-තිත නැති ලිපි-

-තිත නැති ලිපි-
                         චූටි!...................ඔයාට මතකද අපිදෙන්නා ගම්පහ මල්වත්තේ වවුල් ගහ යට දවසක් ඇති වෙනකන් රණ්ඩු උනා. මතකේ විදිහට අසූවේ මුල. ඒත් ඔයා රණ්ඩුව පැත්තකින් තියලා මාව අවුස්ස, අවුස්ස මොකක්ද අඳින්න ගත්තා. ඔව්, බෝල්පොයින්ට් පෑන් ඉරි වලින් මාව චිත්‍රයකට නැගුවා. ඔයා රස්සාවට ගිහින් පළමු පඩියෙන් කරපු පළමුවන රාජකාරිය ආදරය වෙනුවෙන් මට ගාන්දි මොඩල් කණ්නඩි කුට්ටමක් තෑගි දීම. පස්සේ මගේ මූන දිහා බල බලා මාව අඳින එක ඔයාට විනෝදයක් උනා. එතකොට මම ලොකු කැවුමක් වගේ කොන්ඩ පොඩ්ඩක් බඳිනවා. දැන්නම් මට බඳින්න තරම් කොන්ඩයක් නැහැ.වයසට යද්දි තට්ටෙ පෑදෙන එක ස්වභාවයක් නොවේ. නොසැලකිල්ලක්. අපි දෙන්නට බඳින්න හම්බ උනේ නැති හින්දා වෙන්න ඇති එහෙම උනේ. කොහොමත් කසාද බඳින එකට මම ඒ කාලෙත් විරුද්ධනේ. ආදරයට මොකටද තවත් බැඳිලි. බුදු අප්පේ ඒ බැඳීම එසේ මෙසේ එකක් නෙවේ කියලා නොදන්නේ කවුද? ඔයා පන පිටින් මිය ගියාට පස්සේ අනිත් කෙනා හම්බ උනාට පස්සේ තමයි මම දැනගත්තේ ආදරය කියන්නේ පුද්ගලයන්ට පිටින් පවතින දෙයක් කියලා. ඒක දැනගත්තම නිරාමිස සතුටක් ඇතිවෙනවා. ඒත් බයකුත් ඇතිවෙනවා. ඒ තන්හාවේ හැටි කිව්වලු.
      එදා ඔයා මහත්මා ගාන්දිගේ පොත් තෝර තෝර ගාන්දි මොඩල් කණ්නඩි වලින් මගේ මූණ සරසවලා හිතුවක්කාරයෙක්ව අවිහිංසා වාදියෙක් කරන්න හොඳටම වෙහෙසුනා නේද? නමුත් මම ගාන්දිට මුවා වෙලා අම්බෙට්කාර් හරහා මාක්ස් ලෙනින්ගෙන් පටන් අරන් කෘප්සකයා සහ රෝසා ගැන මතවාද සීරුවෙන් ඔයාගේ ඔලුවට දැම්මා. අපි වෙන්වෙන්න කිට්ටුව මම ඔයාට බලන්න දුන්න පොත ''එමාබෝවාරි". ඒක ගැන ඉතිරි ටික කතාකරන්න හිර ගෙදරට ඔයාට එන්න ලැබුනේ නැහැනේ. ඇත්තටම පණ පිටින් මිනිස්සු මරණවාටත් වඩා පනපිටින් මැරිල යනවා දැකපු පරපුරේ අපි තාම ජිවත් වෙන්නේ බෝනස් එකට වෙන්න ඇති කියලා හිතෙනවා. ඒත් මට අනුව ඔයා දැන් ජීවතුන් අතර නැහැ. හුස්ම ගන්නවා කියන්නේ ජීවත් වෙනවාට නොවේ. එහෙනම් ගස් වැලුත් හුස්ම ගන්නවා. හුස්ම ගන්නවා කියන්නේ පවතිනවා විතරයි. ජීවත් වෙනවා කියන්නේ වෙන දෙයක්. ඒක දැනගන්නනම් ආදරය කරන්නම ඕනා. කවුද කියන්නේ වයසට යද්දි ආදරය මිය යනවා කියලා. වයසට යද්දි පුද්ගලයා ආදරයෙන් පරිනත වෙනවා. සැබෑවනම් තවත් බොළඳ වීමයි. ඒ තත්ත්වය ගැහැනු පරාණයකට කොහොමත් තේරෙනවා. ඒ තමා ගර්භාෂයේ සන්නිවේදනය. දරුවො එක්ක වැඩ කරද්දි එයාලට ජීවිතේ දැනෙනවා. ඒ තත්ත්වය පිරිමින්ට කිසිදා දැනෙන්නේ නැහැ. 
