දයානන්ද ගුණවර්දන




ජගත් මාරසිංහ

   දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේමය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන්ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර ගමනක නිරත විය. තමා සොයා ගත් දේ මිනිසුන්ට නොමසුරු ව බෙදා දීමට හොඳම මාධ්‍යය කලාව බව ඔහු විශ්වාස කළේය. එහෙත් ඒ දේවල් ගැන පුළුල් ව කතා කිරීමට මේ ලිපිය තරම් නොවේ යයි සිතමි.

දයානන්ද කුඩා කල එක් දිනක් උඩහගෙදර තොවිලයක් නරඹමින් සිටියේ ය. තොවිලය අවසාන වීමටත් ප‍්‍රථම ඔහු කොලූ කුරුට්ටන් කීප දෙනකු සමඟ එක් වී තොවිලයේ මල් පැළක් ගලවාගෙන එපිටහ ඉඩමකට ගොස් පුංචි තොවිලයක් නැටුවේය. එදින රාත‍්‍රියේ පුංචි තොවිලයේ නඬේ ගුරා වූ දයානන්ද සිහිනෙන් හොඳටෝම බිය විය. අවසානයේ ඔහු සුව කරන්නට මහා තොවිලයක් නටන්නට සිදු වී තිබේ.

මේ සිදුවීමෙන් පසු ඔහු පසු කලක කළ දැවැන්ත නාට්‍ය නිර්මාණ ගැන යම් චිත‍්‍රයක් මතු කරගත හැකි බව සැබෑවකි. එහෙත් ඔහුගේ අරුම පුදුම ගතිගුණ ගැන ද තොරතුරු ඒ සිදුවීමේ සැඟවී තිබේ.

දයානන්ද ගුවන් විදුලියේ සේවය කළ අවධියේදී අතපසු වීමකින් දිනක් මැදිරියක යතුරු සාක්කුවේ දමාගෙන ගෙදර ගියේය. ඒ රටේ හදිසි අවස්ථාව පැවැති අවධියකි. ආරක්ෂක අංශයට යතුරු අත්‍යවශ්‍ය විය. ඔහුගේ මිතුරන් කීප දෙනෙකු වහාම වාහනයකින් දයානන්ද සොයා ඔහුගේම නිවසට ගියේ එබැවිනි.

කලිසම සහ කමිසය හැඳ ඔප දැමූ සපත්තු පැළඳ එක්තරා ලීලාවකට ගුවන් විදුලියේ ඇවිදින ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසියෙන් කතා කරන දයානන්ද ගුණවර්ධන නිවසේ සිටියේ බුලත්විටක් සපමින් සරමක් පමණක් ඇඳ විවේක සුවයෙන් පසු වෙමිනි. යතුරු හැඳි කලිසමේ ම ආරක්ෂා සහිතව තිබුණි. එදා ඔහු මේ අතපසුවීම සම්බන්ධව බොහෝ ලැජ්ජාවට පත් ව තිබේ. එවැනි අවස්ථාවල ඔහු කරන්නේ දෑතින් මුහුණ වසා ගෙන බිම බලාගෙන සිනහ වීමය. එහෙත් ඔහුට අනුව මෙය තවත් එක් අතපසුවීමක් පමණි. අතපසුවීම සහ අමතක වීම ඔහුගේ සාමාන්‍ය ජීවිතයට කිසිසේත්ම අලූත් දෙයක් නොවීය. ඔහු ළඟින් ඇසුරු කළ බොහෝ දෙනෙක් මේ බව ඉතා හොඳින් දැන සිටියහ.

දයානන්ද ගුණවර්ධන සද්දන්ත මිනිසෙකි. ශරීරයෙන් පමණක් නොව දැනුමෙන් ද, ප‍්‍රතිභාවෙන් ද ඔහු සද්දන්තයෙක්ම විය. එහෙත් ඔහු සරල සුන්දර ගැමියකු බවත් අව්‍යාජ මිනිසකු බවත් දන්නෝ දනිති. ඔහුගේ අමතක වීම සම්බන්ධව සමහර සිදුවීම් කතාන්දර ආකාරයෙන් දැන් ජනගත වී තිබේ. එවිට ඒවා යම් යම් වෙනස්කම්වලට බඳුන් වීම නිතැතින්ම සිදුවිය හැකිය. ඔහු ගැන කතා බහ කරන හැමවිටකම පාහේ මේ සිදුවීම් ගැනත් සිහි වීම ස්වභාවයකි. එහෙත් ඒ උපහාසයට හෝ අපහාසයට නොවන වගත් සැබෑවකි. ඔහු ගැන දන්නා මිනිසුන් ඔහුට ඇත්තේ පුදුමාකාර ආදරයකි. ළෙන්ගතුකමකි.

