අපෙරාවන් ඔපෙරාවන් වීම

                                           අපෙරාවන් ඔපෙරාවන් වීම 

                    නිවසක වසා ඇති දොර ජනෙල් සියල්ල විවෘත කළ පසු ඒ තුළ පුදුමාකාර නිදහසක් ඇති වීම නිරායාසයෙන්ම සිදුවේ. එහෙත් මේ නිදහසෙහි වාසි සහ අවාසි දැනෙන්නට පටන්ගන්නේ කාලයක් ගතවූවාට පසුවය. දැනුම් තේරුම් ඇති මිනිසුන් කුමක් කීවත් නිවසේ පැවැත්ම සඳහා යම් යම් අවස්ථා වල අදාල නිවසේ ගෘහ මූලිකයන්ට මේසේ කිරීමට සිදුවන වග සැබෑවකි. නමුත් වසා ඇති කවුලු විවෘත කරනවා වෙනුවට ඒවා ගලවා දැමීම අතිශය බයානක දෙයකි. මන්ද සමහර අවස්ථා වල දොර කවුලු ගලවා දැමීම නිසා නිවසේ පදනම පවා පුපුරා යන්නට ඉඩ  තිබේ. තව පැත්තකින් ප්‍රධාන කාඹරයක් හෝ හදිසි අවස්ථාවක වසා දැමීමට නොහැකි වීමට පුඵුවන. සියලු දොර කවුලු ගලවා දමා ඇත්තේ නැවත ලේසියෙන් සවි කිරීමට නොහැකි ආකාරයටනම් තත්වය තව තවත්  බරපතල වනු ඇත. ඕනෑම සංකල්පයකට හෝ ක්‍රියාවලියකට මේ තත්ත්වය වැඩි සම්භාවිතාවකින් සාධාරණය.
                              විවෘත ආර්ථික ක්‍රමය යනු සරළව ගත් කළ යම් රටක ආර්ථික පදනම ලෝකයේ අන් රට වලට විවෘත කිරීමේ සංඛීර්ණ ක්‍රියාවලියකි. මේ තත්ත්වය මත ආර්තික පදනම මත ක්‍රියාත්මක වන සියලු උපරිවියුහ වෙනස්වීම අනිවාර්යෙන් සිදුවේ. කොටින්ම එම රටෙහි සංස්කෘතිය සම්ප්‍රධාය, අධ්‍යාපනය නීතිය සෞඛ්‍යය පහසුකම් වැනි සියල්ල නොසිතූ ලෙස වෙනස් වෙන්නට පටන්ගනී. මේ සියල්ල ජීවිතයෙන්ම අත් දැක ඇති අප රට වැසියාට ඒවා ගැන තව දුරටත් අටුවා ටීකා, ටිප්පනී ලිවීම පල රහිත ක්‍රිරියාවකි. ඒ තත්ත්වය මේ මොහොතේ ලෝක යථාවක් නිසා දැන් කළ යුත්තේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් ආපසු යා නොහැකි නිසා පවතින තත්ත්වයවත් නිසි ලෙස කළමනාකරණය කිරීමය. වෙනත් විකල්ප මත දරන්නන් කළ යුත්තේ කයිවාරුව පැත්තකින් තබා තම විකල්ප මතවාදය යථාවක් බවට පත් කිරීමට මිනිසුන්ව සංවිධානය කිරීමය. කිසිවෙකුගෙන්  සිදු නොවන්නේද මේවා වග අපි දනිමු. මේ විවෘත ආර්ථික වෙනසෙහි දිග පලල සොයා ගැනීමට අප අයත් පරපුරේ තරුණයන් කොටසක්  ඒ යුගයේ සාකච්ඡා සම්මන්ත්‍රන, රැස්වීම්, උද්ගෝෂන වලට සහභාගි වූයේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරවය. එහෙත් අවසානයේදී සියල්ලට විකල්ප විසදුම ලෙස මාක්ස්වාදය පෙරමුණ ගත්තාසේය. එදා බොහෝ මිනිසුන් රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් දුක් විඳීම දිගු කාලයක් කල්දේරම් බත් ගිල දැමීමෙන්වත් අහවර නොවීය.  