මතු ආත්මය






මතු ආත්මය

කාර්යාලයේ සිටින සියලු පිරිමින්ට හොරා ගල්පිහිල්ල ඇය දෙස වරින් වර බලයි. එහෙත් ඇය ඔහු දෙස නොබලනවා සේ ය. එක එල්ලේ නොබැලුව ද ගැහැනියකගේ දර්ශන පථයෙන් කිසිවක් ගිලිහී යන්නේ නැත.
චාන්දනී තරමක් උස සුදු ගැහැනියකි. ඇගේ බැල්ම තියුණු ය; මන බඳින සුලුය. කලාතුරකින් කට කොනකින් සිනහවෙන ඇගේ දෙනුවන් අහංකාර පෙනුමකින් යුක්ත ය. කිසිවෙකු සමඟ වැඩි කතාබහක් නැති ඇය සැබෑවට ම ප‍්‍රියකරු ය.
”ඔයාගෙ මහත්තය කොහෙද වැඩකරන්නෙ”
”එයා නැතිවෙලා ගොඩක් කල්”
”තවම එයාට ආදරේද?”
”ආදරේ කියන්නෙ මොකක්ද කියල මම තාම හොයනව“
කාර්යාලයක් තුළ ගැහැනියක් දෙස බැලීම ද ලේසි පහසු කටයුත්තක් නොවන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ලිපිකාරයන්ට සහ ලිපිකාරියන්ට තිබෙන්නේ උකුසු ඇස් ය. ඔහු ජනේලයට මුහුණලා ලියන මේසය හරවා ගත්තේ එබැවිනි. පිටතින් ටින්ටඩ් කරන ලද ජනෙල් වීදුරුවෙන් චාන්දනීගේ ප‍්‍රතිබිම්බය දැන් ඔහුට මනාව දර්ශනය වේ. සැබෑවටම ඇය චාන්දනියක් බව ඔහුට දැනිණ. එක එල්ලේ ඇය දෙස බලනවාටත් වඩා ඇගේ ප‍්‍රතිබිම්බය දැකීම ගල්පිහිල්ල ප‍්‍රිය කළේ ය.
ඇය වැඩි පුරම ඇඳ පලඳින්නේ කලිසම් සහ ටී ෂර්ට් ය. ගවොමක් හෝ සායක් අඳින්නේ කලාතුරකිනි. ලියන්නේ වම් අතිනි. කොණ්ඩය බඳින්නේ තරමක් හිස් මුදුනට වෙන්නට ය. වම් අතින් වැඩ කරන බොහෝ ගැහැනු ඇඳුම් තේරීමට අති දක්ෂයන් බව ඔහු අත්දැකීමෙන් දනී. ඇයද එසේමය. ඇගේ ඇඳුම් පැලඳුම් කෙරෙහි ඔහු කෙතෙක් වශී වූවාද යත් ඇය දිනපතා අඳින ඇඳුම් ගණන් කිරීමට ඔහු පටන්ගත්තේ ය.
ගැන නිම කිරීමට බැරි වූ තැන ඔහු ඇයට ඇඳුම් තුන්සිය හැටපහකට වඩා ඇති බව පසක් කර ගත්තේ ය. චාන්දනිය රාජකාරියට නොපැමිණි දිනවල ජනෙල් වීදුරුව පාළු ය; අඳුරු ය. ඇගේ හිස් මේසය පමණක් ඉන් පෙනේ. එහෙත් ඇය නිසාම අතපසුවී ගොඩගැසී ඇති වැඩ නිම කිරීමට ඔහු ඒ දින යොදා ගත්තේ ය.
ගල්පිහිල්ල හැත්තෑ එකේ කැරැල්ලේ සැකකරුවෙකි. එවිට ඔහුගේ වයස අවුරුදු විසි එකකි. එකල ඔහු රූමත් තරුණියකට පෙම් කළේ ය. ඇයද පන්ති පහට සහභාගිවූ තරුණියකි. කොටින්ම එකල ගල්පිහිල්ල සිය පෙම්වතියගේ මුහුණින් කෘප්සකයාව දැකීමට වෑයම් කළේ ය. කෘප්සකයා යනු රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් වී.අයි.ලෙනින්ගේ ආදරණීය බිරියයි.
වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය තම පෙම්වතියගේ සිත බව ඔහු සිතා සිටියේ ය. එහෙත් කැරැල්ලේ සැකකරුවකු වශයෙන් ඔහු සිරගත වූ නිමේෂයේ ම ඇය ඔහු හැර ගියාය. ආදරවන්තියක් පිටුපා ගිය විට බොහෝ පිරිමි ස්වකීය පෙම්වතියට වෛර කරන්නට පටන් ගනිති. තවත් පිරිසක් පිස්සන් නිකමුන් බවට පත්වෙති. එහෙත් වාසනාවකට ඇගෙන් වියෝ වූ ඒ යුගයේ ගල්පිහිල්ල දිවි ගෙවූයේ දේශපාලන සිර කඳවුරක ය.
මනුෂ්‍යත්වය සමාජවාදය විප්ලවය පිළිබඳ තර්ක විතර්ක සංවාද විසංවාද මැද ගැහැනිය පිළිබඳව භෞතිකවාදීව සිතන්නට ඔහු පෙලඹුණේය. ලාංකේය කාන්තාව බොහෝ පසුගාමී බවත්, එසේවී ඇත්තේ පුරුෂාධිපත්‍යය නිසා ස්ති‍්‍රය පීඩාවට පත්වී ඇති නිසා බවත්, ඔහු අවබෝධ කර ගත්තේය. තම පෙම්වතිය ද එවන් දේශපාලන බලයක ගොදුරක් බව වටහාගත් ඔහු ස්තී‍්‍ර සංහතියටම අනුකම්පා කරන්නට පටන් ගත්තේ ය.
ඔහු තමා හැරගිය පෙම්වතියට වෛර කිරීම පසෙක තබා පවතින සමාජ ක‍්‍රමයට තව තවත් වෛර කරන්නට පෙලඹුණේ ය. වසර තුනකින් ඔහුට නිදහස ලැබුණි. එහෙත් ඔහුට කිසිදා ඇය මුණ ගැසුණේ නැත. පීඩාවට පත්වී සිටින සියලු ස්තී‍්‍රන් ගැන ඔහු දාර්ශනිකව සිතන්නට තැත් කළේ ඉන්පසුය. තනි වූ ගැහැනුන් වැන්දඹුවන් ගැන ඔහු බොහෝ දුක් වූයේ ය. ගල්පිහිල්ල චිත‍්‍ර ශිල්පියෙකි.
ඔහු මේ සංස්කෘතික ඛේදවාචකය චිත‍්‍රයට නැඟුවේ කවදා හෝ ප‍්‍රදර්ශනයක් කිරීමට බලාපොරොත්තු වෙනි.
කෙසේ හෝ ඉන්පසු වයස අවුරුදු හතළිස් හතක් වන තුරුම ගල්පිහිල්ල කිසිම පෙ‍්‍ර්මයක පැටලුණේ නැත. පීඩාවට පත් අසරණ ගැහැනියක් සමඟ දාර්ශනික පෙ‍්‍ර්මයක පැටලීමට ඔහු සිහින මැව්වේ ය. තමුන්ට අලුතින් හමුවෙන ආදරවන්තියට ස්තී‍්‍රවාදී දේශපාලනය උගන්නා විප්ලවවාදී බිරියක් කරගැනීම ඔහුගේ එකම අභිලාෂය විය.
එහෙත් මේ වන තෙක්ම ඔහුගේ බලාපොරොත්තුව ඉටුකර ගන්නට සමත් ගැහැනියක් හමු නොවීම දෛවයේ සරදමක් විය. අතිශය පීඩාවට පත් ස්තී‍්‍රන්ට ඔහු ස්තී‍්‍රවාදී දේශපාලනය කියාදීමට තැත් කළේ ය. එහෙත් ඔය බණ අපට නොතේරෙන බව පවසා ඔවුන් ඔහු මඟහැර යන්නට විය. ඇත්ත තිත්තය. තිත්ත උනත් ඇත්ත ඇත්තමය. ස්තී‍්‍රන් ඉදිරියේ හුදකලා වූ ඔහු ස්තී‍්‍රවාදය තුළ මහමෙරක් මෙන් නොසැලී සිටියේ ය.
