ඇබ්බැහියේ  කුනු කාමිකයන්ගේ අපගමනයේ පාරාදීසය
ඇබ්බැහියේ  කුනු කාමීන්ගේ අපගමනයේ පාරාදීසය
මම එදා ඇල්කොහොල් වලට ඇබ්බැහි වූ මිනිහෙක් වී සිටි බව සඳහන් කර කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාවග්‍රන්තය ලියන්නට පටන් ගත් අයුරු සමහර විට ඔබ කියවා තිබෙන්නට පුළුවන. එලෙසම මා මතින් විශෝධනය වූ බවට සහතික වී ඇතත් තවද ලියන්නට බොහෝ සාධනීය දේ ඇති වග දිනෙන් දිනම මට අවබෝධ වෙමින් තිබේ.
මත් ලෝලයෙකු විශෝධනය වනවා යන්නෙහි අදහස තමන් ඇබ්බැහි වී සිටි මත් ලෝලී තැනට සම්පූරණයෙන්ම නැවතීමේ තිත තබා වෙනත් නව ගමනකට අවතීර්ණය වීමටය. එය යථාවක් නොවන්නේ නැවත ඔවුන් පෙර තත්ත්වයටම අපගමනය වීමට ඇති ඓතිහාසික සමාජ දේශපාලනික සහ ශාරීරික බලපෑම් හේතු කොට ගෙනය. මිනිසාට ඇබ්බැහියෙන් මිදීම, විශෝධනය වීම හෝ සරලව ගත් කළ පුනරුත්තාපනය වීමට එරෙහිව නිර්මානය වී ඇති සමාජ බලය වනාහී අපගමනය ලෙස සාමාන්‍ය වශයෙන් අපට හඳුනා ගත හැක. යමෙකු හෝ ප්‍රජාවක් නැවත අපගමනය වනවා යන්නෙහි අදහස, තමන් ආරම්භ කළ නව ගමන නවතා නැවත පෙර ගිය තමන් ප්‍රතික්ෂේප කළ මගටම වෙනත් ආකාරයකින් සේන්දු වීමය. කොටින්ම තමන් විසින් තීරණය කර තිබූ කාලකන්නි යයි තමන් විසින්ම  සිහියෙන් එළැඹ සිටි ගමනට නැවත සේන්දු වීමය. එහෙයින්  අපගමනයේ පොදු රේකාව අපට දැකිය හැක්කේ තමන් විසින් හෝ යම් ප්‍රජාවක් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඒ කාලකන්නි ඇබ්බැහියට වෙනත් නිර්මානාත්මක ආකාරයකින් නැවත ප්‍රවිෂ්ට වීම වන්නේය. ඇබ්බැහිය සහ අපගමනය යන සංකල්ප දෙකහි ක්‍රියාවන් මහා දුෂ්ට දේශපාලන රාමුවකට හිරවී ඇති දඬුවම් නිරූපිත තත්ත්වයක් බවට අද පත් වී ඇති වග අවධියෙන් සිටින මිනිසුන් දන්නා රහසකි. 
  ඇබ්බැහිය ජානගත වී ඇත්තේ සතා සීපාවාටය. උන්ගේ රංචුව හෝ ජෝඩුව හෝ තනිකම ගැන කතා කළ යුතු දේ බොහෝ තිබේ. එහෙත් මිනිසා වනාහී රංචු සතෙකි. ඒ හරහා සමාජ සත්වයෙක් බවට පත්වී සත්ව පුරුදු ඇබ්බැහියෙන් මිදී මනුෂ්‍යත්වය සමග සිය ගමන් මග වෙනස් කරගත් දේශපාලන සත්වයෙකි. ඉක්බිති සත්ව ඇබ්බැහියට මිනිසාගේ නව නිර්මාණයක් වූ දේශපාලනික සංස්කෘතිය බදු දෙන්නට කිසිවෙකුට අයිතියක් තිබිය නොහැක. දිනෙන් දින විකසිත විය යුතු මිනිස් සංකෘතිය සත්තුන්ටත් අන්ත ඇබ්බැහියක සහ අපගමනයක තබා නඩත්තු කිරීම අද වන විට පවතින ක්‍රමය විසින් සිදුකිරීම වනාහී දේශපාලන කුපාඩි කමක් වග කවුරු කවුරුත් වටහා ගත යුතුය.