  වරක් ඔහු විදේශීය මිතුරකු සමඟ ඔහුගේ වාහනයෙන් එවකට හෝමාගම පිහිටි ඔහුගේ නිවස බලා ගමන් කළේය. අතර මඟදී ඔවුහු නාට්‍ය කලාව ගැන කතාබහ කරන්නට වූහ. දැන් දයානන්දට නාට්‍ය කලාව හැර අන් සියලූ දේ අමතකය. කතාවෙන් කතාවෙන් ඔහු ඉදිරියටම රථය පැදවීය. නොදැනුවත්වම බොහෝ දුරක් ගමන් කළ රථය ඉන්ධන අවසාන වී නතර විය. අමතක වීම කොතෙක් ද යත් රිය නතර වී තිබුණේ රත්නපුරයේදීය. එදින ද ඔහු අත් දෙකෙන් මුහුණ වසාගෙන බිම බලාගෙන සිනහවන්නට ඇත.

සමහර දිනවල ඔහු සිය මෝටර් රථයෙන් කොළඹ පැමිණෙයි. එහෙත් ගෙදර යන්නේ දුම්රියෙනි. සිය වාහනය මතක් වන්නේ ගෙදර ගිය පසුවය. තමන් සමඟ වාහනයේ ගිය පිරිස අතරමඟ දමා බස්රියෙන් නිවසට ගිය කතාවක් ද ජනගත වී තිබේ.

තවත් දිනක් ගුවන් විදුලි සංස්ථාවට දයානන්ද හමුවීමට මිතුරෙක් පැමිණියේය. ඔහු ද ප‍්‍රකට පුද්ගලයෙකි. දෙදෙනාගේ කතාබහ දුර ගියේය. ඔවුහු දිවා ආහාරයට ආපන ශාලාවට ගියහ. තවමත් කතා බහ අවසාන වී නැත. කතාබහ මැද්දේම දයානන්ද සිය මිතුරාගේ බත්මුල ගෙන දිග හැරියේය. කාරණය මිතුරාට වැටහිණි. ඔහු ආපන ශාලාවෙන් කෑම පාර්සලයක් මිල දී ගත්තේය. දිවා ආහාරයෙන් පසු දෙදෙනාම විසිර ගියහ. පසු දින සිය මිතුරාට දයානන්දගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.

‘හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ, කතාවෙන් කතාවෙන් ඊයේ මම දවල්ට කාල නෑනේ. මගෙ බත්මුල ගෙදර ගෙනත් තිබුණා.’ දයානන්දගේ හැටි දන්නා මිතුරා නිහඬ වී තිබේ.

බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේදී ‘මරාසාද්’ නාට්‍යය රඟදැක්වූ දිනයක මොර සූරන වර්ෂාවක් වැස්සේය. දයානන්ද ගුණවර්ධන විශාල කුඩයක් ඉහලාගෙන බොරැුල්ල හන්දියේ බස් නැවතුම් පළේ සිටියේ ය. ‘මරාසාද්’ නැරඹූ ප‍්‍රසිද්ධ රංග ශිල්පියකු කඬේකට යන ගමන් දයානන්දගේ කුඩය යටට රිංගුවේ ඔහු සමඟ කතාබහ කිරීමටත්, වර්ෂාවෙන් ආරක්ෂා වීමටත් ය.

මම ‘මරාසාද්’ බැලූවායි දයානන්ද පැවසුවේ ය. මමත් ‘මරාසාද්’ බැලූවායි රංග ශිල්පියා පැවසුවේ ය. ඔයාට ඒක තේරුණා දැයි යළි දයානන්ද විමසුවේ ය. එවිට තමාට එය ගැටලූ සහගත බව රංග ශිල්පියා පවසා තිබේ. මටත් එහෙම තමයි කියාගෙන දයානන්ද බස් රියක් වෙත දුව ගියේ ය. ඔහුට සිය සගයා තෙමෙන්නට ඇති බව පසුව සිහිවී පසුතැවිලි වෙන්නට ඇත.

