සර්ප සාහිත්‍යයේ චුම්බක සාරය

සර්ප සාහිත්‍යයේ චුම්බක සාරය

සර්ප සාහිත්‍යයේ චුම්බක සාරය

    කෙල්ලන් වලලන් කොල්ලන් ගොඩගන් කියා ජනප්‍රවාදයේ කතාවක් තිබේ. මා මේ ලියන්නට යන සර්පයා මේ කතාව ඔස්සේද බොහෝ දේ ලියා තිබේ. එහෙත් දැන් එම කතාවේද අගමුල මාරු කර ඇතැමෙක් කියයි. ඒ පශ්චාත් ස්ත්‍රී වාදය ජීවිතයෙන් අවබෝධ නොවූ පිරිසක් වග දැනගැනීමට අටුවා ලිවිය යුතු නැත. මන්ද ඔවුන් කොල්ලන් වලලා කෙල්ලන් ගොඩ ගත යුතු බව කියන්නේ තමාට ආශාවක් ඇතිවන කෙල්ලක් සමග ලිංගික කෙලියකට අවසර ලබා ගැනීමට විනා අන් දෙයකට නොවන වග දැනගැනීමට එවන්දේ නිරීක්ෂණය කිරීම  පමණක් ප්‍රමාණවත් නිසාය. කෙල්ලන්ට නම් මොකා වල දමා මොකා ගොඩ ගියත් මේ නිමේශයේ කාරියක් නැත. ඒ දිශාවක් නැති බලයක් විසින් කෙල්ලන්ව පාලනය කිරීම මේ මොහොතේ සමාජ නියමක් වී තිබෙන නිසාය.අසූව දශකයේ මුල සිට මා දුටු සර්පයා නම් මිනිස් චුම්බකයකි.කොටින්ම මා මේ ලියන්නට යන සර්පයා යන ආදර නාමයෙන් හඳුන්වන කේ කේ සමන් කුමාර එක්තරා සම්මුති රටාවකට අනුව මිනිස් චුම්බකයකි.කාන්දම් මිනිසෙකි.

     කුඩා කල දරුවෙකු කාන්දමක් හඳුනාගත් විට වඳුරාට කන්නාඩියක් හමු වූවා මෙන් අරමුණක් නැති පර්යේෂණ කිරීම සිරිතකි. චුම්භක ද්‍රව්‍යයක් තුළ පවතින යකඩ, කෝබෝල්ට් හා නිකල් වැනි ලෝහ ආකර්ෂනය වීම නිසා යම් විශ්මිත බලයක් මතුවන ආකාරය අප වටහාගෙන තිබේ. ස්වභාවයේ ඇති මෙම විශේෂිත ලෝහ වර්ග ආකර්ෂණය සහ විකර්ෂනය වන ගුණය කාන්දම් බලය හෙවත් චුම්බක බලය ලෙස හඳුන්වා තිබේ. කෙසේ නමුත් ආධ්‍යාත්මික චුම්බක ගුණයට සර්පයා හෙවත් කේ කේ සමන්ව බද්ධ කර ගැනීමෙන් සර්පයාගේ සාහිත්‍ය ශානරය ගැන විමසීමට පොටක් පාදා ගැනීමට සිතුවේ අහඹුවකින් නොවන වගද ලියා තැබිය යුතුය. 
     චුම්බක බලය හඳුනා ගැනීමේදී ස්වභාවයේ විශේෂයක් වන්නේ චුම්බක බලයට දිශාවක් තිබීමයි. බලයකට දිශාවක් නියම කරගත හැකි නිසාම ගණිතයේදී එය දෛශික රාශියක් ලෙස නම් කර තිබේ. එහෙයින් පෘථිවි චුම්බකත්වය සලකා ගොඩ නැගූ නියමයන් සහ තාක්ෂණික ක්‍රමවේද ඇසුරු කර විද්‍යාවෙන් මිත්‍යාවට පහරදීමටත්, මිත්‍යාවෙන් විද්‍යාවට පහර දීමටත් හැකි තත්ත්වයන් නිර්මාණය වී තිබේ. විද්‍යාවද පෙරදිග අපරදිග ලෙස බෙදා වෙන්කර හඳුනා ගැනීම මහා මතවාදී ගැටුමක් නිර්මාණය කර තිබීම දේශපාලන විකාරයක් බවට පත් වීම වෙනම කාරණයකි. කෙසේ නමුත් මේ නිමේෂයේ වෙළඳ පොළ අවශ්‍යතා මත මේ බෙදීම ව්‍යාපාරිකයන්ගේ තරඟයක් බවට පත් වී සාමාන්‍ය කරනය වී තිබීම එක් පැත්තකින් වාසනාවක් සේ දැකිය හැකිය. එහෙත් විද්‍යාවේ සහ මිත්‍යාවේ කෙස් පැලෙන තරක විතර්ක වල  හිරවී සිටින  බුද්ධිවාදීන්ට දැනෙන්නේ ලොව පවතින පරම සත්‍යය අපරදිග විද්‍යාවෙන් තේරුම් ගත හැකි බවය. පෙරදිග මතවාදයට පෙනීසිටින බුද්ධිවාදීන් අතර අපර දිග විද්‍යාව මිත්‍යාවක් ලෙස සලකන පිරිසක්ද සිටිති. එහෙත් මේ මොහොතේ මිත්‍යාව සහ විද්‍යාව අනියම් පෙමක පැටලී ඇත්තේද චුම්බක බලයේ බලරේකා සටහන් වල හැඩ රුවට සමගාමීව බව පෙනේ. තවත් පසකින් විද්‍යාව සහ මිත්‍යාවේ මාරාන්තික ගැටුම් පිළිඹඳ ඉතිහාසය නූතන පරපුරේ බොහෝ දෙනෙකුට විහිලුවක් බවට පත්වි තිබෙන බවද සැලකිය යුතුය.