සමාජ සාධාරණය වෙනුවෙන් කැපවීම ගැන සිතා විරුද්ධ වාදීන්ව මරා දැමීමද  තම ජීවිතය සිය කැමැත්තෙන්ම විනාශ කර ගැනීමද ඇතැම් සමාජ ප්‍රවනතා වලට සාමාන්‍ය දෙයක් බවට පත්විය. මේවා ඉවසා සිටීමට නොහැකි පිරිස්  ජනතා වාදය  යනු කුමක්දැයි සොයා තර්ක විතර්ක කරන්නට ගොස් මිතුරන්ද සතුරන් කර ගත්තා පමණක් නොව තමුන්ද මරණ තර්ජන සිය කැමැත්තෙන් ලබා ගත්තේය. එහෙයින් මේවා ගැන සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන බරසාර  වචන වලින් ගාම්භීර ටිප්පණී ලියන්නට තවමත්  හැකියාවක් තිබෙන මිනිසුන් ජීවත්ව සිටින නමුත් කිසිවක් අත් දැක නැත්තා සේ ඔවුන් නිහඩව සිටී. ඔවුන් එසේ ගොලු වී සිටින්නේ හෝ කිසිවක් නොලියන්නේ මිනිසුන්ව හිනස්සන්නට එතරම් බරපතල මහන්සියක් අවශ්‍ය නොවන වග දන්නා නිසා වීමට පුළුවන. මිනිසුන් ඒවැනි කාරණා වලට හිනා වන්නේද කාලයක් ගිය පසුවය. ඊනියා  ජනතා වාදීන් හිතන තරමටම මිනිසුන් මෝඩ නැති බවද  දැනෙන්නේ තවත් කාලයක් ගතවූ පසුවය.
   
                         ලෝක ආර්තික බලපෑම් වලට ලක්වන විට සංස්කෘතික සියලු දේ වෙනස් වන්නේ සැම විටම මිනිසුන් බියට පත් කරමිනි. අප්‍රිකානු ගෝ‍ත්‍රිකයෝ ප්‍රාදේශීය සටනකදී සුද්දා දමා ගොස් තිබි යතුරු පැදියට යකඩ අශ්වයා කියා  ඈත  සිට ගල් මුල් වලින් පහර දෙන විස්තර ඇතුලත් ලිපියක් දැක මම එදා ගෝත්‍රිකයන්ට උපහාස කතා කියමින් සිනාසුනෙමි. එහෙත් පසු කාලයක අප ලක් දිවයින්  වාසීන්  මරදානේ පැවති ප්‍රථම සිනමා ප්‍රදර්ශනයේදී  සිනමා ප්‍රොජෙක්ටරයට මැජික් ලාම්පුව කියා බිය වී කලබල කර ඇති බව කියවන්නට ලැබුණ විට දැඩි කනස්සල්ලක් ඇති නොවුනා කීවොත් මා බොරු කාරයෙක් වෙනු ඇත. ඒ මොහොතේ අප රටේ මිනිසුන්ගේ  ඉදිරි ගමන විදේශ පාලකයෝ බලහත් කාරයෙන් යටපත් කර තිබූණි. කෙසේ හෝ  එදාටත් වඩා වේගයෙන් අද පවා සිදු වන්නේ නම් එයම බව සමහර සිවිල් ක්‍රියා කාරීන්ගේ කතා අසද්දී පැහැදිලි වේ. ගෝත්‍ර සමාජ වලද ධනාත්මක ලක්ෂණ තිබූ බව නොරහසකි. තවත් පැත්තකින් අද සමාජය වනාහී ගෝත්‍ර සමාජයේ දිගුවක් ලෙසද දැකිය හැකි බව සැබෑවකි. එහෙයින් වර්තමාන සමාජ කතිකා වලදී ගෝත්‍රික වචනය අපහාසයට පාවිචි කරන්නේ වම්මුන් නොව