ඇන ගැනීම - මැන ගැනීම









මෙහෙව් රටේ රංචාගොඩ                             ඉපදීලා
රුහුණු රටට මා දීලා                                ඉලව්වේ
බල්ලොත් නොකන වැල වරකා             ගල්කිස්සේ
කතරගං ගොසින් වැටුනා පිහියෙ                     මිට


                            ලහත්කාරය යොදා මර්දනය කර ඇති චන්ද්‍ර කාලයේ රිද්මයට රංචාගොඩ ලමයා සමීප වී තිබේ. ප්‍රාග් බෞද්ධ යුගයේ දඩයම් දෙවි ලෙස සැලකෙන ව්‍යාධදේව සහ රංචාගොඩ ලමයාගේ ස්වරූපය බොහෝ දුරට සමාන වීමට ඉඩ ඇතැයි විශ්වාස කිරීමට පුළුවන් කමක්ද තිබේ. සමාන යන අරුත තුළ අසමාන යන අරුතද ඇති බව කියමින් ව්‍යාධදේව නියවන්නට විය.

                         සූර්ය කාලයේ තර්ජනයෙන් ගැලවීමට මම දෑස් පියා ගතිමි. මගේ දිවද උඩු පැත්තට දෙකට නවා උඩු තල්ලේ ගසා ගෙන කට පියා ගතිමි. ඉක්බිති සිතිවිලි වලට නිදහසේ ගලා එන්නට ඉඩ ඇරියෙමි. අතීතයේ දිනයක තන්ත්‍රයානය උඩින් පල්ලෙන් කියවා මිදුලේ එලූ පැදුරක් මත උඩුබැලි අතට දිගා වී වලාකුළු දෙස බලා සිටි කාලය මට මතකයට නැගේ. වලාකුළු සිතිවිලි සේ සිතා වලාකුලු දෙකක් අතර පරතරය අරමුණු කොට සූන්‍යයත්වය පසක් කර ගැනීමට මා ගත් වෙහෙස අපේ අම්මාට නම් විහිලුවක් විය. සිතුවිලි වලට එරෙහිව භාවනාව ප්‍රගුණ කරනවාට වඩා සිතූවිලි වලට ගලා එන්නට නිදහස දී ආධ්‍යාත්මය අවධිකර ගැනීමට  මාර්ගයක් හමුවීම එකල සැබෑවටම නැවුම් අත්දැකීමක් විය.

                     සෝමනස්ස සහගත දිඨිගත සම්පයුක්ත අසංකාරික සිතෙන් පටන් ගෙන අරහත්ත ඵල සිත දක්වා අසූනව සිත් ගැන සොයා බලා පිස්සු වැටී සිටි මම ඉක්බිති මහාමුද්‍රාව  සොයන්නට පටන් ගතිමි. එකෙනෙහිම ව්‍යාධයෝ නැවත අතුරු දහන් වූහ.