වෘත්තියෙන් චිත‍්‍රශිල්පියකු වූ ඔහුට ස්ථිර රැකියාවක් ලැබුණේ වයස අවුරුදු හතළිස් හතරේදීය. අඳුරු ඝන වනාන්තරයකට පුන් සඳ පෑයූ කලෙක මෙන් ඔහුගේ හදවත විකසිත වූයේ චාන්දනීව මුණගැසීමෙන් පසුව ය. ඇය දුටු විටම ඔහුගේ පපුව සීතල වෙයි. ඇගේ ස්වාමියා මියගොස් දරුවන් දෙදෙනෙකු සමඟ තනිවී ඇති බව දැනගත් ඔහු රහසින් හඬන්නට වන.
එහෙත් චාන්දනී එඩිතර අහංකාර තලත්තෑනි ගැහැනියෙකි. කිසිදු වේදනාවක් ඇගේ මුහුණින් විද්‍යාමාන නොවීය. ඇය ඔහුට වඩා අවුරුදු තුනක් වැඩිමල් ය. එහෙත් පෙනුමෙන් ළාබාල ය.
ආදරයට කිසිසේත් ම ඔහුට වයස ප‍්‍රශ්නයක් නොවී ය. එහෙත් ඉංග‍්‍රීසි භාෂාව ද මනාව හැසිරවිය හැකි ඇගේ එඩිතර අහංකාර ගාම්භීර ප‍්‍රතිරූපය හමුවේ ඔහු අසරණ විය. කෙසේ වුවද බලාපොරොත්තු හකුළා ගැනීමට ඔහුගේ දැනුම ඔහුට ඉඩදුන්නේ නැත. අවුරුදු තිස්පහේ සිට මධුලෝලත්වයේ රස විඳිමින් ජීවිතය කෙටි කරගනිමින් සිටි ඔහුට චාන්දනීගේ දැක්ම දිව ඔසුවක් විය. බලාපොරොත්තුවක බලය කොතරම් ද යත් ඇගේ එක බැල්මකින් ඔහු සුරාවට ආයුබෝවන් කීවේ ය. එහෙත් ඇගේ පෞරුෂය ඉදිරියේ ගල්පිහිල්ල බොහෝ අසරණ විය.
සමාජ ආර්ථික දේශපාලන විද්‍යාව පමණක් නොව ස්තී‍්‍රවාදය පිළිබඳව ද හසල දැනුමක් ඇති මහා කලාකාරයකු වැන්දඹු කාන්තාවක ඉදිරියේ පොඩි ළමයකු මෙන් හැසිරෙන්නේ කෙසේ දැයි වටහා ගැනීමට ඔහුගේ දැනුම ප‍්‍රමාණවත් නොවූවා සේ ය.
රාජකාරි කාලයෙන් හරි අඩක් පමණ ජනෙල් වීදුරුවෙන් ඇය දෙස බලන ඔහු දෙස ඇය ද වරින් වර බලනායුරු දුට ගල්පිහිල්ල විටක උද්දාමයට පත් විය. එහෙත් මුහුණට මුහුණ හමුවූ විට ඇගේ කටකොන සිනහවකින් ඔහු සෑහීමකට පත් විය. අවසානයේ ඔහු තීන්දුවක් ගත්තේය. කාන්සිය මඟහරවා ගනු වස් ඇගේ රූපය චිත‍්‍රයට නඟන්නට ඔහු තීරණය කළේ ය. නමුත් එය දවසින් දවස හයමසක් ම කල් දැමුවේ ය. ඇගේ උඩුකයේ සැකිල්ල පමණක් ආලේඛ්‍ය චිත‍්‍රයකට ගොඩනැඟීමට අවුරුදු තුනක කාලයක් ගෙවී ගියේ බොහෝ වේගයෙන් ය.
