අනාවැකි- අනා ගැනීම- අනා කෑම




මෙහෙව් රටේ රංචාගොඩ                           ඉපදීලා
රුහුණු රටට මා දීලා                                 ඉලව්වේ
බල්ලොත් නොකන වැල වරකා           ගල්කිස්සේ
කතරගං ගොසින් වැටුනා පිහියෙ                     මිට
                          රංචා ගොඩ ලමයාගේ හතර පද කවියේ චන්දස්, එලිසමය හෝ යවහන් දෝෂ සොයන්නටවත් සඳැසේ නව මාන හරහා හයිකු පාරුවක නැගී ජපානයේ ලාංකේය ගොඩබිමක් සොයන්නටවත්, පෙර අපර නූතන හෝ ඉන් පසු අවධියේ නව සිතීම් විශ්වයේ උෂ්ණත්වය මිනිස් මනසේ ශක්තීන් සමග විච්චේදනය කරන්නටවත් දැන් මට ගායක් නැත. එම ගාය නව පරපුරක තරුණ ගැටයෝ විසින් මා මධු ලෝ්ලත්වයේ සිහින විමනේ සිටිනා කල හොරා ගත් බව දිනක් මා මිතුරු පංඩිතයෙක් පැවසීය. අනේ සැපයි සැපයි කියා මම නිහඩ උනෙමි. එහෙත් දැනුම හොරා ගත්තාට මොන ජගතාටවත් අනෙකාගේ සිතීම තවම හොරා ගත නොහැකි බව මම දනිමි. චන්ද කටයුතු නිමවෙන තෙක් පෑනක් පැන්සලක් අතට ගැනීම මම කල් දමන බව ඉවෙන් මෙන් දැනගෙන දෝ ව්‍යාධදේව සගයාද මා මුණ ගැසීමට අහල ගම්මානෙකට පැමිණියේ නැත. එහෙත් කාලෙකට පසු නාටකයක් නොව සයිමන්ගේ රැගුම් බැලීමට ලෝබකමක් ඇතිවී සුභ සහ යස නැවත   විඳින්නට පටන්ගත්තා පමණි; ව්‍යාධ තඩි ගංජා සුරුට්ටුවක් උරමින් වෛරසයක් මෙන් ගෙට ඇතුලු වූයේ යටිගිරියෙන් කෑගසමින් තවමත් සුභ සහ යස එමම තමයි කියමිණි.  
                   සතුට කෙතෙක්ද යත් මම පරිගණකය නීතියට පිටින් චටස් ගා  නිවා දැමුවෙමි. ව්‍යාධ ගෙනවිත් තිබි පත්තර කොල කීපය අතට ගත්තෙමි. නාසය වසාගෙන හෝ කියවන්නට නොහැකි දුර්ගන්දයක් එම පත්තර පිටු අතරින් වහනය වන සද මහ මග කුණුගොඩක තිබී ඒවා තෝරාගත් බව ව්‍යාධයෝ මද සිනහවක් පාමින් පැවසූහ. බ්‍රෙෂ්ට්ගේ හුනු වටයේ නාටකයේ  එදා පැවතුන පැරණි යල්පැන ගිය අසාධාරණ නීති පොතේ හම්පඩ බව පෙන්වීමට පොත උඩ පුක තබා ඉදගෙන අසඩක් නව යථාවාදී තීන්දුව වූ ශ්‍රමයේ අයිතියට හැදූ මවට දරුවාගේ අයිතිය ලබා දුන් අයුරු එක්තරා රටක රඟ දැක්වූ අයුරු ඔහු රඟ පාමින් මට විස්තර කරන්නට විය. එහෙත් තවත් රටක එය හැගවුම් කර ඇත්තේ  විනිසුරු චරිතය රෝස මලක් සිඹිමින් නව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමිණි.මේ බව පවසා ව්‍යාධයෝ මහ හඩින් සිනාසෙන්නට වූහ. කිසිත් තේරුම් ගත නොහැකි වූ මා ඒ ඇයිදැයි විමසුවෙමි. යකෝ පැරණි නීති පොතේ හම්පඩ ගඳ  මැකෙන්න කියමින් ව්‍යාධයෝ සූස්ති කොටය නිමෙන්නට තබා දුම් වැටියක් දල්වාගත්හ. ඉතින් ඔච්චර ගැඹුරු දේවල් ප්‍රේක්‍ෂකයන්ට තේරෙනවාද යන මෝඩ ප්‍රශ්නය මම පංඩිතයෙක් මෙන් ව්‍යාධ දේවගෙන් ඇසුවෙමි.  අසූචි කන්නට පුරැදුවී ඇති නුඹලාට නීති නිගන්ඩුවක ගඳ සුවද දැනෙනේ කෙසේදැයි විමසමින් හදුන්කූරක්වත් ගහගෙන ඔය ලිපි ටික කියවපන් කියමින් ව්‍යාධයෝ බිම වැතිරී මහ පොළව බදාගෙන දෑස් පියාගත්හ.

