මාර මතක
චැප්ලින් හරහා හමු වූ අනුරුද්ධ ප්‍රදීප් (මිනුවන්ගොඩට චැප්ලින් ආ දා)
ඒ 1996 වර්ෂයයි. මා ඉතා
අසරණ වූ අවධියකි. එහෙත් සතුටින් සිටි බවද සටහන් කළ යුතුය. තවත් පැත්තකින් මගේ උපන් ගම වූ මිනුවන්ගොඩ හැර ගොස් වසර විසි
එකකට පමන පසු නැවත ගම මතක් වූ කාලයක් සේද මතකයේ තිබේ. කොටින්ම මිනුවන්ගොඩට වී
ගම්පහ දිසාවේ තැන තැන රස්තියාදු ගසමින් ඇල්කොහොල් සමග අතීත කාමය කට කැස්මක් කරගත් කාලයයි.
උපන් ගම හැර දමා මොරටුවට පෙම් බැඳ දහ අට වසක් මොරටුවද ගමක් කරගත් මා නැවත උපන් ගමට පදිංචියට යාමට මුට්ටිය දමා බැලූ කාලයයි. මයිලයෙන් මයිලයට හමුවන පොල්
වතු යායවල් වෙන්දේසි වතුබවට පත්වී පිටස්තර මිනිසුන් මිනුවන්ගොඩට විත් නව පැෂන්
සංස්කෘතියක් ගොඩ නගන්නට පටන් ගත් කාලයද ඒ කාලයටම සමගාමී වූවා සේය. ජීවිතේ ගැන කතා
බහ කරන්නට මිනිසුන් නැති වූ තැන කොතරම් සුන්දර දෙයක් දුටුවත් එය හදවතට සතුටක්
ගෙනෙන්නේ නැත. මා උපන් ගමේ නව ගොඩනැගිලි සහ කොන්ක්‍රිට් පාරවල් දියුනුවක් සේ දැක
නැවත පදිංචියට සුදුසුදැයි බැලීමට උපන් ගමට දැමූ මුට්ටිය කුඩුපට්ටම් වූ කාලයද එයම
විය. මා ඒ මොහොතේ අතරමං වී සිටියේ කැලයක නොව සියලු නව පහසුකම් වලින් සමන්විත මා
උපන් ගමේම වීම අනෙකුන්ට මගේ පිස්සුවක් සේ දැනෙන්නට ඇත. හැත්තෑ හතේ විවෘත ආර්තික
වැඩපිළිවෙත් සමග කටුනායක නිදහස් වෙළඳ කලාපය ආරම්භ වූයේ කවදාද, එදා සිට ග්‍රාමීය
නගරයක් වූ මිනුවන්ගොඩ නගරයක් ලෙස නොව සම්බන්ධීකරන නගරයක් ලෙස නිසි පාලනයකින් තොරව වෙනස් වන්නට විය. එදා
දේශපාලන ඉවක් තිබූ කොලුගැටයන් වූ මා ඇතුලු කීපදෙනෙකුට මෙවා අළුත් දේ නොවන වගද ලියා
තැබිය යුතුය. එහෙත් තනිකම වනාහී දැනුමට බුද්ධියට කීකරු වන්නේ නැති දෙයකි. එකළ
තදින්ම මත් වතුර බීමට ඇබ්බැහි වී සිටි මා සරමකුත් ගසාගෙන පාන්දරින්ම මිනුවන්ගොඩ
වළංකඩවීදියට ගියේ තැබෑරුමක් නොවන තැබෑරුමක් සොයා බව කිසිවෙකුට රහසක් වීමට ඉඩ දිය
යුතු නොවේ.
දන්නා කියන ගමේ
මිනිසුන්ද වචනයක් දෙකක් කතා කර කැරට් අලය පසුපස කඳු නගින කාලයක පිටස්තර මිනිසුන්
ගැන කතා කිරීමෙන් පලක් නැති වග මම දනිමි. අද වන විට සියලු බැංකු ශාඛාවන් මිනුවන්ගොඩ
නගරය අරක් ගෙන හමාරය. සාමාන්‍ය මිනිසුන් හිතන්නේ බැංකුව වනාහී මුදල් නිෂ්පාදනය කරන
උත්තරීතර ආයතනයක් ලෙසය. ඊටම සමගාමීව වෛද්‍ය සායනද බැබලෙමින් තිබේ. ප්‍රථම අගමැති
වූ අතීතයේ මිනුවන්ගොඩ ආසනය නියෝජනය කළ ඩී. ඇස් සේනානායක ප්‍රතිමාව පොල්කොටන් පුරවාගෙන යන
දැවැන්ත බර වාහන දෙස ඇලිස්පාක් පිට්ටනියේ සීරුවෙන් සිට බලා සිටිනවා සේ පෙනේ. වාහන
සහ මගියන්ගෙන්ද ආඪ්‍ය වූ නගරය දැන් පිටකොටුවටද හපන්ය. එකිනෙකා තරඟයට මෙන් ගමනේ යයි.
ඒ කාලයේ ගමේ ඇවිදින විට සිය දෙනෙක් මුන ගැසෙන විට හැට දෙනෙකු සමගවත් ලාවට හෝ සිනහ
විය යුතුය. එහෙත් ඒ මිනිස් සබඳතා අද වන විට අහෝසි වී තිබේ. අප කොදෙව්වේ මේ
තත්ත්වයට තව කොතෙකුත් උදාහරණ තිබිය හැක. එහෙත් අසම්පූරණ නව සම්බන්ධීකරණ නගරයක ව්‍යුහය විමසන කල මිනුවන්ගොඩ අතීතය ගැන දන්නා අයට යම් කලකිරීමක් ඇති නොවන්නේද නැත. ගම්මුන්
දෙවැනි තැනට දා පිට ගම්මුන් වැඩිවීම සම්බන්ධීකරන නගරයක මූලික ලක්ෂණයක් බව සැබෑවකි. විවිධ උපසංස්කෘති සංයෝග වීමෙන් නිදහසේ ගලා ගිය ප්‍රධාන උපසංස්කෘති අච්චාරුවක් වන්නේ මේ නිමේශයේදීය.
උඩුගම්පල සකල කලා වල්ලබ
යුව රජුගේ කාලයේ ජන කතා සිහිකරමින් භාගයක් ක්‍රියාකොට එවා නැවත නැවතත් මෙනෙහි කරමින් පහත රට තෙත් කලාපයේ අහඹුවකින් ඉතිරි වී ඇති වෙල්යාය දෙස ඔහේ බලා සිටීම
භාවනාවක් සේ මධුලෝලියෙකු වූ මට එදින හැඟෙන්නට ඇත. තවමත් තැනින් තැන ඇති ගහක් කොලක්
දුටු විට ගමනට සහයක් වන්නේ ඇහැල මලින් ගස් පිරිලා යන දයානන්ද ගුණවර්ධනගේ නරි බෑනා
ගීතය සැබෑවටම විඳගත් පැරැන්නන්ට අතීත මතකයන් තුළ එවැනි ගී ගමනට තාලයක් සපයන නිසා
වීමට පුළුවන. එහෙත් එවන් හරිත වතු මනසින් මවා ගන්නවා විනා හැබැහින් නම් මේ වන විට
කිසිසේත්ම දැක ගත නොහැක. මන්ද ඒවා මේ වන විට වෙන්දේසි වතු වී හමාර වෙමින් පවතින
නිසාය. මේ වෙනසට කිසිසේත්ම කිසිවෙකුට විරුද්ධ විය නොහැකි අතර බිහිවන නව නාගරික උප සංකෘතික
රටාවේ විකෘතිය දකින විට නම් ඇතිවන්නේ කෝපයක් නොවන්නේද නොවේ. අපේ කාලයේ පරපුර එකල
මේවාට කරබාගෙන නිකම් සිටියේද නැත. කන්නට තිබෙන්නා වූ ඉහලම පරිප්පුද ගම සහ පාසැල
වෙනුවෙන් කෑවෙමු. කොටින්ම මා සමගම සිටි සැබෑ මිතුරන් දෙදෙනාම මේ වනවිට සදහටම සිතීම