තවත් දිනක මිතුරකු සමඟ දයානන්ද සිය වාහනයෙන් ගමනක් ගියේය. එදින ද කතාබහ දුරදිග ගියේය. දයානන්ද සිය වාහනය නවත්වා සිගරට් ගෙන ඒම පිණිස මිතුරා කඩයට යැව්වේය. ඔහු සිගරට් ගෙන ආපසු පැමිණි විට දයානන්දගේ වාහනය එහි නොවීය. කාරණය වටහා ගත් ඔහු වෙනත් වාහනයක එල්ලී ඉදිරියට ගියේය. සෑහෙන දුරක් ගොස් දයානන්ද රථය මාර්ග තදබදයක් හේතුවෙන් නවත්වාගෙන සිටියේය. මිතුරා පැමිණි විට සිගරට් ගත්තාදැයි අසමින් දයානන්ද යළි සුපුරුදු පරිදි රථය පදවන්නට විය.
දයානන්ද ගුණවර්ධන සම්බන්ධ ව ජනගත වී ඇති එවැනි සිදුවීම් තව බොහෝ තිබේ. එහෙත් මේ අමතක වීම ඔහුගේ දුර්වලකමක් ලෙස දැකීමටවත් බොහෝ දෙනා අකමැති වූහ. මේ සෑම සිදුවීමක් පිටුපස අහිංසක අව්‍යාජත්වයක් තිබීම ඊට හේතුවක් වන්නට පුළුවන. ඔහු සාහිත්‍යයට, ඉතිහාසයට, දර්ශනයට තම මොළයෙන් වැඩි කොටසක් වෙන්කර තිබුණා සේය. අවශේෂ දේවල් සිදුවූයේ ඉබේටම වාගේ ය. එහෙත් ඒ කිසිදු සිදුවීමක කුහකකම ඊර්ෂ්‍යාව ගෑවිලාවත් තිබුණේ නැත. එහෙයින් දයානන්ද කිසිදා කිසිවකුගේ උසුළු විසුළුවලට ලක්වූයේ නැත.

එකල රඟදැක්වූ ‘සාජන් නල්ලතම්බි’ නාට්‍යයට බොහෝ විචාරකයන් දොස් නඟන විට දයානන්ද එය නරඹා කීවේ හාසෝත්පාදක නාට්‍යයක් බවත්, තමා ඉන් වින්දනයක් ලැබු බවත්ය. කොන්ද කෙළින් තබාගෙන තමාගේ මතය ප‍්‍රකාශ කිරීමට ඔහු කිසි විටක බිය නොවීය.

සුදර්ශියේ නුග ගහ යට දැවැන්තයා ලෙස සමහරු ඔහු හැඳින්වූහ. ගෙදරින් ගෙන එන සුවිසල් තේ බෝතලයෙන් තේ පැන් පිළිගන්වන හැටි තවමත් ඔහුගේ සගයෝ සිහිපත් කරති. නාට්‍ය පුහුණු කිරීම්වලදී ඔහු නළු නිළියන් දෙස බලන්නේවත් නැත. බොහෝ විට වේදිකාවට පිටුපා ශාලාවේ ඈත කෙළවරට වී බිම බලාගෙන ඇහුන්කන් දෙයි. නැතහොත් ශාලාවෙන් පිටත බිත්තියේ දෑස පියාගෙන හිස ගසාගෙන සිටී. නළු නිළියන්ගේ රංගනය ඔහු නිරීක්ෂණය කරන්නේ ඔවුන්ගේ හඬ අසා සිටීමෙනි. සෑම වචනයක ම අවසන් අකුරත්් සියලූ පේ‍්‍රක්ෂකයන්ට ඇසෙන ලෙස උච්චාරණය කළ යුතු බව ඔහු නළු නිළියන්ට උපදෙස් දෙයි.
කිසිදා පේ‍්‍රක්ෂකයන් සමඟ හිඳ ඔහු ඔහුගේ නාට්‍යයක් නරඹා නැති බව ලියා තිබේ. නාට්‍ය රඟ දැක්වෙන විට එක්කෝ ඔහු ශාලාවෙන් පිටත ය. නැතිනම් වේදිකාවේ පිටුපස කාමරයේ ය. නළු නිළියන්ගේ හඬින් සහ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරවලින් සියල්ල නිරීක්ෂණය කර රස විඳීම ඔහුගේ පුරුද්දකි. එවැනි අවස්ථාවල තනියම සිනහ වෙමින් ඔළුවේ අත ගසා ගනී. සමහර විට දෑතින් බිත්තිවලට පහර දෙයි. එහෙ මෙහෙ ඇවිදී.

අපේ ජාතියේ වංශ කතාව අව්‍යාජ ව කලාත්මක ව ලියා තැබූ දයානන්ද ගුණවර්ධන නමැති අසාමාන්‍ය මිනිසා 1993 ජූනි 18 දින මරදාන එල්පින්ස්ටන් රඟහලේ වේදිකාව මතදීම හදිසියේ රෝගාතුර විය. එදින සිට සිහිසුන් ව සිටිය ඔහු 1993 ජූනි 24 දින සැඳෑ සමයේ මෙලොව හැර ගියේ ජාතියේ අවසන් නොවූ මංසෙවීම අතරතුර වීම සැබෑවට ම ඛේදවාචකයකි. 

