මුහුණු පොත 
වයසට ගියා

යතුරු පුවරුවෙ
අකුරු මැකිලා
වචන  ලියලා 
නැවත මකලා
දුර බලන විට
රූප බොඳ වෙයි
ඇය ලියන දේ
නැවත බලලා
නැවත නැවතත්
නිතර බලලා.

ඇගෙ සැබෑ රුව
බලා ගන්නට
එන්න කියමින්
චාටු දාලා
දවස් ගෙවුනා
මාස ගෙවුනා
මුහුණු පොත 
වයසට ගියා.

මහා සැකයක්
මවා පාමින්
මවුස් ඩිස්ප්ලේ 
පෝන් අත හැර
තෑගි මල්ලක් 
තුරුලු කරගෙන
පෝය දවසක 
බිම බලාගෙන 
හෙරක් මෙන් ඈ
පැමිණියා.

උඩින් පල්ලෙන්
සිප වැළඳ ගෙන
සියලු සංග්‍රහ 
යසට නිම කර
තෑගි මල්ලේ 
මට ගෙනා දේ
ඇසින් දෑතින්
විමසුවා.

කිසිත් නැත එහි
සුළඟ පමණයි
කතාවට ගොස්
යකා මතුවිය
පරල විය මා
මටම නොදැනී
තෑගි මල්ලම
විසි කළා.
ඈ ඉදිරිපිට
යකෙකු විලසින්
ඈත කැලයට
විසි කළා.

ඈ ගියා කඳුලක් සලා!!!!
මා දෙපා හොරැහින් බලා.

පැයක් ගතවන්නටත් මත්තෙන්
මගේ පෝනය හූ කියාගෙන
ඇගේ පද මට යොමු කළා.

“ ආදරය මගෙ විසි කළා ඔබ
ආදරය ඔබ විසිකළා“

ආදරේ  යනු
හිස් තැනක ඇති
ලෝකයක් බර
හිස් තැනක් බව
ජීවිතේ එහි
ගුණය බව මට
දැනෙන විට 
තනිවෙලා මා
මුහුණු පොත 
වයසට ගියා.
!!!!!!!!!!!!!!

ජගත් මාරසිංහ
(මැකී යන දින පොත්)



Powered by Blogger.

Follow by Email