මං



මාර  කොලම 
මං
             
               “මං යනු මඟ හෙවත් මාර්ගය බව අපි දනිමු. අංග ජාතය හෙවත් පුරුෂ ලිංගයටද “මං” කියන්නේ ඇයි දැයි හොයන්ට මට නොසිතේ. මන්ද  මං මං ලෙස මිනිසුන් දකින ආකාරයද එක පැත්තකින් බොහෝ විට නිවැරදි විය හැකිය. මාර්ගය වනාහි අංග ජාතය  බව මිනිසුන්ගේ සිතිමත් නොසලකා හැරිය නොහැක. ගමනක් යාමට නම් මාර්ගයක්  තිබිය යුතුය. නැතිනම් අලුත් මාර්ගයක් සොයා ගත යුතුය. කොටින්ම පාරක් නැතිව ගමනක් යාමට බැරිය. පාරවල් කපන්නට හිතන පිරිස මැරෙනකන් ජිවත් වෙන්නේද පාරේය. පාරේ ජිවිතය සුන්දර ලෙස දකින්නේ ගෙවල් හිර ගෙවල් කරගත් මිනිසුන්ය. හිර ගෙයක් ගෙදර කර ගැනීමටත් ගෙදර හිර ගෙයක් කරගැනිමටත් පාරේ ජීවත් වෙන මිනිසුන් නම් ඉතා හොදින් දන්නා බව පෙනේ. එහෙයින් සමහර ඊනියා පණ්ඩිතයන් මමද පාරේ හිටිය එකෙක් කියා පුරසාරම් දොඩන්නේ තමාට කෙරුම් කාරයෙකු වෙන්නට තිබෙන ආශාව නිසාය. එහෙත් එසේ පංපෝරි ගහන මහත්තුරු අකල් වැස්සක්වත්  පායන තෙක් පාරේ ගහක් යටවත් විනාඩියක් නොහිටපු තක්කඩියන් බව පාර ශුද්ද කරන්නෝ දනිති.
                    කෙනෙකු හෝ පිරිසක් යම් ගමනක් යන්නේ තමන් සැලසුම් තැනක් ඉලක්ක කර යම් අරමුණක් පෙරදැරි කරගෙනය. කිසිම ගමනකට තනි කෙලින් පාරක් කිසිදා හමුවන්නේ නැත. වංගු හරහා ගමන් කළ යුතුය. හැරෙන්න ඕන තැනේදි එසේ කළ යුතුමය. එහෙත් දිශාව වෙනස්  කර හැරෙන්නට නියමිත තැන මග හැරී ගියේනම් නැවත ආපසු විත් නියමිත පාරේ ගමන් කළ යුතුය. නැතහොත් වට රවුම් ගසා නියමිත ඉලක්කය සොයා ගත හැක. තවදුරටත් අනවබෝධය නිසා දිශා පටලවා ගත් කල අතරමංවීම අනිවාර්ය වේ. ඉන් පසු අහම්බෙන් හෝ තවත් අයගේ සහය ලබා හෝ නියමිත තැන සොයා ගත හැක. එවිට පමණ ඉක්මවා නියමිත කාලය ගතවී හමාරය. කොටින්ම නැරඹීමට බලාපොරොත්තු වූ පෙරහැරේ බෙර හඩවත් අසන්නට ලැබෙනේ නැත. මෙවැනි අවස්ථාවල සාමාන්‍ය මිනිසා දෙවියන්ගේ පිහිට පිහිට පතන කතාවක්ද තිබේ. එහෙත් ආධ්‍යාත්මික ඇසකින් බලන කළ දෙවියන්ගෙන් පිහිට පතන්නේ දෙවියන්ට ඇති භක්තිය නිසාය. දෙවියන් කියා රූපයක් ඇසට නොපෙනෙන බව සැබෑවකි. දෙවියන් පියවි ඇසට නොපෙනීම දෙවියන් සම්බන්ධ සම්මුතියේ කොන්දේසියකි. ඒ බව අවිද්‍යා චින්තකයෝ දන්නේ නැත. දෙවියන් ඇසට පෙනුනත් අල්ලන්නට නම් කෙසේවත් නොහැක. ඒසේ හැකි නම් ඒ දෙවියෙක් නොව වෙන මොකෙක් හරි හොර යකෙක් බව මිනිසුන් ගේ සම්මුතියේ මතය වේ.
                   භක්තිය වනාහි ආදරය සහ ප්‍රේමය සමග සම්මුති ගත සංකල්පයකි. ගුරු කෙනෙකු නොමැතිව භක්තිය වර්ධනය කර ගත නොහැකි බව මතයක්ද තිබේ. දියුණු රටවල මිනිසුන් විකාර කාරයන් නොවන වගත්, ඔවුන් නක්ෂත්‍රය පිලි නොගන්නා බවත්, දේව කන්නලව් නොකරන බවත්  පවසන  පිරිසක්ද සිටී. රටවල්  ගණනාවක  මවු  බසින්ම  අන්තර්  ජාලය  හරහා පමණක් මේ  කියන  කාරනා ඇත්තද නැත්තද කියා විමසිය හැකි බව මොවුන් තාම නොදැන සිටින්නේ මන්ද යයි නොදනිමි. මොවුන් සමග සංවාද කරන්නෝද සිටිති. ඒ මන්දැයි දන්නේද ඒ අය පමණි. ඒවා ගැන කියන්නට ඇත්තේ "අනේ පව්" කියා  පමණක් බව බටහිර රටවල් කීපයක කරක් ගැසූ වූ මා මිත්‍රයෙක් පැවසුවේ තරමක් කේන්තියෙන් බවද සටහන් කළ යුතුය. ඔහු ජාතික වාදියෙක් නොවන වගද නොකියා සිටියොත් අඩුවක් විය හැකි බවද දනිමි. 

