මහගම සේකර


(නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් විශේෂාංගය)
                                    

                                      හගමසේකර චිත්‍ර ශිල්පියෙකි. ගීත රචකයෙකි. කවියෙකි. තව බොහෝ දේ ලියාගෙන ගිය හැකි ය. එහෙත් ඇත්ත වශයෙන් ම මහගමසේකර ශ්‍රී ලංකාවේ සිංහල කලාකාරයෙකි. ඔහු සාම්ප්‍රදාය ගරු කළේ ය. අති තියුණු ලෙස ශ්‍රී ලාංකේය මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළේ ය. ඔහු ගැන තවත් කතා කුමට ද?
සේකර කිසි විටෙකත් කිසිවකුට දණ නොනැමුවේ ය. ඔහු කලාව, කලාව ලෙසට ම කරගෙන ගියේ ය. නමුත්, සාම්ප්‍රදායික වශයෙන් ඔහු ඉතා සරල මිනිසෙක් විය.
ඔහු ‘තුංමං හන්දිය’ කරන අවධියේ ඉතා රස සිද්ධියක් මා කියවා තිබේ. චිත්‍රා බාලසූරිය වනාහි ගම්පහ ජීවත් වුණු ‘පරසතු මල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුවිශේෂි මිනිසෙකි.
ඔහුගේ චිත්‍රපටයෙන් පසු සේකර තමන්ගේ ‘තුංමං හන්දිය ද රැගෙන ඔහු වෙතට ගියේ ඊට දායකත්වය ලබා ගැනීමට ය. ‘තුංමං හන්දිය’ ලෙස්ටර්ට ද පෙන්නුවේ ය. හැම තැනින් ම ප්‍රතික්ෂේප විය. නමුත් චිත්‍රා බාලසූරිය කැමැති විය. තවමත් ‘තුංමං හන්දිය’ ශ්‍රී ලංකාවේ සාර්ථක චිත්‍රපටයකි. එහෙත් තුංමං හන්දිය ආර්ථික වශයෙන් අසාර්ථක විය. ඊට පසු දවසක චිත්‍රා බාලසූරියගේ ගෙදරට පැමිණි මහගමසේකර උළුවස්සට ඔළුව තියාගෙන ඇඬුවේ ය. ඇයි අඬන්නේ යැයි ඇසූ විට ඊට දුන් පිළිතුර මා බුද්ධිමය පාඨකයන්ට කිව යුතු නැත. සැබවින් ම ඔහු දැවැන්තයෙක් වන්නේ ඒ නිසයි.
සේකර වෙල් එළියේ නිරුවත් ව එහෙ මෙහෙ ඇවිද්දේ ය. ගෙදර එන්නේ, අම්මේ කියා ගෙන ය. ගමේ දී කා සමඟත් කතා කළේ උඹ බං කියාගෙන ය. කොටින් ම අම්මා තාත්තා සමඟත් කතා කළේ එලෙස ය.
නම් ගම් අවශ්‍ය නැත. එක් දිනක් චිත්‍රපටයක තිර රචනයක් කියවන්නට ගොස් (තුංමං හන්දිය) නිදා සිටිය තමන්ගේ තාත්තාට “තාත්තේ නැගිටපං” කියා අවදි කළේ ය. ‘මොකක්ද යකෝ මට නිදාගන්න දීපං කියා තාත්තා කීවේ ය. “අනේ තාත්තෙ සිගරැට් ඉවරයි. අපට සිගරැට් ගෙනත් දීපං’ “යකෝ මේ අනෝරා වැස්ස”
“අනේ මගෙ චිත්‍රපටයේ කතාව යාළුවන්ට කියවනවා. ඒක හින්දා අපේ වැඩේ නවතින්න දෙන්න එපා. අනේ සිගරැට් ටිකක් ගෙනත් දියන් තාත්තේ බුදු බව අත්වෙයි.”
ඔහුගේ ජීවිතය සම්බන්ධ ව ඉහත පෙළෙන් ඔබට අවබෝධ කරගැනීමට හැකි ය. සේකර කේන්දර ගැන ද විශ්වාස කළේ ය. ඔහුගේ කේන්දරය සම්බන්ධ සත්‍යය ම සිද්ධිය තුංමං හන්දියේ කියා ඇත.
“... මගේ කේන්දරය හැදුවේ ජුවානිස් ආතා ය. වර්ෂ 1929 ක් වූ අපේ‍්‍රල් මස හත් වන ඉරු දින දවල් හිටි පියවරට ජන්ම ලාභය ලත් කුමරුවා වර්ගෝත්තමයි. ජලයෙන් විපත්ති පැමිණෙන්නට පුළුවන්. දහ අටේ දී විතර හුඟක් අපලයි. හැබැයි ඒක පන්න ගත්තොත් නඩුකාරයෙක් තරමට ප්‍රසිද්ධ වෙයි.”
කළු දිග කොට කලිසම, අත් කොට කමිසය බාල වර්ගයේ සෙරප්පු ඔහු පාවිච්චි කළේ ය. හිස කෙස් අවුල් වී ඇත. බොහෝ විට ඔහුගේ උඩු කයේ අත්මේස් බැනියමක් වත් නැති විය. මධුවිතට ලොල් කළේ ය. ඊටත් වඩා තීරෝස් සිගැරැට්ටුවටත් පි‍්‍රය කළේ ය. නිර්මාණ ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් එකක් ම විය.