මිනිසාද සතෙකු කියා යමෙකුට තර්ක කිරීමට පිළිවෙන. නමුත් ශ්‍රමය මත හිත බිහිවීම සහ භාෂාව බිහිවීමේ ගොඩ නගා ගැනීමද පසක තබා සිත බිහිවීම භෞතිකව සිතීමෙන් ආධ්‍යාත්මයද තව දුරටත් පෝෂණය කළ හැකි වග සිතීමෙන් පමණක් සතුන් අතරින් මිනිසාගේ ආධ්‍යාත්මික භෞතික පෝෂණය කෙතෙක්ද යන්න සිතා සොයා බැලීමට නව මං පෙත් විවර කර ගත හැක. කොටින්ම ශිෂ්ටත්වයේ අදහස බිහිවූයේ ආගම් ධර්ම සහ දර්ශන බිහිවීමටද පෙර සිට බව අප වහ වහා වටහා ගත යුතුය. මේ සම්බන්ධව වැඩිදුර ලියන්නට පෙර නැවත සඳහන් කළ යුතු කාරනාවක්ද තිබේ. ඒ අද පවතින ක්‍රමය තුළ මාපියාවක් බවට පත් වී ඇති ඇල්කොහොල් හෝ මත් සංස්කෘතියට සම්පූර්ණයෙන්ම අප කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බවය. එහෙත් මධු මත් ලෝලත්වයට සාධාරණ සංස්කෘතියක් බිහිකිරීමේ අරගලයට සම්පූර්ණයෙන්ම අප පක්ෂ විය යුතුය. ඒසේ නොවූවානම් “කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව“ ග්‍රන්තයට “මධුලෝලත්වයේ ව්‍යාකරන අර්බුදය“ ලිපිය එදා මා විසින් ලියා එක් කරන්නේ නැත. නමුත් වැරදි ක්‍රමයක ප්‍රතිපලයක් නිසාම මත් ද්‍රව්‍යය හෝ මත් වතුර නිසා රෝගී වූ පුද්ගලයෙකුට තව දුරටත් එය කරගෙන යන්නට අනුබල දිය යුතුය යන අදහස මින් පිළිඹිබු නොවන වගද සැබෑවකි. මතට ඇබ්බැහි වූ අසරන ප්‍රජාවකට එසේ කියන්නට කිසිදු ශිෂ්ට මිනිසෙකුට අයිතියක් නැති වග පොඩි ලමෝ පවා දනිති. ඉන් අදහස් වන්නේද මිනිසා විසින් සිය පැවැත්මේ මුල් අවධියේ සිට සිය ආශාවකට ගොඩ නගා ගත් සාධනීය දේශපාලනික සංස්කෘතියකට කිසිම ආකාරයකින් එරෙහි වීම නොවන වගද අප වටහාගත යුතුය.
අද වන විට බරපතල රෝගයක් සහ ව්‍යසනයක් වී ඇති මත්ඇබ්බැහියේ අනතුරෙන් මිදීමට උදව් පදව් නොකිරීමට කිසිදු අයිතියක් මිනිසුන් වන කිසිවෙකුට නැති වග වග අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. අප දන්නා ඉතිහාසයේ ඈත ඈත එදා තිබුනේද මේ දේශපාලන ක්‍රමයේම කළල රූපයෝ විනා අන් දෙයක් නොවන වග සැබෑවක්ය. කොටින්ම බලය යන සංකල්පයේ ක්‍රියාව පමණක් එදාද තිබි බව වටහා ගැනීම වැදගත් බවද සඳහන් කළ යුතුය.
මධුලෝලී සුන්දර සංස්කෘතියෙන් නොව කරදරකාරී ඇබ්බැහියෙන් මිදී ගත කළ කාලපරිච්චේදයක මා ළඹද සඹඳ මිතුරියක් මට කීවේ වයින් නැමති මත් වතුර වර්ගය නම් මාගේ හෘර්ද රෝගයට යහපත් බවය. මම ඊට සිනාසුනෙමි.කොක් හඬ ලා සිනාසුනෙමි. එවිට ඇයත් ඇගේ මිතුරියනුත්  ගෙන හැර පෑවේ යුරෝපයේ මහා රාජිනිය පවා ඒ දේ අනුගමනය කරන කතාවකි. එහෙත් ඒ දේ ඇය ප්‍රකාශ කරන ලද්දේ ඇබ්බැහියේ අපගමනයෙන් මා විනාශ කිරීමට නම් නොව, මාගේ තනිකමට පිළියමක් වශයෙන් බවද මා දැන සිටියෙමි. ඒ පිළිඹඳ සතුටු වීම හැර වෙන කරන්නට දෙයක් නැත. ඒ වනවිටද මත් සංස්කෘතියක ගැඹුරු වාද විවාද වල මා ඇය සමග පැටලී නොසිටියාද