චිත‍්‍රයෙන් තුනෙන් එකක් පමණ දැන් වැඩ නිම වී තිබේ. එහෙත් ඇයගේ ගුප්ත දෙනුවන් නිවරදිව ඇඳ ගැනීම ඔහුට නොහැකි වීම ඔහුට මහා ප‍්‍රහේලිකාවක් විය. ඇගේ දෙනෙත සිංහ දේනුවකගේ මෙන් තියුණුය. මුවෙකුගේ මෙන් අහිංසකය. හාවෙකුගේ මෙන් හුරතල් ය. පැහැපත් ය. ආලෝකවත් ය; කෙළවරින් දිගටි ය; ගූඪ ය.
ඔහු මකමින් නැවත නැවත ඇන්දේ ය. කොලය ඉරී ගිය විට නැවත මුල සිට ඇන්දේ ය. ගැහැනියක් ප‍්‍රතිනිර්මාණය කිරීම යනු ඔහුට ඉතා සරල කි‍්‍රයාවක් වුවද ස්තී‍්‍රත්වය ගැන බොහෝ දේ දත් පිරිමියකුට ගැහැනියකගේ දැක්ම නිරූපිත චලලෝචනයෝ ඇඳීම අසීරු කාරියක් බව ඔහු අත්දැකීමෙන් පසක්කර ගත්තේ ය.
දිනක් ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටි ඇය ඉදිරියෙන් ගල්පිහිල්ල අසුන් ගත්තේ ඇගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටීමට ඇති උවමනාව නිසා ය. ඔහු ඇගේ මුහුණ බැලුවා පමණි; ඇය කටකොනකින් සිනහවන්නට වන.
ගල්පිහිල්ලගේ සරුවාංගයම සීතල විය. හිත දැඩි කරගත් ඔහු වහා ඇගේ දෙනෙත් වෙත සිය දෙනෙත් යොමු කළේය. ඔහු මොහොතකට අන්ධ විය. ඔහු සිය දෑතේ පිපී ඇති හිරිගඬු දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. තත්පරයෙන් පංගුවක් ගෙවී යන්නටත් ප‍්‍රථම ඔහු යමක් අවබෝධ කරගත්තා සේය. ඇගේ නෙත් පොපියමින් චලිත වේ. සැබෑටම ඇගේ මුහුණ චිත‍්‍රයකි. ඇය මූර්තියකි.
නැවුම් සිතිවිලි අතර පාවෙමින් ඔහු නැවත අඳින්නට පටන්ගත්තේ ය. වයස අවුරුදු පනහක් ඉක්ම ගිය චිත‍්‍ර ශිල්පියකුට පනස් තුන් හැවිරිදි වැන්දඹුවකගේ දෙනුවන් නිර්මාණය කිරීම මෙතරම් අසීරු වූයේ කිම. ඔහු නැවත නැවත ඇන්දේ ය. අවසානයේ දින ගැන්නේය.
පුරා පස් වසරක් ඉක්ම ගොස් තිබේ. ඇගේ ප‍්‍රතිරූපයේ සැකිල්ල නිවැරදිව කරදාසිය මත නිර්මාණය වී තිබේ. එහෙත් දෑස් අන්ධය. එය ගල්පිහිල්ලට ප‍්‍රශ්නයක් නොවේ. ඒ ඔහුගේ හිස තුළ ඇගේ දෙනුවන් හොල්මන් කරනා බැවිනි.
හිර කඳවුරේදීත් ඉන් නිදහස ලැබූ පසුවත් ඔහු බොහෝ විට චිත‍්‍රයට නැඟªවේ ගැහැනියයි. ස්තී‍්‍ර වාදය තේරුම්ගත් කාලයේ සිටම ඉතිරියගේ දුක, කඳුළ, විරහව ඔහුගේ රේඛා තුළින් මනාව නිරූපණය විය. එහෙත් ඔහු වඩාත්ම ප‍්‍රිය කළ චාන්දනියගේ දෙනුවන් තුළ අතරමං වීම අහඹුවක් විය නොහැකි ය.