           ගමනක් යන්නේ මහ පාරේ, ගුරු පාරේ, අඩි පාරේ පමණක් නොවේ. දේශපාලන පක්ෂ,සහ යම් යම් සමාජ සංවිධානද යන්නේ ගමන්ය. ඒ ගමන් වැටී තිබෙන්නේ මිනිසුන්ගේ යහපත් බලාපොරොත්තු අරමුණු කරගෙනය. ඒ මිනිසුන් හිතන හැටිය. එහෙත් මිනුසුන්ගේ බලාපොරොත්තු මොනවාද කියා ඔවුන්  තියා මිනිසුන්වත් දන්නේ නැත. සාමාන්‍ය මිනිස්සු නම්  වැදගත් ගමනක් යන විට බුදුනුවන් සරණ යාමෙන් පසු සූනියනම් දෙවියන්ගේද  පිහිට පතන අවස්ථා තිබේ. තවත් සමහරු එක් අතකින් පපුවේ කුරුසය සටහන් කර ගනී. ධනපති දේශපාලන පක්ෂ ලෙස හදුන්වන සංවිධාන වල නායකයෝ සහ සාමාජිකයෝ  ගමන් යන විට දේවාල වෙත පෝලිමේ ගොස් පොල් ගසති. දේව කන්නලව්ද  කරති. මේ ප්‍රචාරක උපායක් බව මිනිසුන් නොදන්නවා නොවේ. එහෙත් සමහර බුද්ධි වාදීන් සිතන්නේ අහිංසක මිනිසුන් රැවටී මේවාට සහභාගි වෙනවා කියාය. පක්ෂ නායකයන් බලය නිර්මාණය කර ගැනීම සදහා ගමනේ යෙදුනත්  මිනිසුන් ගමන යන්නේ එක්කෝ රස්සාවක් ගැනීමටය. නැතහොත් උසස් වීමක් ගැනීමටය. කුමක් හෝ පුද්ගලික අරමුණක් පෙරදැරි කරගෙනය. පරම්පරාවේ පුරුද්දට සහ කාගෙන් හෝ පලි ගැනීමට යන කොටසක්ද සිටී. බඩුමිල අඩුකිරීම කිසිදා සිදු නොවන වග සාමාන්‍ය මිනිසුන් අත්දැකීමෙන්ම වටහාගෙන තිබේ. නීතිය සහ සාධාරනය ගැනද එසේමය. නමුත් තම බලාපොරොත්තු ඉටු නොවුන පසු පලි ගැසීමට සටන් පාඨ වන්නේ මේවාය. ඉන් පසු අහිංසක මිනිසුන්ව රැවැට්ටුවා  කියා බෙරිහන් දෙන බුද්ධිමත් මිනිසුන්ගේද තත්ත්වය එසේමය. එහෙත් බුද්ධිමතුන් කියන්නේ සාමාන්‍ය මිනිසුන් ගෝත්‍රිකයන් කියාය. අවසානයේදී කවුරුත් එකිනෙකා දෙස බලා ඇත්තේ යතුරු හිල් අස්සෙන් බව පෙනේ. මේ සියල්ල හිල් මරන්නන්ගේ සංස්කෘතියක් සේ දකින්නන් විනෝදයක් ලබන්නේද එසේය.
                        වමේ ව්‍යාපාර ගමන් යන්නේ නම් විද්‍යාව හිස මත තබාගෙනය. ඒ අයගේ ගමන් වලට ආගම දෙවියන් හෝ නක්ෂත්‍රය අදාල කර ගන්නේ නැත. ඒ පිරිස කියන්නේ නම් දෙවියන් යනු ජනතාව බවය. අදුරු කුටිය තුළ නොව පාර කපන තැන, පොළව කොටන තැන දෙවියන් ඇති බව තාගෝර් ලා කවියෙන් කී දේවල් මේ අය යටිගිරියෙන් ගයයි. කෙසේ නමුත් මේ අයගේ එකම විශ්වාසය ජනතාවය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි කොටසක් වමේ නායකයන්ට ආදරය කරන්නේ විද්‍යාත්මක පදනමකින් නොව වෙනත් ආකාරයකට භක්තිවන්ත හැගීමකින් බව ඒ අය සමග කතා බහ කිරීමේදී වටහා ගත හැක. සිය බිරිදව කෝප කිරීමට අවශ්‍යනම් ඇගේ මව් පියන්ට අවලාද ගැසීම ප්‍රමාණවත් බව ස්වාමි පුරුෂයෝ අත්දැකීමෙන් දනිති. එහෙයින් කලක් ගතවන විට නැන්දම්මාට  සහ මාමංඩියට කිසිදු