නොවෙමි. එහෙත් මම කොක් හඬ ලා නැවත සිනාසුනෙමි. මන්ද මගේ පැරණි ඇබ්බැහියේ හැඩයට කොකා කෝලා වන් සැර බීමකින් පවා මා පෙර තත්ත්වයටම අපගමනය වන වග මා දැන සිටි නිසාය. එය රෝග ලක්ෂණයක් වග මා මෙහි සඳහන් කර දක්වන්නේ මත් රෝගීන්ව රැක බලා ගන්නා දෙමව් පියන්ගේ සහ සමාජ ක්‍රියා කාරීන්ගේ යහපත තකාමය. මහ රැජනට මෙන් අප කොදෙව් වාසීන්ට දේපල වස්තුව බලය තිබුනා නම් අපේ මිනිසුන් චාල්ස්ලාගේත් චාල්ස්ලා වීමට ඉඩ ඇති බව පමනක් හෝ මා ලියා තැබිය යුතු බවද හඟිමි. කෙසේ නමුත් මා හිතේ වයින් යන අකුරු තුණ කොතරම් ලෙන්ගතුව ලැගුම් ගත්තාද කිවහොත් ඉන් පසු මා ඇය සහ ඇගේ මිතුරු මිතුරියන් හමුවන හැම දිනකම මසිත පිනා ගියේ වයින් උගුරක් තොල ගාන්නට ඔවුන්ගෙන් මට අනුබලයක් ලැබී ඇති බව සිහි වීම නිසාය. මා ඒ සිතුවිල්ලෙන් එක් දිනක් මගේ මිතුරෙකුගේ නිවසකදී විහිලුවට මෙන් වයින් උගුරක් බීමට ඇත්නම් මාරයි කීවෙමි. මාරයාගේ මේ ඉල්ලීම ඔහු විසින් ඉටු කරන ලද්දේ ඔහුට කවුදෝ මිතුරෙකු විසින් තෑගි කළ වයින් බෝතයලක් මට තෑගි කිරීමෙනි. මා එය දෝතින් බදාගෙන මා සහෘදයන්ගේ නිවසට පැමිනියේ අප රජුන් සහ රැජිනන් සේ සිතා වයින් බීමට නොවන වගද සැබෑවකි.  මටද මගේ මිතුරන් මිතුරියන් සමග සම්බෝලයක් සමග බත් ටිකක් කමින් වයින් උගුරක් ගසා නව සංස්කෘතික අහසක් මගේ ලෝකයේ ගොඩ නගා ගැනීම මට මොන කජ්ජක්ද යන හැඟීමෙනි. අඳෝමැයි! සියල්ල විනාශ වීමට ගියේ කොටින්ම තප්පරයටත් අඩු කාලයක් කීවාට වරදක් නැත.
වයින් බෝතයලය, බැරැන්ඩි බෝතලයක් වී ක්‍රමයෙන් එය ගල් බෝතල් බවට පත් වී, අවසානයේ එතනෝල් හරහා සදාකාලික නින්දෙන් පැය ගණනකින් අහම්බෙන් මා අවධිවූයේ මහ රෝහලක වහලයක් යටක ඇඳක් මතය. මා එසේ අවධි වූයේ මත්ලෝලී ව්‍යාකරන සම්බන්ධව යම් අවධියකින් සිටි නිසා විනා ඇබ්බැහියේ, අපගමනයේ හෝ මිත්‍රත්වයේ අනුහසින් නොවන වගද ලියා තබන්නට තරම් වැදගත් කමක් නැත. 
මහා ධන කුවේරයකුගේ අතවැසි කමින් මිදෙන වහලෙකු හෝ වහලියෙකු උවත් වත් පොහොසත් කම් නැති තවුසෙකු සමග නව ආධ්‍යාත්මික ලෝකයකට පෙරුම් පිරීම යථාවක් වුවද මේ කුණු කාමික දේශපාලනික අපගමනය නිසාම අවසානයේ ඔවුන්ද පෙර ධන කුවේරයා සමගම අපගමනය වී පෙර දිවියම ගෙවන්නට ගොස් තම ලෝකය අඳුරු ලොවක් කර ගන්නා වග කවුරුත් දන්නා කාරනයක් වග හඟිමි. මේ සියලු ඇබ්බැහියන්ගෙන් මිදී තමන් පිවිතුරු මිනිසෙකු සේ අවධි වීමට කොතරම් පියවර තැබූවත් ඒවා පසුපසටම පසුගාමීව අපගමනය වන්නේ යල් පැන ගිය ඇබ්බැහියේ පවිටු විකාර අවකාශයේ අවතාර වෙතමය. මා මෙය පවතින දේශපාලන විදිහේ වරදක් ලෙස භෞතිකව දකිනවානම් එය වරදක් ලෙස ඔබ හඳුන්වන්නේ කෙසේද? ඒසේ නම් පවතින මෙම ඇබ්බැහියේ කුණු ආධ්‍යාත්මික කාමී කරණයේ අපගමන පාරාදීසය වෙනස් කිරීමට කැමැත්තක් දැක්වීම වරදක් වන්නේ කෙසේද?
