සුජිත්ට නිමිත්තක්




 සුජිත්ට නිමිත්තක් 
-ජගත් මාරසිංහ-

 දාර්ශනික තීර්ථකයා
         
                     නිම නොවූ වංශ කතාවක් උත්තර වංශ කථාව ලෙස කණගාටුවෙන්  සඳහන් කළ යුතුය. මහා  සිංහලයේ වංශ කථාවේ  රික්තය‍   පිරවීමට බොහෝ දෙනා උත්සාහ ගත්තද එය නිසි ලෙස  ඉටුවී  නොතිබීම දැවැන්ත අඩුපාඩුවක් ලෙස සැලකිය  හැක.  නමුත් එදිරවීර  සරත්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන්, සුගතපාලද සිල්වානන්, සයිමන් නවගත්තේගමයන් වැනි විද්වත් කලාකරුවන් පිරිසක්  ‍මේපිලිඹඳ  නිසි අවබෝධයෙන්  කටයුතු කර තිබේ. මේ උත්සහයේ කැපී පෙනෙන පුද්ගලයා වුයේ  දයානන්ද ගුණවර්ධනයන්ය. ඔහුගේ ගජමන් නෝනා මධුර ජවනිකා,ආනන්ද ජවනිකා යන නිර්මාණ  ඒ  සොයා යා‍‍මේ ප්‍රතිඵලයකි  

                                                           මම එකල සිංහල බෞද්ධ මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටියෙමි.මට  තවමත් ඉතා සමීප යහළුවෝ දෙදෙනෙක් ඇති බව සිතා සිටිමි. ඒ දෙදෙනානම්  දැනට ජීවිතය අතහැර සිටින සිද්ධාර්ථ  සහ කාල් මාක්ස්ය. නමුත් මට ඒ දෙදෙනා පිළිඹඳ නුරැස්සන සුලු හැඟීමක් ද  තිබේ. මක්නිසාද  යත් ඒ දෙදෙනාගේ වචන වලින් පිට කිසිවක් සිතන්නට මිනිසුන්ට ඉඩතබා නැති බැවිනි. මේ පිළිඳව ගැඹුරට සිතිය යුතුමය.කොහොමින් හරි මට වඩා වයසින් වසර දාහතරක් බාල වූ සුජිත් අක්කරවත්ත නමැති ගැටවරයා සමග විසි එක්වන ශත වර්ෂයේ උදාවත් සමගම මම පුංචි බොල්ලේ බෝ ගහ යටදී විවාදයක පැටලුනෙමි. එහිදී ඔහු සතුව තිබූ අවි ගොඩින් කෙලින්ම ටී පනස් හයක් ගෙන මාගේ මාක්ස්වාදී අස්තානය කුඩුකිරීමට ඉදිරිපත් වූ අකාරය එ් කාලයේ කිසිසේත්ම සරදමක් නොවීය. එහෙත් ඒ නිමේශයේ ඔහු නොදන්නා බොහෝ කාරණා  අප මොළ ලොඳ යට සැඟවී තිබිණි. අග්‍රවාදය මාක්ස් වාදය පිළිගත්ත ද මම පිරිවෙනක උගන්වන ගුරුවරයෙකු වූවෙමි. එමෙන්ම රාවණා යුගයේ සම ව්‍යාධියට අධිපති ලෙස සැලකෙන ව්‍යාධදේව සහ එවැනි අභිචාරී සංකල්ප ආදරයෙන් අධ්‍යනය කරන බව සුජිත් අක්කර වත්ත  නොදැන  සිටියේය.කෙසේ හෝ අපගේ සටන නිමා  විය. අපි  එකඟතාවයකට පැමිනියෙමු.            