 

                                                                   ඔහු ‘ප්‍රබුද්ධ’ නිර්මාණය කරද්දි පශ්චාත් නූතන කාව්‍ය විචාරයට පූර්වාදර්ශයක් දුන්නා යැයි නිගමනය කළ හැකි ය. මරණය පවා පාරිභෝගීකරණය වී ඇති බව පළමු ව දුටුවේ ඔහු ය. ඔහු නිට්ටඹුව ගුරු විද්‍යාලයේ දී වොලිබෝල් ගැසුවේ ය. සාමාන්‍ය විදුහල්වලදී කැලෑ පත්තර ගැසුවේ ය. ඔහුගේ කැලෑ පත්තරයක කවියක් මෙහි නොලීවොත් එය අඩුපාඩුවක් විය හැකි ය.
ගමේ ගෑනු ළමයෙක් සමඟ සම්බන්ධයක් පැවැත් වූ ගුරු මහතකුට විරුද්ධ ව ඔහු කවි කොළයක් ලිව්වේ ය. ඉන් එක කවියක් පමණක් සටහන් කරමි.

ආදර බස් කියා ඈ සනසා සොඳට

රූබර මුව කමල පිරිමැදලා සොඳට

කාමර තුළට වී පාසල අරින විට

නාඹර වයසෙ උන් කත ආවා දඟට
සේකර චාරිකාවක් යන විටත් පොත්පත් ගෙන යයි. ඔහු කුඩා කල චිත්‍ර ඇන්දේ බිත්තියේ ය. සේකර මොනතරම් චිත්‍ර ඇන්දත් ඔහු ඒ හැම චිත්‍රයක් ම අම්මාට පෙන්නයි. සේකර මරණය මෙනෙහි කළේ ය.

වැළඳ ගන්න මා ආදරයෙන්

වෙල් එළියේ මා ඇවිදිනා විට

සුළඟ මා ඇතුළත පිටත

දිව ගොසින්
(නොමියම් අත්පිටපතින්)

80 දශකයේ එක් දිනක් කොළඹ විශ්ව විද්‍යාලයේ සේකර ගැන සම්මන්ත්‍රණයක් එවකට කලාව සම්බන්ධ ව මහ වැඩ කොටසක් කළ නිර්මාණ සංවාද කුලකය විසින් පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය දී තිබුණේ පියසීලි විජේගුණසිංහයන්ට ය. ඇය කීවේ මට දී ඇති මාතෘකාව ‘මහගමසේකරගේ යථාර්ථවාදී ලක්ෂණ සම්බන්ධ ව කතා කිරීමට කියා ය. එහෙත් පියසීලි විජේගුණසිංහයන් එහිදී තහවුරු කර සදහන් කර සිටියේ  සේකර යථාර්ථවාදී කලාකරුවෙක් නොවන බව ය. එසේ වී  නම් කොතරම් හොඳ දැයි මට සිතේ.


