සංගීත කලාවේ සෙවල විචාරයට එරෙහිව

  සිංහල අවුරුදු දවසේ  
  
                                                සංගීත කලාවේ සෙවල  විචාරයට එරෙහිව

                අසූව දශකයද ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කාල පරිචේදයක් වග ඉතිහාස ගතවී හමාරය. එහෙත් තවමත් ඒ කාලයේ සැබෑ ඉතිහාසය සැඟවී හෝ සවා ඇති වග දන්නා අය සිටින්නේ  කීපදෙනෙක් පමණි. එකල කොළඹ අග නගරයට ආසන්න ප්‍රදේශ වල තරුණයෝ පිරිසක් දැණුම පිපාසයෙන් මෙන් අග නගරයේ කඳවුරු බැදගෙන සිටියෝය. විහාර මහා දේවි උද්‍යානය සහ මහජන පුස්ථකාලය කේන්ද්‍ර කර මොවුන් නිතර ඒ අවට ගැවසෙන වග අවට සිටි බොහෝ දෙනාට රහසක් නොවීය. මේ කොල්ලෝ ටික කලාව, දේශපාලනය, සහ දර්ශන විෂයන් ගැන නිතර වාද විවාද වල පැටලීමද සුලබ සිද්ධියක් විය. ඒ මොහොත අප කොදෙව්වේ දේශපාලනිකව බිහිසුණු මොහොතක් බැවින් ආරක්ෂක අංශයේ රාජකාරී කරන නිලධාරීන් මොවුන් ගැන ඇස ගසා සිටි මුත් ඔවුනට මේ කණ්ඩායම අතරට එන්නට නොහැකි වූයේ මොවුන් කතා බහ කළ දේ වල ආගන්තුක බව නිසා වීමටත් පුළුවන.  එකල කොළඹ අවට නාට්‍ය චිත්‍රපට කලා වැඩසටහන් පමණක් නොව දේශපාලන සංවාද වලටද මේ පිරස නොවරදවාම සහභාගි විය. සහභාගී වූවා කියන්නේ නිකන් මෙරුන් මෙන් ආවා ගියා නොවන බවද ලියා තැබිය යුතුය.  විවිධ දේශපාලන මත දරන්නන් මොවුන් අතර සිටි නමුත් සියලු දෙනා සිය සංවාද න්‍යෂ්ටියේ කාල් මාක්ස්ව ඉහලින් තබා පිලිගත් පිරිසක් බැවින් නිතර එකිනෙකා අතර බරපතල සංවාද පැන නැගුනද යම් අකාරයක බලවත් ඒකීය සමගි සම්පන්න බවක්ද  තිබෙන වග ප්‍රදර්ශනය වූ අවස්ථා බොහෝ තිබේ. අද මේ පිරිසෙන් බොහෝ දෙනෙක් ලංකාවේ බුද්ධිමය සහ දේශපාලන තලයක ජනප්‍රිය පුද්ගලයන්ය. එකල සම්මන්ත්‍රන වල දේශන සදහා පැමිණි වැඩිහිටි විද්වත් පිරිසටද මේ කොල්ලන්  නිසා තම කටයුත්තේ  හිස්තැන් තබා හිතු මතේ ආපසු යා නොහැකි වූ බවද මතකයේ තිබේ. දැනුම පිළිබඳ මේ පිරිස නිර්මාණ සම්බන්ධ කටයුතු වලදී එකිනෙකා මත මතවාදීව යැපෙමින් කටයුතු නොකිරීමද විශේෂයක් සේ දැකිය හැකිය. අද පවා මේ පිරිසේ එකිනෙකාට  ඇත්තේ තමන්ටම අවේනික මතවාදී චින්තන විදි වග  තහවුරු කිරීමට සාධක බොහෝ තිබේ. මේ අතරින් අජිත් කුමාරසිරි එකලද සංගීතයේ කෙරුමා විය. විටක ඒ යුගයේ ඔහු සංගීත බල ව්‍යුහයේ දැවැන්තයන් සමග හේතු කාරනා සහිතව ගැටුම් ඇති කරගත් අතර පසු කලක ඒ හේතුකාරණා බොහෝ ප්‍රමාණයක් බලවන්තයන් නිරුවත් වී සැබෑවන් වූ බව අවදියෙන් සිටි මිනිසුන්ට තහවුරු විය. එකල රට තුළ මතුවූ දේශපාලනික අර්බුද හේතුවෙන් මේ පිරිසට නිසි කාලයේ පීදෙන්නට නොහැකි විය. එය රටේ අවාසනාවක් හෝ මේ පිරිසේ අවාසනවක්දැයි නොදනිමි. මන්ද ඒ කාලයේ මේ පිරිස  වාසනාව අවාසනාව නම්  තුට්ටුවකට මායිම් නොකළේය. එහෙත් තවමත් කිසිවෙකු තම හැදෑරීම් නම් නවතා දමා නැති වග දැනේ. 