     ලෝක ආර්ථික දේශපාලන බල රටා චුම්බක බලරටා වල හැඩයෙන් ඊට සමගාමීව ක්ෂණිකවම මහා වෙනසකට ලක්වූ මේ මොහොතේ අප කොදෙව්වේ සර්පයාගේද ලිවීමේ වේගය වැඩිවී ඇති වග කැපී පෙනෙන ලක්ෂණයකි. සර්පයා හෙවත් කේ කේ සමන් කාන්දම් මිනිසෙකු ලෙස හැඳින්විය හැක්කේ භෞතික විද්‍යාත්මක අරුතකින් නොව භෞතික පසුබිමක සමාජ දේශපාලන විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකිනි. දන්ඩ චුම්බකයක් අනුසාරයෙන් සිතන කළ කළ සර්පයා හෙවත් කේ කේ සමන් නැමති කාන්දම් මිනිසාගේ එක් ධ්‍රැවයක් ස්වංක්‍රීයව හැරී තිබෙන්නේ අසමාන වූ චුම්බක ධ්‍රැව පද්ධතියේ කේන්ද්‍රීය දිශාවකට බව ඔහුගේ නිර්මාණ වලින් පමණක් නොව ජීවිතයෙන්ද හඳුනාගත හැක. කොටින්ම සර්පයා වස්සෙක් ගැන ලියන්නට ගියත් මොහොතකින් ඒ වස්සාද වැස්සියක් වී කුමන හෝ පිරිමි සතෙකු  සමග රමණයේ යෙදේ. සර්පයාගේ සාහිත්‍ය ශානරයේ ස්ත්‍රිය සහ ලිංගිකත්වය ක්‍රේන්ද්‍රීය බලයක් බවට පත්වී ඇති බවද සැබෑවකි. මේ තත්ත්වය මත සමන් යම් යම් දේ කෙරෙහි වරක මනා රසයක්ද, තවත් වරක දැඩි පිළිකුලක්ද ඇති කරමින් අවසානයේ අප දන්නා නමුත් නොදන්නා මෙන් සිටි රහසක් අපට රහසින් කියන්නේ අපවද අපැහැදිලි සිහින ලෝකයක අතර මං කර දමමිනි. මේ අතර මං වීමෙන් අප පිනා යන්නේ ඇයි දැයි අප කිසිදා සොයන්නේ නැත. මන්ද මේ නිමේශයේ සතුට යනු අතර මං වීමෙන්ම ජනිත වන පරාජිත ශෝකයම බව අප අවිඥානය දන්නා නිසාය.

    අසමාන ධ්‍රැව සහිත දණ්ඩ චුම්බකයක් මෙන් සර්පයා ස්ත්‍රී පක්ෂයට ආකර්ශනය වන්නේද කාන්දම් බලයේ ඇති විශ්මිත බල රටාවන්ගේ හැඩයටම බව සැබෑවකි.  “ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය“ නමින් මා කේ කේ සමන්ගේ නිර්මාණ කෘති වෙත කවුලුවක් නමින් පොත් පිංචක් ලියන කාලයේ (2000) ඇතැම් පිරිසක් කිපී සිටියේ අප මිත්‍යාවේ ප්‍රතිගාමී ප්‍රදේශයකට ආකර්ශනය වෙන්නට පටන්ගත්තා යන සරල කෝණික බැල්ම හරහාය. එහෙත් මේ වන විට පාර හෞතික සංකල්ප ගැන විශේෂ අවදානයක් යොමු නොකොට කළ හැකි තේරුම් ගැනීම් විකාරක් බවට පත් වී හමාරය. මේ සම්බන්ධව වාද විවාද කිරීම මේ නිමේෂයේ ඵල රහිත ක්‍රියාවක් බව බොහෝ දෙනෙක් තවමත් වටහාගෙන නැත.  