මේ උභතෝකෝටිකය කාලයට කිසි සේත්ම ප‍්‍රශ්නයක් නොවුණාසේ ය. මිනිස් බෝම්බයක් පිපිරීගිය තවත් එක් දිනයක කට කොන සිනහව දා නෙතගින් මොනවාදෝ මුමුනමින් ජනෙල් වීදුරු රාමුව පාළු සොහොන් පිටියක් සේ නොසිතූ විරූ මොහොතක චාන්දනිය විශ‍්‍රාම ගියේ ය.
මේ කිසිත් නොදැන සිටි ඔහු සිහිනෙන් පිබිදුණාක් මෙන් මග්බෝධ විය. වහාම මේසය අනෙක් පසට හරවා ගත්තේ ජනෙල් වීදුරුවට පිටුපාමිනි. රාජකාරියට අමතරව පස් වසක් ඉක්ම යනතෙක් එකදු නිර්මාණයක් වත් ඔහු කර නොතිබිණි. නැවත ඔහු අඳින්නට වන. කෝපාග්නිය කෙතෙක් ද යත් ඔහු වේගයෙන් අඳින්නට විය. එහෙත් චාන්දනියගේ දෑස් නිවැරදිව සටහන් කිරීමට ඔහු අසමත් වූ නමුත් උත්සාහය අත්හැර දැමීමට තරම් ඔහු සැහැසි නොවීය.
කාලයකට පසු දෙනෝ දහක් සෙනඟ අතර කොටුව මල්වත්ත පාරේ දී ගල්පිහිල්ලට චාන්දනිය මුණගැසිණ. ඇය ව ප‍්‍රතිනිර්මාණය කිරීමට ගත් වෙහෙස නිසා ම ඔහුගේ බිය මුළුමනින්ම පහවී ගොස් තිබිණ.
”චාන්දනී!”
”........ පාළුයි!”
”...........”
”ජනෙල් වීදුරුවෙන් මම......”
”මම දන්නව. ..... දුක හිතුණා”
”මම ඔයාව අවුරුදු පහක් ම ඇන්දා. දෙන්නද”
”එපා .... මගෙ ලොකු දූ දැන් කැම්පස්”
පස් වසක් ඉක්ම ගියද සුපුරුදු අවන්හල තවමත් පෙර සේමය. ස්තී‍්‍රවාදී පිරිමින්ගේ උරුමය මධුලෝලත්වයම වූවා සේ ය. වේලාව රාතී‍්‍ර දහය පසුවීගෙන යයි. ගල් අරක්කු බෝතලය සිය අඳින මේසය මත තැබූ ඔහු කමිසය ගලවා දමා කලිසම පිටින්ම අඳින්නට පටන් ගත්තේ ය. විස්මයකි! චාන්දනියගේ චලලෝචනයෝ උත්සාහයකින් තොරවම නිවැරදිව සටහන් වූවා සේ ය.
හිස්වීගෙන යන ගල් බෝතලයෙන් ඔහු කාලය මැන ගත්තේ ය. තව මොහොතකින් කුක්කුට පක්ෂීන්ගේ කරච්චලය ආරම්භ වීමට නියමිත ය. ඔහු ආර්ට් බෝඩය මේසයේ කෙළවරට වන්නට බිත්තිය මත හේත්තු කර එක එල්ලේ එදෙස බලා සිටින්නට වන.
කැම්පස්, කැම්පස්, කැම්පස් යන හඬ ඔහුට අහසින් ඇසෙන්නට විය. අඩක් හිස් වූ ගල් බෝතලයේ සෙවණැල්ල දෙස චාන්දනිය රවා බලනවා සේය. පැන්සල් කොටය ගෙන ඔහු චාන්දනියගේ රූපයට නමක් ලිව්වේ ය.
”මතු ආත්මය”
ජගත් මාරසිංහ 


Powered by Blogger.

Follow by Email