මා රස


       

      

         මා රස



                       "හංස පූට්ටුව''බ්ලොයේ නාමය- "මා රස" ලෙස  වෙනස් කළ හේතුව සමහර පාඨකයෝ මගෙන් විමසන්නට වූහ. එහෙයින් ඒ පිළිඹදව යමක් ලිවීම වගකීමක් බව දැනිනි. "හංස පූට්ටුව" බ්ලොගය අහම්බෙන් නිර්මානය කරගත් අයුරු මා "හදවත- පොත- සිත-" ලිපියේ විස්තර කර තිබේ. හංස යනු කර දිග බොහෝ විට තනි සුදු පාට  ජලචර පක්ෂියෙකි. කිරෙන් ජලය වෙන්කරගත හැකි සහජ හැකියාවක් හංසයාට ඇති බව අපි අසා තිබේ. "පැන් හා කිරි මුසු උවත් කිරි පමණක් තෝරා හැර ගන්නා හංසයන් ......" වැනි යෙදුම් සඬර්මරත්නාවලියේද  සඳහන් කර තිබේ. සුභාෂිතයේද පහත  කවියේ එය කදිමට ගලපා ඇති බව පෙනේ.

" එබැවින් සෙබෙහි වියතිනි ගුණ යුත්               පවර
  කිරියෙන් දියර වෙන් කළ හස මෙන්             සතර
  ම විසින් කියන මෙහි වරදක් දුටත්                  හැර
  සතොසින් අසව් පදරුත් විමසා                    ගැඹර 
      
