80 මුල ගත් ඡායාරූපයක පසුබිම් මතක

80 මුල ගත් ඡායාරූපයක පසුබිම් මතක

 තවත් එක්තරා යුගයක 
 තරුණ පරපුරක ශුක්‍ර ධාතුව මෝරපු කාලය. ඒ් කියන්නේ දශක වශයෙන් 80 දශකය මුල කාලය. හැම තැනම කැමරා නොතිබුන කාලය. ඒත් ඡායාරූප ශිල්පය හැදෑරීමට සාමාන්‍ය පංතියේ ඇඟේ අමාරුව තිබ්බ තරුණයෝ පිරිසක් පටන් ගත්ත කාලය. සිංගප්පූරුවේ මේශන් ලැබ් එකෙන් ප්‍රින්ට් කරපු වර්ණ පොටෝ ගේනකන් කොල්ලුපිටිය සුනේත්‍රා ට්‍රේඩ් සෙන්ටර් ඒකේ රස්තියාදු වුණ කාලය. කොටුව හැන්ඩි මුනසිංහලගෙන් අඩු ගානට කලු සුදු පටලපට අරන් විහාරමහාදේවි උද්‍යානයේ හතර වටේ එළිය අඳුර ගැන හදාරපු කාලය. යසිකා කැමරා නාමයත් ‌ පෙම්වතියක්  වූ කාලය. නන්දලා, කපුගේලා මාර තාලයකට හයියෙන් කෑගහපු කාලය. සින්ග් ලංකා නාදය කාහල නාදය වූ කාලය. කැරකෙන රෝදේ පුංචි කරත්තේ ගීතයත් කොටුවේ තැනින් තැන රජ කරපු කාලය. සෝවියට් පොත් සල්පිල් පිටින් හොරකම් කරපු කාලය. නුගේගොඩ කරත්ත පාරවල් අලි කාපට් පාරවල් වූ කාලය. ජයවර්ධන පුරේ ඉඩම් ගණන් ගිය කාලය.
 කොටුවේ කැසට් කරත්ත වලට හැප්පෙන්න ගිහින් අනූ නවයෙන් බේරුන කාලය. අම්මා තාත්තා රට ඉන්න යාලුවන්ගේ ගෙවල් වලට නිල් බලන්න සෙට් වෙච්ච කාලය. ආදරය කරන්න කොළඹ අවට හාඩ් බෝඩ් කාඹර හදලා මේසයයි පුටු දෙකයි තියලා දොර රෙද්දක් දාලා රුපියල් 15/කට කුලියට දීපු කාලය. ඒවට ගිය කපල් දොර රෙද්ද උලුවස්සට තියලා වටේටම සෙලෝ ටේප් රෝල් ගණන් අලවපු කාලය. හිල් මරන්නෝ පැටව් ගැසූ කාලය‍. ලව් කරන්න නිදහස් කසාද නොබැඳ සෙක්ස් කරන්න හොඳටම තහනම් කාලය. ගබ්සාව ප්‍රසිද්ධ රහසක් බවට පත්වී ජනප්‍රිය වූ  කාලය. තරුණ සේවා සභාවේ කෙල්ලො කොල්ලෝ හතර අතින් වෙනස් තාලයකට ඉරනම් අපි යනවා කියලා බෙරිහන් දීපු කාලය. අනුන්ගේ විහාරමහා දේවිලත් තමන්ගේ වගේ හිතපු කාලය. විදේශ සම්භාව්‍ය චිත්‍රපට බලලා ලංකාවේ සිනමා කාරයන්ගේ අම්මා මතක් කළ කාලය. ඒත් සිංහල නාට්‍ය බලලා අත්පොඩි ගහපු කාලය. හැම දෙයක්ම සෙක්ස් වලින් හිතලා ඒවා දාර්ශනික කරන්න හැකියාවක්  තිබ්බ කාලය. හවසට දේශපාලන කලා සම්මන්ත්‍රන වලට කොටු වෙලා මරණ බයේ ආතල් ගත්ත කාලය. සංගීතය පටන් ගත්ත ගමන් උඩ පනින්න පටන් ගත්ත කෙල්ලෝ බලන්න සංගීත බලන්න ගිය කාලය. විධායක ක්‍රමය ඔක්කොටම මුල කියලා දශක ගණනකට ගණ පිහිටුවලා වාමාංශිකයින්  මන්තරයක් හදපු කාලය. රහස් පොලීසියේ මහත්තුරු කොල්ලෝ පස්සෙන් ආපු ඒ බිහිසුනු ආතල් කිතල් කාලය. බටහිර කාලයට සහ කාලයේ රාවයට ප්‍රතිපක්ෂව ජාතික කාලය ගැන මාර සඟරාත් දොරට වැඩපු කාලය. බීෂණය පටන් ගත්ත කාලය. ආණ්ඩුව කොල්ලන්ට කෙලවපු කොල්ලෝ ආණ්ඩුවට කෙලවන්න ගිහින් දෙගොල්ලම හොඳටම කෙලෝ ගන්න ආරම්භ කරපු කාලය. ‌‌‌මේ කෙලෝ ගැනීමෙන් ‌කොටසක් ගන්න ඉන්දියාවත් පටන් ගත්ත කාලය. ආන්න ඒක තමා අද ඉන්න පුතාලා දුවලා හරියට දන්නේ නැති කාලය. මොනවා උනත් කවදාවත් අමතක නොවන නාකි නොවන 77න් පස්සේ ඉස්සරලාම කලිසන් සහ කොට සාය සමග පස්සෙන් පැත්තෙන් උඩටම පලපු සාය ගහපු විහාර මහා දේවිලා හතර අතින් අපිව අවුස්සපු කාලය. ඔක්කොම විහාරමහා දේවිලාට ආදරය කරන්න ස්ත්‍රී දේශපාලනයක් ‌දේශපාලන උණ තිබුන කොල්ලෝ වගයක්  හොයන්න ගත්ත කාලය. මොනවා උනත් දන්න විදිහට අවංකව මැරීගෙන ආදරය කරපු කාලය. ‌ආදරයෙන් පැරදිලා තැන් තැන් වල ‌කොල්ලෝ  ඉකි ගගහ අඬලා ලැජ්ජාව වහගන්න ‌‌‌‌දොස්තොව්ස්කි‌ෙගේ කෘති කට පාඩමින් උපුටා දක්වපු කාලය. විවිධ රතුපාට ‌දේශපාලන පංති හතු වගේ පිපුණ කාලය‍. සංස්කෘතික අමාත්‍යාංශය ‌වෙනුවට  ආනයනික කලා ‌‌වෙළඳ ‌පොළ බලය තහවුරු කරගැනීමට පටන් ගත් කාලය. ‌මේ ඔක්කොම මැද්දේ උතුරේ තරුණයොත් දකුනට නැතිවම  බැරිව ගිය කාලය. උතුර නැතිව ‌දේශපාලනය කියන වචනය කියන්න බැරිව ගිය කාලය. සම්භ්‍යාව්‍ය අරටු පවා සුපර් ස්ටාර්ස්ලා සමග ගීත ගැයූ කාලය.නන්දලා‌ෙගේ සත්‍යයේ ගීත අහන්න වීදුරු කඩන්  මිනිස්සු ඇතුලට පැනපු කාලය. බයේ හිටියට බයක් දැනුනේ නැති කාලය. සම්භාව්‍ය සංස්කෘතිය නමැති  ‌ඉඟුරු ‌ටොපිය  පැනි දවටා  ‌වෙළඳ පොලට නිකුත් කළ කාලය. තැන් තැන් වල සංස්කෘතික කේන්ද්‍ර ඇති වෙන්න පටන් ගත් කාලය. ලංකාවත් චිලී රටේ රාත්‍රියක් ‌වෙයි කියලා සාකච්ඡා කරපු කාලය. ‌බෝම්බ පිපිරීම  සාමාන්‍ය ‌දෙයක්ව බවට පත් ‌වෙන්න පටන් ගත් කාලය. අන්තිමට ඔය අස්සේ ගල් අරක්කු වතුර වලට වඩා රසයි කියලා සාධනය වූ කාලය.‌‌මේ ‌කාල‌‌යේ ‌දේවල් ‌දෙදහසෙන් පසු පරපුර සයිබර් අවකාශයේ නැවත නැවත එලයි කියා ‌නොසිතපු කාලය. ‌මේ තමයි අසූවේ මුල තප්පරයෙන් පංගුවක කාලයේ හැඩය. ‌කොටින්ම ‌මේ ඡායාරූපයේ පසුබිම් කාලය වගේම  හැටේ මුල ඉපදුන අපේ ඉරණම් කාලය. 

ජගත් මාරසිංහ
2019 01 03

                Night Over Chile - ending music




2 comments

ඒක මාර කාලයක් .අමතක කරන්න බෑ .අමතක වෙන්නෙත් නෑ .ආයෙ එන්නෙත් නෑ


Powered by Blogger.