නවතා අවසානය. මෙවන් සිතුවිලි අතර දියුනු වෙමින් පවතින බව සමහරුන් හිතන මා උපන් ගමේ
ජීවිතයට වඩා මොරටුවම අහෝ සැපයි සැපයි කියමින් පදමට සූර් වූ මා තවත් භාගයක්
සාක්කුවේ දමාගෙන බස්නැවතුමක් සොයා ගමන් කළ බවද මතකයේ තිබේ. මොරටුව සැපක් ලෙස
දැනෙන්නේ එය මෙවැනි තත්ත්වයන්ට මුහුණදී මුහුකුරා ගිය නගරයක් නිසා වීමට පුළුවන. එසේ යන අතර තාප්පයක තිබි පෝස්ටරයකින්
මා සිත සතුටින් පිරී තිරී ගියේය. චාලි චැප්ලින්ගේ “මොඩන් ටයිම්ස්“ නැමති චිත්‍රපටය එදින ජාපාල
වත්ත විද්‍යාලයේ තිරගත කරන වගත් ඒ පිළිඹද සංවාදාත්මක කතිකාවක් පවත්වන වගත් එහි
ලියා තිබිනි. ඉඩෝර කාලයක සුදු වලාකුළු පිරි අහසක වැසි වලාකුලක් දුටු ගොවියෙකු මෙන්
මා පිනා ගියේය. අපද එකල චාලිචැප්ලින්ව මිනුවන්ගොඩට ගෙනෙන්නට ගොස් ගොස් බීෂණය ආරම්භ වූ බැවින් එය අසාර්තක විය. තව පැත්තකින් එදා විප්ලව වාදියෙකු ලෙස හිතා හිටි අයෙකු මේ
මිනිස්සුන්ව හිනස්සන වෙලාවක්ද කියා මගෙන් ඇසුවේ දත්මිටි කමින් වගද මතකයේ තිබේ.
ඔහුට චැප්ලින් සහ කලාව ගැන තිබූ පන්ඩිත කම චැප්ලින්ගේ සිනමාවේ ඇතැම් තැන් සිහිගන්වන සුලුය. එහෙත්
අළුත් පරපුරක තරුණ ප්‍රවනතාවක පොස්ටරය දුටු විට තවමත් උපන් ගම්පියසේ සිනමාව සහ කලාව සම්බන්ධව දේශපාලනික ඇඟේ අමාරුව ඇති තරුණයන් පිරිසක් ඇති වග දැනී සතුට පිටාර ගලන්නට විය. එදා දවසේ සිතෙන් සැලසුම්
කර තිබි වැඩ සටහන ක්ෂණිකවම වෙනස් කළ මා ජාපාල වත්ත විද්‍යාලය බලා ගමන් ගත්තේ ආවේශ
වූවෙකු සේය.
නාඹර තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම කලා වැඩ කටයුත්ත
පේරාදෙනි විශ්ව විද්‍යාලයේ මිනුවන්ගොඩ අවට කොල්ලන් පිරිසකගේ මැදිහත් වීමෙන්
සිදුකරන දෙයක් වග මම වටින් ගොඩින් දැන ගතිමි. සැලකිය යුතු තරුණ තරුණියෝ පිරිසක් ඊට
සහභාගි වී සිටියෝය. මිනුවන්ගොඩ නගරයට මෙවන් පෙරලියක් සිදුවෙමින් පවතින වපසරියක
ඔවුන් සමගම නැවත මොඩන් ටයිම්ස් බැලීමට ලැබීම එදින මට සතුටක් මෙන්ම ආඩම්ඩරයක්ද විය.
චිත්‍රපටය ආරම්භ වූ මොහොතේ සිට මා එයට සම වැදී සිට ඇති බව දැන ගත්තේ පිටුපසින් පැමිණි තරුණ
සංවිධායක වරයෙක් මට විධානයක් නිකුත් කළ පසුවය. මගේ සිනහව අනෙකුන්ට කරදරයක් බැවින්
සෙමින් සිනහවන ලෙස ඔහු මගෙන් ඉල්ලීමක් කළේය. ඔවුන්ට අනුව එය ඉල්ලීමක් වුවත් මා
සිටි තත්ත්වයට අනුව එය තගක්ම විය. එතැන් සිට මගේ සතුට සදය සතුටක් බවට පත් වූ බවද
මතකයේ තිබේ.
