කේ කේ සමන් කුමාර ගේ නේරංජනේ අසබඩ.....



“ආකාසට්ටයෝද භුම්මට්ටයෝද, ප්‍රේත පිසාචකුම්භාණ්ඩයෝද, මනුෂ්‍යයෝද, තිරශ්චීනයෝද සියල්ලෝ ඈට නමස්කාර කළාහුය. ඇගේ ශාශනය බොහෝකල් රක්නා නිමිති අහසෙහිද පොළොවෙහි පහළ විය.-නේරංජනේ ස්නානේ-(පිටු 11)
   
           ශත වර්ෂයක් ගෙවී  ශත වර්ෂයක් ලබන කාලයක කේ කේ සමන් කුමාර හෙවත් සර්පයා විසින් නව කතාවක් ඇසුරින් ඉතිරියක්ව බුදු කෙරුවේය. ගැහැනිය වනාහී ශත වර්ෂ සාරා සංකල්ප ලක්ෂ ගණනකට පෙර මේ මහ පොළව මත මිනිසුන් ජීවත්ව සිටියේද? ඒ පිරිමින්ගේ දේශපාලන සමාජ බලය මත පුරුෂ මූලික සමාජ ක්‍රමයක් පැවතියේද? ඒ පිරිමි දේශපාලනයේ මහිමයෙන් අසාධාරණයටත්, පීඩාවටත්, අවමානයටත්, ලිංගික සූරා කෑමටත්, දූෂණයටත් ඒ ගැහැණියව පත් කරන ලද්දේද?  ඒ ගැහැනිය දරුවන් වදා ඇතිදැඩි කරන්නාවූ යන්ත්‍රයක් සේ පිරිමින් විසින් සලකන ලද්දේද?  එලෙසම ඇය ගෙදරට පමණක් බුදුන් ලෙස රවටා ඇගේ ගෘහ ශ්‍රමය කිසිදු ගෙවීමකින් හෝ එහි අයිතිය පිළිගැනීමකින් තොරව පැහැර හරින ලද්දේද?  ඒ සියල්ල අසාධාරණ පිරිමි සිතීමක පමණක් දේශපාලනයේ හිස් බවක් නොව ගැහැනුන්ගේ කරුමය ලෙස ගැහැනුන් විසින්ම පිළිගත යුතු තත්ත්වයට ඇයව පත් කරණු  ලැබ ඇත්තේද?  ඒ ගැහැනු සංහතියම සංකේතවත් කරමින් ගැහැනියකට කිසිදා බුදුවිය නොහැකි බව පිරිමි සිතීමේ බලය විසින් යෝජනා කර ස්තිර කර තිබෙණු ලද්දේද? "නේරංජනේ ඉස්නානේ" ග්‍රන්ථයේ සමන් විසින් බුද්ධත්වය පත් කර ඇත්තේ අාන්න ඒ ගැහැනිය බව  පළමු කොටම අප විසින් මතක තබා ගත යුතු වන්නේය.


        "නේරංජනේ ඉස්නානේ" කෘතිය නිර්මාණය කරමින් සකල ලෝක වාසී ගතානුගතික මිනිසාට සමන් විසින් විජානනය කරදෙනු ලබන්නේ කුමක් විය හැකිද? අවිත්තියාගේ ඇදුම හොරා ගත් මොනරාගේ කතාව  වැනි පුරාවෘත ජනවේදයේ  ළමා කතා පවා සංකේතවත්ව ගොනු කරමින්, අවිත්තියන්, මොනරුන් පමණක් නොව ලාංකේය මිත්‍යා කතාන්දර තුළ ඇති යථාවාදී සංකල්ප පවා අනු දකිමින්, අපේ කොදෙව්වේ වංශ කතාවේ මග හැරී ගිය දේශපාලන යථාවක් සිහින සාහිත්‍ය ශානරයක තබා සමන් ලාංකේය මහපළොවෙන් මග හැරී ගිය සංකල්පීය යුතු කමක්ද ඉටුකිරීමට උත්සාහ කර තිබේ. එහෙයින්  මේ මොහොතේ පවා නේරංජනේ  ස්නානය තුලින් මතුවන කලාපීය සංස්කෘතික දේශපාලන ව්‍යුහයක පරස්පර බව නූතන සාහිත්‍යය විමසුම් ඇසකින් පමණක් දැකීම අසාධාරන වග පෙනේ.    අඩංගුවට ආකෘතිය තෝරාගැනීමත්, ආකෘතියට අඩංගුව තෝරාගැනීමත් ගැන කිසිදු අවධානයක් නැත්තා සේ සමන් නේරංජනයේ ඉස්නානය කරයි. සමන්ගේ කෘතිය කියවන අපටද සිදුවන්නේ සමන් සමග ඉස්නානය කිරීමට එකඟ වීම පමණි. සමන්ගේ අනෙකුත් කෘතීන්ගේ මෙන් සමන් අතහැර මෙහිදී පාටක අපට නේරංජනාවේ රිසි සේ ඉස්නානය කළ නොහැක. මන්ද සාහිත්‍ය කරුවා විසින් කුමන උපායන් යෙදූවත් මෙහි අන්තර්ගතය ආකෘතිය පරයා නැගී සිටින නිසාය. ගෙදරට පමණක් බුදු කර ආදරයේ සංකේතය බවට පත්කර සිටි ගැහැනිය වනාහී ආදරයේ සංකේතය නොව ආදරයේ උල්පත වග සිහි කරමින්, බුදු බව පවතින්නේද ගැහැනිය නැමැති සංකල්පයේ වග මොහොතින් මොහොත තහවුරු කිරීමට සමන්ට සිදුවී තිබෙන්නේ අහඹුවකින් නොවන වගද අප විසින් වටහා ගත යුතුය.
