අවන් හලකදී හමු වූ කවියා. - නවගත්තේගම සයිමන් -





          ජීවිත ගමනේ මතක පිටු දිගහැරෙන්නට පටන් ගන්නේ කිසියම් මොහොතක සිදුවන යම් යම් සිදුවීම් අරමුණු කොට ගෙනය. එහෙත් අද කාලයේ සමහර මතක ලියන විට තමා කියන්නේ සැබෑවක් බව සාධනය වීමට සාධක වශයෙන් යම් සාක්ෂියක් ඉදිරිපත් කිරීමද වැදගත් බව පෙනේ. මන්ද අද මතු වී ඇති මාධ්‍ය මිත්‍යාන්ධකාරය තුළ මතක ඇසුරින් අසීමිත ලෙස බේගල් සමාජ ගතවීමද ගජරාමෙට සිදුවන නිසාය.
               
                මේ ලඟකදී දිනක කවුදෝ අයෙක් දුරකතනයෙන් මා අමතා සයිමන් නවගත්තේගමගේ “තෙ ඇස“ ගැන මට කියන්නට තිබෙන දේ කුමක්දැයි ඇසීය. සයිමන් පිළිඹඳ ඔහුගේ දීර්ඝ පැහැදිලි කිරීමට ඇහුන් කන් දී සිටි මා හට ඔහුට අවශ්‍යය වන්නේ සයිමන්ට ඇස් තුනක් තිබූ බව මා ලවාද අනුමත කරගැනීම බව අවබෝධ විය. අවසානයේදී  මගේ පෙනීමේ දුර්වල කමක් නැති බවත්, සයිමන්ගේ ඇස් තුනක් මා කිසිදා නොදුටු බවත්, ඇස් දෙකක් නම් තිබූ බව සැබෑවක් බවත් දුරකතන ඇමතුමට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කෙළෙමි. ඒ පිළිතුරින් මා ඇමතූ අයගේ ඇස් රතුවූ අයුරුත්, රිසිවරය තැබූ හඬින් ලඟ සිටියානම් ඔහු මගේ කනට පහර දෙන වේගයත් මට මැවී පෙනුනි. ඒ අයගේ කෝපය මට සතුටක්ම විය. එවන් සතුටක් කාලකන්නි සතුටක් ලෙස තවකෙකුට අර්ථ දැක්වීමටද පුළුවන. එහෙත් මගේ ලෝකය තුළ සයිමන් නවගත්තේගම නම් ඔහුව තාන්ත්‍රික බුද්ධිවාදී ගුරුකුලයක රජෙකු කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය සැලසුම් සහගතව ඔහුගේ මහ පොලොවේ බිහිවූ නිර්මාණ සඟවා  මිනිසුන්ව  අතරමං කිරීමේ මෙහෙයුක් සේ දැනේ. එවැනි දේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවෙනවාද යන්න වෙනම කාරනයකි. මිනිසුන් සමග සැබෑ ලෙස ජීවත්වෙන මිනිසෙකුගේ සිතීම භාවනාවක් වීම අනිවාර්ය බව දැන ගැනීමට සිද්ධාර්ථ චරිතය පමණක්වත් සැබෑ ලෙස සැකෙවින් හෝ කියවීම ප්‍රමාණවත් බව තවමත් සමහරෙක් නොදන්නා බව පෙනේ. කෙසේ නමුත් මේ සිදුවීම නිමිත්ත කර තවත් අතීත මතක ගොන්නකින් එක් මතකයක් දිගහරින්නට මට සිතක් පහල වූ විගසම මෙය ලියා අවසාන කළෙමි. මන්ද එවැනි දේවල් ලියන්නට මේ මොහොතේ මගේ කම්මැලිකම ඉඩ දෙන්නේ කලාතුරකින් බව මා දන්නා නිසාය.
              