ඊනියා වම්මුන් බවද පැහැදිලිය. දක්ෂ කතිකයන් මිනිසුන්ට මොනවා ඒත්තු ගැන්වීමට උත්සාහ කළත් මිනිසුන් තමන්ගේ සංස්කෘතියට දේවල් ස්වීකරණය කර ගන්නේ එක එක මතවාද වල උවමනා එපා කම් වලට අනුව නොවන වග ඉතිහාසට විසින් අපට උගන්වා තිබේ. මුහුදින් වට වූ දිවයිනක මිනිසුන් ටින් මාලු කෑම විකාරයක් වූවත් එය අප රට මිනිසුන් විසින් කාලයාගේ ඇවෑමෙන් තම ආහාර වට්ටෝරුවට එකතු කරගත්තේය. නමුත් පංති බේදයකින් තොරව අපේ මිනිසුන්ගේ සැමන් හොද්ද අන් රට වලට ආගන්තුකය. කොටින්ම බුදු දහම බරපතල වෙනසකට ලක් නොකර සැබෑ ධර්මය ත්‍රීපිටකයේම තබා මිනිසුන් බුදුන්වද තම ජන ජීවිතයට ගත්තේ සරලවය. එහෙත් පෙනෙනවාට වඩා ගැඹුරටය. අවසානයේදී බුදු දහම ලක් දිව තහවුරු වීමට පෙර තිබි සංකෘතික අංගද ඊට පාස්සා නොගත්තේ නම් පළමුව බුදුන් වැඳ”  කියා වින කැපීමට බුදුන්ව ගැනීමට කිසිදා පුලුවන් කමක් නැත.( මා රසව්‍යාධදේව කතා තුළ මේ පිළිඹඳ වෙනත් ආකාරයකට විස්තර කර තිබේ.)   නක්කත්ත සූත්‍රයේ බික්ෂූන්ට අදාලව කුමක් සදහන් වුවත් එදා අප රටේ දරුවන්ව දෙමාපියන් මහන කමට පන්සලට පූජා කරන ලද්දේත්  බික්ෂූන් වහන්සේලා දෝතින්ම පිළි ගන්නා ලද්දේත්  හතර කේන්දරය සහ විවිධ ග්‍රහ ක්‍රම වේද සලකා බැලීමෙන් අනතුරුවය. මීට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වූ විනය කරේ තියා ගත් පැවිදි පිරිසක් පමනක් නොව ගිහියෝ කල්ලිද එදාද නොසිටියා නොවේ. පසුකාලයක  ඔවුහු සංවිධානවී බික්ෂූන් විසින් බික්ෂූ  විනය  නොරකින වග කියමින් පන්සලට ප්‍රතිපක්ෂව විවිධ ආකාරයේ කටයුතු වල නිරත වූහ. අප කුඩා කාලයේ අපේ අම්මලා සමග ඔවුන් වාද විවාද කළ ආකාරයේද අපූරත්වයක් නොතිබුණා නොවේ. අප රටේ ඇතැම් ට්‍රොස්කි වාදී සංවිධාන වල කතා විලාසය ඔවුන්ට සමාන බව පවසා  තමුසෙත් මාක්ස් වාදී විනය කාරයෙක් කියා වයසක මාක්ස් වාදියෙක් තරුණ අවධියේ මට චෝදනා කෙළ්ය. එහි අග මුල තේරුම් ගැනීමට මට කාලයක් ගතවිය. වැනිසියේ වෙළෙන්දා නාටකය අප රට තුළ එතරම් ජනප්‍රිය වූයේ නැතත් හරියටම මස් රාත්තලක් ඉල්ලීමේ උගතුන් අප කොදෙව්වේ බොහෝ ඇති වග දැනගත්තේද කාලයක් ගතවූ පසුවය. හරියටම රාත්තලක් ඉල්ලන වැඩි පිරිසක් ලග තිබෙන්නේ  පඩි නැති තරාදි වීම වෙනම කාරනණයකි. තවුසාද විනය වර්ධන කාරයාද දේශනා කාරයාද භික්ෂූන්ගේ අගුණ වපුරති  යන පාඨය  ඒ කාලයේ ජනප්‍රිය කියමනක් වී තිබේ.
