නක්ෂත්‍රය තුළ දේශපාලනය





               දෙවියන් වනාහී  මිනිසාගේ නිර්මාණයකි. ඒ අර්යෙන් ගත් කල ජ්‍යෝතිශ්ශාස්ත්‍රය දෙවියන්ගේ නිර්මාණයක් නොව මිනිසාගේ නිර්මාණයකි. ආධ්‍යාත්මික විද්‍යාවක් ලෙස නක්ෂත්‍රය විමසන කිසිවෙකුට මේ පිළිඹදව සැකයක් ඇති කර ගැනීමට කිසිදු හේතුවක් නැත. එමෙන්ම ද්‍රව්‍ය වාදීන්ගේ තර්ක විතර්ක සමගද යම් එකගත්වයකට ඉඩක් මතුවෙයි. සංගාරව නම් මානවයාට කරුණු වශයෙන් සලකන විට දෙවියන් ඇතැයි බුදුනුවන් දේශණා කර තිබේ. කරුණු වශයෙන් යනු සම්මුති වශයෙන් නිසා සැබෑ බෞද්ධයන්ටද මේ පිළිඹද ප්‍රශ්නයක් ඇති වීමට හේතුවක් නැත. එහෙත් මේ දෙවියන් ගැන කෙටියෙන් කියන්නට තව බොහෝ සිතිය යුතු දේ තිබේ. මිනිසා වනාහි දෙවියන්ගේ නිර්මාණයක් ලෙස දැකීමත්, එය අරමුණු කොට සර්වබලධාරී දෙවියන්ව උඩින් පල්ලෙන් හදාරා කුණු කූඩයට දැමීම මේ කාලයේ තරම් නොවේ. මන්ද මේ වනවිට යාන්ත්‍රික බෞතික වාදීන් පවා ලෝකයේ පවතින සියලු නියාමයන් භෞතික විය යුතු නැත යන මතවාදයට එකගතාවයක් දැක්වීම ආරම්භ වී තිබේ. මනස යනු මොළයෙන් පරිභාහිරව පවතින ප්‍රපංචයක්ද යන්න තවමත් දාර්ශනික සංවාද විශ්වයක පවතින කාරණයකි.