වතගොත
නම : හෙට්ටිපතිරන්නැහැලාගේ දයානන්ද ගුණවර්ධන
උපන් දිනය : 1934 ඔක්තෝම්බර් 15
ස්ථානය : වේයන්ගොඩ සියනෑ කෝරළයේ හල්ගම්පිටිය
මවගේ නම : සෝමාවතී රණතුංග
පියාගේ නම : සයිමන් ගුණවර්ධන
පියාගේ රැකියාව : ගුරු වෘත්තිය
බිරිඳගේ නම : අයිරාංගනී ගුණවර්ධන
දරුවන් : චක්‍රායුධ ගුණවර්ධන (පුතා),
අභිමංගලා ගුණවර්ධන (දුව),
වසන්තපි‍්‍රය ගුණවර්ධන (පුතා)
අධ්‍යාපනය ලැබු පාසල්
* උඩුගම්පල රජයේ මහා විද්‍යාලය
* වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය
* කොළඹ ආනන්ද විද්‍යාලය
* ලංකා විශ්ව විද්‍යාලය
න්‍යායික ප්‍රවේශයන්
1. ලංකා විශ්ව විද්‍යාලයේ (පේරාදෙණිය) බී. ඒ. විශේෂ උපාධිය - 1957 (භූගෝල විද්‍යාව)
2. නාට්‍ය කලාව පිළිබඳ බ්‍රිතාන්‍ය නාට්‍ය සංගමයේ පාඨමාලාව හැදෑරීම.
3. ගීත නාටක පිළිබඳ ජාතික ගීත නාටක සංගමයේ පාඨමාලාව හැදෑරීම.
4. ගුවන්විදුලි ශිල්පය පිළිබඳ පුහුණුව (අධිරාජ්‍ය සම්බන්ධතා ශිෂ්‍යත්වය යටතේ - බී. බී. සී. පුහුණුව සහිතව)
5. රූපවාහිනී පුහුණුව (බී. බී. සී. පුහුණුව සහිතව)
6. ශේක්ස්පියර් නාට්‍ය පිළිබඳ පාඨමාලාව හැදෑරීම
7. බ්‍රිතාන්‍ය සංගමයේ ජාතික උත්සව පිළිබඳ පාඨමාලා හැදෑරීම
8. රූකඩ නාට්‍ය පිළිබඳ රුමේනියාවේ සහ චෙකෝස්ලෝවේකියාවේ පුහුණුව.
9. විකට චිත්‍ර සහ සිනමා (ළමා) පිළිබඳ බුකාරස්ට් සිනමා ආයතනයේ පුහුණුව.
10. 1962 දී ගුවන්විදුලිය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව නැඟෙනහිර යුරෝපීය රටවල නාට්‍ය - චිත්‍රපට - රූපවාහිනී පිළිබඳව පුහුණුවක් ලැබීම.
රැකියා ප්‍රවේශයන්
1. උපාධි ගුරු - කෑගලු විද්‍යාලය, කෑගල්ල (1957 - 1960)
2. උපාධි ගුරු - තර්ස්ටන් විද්‍යාලය, කොළඹ (1960 - 1961)
3. වැඩ සටහන් සම්පාදක - ලංකා ගුවන්විදුලි සේවය (1961 - 1988 විශ්‍රාම යන තෙක්)
නාට්‍ය කලාව පිළිබඳ කථිකාචාර්ය - රංග විද්‍යා පීඨය (සංස්කෘතික දෙපාර්තමේන්තුව)
බාහිර කථිකාචාර්ය (නාට්‍ය) රජයේ ලලිත කලායතනය
කෑගලු ප්‍රාදේශීය කලා මණ්ඩලයේ උපදේශකයකු වීම
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සේවය කිරීම
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දැරීම
ප්‍රසිද්ධ වේදිකාවට නඟන ලද නාටක
ස්වර්ණතිලකා, පරාස්සයා, නරිබෑණා, කාමරේ පොරේ, ඇමති පට්ටම, පිංගුත්තර, බක්මහ අකුණු, දෙන්නා දෙපොලෙ, ජසයා හා ලෙන්චිනා , ජීවන වංචාව හෙවත් ඉබිකට්ට, විකාරයේ ආකාරය, කබායේ හබේ, පද්මාවතී, ගජමන් පුවත, බැංකු නාටකය, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා
11. වෙනත් කෘත
. මූලික සිතියම් විද්‍යාව
. මද්දහන් ගින්දර (කවි)
. සකල කලා වල්ලභ (ජනප්‍රවාද) 


Powered by Blogger.

Follow by Email