                   මා ගැටවර වියට පා තබන කල සයිමන් නවගත්තේගම නම් ඔහු මට වීරයෙකි. කොන්ඩය වවා දනහිස දක්වා කොට කලිසමක් ඇඳ, අමුතු පහේ අව් කන්නාඩියක් දමාගෙන බස් නැවතුමක සිටි ඔහු දෙස මා පුදුමයෙන් බලා සිටි අයුරුද මතකයේ තිබේ. කාලයක් ගත වෙන විට වීරයාව සංවාද හරහා විප්ලව වාදියෙකු ලෙස පෙනෙන්නට විය. අනතුරුව ඔහු ජනතා ද්‍රෝහියෙකු ලෙස පෙනී ගියේ මා ජනතාවාදී ගැත්තෙකුවී සිටි කාලයේදී බව පසු කාලයකදී අවබෝධ විය. තවද, මා විසින් කරගෙන ගිය පුද්ගලික පංතියක සිසු සසුවියන්ගේ නම් ගම් අතර සයිමන්ගේ දියනියක් සහ පුතෙකු සිටීම කලක් මට මහා ආඩම්බරයක් විය. එක්තරා දිනක එකල පොදුවේ අවධානයට ලක් නොවූ සයිමන්ගේ නිර්මාණයක් වූ සංසාරණ්‍යයේ දඩයක්කාරයා නැමැති ග්‍රන්ථය සහ සංවාද බංකරයක් කර ගසාගෙන කේ කේ සමන් කුමාර මහල් නිවාසයේ අප නිවසට පැමිණි කල සයිමන් යනු සංවාදයක් බවටම පත්විය. ක්‍රමයෙන් ඔහු දෙස බැලූ මානයේ දිශාව වෙනස් වීම අප අයත් පරපුරේ කුලකයක චලිතයට සමගාමී විය. මාද සයිමන් නැමති ඔහු සමග ඇති කරගත් කෙටියෙන් සඳහන් කළ නොහැකි බරපතල ගැටුම් බොහෝය. නමුත් අවසානයේදී නොදැක බැරි සමීප මිතුරෙකු වූයේ කෙසේද යන්න අනුපිළිවෙලකට හිතන්නටවත් නොහැකි බවද සඳහන් කළ යුතුය. මෙවන් සමහර මතකයන් ලියන්නට අකමැති කුලකයක සිටින මා මෙසේ ලියා තබන්නේ ඇයි දැයි සයිමන් නැමති නිර්මාණ කරුවාට සමීප ඔබට දැනී යනු ඇතැයි මම විශ්වාස කරමි.
              

             1990 දශකයේ මැද භාගය මා මධුලෝලත්වයේ සුන්දරත්වය සොයා ගිය ගමනක  සුරතාන්ත කාලයක් සේ මතකයේ තිබේ. බමන මතින් නිවසේ තිබූ තරමක් පරණ රාවය පුවත් පතක් ගෙන කියවා අවසාන වන්නට මත්තෙන් කවි පිටුවද එහෙන් මෙහෙන් කියවා බැලුවේ කවි කියා ලියවෙන සමහර නූතන තේරවිලි විසඳා ගැනීමට මා අදක්ෂයකු බැවිනි. නමුත් ආරියවංශ රණවීර  විසින් රාවයේ මතක සුවඳට සපයා දී තිබූ බව සඳහන් “කෙහෙල් කුරුල්ලනි“ පද පෙළ කියවා නිම කළ විට වෙරිමත සිඳෙමින් තිබි මා මනසට තව ටිකක් බීපන් යන හැඟීමක් ඇති කිරීමට ස්නායු පද්ධතිය සමත් විය. ඒ නම් සෑබෑ ලෙසම ඒ පද පෙළ තුළ සැඟව තිබූ අපූර්වත්වය නිසා බව හැඟේ. කවි පිට ඉරා සාක්කුවේ දමාගත් මා ඒ පද පෙළ තේමා ගීතය කර ගනිමින් සොයිසා මහල් නිවාසයේ සිට ගොළුමඩම හන්දියේ අවන් හලට පියවර මැන්නේ වරින් වර නැවතී කවි පිටුව දිගහැර බලමින් අතීත ලෝකයක රස සොයමිනි. ඒ බේබද්දන්ගේ රසවිඳීමේ තවත් එක් ආකාරයක් වන්නටද පුළුවන.


             මේ ගමන අතර තුර  ගාලු පාර අබියස සොයිසා රාම විහාරස්ථානය ඉදිරිපිට නුග රුක යටදී බතික් සරමකින් සැරසුන නවගත්තේගමයෝ මා ඉදිරියට පැමිනෙනු දැක මම ප්‍රීතියෙන් පිනා ගියෙමි. ඒ දින කීපයකින් ඔහු නොදැකපු නිසාම නොව මේ කවිය ඔහුට පෙන්නා රස විඳීමට තිබූ ආශාව නිසාම වන්නට පුළුවන. ඔහු මධු මතින්ද, නැතිද යන වග කියන්නට එකල ඔහුගේ සරම පමණක් මට ප්‍රමාණවත්ය. එහෙත් මා අසලට විත් නැවතී ඔහු මගෙන් විමසුවේ අමනාප වී මහගෙදර ගොස් සිටින මගේ බිරිඳ ආපසු පැමිණියාද යන ජීවිත ප්‍රශ්නයයි. අද හංදියෙන් කෙහෙල් කැනක් ගන්නා බවත්, එය කර තබා අලුත් බිරිඳක් සොයන්නට යන බවත් ඇඟවෙන පරිදි කවියේ අදහසක් සැකවින් පවසා මම පත්තර පිටුව ඔහුට බලන්නට දුනිමි. මම මේ ඔයා යන තැනට ගිහින් ආපසු යන ගමන් යැයි පවසමින්, කවිය පාරේ බලන්නට බැරි බව උපායශිලීව මතුරමින්, ඔහුද මා සමග නැවත ආපසු අවන්හල වෙත ගමන්කරන්නට විය. එතැන සිට දෙදෙනාම පිය මැන්නේ ඉබි ගමනකින් නොවන වග ඔබට සිතේ නම් එය නිවැරදි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. 
        