ඉන් පසු මා එදින චිත්‍රපටයේ ඉතිරිය නැරඹුවේ ආවේශය පසක තබා මවා ගත්
සිවිල් වේශයකිනි. මධු ලෝලයෙකුට දරන්නට අපහසුම කාරිය වන්නේද මවා ගත් ලෝකයක ජීවත්
වීමය. එහෙත් සම්මන්ත්‍රනය අවසානයේ සංවාදය ආරම්භ වූ විට සමාජ භාෂාවෙන් බේබද්දා පරදා මගේ රසවින්දකයා නැගී
සිටියා සේය. චැප්ලින්ගේ සුඛාන්ත සිනමාවේ හරය චැප්ලින් අපෝහක භෞතික වාදියෙක්වූ තත්ත්වය දක්වා විස්තර කොට මා හට පැනවූ සිනහ තහනමේ කෝපයද මුසුකොට ගුලි කර මා විසින් එදා සොඳුරු ලෙස රසිකයන්ට දමා ගසන්නට ඇත. චැප්ලින් මාක්ස්වාදියෙකු වූ
අයුරුද මා අතින් අනිවාර්යෙන්ම කියවෙන්නට ඇත. පසු කාලයක ඔවුන් මට කීවේ සිනහව කරදරයක්
වූයේ සිනහ විය යුතු තැනට පෙර ඔබ සිනාසීම නිසා බවය. මීට පෙර අපේ කාලයේ දුක්
විඳිමින් බ්‍රිතාන්‍ය කවුන්සලයේ චැප්ලින් නරඹපු හැටි මා ඔවුන් සමග බෙදා ගන්නට ඇත.
මෙය චැප්ලින්ගේ සිනමා කෘති කලින් නරඹා ඇති අයට සිදු වන අලකලංචියකි. සිද්දිය වීමට පෙර එය
මැවී පෙනීම චැප්ලින්ගේ කෘතියක් දෙවනුව රස විඳින්නාට සාමාන්‍යකි. සැබෑවටම එය අනිකාට කරදරයක් විය හැක. කෙසේ හෝ මෙහි සිටි සිටි එක් තරුණයකු මා හස්තරේකා ගැන
හදාරන්නෙකු බව දැන මට අත දිගුකොට අයියේ මොනවා හෝ කියන්නට කියා ඉල්ලීමක් කර තිබේ.
මා ඔහුගේ ජීවිතයේ යම් කාරණා තුනක පමණක් අනාගත විස්තර පවසා ඔවුන්ගෙන් සමුගෙන පිටත්ව ගොස් තිබේ. එහෙත් පාරට බසින විට සාක්කුවේ තිබි භාගයෙන්
භාගයක්ම අහවර වී තිබුනානම් ඉතා හොඳින් මතකයේ තිබේ. කෙසේ හෝ බස්රතයකට ගොඩ වීමට මහා මාර්ගය තරණය කරන අවස්ථාවේ කොහේදෝ සිට වේගයෙන් පැමිණි යතුරු පැදියකට මා යට විය. එය කාගේ
දොසක්දැයි මම නොදනිමි. පුදුමය වන්නේ යතුරුපැදි කරුවාට බරපතල තුවාල සිදුවූ අතර
ඔහුගේ සාත්තුවට මිනිසුන් වට වීමත්, මා නැගිට ගොස් චැප්ලින්ගේ සිනමාවේ ජවනිකාවක කොටසක රූප රාමු පෙලක් මෙන් අද්දමින් තිබි බසයට ගොඩ වීමත්ය. මාගේ දනහිස පමනක් ලාවට සීරී තිබුනා මතකයේ තිබේ.
මා එතනට නොයන්නට ඇත්තේ මගේ කලිසම් සාක්කුවේ තැබෑරුම් කෑල්ලක් තිබි නිසා වීමටද පුළුවන.
පසු කාලයේ මම වෙනත් ආකාරයකින් වෙනස් වෙමින් තිබෙන උපන් ගමේ නගරය වූ
මිනුවන්ගොඩ පසක තබා මුහුකුරා ගිය නගරයක් වූ මොරටුවේම දිවිගෙවීමට තීරණයක් ගතිමි. ආශාව නැති නිසා නොව මරණ බය නිසාම
මධු මත්ලෝලී සංචාරය නිමකලෙමි. කොටින්ම මතට තිත තැබුවා නොව තිත් කොමාවක් තැබුවෙමි.