                             
 මේ වන විට බුදුන්වද වීද්‍යාවට පාස්සා විනය කරට ගත් ඊනියා මාක්ස් වාදී න්‍යායාචාර්ය වරු පිරිසක්ද බිහිවී සිටී. නමුත් විනය වර්ධන කාරයන්ගේ අභිධර්ම දැනුමට මේ අයට අලගු තියන්නටවත් නොහැකි බව දන්නේනම් ටික දෙනෙකි. එක් පසකින් මේ තත්ත්වය නිසා ඇතැම් විට ඔවුන් නොසිතන දෙයක්ද සිදුවේ. ඒ මාක්ස්වාදී මානවවාදී, නූතනවාදී තර්ක විතර්ක සමග බෞද්ධ ජන වේදය පෝෂණය වීමය. ඒ තත්ත්වය මාක්ස්වාදී කල්ලි කණ්ඩායම් අතර විවිධ පරස්පර නිවේදන තත්ත්වයන් ඇතිවීමටද රුකුලක් වී තිබේ. ඉතිහාසගත ක්‍රියාවන් සහ වීරයන් ලෙස මුල් බැස ඇති චරිත වලට නව අර්ථ නිර්මාණාත්මකව ගොඩ නැගීමද අද මෙන්ම පෙර කලද සිදුවී තිබේ. ඒ තත්වයද තුළද සිදුවන්නේ අතීතයේ සිදු වූවා මෙන් වීරත්වයට පත් කර ඇති  චරිත වලට නව පනක් ලැබීමය. අද නගන චෝදනා සියල්ල පසු කාලයක ඒ චරිත වටා එතී තව තවත් ඔපවත්වේ. කොටින්ම වීර සංකල්පයක් නපුංශක  කිරීම තුළ නපුංශක සමාජයේ මිනිසුන්ද ඒ වීර සංකල්පය තම වීරත්වයේ කතිකාවට බලයක් කරගන්නවා සේය. ඒ  මිත්‍යාමතික සංකල්ප වර්ධනය වීමේ හැඩය බව වටහා ගැනීම ලේඛකයන්ට කෙසේ වෙතත් පාඨකයන්ට නම් යහපතක් වීමට පුළුවන. නොමියන මිත්‍යා මතික සංකල්පයන් බොහෝ කල් පවතින්නේ මේ චලිත ස්වරූපය නිසා බව අකලට මහලු නොවූ වැඩිහිටියෝ නොදැන සීටීමට කිසිසේත්ම පුළුවන් කමක්ද නැත. සත්‍ය අසත්‍ය කුමක් හෝ වේවා සිදුවන්නේ මෙය බව දැනගත් එදා විද්වතුන් ජන වේදය සමග හැප්පෙන්නට යාම පැත්තකින් තබා තම අරමුණ ඉටුකර ගැනීමට ඒවා උපයෝගි කර ගත්හ. අපරදිග සමාජ විද්‍යාඥයෝ මේ කාර්ය ඉතා දක්ෂ ලෙස සිදුකර තිබේ. ලක්දිව  පුරාණ වීර චරිත ලෙස මතු වී ඇති බොහෝමයක් කතා දැන් අම්මලා දරුවන්ට කියා දෙන සුරන්ංගනා කතාන්දර බවට පත් වී තිබේ. ආසියාතික අප කලාපයේ අපරදිග මෙන් වීර යුගයක් නොතිබූ අවකාශයක ජන වේදයේ චලිතය දාර්ශනිකව  විමසීම තවමත් හරි හැටි සිදු නොවන අතර ඒවා සිදු කරන විද්වතුන් අතරද වාම වාදී, කුල වාදී, ජාතිවාදී වශයෙන් බලය සම්බන්ධ නොයෙක් කණ්ඩනයන් තිබෙණ බව පෙනේ. කුල සාධකය පිළිබද කාරනා මතු කරණ බුද්ධිමතුන් කීප දෙනා පවා ආර්තික පදනමට එහි තිබෙන බලපෑම මතු කරනවා විනා ඉන් ජනිත වී තිබෙන හීන මාන තත්ත්වයන් ගේ බල පෑම බුද්ධිමය සමාජ පර්යේෂන වලට සහ දැනුම නිෂ්පාදනයට බලපාන අන්දම පිළිබදව තවමත් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. සැබෑවටම