     
              ව්‍යාධ අවධි වීමට කලින් මම සියලු ලිපි දෙවතාවක් කියවා සිතන්නට පටන් ගතිමි. ඔහු තෝරාගෙන විත් තිබුනේ මෙවර මැතිවරණයෙන් පසු විකාරයක් බවට පත්වූ මැතිවරණ අනාවැකි සදහා යම් විද්‍යාත්මක ආකාරයකට යයි සිතමින් ලියන ලද  විවේචන ලිපි ගොන්නකි. මොන කරච්චලයක්ද යකෝ කියමින් සුභ සහ යස නාටකයේ සයිමන් කෑගහනවා තවමත් මට හීනෙන් මෙන් ඇසේ. රංචාගොඩ ලමයාද නො තේරෙන භාෂාවකින් බෙරිහන් දෙයි. ව්‍යාධදේව මහ හඩින් ගොරවයි. අල්ලපු ගෙදර පිරිසක් මැච් එකක් බලන ආකාරයටම දේශපාලන සංවාදයක් නරඹනවා ඇසෙයි. උගුරක් බිව්වත් උගුරු දහයක් බිව්වාත් එකම ආතල් එක කියා ගංජා මස්තාන්ලා කියනවා මා අසා තිබේ. සමාජ වෙබ් ජාලා වල මොනවා හෝ හදාරන්නට කැමති අලුත් කොල්ලෝ බොහෝ දෙනෙක් ගංජාවල ගුණ කියන්නට පටන් ගෙන තිබේ. මොහොතකට මධු මත අමතක කළ මා ව්‍යාධ නිවෙන්නට තබා තිබි ගංජා කොටය පත්තු කර ගතිමි. පුදුමයකි රංචාගොඩ ලමයා පද ගලපා කවි ගයන්නට වී. පුදුමාකාර අනාවැකි මට ජීවමානව දර්ශනය වීම ආරම්භ විය.
                           වර්තමාන මොහොතක සිට අෑත අතීතය හෝ අනාගතය පිළිඹද සිදුවිය හැකි කිසිවක් සියයට සියයක් නිවැරදිව පැවසීමට කිසිෙවකුට පුලුවන් කමක් නැත. කිසිම විද්‍යාත්මක චින්තනයකින් හෝ ක්‍රමවේදයකින් තවම එය කළ නොහැකි ක්‍රියාවක් බව කවුරු කවුරුත් ඉතා හොදින් දනී. මේ අපේ රටේ හරියටම මස්රාත්තලක් වූ සාමාන්‍ය මතයයි. එහෙත් කිසිවෙකු කිසිදා සියැසින් දැක නැති දෙවියන්ට එසේ කළ හැකි බව සමහර මිනිසුන් විශ්වාස කරන බව පෙනේ. මේ මිනිස් සිතේ ස්වභාවය බව තවත් පිරිසකගේ පිළිගැනීමකි. මේ තත්ත්වය අලුත් මතයක් නොවන වග සමහරෙක් තවමත් නොදන්නා බව පෙනේ. ''ස්ත්‍රීනාං ච චිත්තං පුරුසෂය භාග්‍යං - දෙවො නජාතාති කුතෝ මනුෂ්‍යඃ ''යනු පුරාණ සොලෝකයක කොටසකි. ස්ත්‍රී සිත සහ පුරුෂයාගේ භාග්‍ය කොතෙක්ද යන්න දෙවියෙකුටවත් පැවසිය නොහැකි බව එහි අදහස වේ. පුරාණයේ මිනිසුන් ඒ කාලයේ  ඉතා ගැඹුරින් අද විද්‍යාව අධිනිශ්චය කරගෙන තොරතෝංචියක් නැතිව සමහරු ආවේගයෙන් විචාරන කරුණු කාරණා තැන්පත් මනසින් ප්‍රශ්න කර තිබේ. සංවර්ධනය දියුනුවක් සහ නියමයක් ලෙස දැකීම විද්‍යාත්මක ඇත්තක් ලෙස පිළිගැනීම අපේ කොදෙවේ බුද්ධිමතෙකු වීමට අනිවාර්ය සාධකයකි. හැදෑරීමක් සිතීමක් නැති ලියන්නන් රොතු පිටින් නිර්මාණය වන සංකල්පීය වෙළද උත්පාත අවකාශයක  මිනිසා තේරුම් බේරුම් කරගත් දේවල් පවා නැවත අවුලක් ලෙස ප්‍රශ්න කිරීම සිදුවීම අහඹුවක් ලෙස සැලකිය නොහැක. බොහෝ දෙනා හැදෑරීමට භාෂාව ප්‍රශ්නයක් කර ගන්නා බව පෙනේ. හැදෑරීමට කිසිදු විටක  භාෂා කීපයක දැනුම පවා ප්‍රශ්නයක් නොවන වග සැබෑවකි. කොයි රටේදීත් හැදැරීමට අවශ්‍ය වන්නේ තමන්ගේ උවමනාව පමණි. අප්‍රසිද්ධ තනිවූ දක්ෂ පරිවර්තක චින්තකයෝ බොහෝ දෙනෙක් ලාංකේය පොළවේ වැඩිපුරම තවවමත් විකිනෙන්නේ අරක්කු භාගයකට හෝ සිගරට් පැකැට්ටුවකට වීම කනගාටුවට කරුණක් වීම වෙනම කාරණයකි. එවැන්නන්ව රාත්‍රී කාලයට කාර්වල පටවාගෙන යන ප්‍රසිද්ධ ලියන්නන් ගැන දන්නා අයද මේ දේවල් කියන්නේ නැත. මන්ද එය ඔවුන්ටද පාඩුවක් විය හැකි නිසා වන්නට පුලුවන. මහ රෑ ඔවුන්ව කාර්වල පටවාගෙන නිවසට කැදවාගෙන යන්නේ අල බතල සිටුවීමට නොවන වගත් දන්නෝ දනිති. සමාජ හැදෑරීම් සදහා මේ තත්ත්වයන් සාධනීය ලක්ෂණ මතුකරණ නමුත් සලාද සදාචාරයේ නාමයෙන් මේවා සිදුවන්නේ රහසිගතවය. අපේ පොළවේද ඉතා දක්ෂ පැපරාසියෝ ඇතත් මුනිවත රකින්නේ සලාද සදාචාරයට බය නිසා නොව මේ පොළවේ කරුමයටදෝ දක්ෂ පැපරාසියෝ බිහිවී ඇත්තේ යම් ශික්ෂණයක් ඇති පවුල් හවුල් වලින් නිසාය. පෙර කල ටිප් ටොප්ලා ජාතික ජ්‍යාතන්තර රාජ්‍ය නායකයන් සමග දැමූ සෙල්ලම් සැගවී ගියා නොව වලලා දැමූ බව අලුත් ලියන්නන්ට නිවැරදිව දැන ගැනීමට උවමනාවක් නැත්තේ එබැවින් බව ව්‍යාධ පවා මා සමග කීවේ රහසිනි.