ඒ සංචාරයේ පලය වූයේ “කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව“ නැමති ග්‍රන්තය ලියන්නට
තරම් දේවල් මා තුළ එකතු වී තිබීමය. නැවත යහතින් පවුල් කන කාලයක් උදා විය. කාලය
සෙමින් සෙමින් ගෙවී යන විට වසර කීපයකට පසු ජාපාල වත්තේ පැවති සිනමා සංවාදයේ
සංවිධායක තරුණයකු දුරකතනයෙන් මා ඇමතීය. එදින නිකමට අත බලා රටා ගත කළ සංඛ්‍යාන
දක්තයන්ගෙන් මා විසින් පවසන ලද කාරනා තුනකින් දෙකක්ම නිවැරදිව සිදුවූ වග ඔහු පැවසුවේය. අනෙකද
පසු කළක නිවැරදි වූ වග මම දනිමි. කෙසේ හෝ ඔහු මා හමුවීමට මොරටුවේ උපේකා කේන්ද්‍රයට පැමින එදිනම මා
සමග අප නිවසට පැමිණියේය. අනුරුද්ධ ප්‍රදීප් නැමති අමුතුම ආකාරයේ තරුන මදයක් ඇති ගමන්
සගයෙකු මට හමුවූයේ එසේය. ඔහු පැමිණි ආකාරය කිසිදා මගේ මතකයෙන් ගිලිහෙන්නේ නැත. ඒ කාලයේ චින්තන ධර්මදාසද මගේ පසු පරපුරේ මිතුරෙකි. ඔහුද
පේරාදෙනි සරසවියේ ඒ කාලයේ පැටිගිරිය නිහඬව හැදෑරූ අයෙකි. අනුරුද්ධ ප්‍රදීප් යනු
පේරාදෙනිය සරසවියේ හන්තාන කණ්ඩායම ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වග මම චින්තාගෙන් දැන
ගතිමි. කෙසේ හෝ බෝධිසත්ව ගුණෝපේත ගති සමග පෝරිසාද ගුණෝපේත ගතිද එකතු වූ කළ මතුවන රැඩිකල්
විලාසයට මට පෙම් කළ හැක. ඉන්පසු අපේ මිත්‍රත්වය මාක්ස් වාදය, ජාතික වාදය, සිනමාව,
සාහිත්‍යය කතා සංවාද හරහා ගලා යන්නට පටන් ගත්තේය. එය අති සුන්දර චාරිකාවක්ම විය. පේරාදෙනි සරසවියේ අතුරුදහන් වූ ජනප්‍රිය ශිෂ්‍ය නායකයකු වන රංජිදම්ගේ
ජීවිතය ගැනද අප බොහෝ දේ කතා බහ කළෙමු. එහෙත් ඔහුගේ ජාතික දේශපාලනික දැක්ම කිසි
විටක මට පටවන්නට තැත් නොකළ අතර මගේ දේශපාලනික දැක්ම කිසිවිටක මා කිසිවෙකුට පටවන්නට
යන්නේ නැත. දේශපාලනික දෘෂ්ටිවාද
කරපින්නාගත් අය අතරින් එසේ ඇසුරු කළ හැකි අය ඇත්තේ අතලොස්සක් බව මා අත්දැකීමෙන්
වටහාගෙන තිබේ.