ඒ නම් වික්ටෝරියානු සදාචාරය තවමත් බලවත් නිසාය. කලාව, නිදහස සහ නිරුවත සදහා පමණක් නොව වික්ටෝරියානු සදාචාරයේ බලය ඉපදෙන දරුවාට පවා බල පෑම් කරයි. කලාකරුවන්ගේ විරෝධතා මේ බලයට දැනෙන්නේද යන්නත් ප්‍රශ්නයකි. මන්ද අප රට තුළ පවතින නීතිය රෝම ලන්දේසි නීතියයි. සුලු සුලු වෙනස් කම් සිදු කර ඇතත් මේ නිතියෙන් අනියමින් වික්ටෝරියානු සදාචාරය ආරක්ෂා කරන වග සැබෑවකි. කොටින්ම කමිසයේ උඩ බොත්තම නොදමා  උසාවියක් තුළ නඩුවකට පෙනීසිටීමටවත් රටක පාලකයාටවත් නොහැක. වික්ටෝරියානු සදාචාරයට විරුද්ධව පෙනී සිටින සටන් කාමීන් පටන්ගත යුත්තේ කොතනින්ද කළ යුත්තේ මොනවාද යන්න දන්නවාද යයි සැක සහිතය.  සමහර නොගැලපෙන සදාචාර තත්ත්වයන් පවා වෙනස් කිරීම රැඩිකල් වචන වලට හැකියාවක් තවම ලැබී නැත. මුහුණු පොත පැයක් පරිහරණය කර ජනප්‍රිය  ශුද්ධ භූමියක පැය බාගයක් සිටීමෙන් මිනිසුන් කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියා ඉතා හොදින් වටහා ගත හැක. මිනිසුන් දිනා ගැනීමේ නොහැකියාව හැකියාවක් කර ගැනීමට සමාජ ව්‍යාපාර නැවත කියවීම හෝ හැදෑරීම් කරනු ඇතැයි සීතීමට කොනක් අල්ලා ගත නොහැක. වම්මුන්ගේ සියලු කණ්ඩායම් බුදුධිමතුන්ගේ පරාදීස බවට පත් නොවුනානම්  කියා කාට හෝ හිතෙන්නේ නම් එය සුභ සිහිනයක් ලෙස කිසිවෙක් නොහිතනු ඇත. එසේ වන්නේ එය සුබ සිහිනයක් නිසාදැයි සැකයක්ද මතුවේ. ඊනියා වම්මුන් වැඩිපුර පටලවා ගන්නේ දකුණ නොව වමම වීමද ස්වභාවික සමාජ චලිතයේම ප්‍රකාශනයකි.  මීලඟ  ඇමරිකානු ජනාධිපති වරණයට වාම වාදියෙකු ඉදිරිපත් වීමට නියමිත බවට තොරතුරු පැතිරේ.  බර්නී සැන්ඩර්ස් නම් ඔහු ප්‍රජාතන්ත්‍ර වාදය සහ සමාජවාදී ක්‍රමයක් ගැන නව මත ප්‍රකාශ කරන වග කනින් කොනින් ඇසේ. මිනිසුන්ගෙන් දුරස්ත වී සිටින වාම මතවාදී සියලු සමාජ දහරා වලට සංවාද කිරීමට පොටක් පෑදීම ඇමරිකාවේ සමාජ මතයට මොක උනත් මේ කොදෙව්වට නම් මාර වීමට පුඵුවන. මේ මතුවන්නේ වෙළද මාක්ස් වාදය බව මධුලෝලී මාක්ස් වාදියෙක් මා සමග කිව්වේ අත්දෙකම මිට මොළවාගෙනය.  සිදුවෙමින් පවතින්නේ වාම සංකල්ප සහ උපාය උපක්‍රම වෙළදපොළ ආර්ථික ක්‍රමයේ න්‍යෂ්ටියට  සුමට කර බද්ධ කරගැනීමේ රැල්ලක් ඇතිවීම බව තවෙකෙක් කියයි. මාධ්‍ය සංනිවේදන වෙළදපොළ තව තවත් බලවත් වන විට තව තවත්  හොද හොද සෙල්ලම් අනාගතයේදී බලා ගත හැකි වනු ඇත.
