සදහන් කළ යුතුය. මා තරුණ කාලයේ එදා අපට වැඩිහිටියෙකු සහ දැවැන්තයෙකු වූ තවත් පැත්තකින් ගුරුවරයෙකුද වූ සුගතපාල ද සිල්වා හමුවීමට ගියේ තනිකරම බොරු හික්මීමක් රගපාමිනි. එහෙත් ඔහු මුණගැසුන සැනින් මාරේ කියා අමතමින් මා සිටි මනස්ගාත ලෝකය ඔහු විසින් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටන් කර දමන ලදී. ඒ වටා තව බොහෝ දේ කියන්නට ඇතත් නොලියන්නේ සදාචාර වාදීන්ට ඇති බිය නිසා නොව ඔහු ජීවතුන් අතර නැති බැවින් මේ ඊට අවස්ථාව නොවන බැවිනි. කෙසේ උවද  අසූවේ අපේ මිතුරන් අතලොස්සකට ඒ ගති විලාසිතාවක් නොවී තවම ඉතිරි වී තිබෙන බව සදහන් කළ යුතුය.) කෙසේ නමුත් මා හමුවීමට එන බව කී ඒ ගැටවරයා මග හැරීමට මා අහිංසක උත්සාහයක් ගත්තේ මොරසූරන වර්ෂාවේ මට මධු සොයා යා යුතු බැවිනි. නමුත් මගේ උත්සාහය අසාර්ථක විය. දුරකතන සංවාදය අවසානයේ ඔහු පැය භාගයක් ඇතුලත මා හමුවීමට පැමිනෙන බව පැවසුවේය. ඔහුව නතර කිරීමට මම තුරුම්පු ආසියා පාවිච්චි කෙළමි. එනවානම් ගල් භාගයක් අරගෙන එන්න යැයි මම කවට කමට මෙන් ඔහුට කීවෙමි. අන්තර් ජාලයේ දැන හදුනා ගන්නා කිසිවෙක් විශ්වාස කිරීම භයානක බව ප්‍රබල සමාජ මතයකි. මා එතරම් සමාජ මත පිළි නොගත්තාට  මේ ඇමතුම ලනුවක් ලෙස මා සැක නොකළාද නොවේ. එහෙත් නියමිත වේලාවට වැහි පීරාගෙන මධු භාගයක් නොව බෝතලයක්ද රැගෙන සැන්ඩි ගලබඩ අාරච්චි නම් පුංචි කොලු ගැටයෙක් ගෙට ගොඩ විය. ඒ මොහොතේ මගේ සතුට කොතෙක්දැයි පැවසීම අනවශ්‍ය බව හගිමි. ඔහු මා පිළිඹද දන්නා අයෙකු නොවීය. පැමිණ තිබුනේද මා හා කිසිදු විශේෂ  ගනුදෙනුවකටද නොවීය. එකල මම අන්තර් ජාලය ඔස්සේද කරන ලද්දේ කවුරු හෝ ඉද සිට අසන ප්‍රශ්න වලට ඔහේ පිලිතුරු දීම පමණි. කෙසේ හෝ අපි ආගිය තොරතුරු කතා බහ කළෙමු. වැස්ස තුරල් විය. ඔහු නික්ම ගියේය. සතියක් ගතවෙන්නටත් පෙර ඔහු මා අමතා කීවේ මා සදහා ඔහු බ්ලොග් අඩවියක් නිර්මාණය කළ බවත් මොනවා හෝ නැවත ලියන්නට ඉල්ලා සිටින බවත්ය. මගේත්  මා පුතු ගේත් නම එකතු කර මගේ ඉල්ලීමකින් තොරව ගුරු මාරයා නමින් ඔහු නිර්මාණය කර දුන් බ්ලොගයේ මම පරණ වූ ලිපි දෙක තුනක් දමා බ්ලොග් ගැන සොයන්නට පටන් ගතිමි. ඉන් පසු ඔහු මට එලෙස හමු නොවීය. පර්යේෂණ කරන්නට ගොස් එය කරදරකාරී බ්ලොගයක් වන විට මට බ්ලොග් නිර්මානයේද යමක් කරගන්නට පුලුවන් තත්ත්වයක් තිබිණි. ඉක්බිති හංස පූට්ටුව බ්ලොගය නිර්මාණය කරගන්නේද  අහම්බය මුල් කරගෙනය. බ්ලොග් ලිවිල්ලේ සතුටක් ලැබෙන්නට පටන් ගත්තේ රෝගී තත්ත්වයට මුහුණ දුන්නාට පසුව බවද සදහන් කළ  යුතුය. 
               සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශන දෙස අන්තර් ජාලයෙන් සහ රූප වාහිනියෙන් දකින කළ මෙවර මට නම් ඇතිවූයේ කළකිරීමකි. වෙනදා මෙන් රස්තියාදු වී පොත් කීපයක් තෝරා ගෙන අඩියක් ගසා කයිවාරුවක් ගසන්නට රෝගය භාදාවක් වී ඇති නිසා එසේ වූවාදැයි නොසිතුනාද නොවේ. තව දුරටත් සිතන විට එය එසේම නොවන වග අවබෝධ විය. සියලු
නිශ්පාදන සම්බන්ධයන්ගේ පසු ගාමිත්වය දකින බුද්ධිමතුන්  සාහිත්‍යය කර්මාන්තයේ කුරිරු වැඩවසම් දුෂ්ට සම්බන්ධතා නොදැක්කා සේ පොත් මෙතරම් උඩ දමන්නේ ඇයි දැයි මට ලියන්නට අදහසක් ඇති විය. පොත ද කට මෙන්ම හොදට නරකට දෙකටම බලපා තිබේ. පොත් පත් වල මොක තිබුනත් ඒවා ඔලු ගෙඩි වලට ගමන් කරන්නේ සමාජ මතවාද හරහා බව සැබෑවකි. පසුගිය කාලයේ සෝවියට් පොත් උන්මාදය හරහා සිදුවූ හොදට වඩා නරක බොහෝ බව සැබෑවකි. එය පොත් වල වරදක් නිසාම නොවන වග වෙනම කාරණයකි. කෙසේ හෝ මම ලියන්නට ඉද ගත්තා පමණි. කවුදෝ ගෙට ඇතුලු විය.
                     