                                                             කුමන ආකාරයකට හෝ අතීතයේ හෝ අනාගතයේ යම් දෙයක් සිදුවිය හැකි බව වර්තමාන මොහොතක සිට යමෙකු ප්‍රකාශ කරන්නේනම් එය අනාවැකියක් ලෙස හැඳින්විය හැක. අද අනාවැකි සදහා මහා වෙළද අවකාශයක් නිර්මාණය වී තිබේ. මිනිස් සංකල්ප සදහා හුවමාරු වටිනාකමක් ජාතක වූ නිමේශයක අනාවැකි විකිනීම ගැන කතා කිරීමට තරම් නොවන වග වෙනම කාරණයකි. වෙළද ගනුදෙණුවලදී විකුණුම් භාන්ඩය වෙළද ප්‍රචාරන ආයතන විසින් සරසා පට්ටපල් බොරු ගොතා පාරිෙභා්ගිකයන්ව අන්ඳා රවටන්නේ කෙලෙසද හුවමාරු වටිනාකමක් ජාතකවූ සංකල්පීය ස්කන්ධයක් රහිත භාන්ඩයක් වූ අනාවැකිද මාධ්‍ය වෙෙළන්දෝ අලෙවි කරන්නේ එලෙසම බව රහසක් නොවන වගද සැබෑවකි. 
                                                                       
                    මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා තවත් පිරිසක් කරලියට පැමිණ තිබේ. ඒ විද්‍යාව ගණිතය දර්ශනය සහ මාක්ස් වාදයෙන් බහුශ්‍රැත දැනුමක් තමන්ට ඇති බව ඇත්තටට තමන්ම සිතා සිටින අහිංසකයෝ පිරිසකි. ඔවුන්ගේ දැනුම ඔවුන් කියන කරන දේ වලින් අගේට ප්‍රදර්ශනය වේ. ඔවුන් පෙනී සිටින්නේ මිත්‍යාවට එරෙහි සමාජ ප්‍රතිසංස්කරණ වාදීන් මෙනි. තැන් තැන් වලින් අහුලා ගත් දැනුමෙන් ඔවහු මිත්‍යාවට කියා සාධනීය ආධ්‍යාත්මික සංකල්ප වලට දිගට හරහට පහර දෙති. ඔවුන් සිතා සිටින්නේ සංවාදාත්මක අවකාශයක් තවම මේ මහපොළවේ මිනිසුන්ගේ ඔලුගෙඩි වල ඉතිරිව පවතිනවා කියා වන්නටද පුලුවන. දැනෙන අාකාරයටනම් එවන් සංකල්පීය ගනුදෙනු අසූව දශකය මුල් භාගයේදී අවසන් වූ බව කිසිවෙක් ඔවුන්ට අවබෝධ කර දී නැත. දැන් ඇත්තේ සංවාද විලාසිතාවකි. සොභාදහම සුසර වන්නේ ඊටම අවේනික වූ ව්‍යාකරන විදික්ක්‍රමයකට අනුවය. එය බටහිර හෝ පෙරදිග විද්‍යාවේ අනුහසක් නොවන වග පොතේ විදිහට සිතන්නන්ට වටහාගත නොහැක. සොභා දහමේ නිර්මිත කුමන සංකල්පීය හෝ ද්‍රව්‍යමය ක්‍රිරියාවක් ක්‍රමවත් සූත්‍රගත ආකාරයකට අර්ත දක්වා ගන්නා තුරු පැරණි අර්ත දැක්වීම් ඒ මොහොතට පමණක්  යථාර්තයක් වේ. එවැනි ක්‍රියාවන් යම් විශ්වසනීය ආකාරයකට සූත්‍රගත කරගත්තාට පසු පැරණි යථාව අහෝසි වන අතර නව අර්ත දැක්වීම් විද්‍යාත්මක ක්‍රම විදිහක් ලෙස මිනිසුන් තහවුරු කර ගැනීම මිනිස් සමාජයේ  සම්මුතියකි. නමුත් අදවන විට සොභා දහමේ සූත්‍ර ගත අාකාරයත් යම් නියමයකට සුසර වන වග මිනිසාට පිළිගන්නට සිදුවී තිබේ. එහෙයින් මිනිසාගේ කුමන අර්ත ගැන්වීමක්වත් මිත්‍යාවක් ලෙස බැහැර කිරීම විද්‍යාවේ නූතන විදිහ නොවන වග තවමත් ලාංකේය ඊනියා බුද්ධි වාදීන්ට ආගන්තුක රහසක් වී තිබේ.

