හිරගෙදර හූනා




හිරගෙදර හූනා


                   


                             රැඳවියන් යන නාමයෙන් අත්අඩංගුවට ගත්ත ද ඔව්හු සැබෑවට ම සිරකරුවෝ වූහ. රාජ්‍ය විරෝධීන් ලෙස සැක කළ හැකි සෑම අයෙක් ම සිර අඩස්සියට පත් වූවා සේ ය. උසාවියෙන් දඬුවම් ලබා පැමිණි පිරිසට සිර ඇඳුම වූ ජම්පරය හිමි වූ අතර සැකකරුවෝ සාමාන්‍ය ඇඳුමෙන් ම සැරසී සිටියහ.
දැවැන්ත සිර කඳවුරේ ඩී වාට්ටුව පිහිටා තිබුණේ බෝ ගසක් අසල ය. එය දෙමහල් ගොඩනැගිල්ලකි. රෝගී රැඳවියන්ව යටි මහලේ ෂෙල් කාමර තුළ රඳවා සිටියේය. මම උඩුමහලේ වාට්ටුවට කොටුවීම ගැන සතුටු වීමි. ඒ යකඩ කූරුවල එල්ලී ඈත බැලිය හැකි නිසා ය. උඩුමහලට පිට්ටනියක් සහ මුඩුක්කු පෙලක් ඈතින් දර්ශනය වේ. මේ මුඩුක්කු පෙල අතරින් වරින් වර හූ හඬ නගමින් පුංචි කෝච්චියක් ගමන් කරයි. මෙය අපට යම් අස්වැසිල්ලක් විය. යට මහලේ ෂෙල් කාමරවල රැඳවියන්ට පෙනුනේ අහස පමණි. කාකි පාට නිල ඇඳුමින් සැරසුණු ජේලර් ගාඩ්ලා බැටන් පොලු අතැති ව බෝගස යට ගල් බංකුවක් උඩ දිවා රාති‍්‍ර රාජකාරියේ නියැළෙයි. ඔවුන් මොහොතකට රාජකාරිය නිසා සිර ගත වූවා සේ ය.
ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු හැර විවිධ තරාතිරම් වල අය ඩී වාට්ටුව තුළ රඳවා තැබිණි. රැඳවියන් අතර වැඩි පුරම හිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය. එහෙත් ඔවුන්ගෙන් බොහෝ අය කෙටි කලකින් නිදහස් වී ගියේ ය. කළ වරදක් හෝ නිදහස් වන කාලයක් ගැන නොදත් අපි ක‍්‍රමයෙන් ගැඹුරු වාද විවාද සංවාද විසංවාද අතර සැරි සරන්නට වීමු. දර්ශනය, දේශපාලනය, කලාව ගැන රැඳවියන්ගේ හඬ කොතරම් තීව‍්‍ර වූයේ ද යත් වරෙක වහලයේ සිටි පරෙවියන් පවා කුලප්පු වුණේ ය.
කාලය යනු කුමක් දැයි සිරකරුවෙකුට කවදත් ප‍්‍රශ්නයකි. ඔරලෝසුවේ කටු නිවැරදි කාලය වාර්තා කළ ද සිපිරිගෙය තුළ කාලය ගෙවී යන්නේ බොහෝ සෙමින් ය. කාලයත්, මනසත් තුළ ඇති ගූඩත්වය අවබෝධ කර ගැනීමට පැය කාලක්වත් සිරගත වීම හොඳටෝ ම ප‍්‍රමාණවත් ය.
දුහුල්ලෑවගේ වයස අවුරුදු විසි අටකි. වයසට වඩා මේරූ මුහුණක් ඇති ඔහු තලඑළලු ය. උසය; නිතර ම කෙස් අවුල් වී තිබේ. නෙත් තරමක් විශාල ය. දුහුල්ලෑව කිසිම දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියේ නැත. එහෙත් ඔහු මාක්ස්වාදයට ගරු කළේ ය. එකළ දේශපාලන සිර ගෙදරක ගාල් වීමට එය ප‍්‍රමාණවත් ය. වාට්ටුව පුරා එහෙ මෙහේ සක්මන් කරන ඔහු වරෙක නැවතී හිටගෙන ම වාද විවාද වලට සවන් යොමු කරයි. මුලදී බොහෝ අය ඔහු සී.අයි.ඩී. කාරයෙකු ලෙස සැක කළේ ය. කල් පසුවන විට ඔහු දර්ශනී කියමින් සිහිනෙන් හඬන්නට විය. දර්ශනී යනු ඔහුගේ ආදර පෙම්වතියයි. ඔහු පිළිබඳ අනෙකුත් දේශපාලන රැඳවියන්ට තිබූ සැකය ඔහුගේ කඳුළුවලින් ම සේදී ගියේ ය.
ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් කර දමා නිදා ගන්නට පැදුරක් හෝ රෙට්ටුවකුත්, හිසට තැලී ගිය කොට්ටයකුත් දිය නෑමට කබල් ටින් එකකුත් දී සිරගත කරන සිරකරුවෙකුගේ මානසිකත්වය ගැන අවබෝධ කරගත හැක්කේ සිරගත වූවෙකුට ම පමණි. එහෙත් ඔව්හු අවට පරිසරයෙන් අත්‍යවශ්‍ය උපයෝගිතා උපකරණ රහසේ නිෂ්පාදනය කර ගනිති. දේශපාලන රැඳවියෙකුට නිදහස යනු ඒ මොහොතට වචනයක් පමණි. සමහර විට නිදහස යනු මරණය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් නිදහස ගැන සිතමින් ම ඔව්හු සිරගත කාලය ගෙවා දමයි. දේශපාලන රැඳවියන්ගේ කාංසාවේ ගැඹුර කෙතෙක් ද, එපමණක් ටම සිරගෙදර පොත පතින් ආඪ්‍ය වේ. එහෙත් දුහුල්ලෑව කිසි විටක පොත් ගුල්ලෙක් වූයේ නැත. ඔහු ඔහුගේ පෙම්වතිය ගැන ප‍්‍රසිද්ධියේ සිතමින් කාලය ගත කළේ ය. ඔහුගේ සැප දුක් සොයන්නට වැඩිපුර ම විසිට් ආවේ ද පෙම්වතිය පමණි. ඇය පැමිණි දින ඔහු සතුටින් කාලය ගත කරයි. ඉක්බිති ඒ සතුට සදය සතුටක් බවට පත්වේ.
දිනක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන රැඳවියන් ගේ අතපය මාංචුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් එක් දින ආහාර වර්ජනයක් දියත් කරන ලදී. එදින කුස ගින්නේ උවත් සතුටින් සිටියේ දුහුල්ලෑව පමණි. ඒ එදා ඇයගේ පෙම්වතිය විසිට් එකට පැමිණි නිසා ය.
“දුහුල්ලෑව බඩගිනි එහෙම නැද්ද?”
“ගිනි නම් අද ටිකක් අඩුයි.”
“අද කෑල්ල විසිට් එකට ආපු හින්දා වෙන්නැති”
“ඒකි කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ”
“කවද හරි එයා වෙනස් උනොත්”
“මට ඉර හදටත් වඩා විශ්වාසයි.”
“කොහොමද එයාව හම්බ උනේ.”
“ඇත්ත දේශපාලනය හොයන්න ගිහිල්ල. අසාධාරණේට විරුද්ධව සටන් කරන්න ගිහිල්ල. හැබැයි එයාව හම්බ උනාට පස්සෙ මට දේශාලනය දෙවෙනි අංකය වුණා.”
“කොච්චර කල් ද”
“ලබන නවවෙනිදට හරියටම අවුරුදු පහයි”
“තාම කසාද බැඳල නැද්ද”
“විශ්වාසය තියනව නම් බඳින්නෙ මොකටද? නොබැන්දත් බැන්ද වගේ තමයි. දරුවෙක් විතරයි අඩු.”
“දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?”
