Disorder
දොඩාවත්ත සහෘදයා වෙත ලියමි..........!
මේ නිමේෂයේ දේශපාලනය අයිස් මෙන් සීතලය. මිනිසුන් හිරු පායන තුරු බලා සිටී. හිරු නම් පායන්නේ යම් රටාවකටය. ඒ රටාව නියතයක් ලෙස මිනිසා අවබෝධ කරගෙන ඇත. එහෙත් භෞතිකව ඉර පායනවා මෙන් දේශලනිකව හෙට ඉරක් පායන කතන්දරය මිත්‍යාවක් වූ අවස්ථා බොහෝය. මේ ළඟකදී දොඩාවත්ත සහෘදයා මගෙන් පිළිතුරු දීමට අසීරු පැනයක් විමසීය. ඒ මේ මොහොතේ මිනිසුන්ගේ නැතිනම් දේශපාලන වචනයක් බවට පත්වී ඇති ජනතාවගේ හැසිරීම ගැනය. මාරසට සිහිවූයේ රෝමය ගිනිගනිද්දී වීනා වායනා කළ නීරෝවය.නව ලිබරල්වාදී ආතල් බිඳ දැමීමට කොරෝනාවටත් වඩා වේගයෙන් රුසියානු යුක්රේනු යුද්ධය අපට බොහෝ පාඩම් කියාදෙමින් සිටී. වඩාත්ම වැදගත් කාරණය වනුයේ බොහෝ දෘෂ්ටිවාද අතීත කාමය අතහැර නව මං කියා මංමුලා වී ගමන් කිරීමය. සැබෑවටම මෙය ගින්නකි. කවදත් දුකට අධිපති ලෙස සලකන සෙනසුරා මකරයට යනවාත් සමග කොරෝනාවද සීරුවෙන් ලෝකයේ ගම්නියම් ගම් පුරා ලැව්ගින්නක් සේ ඇවිලී ගියේය. මෙවර සෙනසුරා මකරයට ගියේ සූර්යග්‍රහන කීපයක් සිදුවූ කාල පරාසයකය. ඒවා විස්තර කර අහසේ සිට කියවීම මේ සටහනේ අරමුණ නොවේමය.
නීරෝට කළ හැකි දේ අපට කළ නොහැකිය. ඒ අපේ අතීත කාල අවකාශ තත්ත්වයන් නිසා වන්නට පුළුවන. කෙසේ නමුත් මිත්‍යාවක් ලෙසද වර්ග වී ඇති ආකාරයට නව අරුත් සපයමින් ගිණි කඳු වලින් පටන්ගත් මේ ස්වභාවික කාල සටහන ගෑස් පිපිරීමේ සිට පන්දම් උද්ඝෝෂණ හරහා ගමන් කළේය. ලෝක යුද්ධයක අනාවැකි පවසන දේශපාලන විද්වතුන්ගේ කතන්දර දැන් තක්කඩි සාස්තර කාරයන්ටත් හපන්ය. ලෝකයේ කෙසේ හෝ වේවා අපේ කොදෙව්වේ තත්ත්වය ගැන මාරස අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. දොඩාවත්ත සහෘදයාගේ ගැටලුව මාරසටද යම් අස්වැසිල්ලක් විය. මන්ද ඒ සම්බන්ධව මාරසද මේ මොහොතේ අන්ධ වී සිටි බැවිනි. නමුත් මාරස අඳ බව ගැන අවබෝධ කරගෙන සිටී. ඇත්තෙන්ම ජනතාවගේ හැසිරීමට වචනයක් නැතිකම මහා මදිකමක් මෙන් දැනේ. පශ්චාත් යුධ සමයක ලෝකයේ ආර්ථික පදනම දෙදරා යන නිමේෂයක අපේ කොදෙව්වේ අපලය ස්වභාවික අපලයකටත් වඩා දේශපාලන අපලයක් වී තිබේ. මින් වටිනා දෙයක්ද සිදුවෙමින් තිබේ. ආර්ථිකය ගැන අර බිලියන මිලියන යන වචනය තොරොම්බල් වූවද ඒවා ගැන බිහිරන් මෙන් සිටි කොදෙව් වැසියන් දැන් ආර්ථිකයේ බරපතල තත්ත්වය ගැන අත්දැකීමෙන්ම ඉගෙන ගනිමින් සිටී. එහෙත් පරිභෝජනය මුල්කරගත් මිනිසුන් කුමන ආකාරයකින් මේ තත්ත්වයට මුහුණදේදැයි සිතීම වනාහී කොරෝනාවලට බෙහෙත් සොයාගැනීමටත් වඩා අසීරු කාරියක් වී තිබේ.