                           
    අනාවැකියක් නිර්මාණය වන්නේ යම් දෘෂ්ටි වාදයක් අරමුණු කර ගනිමිනි.ජ්‍යෝතිෂ,සාමුද්‍රිකා,අංක විද්‍යා වැනි නොයෙක් පුරාණ සහ නව  ක්‍රමවේද ඔස්සේ තම මතවාද වලට සහ  බේගල් වලට මුවාවී විවිධ ගුරු කුල වලට බෙදී මාධ්‍ය අනුග්‍රහය  ලබමින් ඇතැම් පිරිසක් මේ කට යුත්තෙහි යෙදී සිටී. මෙවැනි මනස්ගාත නිමේශයන් මතක ඇති කාලයේ සිට අප දුටු දෙයක් වන අතර මේ මොහොතේ මාධ්‍ය අනුග්‍රහය සහ දේශ පාලන උපාය මාර්ග හේතුවෙන් අනාවැකි යන වචනය පවා ඒ අයට පමණක් අයිති වචනයක් ලෙස සිතා සිටින පිරිසක්ද බිහිවී ඇති වග පෙනේ. මොවුන් අතින් සිදුවන්නේ ඉතා සරල ක්‍රියාවක් බව මිනිසුන් නොදන්නවා නොවේ. මැතිවරණයකදී එක් පිලක් දිනන බව පිරිසක් පවසන අතර අනෙක් පිරිස දිනන  බව තවත් පිරිසක් පවසයි. දෙකෙන් එකේ සම්භාවිතාවට අනුව එක් පිරිසක් ජය ගැනීම අනිවාර්ය බැවින් එක් අනාවැකි කරුවෝ පිරිසක් අනිවාර්යෙන්ම ජයග්‍රහනය කිරීම සිදුවීම සාමාන්‍ය කාරණයකි. මේවා අනාවැකි නොව විකට මගඩි වන අතර මේ තත්ත්වය මැදට පනින සමහර බුද්ධිමතුන් ලෙස පෙනී සිටින තවත් පිරිසක් මිත්‍යාව සහ යථාර්තය අතර උබතෝකෝටික තර්ක ගෙන පාමින් කෙන්ද කන්ද බවට පත්කරගනී. ග්‍රාම්‍ය භාෂාවෙන් කියන්නේ නම් පඩේ වෙඩිල්ල කරගනී. මේ තත්ත්වයද මාධ්‍ය අවකාශය තුල හොල්මන් කිරීම නිතැතින්ම සිදුවේ. කෙසේ හෝ ජනප්‍රිය දේශපාලන උපාය මාර්ග විසින් මාධ්‍ය ඔස්සේ මිනිසුන්ගේ මනසට කළ අයුතු බලපෑම වැසීයන අතර ඉන් පසු මොවුන් විසින් සූර්යාගේ මරණයෙන් පසු කාලය ගැනත් අනාවැකි කියන්නට පටන් ගනී. කාලයක් ගතවන විට මාධ්‍ය අවකාශය විසින්ම මොවුන්ව නිරුවත් කර ඉවතට වීසි කර දමන බව දන්නා ප්‍රබුද්ධ මාධ්‍ය පාරිබෝගිකයන් මේවා නිහඩව විකට වැඩසටහන් වශයෙන් නරඹා සියුම් සතුටක් ලබයි.
                           ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ආධ්‍යාත්මික ක්‍රම වේදයන් වශයෙන් පෙරකල වර්ධනය වූ නමුත් අද වන විට පජාති වෙළද පොල අභියෝග හමුවේ හර සූන්‍ය ප්‍රවනතාවක් වශයෙන් මගඩි ව්‍යාපාරික තත්ත්වයක් ඒ ඔස්සේ නිර්මානය කර තිබේ. අද මේ කාර්ය මෙහෙය වන්නේ මාධ්‍ය ප්‍රාග්ධනය විසින් බව කුඩා ලමයින් නම් හොදින් දනී. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ තත්ත්වයක් නොවන වග සැබෑවකි. ඩයනා කුමරියගේ මරණයට පැපරාසියෝ වග කිව යුතු බවට ලෝකය පුරා හඩක් ඇතිවන විට එක් නූතන වාදී ලේඛකයෙකු පවසා තිබුණේ පැපරාසියන් ඉටුකර තිබුණේ මාධ්‍යකරුවන්ගේ ඉල්ලීම බවත්, මාධ්‍ය කරුවන් ඉටුකර ඇත්තේ  ජනතාවගේ ඉල්ලීම බැවින් මීට වගකිව යුත්තේ ජනතාව වගයි. ජනතාවගේ සිතුම් පැතුම් ආශාවන් වෙළද වෙළද පොළ අරමුණු විසින් නිර්මාණය කරන වග සැලකිය යුතු කාරණයක් උවත් මිනිසුන් විනෝදයක් ලබන්නේ එවැනි කාරනා හරහා නම් කළ යුත්තේ කුමක්ද? ජ්‍යෝතිෂය වන් විෂයන් හරහා මතුකරන ජනතා ද්‍රෝහී දේශපාලන ක්‍රියාවන් මිත්‍යා මත ලෙස වර්ග කර විනාශ කළ හැකිනම් එය ඉඳුරාම සිදුවන්නේ මීට අවුරුදු විසිපහකට කලින් බවද සටහන් කර තැබිය යුතුය. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය  ජන ගත විය යුත්තේ ඊට උරුම අධ්‍යාත්මික විද්‍යාවක් ලෙසින් බව දකින පිරිසක් මේ තත්ත්වය දෙස උපේක්ෂාවෙන් බලා සිටින බවද සදහන් කළ යුතුය. බටහිර රටවලද මේ වන විට ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට මහා ඉල්ලුමක් ඇතත් ඔවුන් බොහෝ දෙනා එය පරිහරණය කරන්නේ ආධ්‍යාත්මික ක්‍රමවේදයක් ලෙස ගෙන බව පෙනේ. මේ කොදෙව්වේද එවන් ජ්‍යෝතීර් වේදීන් පිරිසක් සිටින නමුත් ඔවුන්ගෙන් සේවය ලබා ගන්නේ ලාංකේය ඉහල පාන්තික බුද්ධිමතුන් පිරිස් පමණක් බැවින් මේ තත්ත්වයට ඔවුන්ට මැදිහත් වීමට අවශ්‍යතාවක්ද නැත. සමහර ධනේශ්වර දේශපාලකයන් මෙවැන්නන් සමග කටයුතු කරන නමුත් ප්‍රචාරයට යොමුකරන්නේ ජනප්‍රිය ශාස්ත්‍ර කරුවන්ව බව දන්නේ කීප දෙනෙක් පමණි. මිනිස් අාධ්‍යාත්මික අර්ධය විද්‍යාවක් ලෙස භාවිත කරමින් සටන් පෙරමුණු, මිනිස් බෝම්බ පවා නිර්මාණය වන මොහොතක මේ මගඩි අනාවැකි කරුමය සැබෑවටම ලාංකේය කුණුවූ ආධ්‍යාත්මික අර්ධයේ පෙත්තකි. 