           සමන් විසින් ලියා ඇති නිර්මාණ පරිශීලනය කිරීමට නම් පාඨකයා තරමකට හෝ සිහින සාහිත්‍ය න්‍යායන් සහ භාවිතාව පිළිඹඳ යම් පරිචයක් ලබා තිබිය යුතු බව සැබෑවකි. එහෙයින් සිහින කල්පිත සාහිත්‍යය හුරු නොවූ පාඨකයාට සමන්ගේ නේරංජනය වනාහී බුද්ධත්වය අපහසයට ලක්කරමින් ලියන ලද කුණුහරුප කැලෑපත්තරයක් සේ පෙනී යනු ඇත. තවත් පසකින් ආනයනික පැරණි හෝ නූතන සාහිත්‍යය මිනුම් දඬු ඇසුරින් නේරංජනය විමසීමද අසාධාරණය. මන්ද, ලාංකේය හර පද්ධතියකින් නිපන් ක්‍රමවේදයකින් හැර නූතන සාහිත්‍යය මිනුම් දඬු  නේරංජනයට වලංගු නොවීම සැබෑවක් නිසාය. එලෙසම වික්ටෝරියානු සලාද සදාචාරයත් සමග තේරවාදී මහා සම්ප්‍රධාය මහා අනිකා කරගත් ලාංකේය මිනිසාගේ සිතීම වනාහී සලාද සදාචාරයේම ප්‍රතිබිම්බයක් වී ඇති වග පෙනීයන බැවිනි.
          
           නූතන සාහිත්‍යය තාක්ෂනික විමසුම් ඇසකින් නේරංජනය ග්‍රහනය කරගන්නා විට අන්තර්ගතය පසකට වී කෘතියේ දිග පළළ සහ බර වැනි දේ මතුකිරීමෙන් විමසුම තවදුරටත් වන ගත තත්ත්වයකට පත්වීම නොවැලැක්විය හැකිය. සිය දෑත් වල අත් තටු අමුනාගෙන වහලයට නැග ගත් රයිට් සහෝදරයෝ බිමට පැන ඉගිල්ලෙන්නට ගොස් කොදු කඩා ගැනීම එදා ජීවත් වූ බොහෝ මිනිසුන් විසින් මෝඩකමක් සේ දැක ඇති වග සැබෑවකි. ඔවුන් වහලයෙන් බිමට පැන හාස්‍ය ජනක අනතුරක් සිදුකර ගත් නමුත් එය ගුවන් ගමන් ඉතිහාසයේ පළමු වෙනි යෝධ පියවර බව එංගල්ස් ලියා තිබෙනවා මගේ මතකයේ තිබේ. මෙලෙසම නේරංජනයටද අපහාස උපහාස පමණක් නොව නිහඬ මර්ධනයකට පවා ගොදුරු වීමට සිදුවිය. එහෙත් ගැහැනියක් සහ බුදුබව අතර පිරිමින්ගේ ලිංගික උබතෝටික තර්කනයන් නිරුවත්ව විචාරමින් සමන් තබන්නේ ස්ත්‍රීත්වයේ අරුතින් යෝධ පියවරක් වග දැකිය හැක්කේ අද නොව හෙට දවසේදී බවද අප විසින් සිහියේ තබා ගත යුතුය.කෝටියක් ග්‍රහ දෝෂ එක් යහපත් ග්‍රහයෝගයකින් බංගවනවා යන්න මිත්‍යාවක් සේ සලකන්නන්ට පවා ඉන් කියවෙන ගණිත නිවේදනයට විරුද්ධ විය නොහැක. සමන්ගේ නේරංජනයේ ආකෘතික දුර්වලතා පිළිඹඳ වැඩි දුර සොයා යාමද පල රහිත ක්‍රියාවක් වන්නේ එබැවිනි. මන්ද මේ මොහොතේ මහා සම්ප්‍රධාය තුළ පිළිගත් ස්ත්‍රීත්වය පිළිඹඳ මහා සංකල්පයක් කඩා බිඳ දමමින් නැවත ගොඩ නැගීමට සමන් ගන්නා උත්සාහය සිය වියමනේ මහා පොදු සාධකය බවට පත් වී ඇති නිසාය. සමන් ගැහැනියක්ව බුදු කිරීමට ගන්නා සියලු උත්සාහයන් තුළින් පොලා පනින්නේ එකතැන පල්වෙමින් දුගඳ හමන ලාංකේය ලිංගිකත්වයේ කුහක නිරුවතම වීම ස්වභාවයේ නියමයක් මෙන් නේරංජනා ගංගාවේ පාකර ප්‍රදර්ශනය කිරීමට සමන් සමත් වී තිබේ.           