                                       සුජිත් ජනතා මිතුරෝ සිට ජාතික හෙළ උරුමය දක්වා එකල විශේෂ භූමිකාවකට පන දුන් බව මම දනිමි. මම ජාතික සහ වාම වාදී ව්‍යාපාර වලින් ගිලිහී  ගිය අපතයන් නොවූ  බොහෝ දෙනා අවසානයේ තෝරාගත් තැබෑරුම තෝරා ගත් මධු ලෝලියෙකු වූවෙමි. නමුත් සිංහල බෞද්ධ මතවාදට සම්බන්ද කිසිම සමාජ ව්‍යාපාරයක ගැත්තෙකු නොවී සිටීමට වග බලා  ගතිමි. එහෙත් අභයගිරි සංස්කෘතිය මම උසස් කොට සලකන්නෙකු  වූවෙමි. මා අසා කියවා ඇති පරිදි මේ ලෝකයේ සිටි බලවත්ම රැඩිකල් වාදියා සිද්ධාර්ථයන් ලෙස හඟිමි. ඔහු කෙතරම් රැඩිකල් වාදීද යත් පාත්තරය දියට දමා තමාද උඩුකුරුව ගමන් කිරීමට මුල් විය. සුජිත් නැමති වෙනස් තරැණයා හමුවූ විටද, ඔහු ලියන කියනදෑ කියවන විටද එය ඔහුටද වැටහී ඇති බව මම තේරැම් ගතිමි. ඔය අතර කාලයේ මම සිහිනයක් දුටුවා යයි සිතින. ඒ පාහියන් අභය ගිරියේ නේවාසික වන්නට පෙර සුජිත් සහ මා එහි තිබූ විශාල දාන ශාලාවේ ලිප ගිනි  මොලවන ආකාරය බලා සිටි අයුරුය.

                                                      ක්‍රමයෙන් ලාංකීය ඇකඩමියේ විද්වතුන් ගොලු වූවා සේය. ඒ නිහඩත්වය බිදිමින් සමාජ ව්‍යාපාර නාමයෙන් විවිධ කල්ලි කණ්ඩායම් බිහිවන්නට විය. මේ දහරාවන් අතර කොටු වූ බොහෝ කුහකයෝද වූහ.මේ තත්ත්වය පිළඹඳ  අවබෝධයක් සුජිත්ට ජීවිතයෙන්ම උරුම වී තිබේ. කෙමෙන් ඔහුත් මමත් සහබන්ධන  පේ්‍‍‌‌‌‌‌‌මයක වෙඵණි. අන්තෝනියෝ ග්‍රම්ස්චිගේ සිතීමෙන් බැලූ විට ඇකඩමියාවට ඓන්ද්‍රීය බද්ධිමතුන් බැහැර කළ නොහැක. සුජිත් අක්කරවත්ත ද  ඓන්ද්‍රීය බුද්ධිමතෙකි.  ලංකාවේ තිබූ එකම බලවත් සමාජ ව්‍යාපාරය හෙළ හවුලයයි වරෙක මට දැනේ. යම් යම් ගැටලු සහගත තත්ත්වයන් වරින් වර මතුවූ නමුත් ඔවුන් යහපත් දැක්මකින් සමාජය වෙනස් කරන්නට දායක විය.  ඔව්හු ජාතික ඇඳුමක් නැති ජාතියකට ජාතික ඇදුමක්, ජාතික කොඩියක්, ජාතික ගීයක් ස්තාපිත කිරීමට  මහන්සි ගත්හ. එලෙසම පිරිමින්ට රෙද්ද සහ සරමද ස්ත්‍රීන්ට ඔසරියද බලයක් බවට පත් කළහ. කොටින්ම ජාතික ව්‍යාපාරයේ සුවිෙශ්ෂ වැඩ කොටසකට කරගසමින් ගෙදරට බුදු පහනද, පංසලට  සිල්රෙද්දද එක් කිරීමට තිරය පිටුපස සිටිමින්  අඟනා යුතුකමකම්  ඉටුකෙළ්ය. දුහුනන් දැනුම් සඳහා සිදත් සඟරාව යවත් කාලීන කරමින් ජාතික ව්‍යාපාරයේ බුද්ධිමය ජව සම්පන්න පෙරගමන් කරුවෙකු ලෙස  ඉතිහාසයට එක් උනේය. මේ ආලෝකය අනු දැක හෙළ මියැසිය සොයමින් සුනිල් ශාන්තයෝ හෙළයේ මුල්ම  දේශපාලන සංගීතඥයා වෙමින් ජාතික සංගීතයක් සොයා යාමේ මහා  මෙහෙවරට බලයක්ම වූහ. අහස පැහැදිලි විය.වලාකුළු විනිවිද සියල්ලෝ නෙත් හැර ජීවිතය සොයන්නට පටන්ගත්තා සේය.රේකාව,මනමේ පිටුපස මිනිසුන් පෙල ගැසෙන්නට පටන්ගත්තේය. තවමත්   අපගේ මොළයට නානා සුවඳ දැනෙනේ ඒ යුග පුරුෂයන්ගේ ප්‍රාණ වායුව සේ සිතෙන්නේ  අහඹුවකින් නොවන්නේය.                                                                                                              
                                                                   
                                                   සියල්ල මෙසේ සිදුවන අතර තුර අප දේශපාලනික චින්තනයේ තිබි රික්තකයන් දැවැන්ත ප්‍රාකාරයන් බවට පත්වීමටද වැඩිකාලයක් ගත වූයේ නැත.ඓතිහාසික හෞතික තත්ත්වයන් පවා විග්‍රහ කර ගැනීමට බටහිර ඉතිහාසයම කරපින්නා ගත්තා වූ  වමේ ව්‍යාපාරය බුද්ධ ධර්මය ගැන පවා විවිධ ආකාරයට නැවත කියවීම් කරන්නට පෙළඹී ඇතිබව සාධනය කළ හැක. 40 දශකයේදී මාටින් වික්‍රමසිංහ බුදුසමය සහ සමාජ දර්ශනය නම් ග්‍රන්තයේ බුද්ධ ධර්මය පිළඹද  මාක්ස් එංගල්ස් ගේ කියවීම් සම්බන්ධව යම් කියවීමක් කර ඇති නමුත් ඒ පිළිඹද වාමාංශික බුද්ධිමතුන් නිහඬ පිලිවෙතක් අනුගමන කර තිබේ. 80 දශකයේ අරම්භයේදීම සොභාදහමේ දයලෙක්තිකය නම් පරිවර්තන කෘතිය දොරට වැඩි අතර එය කියවමින් සිටියදී මා අත්අඩංගුවට ගත්තේ හදිසි නීතිය 17-1 වගන්තිය යටතේ අනාගතයේදී රාජ්‍ය ආරක්ෂාවට බාදාවක් වීමට ඉඩ ඇති  බවට චෝදනා කරමිනි. ඉන්දුලංකා ගිවිසුම මුල්කර ගනිමින් සිදුවූ මෙම විකට භයානක අත්දැකීම ලාංකේය පසුගාමිත්වය අත්දැකීමට පමණක් මට පිටි වහල් විය. එදා සිරගතවී සිටි රැඳවියෝ බුද්ධ ධර්මය සහ ඉතිහාසය කියවමින් දිවා රෑ සංවාද කරන්නට පටන් ගත්හ. මම ත්‍රී පිටකය, සොබාදහමේ දයලෙක්තිකය, තන්ත්‍රයානය, ඉතිහාසය, හරයා සියල්ලන් සමග ගැටෙන්නට වී. ඒ කඳවුරේ  සිටි රැඳවියන් අතුරින් මා සොයන දේවල් පිළිබඳ  ආදරයෙන්  සංවාද කිරීමට නොනිදා දායක වූයේ රැඳවියෝ සිය ගණනකින් දෙදෙනෙකු පමණි.  මේ  ඉඟියෙන් ඔබට එදා සමාජ  ප්‍රවනතා පිළිඹඳ ගැඹුරු යථාවක් අවබෝධ විය යුතුය. මේ අත්දැකීම  ලැබුවේ  එකල මා   පමණක් නොවන බවද  සඳහන් කළ යුතුය. ඒ ගිරි යථා මිනිසුන්ගෙන් ජීවිතය අහම්බෙන් ආරක්ෂා වී ඇත්තේ අත‍‌ාෙළස්සකගේ පමණි. පසුකාලයේ තැබෑරුමේදී නම් මට එවැන්නෝ වරින් වර හමු විය. අසූව දශකය  පිළිබඳ ඒ සිදුවීම ඉතා කෙටියෙන් මා සඳහන් කර තැබුවේ බොහෝ දේ කෙටියෙන් ඔබට දැනී යන බව දන්නා නිසාය.