                          ව්‍යාධ දේව අවධි වීමට කලින් තවත් දුම්වැටියක් දල්වාගත් මට  නිදා සිටින ව්‍යාධ දේවගෙන් මෙසේ අසන්නට සිතේ. කවුරුන් කෙලෙස කීවත් මිනිසා මතට මෙන්ම අනාවැකි සදහාද නිරන්තරයෙන් කැමැත්තක් දක්වයි. එ්වා වැරදී යා හැකි බව මිනිසුන් නොදන්නවා නොවේ. මිනිස් ආධ්‍යාත්මයේ අවිඥානයේ බොහෝ හිස්තැන් පුරවන්නේ අනාවැකි මගින් බව මා සිතන්නට පටන් ගත් විටම ව්‍යාධයෝ නැගිට මෙසේ අසන්නට වන.
                           විද්‍යාත්මක චින්තකයන්ගේ අනාවැකි සහ විද්‍යාත්මක මාක්ස්වාදීන් යැයි තමන්ම කියාගන්නා පිරිසගේ  අනාවැකි නුඹ කියවා තිබේද? හොර සාස්ත්‍ර කරුවන්ගේ අනාවැකි සහ එවන් අනාවැකි අතර බෙදුම් රේකාවක් ඇදිමට හැකියාවක් නුඹට  තිබේද? නාසා ආයතනය බිහිවූ දා සිට නිළ වශයෙන් ප්‍රකාශිත අනාවැකි ගැන නුඹ කුමක් කියන්නෙහිද?  ඒ ගැනද වෙනත් ආකාරයකට කියන්නට ඇත්තේ මේ ටිකම බව මම පැවසූ පසු යලිත් ඔහු සැපසේ නිදන්නට වූහ.

                                අප රටේ වැදගත් ලෙස සලකන තවත් එක් සුවිෙශ්ෂ අනාවැකි වර්ගයක් තිබේ. ඒ විද්‍යාත්මක අනාවැකිය. බටහිර විද්‍යාව අනුදකිමින් ඒවා සමාජගතවේ. ඒවා වැරදී ගියත් ඒ ගැන කිසිවෙක් ප්‍රශ්න කරන්නේද නැත. මන්ද ඒවා විද්‍යාත්මක අනාවැකි නිසාය. බොහෝ මිනිසුන්ට ඒවා ජ්‍යාතන්තර අනාවැකිය. කිසිදා වරදින්නේද නැත. කාරනාව සැබෑවකි. එදා මිනිසුන් මෝඩ කමට හිතපු බොහෝ දේ විද්‍යාව විසින් අද ජයගෙන තිබේ. හදට යාම, අභ්‍යාකාශයට යාම,  දුර රටකට මොහොතකින් ඇමතීම, අහසින් ගමන් කිරීම, රේඩියෝවෙන් චිත්‍රපට බැලීම, හදවත් බද්ධ කිරීම, වැනි මේ සියල්ල කලකට පෙර මෝඩ සිහිනය. අද මේවා යථාර්තයන්ය. විද්‍යාවේ කාර්ය භාරය වී තිබෙන්නේ බැරි දේවල් පුලුවන් කරගැනීමට ස්වහාවයා සූත්‍ර ගත කර ගැනීමය. සමහර විද්‍යාත්මක චින්තකයන් සේ පෙනී සිටින පිරිස් තම දෘෂ්ටි වාද වලට අනුව දෙවියන්  භූතයන් වැනි සංකල්ප විද්‍යාත්මක චිංතනයෙන් මිත්‍යාවක් බව තහවුරු කරන්නට මහන්සි වූවාට; විද්‍යාවේ චලිතයේ ස්වරූපය ඊට ඉදුරාම වෙනස්ය. ඕනෑම විද්‍යා විෂය පථයක ගාමක චලිතය නොහැකියාව හැකි බවට පත් කරගැනීම බව සැබෑවකි. මේ තත්ත්වය මත කුමන මෝඩ සිහිනයක් හෝ විද්‍යාත්මක පදනමකින් අනාවැකියක් ලෙස නිර්මානය කලහොත් එය කවදා හෝ යථාවක් බවට පත්වේ. එහෙයින් විද්‍යා අනාවැකි විමසුමකින් තොරව ලියන්නෝ ගැනද සෑහීමකට පත් විය නොහැක. කවදා හෝ දේව සංකල්ප  සූත්‍රගත කරගත් යුගයක සමහර මහා විද්‍යාත්මක අනාවැකි කරුවන් කී සමහර අනාවැකිවලට කුමක් සිදුවේද? මේ වනවිටත් මෙවන් සිහින සදහා බටහිර සිනමා කර්මාන්තය වෙනම වෙළද පොළක් පවත්වාගෙන යන අතර අපේ කොදෙවේද පරිගණක කටයුතු මෙහෙය වන වැඩි පිරිසක් කොන්දේසි විරහිතව මේවාට ඇබ්බැහි වී සිටිති. 