      මේ නිමේෂයේ භෞතිකය සහ පාර ‍භෞතිකය පෙම් කෙලින්නේ නාසා ආයතනයේ සඳලුතලයේ රියල් ලයිෆ් කැමරා ඉදිරි පිට අමු නිර්වස්ත්‍රයෙන් බව බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් 2000 ආරම්බයේදීම සර්පයාගේ සිතීම දෙස ග්‍රහයන් ගේ සිහින හෞතිකය ඔස්සේ සමන් කුමාරගේ ග්‍රහචාරය භෞතිකවාදීම වූ සහ එහෙයින්ම භෞතිකවාදී නොවූ  කෝණයකින් විමසන්නට එදා මා උත්සාහ කළෙමි. එහෙත් එහි දෙවන දිගුව ලෙස අද ග්‍රහචාරය අරමුණු කොට මතුවූ  විශාලත්වයක් සහ දිශාවක් සහිත දෛශික සිහිනය සර්පයා මත තබමි. කෙසේ නමුත් දෛශිකයක් වූ කල සිහිනයකටද දිශාවකින් ගැලවිය නොහැක. කෙසේ හෝ එවන් තර්කානුකූල කතාන්දරයක් පසුබිම් කර නොගෙන සර්පයාගේ සිහින වැඩිදුර විඳ ගැනීමට පහසු මාවතක් සොයාගත නොහැක.

  දැනුම වනාහී එක් කෝණයකින් දකින කල ගොඩනැංවීමකටත් වඩා කතාන්දර ගොන්නක පරිකතා වෙළුමක් ලෙසද පිළිගත හැකිය. එය එසේ නොවන වග සිතන පිරිසක්ද නොසිටිනවා නොවේ. එයද චුම්භක උතුර සහ චුම්බක දකුණ මෙන් විය යුත්තක් විනා නොවිය යුත්තක් විය නොහැක. මිනිස් ශිෂ්ඨාචාරයේ මුල් යුගයේදී ග්‍රහ තරුකා ඇසුරින් මිනිසුන් පළමුව හදුනාගත්තේ දෙ කාලය බව අපි දනිමු. දෙ කාලය යනු උදය සහ සවසය. මෙය කාල සම්මුත්තියේ ආරම්බක සම්මුතියක් බව අද බොහෝ මිනිසුන් විසින් අමතක කර තිබේ. මේ හරහා මතු කළ හැකි දින දර්ශන ක්‍රම වේදය දක්වා වූ දීර්ග ඉතිහාසය පසක තැබූ විට ග්‍රහ තාරකා ක්‍රමවේදයෙන් මිනිසා අවබෝධ කරගත් තවත් ප්‍රධාන සංකල්පයක් වන්නේ දිසාවන් පිළිඹඳ මිනිසා ලබා ගත් පරිකල්පිත ඥානයයි. ඝන වනයකට ගිය මිනිසෙකු සිය ගමන් මග වරදවා නොගෙන ආපසු නියමිත ස්ථානයට පැමිනිය හැක්කේ හිරු සඳු සහ ග්‍රහ තාරකාවන් ගේ චලිතය පිළිඹඳ අවබෝධයක් ඇත්නම් පමණි. මහා සාගරය තරණය කරන මිනිසුන්ටද මග සොයා ගැනීමට මේ තත්ත්වය සාධාරණය. කොතරම් තාක්ෂණය දියුනු මට්ටමකට පත්ද වූවද අද පවා හිරු සඳු සහ ග්‍රහ තාරකා අරමුණු කර තෝරාගනු ලබන දිසාව පිළිඹද නිවේදනයන් යල් පැන ගොස් නැත. වෙනස් වන්නේ පැවැත්මේ ස්වභාවය විනා පැවැත්ම නොවන වග අප අමතක කර තිබේ. එහෙත් පුරාණ කාලයේ ග්‍රහ ගමනත් සමග බැඳී පැවතුන මේ දිශාව සලකුණු කිරීමට නොසැලෙන ගල්පරුවත ගස් කොළන් වැනි දේ සලකුණු කරගත් නමුත් නියමිත නිශ්චිත මායිම් සලකුණු කරගෙන ඇත්තේ අහසේ චලිත වන ග්‍රහයන්ගේ පිහිටීම මත බව සැලකිය හැක. එහෙත් දිශාව සොයා ගැනීමට යම් උපකරණක අවශ්‍ය තාවය එදා මිනිසාටද නොතිබුනා නොවේ. මේ කාලයේදී මිනිසා ස්වභාවයේ පවතින කාන්දම් ගුණය සොයා ගැනීම ලෝකය උඩු යටිකුරු වීමට හේතු විය හැකි බව කිසිවෙකු දැන සිටියේ නැත. කොටින්ම චුම්බක බලය අවබෝධ ගරගැනීමත් සමගම මාලිමාව සොයාගැනීමෙන් නාවික ගමනාගමනය විදිමත් වූ අතර ඉක්බිති දේශ ගවේශනයත් මහා පරිමාණයෙන් දියුණු විය. වෙළඳ පොළ අවශ්‍යතා හරහා අවසානයේ මාලිමාව ලෝක වෙළඳ පොළක දිශාවද නිවැරදිව තීන්දු කරන ලදී. පසුව ඇතිවූ ලෝක මහා සංග්‍රාම හරහා අධිරාජ්‍ය වාදය නිර්මානය වූ ආකාරය සිතා බලන කළ චුම්බක බලයේ අවබෝධයෙන් ලෝකය එක යායක් සේ පෙනෙන්නට පටන්ගැනීම කෙසේවත් සෙල්ලමක් ලෙස සැලකිය නොහැක.

අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි යන්නෙන් ආරම්භ වන කොමිනියුස්ට් ප්‍රකාශනය අත් පොතක් වශයෙන් ගෙන වුවද  දඹානේ මුවන් පවා ෂොපින් බෑග් ගිල දැමීමෙන් සිදුවන වනසත්ව පරිසර විනාශය දක්වා වූ දැවැන්ත වෙනස්කම් ප්‍රාග්ධනය ඔස්සේද කියවිය හැකි නමුත් හෞතිකය සහ පාර භෞතිකයේ නිරුවත් ප්‍රේමය නාසා ආයතනයේ රියල් කැමරාවෙන් පවා දකින්නට හැකි බැවින් අද අපට බල කර සිටින්නේ කේ කේ සමන්කුමාරගේ කෘති විඳීමට චුම්බක ක්ෂේත්‍ර බල රේකා ගැලපීම වඩාත් කාලෝචිත බවය. මන්ද පෘථිවි සාමාජීය චුම්බක බල ක්ෂේත්‍රයේ නිශ්චිත පරමාර්ත බල රටාවන්ට හසු නොවන ලක්ෂ්‍යයක සර්පයාගේ සාහිත්‍ය ශානරය ස්ථානගතවී ඇති නිසාය. එය පෙනෙනවාටත් වඩා දැනෙන දෙයක් බවද කිව යුතුව තිබේ. ග්‍රහතාරකා බල පද්ධතියේ රික්තාව හෙවත් හිස්තැන පෘථිවි සහ විශ්වීය චුම්බක බල පද්දතියේ රික්තකයට  සමගාමී ලෙස දැනෙන විට සර්පයා මේ බල පද්ධතියේ බල රේකාවකම ස්තාන ගතවූවා නම් මුල මැද අග සහිත කතාන්දර කියමින් ඇමරිකාවේ නාසා ආයතනයේ පෙම්කෙලියේ කන්‍යා සිවිය ගැන ලියමින්, විචාරකයන් සහ පොත් වෙළෙන්දන්වද චූන් කරමින් වැජඹෙන්නට තිබුනේ මීට දශක දෙකකට පමණ පෙර බවද සටහන් කළ යුතුය. එහෙත් සර්පයාගේ සාහිත්‍ය ශානරය මේ බල පද්ධතියේ බල රේකා මත නොව රික්තාවක හෙවත් රික්තක ස්ථානයක ස්ථානගත වූ බැවින් බල රේකාවන් ගේ පරමාර්ථ තත්වයන් ඔස්සේ නිදහසේ බලමින් සහ සිතමින්  පද්ධති ආකාරයටම සංකල්ප මතු කරමින් තම ආත්ම ප්‍රකාශනය සමාජගතකිරීම යහමින් සිදුකරමින් සිටින වග පෙනේ. මෙහෙයින් සර්පයාගේ කෘතීන් තුළ ඇති සංකල්ප රූප අවයවයන් ලෙස ගෙන රස විඳින්නන් සර්පයාගේ කෘති කියවන්නට නොහැකි බවත්, නොතේරෙන බවත් පවසන අතර අවසානයේදී පවසන්නේ අමාරුවෙන් කෙසේ හෝ කියවා නිම කළ බවය. තවදුරටත් ප්‍රශ්න කළ විට ඔවුන් පවසන්නේ කියවා අවසාන වූ කළ උතුර දකුන මාරු වූ බවය. ඒහෙත් කෘතියේ ඇති සංකල්ප රූප පද්ධතියක් ලෙස ගෙන කියවූ පාඨකයන් පවසන්නේ ආතල් පොත මාර පොත කියා බව අප අසා තිබේ. සමන් විසින් නිර්මාණය කර ඇති සියලු සංකල්ප රූප වෙන්කර තනිකර  ගත් විට දිශා මාරුවී සිතීම පැටලී ලෝකය විකාරයක් ලෙස පෙනීම අනිවාර්ය වී තිබේ. එහෙත් පද්ධතියක් වශයෙන් ගත් කළ අපට දැනෙන්නේ වෙනම හැඟීමකි. කියවන දෙය දැනෙනවා මිසක තේරුම් ගන්නට නම් යම් උපයෝගිතා කතාන්දරයක පිහිටද අනිවාර්ය වී තිබීම ස්වභාවයේ සරදමකි. මේ ක්‍රම දෙකෙහිද උස් පහත් බේදයක් නැත. මන්ද නූතන ලෝකය විවිධ මට්ටම් අනුව දේවල් වර්ග කරනවා විනා උස් පහත් බව මැනීම ප්‍රතික්ෂෙප කිරීම පිළිගත යුතු ක්‍රමවේදයක් බවට අද පත්වී ඇති නිසාය. සමන්ගේ කෘති කියවීමේදීද පාඨකයන්  මුල සිට අග දක්වා සුපුරුදු ක්‍රමයට කියවීම සාමාන්‍යයකි. නමුත්  පොත පෙරලුන තැනින් කියවා නැවත පෙරලා