“දරුවො හදන්න නිදහස් වෙන්න එපෑ”
ඔහුගේ කතාවෙන් මගේ මනස බොහෝ කලකිරුණේ ය. ඒ මා සිරගත වී තුන් මසකින් වගේ පෙම්වතිය මා හැර ගිය නිසා ය. මට දුහුල්ලෑව කෙරෙහි සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය. මම අවේලාවේ නිදාගන්නට තැත් කළෙමි. එහෙත් නින්ද මා අසලකටවත් පැමිණියේ නැත. දුහුල්ලෑව කොතරම් වාසනාවන්තයෙක් දැයි යන සිතුවිල්ල මට බොහෝ කරදර කළේ ය.
වසා තිබෙන සෝඩා බෝතලයක් සෙලව්වාමෙන් තත්ත්වයක් රැඳවියන් තුළ විද්‍යාමාන වූ දින කීපයක් උදා විය.
ඒ ඉන්දියන් නැව් කීපයක් අප රට අසල සාගරයේ නැංගුරම් ලා තිබි කාලයයි.
“ඉන්දියන් හමුදාව අපේ මුහුදු සීමාව අසලට ඇවිත්ලලු”
“ඉතින් මට මොකෝ” දුහුල්ලෑව සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.
“බලවත් රටක් දුර්වල රටක් ආක‍්‍රමණය කරපුවා ම ඉස්සරල ම පෝලිං ගස්සල මරල දාන්නෙ දේශපාලන රැඳවියන් ව.”
“මගේ අංක එක මම නෙවේ දර්ශනී. අංක දෙක රට. ඒ මගේ සමාජවාදය”
“අපි හිතුවෙ දුහුල්ලෑවට අංක එක ඔය බිත්තියේ ඉන්න හූන කියල”
කාංසාව නිසාදෝ බොහෝ විට හිරකරුවෝ විවිධ සතුන්ට සමීප වේ. ඕනෑම සිර කඳවුරක විශාල බළල් පරම්පරාවක් වාසය කරයි. ඒ හැම බළලෙකුටම අයිතිකාරයකු සිටී. පරවියන් කපුටන් පමණක් නොව සමහරු පොල්කිච්චන් සමඟ ද මිතුරු වී සිටී. එහෙත් දුහුල්ලෑවගේ මිත‍්‍රයා වූයේ හූනෙකි. ඉරට්ටෙන් බත් කවා යාළු කරගත් හූනා දැන් දුහුල්ලෑව කෑම කන විට කොට්ටය දිගේ විත් ඔඩොක්කුවට ද පනී. පූසෝ ඈතට වී බලා සිටින්නේ දුහුල්ලෑවගේ පා පහරේ තරම දන්නා නිසා ය.
“මොකද ඔය හූනට ඔච්චර ලව්”
“සහෝදරයා මට හූනො විශේෂයි. මගෙ දර්ශනීගෙ දකුණු පයේ හූනෙකුගෙ හැඩේ උපන් ලපයක් තියනව. ඉතින් මම එයාට හූනි කියනව. එතකොට එයා මට හූන කියනව.”
එක් දිනක් දුහුල්ලෑවටත් මටත් එක ම වේලාවට විසිට් එක ලැබිණි. එදින ඔහු බැලීමට පැමිණ සිටියේ දර්ශනී ය. ඇය පැහැපත් ය. සිහින් ය; තරමක් උස ය; අක්බඹරු කෙස් කළඹ තද කළු පැහැති ය; නීල වර්ණ දිගටි දෙනෙත් ය. ඔහු දර්ශනී ව මට හඳුන්වා දුන්නේ ය. ජේලර් ගාඩ් තැනට ඇති වෙනකම් අපි කතා බහ කළෙමු. නිදහස ලැබුණු පසු ඔවුනගේ නිවසට එන ලෙස ඇය මට ආරාධනාවක් ද කළා ය. විසිට් එක නිම වී මිදුලට විත් ඔහු ඇයගේ දකුණු පාදයේ බත්කෙන්දේ පිහිටා තිබී හූනෙකුගේ හැඩයේ උපන් ලපය මට පෙන්වන විට අසල සිටි ජේලර් ගාඩ් තැන උපහාසාත්මක සිනහවක් පල කළේ ය.