දොසක් නොකියන්නට ස්වාමි පුරුෂයන් වග බලාගන්නේ වැරදීමකින්වත් එසේ සිදු වුවහොත් මළ කරච්චලයක් නිසාය. වමේ සමහර පිරිසකට මාක්ස්ට හෝ ඒ අයගේ නායකයාට දොස් පැවරුවහොත් තත්ත්වය කුමක් වේදැයි කවුරුත් යන්තම් හෝ දන්නා බව හඟිමි. විහිලුවට හෝ ඒ නායකයන්ගේ අම්මා මතක් කළහොත් ඒ පිරිසේද  බොහෝ දෙනෙකුගේ  විද්‍යාත්මක චින්තනය දෝර ගලන්නේ භක්තිය අන්ද බක්තිය බවට වෙස් පෙරලීමෙන් දැයි සිතා ගැනීමටවත් නොහැක. එහෙත් අවංක කැපවීමක් ඇති බොහෝ තරුණ තරුණියන් වැඩිපුරම ගොනු වෙන්නේ ඒ සංවිධාන වටාය. ඒ තත්ත්වය ලියනවාට වඩා සොයන්නට යමක් ඇති බවට ඉඟියකි. ඒ කණ්ඩායම් වල ගමන් වලද නියමිත හැරවුම් හංදි  පසුවී තිබේ. ඒවා ඒ අයම පිළිගැනීම නම් වටිනාකමක් ඇති බව කවුරුත් දනී.
                     ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගේ කියා ප්‍රස්ථාවක් අපේ ජන වේදයේ තිබේ. මෙය ගමරාල දිව්‍ය ලෝකේ ගිය ප්‍රසිද්ධ ජන කතාව හා සම්බන්ධය. ඒ කතා තුළ එදා ගමේ නිර්ව්‍යාජත්වය තිබෙන බව සමහරු ලියා තිබේ. එහෙත් නිර්ව්‍යාජත්වය තුළ ඇති මෝඩ කමද ඒ කතාව යටින් මතුවේ. ගංගාවක් කොපමණ ගැලුවත් මහා සාගරය නොපිරේ කියාද ප්‍රස්ථාවක් තිබේ. ගංගාවක් නම් නිවැරදි පාරේ තම ඉලක්කයටම ගමන් කරයි. මන්ද ගංගාවට භාදකයක් හමුවූ විට එය සමග නොගැටෙමින් ස්වභාවයාට එකගව පහසු තැනකින් ගලන්නට පටන්ගන්නා  නිසාය. අපන්නක චින්තනය කියමින් මේවාටද මහා දේවල් ලියවී තිබේ. එහෙත් ඒවා ගැන වැඩි දෙනෙක් කතා නොකරති. එය දිග කතාවකි. 
             ගංගාවල ඉලක්කය මහා සාගරයයි. සාගරය ජීවිතයට සංකේතවත් කර ඇති ධර්ම කරුණු ත්‍රී පිටකයේ තිබේ. “දහස් සුවහස් රුවන් මිණි මුතු ගොදුරු ගිල ඇති සාගරේ” කියා සේකරද ලියා තිබේ.” එපා පුතුනේ මූදු යන්නට රෑ දවාලේ හිතු මතේ” කියාද ඔහු ලියා තිබේ. ලියා තිබෙන්නේද මුහුදු පුත්තු නාටකයටය. එහෙත් අපේ පුතුන් මූදු යන්නේම හිතු මතේමය. ඓතිහාසික භෞතික  හෝ අපෝහක භෞතික යන්න විද්‍යාවට යටත් කරගත් විට එසේ සිදුවන වග නොකියන්නේ ඒවා ලියා තබන ලද ලියවිලි බොහෝ තිබෙන නිසාය. “ ගං හෝ දහස් ගණන් වැද තෘප්තිමත් නොවූ මහා සාගරය සේ ” කියා බුත්සරණය කතුවරයාද ලියා තිබේ. “මුහුද කප මුළුල්ලේහි කොතෙක් ගංවතුරින් උතුරුවා නොයාවිද කියා.” සද්ධර්ම රත්නාවලියේ කතුවරයාද ලියන්නේ නිකම්ම නොවන වග සිතෙන්නේ හැරවුම් හංදිය පසුවූ පසුවය. ගංගා වලට මහා සමුද්‍රය ඉක්මවා යා ගත නොහැක්කා සේ කියා උපමා කතාවක්ද ඇත. කෙසේ හෝ ගංගාවෝ නම් හැරවුම් සන්දි වරදවා නොගනිති. ඒ  ස්වභාවයාට එකඟව ස්වාභාවයා ගලන නිසාය නිසාය. 
            