           පෙර කළ එක්තරා විහාරස්ථානයක ධර්මදේශන මාලාවක්  සඳහා වැඩම කරන සියලු භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනාවල අඩුපාඩු දකිමින් ඒවා තදින් විවේචනයට ලක් කළ  උගත් උපාසක මහතෙක් ගැන කතාවක් මා අසා තිබේ. දිගින් දිගටම මෙසේ සිදු වීම  වලක්වා ගැනීමට අවසානයේදී නායක හිමියන් එකල ලංකාවේ සිටි උසස් උගත් දක්ෂ ධර්ම කථිකත්වයක් ඇති නායක හිමි නමක් ධර්ම දේශනයකට  වැඩම කර තිබේ. එදින ධර්මදේශනය  අවසානයේ සියලු උපාසක උපාසිකාවන් තම තම නැණ පමණින් ධර්මාලම්බන ප්‍රීතියෙන් ධර්මදේශනයේ ගුණ කියන්නට වූ කළ නායක හිමියෝ අර විචාරක උපාසක මහතාගෙන් ආඩම්බර හැගීමෙන් කොහොමද බණ ටික යැයි විමසා තිබේ. ඔහු පවසා ඇත්තේ හාමුදුරුවන් දක්ෂ නමුත් උන්වහන්සේගේ සෙවල  වැඩි බවකි. එදින මේ ධර්ම දේශකයානන් වහන්සේ සෙම්ප්‍රතික්ෂාවෙන් පෙලුන දිනයක් බැවින් සෙම් ගතිය හේතුවෙන්  ධර්ම දේශනය අතරතුරදී වරින් වර ලිස්සා යන කැස්සක් ඇතිවී තිබීම මේ අවිචාර විචාරයට හේතුව විය. මේ සිද්ධිය සදහන් කර සිටියේ ලාංකේය බොහෝ සංගීත විචාර කියවන  විට මේ සිදුවීම මතකයට නැගෙන  නිසාය. ලාංකේය සංගීත විභවයේ ගීත හරහා සිදුවන සෙවල  විචාර කලාවට මා විරුද්ධ අයෙකි. එහෙයින් මේ සටහනේ අරමුණ අජිත්ගේ සංගීත අඩවියේ ගීත නිර්මාණ මේ මොහොතේ විචාරයට බඳුන් කිරීම නොව එදා මතකයන් අජිත්ගේ නිර්මාණ හරහා අවධි වීමෙන් ඇති වන ආශ්වාදය සටහන් කර තැබීම පමණි. 