        "නේරංජනේ ඉස්නානේ" නවකතාව දොරට වඩින්නේ ශත වර්ෂයක් අවසාන වී ශත වර්ෂයක් ලබන නිමේශයේදීය. සියවස් විසි පහකටත් වඩා කාලයක් ගතවන තෙක් ලියා තැබිය යුතු මුත් කිසිවෙකු විසින් නොලියා සිටි ඉසව්වක් ස්පර්ශ කිරීමට සමන් අත තැබුවේ කාල අවකාශ වශයෙන් සලකන කල ඊට සුදුසු වකවානුවක නම් නොවන්නේමය. ගැහැනියක් බුදු වීමේ නොහැකියාව පසක තබා ගැහැනියක්ව බුදු කිරීමට පෙරමුණ ගැනීම ඉතා අසීරු බාර දූර කටයුත්තක් බව සමන් නොදැන සිටියාද නොවේ. නේරංජනේ වියමන ලියවෙන කාලයේ තේරවාදී බුදු දහම ඇතුලත් ග්‍රන්ථ දේශපාලන අත්පොත් මෙන් යුධ ප්‍රචාරන කටයුතු සදහා උපුටන්නට පටන් ගත් කාලයකි. යුද්ධය සාධාරනීකරනය කිරීමටද, ඊට ප්‍රතිපක්ෂව සාමය සාධාරනීකරනය කිරීමටද බුදු සමය දෙපැත්ත කැපෙන අවියක් මෙන් අහසේ ලෙලදුන් කාලය අපි සියැසින් දුටු මිනිසුන් වෙමු. මෙවන් අවධියක නේරංජනේ ඉස්නානේ තහනම් විය හැකි ග්‍රන්ථයක් වන බව සමන් සහ ඔහුගේ සාහිත්‍යයට සම්බන්ධ මිතුරන් එකල උපකල්පනය නොකළාද නොවේ. තවත් පසකින් නේරංජනේ දොරට වැඩි අවධියේ සාම්ප්‍රධායික මතවාද ලෙස ඒකමතිකව සම්මත කරගන්නා ලද අධිපති මතවාද ප්‍රශ්න කිරීමට කිසි සේත්ම යහපත් වකවානුවක් නොවීය. කාන්තාවක් බුදු වීමට ඇති නොහැකියාව ප්‍රශ්න කිරීමේදී ස්ත්‍රීවාදී සංවිධාන හරහා ලේඛකයාට සහ පාඨකයන්ට බොහෝ වාසි සහගත දේ සිදුවීමට ඉඩ ඇති වග සැබෑවකි. නමුත් ඒ නිමේශය වේගවත් ත්වරණයකින් ඉදිරියට ගමන් කරමින් සිටි ස්ත්‍රී වාදය නැමති යානයද සිය දිශාව පවා වෙනස් වී මන්දනය වන්නට පටන් ගෙන තිබි කාලයයි. මේ තත්ත්වය වටහා ගැනීමටද යම් කාලයක් ගත වූ අතර මේ වන විටත් ස්ත්‍රීවාදී අපගමනයන්ට හේතු වූ සමාජ චලිතයේ ප්‍රධාන කාරනා නිසිලෙස හැදෑරීමකට ලක් වූ බවක් නොපෙනේ. තවද එදා දේශපාලන විචාරකයන් නිහඬ කර අනාවැකි දේශපාලන කරුවන් පුම්බා ජනමාධ්‍යය ප්‍රාග්ධන හිමියෝ අමුතුම ක්‍රීඩාවක නිර වූ බවද මතකයේ තිබේ. මේ සියලු කාරනා අභිබවා ගැහැනියක් බුදු වීමට තබා පිරිමියෙකුටවත් බුදු බව පැතීමටවත් හැකියාවක් නැති යුගයක සමන් නේරංජනාවට පැන්නේ පස් මහ බැලුම් නොබලා ගැහැනියව බුදු කිරීම විනෝදයක් සේ සිතාදැයි නොදනිමි. එහෙත් ඇතැම් ත්‍රාන්තික අදහස් වලට අනුව  ගැහැනු දරුවකු උපදින්නට පෙර නව පියා ලෙස තොරාගත් පිරිමියෙකුගේ දනහිස තුළට වැද පුරුෂ බීජ ධාතුවට ස්ත්‍රී උපතක් සදහා බලපෑම් කළ ආකාරය  ඊඩිපස් සහ ඉලෙක්ට්‍රාවද පරාජය කරමින් සමන්ගේ සිතීමට නව ජවයක් එකතු කර ඇති වග පෙනේ.

