ලෝකයක්

                       ලෝකයක් 

  නියමිත වේලාවටත් පැයකට කලින් නගරාන්තයේ පිහිටා ඇති රඟහල රසික රසිකාවන්ගෙන් පිරී තිරී ගියේ ය. මේ කාලයේ වේදිකා නාට්‍යයක් නැරඹීමට මෙතරම් පිරිසක් පොරකන්නේ ඇයි ද යන්න එහි නිෂ්පාදකවරයාට ද ගැටලුවක් විය. හරියට ම සවස හයට සීනුව නාද විය. පේ‍්‍රක්ෂකාගාරය අඳුරු විය. මේරුන් වර්ණ දැවැන්ත තිර රෙද්ද මහා බරක් උසුලාගෙන මෙන් සෙමින් සෙමින් දෙපසට ඇදී ගියේ ය. රඟබිමේ මැදට වැටී තිබි රතු පැහැති ආලෝක කඳම්භයක් යට තුරුලු වී පෙම් යුවළක් ආසනයක් මත අසුන් ගෙන සිටී. අඩ අඳුරේදී මේ යුවළ ඉසුරුමුණි පෙම් යුවළ සිහි ගැන්වූ අතර ආලෝකය වැඩිවෙන විට ඔවුන් අඩ නිරුවතින් නොසිටින බව පේ‍්‍රක්ෂකයන්ට අවබෝධ විය. සිතාරයක හඬක් කොහෙන්දෝ නින්නාද වේ.
ඔන්න නිලන්ති අපි අවුරුදු අටකට පස්සෙ ජයගත්තා
අද බැන්දට කමක් නැහැ තව අවුරුදු අසූවක්වත් අපි මේ විදිහට ම ජීවත් වෙමු
එතකොට දරුවො
කල් දාන්න කාලයක් නෑනෙ ජයේ
     නාටකය සිහින් දිය පාරක් මෙන් ඔහේ ගලා යන්නට පටන් ගත්තේ ය. අප්‍රමාණ කරදරවලින් හෙම්බත් වී මධුලෝලත්වයෙන් මරණය සෙවූ ජයතිස්සගේ ජීවිතයට නැවත පණ දුන්නේ නිලන්ති බව පෙනේ. අට වසරක අතෝරක් නැති වෙහෙස ඔවුන්ගේ මුහුණුවලින් සියුම් ව මතුවන සේ කදිමට වෙස් ගන්වා තිබේ. දෙදෙනාටම කර තිබු අංග රචනා චාම් ය; ගැඹුරු ය; සාම්ප්‍රදායික ය. පෙකණිය ද, දෙපා ද වසා නිලන්තියට අන්දවා තිබේ. ඔසරිය දිගු අත් දැමු හැට්ටය නිසා ගාම්භීර පෙනුමක් ගෙන දෙයි. ජයතිස්සගේ සරම සහ බැනියම නිසා ඔහුගේ කඩවසම්කම කාගෙත් නෙත් ඇද ගන්නාසුලු විය.
විනාඩි කීපයකින්ම මේ දෙදෙනා නළු නිළියන් බව පේ‍්‍රක්ෂකයන්ට අමතක වූවා සේය. ද්වේශය, අහංකාරය, කෝපය ඔවුන්ගේ අභිනයන්ගෙන් මතු නොවීය.
ජයතිස්ස...!
මට දැනෙනව...!
ඒ උණට...?”
බැංකු ණයක් ගමු.
රංගාලෝකය නැති වෙයි. වෙනත් වර්ණයකින් නැවත මතු වෙයි. දැඩි නිහඬත්වයකි. පේ‍්‍රක්ෂකයන්ගේ ආස්වාස, ප්‍රශ්වාස ශබ්දය ද එකිනෙකාට ඇසේ. ජයතිස්ස රඟබිමේ ඒප්‍රනයට පැමිණේ. රඟබිම පිටුපස අහස් බිත්තිය ලා නිල් පාටින් දිදුලයි.