            එදා ඔබ මාව ඇඳපු චිත්‍රය දිනපොතක් අස්සේ තිබිලා ඊයේ මට හමු උනා. මට එකපාරට මතක් වුනා ඔයාට ඒ කාලේ එක දිගට මම සමාජ වාදය ගැන, විප්ලවය ගැන හති දාගෙන පංති නොකියා පංති කරන හැටි.ඔයාගෙන් තමා ඒක මම පුරුදු වුනේ. අපේ පරපුරේ අය ගැහැණු පරානයක් හම්බ උනොත් ආදරේ කළත් නොකළත් සමාජවාදය කියාදෙන්න දර්ශනය කියාදෙන්න හරිම දක්ෂයි. මතකද අපි දෙන්නම ඒ කාලේ ආසා පොත. "පියවරු සහ පුත්තු" මම ඔයාට ඒ කාලේ ආන්යා කියලත් කිව්වා. ඔයා මැරිලා ගියාට ආන්ය නම් තාම මාත් එක්ක ජීවත් වෙනවා. මම තාම ඈතට ඈතට ගිහින් බලද්දි පොල්ලර් ගස් අස්සෙන් ආන්යගේ මූනේ ඡායාව මට තාම කදිමට පේනවා. ඒ උනාට දැන් සිගරට් බොන්න බැරි නිසා හරියට පේන්නේ නැහැ කියලයි හිතෙන්නේ. ඒත් දවසක් ආන්යා මගෙන් ඇහුවා තාම වයසට ගිහින් කියලා දැනෙන්නේ නැහැ නේද කියලා.
           ගම්පහ මල් වත්ත හෙවත් හෙනරත් ගොඩ උද්‍යානය හතර වටේ ඒ කාලේ ජීප් යනකොට අපි හරියට බයවෙනවා. අනාචාරේ හැසිරෙනවා කියලා ඕනවට වඩා බදාගෙන කිස් කරන ආදර ජෝඩු අල්ලන්න හිමින් හිමින් යන්නේ පොලිස් ජීප් කියලා අපි දැනගෙන හිටියා. ඒත් නොදන්නවා වගේ ඉන්න අපි දක්ෂ උනා. මල්වත්තේ මුර කාරයෝ අපිට එයාලා එනවා කියලා දන්වන අමුතුම සංනිවේදනයක් ඒ කාලේ ක්‍රියාත්මක කළා. අපි ඒකට වියදම් කළේ සිගරට් දෙක තුනක් පමණයි. මතකද එක දවසක සිප වැළඳ ගැනීම තහනම් කියලා ගහලා තිබ්බ බෝඩ් එකක් පෙරලලා මාව මුර කාරයෙක් කට උත්තරයක් ගන්න කාර්යාලයට ගෙනියන්න හැදුවා. ඒ කාලේ ඔබ මගේ ආදර වන්තියටත් වඩා මගේ ඉංග්‍රීසි පරිවර්තිකාව විදිහට සේවය කළා. ඒක ගිවිසුමක්. භාෂාවනුත් බෙදා ගෙන හැදෑරීම. අපිට ඒ කාලේ රට ගැන තිබුණේ පිස්සුවක්ද ආදරයක්ද කියලා තාමත් හිතාගන්න අමාරුයි. ඒක යුගයක්. ඒ යුගයට තමයි අපේ කාලයේ දැනුම කියන්නේ. නිකන් යුගයක් නෙවේ භීෂණ දෙකක් සහ යුද්ධයක් මැද්දේ දිවි ගෙවපු යුගයක්. ආදරය හොයපු යුගයක්.
           ඒ කාලේ අපි හිතුවේ අපි මහ ලොකු විප්ලව වාදියො කියලා. ඒක හින්ද අපිව අල්ලන්න පොලීසියෙන් එනවා කියන සැකේ නිතරම කරදරයක් වුනා. ඇත්තටම ඒක සැබෑ බීතිකාවක්. ඒත් පස්සෙ පස්සේ තමා නියමෙට තේරුනේ ඒකෙත් ඇත්තක් තිබිලා තියනෙවා කියලා. කොටින්ම කිසිදු වරදකින් තොරව හිරබත් කනකොට තමා ඒක ලස්සනට තේරෙන්න ගත්තේ. එකලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තරක විතර්ක කරමින් විරෝධය පෑ එකම ආදර වන්තයෝ අප දෙන්නා විතරක් නෙවේ. මට මතකයි විව්‍යස්ථාව සම්මත කරන දවසේ පැසැලේ තැන් තැන් වල අපි කොල්ලෝ ඒකට විරෝදය පාන්න බට්ටෝ තිබ්බා. ඒත් එදා එතන තිබ්බේ විරෝධයටත් වඩා විනෝදයක් කියලා දැන් තමා තේරෙන්නේ. අන්තිමට ව්‍යවස්තාවේ මොන ලබ්බක්වත් නැහැ කියලා ඔයා කිව්වට ඒ ලබ්බේ තිබ්බ හදිසිනීතිය විසින් තමා අපි දෙන්නවත් සදහටම වෙන් කරලා දැම්මේ. නමුත් ඒ කාලේ අපි නොදැක්ක කතාකළ යුතු පැත්තකුත් ඒකේ තියන බව සටහන් කරන්න වෙනවා. ඒක ධනාත්මක පැත්තක් උනත් මේ ඒවා කතාකරන්න සුදුසු වෙලාවක් නොවේ. මොකද ඒ කාලේ වගේම තාමත් දේශපාලන මත වාද නිසා යාලුවෝ යෙහෙලියෝ පවා මරාගන්න කාලය  ඉවර නැහැ වගේ. ඒ හන්දා තමා මට මේ චිත්‍රය දැක්කම මොනවා හරි ලියලා ඊ පවුරට දාන්න හිතුනේ. ඊ පවුර කියන්නෙත් එක පැත්තකින් කාගේ කාගෙත් කුණු ගොඩක්. නමුත් තමන්ගේ ප්‍රකාශනයත් ඒකම වෙන නිසා කුණුගොඩක් වුනත් තවත් පැත්තකින් ඒක ජීවිතය වෙනවා. 