   “තම ධර්මය ඒ රාජ්‍යයෙහි මතු රක්ෂා වන බව දුටු අප තථාගත සම්මා සම්බුදු රාජිනීන් වහන්සේ එවිට යක්-ෂාවාස මිස මනුෂ්යවාස නොවූ ජනශුන් වූ දේශය ජනාවාසකරනුව අදිටන් කළාහ. කොට මදන මතින් පිරිමින් පැහැරගෙන යන, රාත්රී කාලයේදී ලිහිසි යකින්නන් මෙන් එළඹ පිරිමින් ලිගු බී පැන යන, දියකඩිති අසල බැලුම් ලාන, තවද ජනාකූල තන්හි පිරිමින් රහස් පෙදෙස් මූර්ජා කරන ඉතිරින් එක් දේශයකින් ඉකිළිය බූ ගා පිටුවහල් කෙරේවයිද, උන් යන්නාවූ නැව යට කී දේසයට බසිත්වායිද ප්‍රාර්ථනා කළාහුය.”
     -නේරංජනේ ඉස්නානේ- (28 පිට)
        නේරංජනය ජනගත කොට පහළොස් වසරක් ගෙවී ගියද තවමත් සමන් නේරංජනේ නදියෙන් ඉවත් වී එදෙස බලා සිටිනවා වන්නට පුළුවන. එහෙත් ඇතැමුන් සිතූ තරම් යකා කලු නොවූ වග ඔහුටද දැන් අවබෝධ වී තිබෙන්නට පුලුවන. පුදුමය නම් නේරංජනය කියවූ පිරිසද, නොකියවූ පිරිසද තවමත් එකසේ මුනිවත රැකීමය. මිනිසුන් නිහඬ වී සිටින්නේ මාධ්‍යය අවකාශයේ හඬ වැඩි නිසා බවද සැබෑවකි. මිනිසුන්ට හඬ නගා මහන්සි වීමට අද කිසිදු අවශ්‍යතාවක් නැත. මන්ද, මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමටත්, වැලපීමටත්, සිනා සීමටත් ජන මාධ්‍ය ප්‍රාග්ධනය විසින් නිර්මිත මාධ්‍ය සදාචාරය සීරුවෙන් සිටින නිසාය. මිනිසුන්ද කොටස් වශයෙන් හෝ පොලියකුත් සමග මුදල් ගෙවා මාධ්‍ය කරුවන්ගේ ගෝෂාවට ඇහුන්කම් දීමට බොහෝ කැමැත්තක් දක්වයි. අන් කරුණක් නිසා නොව නේරංජනේ නදියේ ජලය බී රස බලනවාට වඩා රසවත් කම තවකෙකු කියනවා අසා සිටීමට මිනිසුන් ඉතා කෙටි කාලයකින් පුරුදු පුහුණු වී ඇති නිසාය. මාධ්‍ය කරුවෝ දෙසන්නේ සැබෑම දේ නොවන වග මිනිසුන් නොදන්නවාද නොවේ. මන්ද මිනිසුන් ජීවත් වන්නේද වහසි බස්, අවලාද, සම්ප්‍රප්ලාප, බොරුව සහ වංචාව රජයන සංකෘතික අවකාශයක නිසාය. ජනමාධ්‍ය සමාගම් හිමියන් සහ බලධාරීන්ද මේ තත්ත්වය නොදන්නවා නොවේ. නොදන්නේ වෙනත් අරමුණු පෙරදැරිව මේවාට සහභාගි වන අතලොස්සක් කුලී කතිකයන් සහ කුලියට ලියන්නන් පමණක් වීමට පුළුවන. ගැහැනියකට බුදු වීමට ඇති නොහැකියාව අරමුණු කොට නූතන ආගමික දේශපාලන සංකල්ප  සහ සලාද සදාචාරය සමග ලිංගික සංස්කෘතියද කර්කෂ ලෙස ප්‍රශ්න කරමින් ගොතා ඇති සමන්ගේ වියමන දිග හැරීමට යතුර තිබෙන්නේද සාහිත රසිකයන්ගේ සහ ආගමික දේශපාලනික ක්‍රියාකාරී මිනිසුන්ගේ මේ නිහඬ බව තුළම බව පෙනේ. එහෙත් මේ කිසිවක් නොදන්නා සේ නේරංජනා නදිය තවමත් රහසින් මෙන් ගලා බසින්නේය.