අද සිටින සියලු මත් උපදේශකයන් ක්‍රියාත්මක වන්නේ මේ ඇබ්බැහියේ කුණු දේශපානික උපාය මාර්ග අරමුණු කර එය පවත්වාගෙන යාම සඳහා උපදෙස් දීමට බව නොදන්නෝ සඳහා කිව යුත්තේ අහෝ කරුමය කියා මිස අන් කුමන වචනයක් දැයි මා නොදනිමි. ඊට වග කිව යුත්තේද ලාංකේය සමාජ ක්‍රියාකාරිකයන් මිස අන් කවුරුන්ද කියා ඇසීමටද මට නැතත් ඔබට අයිතියක් තිබීමට හැකිය.
විවාහයද, ආදරයද, ආගමද, අද පවතින සලාද සංස්කෘතික සදාචාරයද, සත්ව ලෝකයේ ඇබ්බැහි බවට පත්වෙමින් ඇති බව පැවසීමට මා මේ පොත ලියමි. ඒ තුළ සිට අපගමනය වන්නට ගිය කල අලුත් ලොවක් වෙත පිය නැගීමක් නොව සිදුවන්නේ පැරනි කසිකබල් මූසල ලෝකයේ පතුලටම ගිලී යාමක් බව සැබෑවකි. අතීත කාමය යනු එය නොවන වග පමණක් කිව යුතුය. මන්ද මේ තත්ත්වය මත අතීත කාමය පවතින්නේ යම් ඉදිරිගාමී ඉසව්වක වග සාධනය කළ හැකි බැවිනි.
විවාහය නැමති ඒක ලිංගික චුල්ල නිශ්පාදන මාදිලියෙන් වෙන් වූ දෙදෙනෙකු පවා නැවත එකතු වී ජීවත් වීමට මහන්සි වුවද, හිටි ගමන් අපගමනය වී පරන ජීවින ගීතයම ගායනා කිරීම යතාවක් වී ඇත්තේද අද ඊයේ නොවන වග පහත ජනකවි දෙපදයෙන් වටහා ගත හැක.
ඉරුන රෙද්ද මහලා පොරවන්න එපා
හැරුන දීගේ නැවතත් කැඳ වන්න එපා.
(ජන කවි)
ලෝකයේ ජීවත් වූ මිනිසුන් ගෙන් කොටසක් රටේ දේශපාලන සංස්කෘතිය පිළිගනිමින් ජිවත් වූ පිරිසක්ය. තවත් කොටසක් එය පිළිගනිමින් ප්‍රශ්න කළ කොටසක්ය. තවත් කොටසක් එය ප්‍රශ්න කරමින් කැරලි ගසන කුලකයට අයිති කොටසක්ය. මාද ඒ කොටසේ සාමාජිකයෙකු වග වරක් මගේ මිතුරු වැඩිහිටියෙකු පැවසුවේය. මා ප්‍රීතියෙන් පිනා ගියෙමි. එලෙසම මා කැමති වන්නේ එවන් මිනිසුන් මේ ලෝකයේ රජ කරනවාටත් වඩා නිදහසේ ඉන්නවා දැකීමටය.
ඉතිහාසයේ සුභ සහ යසගේ කතාවේ දේශපාලනික හරය නොව සයිමන්ගේ සුභ සහ යස“ නාටකයේ අවසාන වචනය සිහිකර මෙම සටහන අවසන් කිරීම කාලෝචිත වග හැඟේ. යසලාලක තිස්ස නැමති මධුලෝලී උපහාසට කැමති දාර්ශනික හැඩයක් ඇති මහ රජතුමාව පරාජය කළ විප්ලවීය සුබ නැමති දොරටු පල්ලාද නාටකය අවසානයේ නව ලොවක් අරඹන්නේ “දේවිය මට මධු බඳුනක් ගෙන එව“ යන යසගේ සුපුරුදු වචනයෙන්මය. ඇබ්බැහියේ සහ අපගමනයේ කාලකන්නි දේශපාලනයට සාප වේවා කියාවත් පතන්නට සංවිධානයක් හෝ මහා දර්ශනයක් අවැසි නැති දැන් ඔබට දැනී යන වග හඟිමි.
(“ඇබ්බැහියේ  කුනු කාමිකයන්ගේ අපගමනයේ පාරාදීසයනැමති ජගත් මාරසිංහගේ පල කිරීමට නියමිත ග්‍රන්තයක ලිපියකින් උපුටා ගන්නා ලදී)
ජගත් මාරසිංහ


Powered by Blogger.

Follow by Email