            හංසයාගේ ගුණ හංස සන්දේශය කාව්‍යයේද වෙසෙසින් වර්ණා කර තිබේ. යුක්තිය අයුක්තිය බේරා ලීමෙහි අතිශයින් සාධාරණ වූ හංසයා අද මාධ්‍ය සදාචාරයට බොහෝ දේ සිහිගන්වනවා සේය. 
        හංස පූට්ටුව යනු පෙලින් පෙල පටලවාගත් හංස රූප වලින් යුත් චිත්‍ර මෝස්තරයකි. හොඳ  නරක තෝරා ගැනීමට සමත් සත්වයන් දෙපලකගේ රූප පෙල හංසයකු සහ හංසාංගනාවකගේ ගැඹුරු සම්බන්දයක හැඟවුමක්ද සිහි ගන්වයි. 
                   හංස රාජ යනු නායක හංසයාය. බුදුනුවන්ගේ ශ්‍රී පාදයේ හංස ලකුණක් තිබූ බවද පුරාවෘතයේ සඳහන් වේ. එහෙත් හංසයා වාහනය කොට ඇත්තේ මහා බ්‍රහ්මයා බවද ලියවී තිබේ. බෝමලු ආදියද හංස වෘත වලින් වට කොට තිබේ. සඳකඩ පහනෙහිද හංස සලකුණ අදටද ජීවමාන විවාදයකි. එනිසා හංසයා සත්ව සංඥාව ඉක්මවා යන සංකල්පීය සංකේතයක් බව සැලකිය හැක. එහෙයින් හංස සංකල්පයට අරුත් මැවීමට ගියහොත් එහි කෙලවරක් දැකිය නොහැක. පූට්ටුව යන අදහස ඊටත් හපන්ය. එසේනම් හංස පූට්ටුව සංකල්පය ගැන කවර කතාද ‍? මෙහෙයින් හංස පූට්ටුව නාමය නූතන සයිබර් තාක්ෂණය හරහා යම් දෙයක් ලියන්නට මතවාදී බ්ලොග් අඩවියකට මාරයි කියා මාරයාට අවබෝධ විය. එහෙත් හංස පූට්ටුව බ්ලොගය මා වෙබ් අඩවියට සම්බන්ධ කර යම් වෙනසකට අර අඳිනවාත්  සමගම එම නාමය මම හිත් පිත් නැති ලෙස මකා දැමුවෙමි. ඒ අන් කරුණක් නිසා නොව පසුගිය මැතිවරණ රැල්ලෙන් පසු හංසයාද අලියා, අත, සීනුව, රතු පාට, කොල පාට, නිල් පාට මෙන් දේශපාලනීකරනය වූ නිසාය. පුරාවෘත සංකල්පයක් දේශපාලනීකරනය වූවාට පසු එය ප්‍රධාන කොට වෙනත් අවකාශයක ගණුදෙනු කිරීම මේ කොදෙව්ව තුළ බෙහෙවින්ම දුෂ්කරය. කොටින්ම මේ නිමේෂයේ කම්මල් හිමියෙක් දෑකැත්තක් සහ මිටියක් තම ලාංචනය වශයෙන් කුමන වර්ණයක් ඇති පසුබිමකට ඕනෑම නාමයක් යොදා පුදර්ශනය කළහොත් මිනිසුන්ට එහි අචේතනික හැඟවුම වී මතකයට නැගෙනේ රතු පාට සහ වාමාංශික සටන් අතීතයයි. අවසානයේ කම්මල දියුණුවීම කෙසේ වෙතත් කම්මල් කරුවා වමට බර පාක්ෂිකයෙකු ලෙස සමාජ පිළිගැනීමකට ලක් වීම නිතැතින්ම සිදුවේ. භීෂණ සමයේ එවන් අහිංසකයන් නිකරුනේ හිරබත් කෑම එකල අපට එක් පැත්තකින් විනෝදයක් විය. පක්ෂ දේශපාලනයකින් තොරව හිරගතවූ ඔවුහු සටන්කාමී වාමාංශිකයෝ වී හිරගෙදරින් නිදහස් වී ගියහ.   එහෙත් අද එවැනි හැඟවුම් ඊනියා සමාජ සංවර්ධනයේ අඩ නිරුවත සිහිගන්වයි.  ධනේශ්වර යුගයේ අවපාත අවධියේදී විප්ලවයට ආසන්න කාලයේදී දේශපාලන සංවිධාන ගතවූ අයට කලින් මර්ධනය දේශපාලනය නොකරන අය කරා ඉක්මනින් ලඟා වන වග එකල සමහර දේශපාලන ක්‍රියාකාරීහු සාධනය කිරීමටද පටන් ගත්හ. සෑම මිනිසෙකුම දේශපාලන සත්වයෙක් යන්න සැබෑවක් උවත් තමන්ගේ බුද්ධිමය කැමැත්තට පිටින් දේශපාලන සංවිධාන ගත නොවීමටද  මිනිසෙකුට ඇති අයිතිය ගැන ලිවීමට සමහරුන් පුන ගයන ම්‍යයගත වාදය නැමති ප්‍රායෝගික සංකල්ප නැවත කියවීමකට ලක් කිරීමක් කළ යුතුය. එය දේශපාලන සංවිධාන සතු කාරියක් විනා තනි පුද්ගලයෙගේ ස්වයං මෛතුනයක් විය නොහැක. එහෙත් ඕනෑම අයෙකුට මේවා ප්‍රශ්න කිරීමට අයිතියක් තිබෙන බව නම් අලුත්ම අලුත් වාමාංශිකයෝත් මතක තබා ගත යුතුය. ඒ පිරිසේ හැසිරීම ගැනත් මිනිසුන් බලා නොසිටිනවා නොවන බවද සැබෑවකි.
                      ලෝකයේ බොහෝ රටවල දෙවියන් බුදුන් පමණක් නොව වාමාංශික නායකයන් ගේ ඡායාරූප පවා වෙළඳ ප්‍රචාරනය  සඳහා යට ඇඳුම් වල පවා පින්තාරු කර බෙදා හරින, ඇල්බට් අයින්ස්ටයින්ලා වැනි විද්‍යාඥයන් පවා විහිලුවට ගෙන දැන්වීම් නිර්මාණය වන  සියල්ල එක මිටකට ගෙන තමන්ගේම වලිගයෙන් අල්ලාගත් මහා පරිභෝජන සමාජයක මේවා ගැන ලිවීම පවා විහිලුවක් වීමද නොවැලැක්විය හැක. එහෙත් ඒ තත්ත්වයන් තුළ අනවශ්‍ය ප්‍රශ්න නිර්මානය කර ගැනීමද ලොකුම විහිලුවක් බවට පත්වීමද නොවැලැක්විය හැකි කාරණයකි. කොතරම් සද්භාවයෙන් තමන් යම් අදහස් සහ සංකේත තෝරා ගත්තද මාධ්‍ය ප්‍රාග්ධනය ඒවා කොන්දේසි විරහිතව කනපිට හරවන බව මේ වන විට සාධනය වී හමාරය.