අර සීසර් කීවාක් මෙන් අපි ඒක ඒ වෙලාවට බලා ගමු යන වචනයද දැන් අවලංගුය. කොටින්ම මේ මොහොතේ මිනිසුන්ගේ හැසිරීම අනුපිළිවෙල නොවන තේරුන්ගත නොහැකි රටාවකට යොමු වී තිබේ. සැබෑවටම මේ තත්ත්වය ආබාධ තත්ත්වයක් සේද ගතහැකි වන්නේ Disorder යන වචනයේ භාවිතාව හරහාය. මේ වචනය බොහෝවිට මානසික රෝහල්වල වෙද්‍යවරුන්ගේ මුවින් පිටවන වග මාරස නොදන්නවා නොවේ. වටහා ගත යුත්තේ කුමන දෘෂ්ටිවාදයකින් හෝ මිනිසාගේ චර්යාපද්ධතියක වැදගත්කම තේරුන් කර දීමට බෙහෙත් නොමැති බවය. මහාමාරිය වැනි දරුණු වසංගත තත්ත්වයන් වලදී පමණක් නොව ලෝක යුද්ධ හමුවේද මිනිසා මෙවැනි තත්ත්වයන්ට ුහුණ දී ජයගෙන තිබේ. කාර්මික විප්ලවයේ ජයග්‍රහනය මේ තත්ත්වයන්ම විය. එහෙත් ඒ සඳහා මිනිසා කළ කැපකිරීම් අනන්තය. අපරිමිතය. දැන් පාලකයන්ද ජනතාවට පවසන්නේ කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසය. සැබෑ ලෙසම ප්‍රශ්නය බරපතල වූවාට සරළ උත්තරද තිබේ. විරුද්ධ පක්ෂයේ පොදු වැඩපිළිවෙලක් නැති නිමේෂයක මෙවැනි තත්ත්වයන් ඇතිවූවිට පිළිතුරු සෙවීමට ජනතාව අපොහොසත් වී තිබේ. සාමූහික මානසික ආතති තත්ත්වයදැයි සමහරුන්ට සැක සිතීම මිත්‍යාවක්ද නොවන්නේය. මේ ගැන දිගු සටහනක් තැබීමට තව කල්ගත යුතු වන්නේ තවම බිත්තරය පුපුරා විකෘති පැටවෙක් එලියට පැන්නා පමණි නිසාය. කෙසේ උවද රෝමය ගිනිගනිද්දී නීරෝ වීනාවාදනය සිහිකිරීමට මෙන් පෝලින්වල සිටින ජනතාව දුකින් නොව ප්‍රමෝදයෙන් වීදි නාටක, වීදි ගී, සහ බජව් නාඩගම්ද නටන්නට පටන් ගෙන තිබේ.
අස්ථාවරත්වය වනාහී ස්ථිර දෙයක් නොවන වග සැබෑය. එහෙත් කවුරුන් මොනවා කීවත් කාලයේ ගමන් රටාව වෙනස් වන්නේ නැත. ඒ පැත්තෙන් බලන කල මේ නිමේශයේ බොහෝ මිනිසුන් ගැන කණගාටුවක් ඇති නොවන්නේද නොවේ. ඒ ලෝකයේ හැටිය කියා කරබාගෙන සිටීමට හැකි වූවානම් මෙවා ලියන්නේද නැත. නමුත් මිනිසුන්ගේ හැසිරීමට සාපේක්ෂකව මේවා ලිව්වා කියා මේ නිමේශයේ වැඩක් නොවන වග මාරස නොදන්නවා නොවේ. අරගලය තුලින්ම සැබෑ නායකත්වයක් බිහිවන බවට කතාවක්ද තිබේ. ජනතාව අතර ඇත්තේ අරගලයක් නොව ගෝරි බෝරිය. එහෙත් ජනතාව ඉන්නේ දෙගිඩියාවකින් වගද පැහැදිලිය.