                     තවත් වරෙක තම  දේශපාලන සංවිධානය වෙනුවෙන් දේශපාලන නායකයන්ද අනාවැකි පැවසීමට ඉදිරිපත් වේ. ඒවා දේශපාලන අනාවැකිය. විදිමත් යයි කියන දේශපාලන අනාවැකි කරුවෝ අනුදකින්නේ ඒ අය නිවැරදි ලෙස හදාරා ඇතැයි සිතා සිටින මාක්ස් වාදය සහ විද්‍යාත්මක චින්තනයයි. මාධ්‍ය සාස්තර නඩය පරයා ඔවුන්ද අනාවැකි සමාජ ගත කර තිබේ. (මම පොතක් ලියන්නට සිතා අතීත දේශපාලන  අනාවැකි ලේක් හවුස් පුස්තකාලයට වී සටහන් කරගත් කාලයක්ද විය. නමුත් පසුව ඒ අදහස අත්හැර දැමුවෙමි. මන්ද එකල ඒ සදහා ප්‍රකාශකයෙක් සොයාගැනීමට සිටි තැරැව් කරුවන් ඒ සදහා සහාය නොදෙන වග මා වටහා ගත් නිසාය.) ඔවුන්ගේ අනාවැකි වල විශේෂයක් තිබේ. ඒ ඔවුන්ගේ අනාවැකි වැරදුන විට ඊටද විද්‍යාත්මක හේතු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබීමයි. මේ ඔස්සේ හිතන්නෙකුට අවසානයේ මේ කොදෙවේ මේ මොහොතේ මාක්ස් යනු නිර්ධන පංති ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා නොව විවිධ වේශ වලින් නිර්මාණය කරගත් බලයක් බව වැටහෙන්නට පටන් ගනී. නමුත් ඔවුන්ගේ අනාවැකි වැරදී ඇති නමුත් ඒවා විද්‍යාත්මක අනාවැකි සේ නැවත නැවත පුන ගැයෙන බව පෙනේ. මාක්ස් යනු ලාංකේය සමාජයේ බුද්ධිමය අවකාශයේ බලයක් බව වැටහෙන්නට පටන් ගන්නා විට ඒ බව වටහා ගත් පුද්ගලයාටත් බොහෝ දේ සිදුවී හමාරය. එහෙත් මාක්ස්ගේ සැබෑවන් ගැන මෙහි මා කිසිත් නොලියමි. මන්ද, සමාජ බලය මත නිර්මානය වී ඇති තත්ත්වයන් හමුවේ එවිට මාද මන්ද අනාවැකි තක්කඩියෙක් වීමට ඉඩ ඇති බැවිනි.
                              කවුරුන් කෙලෙස කොයි වර්ග කිරීම් යටතේ හෝ අනාවැකි අපහාසයට පත් කළත් ඊටද අසීමිත බලයක් තිබෙන බව පෙනේ. ඒ අන් කරුණක් නිසා නොව යට දැක්වූ පරිදි මිනිසා අනාවැකි වලට නිරන්තරයෙන් අසීමිත කැමැක්තක් දක්වන නිසාය. මෙය විවිධ ස්වරූපයෙන් ලෝව පුරා මිනිසුන්ගේ දොල දුකක් බවට පත් වී තිබේ. මෙය අපේ කොදෙවේ පසුගාමිත්වයේ ලක්ෂණයක්  පමණක් ලෙස දකින්නේ ඉංග්‍රිසි උගතුන් නොව සිංහල බයිබලයවත් හරියට කියවා නැති කයිවාරු කාරයන්ය. අතීතයේ හෝ වර්තමානයේ මිනිස් අධ්‍යාත්මයේ අවිඥානය සවිඥානය බවට පත්වන්නේ  අනාගතය නැමති විශ්වීය අවකාශයකය. මේ මොහොතේ  නිර්මිත පුරාවිද්‍යාත්මක කියවීම් පවා අනාගතයේදී වෙනත් ප්‍රබන්ධාර්ථයන් බවට පත්වන්නේ මේ මොහොතේ තෝරාගත් අනාවැකි හරහා නොවන වග අවබෝද කරගත්තද අනාවැකි ආශාවෙන් මිදෙන්නට මිනිස් ආධ්‍යාත්මය කිසිසේත්ම එකඟ වන්නේ නැත.
                                    මෙය ලියන මා ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට  ඇම්මක් ඇති බැවින් අනාවැකි උඩ දමනවා යයි යමෙකු සිතන්නට පුලුවන. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අධ්‍යාත්මික විද්‍යාවක් ලෙස නොදකින එවැන්නන්ගේ එවැනි සිතීම් යුක්ති සහගතය. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය කාලය පදනම් කරගත් විෂය පද්ධතියකි. කාලය යනු වෙනස්වීම මැනීමේ මින්මකි. කාලය ක්ෂනයක් ක්ෂනයක් පාසා වෙනස් වේ. ඒ කාරනයෙන්ම ජෝතිෂය කිසිදු නියති වාදයකට යටත් නොවන වග පැහැදිලිය. චලිතය අනිවාර්ය බව පදනම් කොට ගත් මාක්ස් වාදයත්, ස්වභාවයේ අනිත්‍ය පදනම මත සැබෑව දකින  බුදු දහමත්, නියතිවාද වලට යටත් වන්නේ නැත. එසේම කාලයට සමගාමීව ස්වභාවයේ සුසර භාවය සොයනජ්‍යෝතිශ්ශාස්ත්‍රීය ක්‍රම වේදයත් නියතිවාදයකට යටත් නොවන වග සැබෑවකි. නූතන දර්ශන විද්‍යාවන්ද නියති වාදයකට  අයත් විය නොහැක. (කාබනික ද්‍රව්‍යයේ නොවෙනස් බව සහ සංවර්ධනය පිළිඹද මාක්ස් වාදීන්ද නියතිවාදීන් ලෙස වර්ග කළ හැකි ගැටලු ගණනාවක් අද කල එලි බැස ඇති නමුත් ඒ පිළිඹද කිසිවක් නොවිමසන්නේ මේ කටයුත්තට ඒවා එතරම් අදාල නොවන නිසාය.) 