                    සිතුවිලි වලට ගලා යන්නට ඉඩ හැර සිතුවිලි දෙකක් අතර පවතින හිදැස තුලින් සැබෑව අරමුණු කර ගැනීමත් සිතුවිලි වලට එරෙහිව සැබෑව අරමුණු කර ගැනීමත් එකම දෙයක් බව මා වටහා ගන්නා තෙක් ව්‍යාධදේව සගයාව නින්දේදිවත් මා දුටුවේ නැත.  සිතුවිලි නම් සිතෙහිම පවත්නා ගුණයෝය. චිත්ත චෛතසික අරමුණු තුළ රමනය දැඩි සේ මර්ධනය කොට හීලෑ කොට පවත්වාගෙන යන වික්ටෝරියානු බෞද්ධ ප්‍රවනතාවයන් ගේ ගොදුරක් බවට පත් වී සිටි මට එකල තාවෝ වාදීන් හදුනා ගන්නට ලැබීම වාසනාවක් සේ දැනුනේය. සුරතාන්තයම ආත්ම කොට රමණය භාවනාවක් සේ ප්‍රගුණ කිරීම තුළ ජීවිතය සොයන්නට පටන් ගත් කාලය චන්ද්‍ර කාලයට අනුව සුන්දර වුවද සූර්ය කාලයට අනුව එසේ සුන්දර නොවීය. හීනයානය, මහා යානය, තන්ත්‍රයානය අනුදකිමින් ථේරවාදී ධර්මය තුළ තාවෝ වාදයේ දිසාව සොයන්නට මට සිතුවිලි පහල විය. ඒ නම් මාක්ස්වාදී දර්ශනයේ බලපෑම බව පසුකාලයක ව්‍යාධදේවයෝ  පහදා දුන්නහ. එකලද සමහර මිත්‍රයන් මා මග හැර ගිය බව සැබෑවකි. එහෙත් මෙවන් මෙහෙයුමක නිරත වන්නේ ඇයි දැයි එකල මගෙන් කිසිවෙකු විමසුවේද නැත. එකල මා සේවය කළ පිරිවෙනේ කෘත්‍යාධිකාරී තැන්පත්, ව්‍යාහාරික වර්ෂ 1917 දී සසුන් ගතවූ මලවැන්නේ ඤාණාලෝක ලොකු හාමුදුරුවෝ පවා නිදහසේ සිතන්නට කතා කරන්නට කිසිදා බාදා නොකලහ. එහෙත් මා කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් බලාපොරොත්තු උනෙමි. වෙනස් විදිහකට සිතීමේ අයිතියට විරුද්ධව ප්‍රථම ප්‍රහාරය මගේ ජීවිතය තූලින්ම එල්ල විය. වසර හයකටත් වැඩි කාලයක් දුක සැප බෙදා ගත් මගේ ආදරණීය පළමු පෙම්වතිය  ඇති පදම් බාදා කොට අවසානයේදී කොන්දේසි විරහිතව මා දමා පලා ගියාය. එකෙනෙහිම පොලීසියේ ඇත්තෝ මා සොයා මැදියම් රැයක නිවසටම පැමිණියහ. සියලු ධර්ම කරුණු, දෘෂ්ටිවාද, දාර්ශනික සංකල්ප පොලිස් නිල ඇදුමටත්, බැටන් පොල්ලටත්, තුවක්කුවටත් යටත් විය. මධුලෝලත්වයේ ආත්මීය සුන්දරත්වයෙන් සහ තාවෝ වාදයේ උන්මාදයෙන් ස්ත්‍රීත්වයේ සැබෑව සොයමින් සිටි මා පැය නවයක් ඇතුලත මැගසින් බන්ධනාගාරයේ සිරකරුවෙක් බවට පත් විය. එදා චන්ද්‍රයා සිටි තැනට නැවත චන්ද්‍රයා පැමිනෙන විට භාරත අගම්පොඩි හමුදාව අපේ කොදෙවේ උතුරු නැගෙනහිර කදවුරු බැද ගත්හ. මම සිර කරුවන් අතර පිස්සුවෙන් මෙන් ව්‍යාධදේව සොයන්නට වීමි. ත්‍රස්තවාදී දේශපාලන රැඳ වියන් යන නිල නාමයෙන් අංකයන් පමණක් වූ දහස් ගණන් සිරකරුවන් අතර මම තනිකම ගැන බොහෝ කාරනා වටහා ගත්තෙමි.


                      මා තනිවූ සෑම මොතකම ව්‍යාධ සගයා මා ළගටම වී සිටියේය. එහෙයින් මේ සිර කදවුර තුළත් කොහේ හෝ මුල්ලක ඔහු සැගවී සිටිය යුතුය. මගේ තනිකමට සෙවනැල්ලක් වූ පළමු පෙම්වතියද පෙර දිනක මා දමා පලා ගියාය. ඇය ගිය දින සිට චන්ද්‍රයාට පෘතුවිය වටේ හත් වතාවක් තවම ගමන් කිරීමට හැකිවී නැත. අන් සියළු රැදවියෝ ඔවුන්ව අල්ලා සිර කිරීමට හේතුව දැන සිටියහ. ප්‍රාග්ධනය ආධ්‍යාත්මික සතුට ස්ත්‍රිය මධුලෝලත්වය ගැන නන් දොඩමින් නිදහසේ දිවි ගෙවමින් සිටි පාදඩයෙකු මොන කෙංගෙඩියකට අල්ලා සිරගතකලේදැයි මා මගෙන්ම දහස් වරක් ප්‍රශ්න කරගන්නට ඇත. සිරගෙයක් තුල ප්‍රශ්න කරන්නෝ බොහෝ ප්‍රමාණයක් සිටිති. එහෙත් පිළිතුරු දෙන්නන් නිර්මාණය වීමට දිගු කලක් ගතවෙයි.