           ආදි වැසියෝ ගංගා අසල සිය වාසස්ථාන ගොඩ නගා ගත් බව ප්‍රබල මත වාදයකි. අපේ කොදෙව්වේ ඊට වෙනස්ව වැව් ජල ශිෂ්ටාචාරයක් පිළිඹද ගැඹුරු කියවීමක් තිබේ. කෙසේ හෝ ශිෂ්ටාචාර සමග ජලයේ ගැඹුරු සම්බන්දයක් ඇති බව නොසලකා හැරිය නොහැක. මිනිස් මොළයට දුක, කදුල, සතුට සංවේදී වූයේ කවදාද එදා සිට ගංගා අසල තනාගත් නිවාස තුළ බඩදරු ගැහැනුන්ව සහ මාසෙ මාරු වූ  ස්ත්‍රීන්වත්, ලදරුවන්ව සහලෙඩුන්වත් තබා අනෙකුන්   දඩයම වැනි රාජකාරි කටයුතු සදහා වන ගත වූ අයුරු අද පවා ජීවමාන නටබුන් මෙන් ඉතිරි වී ඇති ගෝත්‍ර සමාජ වලින් තහවුරු කරගත හැක.   කෙසේ හෝ තම ශරීරයේ මෙවැනි ස්වභාවික තත්ත්වයන්  හේතු කොට ඒ කාලයේ ස්ත්‍රීන් ගෙන් වැඩි දෙකුට දීර්ග කාලයක්   සිය නිවසේ ගත කරන්නට සිදුවිය. එහෙත් එකල පුද්ගලික නිවාස නොතිබුණ බවද විශේෂයෙන් සැලකිය යුතුය.
                     අහසේ පායන චන්ද්‍රයාගේ ගමනත්  තමන්ගේ මාස් මාරුවත් අතර නොඹිදෙන සම්බන්දය දුටු උතුනියන් එදා කාලය පිළිඹද ස්වභාවයේ රහස තේරුම් ගත් ආකාරය  සැබෑවක් බව නිරායාසයෙන් සාධනය වේ. උතුනිය යනු මල්වර වූ ස්ත්‍රියයි. මෙහෙයින්ම  ස්ත්‍රී නිමිත්ත එදා කාල මානයක් වශයෙන්ද සලකන්නට විය. එය  ඍතුමග ලෙස නම් වූ කාරණයේ රහස මින් මතුවන අතර පසු කාලයක   ඍතුමග උතුමග බවටත් ඉක්බිති හුත්ත දක්වා විකාශනය වීම මනරම් භාෂා චාරිකාවක් බව මා විසින්  විනිවිදිමි කාලය’’ ලිපියේ විස්තර කර තිබේ. වනයෙන් ගෙනෙන අල වර්ග සහ පල වැල ‘’ නැවත වගා කළ හැකි බවටත් වඩා චන්ද්‍රයාගේ ගමනත්, තම මාස් ශුද්ධියත්, ගහ කොල වල ජීවී බවත් අතර සම්බන්ධය පලමුව මෙසේ අවබෝධ කරගත්තේ ලෝකයේ අම්මාවරුය. මේ ත්‍රිකෝණය ශිෂ්ටාචාරයේ අනාගතයම තීරණය කළ නිසා ස්ත්‍රියට මෑණී යන නාමය කදිමට ගැලපෙන බව පෙනේ. මේ ජ්‍යෝතිශ්ශාත්‍රයේ ආරම්භක අවස්ථාවය. ඊට කලින්ද ග්‍රහ ගමන් සිදු වූ නමුත් මිනිස් සංහතියේ  ඔලුගෙඩිවල ග්‍රහයන් නලියන්නට පටන් ගන්නේ මේ මොහොතේ සිටය.
             පසු කාලීනව එකල ප්‍රමාණික බුද්ධිමතුන් වූ බැවින් ඍෂි වරයන් ලෙස සලකන ලද පිරිසක් විසින් ආකාශයේ මව ලෙස චන්ද්‍රයාව  හදුන්වා   තිබේ. මුලු මහත් ලෝකයේම තවමත් සඳු  හෙවත් චන්ද්‍රයා  ග්‍රහ මණ්ඩලයේ   මව මෙන්  සලකන අතර අප රටේ මේ නිමේශයේද කෘෂිකාර්මික වැඩකටයුතු සිදු කරන්නේ චන්ද්‍රකාලයට අනුවය. අනෙකුත් රට වලද    වෙනත් ක්‍රමයකට අනුව චන්ද්‍ර කාලයම සූත්‍ර ගතකර තිබේ. ඒ ස්වභාවයේ  නියමයයි. ලෝක ධර්මතාවයයි. 
                 ස්ත්‍රීන්ගේ වෙහෙසට ගරු කිරීමට අහසේ මව ලෙස චන්ද්‍රයා නම් කෙරුවා සේ වාමාංශිකයෝද දෑකැත්ත ස්ත්‍රියට දී ඇයව අභිසේක කළ මුත් ලාංකේය ඊනියා වාමාංශිකයන් හොර තක්කඩි රැලකගේ විකාර පමණක් විමසා නිසි හැදෑරීමකින් තොරව ග්‍රහතාරකා ක්‍රමවේදයේ පිළිගත් නියාමයන් හෑල්ලුවට ලක් කිරීම පුරුද්දක් කරගෙන සිටී. තාක්ෂණය මතුකරගත් නිසා මිටිය පුරුෂ පක්ෂයට  හිමි වූවාට ඒ කාලයේ දේශපාලන බලය උදෙසා සිදු කළ  පුරුෂ වංචා ක්‍රියාවන් පිළිඹද තොරතුරු බොහෝ ඇති බවද සදහන් කළ යුතුය. 
                             (මේ කොදෙව්වේ සමහරු බුද්ධි මතෙකු හෝ දාර්ශනිකයකු ලෙස තමාව හංවඩු ගසා ගැනීමට  නක්ෂත්‍රය පිලි නොගන්නා බව ප්‍රකාශ කිරීම තුළින් සිය උද්දච්ච කම ප්‍රකාශයට පත් වෙන වග  නොදන්නා පිරිස බොහෝය. තවත් පැත්තකින් එවැනි මත වික්ටෝරියානු සදාචාරයේ කාල්පනික දාර්ශනික දිලිදු කමේ හරස් කැපුමක් බව අලුත් පරපුරේ වැඩි පිරිසක් ඉවෙන් මෙන් වටහාගෙන තිබේ.)
                   කාලය සහ අහස සමග ස්වභාවයා බද්ද කර වැඩ ගන්නට පටන් ගත් ආදිතමයෝ ශරීරය, අහස, සහ පරිසරය තම සංස්කෘතික ජීවිත වලටද ආදේශ කර කාලයත් සමග සිතන්නට ක්‍රමයක් නිර්මාණය කරගත්
අතර මේවා කලින් කලට වෙනස් වන වග ලියා තිබේ. එදා මස් වෙලෙන්දා අද ටයි දමා ගත් සුපිරි වෙළද සැලක හිමි කාර මහත්තයා වන්නා සේ එදා අඬ බෙර කරු අද ජනප්‍රිය රූපවාහිනී මාධ්‍යයකනිවේදකයකු වන්නට පුලුවන. සංස්කෘතික හැඩ රුව ක්ෂණයක් පාසා වෙනස් වෙන වග කාලය සම්බන්ධ ක්‍රම වේදයකට අලුත් කාරණයක් නොවේ. එහෙත් සංකල්පයන්ගේ න්‍යෂ්ටිය වෙනස් වන්නේ ඉබි ගමනින් වීම ස්වභාවයයි. න්‍යෂ්ටියට අයත් කාරනා තවමත් එසේමය.  බටහිර වෙදුන් දරුවා ප්‍රසූත වන දිනය කියන්නට ඔසප් නැවතුන දවස අසා ගණිත චක්‍ර බලන්නේ තවත් ආකාරයකට චන්ද්‍රයාගේ චලිතය ගණනය කිරීම බව මිනිසුන් වටහා නොගන්නේ බටහිර වෙදුන්ගේ කරේ ඇති ස්ටෙතස්කෝපය ඇලඩින් ලාම්පුවක් සේ සිතා සිටින නිසාය. එහෙත් අපරදිග  වෙදුන් වැඩි පිරිසක් නක්ෂත්‍රය පිළිගන්නේ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හදුන්වන හිපොක්‍රට්‍රීස් ජ්‍යෝතිශ්ශාස්ත්‍රය නොදන්නා වෙදා නොව ගොනා ලෙස පවසා ඇති නිසාදැයි සැකයක්ද මතුවේ.