           අජිත්ගේ නිර්මාණ පීදී ජනගත වීමට ආසන්න කාලයේ මා මධුලෝලී උමතුවෙන් පැය ගණන් මිතුරන් සමග දුරකතනයෙන් දාර්ශනික ස්වරූපයකින් මොනවා  හෝ දෙඩවීම පුරුද්දක් කරගෙන තිබුණි. එය මගේ ලෙඩක් ලෙස දැකීමටද පුළුවන. සමහර දිනවල  ඒ දුරකතන සංවාද අතර එක් කොනක් නියෝජනය කළ අජිත් මගේ ඉල්ලීම නිසා දුරකතනයෙන් ගැයූ ගී කීපයක්ද අද අන්තර් ජාලයේ නව පරපුරක් අතරද සංවාදශීලී ජනප්‍රිය ගීත වී තිබේ. එහෙයින් මා විසින් “මා රස” වෙබ් අතිරේකයේ මගේද  සිත් ගත් අජිත්ගේ ගීයක් පල නොකළහොත් එය  සැබෑ අඩුවක් විය හැක. “සිංහල අවුරුදු දවසේ” ගීතයේ තිබෙන ලිස්සන ගසේ මමද එකල සැබෑවටම නැග තිබීමටත් වඩා තවමත් ලිස්සන ගස් වලට මා තුළ තිබෙන කැමැත්ත කුමක්ද කියා දැන ගැනීමට මම  උත්සාහ නොකරමි. ඒ සසරට තන්හාව වැඩි ඇත්තෝ නිවන් දැකීමට ඇති බිය මෙන් කාරනාවක් වන්නට පුළුවන. සිංහල අවුරුදු දවසේ දේශපාලන යථාවක සුවද නහයට නොව කනට අසන්නට දී අජිත් සිය රසිකයන්ගේ  කන පුපුරන්නට තම ගිටාරයෙන්ම පහර දෙන්නට උත්සාහ කරන වග මා නොදන්නවා නොවේ. මා පමණක් නොව අප පරපුරේ බොහෝ දෙනෙක්ව දමා ගිය අවුරුදු කුමරියන් සිහිවෙන විට අජිත්ගේ පහර සදය පහරක් බවට පත්වී ජීවිතයම සංගීතයක් වූවා සේ දැනේ. 
           2016 වසරේද සිංහල  අලුත් අවුරුදු උත්සව දැන් ආරම්භ වී තිබේ. නගරයේ පමණක් නොව ගම් නියම් ගම් වලද අහස උසට සයිබර් කණු මගින් සියලු මිනිසුන්ව එක හුයකින් සම්බන්ධ කර ඒ උත්සවයන්ද සයිබර් සමාගම් විසින් කළමනාකරණය කර තිබේ. මහ නගර සංවර්ධනය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙමින් තිබේ. සිංහල අවුරුදු දවසේ අජිත්ගේ හඩ අසන  සැමට නිවේදනය  වන තවත් රහසක් තිබේ. ඒ අන් රහසක් නොව කවුරු කවුරුත් අයිතිකරගෙන සිටින්නේද ග්‍රීස් ගසේ බඩ ගෑ මිනිසෙකු ගේ අවුරුදු කුමාරියක් බවයි. එහෙයින්ම ග්‍රීස් ගස්ද කුලියට දීම  නගර සංවර්ධනයට සමගාමීව අද හෙටම සිදුවනු ඇත. අවුරුදු කුමරියන්ටද ග්‍රීස් ගසේ  අවංක අනංගයා එක් වරක් හෝ සිහි නොවනවා නොවේ. කරුමය යවත්කාලීන වෙන හැගීමක් එවිට පහල වන්නේ ආධ්‍යාත්මික දේ භෞතිකව සිතන්නට ඇති නොහැකියාව නිසා නොව  අවුරුදු කුමරියන්ට වැඩි වශයෙන් ප්‍රඥාව පහල වන්නේ ඔවුන් නහින දෙහින හංස ගීතය ගයන කාලයේදී නිසාය. එසේ වන්නේ ස්වභාවයේ වරදක් නිසාද, නැතහොත් දේශපාලන සංස්කෘතියේ වරදක් නිසාද යන්න සොයා ගැනීමට ඔබද මහන්සි විය යුතුය.
               