තවත් දිනක රැඳවියන් තුළ අමුතු ම ප‍්‍රබෝධයක් මම දුටිමි. ඒ වාට්ටුවට අමුත්තෙක් පැමිණ එහේ මෙහේ සැරි සරන්නට වූ හෙයිනි. අමුත්තා වනාහී තරමක් විශාල වර්ණවත් මල් පෙත්තෙකි. බොහෝ රැඳවියෝ රේට්ටු මත එරමිණියාවෙන් හිඳ උපේක්ෂාවෙන් මල් පෙත්තා යන යන දෙස බලා සිටියහ. විනාඩි තුනක ආස්වාදය සැපයූ මල් පෙත්තා ජනෙල් කූරු අතරින් එළිමහනට ගියේ ය. මොහොතකට මහා පාලුවක් ඇති විය. යකඩ කූරුවල එල්ලී එළියට ගිය මල්පෙත්තා දෙස බලා සිටියේ දුහුල්ලෑව පමණි.
“සමනලයා කොහෙද ගියේ”
“නෑ මම මේ බලන් හිටියෙ ඌ හිරගෙදර නරඹල මල්වල පැණිත් බීල නිදහසේ තාප්පය උඩින් එළියට ගියා. අපට වඩා ඌට නිදහස තියනව“
“ඕක මොකක්ද දුහුල්ලෑව. මම දවසක් බෝගහේ කොල වැටෙන දිහා බලාගෙන හිටිය. වේලිච්ච බෝ කොලයක් නිදහසේ තාප්පය උඩින් එළියට පාවෙලා යනව දැකල මගෙ සර්වාංගෙ ම හිරි වැටුණා.
ඉක්බිති අපි කීප දෙනෙක් පරාරෝපණ සංකල්පය ගැන බොහෝ දේ කතා කෙරුවෙමු. එහෙත් දුහුල්ලෑව බරට ම වැඩ ය. ඔහු පරණ දත් බුරුසු කපා බිම අතුල්ලමින් පෝනි කටු සාදයි. ඒ දර්ශනීට තෑගි කරන්නට ය. දර්ශනී ළඟ මේ වනවිට පෝනිකටු සියයකටත් වඩා තිබිය යුතු ය. ඇය ද විසිට් එන විට ඔහුගේ සුරතින් නිම වූ පෝනි කටු පැළඳ එයි. එයින් ඔහු ලබන සතුට කෙබඳු විය හැකි ද?
“ඔච්චර ආදරේ කරල කවද හරි වෙන්වෙන්න උනොත් ඔයා මැරෙයිනෙ”
“නැහැ. එහෙම වෙන්නෙ නැහැ. ඒකි පර්ස් එකේ දාගෙන ඉන්නෙ කාල්මාක්ස්ගෙයි, බුදුන්ගෙයි, මගෙයි ෆොටෝ. එයා මටත් ආදරෙයි. රටටත් ආදරෙයි. ඉන්දියන් හමුදාව ලංකාවට ආපු දවසෙ එයා ගොඩක් අඬල තියනව. එයාට හොඳ දේශපාලන ඥානයකුත් තියනව. දර්ශනී කියන්නෙ සාමාන්‍ය කෙල්ලක් නෙමේ.”
පමණට වඩා මහත් වූ ප‍්‍රසන්න මුහුණක් ඇති ජේලර් ගාඩ්වරයා පැමිණ බැටන් පොල්ලෙන් දොරට ගසන්නට විය. වාට්ටුව නිශ්ශබ්ද විය. කුමක් හෝ විශේෂ නිවේදනයක් බව දන්නා රැඳවියෝ එක එල්ලේ ඔහු දෙස බලා සිටියෝ ය.
“අංක එකසිය පනස් නමය...
ආ තමුසෙද?... නිදහස්”
සියලු රැඳවියෝ දුහුල්ලෑව වට කරගෙන සුබ පතන්නට වූහ. ඔහුගේ ප‍්‍රබෝධමත් මුහුණ දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටියෝ ය. ඇඳ පැළඳ ගත් දුහුල්ලෑව මහ හඩින් හඬන්නට විය. රැඳවියෝ රහසේ තමන්ගේ කඳුළු පිස දා ගත් හ. සියලු රැඳවියන්ව සිප වැළඳ ගත් ඔහු බිත්තිය අයිනට ගොස් සීලිමට ආයුබෝවන් කීවේ ය.
“අනේ සහෝදරවරු මගෙ හූන ව හොඳින් බලාගන්න.”
රැඳවියෝ එකිනෙකාගේ මුහුණ බලා ගත්හ. නිදහස් වූ පසු ඔහුගේ ගෙදර එන ලෙස මගේ අත අල්ලා නැවත ඉල්ලා සිටියේ ය. ඔහු හඬමින් ද, අත වනමින් ද පස්සෙන් පස්සට ගොස් ගේට්ටුවෙන් පිට විය.