     බ්‍රෙෂ්ට් ගේ ගැලිලියෝ ගැලිලි නාටක  නිර්මාණයේ සැබෑගැලිලියෝ ඇතැම් තැනක වෙනසකට ලක්කර තිබේ. නාටකය අවසානයේ නව ගැලිලියෝ පල්ලියේ මතවාදයට ගැලපෙන ආකාරයට ප්‍රකාශයක් කරයි. තමා විසින් සොයා ගත් සත්‍ය සඟවා සූර්යා වටේ පෘතිවිය ගමන් නොකරන බවත් පෘතිවිය වටේ සූර්යා ගමන් කරන බවත් ඔහු පසිද්ධියේ පවසයි. මේ මොහොතේ ශිෂ්‍යන් පිරිසක් සත්‍ය පාවා දීමට විරෝධය පා කෑ මොර ගසද්දී බ්‍රෙෂ්ට්ගේ ගැලිලියෝ පවසන්නේ මම එහෙම කිව්වා කියා සූර්යා වටේ පෘතිවිය යන ගමන නතර නොවන වගයි. නක්ෂත්‍රයද නැවුම් චින්තනයකින් කියවන්නට අපට අයිතියක් තිබේ. විය යුත්තේද එයයි. ඒ සදහා නොවරදවාම ගතානුගතික සාස්තර කාරයෝද ඊනියා ද්‍රව්‍යවාදීන්ද කිපෙන්නට පුලුවන. ඒ සදහා මට කියන්නට දෙයක් ඉතිරි වී නැත. එවැනි අවස්ථාවල  කියන්නට ඕනෑ දේ බ්‍රෙෂ්ට් නලුවෙකු ලවා ලෝකයටම ප්‍රකාශ කර තිබේ. යල් පැන ගොස් තිබෙනේ නක්ෂත්‍ර දෘෂ්ටිවාද පමණක් නොවේ. යාන්ත්‍රික භෞතික දෘෂ්ටිවාද වල තත්ත්වයද එසේමය. මොකා මොක වටේ ගමන් ගියත් නක්ෂත්‍රයට පාඩුවක් නැත. මන්ද නක්ෂත්‍ර ක්‍රමවේදයට අවශ්‍ය වන්නේ සිටි තැනට ග්‍රහයා පෙනෙන කෝණය පමණි. කොටින්ම අපට පෙනෙන හැරවුමක ප්‍රමාණයයි. 
                     අපේ කොදෙව්වටද එදා පෑයූ ග්‍රහ තරු බොහෝමයක්  අදත් අහසේ පායයි. වෙනස්වී තිබෙන්නේ දෘෂ්ටිවාද පමණි. එයද සිදුවිය යුත්තක් විනා මහා අමුත්තක් නොවේ.

ජගත් මාරසිංහ
2015 දෙසැම්බර් 06 
                                                           www.blog.jagathmarasinghe.com



Powered by Blogger.

Follow by Email