             ලොව බරපතලම ගමන ජීවිත ගමනය. හැරවුම් ලක්ෂ්‍ය වරදවා ගත්තත් නොගත්තත් ජීවිතය මරණයෙන් කෙලවර වේ. එතනින් එහාට දේවල් කතා කර හෝ මරණය දිනාගන්නට හැකි ක්‍රම සෙවූ විද්වතුන් ආගමික නායකයින් වූවා සේය. 
                  අපේ කොදෙව්වට අනයනය කර ඇති විවාහයේ ගමනද දුෂ්කරය. එහෙත් ඒ ගමන් මග අති සරල සේ පෙනේ. ඒ දෙදෙනාම එක මගක ගමන යනවානම්ය. එහෙත් අද පවතින වෙළද අවකාශයේ අති පංඩිත මිනිසුන්ට එක මග ගමන් කිරීමට බොහෝ අපහසුය. මොවුන් හැරවුම් හන්දි වලින් හැරෙන්නේද දිශාව ගැන නිසි අවබෝධයක් නොමැතිවය. එහෙත් දරුවන් ලැබෙන තුරු නම් එක මග යාම සම්මතයක් වී තිබේ. පාරිභෝගික  ආශාවන් සම්බන්ධව හිතමින් යන ආදරණීය විවාහ ගමන ගැන සෙවීමට උසාවියකට හෝ කෝවිලකට යාම පමණක් ප්‍රමාණවත්ය. තම රාජකාරි කරන කාර්යාලය හෝ වැඩ කරන වැඩ පොළද මේ ගැන සොයා ගැනීමට හොඳටෝම ප්‍රමාණවත්ය. හැරවුම් සන්දි වරදවා නොගත් එක මග ගමන් කරන විවාහකයෝද අතලොස්සක් නොසිටිනවා කිව නොහැක. විවාහය නිල වශයෙන් පටන්ගන්නේ ආදරවන්තයන් දෙදෙනා සැමියා හා බිරිඳ බවට පත් වීමට සහ නෑදෑ බන්ධනය තහවරු වීමට දරුවෙකු අරමුණු කර රමනයේ යෙදෙන මොහොතේ සිටය. අතීත පුර්වාදර්ශ අනුව මේ  සඳහා හොඳ අහස් සැකසුමක් ගණිතයෙකුට කියා සාදා ගැනීම විවාහයට නැකතක් බැලීම වේ. අද බොහෝ විට සිදුවන්නේ දෙදෙනා හඳුනා ගත් නිමේශයේම හෝ ආසන්න කාලයක ශරීර නැකත තමන්වත්  නොදැන කාමය විසින් නැකතක් අල්ලා ගැනීමට කාලයට ඉඩ හැරීමය. අනතුරුව මුදලක් අරමුණු කර  උජාරුවට ඡායාරූප ගෙන පම්පෝරි ගැසීමට උත්සවයක් සඳහා විවාහ  ලියාපදිංචියට නැකත් හදා ගැනීමය. නමුත් බොහෝ නැකත්  කරුවෝ රූපවාහිනියේ දෙසන්නේ කාලිදාසලා, පරාසරලා, ජීවනාතලා, අයින්ස්ටීන්ට පාස්සන දර්ශනය. එවිට පරාසරලා යට යන බව මේ අය දන්නේ නැත. දැනුමේ තිබෙන්නේ විවිද මට්ටම් විනා උස් පහත් බවක් නොවන බව තේරුන්  ගන්නට නොහැකිව මිනිසුන්ට ජීවිත උපදෙස් දෙන්නේ කෙසේදැයි කිසිවෙක් හිතන්නේද  නැත. බොහෝ මිනිසුන්ද  එන්නේ උපදෙස් ගන්නට නොව තමන් හිතනදේ හරියනවාමයි කියා අහගන්නටය. කෙනෙකු එසේ නොවන බව පැවසුවහොත් එසේ කියන අයෙක් හමුවෙන තෙක් මිනිසුන් ගමනේ යන්නේය. ඒ ලෝකයේ මිනිසුන්ගේ මේ මොහොතේ විදිහ බව මේ ඊනියා ගණිතයෝ හොඳින් දනී. සියලුම වෙළෙන්දන් මිනිසුන්ගේ  නිලය අල්ලන්නේ මේ නාඩියෙන්ය.  නිව්ටන් එන්ගල්ස්ගෙන් දොස් අහනනේද  මේ නාඩිය නිසාය. ආද්යාත්මික විද්‍යාවක් තුළින් අහස බලන්නට මේ පරම්පරාවට නොහැකියි කියන්නටද නොහැක. මන්ද සමහරු වැසිකිලියට යන්නේද නුතන භගවාන්ලාව ඔලුවේ තියාගෙනය. නැකතියෝ මිනිසුන්ගෙන් විවාහ ලියාපදිංචියට කලින් නැකත් ඇල්ලූ විස්තර අහන්නේද නැත. ඇහුවත් ඒ ගැන කියනේ නැත්තේ ලැජ්ජාව නිසාය. නමුත් නැකතියෝ කියන්නේ එහෙම උන  එක බොහොම හොඳයි කියාමය. ඒ ආධ්‍යාත්මික විද්‍යාවකින්  පෝෂණය නොවූ ඊනියා නැකත් වෙළෙන්දන්ගේ ගමනක අවසානය කිට්ටුවෙන විට දකින්නට  ලැබෙන මං සලකුණුය. 
                 