එතනින්ද කියවා නැවත නැවත එලෙසම කියවන පිරිසක්ද අප අතර නොසිටිනවා නොවේ. නූතන ලෝකයේ දුරස්ත පාලක පුරුදු විද්‍යුත් සංනිවේදනයට පමණක් අද සීමා වී නැත. එය වැසිකිලියටද සාධාරණය. සංකල්ප රූප එකින් එක විඳිමින් පිළිවෙලකට රස විඳින්නන්ට මේ ක්‍රමයට හුරු වූ රසිකයන් කැමැත්තක් නැත. එහෙත් සමන්ගේ නිර්මාන කොයි ආකාරයෙන් කියවාගෙන ගියත් ගැටලුවක් නොවන වග සමන්ගේ කෘති අත්පොත් බවට පත්කරගත් පාඨකයෝ දනිති. බල පද්ධතියක රික්තාවක සිට ලෝකය දකින සර්පයෙකුට බලරේකා දර්ශනය වන්නේ පද්ධති වශයෙන් විනා අවයව හෝ අංශු වශයෙන් නොවන බැවින් සමන්ගේ කෘති කියවීමේදීද අනු පිළිවෙලක ගැටලුවක් ඇති නොවීම මේ මොහොතේ කියවන්නන්ට පහසුවක් වී තිබෙන වගද සැලකිය යුතු කාරණයකි. මීට ප්‍රධාන සාධකය වන්නේ මේ නිමේශයේ මිනිස් ජීවිත වලට අනු පිළිවෙල අහිමි වීමයි. මිනිසාගේ සියලු ගමන් බිමන් පවා සාක්කුවේ ඇති සෙලියුලර් පෝනය හරහා පමණක් ක්ෂණිකව වෙනස් කිරීමට අද ගතවන්නේ තප්පර කීපයක් පමණි. ස්තිර සැලසුමක අස්තිර බව නියමයක් වී ඇති නිමේෂයක ස්තීරත්වය අරමුණු කරගත් කලා කරුවන් හිතන්නේ, ලියන්නේ, කියන්නේ  මහ පොලවේ සිට නොව අහසේ තිබෙන අතීත සිහිනයක අතර මං වී බව පෙනේ. මීට ප්‍රතිපක්ෂව ලියවෙන සමන්ගේ සාහිත්‍යයේ සිහින යථාව සැබෑ යථාවක්ම වන්නේ එබැවිනි. ස්ථිර සැලසුම් සහිත න්‍යාය පත්‍ර සියල්ල සිහිනයක් වූ සමාජ රටාවක් පවතින නිමේෂයක සමන්ගේ සිහින සාහිත්‍යය නිර්මාණ යථාවක් බව දැකිය හැක්කේ මේ සැබෑව වටහා ගත් අයෙකුට පමණි.

       මාලිමාව සංකේතයක් ලෙස ගත් කල එහි ජයග්‍රනයන් ලෙස අප  ප්‍රජාතන්ත්‍රවාදය තලුමරමින්,අනුබව කරමින් පවුල පෞද්ගලික දේපල සහ රජය යන සියල්ල සමාජවාදී ක්‍රමයක් දක්වා වෙනස් කීරීමට බොහෝ දෙනෙක් ජීවිත පූජාවෙන් කැපවී සිටි අවධියක මාලිමා දිශාවම මුල් කරගනිමින් පෙරදිග සහ අපරදිග ලෙස අප කොදෙව්වද සංස්කෘතික වශයෙන් ධ්‍රැවීකරණය විය. මේ ප්‍රති විරෝධී තත්ත්වය විහිලුවක් මුත් මේ තත්ත්වය අද මිනිසා සිය ජීවිත වලින්ම වන්දි ගෙවන තත්ත්වයක් දක්වා ඔඩු දුවා තිබේ. තවත් පසකින් අප උතුර දකුන වශයෙන් බෙදී වෙන්වීමේ තීරණාත්මක අවස්ථාවක්ද මේ කාලයේ මතුවූ බව අමතක කළ නොහැකි කටුක යථාවකි. හැත්තෑ හතේ වසරේ විවෘත ආර්තික ප්‍රතිපත්ති හරහා ගෝලීය කරණය යන පෙරලියෙන් පටන්ගෙන මහා අදිකාරී වෙළඳ පොළක් තවුස් වෙස් ගෙන වේගයෙන් දලු දමා වැඩෙන්නට විය. එවිට මාලිමාවටත්, චුම්බක බල පද්ධතියටත්, රික්තාවන්ටත් සිදුවූවේ තපස් රැකීමට වග අමුතුවෙන් සඳහන් කළ යුතු කාරනාවක් විය නොහැක. මේ කාරණා සමනය වන්නටත් පෙර ක්ෂණිකවම හිටිගමන් ලෝක තත්ත්වයන්ට අනුගත වෙමින් සිදුවූ මෙම වෙනස් කම් භෞතික චුම්භක බල පද්ධතියේ හැඩයට සමගාමීව සිදුවිය. එය සැබැවින්ම සාමාජීය  චුම්බක බල පද්ධතියේද දිගුවකි. එහෙත් මේ බව විද්‍යුත් චුම්බක තරංග වෙළෙන්ඳන් අප ඉදිරියට පැන කියන්නට තරම් ඉක්මන් නොවීය. ඒ වෙළෙන්ඳන්ගේ ස්වභාවයයි. කොටින්ම මේ මොහොතේ අහසේ ස්ථාන ගතවී ඇති ප්‍රාග්ධනයේ චලිතයේ ස්වරූපයයි. අප කොදෙව්වේ වැඩි හරියක් මිනිසුන් වලිගය පාගා ගත්තේ මේ නිමේශයේ බව පෙනේ. විද්‍යුත් චුම්බක විකිරණ හා ඉලෙක්ට්‍රෝන වැනි පදාර්ථ අතර අන්තර් ක්‍රියාව පිළිඹද ක්වොන්ටම් විද්‍යුත් ගතික වාදයක් ලෙසද විස්තර කරගනිමින් මේ දැනුම පද්ධතිය ඉදිරියට යන වග දැන සිටි සමාජ ක්‍රියාකාරීන්ට පවා මේ වෙනස ආගන්තුක විය. වරක් එංගල්ස් පැවසූ පරිදි හෞතික විද්‍යාව තබන්නේ යෝධ පියවර වන අතර අනෙකුත් විද්‍යාවන් ගමන් කරන්නේ ඉබි ගමනින් බව නැවත නැවතත් සාධනය වීමට විද්‍යුත් චුම්බක තරංග බලකර සිටියා සේ පෙනේ. මිනිසුන් විද්‍යුත් චුම්බක තරංග ජාලයක සිරකරුවන් වග බටහිර විද්‍යා උගතුන් එකල දෙසන කළ අප රට තුළ බොහෝ මාක්ස්වාදීන් එදා එවන් අදහස් යාන්ත්‍රික භෞතිකවාදී මනස්ගාත ලෙස හඳුන්වා නොසලකා හරින ලදී. එහෙත් මේ පසුබිම මත සියලු වාමාංශික සහ මාක්ස්වාදී සංවිධාන යම් කාලයකට හෝ නන්නත්තාර වී ඇති බව කිසිසේත්ම නොසලකා හැරිය නොහැක.

              විද්‍යුත් චුම්බක තරංග කේන්ද්‍රීය කරගනිමින් අන්තර් ජාලය බිහිවී ලෝක දේශපාලනයට කළ වෙනස මාලිමා යන්ත්‍රය කේන්ද්‍ර වී සිදුවූ ක්‍රියාවන් දෙවැනි තැනට පත්කළ බවද අප පැහැදිලි කරගත යුතුය. මාලිමා යන්ත්‍රයටත් අන්තර් ජාලයටත් පසුබිමින් පවතින දේශපාලන චලිතය තම තම නැන පමණින් තේරුම් ගැනීම ඔබ සතු කාරියකි. මාලිමා සංකේතයේ දෙවැනි දිගුව සේ දැකිය හැකි අන්තර් ජාලය බලය තහවුරු කරගත්තේ ලෝකයේ සියලු මිනිසුන්ගේ ඇස් කන් පමණක් නොව නාසයන්ද වසා දමා බව අප කොදෙව් වාසීන්ට කිසිදා අමතක කළ නොහැක. පළමුව විද්වතුන්ගේ සහ සමාගම් හිමියන්ගේ පමණක් බූදලයක් වූ පරිගනකය පොදුජනතාවගේ පාරිභෝගික භාන්ඩයක් බවට පත්වූයේ අන්තර් ජාලයේ ක්‍රියාකාරිත්වය පසුබිම් කරගනිමිනි. මාලිමාව පසුබිම් කර ලෝකය එක යායක් කල තල රූපී ආකාරය ත්‍රිමාණ හැඩයකින් නැවත පොලා පැන්නේ මිනිස් ඉතිහාසයේ සියලු සම්ප්‍රධායන් සහ සියලු දැනුම් පද්ධති ජාලයන් උඩු යටිකුරු කරමිනි. දේශපාලනයේ මිනුම් දඬු සහ සූරා කෑමේ ක්‍රම වේද තපස් වෙස් ගත් කළ චුම්බක බලයේ දිගුව මිනිසා විසින් සොයා යන්නටත් පෙර සමාජවාදය බිහි කිරීම කරුමයක් සේ දුටු චින්තකයෝ ප්‍රීති ගීත ලියමින් සහ කියමින් සතුට ප්‍රකාශ කිරීම අදටද නවතා නැත. ඔවුන්ගේ අදහස නූතන තත්ත්වයන් නිසා අද පවතින මෙම ක්‍රමය සදාකාලික වී ඇති බවය. දේශපාලනය පමණක් නොව  මිනිස් චින්තනයද, ප්‍රසිද්ධියේ කතා බහ නොකළාට ධනේශ්වර සමාජ ක්‍රමයේ පුංචිම නිශ්පාදන මාදිලියක් වූ ඒක ලිංගික පවුල් සංස්ථාවද, සිය මව සහ පියාද හුවමාරු භාන්ඩයකට අයත් කොන්දේසි