ලෝකෙ ඉන්න කොයි බුද්ධිමතාටත් බැරිවුණා ගැහැනිය කියන්නෙ කවුද කියල කියන්නපේ‍්‍රක්ෂකාගාරයේ ද නළුවන් සිටී. අයෙක් කෑ ගසා මෙසේ කියයි.
තමුසෙම කියනව බලන්න
ජයතිස්ස හැඟීම්බර වූවා ද ආලෝකය විසින් ඔහුව හැඟීම්බර කළාදැයි ප්‍රශ්නයකි. ඔහු සිහින් ගැඹුරු හඬකින් පේ‍්‍රක්ෂක ජනතාව අමතයි.
ලෝකයක්
අසුරු සැණෙනින් ම වේදිකාව පිටුපසින් කුඩා දරුවකු හඬන හඬ ඇසේ. සංගීත ශිල්පියන් අතරමං වූවා සේය. පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මැද ජයතිස්සත් ඇත්තටම ඇඬුවා ද? එසේ නොවේ ද? සිතාරය ද හඬයි. ජෝඩු වශයෙන් පැමිණි පෙම්වතියෝ සිය පෙම්වතුන්ගේ අත කොනිති ගැසූ හ. විවාහක ස්ත්‍රීන් සිය ස්වාමීන්ට වැලමිටෙන් තට්ටු කළෝ ය.
සරමක් ද නිලන්ති
නැහැ ලෝකයක්
ජයතිස්ස කඳුළු සලමින් සතුටු වෙන විට ලෝකයක්යන හඬ නවීන තාක්ෂණය ඇසුරින් දෝංකාර දී අඩුවීගෙන යයි. පේ‍්‍රක්ෂකාගාරයේ සිටින ස්ත්‍රීන් සිය ලේන්සු අතට ගත්තේ දාදිය පිසදා ගැනීමට නොවන වග සැබෑවකි. දරුවා තුරුලු කරගත් ජයතිස්ස රඟබිමේ දකුණු පස ඉදිරියට ම පැමිණේ.
     ලෝකයක් කවදාවත් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ඕනෙත් නැහැ. පස්සෙන් එලවල අල්ලන්නත් බෑ. අල්ලන්න ඕනෙත් නැහැ. යටත් කරන්නත් බෑ. යටත් කරන්න ඕනෙත් නැහැ. කොටින්ම ලෝකයක් එක්ක හැප්පෙන්නත් බෑ. හැප්පෙන්න ඕනෙත් නැහැ.
පේ‍්‍රක්ෂකාගාරයේ ස්ත්‍රීහු අත්පොඩි ගසන්නට පටන් ගත්හ. එහෙයින්ම පුරුෂයෝ ද එසේ කරන්නට වූහ.
රඟබිම මැද තට්ටය පෑදුණ වයසක මිනිසෙකි. ඔහු ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙකි. කොටින්ම ගණිතඥයෙකි. අහස් බිත්තිය අඳුරු වී සෙමෙන් සෙමෙන් රතුපාට නිල්පාට මතුවන්නේ සූර්ය හස්තයේදී මුහුදු වෙරළට අහස්කුස දර්ශනය වන ආකාරයට ම මෙන් පෙනේ. ගණිතඥයා ජයතිස්ස දෙස ටික වේලාවක් බලා සිටී.
ශුකු චන්ද්‍ර යෝගය තියනවා
ඒ කියන්නෙ කෙල්ලට අපල ද
සිකුරු කියන්නෙ හරියට ජනපි‍්‍රය තරුණ නිළියක් වගේ ගැහැනියක්. චන්ද්‍රය ගැන කියන්න කෙනෙක් නැහැ. අහල තියන විදිහට නම් යසෝදරා වගේ ගැහැනියක්. ඉතින් ඒ දෙන්න එකතු වෙන එක ගැළපෙන්නෙ නැහැනෙ.