                 අප කොදෙව් වාසී පිරිමින් සිංහ ප්‍රතිරූපය  වරදවා තේරුම් ගෙන සිටි බව පසු කාලයක අප අයත් පරපුරේ ඇත්තන්ට තේරුම් ගැනීමට හැකි වූ බවට ලිඛිත ශාක්ෂි පවා බොහෝ තිබේ. එහෙත් ඒවා ගැඹුරු මතවාද ලෙස සංවාද අතරට එක් වූ බැවින් සිංහයාටද අපහස කරමින් ස්ත්‍රීන් සහ අහිංසක දුර්වලයන් ඉදිරියේ බොහෝ මිනිසුන් සිංහ වෙස් ගැනීම ජාතික විලුවක් බවට පත් නොවූවාද නොවේ. මේ විහිළුව තේරුම් ගැනීමට සැබෑ කැලෑ සිංහයන්ගේ හැසිරීම බලා සිටීම පමණක් ප්‍රමාණවත්ය. සිතන මනසක් නැති සංවේදී මනසක් පමණක් ඇති කැලෑ සිංහහයන් සිය දේනුව සමග කරනු ලබන ගනු දෙනුවේ වීනීත බව දැක අතීත ලජ්ජාවට පත් වන්නේ මා පමණක් නොවන වග හගිමි. ජන වේදයේ සිංහයා හෝ සත් සියයක් සිංහයින්ටද, වේදිකාවේ පෙරලි කළ සිංහයන්ද නොකී කතාවක් සිංහල අවුරුද්දේ ග්‍රීස් ගහේ ගිය අහිංසක පිරිමි තරුණයෙක් හෙවත්  සැබෑ ගැටවරයෙක් අපට පෙන්වා දෙයි. එහෙයින්ම සිංහ වේශය මේ මොහොතේ සැබෑ මිනිස් වෙස් ගත්තා සේ දැනේ. ජඩ වෙළද අධිකාරිය තුට්ටුවකට මායිම් නොකර වෙන කළ හැකි දෙයක් නැතිනම් පාදඩ වෙළද හැතිකරයට සිය ගතම විකුනා දැමුවත් තමාට කම් කිම් යැයි හගවමින් ආදර වන්තියගෙන් එකම ඉල්ලීමකින් අජිත් ගීතය අවසන් කරයි. “මුළු ගතම විකුනන්න. මුලු හිතම මට දෙන්න” කියමින් තරුණයෙකු කරන මේ ඉල්ලීම වනාහී විලාපයක්, කන්නලව්වක් හෝ බැගෑපත් වීමක්  නොව මිනිසත් බවේ ආදරනීය හෘර්ද ශාක්ෂියයි. ලිංගිකත්වයේ කුහක දේශපාලන සළු පිලි ගලවා පුච්චා දැමීමයි. එලෙසම ගෝලීය කරණයෙන් පසුව මතුව ආ පරිබෝජන සමාජයට මහ පොළොවේ හිටගෙන කරනු ලබන සැබෑ අභියෝගයයි. අජිත් කටෝර වචන පවා සංගීතය බවට පත් කර ගතානුගතික කම්මැලි මනසට තාලයට යටිගිරියෙන් බෙරිහන් දෙමින්  තවත් රහසක් කියයි. ආදරයේ හර්ද ශාක්කිය ටයර් සෑයක හෝ සුපිරි වෙළඳ පොලක විනාස කර දමන්නට හිතන තරම් පහසු නැති බව ගීතය රස විඳින්නාට අවබෝධ වෙයි. ගැහැණු ඉදිරිපිට පිරිමින් මවා ගන්නා සිංහ වෙස් මුහුණු ගැලවෙයි. සැබෑ මිනිස් වෙස් මතුවෙයි. පරිබෝජන සමාජයේ ගැහැණු ආශාවන් මංමුලාවෙන කේදවාචකයද අප නන්නත්තාර කර දමයි. නැගගෙන නැගගෙන යන විට ග්‍රීස් ගසද රළු වෙන්නා සේ පරාජිතයෝද ආදරයේ මිනී වලෙන් ගොඩ එන්නට තැත් කරයි. අද උදා වෙන ශක වර්ෂයේ ශක රජුගේ කතාවද මීට දෙවෙනි නොවන බව ඊනියා සදාචාර වාදියෝ දැනගත යුතුයි. ග්‍රීස් ගසේ මහන්සි වෙන ඉලන්දාරින්ගේ  මානසික ආවේගයන් වටහා නොගත්තානම් සංගීතයේ එක් කුලකයක  හිරවීමට අජිත්ට සිදුවෙන බව සැබෑවකි. මොක කරන්නත් පෙර නූතන දාර්ශනික දේශපාලන සංවාද ඇද ගන්නා අජිත්  කුමාරසිරිට  එසේ වීමට කෙසේවත් නොහැකි බව කීමට අටුවා කුමටදැයි මට සිතේ.

ජගත් මාරසිංහ
2016 අප්‍රියල් 10






Powered by Blogger.