                      කළ යුත්තේ කුමක්ද යන්න  සොයනවා විනා අනිවාර්යෙන් මෙසේ සිදුවෙන බවට අනාවැකි සොයන්නේ නොදන්නා කම නිසා ග්‍රාම්‍ය නියති වාදී ජනප්‍රිය සාස්තර කාරයෝ පිරිසකි. වෙලඳ පොළ  නියති වාදයට උසස් තැනක් ලබා දෙන්නේ ගසාකෑම හරහා ලාබ ලැබීමේ චේතනාවෙනි. (නියත වාදී නොවන පසු බිමක ජ්‍යෝතිෂ ක්‍රම වේදයෙන් පොදු සහ පුද්ගල අනාවැකි වැඩි ප්‍රතිශතයකින් නිවැරදිව ගණනය කරන ක්‍රමවේදයන්හි සහ ලෝකායත ජ්‍යෝතිෂය පිලිබඳ දාර්ශනික අර්දය සහ බටහිර බුද්ධිමතුන්ගේ පර්යේෂණ විෂයක් වූ කයිරොලොජි සහ බටහිර වෙද්‍ය විද්‍යාවේ සහ සම්බන්දය පිළිබඳව  පසු ලිපියකින් විමසීමට බලාපොරොත්තු වෙමි.)
                              ඊයේ දවස යනු අද දවසේ කලල ස්වරූපයයි. හෙට දවසේ කලල ස්වරූපය අද දවසයි. ඊයේ සහ හෙට දවස අතර සංනිවේදනය අද දවස හරහා ගමන් කරයි. අනාවැකි පූදින්නේ මේ විශ්වීය ධර්මතාවය නිසාය. නියති වාදයන්ට එරෙහිව ජ්‍යෝතිෂය සුසර වන්නේ මේපරාසය තුළය. මද කිපුන බිළාලයන්ගේ අෙඳා්නා   රටේ අනාවැකි නොව උන්ගේ පුරුෂ ලිංගයන්ගේ අසහනයේ ප්‍රකාශනයයි. මින් කිපී බිළාල හඬ මිත්‍යාවක් ලෙස අටුවා ලියන්නන් විද්‍යාව පිළිඹද තම නොදන්නා කම ප්‍රදර්ශනය කරයි. 
                      ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේද  විසඳිය නොහැකි දිලිඳු බවක් තිබේ. ඒ ඊටම කියා මතවාදයක් නොමැති කමය. මෙහෙයින් විද්‍යාව මෙන්ම ජ්‍යෝතිෂයද යැපෙන්නේ අන් මතවාද සරණ කොට ගෙනය. (සිදුවන දේවල් මතුකරගත්තාට ඊට හේතු  බූත වූ කරුණු ඉදිරිපත් කිරීමට මේ ක්‍රමවේදයන්ට ඊටම උරුම මතවාදයක් සංවර්ධනය වී නැත. මේ සදහා ඒ මොහොතේ පවතින බලවත් මතවාද සරණ යාමට සිදුවිම අනිවාර්යකි.) උදාහරණයක් ලෙස බෞද්ධයන් නියත මරණය හෝ අකල් මරණය කර්මපල වාදයෙන් විස්තර කරන අතර කතෝලික පිරිස දෙවියන්ගේ කැමැත්ත මත තබා විස්තර කරයි. හින්දූන් වේද වේදාන්ත සිද්ධාන්ත පවා සම්බන්ධ කරගෙන තිබේ. මේවා බෞද්ධ සම්ප්‍රධායන් සමග පාස්සා ගත් අවස්තාද තිබේ.මේ සම්බන්ධව බොහෝ දේ මෙවන් කෙටි ලිපියකින් විස්තර කළ නොහැක. තවද ප්‍රග් බෞද්ධ ආකල්ප සහ සම්ප්‍රධායන් පවා ජීවිතය දැකීමට මිනිසුන් තෝරාගෙන තිබේ. මේ කිසිවක් බැහැර කළ නොහැකි නමුත් මේ පිටුපස හොර මගඩි ව්‍යාපාර බොහෝ නිර්මානය වී තිබීම කනගාටු දායක තත්ත්වයකි. එහෙත් අසංවිධිත පරිබෝජන සමාජයක මේ තත්ත්වය අනාවැකි වලට පමණක් සීමා වූවක් නොවේ. මේවා ජනප්‍රිය කර හෝ එලිදරව්කිරීමේ ව්‍යාපාරයන්ද මාධ්‍ය හරහා ගජ රාමෙට සිදුවේ. සාම්ප්‍රධායික චිංතන දහරාවන්ද මේ තත්ත්වයට මැදිහත් වීම තවත් පැත්තකින් සිදුවේ. නූතන බටහිර විද්වත් පිරිසක්  විද්‍යාත්මක චින්තනයම වෙනත් ආකාරයකට භාවිතා කරයි. විද්‍යාත්මක චින්තනය යැපෙන්නේද අපෝහක භෞතික වාදය හෝ යාන්ත්‍රික භෞතික වාදය සරණ කොට ගෙනය. දාර්ශනිකව ගත් කළ යාන්ත්‍රික භෞතික වාදය අපෝහක භෞතික වාදයේ  මිතුරු ප්‍රවනතාවයක් ලෙස සැලකිය නොහැකි බව පිළිගැනීමට බොහෝ සාධක තිබේ. නමුත් අපේ කොදෙවේ ඊනියා මාක්ස් වාදීන් අනු දකින්නේ අපෝහක භෞතික තත්වයන් නොව යාන්ත්‍රික භෞතික වාදී තත්ත්වයන් බව අසත්‍යක් නොවන බව සැබෑවකි. ලාංකේය යාන්ත්‍රික  භෞතික වාදීන් හේතු වාදීන් ලෙස පෙනී සිටින්නේ එකල බුද්ධ ධර්මය සමග පෑහෙන්නට බව විවේචනයක් තිබේ. නැතිනම් ඔවුන්ට ප්‍රහාරයක් දියත්වන්නට බොහෝ සෙයින් ඉඩ තිබි බව සැබෑවකි. එහෙත් ඔවුන් දෙසන හේතුවාදයට බුදු දහමේ ඉගැන්වෙන හේතුවාදයට අලගු තබන්නටවත් නොහැකි බව බොහෝ දෙනෙක් නොදැන සිටීමට හේතු කරනාද බොහෝ තිබේ. බුදුන්වද විද්‍යාත්මකව විග්‍රහ කිරීමට වෙහෙස වෙන සමාජ කතිකාවක් වරින් වර මතුවන්නේ යාන්ත්‍රිකවාදී විද්‍යාත්මක චින්තනයද බලයක් ලෙස පිළිගන්නා සමාජ කොටසක්  සිටින බැවිණි. නමුත් ඒ පිරිස වයසට යන විට මේ තත්වය ඉඳුරාම වෙනස්වෙන බව පෙනේ. 