(සිළුමිණ පුන්කලස)

ජගත් මාරසිංහ


වතගොත
නම :- මහගම සේකර
මුල් නම :- මහගමගේ සමරසේකර
උපන් දිනය :- 1929.04.07
උපන් ගම :- සියනෑ කෝරළේ රදාවාන
මවගේ නම :- රණවක ආච්චිලාගේ රොසලින් නෝනා
පියාගේ නම :- මහගමගේ ජෝන් සිඤ්ඤෝ
පාසල් අධ්‍යාපනය :- රදාවාන රජයේ පාසල, කිරිඳිවැල රජයේ පාසල, රජයේ ලලිත කලායතනය
විවාහය :- 1963 අපේ‍්‍රල්
බිරියගේ නම :- කුසුමලතා සුරවීර
දරුවන් :- ශේෂා පාඨලී (ලොකු දුව), නිරුපමා සත්මාලි (දෙවැනි දුව), රවින්ද මහගමසේකර (පුතා)
ඔහුගේ මුල් ම ග්‍රන්ථය:- ආතර් කොනන් ඩොයිල්ගේ ‘වයිට් කම්පනි’ (White Company) කෘතියෙහි පරිවර්තනයක් වූ ‘ධවල සේනාංකය’ යි. ඉනික්බිති ව පුංචි අපට කයි කතන්දර (ළමා පද්‍ය - 1958), ව්‍යංගා (කේ. ජයතිලක සමඟ - 1960), සද්දන්ත හා තවත් නාටක (නාට්‍ය - 1961), සක්වාලිහිණි (පද්‍ය - 1962), හෙට ඉරක් පායයි (පද්‍ය - 1963), මක්නිසාද යත් (පද්‍ය - 1964), මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ - නාට්‍ය - 1965), රාජතිලක ලයනල් සහ පි‍්‍රයන්ත (පද්‍ය - 1967), තුංමං හන්දිය (නවකතා - 1967), බෝඩිම (පද්‍ය - 1970), මනෝ මන්දිර (නවකතා - 1971), මහගම සේකරගේ ගීත (ගී පදමාලා - 1972), සරු පොළොවක් අපට ඇතේ (ළමා ගීත - 1973), නොමියෙමි (පද්‍ය - 1973) ප්‍රකාශයට පත් විය. .
ඔහුගේ අභාවයෙන් පසු ප්‍රබුද්ධ (පද්‍ය - 1977), මහගම සේකරගේ කෙටි කථා සහ චිත්‍ර (1981), මහගම සේකරගේ නොපළ ගීත (1984) සහ හංස ගීතය සහ තවත් නිර්මාණ (1985) ප්‍රකාශයට පත් කැරිණි. මේ නාමාවලියට එක්විය යුතු අමුද්‍රිත ග්‍රන්ථයක් වනුයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ඉදිරිපත් කැරුණු ‘සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ රිද්ම ලක්ෂණ’ නමැති, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් මුල් වරට පශ්චාත් ජන්‍ය ආචාර්ය උපාධියක් පිරිනැමුණු නිබන්ධය යි. එය සේකර ලියූ විශාලත ම කෘතිය යි.
රැකියාවන් - කොළඹ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ චිත්‍රකර්ම ගුරුවරයා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදක, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ චිත්‍රකර්මය පිළිබඳ කථිකාචාර්ය, රජයේ ලලිත කලායතනයෙහි විදුහල්පති, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රධාන අධ්‍යාපන නිලධාරී, රජයේ කලායතනයේ විදුහල්පති පදවිය


Powered by Blogger.