          ගැහැණියක් බුදු වීමට නොසිතන වගත් ගැහැනියකගේ පරම පැතුම වන්නේ බුදු කෙනෙකු වැදීම බවත් මහා සම්ප්‍රධායේ ප්‍රචලිත ජනප්‍රිය කට කතාවකි. ගැහැණියක විසින් බුදු කෙනෙකු වදා නැති වගත් වැදු දරුවා පසුව බුදු වූ වගත් යන්න කදිමට මොවුන් සිතා මතා අමතක කර තිබේ. එලෙසම ගැහැනුන්ගේ සිතීම ප්‍රකාශ කිරීමට ගැහැනියකට උරුම භාෂාවක් සංවර්ධනය වී නැති බවද නොදන්නා කම නිසා දෝ මොවුන් වහන් කර තිබේ. බුදුනුවන්ගේ ධර්මය ස්ත්‍රී සිතීමට සමීප වීම හෝ අමා මහ මෑනී යන ස්ත්‍රී ලිංග වැහැරීමක්  බුදුනුවන්ට බද්ද කරන්නේ කුමන කාරනා පදනම් කරගෙනද යන්නද සමන් සෘජු ලෙස සිය වියමනට එකතු කර නැත. ඇතැම් විට කර්කෂ කුණුහරුප හැර අන් යමක් නැතැයි කියමින් බුදුනුවන්ට පරිබව කිරීමට සමන් නේරංජනය ලියා ඇතැයි වික්ටෝරියානු අනුගාමිකයින් පවසන වග ඇසේ. ගැහැනියකට බුදුවීමට නොහැකි කොන්දේසි නිර්මාණයකට සංකල්පීයව අමුණන කල  ලිංගිකත්වය පසක තබා එක වචනයක්හෝ ලියන්නට නොහැකි වග වැටහෙන්නේ එවන් දේ ගැන සිතන්නට ලියන්නට පටන් ගත් විටය.  තවත් පසකින් ගැහැනියකට බුදුවීමට ඇති නොහැකියාව වනාහී පුරුෂ මූලික දේශපාලන කතාන්දරයක ගැහැනියකගේ ලිංගිකත්වය ප්‍රශ්න කිරීමක් බවටම පත්වීම නියමයක් වී තිබේ. එලෙසම පුරුෂයා විසින් ගැහැනියගේ ලිංගිකත්වය ප්‍රශ්න කරනවා යන්නෙහි අරුත වන්නේ තම නොහැකියාව ප්‍රශ්න කිරීමක් සේද දැකිය හැක. නේරංජන ගංගාව කොයි දිශාවකට ගලා යන්නේද යන්න වෙනම කාරණයකි.ගං හෝ දහස් ගණන් වැද තෘප්තිමත් නොවූ මහා සාගරය සේ” යැයි බුත්සරණ කතුවරයාගේ උපමාව නේරංජනයටද වලංගුය. මුහුද කප මුළුල්ලේහි කොතෙක් ගංවතුරින් උතුරුවා නොයාවිද කියා.ලියා ඇති සද්ධර්ම රත්නාවලිය කතුවරයාගේ උපමාවද නේරංජනයට කොන්දේසි විරහිතව වලංගුය. මේ නිමේශයේ සම්මතයක් වී ඇති ඒක ලිංගික පවුලේ පැවැත්මටද ඉතිහාසයක් තිබේ. ඒක ලිංගික පවුලේ දේශපාලනික පැවැත්ම සඳහා නිර්මිත ලිංගික තහංචි සඳහාද ඉතිහාසයක් තිබේ. ඒක ලිංගික විවාහය සඳහා ලිංගික තහංචි සම්මත කරගත්තේ කවදා සිටද එදා සිටම මේ තහංචි කඩා දැමීමට කටයුතු කිරීම මිනිසා විසින්ම ආරම්බ කර තිබේ. ලිංගික තහංචි ඉතිහාසය යනු තහංචි කැඩීමේ ඉතිහාසයම වන්නේ මෙහෙයිනි.