               කෙසේ නමුත් ලිපිය ලියා අවසන් කිරීමට පෙර මම ව්‍යාධදේවයන්ගෙන් හෙට ඉරක් පායයිද යයි නෝන්ඩියට මෙන් ඇසු වෙමි. ව්‍යාධයෝ ඊට මෙසේ පිළිතුරු දුන්හ.
                     ''අපි නොදන්නා විශ්වයේ නොදන්නා භාදාවක් සිදු නොවුව හොත් හෙට ඉර පායනු නියතය.  එහෙත් නොදන්නා කාරණා නොදැන ටක්කෙටම හෙට ගැන අනාවැකි කියන්නටද නොහැක. හිරු තිබෙනේ අහසේද, නැතිනම් නුබේ ඔලුවේද යන්න තවත් කාරණයකි. සැබෑව නම් ප්‍රධාන කාරණය එය වීමයි. කාලයාගේ ඇවෑමෙන්   භාවිත වචන වලද හැගවුම් වෙනස් වන වගද අප දැනගත යුතුය. එහෙත් හෙට දවස ගැන සංනිවේදනය මේ මොහොතේ සිදුවෙමින් පවතී. නිශ්චිතව කියන්නට බැරි කමක්ද නැත. ප්‍රශ්නය වන්නේ එවන් දේ වටහා ගැනීමට නුඹ පරිචයක් ලබා නොතිබීමයි. බුද්ධිය දියුණු වන විට මිනිසා තමන්ට සත්ව අාත්මයෙන් හිමි වූ බොහෝ දේ අහිමිකරගෙන තිබේ. විද්‍යාත්මක ක්‍රම වේද දියුනු රට වල කාලගුණ විද්‍යාඥයන් පවා සුනාමි පැමිණීමට මසකට පමණ පෙර නියමිත කුරුල්ලන් පලාත හැර යන විට උන් සමග දුවන්නේද එ් නිසාය. ඊයේ සහ හෙට අතර සන්නිවේදනය අද මේ මොහොතේ නුඹ ළග තිබේ. ඒ සන්නිවේදනයේ සුසර බවේ ගණිතමය සූත්‍ර ගොඩ නැගෙන ජ්‍යෝතිෂය  තිබෙන්නේ හෙට ඉරක් පායයිද, මගේ පෙවතියගේ පතිවත ගණකමද වැනි ප්‍රශ්න ඇසීමට නොවන වග නොදන්නා නුඹට ඉන් පලක් ගත නොහැක. තමා පණ්ඩිතයෙකු නොවන බව දැනගත් පණ්ඩිතයෙක් වූ විට නුඹට අතීතය සහ අනාගතයේ සංනිවේදනය ඉතා හොඳින් දැනෙන්නට පටන් ගනීවි. ''
                           ඊනියා නියති වාදියෝ ජීවත් වන්නේ වචන වල පුහු බලයෙන් නොවේදැයි මම ව්‍යාධගෙන් නැවත ප්‍රශ්න කෙළමි. ක්ෂණයෙන් ව්‍යාධයෝ අතුරු දහන් වූහ. එප්. එම් නාලිනාවකින් කවුදෝ අහේතුක බුද්ධි වාදියෙක් බ්‍රැරැන්ඩි කට හඩකින් උපමා කැඩපතේ කවියක් ගයනවා රාව නැගෙන්නට වී. හූ හඩක්ද අෑතින් ඇසේ. ඒ නම් රංචාගොඩ ලමයාගේ මිහිරි කට හඬය.

නෙක විජ්ජා ඇතත් ලොව දැනුමට             සබඳ 
එම විජ්ජා එක ලෙස පල නොවෙයි               හඳ 
නැත ලජ්ජා සත් බස කීමට  මෙ                    සඳ 
හැම විජ්ජා වලට ගැල විජ්ජාව                   හොඳ 

ජගත් මාරසිංහ
2015 ඔක්තෝම්බර් 28


                               
















Powered by Blogger.
There was an error in this gadget

Follow by Email