යටතේ සිල්ලර තත්ත්වයකට පත් කර ඇති බව බොහෝ දෙනෙකු තවමත් වටහාගෙන නැත. සියල්ලන්ටම පෙර මිනිසාගේ හෘද ශාක්ෂිය වූ ආගම දහම අයත් මහා සංස්කෘතිය පවා වෙළඳ අවකාශයේ වෙන්දේසි වන්නේ මිනිසුන්ගේ විනෝදයේම තවත් එක් අර්ධයක් නියෝජනය කරමිනි. කොටින්ම මේ මොහොතේ  සංස්කෘතික බලයේ ඓතිහාසික වටිනාකම් ගැන කතා කිරීමට කිසිවක් ඉතිරිවී නැත. සංස්කෘතිය වනාහී වෙළඳ ප්‍රචාරනයේ තවත් එක් හුවමාරු සංකේතයක් පමණි. ඒවා විකිනීම සහ වෙන්දේසි කිරීම මේ තත්ත්වය පටන්ගත් මොහොතේම ආරම්බ විය. පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර බල රේකාවෝ පද්ධතියක් ආකාරයට පිම්මක් පැනීම සිදුවූවාට බොහෝ පිරිසක් සිතන ආකාරයට ස්වභාවයේ න්‍යායන් වෙනස් වීමක් සිදු නොවූ අතර සිදුවූයේ ඒවා දෙස බලන ස්වරූපය වෙනස්වීම පමණි. එය දැනෙන්නට පටන්ගත්තේ මේ බල රටා සම්බන්ධව දේශපාලන හැදෑරීමක් සහ ඉවක් තිබූ අතලොස්සක් පිරිසකට පමණි.


   අපරදිගින් ආරම්බ වූ මහා තරංග කුණාටුව නිසා ජන මාධ්‍ය ප්‍රාග්ධනය විසින් බොහෝ කලාකරුවන්ගේ කෙත්වතු පවා විනාශ කර දැමූ අතර කේ කේ සමන් නොහොත් සර්පයාගේ  කෙස් ගසක්වත් සොලවන්නට මේ තත්ත්වයට කිසිසේත්ම නොහැකි විය. ඒ අන් කාරනයක් නිසා නොව පශ්චාත් නූතන දේශපාලන තත්ත්වයන් ගැන හැදෑරීමකින් සහ අවධියෙන් ඔහු ජීවත් වූ නිසාය. කලාකරුවන් ගොවියන් කර ගොවියන් කලාකරුවන් කළ මේ තත්ත්වයට තක්කඩියන් අවිහිංසකයන් කිරීමටත් අවිහිංසකයන් තක්කඩියන් කිරීමටත් ගතවූයේ ඉතා සුළු කාලයකි. එහෙත් සර්පයා හෙවත් කේ කේ සමන් කුමාර තමන් ගමන් කරමින් සිටි මාර්ගයේම ඉදිරියට යාම වේගවත් කළේය. මේ කාලය තුළ සර්පයා අසම්මත මිනිසෙකු ලෙස හඳුන්වන පිරිසට අමතක වී ඇත්තේ සැබෑ අසම්මත මිනිසුන් වනාහී සම්මතයේ හරපද්ධතියේ සැබෑ මිනිසුන් ලෙස ජීවත් වන වගයි. එහෙයින්ම සම්මතයේ හර පද්ධතියෙන් පිට ජීවත්වන බොහෝ දෙනෙකුට සර්පයාගේ සාහිත්‍ය ශානරය ආගන්තුකය. රටේ වෙනසටත් කලින් සිටම වෙනස් ආරකින් පාටකයන් අමතමින් සිටි සර්පයා ආයාසයකින් තොරවම දත් තිස්දෙකම එලියට දා හිනැහෙමින් තමන් ලියමින් සිටි රටාවම වැඩි දියුණු කර ලියාගෙන ලියාගෙන යන්නට පටන් ගත්තේය. නමුත් සාමාජීය දැනුම අඩු පිරිසක් සමාජය තුළ වැඩි වූ බැවින් නොදන්නා අයගේ දැන ගැනීම සඳහා තමා විසින් ලියන ලද බොහෝ පොත් අගට ශබ්ද කෝෂයක් එක්කරන්නට ද ඔහුට පසු කාලයේ සිදුවිය. මේ ශබ්දකෝෂ එකතුව නිසාම සර්පයාගේ පොත් මිලට ගැනීමට තවත් පාටකයන් පිරිසක් එකතු විය. කෙසේ නමුත් කේ කේ සමන්ගේ සාහිත්‍යය ශානරයේ කැපී පෙනෙන වෙනස්කම් බොහෝ තිබේ. කොටින්ම සර්පයාගේ සාහිත්‍ය ශානරයේ කොපි පිටපත් නම්  බිහිවීමට කිසිසේත්ම හැකියාවක් තිබිය නොහැක. කේ. කේ සමන් හෙවත් සර්පයාව අනු දැක නිර්මාණ කරුවන් යම් තරමක් තැනින් තැන මතුවන්නට පටන් ගත් නමුත් ඒ නිර්මාණ කරුවන් යම් තරමකට ජයගෙන තිබුනේ සමන්ගේ සාහිත්‍යයේ ආකෘතික ලක්ෂන වල යම් යම් හැඩ තල පමණි.  