ඔහුට මෙය අප්‍රභංශයක් නොවීය. වෘත්තීයෙන් සිංහල ගුරුවරයකු වූ ඔහු අයන්නේ නමක් සිතමින් ආපසු යන බව පෙනේ. රඟබිම සම්පූර්ණයෙන්ම අඳුරු විය.
මොකක්ද ජයතිස්ස නම
ක්‍රමයෙන් රඟබිමත් සමඟ පේ‍්‍රක්ෂකාගාරයත් ආලෝකවත් වූ විට ජයතිස්ස මහ හඬින් කෑ ගෑවේ ය.
ආලෝකා
පේ‍්‍රක්ෂකයන් අහිංසක ලෙස සිනහ වීමට පටන්ගත්තා පමණි. විදුලිය විසන්ධි විය. රඟහලේ විදුලිජනක යන්ත්‍රය පණ ගැන්වීමට විනාඩි පහක් පමණ ගතවිය. ඒ කාලය වසර පහළොවක් පමණ ලෙස පේ‍්‍රක්ෂකයන්ට දැනිණි. පේ‍්‍රක්ෂකාගාරයෙන් කවුදෝ මහ හඬින් කෑ ගසනවා නැවත ඇසේ.
ආලෝකා - ලෝකය අඳුරේ
සියල්ලෝ සිනාසෙනවාත් සමඟ ම ජෙනරේටර් හඬ ආරම්භ විය. ආලෝකය පහළ විය. එහෙත් විදුලිජනක යන්ත්‍රයේ ශබ්දය මිනිසුන්ට හිරිහැරයක් විය. නාට්‍යය දර්ශනය නිමාවට පත්වන තුරුම ඒ හඬ රැව් දුන් අතර ටික වේලාවකින් සියල්ලන්ට ම එය සාමාන්‍ය දෙයක් බවට පත්විය. ජයතිස්ස පාත්‍රයන් රැස්කොට මද ආලෝකය, මෘදු සංගීතය, චාම් අභිනය, සරල අංග රචනය ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යා යුතු බවට තරයේ උපදෙස් දුන්නේ ය.
    නැවත වේදිකාව පමණක් ආලෝකවත් විය. පේ‍්‍රක්ෂකයන්ටත් හොරා ආලෝකා ක්‍රමයෙන් උස් මහත් විය. මවගේ බලවත් උත්සාහය නිසා ආලෝකාට ජනපි‍්‍රය පාසලක් ද උරුම විය. එහෙත් සිය මව මෙන්ම ඇය චාම් සරල කෙල්ලක් වශයෙන් නමක් දිනාගත්තා ය. කෙස් කලඹ දණහිස දක්වා දිග ය. හමේ මිලේනියම් වර්ණය ඇතත් ඇය චාම් බැවින් පාසලේ කොල්ලෝ ගමේ ලංසි කෙල්ල කියා විහිළු කළෝ ය.
ආලෝකා අහස් බිත්තියට මුහුණ දී සිටී. දුරකථනයෙන් කාට ද කතා කරයි.
ඔව් අම්මී පූල් එක ගාවදී, වතුර ගාව තමා.  ඉක්මනට එන්න
අහස් බිත්තිය නැවත ක්‍රමයෙන් රතුපාට විය. නැවත සියල්ල අඳුරු වී එක පාරට දැඩි ධවල ආලෝකයෙන් රඟබිම ආලෝකවත් විය.
ඒ ආලෝකය හිරු එළිය මෙන් රෞද්‍ර විය. සංගීත කාරයෝ එක්වරම වේගවත් වී වරෙක බයිලා ද ගැයූහ. තවත් වරෙක දවුල්, තම්මැට්ටන්, ගැටබෙර, අණබෙර, දෙවොල් බෙර එකවර වයන්නට පටන් ගත්තේය. ඩී. ජේ. සංගීත වාදන ද ඒ අස්සේ පටන්ගති. ජයතිස්ස මග්බෝධ වී නිෂ්පාදන, අධ්‍යක්ෂ, ප්‍රධාන නළුවා වූ ඔහුව දැන් කිසිවෙක් මායිම් නොකරයි. දෙබස් දෙපිට කැපෙන පරුෂ වචනවලින් ආඪ්‍ය විය. ජයතිස්ස කෝපයෙන් කෑ ගැසුවේ ය. කලිසමක් ගසාගත් නිලන්තී මැදට පැන ඔහුව පසකට තල්ලු කර එයත් නාටකයේ තවත් ජවනිකාවක් බවට පත් කළා ය.