                             
විවෘත ආර්ථික ක්‍රමය ලෙස නම් කර තිබෙන කැඳ හැලිය තුළ පුද්ගලික නිදහස විලාසිතාවක් සහ විකාර බලයක් බවට පත්වී  තිබේ. මේ නව වෙනසින් පසු මිනිසාට වධයක් වූ  සදාචාර බැමි අහෝසි වූවා නොව වෙනත් අයුරකින් තවදුරටත් තහවුරු වූ වගද සැබෑවකි. නිදසුනක් ලෙස කුල සාධකයයේ බලය නැති වූවා නොව  ඊට කේවල් කළ හැකි ආර්ථික වටිනාකමක් ජාතක වී තිබේ. පන්ති සමාජයේ නොලිය වුන  ඉතිහාසයේ නාමයෙන් තම කුලවාදී ජාන ගත පරපුරට ගෞරවය   ලැබෙන සේ ඉතිහාසයට වෙනත් අර්ත කතන දීමට හැකියාවක්ද ලැබී තිබේ. එක් පසකින් සමලිංගික ප්‍රේමයට නෛතික බලය ඉල්ලා සටන් කරන අතර තවත් පැත්තකින් ජාතියේ නාමයෙන් නමගිය ජනප්‍රිය චරිත එසේ වූයේ සමලිංගික හේතු කාරනා නිසායැයි අවලාද ගසයි. දාර්ශනික ආකාරයට ගොඩනගන එවන් මත වාද සමාජ විද්‍යාත්මක කාරනා නොවී අවලාද වන්නේ කෙසේද යන්න විමසීම මෙම වියමනට මදි කමක් වීමට පුළුවන. එකම ජාතියක් දෙකට බෙදී දැන උගත් මිනිසුන් කොටසක් අන්තර් ජාලයේද  මහා ජාතික මතවාද පිළිබඳ සංවාදයක පැටලී සිටී. තත්ත්වයේ කිසිම වෙනසක් නැත. කිසිවෙක් කලබල විය යුතුද නැත. අපර දිග සංකල්ප සහ භාන්ඩ වෙළද අවකාශය සීතල වූවාට මේ මිනිසුන් ජීවත් වන්නේ හොදින් හිරු එලිය ලැබෙණ භූමි කලාපයකය. යහමින් සද එලියද රජයන අෑත කාලයේ සිටම ස්වීකරනය හුරු මිනිසුන්ට උපදේශන වනාහී කන් කරච්චලයක් පමණි. එහෙයින් ඔපෙරා රාග තාල පවා මේ කොදෙව්වට  ස්වීකරණය වන්නේද මේ මොහොතේ මිනිසුන් නාදුනන අති පණ්ඩිත කොටසක් දකින කියන හැඩයට  නොව කිසිවෙක් නොසිතන සැමන් හොද්දේ ආකාරයටමය. දැන උගත් මහා සම්ප්‍රධාය කියන තාලයට කියන කියන එක ඒ අවස්ථාවේම පිලිගන්නට මිනිසුන්ට ගායක් තිබිය නොහැක. එහෙත් ඔපෙරා ඉසව්වේද මුල් තාල නාද ගලා ආ පුරුද්දේ ආකාරයට ඊටම පේවී සිටින සමාජ  පංතියක රසිකයන් පිරිසක් රැක බලා ගැනීම අතීතයේ සිටම අනිවාර්යක් කරගත් ආකාරයටම සිදුවෙනු ඇත. අපරදිග ක්‍රමයට සැමන් කන්නෝ තවමත් නොසිටිනවා නොවේ.  නමුත් සෑහෙන කාලයක් ගොස් සිංහල ඔපෙරා ගායනය බලයක් වූ පසු අපෙරාවන් ඔපෙරාවන් වීම ලෙස පොත් ලියවෙන්නට බැරි කමක්ද නැත. මේවා ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් වීම අනිවාර්ය බව  ධනවාදයට විරුද්ධව  දිවි පිදූ බව කියන වාම වාදී මගේ ලේ ඥාතියෙක් සිහිනෙන් ගේ ඇතුලටම විත් ඔහුගේ සුපිරි ජංගම දුරකතනයෙන් මට පැවසුවේ  ඩෙනිමක් ගසාගෙන බුලත් හපයක්ද කටේ පුරවාගෙනය. 

ජගත් මාරසිංහ


Powered by Blogger.