                  අවන් හල තුළ සියල්ලටම ප්‍රථම ඔහු මගේ පවුල් ප්‍රශ්නය ගැන නැවත විමසා පවතින පවුල් සංස්ථාව දේශපාලනිකව උපහාසයට ලක් කරමින්, මහ හඬින් සිනහ වෙමින්  පත්තර පිටුව ගෙන කවිය කියවන්නට විය. ඉක්බිති ඉතා ඕනෑ කමින් මා දෙස බලා “ ඕක මම ලියපු කවියක්. හැටේදි. පේරාදෙනියෙ භාරතී සඟරාවට.“  කියමින් අතීතය මෙනෙහිකරන්නට විය. ඔහු කවිය ලියා ඇත්තේ හැටේය. මා ඉපදී ඇත්තේ හැට එකේය.   මම වහාම පත්තර පිටුවේ කවියට යටින් ඔහුගේ අත්සන ලබා ගතිමි. (මෙහි පිටපත් කර ඇත්තේ එහි ඡායා පිටපතකි.) අනතුරුව අප දෙදෙනාගේ දවසේ මාතෘකාව බවට ලාංකේය ඓතිහාසික කෘෂි ආර්තිකය තුළ ලිංගිකත්වය යන්න මූලික වීම නියමයක් සේ සිදුවිය. ඔහුගේ සිය ගම වූ නවගත්තේගම ගැන  විස්තර කිරීම ඔස්සේ එසේ සිදුවීමද අනිවාරයෙන් විය යුත්තකි. එකල කාලය, පරිසරය, ගොවිතැන, ආර්ථිකය, ලිංගිකත්වය සහ අහස ගැන ලාංකේය හැඩය සොයන්නට ගායක් මට ඇති බවද ඔහු නොදැන සිටියේ නැත. බොහෝ දුර ගිය අප මන්ත්‍රණයේ සාරය  මධු විතෙන් නැග එන උත්තේජන ක්‍රියාවේ සමබරතාව රැකගැනීමට දායක වූ බවද ලියා තැබිය යුතුය. සියල්ල අවසානයේ ඔහු කෙසෙල් කැන් කර තබා අලුත් ගෑණු සොයන්නට ඔබ මහන්සි විය යුතු නැති බවත්, තිරිත්තුවකට බොන්න පුරුදු වූ විට ඒ ළමයා (මා බිරිඳ) නොවරදවාම ආපසු ගෙදර එන බවත්  පැවසුවේය. අප ආපසු එන විට අතර මගදී ඔහු වරින් වර “හරි පුදුමයක් නේ.....ගැහැණියක් නැතිව ගෙයක් නෑනේ. ඒ ගොල්ල තමා ගෙදර අයිතිකාරියෝ...“ කියමින්  ලතාවකට හිනැහෙන්නටද විය. මා සම්බන්ධව පැවසූ ඔහුගේ අනාවැකියද ටික කලකින්ම සැබෑවක් බවට පත් විය. 
             
           මිනිසෙකුට තෙවැනි ඇසක් මතු වන්නේ බුද්ධිවාදී යාන්ත්‍රික පර්යේෂකයන්ගේ ඇකඩමියානු පොත පතින් නොව මිනිසුන් සමග සැබෑ මිනිසුන් ලෙස ජීවත් වූ මිනිසුන්ගේ හදවත් වලිනි. එවැන්නන්ගේ නිර්මාණ කෘති තුළින් හමා එන්නේ නිරාමිස සතුටම බව නොමිනිසුන්ට නම් කෙසේවත් හඳුනා ගත නොහැක. ඓතිහාසික යුගයක ලාංකේය පවුල, පෞද්ගලික දේපල සහ රජය ගැන පමණක් නොව ස්ත්‍රීත්වය, ලිංගිකත්වය පිළිබඳ  නූතන සංකල්පීය චිත්ත රූප දේශපාලනිකව ගලපා හැටේ දශකය ආරම්බයේදීම කවි ලිවිය හැකි ඉවක් තිබූ නවගත්තේගම සයිමන් නැමති  කවියාව අවන් හලකදී මා හඳුනා ගත්තේ එසේය.


ජගත් මාරසිංහ
2016 අගෝස්තු 12



Powered by Blogger.