                    ජනමාධය  සමාගම් නම් නියමෙටම  ගමනක් යන බව පෙනේ. ඔවුන්ගේ ගමනේ තේමාව ජනතාවට පාර වරද්දවා පසුව නිවැරදි කිරීමය. ඉතින් ඒ  අයගේ ගමන මරේ මරුය. සියලු විරෝධතා පවා එයාලාගේ කැමරාව නැත්නම් අනාතය. දැන්නම් ඒ අයට කැමරා කරුවෝද එතරම් අවශ්‍ය නැත. පඩි නැතිව පොටෝ ගසන්නට මුළු රටම ඕනෑම මොහොතක සූදානම්ය. 
                බොහෝ විට ගමන වරද්දන්නේ ගැහැණු යයි පිරිමියෝ කියති. එහෙත් එසේ වන්නේ පිරිමි දේශ පාලන බලය නිසා යයි පසුගිය කළ කතා ඇති විය. එය අතීතයටද දිව යයි. ඓතිහාසිකව දකින කළ ඒක ලිංගික පවුල් වෘතය දේශපාලන මැදිහත් වීමක ප්‍රතිපලයක් බව සැබෑවකි. පවුල යනු රජයේ පුංචිම නිශ්පාදන මාදිලියක් බවද සැබෑවකි. එහෙත් සුරංගනා වෙළද ලෝකයක අතරමංවී මේ මොහොතේ සම්මුතියේ හැරවුම් හන්දි වරද්දා ගැනීම වනාහී අනවබෝධය මුල් කොට සිදුවන්නකි. සිය ජීවිත ගමන වරදවා ගත් හැමට දැන් කියන්නට තිබෙන්නේ  “යන  ගී කියන්න” කියාය. යන ගී කියනවා යනු මරණාසන්නයේ නන් දෙඩවීමය.

තිර කොට කියමි මග දුක තිට ඇති           ලෙසින
පෙර සිට තිබුණු දුනුවිල පටුන නැති              උන
ගෙන කට කබල් නොසිතූ පමණි නැත         තැන
වෙන මං මොකද යන මං හැම දැන්          තිබෙන

                                          (දුනුවිල හටන) 
ජගත් මාරසිංහ
2016 ජූලි 22 


Powered by Blogger.
There was an error in this gadget

Follow by Email