මා දන්නා පමණින් මිනුවන්ගොඩට ජාපාලවත්තට චැප්ලින් ගෙන ඒමෙන් සිදුවූ වීශේෂ කාරණය මෙය පමණක් වන්නටද පුළුවන. නගරයේ තිබි පුෂ්පමාලී සහ නෙළුම් යන සිනමා ශාලා දෙකම
අද වැසී ගොස් තිබේ. පැරණි සිනමා කෘති නැරඹූ තැනක් හෝ දැන් අපට දරුවෙකුටවත්
පෙන්වීමට මිනුවන්ගොඩ නගරයේ ඉතිරි වී නැත. තවත් බොහෝ නගර වල තත්ත්වය මෙය වුවද මා මින්
මතුකරන්නට උත්සාහ කරන්නේ සම්බන්ධීකරන නගර නිදැල්ලේ බිහිවීමේදී මිනිසාගේ සංස්කෘතික ජීවිතය අහිමි වීමේ වේගය දෙගුන තෙගුන වීමේ ගුණය පිළිඹඳවය. ඉදිරි කාලයේ මිනුවන්ගොඩ නගරයේද පැවැත්ම තීරනය
කිරීමට පුරෝගාමී වන්නේ නගරය පුරා විහිදී ඇති බැංකු, ලීසිං, සහ රක්ෂණ සමාගම් වල ප්‍රාග්ධනය
බව සැබෑවකි. ඉන්පසු ගම් වැසියන් කොටසක් ගම දමා ඈතට යාමත්,
පිටස්තර ව්‍යාපාරිකයින් කොටසක් ඒවා අත්පත් කරගැනීමත් සිදුවනු ඇත. ඒ කාලයේදී කුඩා
දරුවන්ගෙන් චැප්ලින්ලා වැනි කලාකරුවන් බිහිවීම ගැන පවා සිහින දැකිය හැකි මුත් අද දවසේනම් මෙවන් නගරයක වෙසෙන විකාර සිහින දකින පරපුරකට චැප්ලින්ගේ සිනමාව
නොව මොනම කලාවක්වත් අනා කවන්නටවත් නොහැකි වග සාධනය වී හමාරය. බොහෝ දෙනෙක් ඉල්ලන් කන එකම දෙය වී
තිබෙන්නේ ස්වකීය ආගමේ විකෘති අඩලය සහ පරිප්පු හොදි පමණක් වග පෙනේ.
අහඹුව අනිවාර්ය වීම නිසාම හඳුනාගත් අනුරුද්ධ ප්‍රදීප් විසින් ලියන ලද
“සිකුරාදාවක කතාවක්“ ග්‍රන්ථයේ යම් තැනකදී මගේ කඳුලක් ගැනීමට සමත් වූ බැවින්දෝ ඔහුගේ
නිර්මාණ ශීලී හැකියාව වර්ධනය වනු දැකීම බලා සිටින පිරිසෙන් මාද එක් අයෙක් වෙමි. අප
රටේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වීම සහ වැඩි දුර ඉගෙනීම නිසා තම සැබෑ හැකියාව යටපත්
කරගත් ඇත්තෝ ගැන ලියන්නට බොහෝ දේ තිබේ. නිර්මාණ ශිල්පියෙකු දේශපාලනය හෝ වැඩිදුර
අධ්‍යාපනය අංක දෙකට දැමිය යුතුය යන්න මින් අදහස් නොවේ. අනුරුද්ධ ප්‍රදීප්ටද ඒ ඉරනම
අත්වේද, නොවේද යන්නට පිළිතුරක් දිය හැක්කේ ඔහුටම විනා අන් අයෙකුට නොවන වගද සැබෑවකි.
බමන මතින් මැනික් සොයපු යුගයක මට හමුවූ ශුවිශේෂ චරිතයක් වූ අනුරුද්ධ ප්‍රදීප් හෙවත් ඔහු අකුරු කළ සරසවියේ හුරතල් භාෂාවෙන් ලංකෝනිස් ගේ සිකුරාදාවක
කතාවෙන් පසු රසිකයන් අතරට ඒමට කල් මරමින් සිටින නව නිර්මාණය සෙනසුරාදාවක කතාවක් නොවන්නේ නම් යහපත් බවද
සටහන් කළ යුතුය. මන්ද සෙනසුරා තව දුරටත් කල් මැරීමට අති දක්ෂයකු නිසාය.
“ අව්වයැ වැස්සයැ සීත සුළං යයි
ගින්නයැ පින්නයැ බැස්මැ නැගුම් යැයි
රෑය දවාලැයි යන සැලැකීමක්
නෑ රා කොස්සට නම් කවදාවත් “
(මත්පැන් දොස්)
ජගත් මාරසිංහ
2 comments
මිනුවන්ගොඩ නගරය හරි වියලි, අව් රස්නය ඉතා වැඩි, ඉන්න අපහසු නගරයක් විදිහටයි මට දැනෙන්නෙ