           මගේ බිරිඳට මගේ ආදර පෙම්වතිය කිව්වොත් ඔයාට තරහ යයි කියලා සිතුවිල්ලක් මට තියනවා.මොනවා කරන්නද? කරුමය කියන්නේ ස්වභාවයේ ඓතිහාසික තත්ත්වයක්. ඒක හින්දා මම එයාට ගැමි භාෂාවෙන් මගේ දරුවන්ගේ අම්මා කියලා ඔයාට ලියද්දි කියන්නම්. ගැමියගේ ඒ ළමයින්ගේ අම්මා කියන වචන ටික ගැහැනියකගෙන් ආත්මෙට ආදරෙන් ගැලවෙන්න බැහැ කියන දේව වාක්ක්‍යයක් වගේ. එයත් ඔයා වගේ හරි හොඳ ළමෙක්.එහෙමනේ පිරිමි භාෂාව. එයා ඔයාව දැකලා නැති උනාට නිතරම මතක් කරනවා. එයා කියනවා අර චූටි කියන එකී කරුමෙකින් බේරුනා, මම ඒ කරුමෙට කරගැහුවා කියලා. ඒකත් බොරුවක්ම නොවන වග සැබෑවක්. ඉතින් අපි දෙන්නත් එදා ඔයයි මායි වගේ තාමත් පුරුද්දට වගේ ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට රණ්ඩු වෙනවා. රණ්ඩුවක් කියන්නේ සුන්දර මිනිස් අවශ්‍යතාවයක් කියලයි මටනම් හිතෙන්නේ. ගැටුමකින් තොරව නාට්‍ය නැහැ කියලා භරත මුනි කිව්වේ ඇත්තටම ගැටුමකින් තොර ජීවිතයකුත් නැති නිසා බව නොදැන වෙන්න බැහැ. අපේ ගෙදර එක්කෙනා අද මාත් එක්ක ගැටුමට එන්නේ යම් පරතරයක් තියාගෙන. කොටින්ම ගෙදරින් පිට ඉඳන්. පරතරයක් තිබුන පලියට කිසිවෙකුගෙන් වෙන් වෙලා ඉන්නවා කියලා කියන්න බැහැ. එහෙනම් ඉතින් ආදරේ කියන්නේ හැම තිස්සෙම බදාගෙන ඉන්න එක වෙන්න ඕනා. ඒ උනාට මමයි එයයි අද රණ්ඩු වෙන්නේ දේශපාලන ප්‍රශ්න වලට නොවේ කියලා කියන්නත් බැහැ. ඇයි දන්නවාද? අපි දැන් රණ්ඩු වෙන්නේ වෙළෙඳ පොළ සිහින වලට. එයා කියනවා මට මාකට් එක ගැන දැනුමක් නැහැ කියලා. ඒකට මම ඔලුව වනන්නේ මගේ වාසියට කියලා ඒ යෝදිට විතරක් නෙවේ කිසිම යෝදියෙකුට තේරෙන්නේ නැහැ. ඒකටත් මට නම් කේන්ති යනවා. එතකොට තමයි කේන්තියත් ආදරක් තමා කියලා හිතෙන්නේ.ආදරය කියන්නේ මැරෙන දෙයක් නොවේ.ජීවත් වෙන දෙයක්. ...... 

ජගත් මාරසිංහ
2018 11 30
Latest


Powered by Blogger.

Follow by Email