                                                 කුමන  සමාජ කණ්ඩායම් සමාජ ව්‍යාපාර වෙසින් හතු පිපෙන්නාක් මෙන් මතු වී  හඞ නැගූ නමුත් සැබවින්ම සංගත දැක්මක් සැඟවී  තිබුණේ  අභය ගිරි ආධ්‍යාත්මික ආවේශයටය. අභයගිරි සංස්කෘතික දැක්ම විවෘතය. සැබෑවටම මේ පොළවේ විවෘත දැක්මක් තිබුනේ වාමාංශික ව්‍යාපාර වලට නොව අභයගිරි මූලයන්ගෙන් විකාශිත විශ්වීය දැක්මටය.මේ පොඩි කොල්ලා මතුවන්නේ යටපත් වී ඇති අභය  ගිරි මූලයන් ගෙන්  බව හගිමි. ක්‍රි;1215 දී  මාඝගේ ආක්‍රමණය  ක්‍රි;පූ 89දී ආරමිභ වූ අභයගිරිය පරිහානියට පත් කළ නමුත් ඔවුන් ගෙන් රටට සිදුවූ  සේවය ඉන් නො නැවතුණි. දඹදෙනණි අවදියේ ලියැවුණු පූජා වලිය නම් මහා ග්‍රන්තය මහා නේත්‍ර ප්‍රාසාදිනියන්ගේ කෘතියකි.  කෝට්ටේ යුගයේ  හංසය සහ බුදුගුණ අලංකාරය රචනා කළ  වීදාගම හිමියන්ද අභයගිරියෙන් දැල්වූ ශාස්ත්‍ර එලියෙන් මතු වූ යතිවර හිමි නමකි. අභයගිරි නේත්‍රමූලයෙන් පැමිණි ශාස්ත්‍රාලෝකය යලි කෝහේදී හෝ මේ නිමේශයේ හො පත්තු වෙතැයි මමද බලාපොත්තුවෙන් කල් ගත කලෙමි.  එක්තරා කාලයක සැප සතුට තිබියදී ඒ ගැන නොතකා කුසට අහරක් නැතිව මහපාරේ ඇවිද  ගිය සුජිත් අක්කරවත්ත  නම් දාර්ශනික තීර්තක කොලු ගැටයා යට සඳහන්  කළ බොහෝ විද්වතුන්ගෙන්  ඉතුරු බිතුරු වූ  රික්තකය පිරවීමට අවම කාලයකින් හෝ ඉදිරිපත් වීම අනාගත පරපුරට ප්‍රාර්තනාගාමී පිංකමක් බව සැබෑවකි. මක් නිසාද යත් ඔහු මේ කර්තව්‍යයට අත ගැසූ දා සිට ඒකාධිකාරී විචාරකයන් ඔහු මගහැර ගිය බව පෙනේ.ඒ අභගිරි සංස්කෘතියේ උණුසුම ඔවුනට නොදැනෙන නිසා වීමට පුළුවණ. ධර්මය ධර්ම සාහිත්‍යය නොදැන විචාර අවකාශයේ කරනම් ගසන්නන් මල විකාරයන් බවට පත් වෙද්දී සුජීත් අක්කර වත්ත ජාතික ව්‍යාපාර සෙවනේ රැඳී සිට පලක් තිබිය නොහැක. එයද උත්තරවංශය මගහැර විචාරකයන් යන ගමනේ ප්‍රතිඵලයකි.
                                              ථේරවාදයද, මාක්ස් වාදයද බොහෝ අය අතින් ලියවෙන්නේ යම්  අවේණික න්‍යාය රටාවකට යටත්වය. අභය ගිරියට ගරුකරන  විචාරකයන් සුජිත්ව සඟවා තැබීමට කටයුතු නොකරනු ඇතැයි සිතමි. අභයගිරිය මතුකිරීමෙන් මහා විහාරය හෝ මාක්ස් වාදීන්කිසිත් නොකළා යන්න කියන්නට කිසිසේත්ම මට අවශ්‍යයතාවක් නැති බවද  සඳහන් කළ යුතුය. බොහෝ දෙනෙකුට මග හැරී ගිය චූල  ‍‌ඓතිහාසික   දැක්මක් සුජිත් නිශාන්තය ඉල්ලන හිරු සේ පෙන්නා දී ඇත. නිරාමිස තන්ත්‍රයේ බුදුවරු පවා මතු කළ චින්තන රටා සුජිත්  ථේරවාදී  සංකල්ප තුලින්ම ඔප්නංවා තිබීමද අගේ කළ  යුතුය.
                   සුජිත් ගේ භාෂාව වාමාංශික බලපෑමෙන්  සපුරා වෙනස් වූද පාඨශාලීය  සිංහල භාෂාවෙන්ද  වෙනස් වූ  ස්වීය නිදහස් හද බසකි.  ‘’දිගාමඩුල්ලේ ආශ්චර්ය ‘’ලියූ මායා රන්ජන්ගෙන් පසු මට නම් මෙවැනි ස්වීය නිදහස් හද බසක් හමු වූයේ සුජිත් අක්කරවත්තගෙනි. සිංහල බෞද්ධ ජාතිවාදියෙකු ලෙස සමහරු සුජිත්ව වර්ග කිරීම අනිවාර්ය බවද සැබෑවකි. ඒ උත්තර මූල සංස්කෘතියේ නොදැනුම නිසා බව ද සැබෑවකි.ඉතිහාසයට පමණක් නොව ‍‌‍ඓතිහාසික බෞතිකවාදයටද නිගරු කරන එවැනි ඊනියා වාමාංශිකයෝ අභයගිරි සංස්කෘතික අවකාශය මෙරට මාක්ස් වාදයේ පැවැත්මට පිටිවහලක් වී ඇති බව වටහා ගැනීමට තරම් නිරහංකාර නොවන බව මේ නිමේෂයේද සැබෑවකි.