මිනිසුන්ගේ මේ හැසිරීම මත කුමන නායකත්වයක් බිහිවේද යන්න විමසීමට විද්වතුන් ගන්නා උත්සාහයද මාධ්‍ය මිත්‍යා අන්ධකාරය විසින් ටික් ටොක් වැඩසටහන් බවට පත්කරගෙන සිටී. මේ සියල්ල සිදුවන්නේ සැබෑ දේශපාලනික අරමුණකින්ද නැතිනම් ජනමාධ්‍ය වෙළඳ තේමාවන් යටතේද යන්න කවුරුත් දන්නා රහසකි.
එහෙයින් දොඩාවත්ත සහෘදයානෙනි. ඔබ මාරසින් අසන ලද පැනයට දිය හැකි පිළිතුර වන්නේ කඩයිම් ප්‍රශ්නයක් බැවින් මා රසට නිසි පිළිතුරු දීමට නොහැකි බවය. කොරෝනාවත් අවසාන වූ පසු රුසියානු යුද්ධය සහ බටහිර සීතල යුද්ධයද අවසාන වූ පසු මේවාට නිසි පිළිතුරු දීමට අපට නො හැකි වන්නේ වමක් යන නාමයක්වත් නොතිබුනහොත් පමණි. නැතිනම් සිද්දියක් සිදුවූ පසු විශ්ලේෂණය කිරීමට ඔවුන් සමග මොන ජගතාටවත් බැරිය. කාට කාටත් දැනට කිව හැක්කේ අනාවැකි පමණි. පරාද වුවද කළ යුත්ත කිරීමට සමාජ සංවිධාන බිහිවීමේ තත්ත්වයද අද ආබාදයක්ම වී තිබේ. අනාවැකියක් මිත්‍යාවක්ම නොවන වග භෞතිකව දැන ගැනීමට වරින් වර කාලය අපට බලකර සිටින්නේ මෙසේය. නමුත් මාරසට ස්වභාවයේම නිර්මානයක් වූ මිනිසාව විශ්වාසය. මේ නිමේශයේ ජීවත්වන මිනිසා විලම්භීත වී සිටියාට මිනිසුන් විසින් කුමක් කළයුතුදැයි තීරණය කිරීම අනිවාර්යය. නමුත් මිනිසා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි කැපකිරීම් කිරීමට මිනිසාට සිදුවනු ඇත. සෑම යුගයකම මිනිසා දේවල් තේරුන්ගෙන ඇත්තේ කෙලවාගත්තාට පසුව බව මා සමග මධුලෝලියෙක් පැවසීය. ගමනක් යාමට ඇති බැවින් මාරස සටහන අවසාන කරමි. ඒ ගමන යන්නේ වීනාවක් සොයාගෙන බවද කිව යුතුව ඇත ගැටලුව තියෙන්නේ වීනාවක් හමුවුවොත් ඒ රැගෙන නිවසට ඒමට මිනිසුන් ඉඩදේද යන්නය. අනිවාර්යෙන්ම වීනාව අතරමගදී ලුම්පන්ලා උදුරා ගන්නේ සමහර විට ප්‍රහාරයකින් පසුව බවද මාරස නොදන්නවා නොවේ. කෙසේ හෝ මේ නිමේෂයේ වගකිව යුත්තෝ පරාද වී හමාරය. එහෙත් ඒ බව දැන ගැනීමට තවත් වියදමක් දැරීමටද තවත් කැප කිරීම් කිරීමටද සිදුවනු ඇත.
"දොංත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත"
31 03 2020