                        හිර ගත කිරීම නිසා කැරලි ගසන දුක් අතර ප්‍රිය විප්‍රයෝග දුක්ඛයද ප්‍රධාන තැනක් ගනී. එහෙත් මට නම් සියලු ප්‍රියයන් අතරින් ඉදිරියෙන්ම සිටියේ ඇයයි. කරුණාවට නිමිත්ත දුක් විදින සත්වයෝය. කරුණාව ඇති විට මුදිතාවද, මුදිතාව ඇති විට කරුණාවද නොයෙදෙන බව සැබෑවකි. ඇය මා හැර ගියේ මා නිසා ඇය දුක් විදින්නට වූ බැවිනි. එසේ නම් ඇය දුක් විදින්නියෙකි. මේ ආකාරයට මා ඇය කෙරෙහි කරුණාව ඇති කරගැනීමට උත්සාහ කලෙමි. ස්වයං අපවාදයෙන් ගැලවීමට මා විසින් සිවිල් විදිහට සිතන සූත්‍රයක් නිර්මාණය කරගත්තා වීමටද පුළුවන. කෙසේ හෝ හිර ගෙදර ජීවිතයේ පළමු පද වැල මම ඇයට ලියන්නට පටන් ගතිමි. ඊළග සදුදා විසිට් එකට පැමිණි අමිමා අතින් කාටත් හොරා එය ඇය අතට පත් කරන ලදී. බන්ධනාගාර නිළධාරීන්ගේ සහ රහස් ඔත්තු බුද්ධි අංශයේ ඇස් වසා තම දරුවා වෙනුවෙන් සිර කදවුරෙන් පිටතට සහ ඇතුලට එදා අම්මලා විසින් හුවමාරු කරන ලද්දේ ආදර ලිපි පමණක් නොවන බවද මම හිස නමා ගෞරවයෙන් සදහන් කර තබමි.  එදාඅම්මලා එසේ වූයේ විප්ලව වාදී ජීව ගුණය නිසා නොව අපේ අම්මලාගේ සිරිත බව කියන්නට ගොස් සමහරු මා සමග අමනාප වූ බවද මතකයේ තිබේ.





 ''ආදර චූටී.
කරදරයක් වූ නිසා මා
හැර ගියා ඔබ  මා
තනි වීමි මා
යකඩ ගේට්ටු
කටු කම්බි වැටවල්
සෙබලුන් සතර කොන
රැකවල්  යොදා ඇති 
ලේ ගඳ  
අදෝනා හඬ
සටන් පාට 
බලා පොරොත්තු
හැම බිත්තියකම
මාක්ස්ලා-ලෙනින්ලා-චේලා
විරිත්තගෙන
මරන බයට ලියවුන
ඇග හිරිවැටෙන
කව් ගී                                               


අල්ලපු හිර ගෙදර කොටි.
උන් පැන්නොත් අපි මරුට
අපි පැන්නොත් අපි මරුට
ඉතින් පටන් ගත්ත  මම
බලන් ඉන්න එක දිගට
රෑට සද දෙසම
දවාලට හිර දෙසම
දැනගත යුතුයි ඔබ
දැන් සූර්යා ගිනි ගන්නේ
බැල්ම නිසා බව මගේ.
දැන් හිරු සදු මත
මගේ ආදරය විසිරිලා
හෙට දින හිරු නිසා
මුලු විශ්වයම 
අළු වී ගියත්..........දැවී
කිසිදු අනතුරක්
නොවන බව තිරය
ඔබ හට...........
හිර කරුවෙකු ගේ
ආදරය........
එතරම්ම ගැඹුරුය.
පිවිතුරුය.
නිර්මලය.
(මෙය පිටපත් කරන මොහොතේ මෙවර උඹ චන්දෙ දෙන්නෙ කාටදැයි මා මිත්‍රයෙක් දුරකතනයෙන් විමසීය. උඹගේ අම්මාගෙ අහවල්...........කියා මම දුරකතනය විසන්දි කෙරුවෙමි.)