                                 මා සුජිත්ව දකින්නේ ඔහුගේ ලේඛන තුල පමනක්ම නොවේ.ඔහු ලියන කියන දෑ බොහෝ විට ඔහුගේ ජීවිතය  තුලින්ද මතුවේ. ලාංකේය වානිජ දේශපාලන  දේහයේ ක්‍රියාධරයෙකු බැවින් හෙට ඔහුගේ හද ගැස්මට කුමක් වේදැයි කියන්නට මම පේන කියන්නෙකු නොවෙමි. ඔහු එක්සත් ජාතික පක්ෂයට සංක්‍රමනය වූ පුවතින් කලක    මාද කම්පා  වූවෙකි. එහෙත් එය අපේ ඔළුවේ දිවෙන මනස්ගාතයක් මිස සැබෑවක් නොවන බව ද සැබෑවකි. ඒත් බං සුජිත්.........උඹ වානිජ දේශපාලනය නොකරන්නේ නම් යහපති. මක්  නිසාද යත් උත්තර වංශයේ ගිලිහී ගිය ඓතිහාසික චූල දේශපාලන සංකල්ප මේ නිමේෂයේ පුරුද්දන්නට මහන්සි ගන්නා  අතලොස්සක් වූ හදාරන්නන්ගෙන්  නුඹ  සාමින්‍ය සමාජයෙන් මතුවූ කැපී පෙනෙන ඓන්ද්‍රීය බුද්ධිමතෙකු බැවිනි. .


                             සැබවින්ම ආලෝකය සූර්ය දිව්‍ය රාජයාගෙන් ජනිත වන්නාක් මෙන්  පෙනෙන ආලෝකයම වන්නේය.  එහි ද්‍රව්‍ය වාදී  පදනම මට කම් කිම්.ආලෝකය යනු අඳුරමය කියා හෝ ප්‍රවාදයක් නිර්මානය කර ජන යහපතට වැඩ ගන්නවානම් යපතක්ම වෙනවා ඇත. විප්ලව, කැරලි සිදුවන්නේ ආර්තික සාධක පංති අරගල නිසා නොව සූර්යා මත හට ගන්නා පිපිරීම් නිසා බව ප්‍රවාදයක් බිහිකර එය ක්‍රමයෙන් සාධනය කරමින් සිටි රුසියානු විද්‍යාඥ චිජිවස්කිව ස්ටාලින් තමා මිය යන  තෙක්ම   හිර  ගෙට දැම්මා සේ  සූර්යාලෝකය ගැන කතා කරන්නට ගොස් වාද වලට පැටලෙනවාට වඩා අතීත උදුනක් ගැන කතා කිරීම යහපත් සේ මට දැනේ.මම නැවත සිහිනයක් හැබැහින් දුටුවෙමි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා  පන්දහසකට පමණ බත් දැමූ බත් ඔරුවේ ගිනි දැල්වී තිබේ. ඒ ආලෝකයෙන් පමනක් සුජිත්ගේ මුහුණ මට මැනවින් දර්ශනය වේ .කාලෙකට පසු පෑන අතට ගත්තේ අනාගතයත් ඉතිහාසයත් පවතින්නේ මේ නිමේෂයේ යන මහා ත්‍රාන්තික දැනුම සිහි වී නම්  නොවේමය. අතීතය සහ  වර්තමානය සහ අනාගතය ඔය දෙසන කිසිවක් මත රඳා  නොපවතින  බව දැනෙන  නිසාය. එසේ නම් මේවා රඳා   පවතින්නේ  කුමන අවකාශයකද? අප අභයගිරියට ආදරය කළ   යුත්තේ ඇයි දැයි  ඹබට දැන්  වත් වැටහෙන්නට පටන් ගත යුතුය.

ජගත් මාරසිංහ
                                             
                                              


Powered by Blogger.
There was an error in this gadget

Follow by Email