                              රෝගය සමග පොර බදමින් ලෝකය විදින්නට නොහැකිව කරන්නට අන් දෙයක් නැති නිසා තනිකමට පෙම් බදිමින් සිටි මා දුක සැප බලන්නට නොසිතූ මොහොතක තමා විසින් ලියා පල කළ පොතක්ද රැගෙන චින්තන ධර්මදාස මිතුරා පැමිණ මා ඉදිරියේ රිටක් මෙන් හිට ගෙන සිටී. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා සේය. මිතුරන්ගේ දුක සැප බැලීමට යාම චින්තාගේ සිරිතක් බව මම දනිමි. පොත් සල්පිල් නොගියාට මටද අපට පසු පරපුරේ සගයෙකුගෙන් පොතක් ලැබිණි. සාහිත්‍යය මාසයේ ඕපා දූප ගැන කතා බහ කරන්නට කාලයක් නැතිවීම හිස් බවක් ඇති නොකළා කීවොත් මා බොරු කාරයෙකු වන බවද දනිමි.
                       පොත් කරුවන්ගේ පොත් පුම්බා උඩ හැරීම ගැන ලියන අදහස කල් දමා මම චින්තාගේ පොත අතට ගත්තෙමි. ඒ පුම්බා උඩ හැරීමට නොවේ. පුම්බා උඩ හැරීමට හුලං මිලදී ගත යුත්තේ සංකේත ප්‍රාග්ධනය ඔස්සේ බව සැබෑවකි. මා හිස් බෝතල් හැර එවැනි දේ ඉතිරි කරගෙන නොමැති බව චින්තා නොදන්නවා නොවේ. 
                                         තිත්ත තොල්
                              අපේ කොදෙව්වේ ස්ත්‍රීන් තොල් සිපගැනීමට අකමැති ඇයි දැයි අපි ගැටව් අවධියේ බොහෝ දේ කතා බහ කර තර්ක විතර්ක කර තිබේ. නොක්ස්ලාගේ කියවීම් වල බුලත් කෑමේ ජාන ගත තත්ත්වයන් පෙර දිග කාම වේදයට සැබවින්ම විකාරයකි. වික්ටෝරියානු හෝ සලාද සදාචාර මිනුම් දඩු කෝකටත් තෛලයක් වී තිබේ. ගෝලීය ධන වාදී වෙළද පොළ වඩන නව තර්කනද පොත පතට තර්කයට පමණක් සීමා වූවා සේය. තවමත් ලාංකේය ස්ත්‍රියට තොල් සිප ගැනීම ආගන්තුක ක්‍රියාවක් බව අනංගයෝ ඉතා හොදින් දනිත්. ඒ සදහා තපසුන්ගේ මතවාද තපස්ම රකිත්වා. කාරණා එසේ උවද චින්තා තොල් තිත්තයි කියන්නේ තිත්තද රසයක් බව නොදැන විය නොහැක. මෙතරම් කෙටි කලකින් ගැහැණියටද වෙනස් වීමට මහා බලපෑමක් ඇති විය නොහැක. උරා බී තිත්තයි කියනවාද. නැතිනම් හපා කා තිත්තයි කියනවාද යන්න වෙනම කාරනයකි. ප්‍රශ්නය වන්නේ රස පිලිඹද නොව රස බැලූ ආකාරයේ චලිතය පිළිඹදවය. තිත්ත තොල් යන පද දෙක නිසා සිහින ලෝකයේ ස්ත්‍රී පුරුෂ පඹයන් පවා සුසර වීමට ඉඩ ඇත. බලවත්ම කාරණය වන්නේ තිත්තත් රසක් ලෙස දැකිය හැක්කේ බොහෝ විට පංඩිතයින්ටය. භරත මුනිගේ මංමුලා වූ එහෙයියෙක් වන් අයෙක් නිර්මාණයේ චරිත අතර චරිතයක් ලෙස චින්තා ගොඩ නගා ඇද්දැයි සැකයක්ද මතු වෙයි. තොලින් මතු වන සංඥා දහරාව සමාජ දේශපාලන අරමුණු කරා දිවෙන බව චින්තාටත් වඩා මෙවැනි පොත් ලෝලීන් ඉතා හොඳින් දනී. කෝකටත් බෙහෙත් අහුරක් කුසට හලා ගත් මම තිත්ත රස නැති වීමට කලින් තිත්ත තොල් කියවන්නට පටන් ගත්තෙමි.

ජගත් මාරසිංහ

2015- 08- 15


Powered by Blogger.
There was an error in this gadget

Follow by Email