පැය දෙකකට පමණ පසු මහත ජේලර් තැන හැඟීම් බර මුහුණෙන් ගල් බංකුවේ වාඩි විය. කුමක් හෝ හෝඩුවාවක් බව දැනගත් රැඳවියෝ ඔහු වටා රොක් වූහ.
මිනිහ ගෙදර යන්න පාරට බහිද්දි ම අංක තහඩු නැති වෑන් එකක් නවත්තල මිනිහ ව දාගෙන ගිහිල්ලා”
සියල්ලෝ ම මරු විකල්ලෙන් මෙන් කසු කුසු ගාන්නට වූහ. සතියක් පමණ ගතවන විට වාට්ටුව සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර විටින් විට දුහුල්ලෑව ගැන නොයෙක් කතන්දර ගොතන්නට විය. මම පමණක් නිහඬ ව සිටියෙමි. හිර ගෙදර තුළ තොරතුරුවලට කම්බි යන වචනය ව්‍යාහාර වේ. ජනමාධ්‍යවලටත් පෙර හිරගෙදරට කම්බි ලැබෙන්නේ කෙසේද යන්න වෙන ම හැදෑරිය යුතු කාරණයකි. කම්බි ගෙනෙන ගාඩ් තැන ටික කලකට පසු නැවතත් ගාම්භීර මුහුණින් ගල් බංකුව මත වාඩි විය.
“අර හාදය ව මරල ගෑනිගෙ ගේ ඉස්සරහ ටයර් සෑයක පුච්චල දාල.”
රැඳවියන් අතර සිටි විප්ලවවාදී හිමි නම වහා උඩු මහලේ කාලකන්නි සඳලුතලයට නැග ආවේගශීලී කතාවක් කළේ ය. ඉක්බිති රැඳවියෝ දින දෙකක ආහාර වර්ජනය කරන්නට කතිකා කර ගත්හ. අපි කුසගින්නේ සිට යටි ගිරියෙන් කෑ ගසමින් කෝපය පළ කෙරුවෙමු.
මම දුහුල්ලෑවගෙන් හිස් වූ බිම් තීරයේ මගේ රෙට්ටුව එලා ගතිමි. එහෙත් හූනා නිකමටවත් පහලට බැස්සේ නැත. මම දුහුල්ලෑව ම අනුගමනය කළෙමි. ඉරට්ටුවක් ගෙන බත් ඇට ගසා කන්නට දී ටික ටික හූනා ව පහළට ගන්නට තැත් කළෙමි. හූනා දකින හැම විට ම මගේ හදවත වෙව්ලුම් කා දර්ශනී ව සිහියට නැගේ. දුහුල්ලෑවටත් වඩා මට දර්ශනී ව සිහිවන්නේ ඇයි දැයි මම නොදනිමි. මා රැඳවියන් ට හොරෙන් කඳුළු පිසදා ගත් අවස්ථා ද නැත්තේ නොවේ, දැන් හූනා කොට්ටයට බැස රෙට්ටුව දිගේ මා අසලට පැමිණේ. නිදහස් වූ විගස දර්ශනී ව සොයා ගොස් දුහුල්ලෑවගේ විස්තර කතා බහ කර හූනා ව ඇයට දීමට මම තීරණය කළෙමි. දැන් හූනා සහ මගේ ජීවිතය අතරත් මහා බැඳීමක් ඇති වී තිබේ. මහත ජේලර් තැන ගේට්ටුවට ගසා මගේ අංකය කියා නිදහස් කියන දවස කවදා උදාවිය හැකි ද? පෙට්ටියක දැමූ හූනා දර්ශනීට දුන් පසු ඇගේ ප‍්‍රතිචාරය කෙබඳු විය හැකිද?


                              ජගත් මාරසිංහ










               
      

              
                 
               







                                      


Powered by Blogger.
There was an error in this gadget

Follow by Email