      අංග රචකයෝ ගැහැනුන්ගේ මුහුණු වෙස් මුහුණු බවට පත් කළ හ. ඇඳුම් නිර්මාණ ශිල්පියෝ ආලෝකාට පමණක් නොව නිලන්තීටත් කොට ම කොට ගවොම් ඇන්දුවෝ ය. දෙදෙනාගේ ම කොණ්ඩා කපා හිසෙයි යම් යම් පැති සුදු දුඹුරු වර්ණයෙන් පින්තාරු කළහ. කනකර ආභරණ ගලවා දැමුවේ ය. ඉන්පසු පූජාවට තබන හරකුන්ට මෙන් විශාල අරුමෝසම් ඉමිටේෂන් බඩු කනකර මත සවි කළෝ ය. අවසානයේදී නාසයන් ද විද්දෝ ය. නාසවල ද ඉමිටේෂන් ය.
සංගීතකාරයෝ තව තවත් ශබ්දය වැඩි කළෝ ය. ශාලාව දෙදරන්නට වී. පේ‍්‍රක්ෂකයන් ද එසේ ම විය. නිලන්තිය බිකිනියක්  ඇද ඡායාරූප ගන්නා අයුරු දැක ජයතිස්ස රඟබිමෙන් මිදුලට පැන්නේ ය. නෙස්කැෆේ ලොරියක් වට කොට තවත් පිරිසකි. මහ රෑ සිම් කාඩ් අලෙවි කිරීමට පාට පාට කූඩාරමක්ද ගසා තිබේ.
ෆ්‍රයිඩ් රයිස් පැකට් දැමු බෑග් එල්ලා ගත් යුවතියන් රඟහලේ දොරවල් මුරකරගෙන සිටී. බුද්ධිමත් බව පෙනෙන කොල්ලෝ රැලක් මුල්ලක ගංජා ඉරීමේ නිරත වෙති.
අංකල් තාම ඉන්ටවල් ද?”
ජයතිස්ස යක්ෂාවේශ විය. දැන් පාත්‍රයන් රඟබිමෙන් පහළ ය. පේ‍්‍රක්ෂකයන් රඟබිමේ ය. ඔහු යටිගිරියෙන් කෑ ගැසුවේ ය.
තොපිට වදකහ සුදිය ද? රැඟුම් පාලක මණ්ඩලේ බලපත්‍රය තියෙන්නෙ මා ගාව මම කියන දේ ඇහුවෙ නැත්නම් කරදර වෙයි.සියල්ලන්ම නිහඬ විය. ඉණට අත්දෙක තබා ඒ දෙස බලා සිටි නිලන්තී කළු කණ්ණාඩි කුට්ටම සියතට ගෙන ජයතිස්සගේ ඇඟට පැන්නේ ය.
පර බල්ලො, මේ නාට්‍යයේ අධ්‍යක්ෂක උඹ ද? නැත්නම් මම ද? පොත් ගුල්ලා. කවුද උඹ ව බේරගත්තෙ. කවුද උඹව ගණන් ගන්නෙ
ජයතිස්සට පහරවල් දෙකක් ම වදිනවා පේ‍්‍රක්ෂකයෝ බලා සිටියහ. පේ‍්‍රක්ෂකයෝ නිලන්තීට හූ කියන්නට වූහ. එහෙත් ජයතිස්සට දැනෙන්නේ පේ‍්‍රක්ෂකයෝ හූ කියන්නේ තමාට බවයි. පේ‍්‍රක්ෂකයන්ගේ සිත දිනාගත හැකි දෙබසක් පිටපත් කියවන්නා රහසින් ජයතිස්සට මතක් කර දුන්නේ ය.