                    මම ඇගෙන් පිළිතුරු ලිපියක් බලාපොරොතුවෙන් කල් ගත කෙරුවෙමි. සති කීපයකට පසු දැන් ඇය හිරැටද සාප කරන බව මා මිතුරෙක් අක්කා අත දන්වා එවා තිබුණි. එදිනම රාත්‍රියේ නින්දේදී මම ඇය දුටුවෙමි. ඇය මුලු ශරීරයම හිරු එලිය නොටෙන සේ කලු රෙද්දකින් ආවර්ණය කරගෙන සිටියාය. එහෙත් මට ඇයව හදුනා ගන්නට පුලුවන් විය. සිහිනයකට ශබ්දය සහ සුවද දැනෙන්නේ කෙසේද යන්න වෙනම කාරණයකි. ඇය මුලු ගතම වසාගෙන සිහිනෙන් පෙනී සිටියාට ඇගේ සුවද මගේ නාසයට වසන් කිරීමට බැරි විය. සියලු ගඳ සුවඳ තමා තුළම ඇති බව ඇය මට නැවත පසක් කෙරුවාය. එසේ නම් ඇය ගැන සිතුවිලි පවතින්නේද ම සිතේ විනා, වෙන කොහේවත් නොවන වග සැබෑවක් බව මට  වැටහී ගියේ නිරායාසයෙනි. වාස්තවිකත්වය ගැන සංවාද විසංවාද ගුටි කෙලි දක්වා වර්ධනය නොවූයේ ඇයි දැයි පසුව ලියන්නට අදහස් කරමි.
                         සිර කදවුරේ සිටි කොටසක් පැන ගියෝය. කොටසක් නිදහස් කර මරා දමන ලදී. කොටසක් ආරක්ෂක අංශයේම සේවයට ගිය බවට කතා ඇතිවිය. තවත් කොටසක් රට හැර ගියේය. කේතුමතී නුවර සිහි ගන්වමින් මහ දවල් මහ මග මිනී පිච්චෙන්නට විය. මේවාට කවුරු කවුරුත් වග කිවයුතු බව හගිමි. සංස්කෘතික අමාත්‍යංශයටත් හොරා ජනප්‍රිය සංස්කෘතිය කල එලි බැස සියලු කලා විචාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නා සේය. නිර්මාණයක සදාචාරය විමසීමට පරාග පරීක්ෂණ ඉල්ලා සිටින්නට ඔන්න මෙන්න කියා තිබියදී 80 දශකයේ නන්නත්තාර නොවූ ටික දෙනෙක් දහ දුක් විඳිමින් මහන්සියෙන් දාර්ශනික ප්‍රවනතා නැවත හැදෑරිම සමාජ ගත කරන ලදී. එ් තත්ත්වය අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. නැත, හිතා මතා අමතක කිීරීමට පුරුදු වී සිටී.
                             ස්ත්‍රීවාදී දේශපාලන ව්‍යාපෘති තුළද ස්ත්‍රීත්වය සම්බන්ධ සියලු බලාපොත්තු මිනිස් අත්දැකීම් තුල නීච වී ගියේය. සුපුරුදු පරිදි විංශති දෙකක් ගෙවී ගියේය. චන්ද්‍රයා තව තවත් නිච වන වග දුටු ගණිතයෝ චන්ද්‍රයාගේ අති නීච අංශකය සෙවීමට පෙළඹුනහ. එහෙත් ස්ත්‍රියගේ දේශපාලන ස්වරූපය උඩු යටිකුරු වීම නිසා ඇය පිළිඹදව තව තවත් දේශපාලන දෘෂ්ටි වාද පැටව් ගසමින්  සයිබර් අවකාශයේද බඩ පිනුම් ගසන්නට පටන් ගත්තේය. සියලු නපුංශක ගොඩනැංවීම් රවි අධිපති පුරුෂ රාශිය වූ සිංහ රාශියේ අතීතය සිහිපත් කලේය. පුරුෂයන් ආදරය කරන්නේ තමන් ගේ හිස තුළ මවා ගත් ස්ත්‍රියකට විනා ජීවමාන ස්ත්‍රියකට නොවන බව වටහා ගත්තද අප කෙසේ නම් මර්ධනයට ගොදුරු වී ඇති, එහෙත් ජීවිතයම වූ අවුල් වූ චන්ද්‍ර කාලයෙන් ගැලවීමට මංපෙත් පාදා ගන්නේද?

                                    මම මිදුලේ ඇන තියාන සිටි ව්‍යාධදේවගේ ඇඟ ට කඩා පැන නුඹ කුමක් කියන්නෙහි දැයි ඇසුවෙමි. එහෙත් ඔහු තව දුරටත් ඒ මොහොතේ ව්‍යාධදේවයෝ නොවූහ. ප්‍රාග් බෞද්ධ දෙවි වරියක් වූ පශ්චිමරාජනිය මා ඉදිරියේ රූ රැජිනක් සේ සීරුවෙන් සිටගෙන සිටියාය. ඇගේ එක බැල්මකින් මගේ හිස මත සිටි දැවැන්ත පුරැෂයා දන බිම ඇන ගත්තේය. නිර්වස්ත්‍රව සිටි ඇගේ සෙවනැල්ල මගේ මතකය මගේ මවගේ ගර්භාෂයේ ජල මල්ල දක්වා ගෙන ගියේය. ඉක්බිති ගිරි දේවියගේ විත්තියේ කවියක් ගැහැණු  හඬකින් රාව නැගෙන්නට වී.

තබා සිරස යහනේම                      තබාපූ
විඩාවගේ ගිරි ළඳ එලි                     බැසපූ
අඬා ඇසල රුක මුදුනට                  නැගපූ
නොබා සිතින් බොටුවේ වැල              ලාපූ




                                                                                             MARAYA







        






Powered by Blogger.

Follow by Email