                 දහස් ගනන් පාඨකටයෝ මෙම බ්ලොග් පිටු වෙත ප්‍රවේශ වෙන නමුත් මෙවැනි දේ කියවන්නේ ඉතා සුලු පිරිසකි. ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් හරියට කියවන්නේ නැත. සමහර විට කියවීමට උවමනා පිරිසට පහසුකම් නැති වීමටද පුළුවන. තවත් විටක ලියපු දේ බලන්නේ ලියන ලද තමන්ම වීමටද පුළුවන. ඒ කෙසේ වෙතත් මම "මා රස" ලෙස බ්ලොගයේ නම වෙනස් කෙළමි. මට වැඩිපුර මිනිසුන් අමතන්නේ මාරසිංහ යන නමිනි. බොහෝ දෙනෙක් එය කෙටි කර මාරයා සහ මාරේ ලෙස ආදරයටත්, උපහාසයටත්,අපහාසයටත් වරනගා ඇමතීමට පුරුදු වී තිබේ. මේ ලෝකයේ මා කැමතිම නම මගේ නම බව නොකියා සිටීමට කුහකත්වයක් මා තුල නොමැත. මා කැමති වචනයේ මුලකුර 'මා' වීම මාර බව මට සිතිනි. එහෙයින් මගේ රස "මා රස" ලෙස බ්ලොගය නම් කලෙමි. ගූගල් තාක්ෂණික වෙළඳ ආයතනය කොන්දේසි විරහිතව එය අනුමත කිරීම මට සහනයක් විය. එය මගේ වාසනාවක් ලෙස දකින්නේ මගේ මෝඩකමට නොව මේ රට තුළ එවන්  මාධ්‍ය අායතන සමග ඇති කලකිරීම නිසා කෝපය පිරිමසා ගැනීමටය.
                 ''මා රස'' යනු අමා රසය බව පත පොතේ ලියවී තිබේ. අතිශයින්ම ප්‍රනීත දෙවියන්ගේ භෝජනය ඔබටත් දිව්‍යය   භෝජනයක් වේවා සිතා ලියා ඵල කරන්නේ ඔබට රස  විඳීමටය. එහෙත් අපි අතිරසත් තිත්ත වන අවධියක ජීවත්වෙන බව  දනිමු.  මා ඔබෙන් බැනුම් අසන පලා නොලියන අකුරු ලියන කෝකියෙකු වෙමි. වෙනසකට තිබෙන්නේ ඔබ ඉල්ලන දේ මා දෙන්නට සූදානම් නැති කමය. මා ඊට කැමති වූවානම් බොහෝ දේවල් කරගත හැකි මාධ්‍ය ආයතන වලින් මා ඉවත් වන්නේ නැත. තමන් ගැන ස්වයං විවේචනයක් ඇති අනිකාට ඇහුන්කම් දෙන සැබෑ සමාජ සංවිධාන හමුවූවා නම් ගෙදරට වී බ්ලොග් ලියමින් කාලෙ කන්නේද නැත. කෙසේ  නමුත් දෙවියන් නම් පාඨක ඔබය. හිතෙන දේ හිතේ හැටියට ලියන කෝකියා මමය. ඔබට අවැසිනම් වෙන බ්ලොග් කඩයක් තෝරා ගත හැක. මන්ද මෙය කඩයක් නොව දන්සැලකි. එහෙත් අවසානයේදී එයද කඩයක් වන බවත් සැබෑවකි. ඒ තත්ත්වය මේ සමාජ ක්‍රමයේ සිරිතක් වී තිබේ. මේ නිමේශයේ ඒ තත්ත්වය අප කොදෙව්වට පමණක් සීමා වූවක්ද නොවේ. අන්තර් ජාල ප්‍රාග්ධන හිමියන්ට අප  පිං අනවශ්‍ය බව සැබෑවකි. ඒ අයට ලියන්නාගේ ශ්‍රම කාලයත්, සම්බන්ධතා ගාස්තුවත්, කියවන්නාගේ ගාස්තුවත් හොඳටෝම ප්‍රමාණවත්ය. එහෙත් ඔවුන්ගේ රාජකාරිය අපේ ප්‍රකාශන ආයතන වලට සාපේක්ෂකව බොහෝ උසස්ය. එයද දියුණු ධනේශ්වරයේ හේතුවක් බව පිලිගැනීමට කතන්දර ගෙතීම නිර්මාන පාලුවන්ගේ වාසියට සිදුවන්නක් බව පෙනේ. කාව්‍ය ශාස්ත්‍රයේ රස දැක අමෘතය දිව්‍ය ලෝකයට පැන ගිය බව සංස්කෘත මහා කවියෙක් ලියා තිබෙන බව මට මතක තිබේ. විශ්ණු දෙවියන්ටත් සෙනසුරා බට කොල කැවූ නමුත් කිසිවෙකුට වසවර්ති මාරයා  එසේ නොකරනු ඇත. මන්ද මාරයා සිටින්නේ වෙන කොහේවත් පිටස්තර ලෝකයක නොව ඔබේම ඔලුගෙඩියේ නිසාය.

ජගත් මාරසිංහ
2015 දෙසැම්බර් 01
www.jagathmarasinghe.com










“සූර්ය වංශයත් මාගේ මන්ධ බුද්ධියත් අතර පරතරය කොතරම්ද? මෝහය නිසා මම පහුරකින් මහ සයුර තරණය කරනු රිසියෙමි. කවීන්ට අයත් යසස ප්‍රාර්ථනා කරන අඥාන වූ මම, උස අයෙකු විසින් නෙලා ගත යුතු ඵලයකට ලෝභයෙන් දෑත් ඔසවන අඟුටුමිට්ටකු සේ සිනහවටම ලක්වෙමි. ”



 කාලිදාස 
 රඝුවංශය








































Powered by Blogger.

Follow by Email