ඔවුහු කංකානම් කපුගේ  හෙවත් සර්පයා විසින් ජාතක කළ සර්ප පැටව් නොවූහ. එසේ වන්නේ සර්පයා ඉතිහාසය විසින් තරංග බල පද්ධතියේ රික්තාවක ස්ථාන ගතවී ඇති නිසා බව වටහා ගැනීමට නොහැකි ඇතැම් පිරිසක් සර්පයාව දැකිය යුතු ආකාරය  ප්‍රෙහෙලිකාවක් බවට පත් කළ බවද සටහන් කළ යුතුය. බල රටාවක රික්තාවක ස්ථාන ගතවූ අයගේ දැක්ම අනු දැක සිතන්නට බල රේකා මත චලිතයට ගොදුරු වී සිටින නිර්මාණ කරුවන්ට කිසිදා නොහැකි වීම ස්වභාවයේ නියමයකි. එහෙත් ඔවුන්ගේ නිර්මාණද නොසලකා හැරිය යුතු  නිර්මාණ  වග මින් අදහස් නොවේ. කෙසේ නමුත් සමන් කුමාරගේ සාහිත්‍ය ශානරය සමන්ගෙන් පසු සර්ප රැල්ලක් නිර්මානය වීමට අවකාශයක් මහ පොළවේ ඓතිහාසිකව සැකසී පෝෂණය වී නැත. සමන්ගේ සාහිත්‍ය ශානරය සමන්ගෙන්ම අවසාන වීමට බොහෝ දුරට ඉඩ තිබෙන්නේ එබැවිනි. යෝජිත කියවීමට අනුව සර්පයා සුවිෂේශයක් වන්නේත් එබැවිනි. මෙම ලිපිය ලියන්නට සිතමින් සිටි මොහොතේ මා සමන්ගෙන් ඇසූ එකම ප්‍රශ්නය වූයේ මේ සමාජීය විද්‍යුත් චුම්බක දේශපාලන තරංග කුණාටුව නිසා ධනේශ්වර ක්‍රමය ශක්තිමත් වී කාල්මාක්ස් ප්‍රාග්ධනය හරහා මතුකළ දේශපාලන කාරනා අහෝසි වූවායයි නුඹ සිතන්නේද යන්නයි. මහ හඬින් හිනාවෙමින් සැහැල්ලුවෙන් ඔහු පැවසුවේ තාක්ෂණික ධනවාදයේ මහා දියුණුවක් සේ  නිර්මාණය වී ඇති මේ බලයේ  ශක්තිය අවසානයේ තාක්ෂණික ධනවාදයටම අභියෝගයක් වන බවය. සමාජ චලිතයේ ස්වභාවයේ ගතිකය සමාජ බලපද්ධතියක රික්තාවක සිට නැවුම් සාහිත්‍යය තාක්ෂණයකින් විමසන සමන් කුමාර කාන්දම් සර්පයකු වන්නේ එබැවිනි. පශ්චාත් නූතන වාදය පමණක් නොව පශ්චාත් පරිසර වාදය, පශ්චාත් ස්ත්‍රීවාදය, තාක්ෂණික ධනවාදය ගැන නිදසුන් සමන්ගේ කෘති තුලින් සංකේතවත් වූයේ මේවා ගැන අද මෙන් වටිනාකමක් නොතිබූ අවධියක බවද සටහන් කර තැබීම කාලෝචිත බව සිතේ. මෙම දැවැන්ත විද්‍යුත් චුම්බක තරංග පසුබිම් කරගත් සමාජ වෙනසටත් පෙර සිටම සමන් අයත් පරපුර දේශපාලනය, කලාව සහ දර්ශනය හරහා මේ තත්ත්වය බලා පොරොත්තුවෙන් සිටි පිරිසකි. සමන් මේ බලාපොරොත්තුවටම මුල්තැන දී ආවේශ වූවෙකු සේ හැදෑරීමට සහ ලිවීමට කාලය කැප කල අයෙකි. චුම්බක බල රටාවක රික්තාවක ස්ථාන ගතවී දේවල් හොයන, සිතන, ලියන කේ කේ සමන් කුමාරට නොහොත් සර්පයාට තමාගේ හැදෑරීම් සහ සිතීම නව පරපුරේ සාහිත්‍ය රසිකයන්ට කිසිසේත්ම ආගන්තුක විය නොහැකි බවද සැබෑවකි. මා මෙහි නව පරපුර යන්නෙන් අදහස් කර ඇත්තේ අද ජංගි කොට ගසාගෙන ඇනරොයිඩ් හෝ අයි පෝන් ශරීරයේම කොටසක් බවට පත්කර ගත් 2K පරපුරේම නව කුලකයට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

ජගත් මාරසිංහ
2017 මාර්තු 18





Powered by Blogger.