මේකි ගණිකාවක්
පේ‍්‍රක්ෂකාගාර චරිතය නැවත රංගනයට එක් විය.
එතකොට ළමයි
ඔහු සත්‍ය ප්‍රකාශ නොකළේ ය. ඔහුට ඔය දේවල් තරම් නොවේ. එහෙත් ඔහු එසේ ක්‍රියා කළේ මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට පමණි. පේ‍්‍රක්ෂක චරිතය නැවත කෑ ගැසුවේ ය.
එතකොට ළමයි
මම දන්නෙ නැහැ
විරෝධය දුම්රියක් මෙන් ආපසු හැරිණි. හූ හඬින් ශාලාවම දෙදරුම් කන්නට විය. නිලන්තියට එල්ල වූ විරෝධය ජයතිස්සගෙන් අවසන් වූවා සේය. සියලු කුණු බෙංගාල බොක්කට ය.
ජානවලින් අම්ම තාත්තව තීරණය වෙන්නෙ නැහැ. දරුවො විසිනුයි අම්ම තාත්තව තීරණය කරන්නෙ
හූ හඬ තව තවත් වැඩි විය. ප්‍රභූන්, උගතුන් සහ සාමාන්‍ය මිනිස්සු එක එල්ලේ ජයතිස්සට ඇඟිල්ල දික් කළහ. කොළ උන්ඩි නෙස්කැෆේ කෝප්ප එක දෙක ජයතිස්ස දෙසට එල්ල විය. එන පොට හොඳ නැත. ජයතිස්ස පිටුපස දොරෙන් වැසිකිළියට රිංගා එහි ජනේලයෙන් එළියට පැන ගත්තේ මාධ්‍යවේදීන්ට ඇති බිය නිසා ය. ඔහු දිව්වේ ය. පස්ස නොබලා දිව්වේ ය. අවසානයේ ඉවෙන් මෙන් නතර වූයේ අවන්හලක් අසල ය.
මොකද මහත්තය අවුරුදු ගාණකින්, ආයෙ පටන් ගන්න ද?”
පටන් ගන්න තමා හදන්නෙ. අසම්ප්‍රදායට විරුද්ධ වෙන තනි මිනිහකුගේ උරුමය මේක තමා
ආලෝකා හති දාගෙන තාත්තා සෙව්වා ය. එහෙත් හමු වූයේ නැත. ඔහුගේ නාට්‍ය පිටපත සහ පෑනක්, කබල් සෙලියුලර් ෆෝනයත් පමණක් වැසිකිළියේ තිබී හමු විය. ඇය පියාගේ සිම් කාඩ්පතෙහි ඇති සියලු අංක අමතා පියා විමසුවේ ය. ගම් රට පීරුවේ ය. ඒත් පියා හමු වූයේ නැත.
සිය පියාගේ අඩුව පුරෝ ගැනීමට දෝ ආලෝකා හදිසියේ විවාහ වී, සිය මවත් සමඟ විදේශගත විය. සියල්ල වෙනස් වී ඇත. ආලෝකය අඳුර මැද ඔවුහු නොයෙකුත් කවි සින්දු ද ගායනා කළෝ ය.
ආලෝකා ඇගේ කුලුදුල් දරුවා බිහි කළේ විදේශ රටක යි. එදා දිග ගවොමකින් සැරසී සිටි ඇය තම දින පොතේ ලියු සටහනක් ඔසරියක් ඇඳ සුදු උපැසන් පැලඳ සිටින සිය මවට බලන්නට දුන්නාය.
ආදර තාත්තේ
මමත්
ලෝකයක්
ප්‍රසූත කළා.
මේරුන් වර්ණ දැවැන්ත තිරය සෙමින් සෙමින් වැසී ගියේ ය.
-ජගත් මාරසිංහ-


Powered by Blogger.

Follow by Email