          පිරිමි සිතීම අරමුණු කොට නිර්මිත ලිංගික තහංචි කැඩීමට ඉතිරිය පමණක් වගකිව යුත්තියක් වන්නේ ප්‍රධාන කොට ඒවා පුරුෂ නිර්මිතයන් නිසාය. ස්ත්‍රී පුරුෂ දේශපාලනය අනුදකිමින් නේරංජනේ ඉස්නානයේදී සමන් නූතන ස්ත්‍රීත්වයට දෙන මහා පණිවුඩයක්ද තිබේ. ඒ බුද්ධ සාහිත්‍යයේ බුදුනුවන්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි මහා පුරුෂයකු  බවය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තරයෙහි දා හතර වෙනි අංකයෙන් බුදුවරයෙකුගේ පුරුෂ ලිඟුව ගැනද මනාව විස්තර කර තිබේ. “රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති” යයි සඳහන් කර එය වර්ණා කර තිබේ. එවිට ලාංකේය ඉතිරියට නැගෙන මහා පැනය වන්නේ ගැහැනියකට බුදු වීමට නොහැකි වීමට බලයක් වී තිබෙන්නා වූ කොන්දේසි සඳහා වග කිව යුතු මහා අනිකා සොයා ගැනීමයි. එය විමසීමටදෝ කුවන්නාගේ නව සාපයද සමන් ගේ වියමනට නිර්මානාත්මකව බද්ද කර ගැනීමට සමන්ට මගහැරී නැත. දේශපාලන දාර්ශනික සියලු විදික්ක්‍රමයෝ ක්ෂණික වෙනසකට බඳුන් වූ කළ  ස්ත්‍රී වාදය පශ්චාත් ස්ත්‍රී වාදය කරා සිය ගමන් මග වෙනසකට ලක් වෙන නිමේශයේ ලාංකේය ස්ත්‍රී වාදී ව්‍යාපෘති යම් දෙදරීමකට ලක් වූ බව අද වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත් වී තිබේ. පස්මහ බැලුම් නොබලා සමන් නේරංජනේ නදියයේ ස්නානයට ගිය කාලය විසින් නේරංජනේ ස්නානය ගැන නිහඩ කාලය ඊට සමගාමීව චලිත වීම එදා ඒ මොහොතට යථාවක් විය. ලාංකේය වංශ කතාවේ රික්තාවන් පුරවන්නාසේම කලාපීය සංස්කෘතික දේහයද ඉව කරමින් සර්පයා නේරංජනාවේ කළ ස්නානනය එක් පසකින් විනෝදයක් උවත් තවත් පසකින් විනෝදයක් විය නොහැක. කොහෙට හෝ ඉර බැස යන විට කොහෙට හෝ ඉර පායන්නාක් මෙන් අද දවසේ විනෝදයද වේදනාව කරා විචලනය වන්නට ආරම්බ වී තිබේ. බුදු වරියන්ගේ අවශ්‍යතාවය පිරිමින්ගේ පැතුමක් බවට පත්විය හැකි වන්නේ එබැවිනි. 


ජගත් මාරසිංහ
(නේරංජනේ ඉස්නානේ 2017 නැවත ප්‍රකාශ කිරීම වෙනුවෙන්  08/05/2017 මෙය ලියා නිම කළ වගයි.)

                                    “කාලෝ අයන්තේ”


Powered by Blogger.

Follow by Email