නිමල් කුමාරසිරි.-ඉතිහාසයේ හාක්කිකාරයෝ ( මැගසින් මතක)Nimal Kumarasiri.-Hackers in History (Magazine Memories)

 නිමල් කුමාරසිරි.-ඉතිහාසයේ හාක්කිකාරයෝ ( මැගසින් මතක)


ඉතිහාසයේ හාක්කිකාරයෝ ( මැගසින් මතක)
මා මැගසින් බන්ධනාගාරය ගැන වැඩිපුර කියනවා ලියනවා කියා ඇතැමෙකු මගෙන් අසන්නට හැක. ඒකාට කියන්නට තියෙන්නේ දේශපාලනිකව වෙනස් මත දරන්නේනම් කතා නවතා මැගසිමේ ඉතිහාසය කියවනා ලෙසය. මක් නිසාද ඒ ගැන කතාකිරීමට මාරස බියය. දහසක් කැලෑමැද ඇති මිනිසුන්ව හිරගතකළ හැකි තැන් අනන්ත තිබ්බද රාජ්ය ආරක්ෂක බුද්ධිය කියාසිටින්නේ දේශපාලන සිරකරුවන්ව රඳවා තැබීමට සුදුසුම පරිසරය මාක්ස් බසින් ලුම්පන් පොලිටේරියට්ලා වසන වනාතමුල්ලට මායිම් වූ මැගසිම මරු බවය. ඊට එහා පැත්තේ වැලිකඩය. කෙලින්ම රැඳවියන් මගුලක් නැත. මේවාට දැම්මාට පසු වැරදි කරුහෝ නිවැරදි කරු කෙසේ වුවද මානව අයිතිවාසි කම් නැත. මානව වාදී සංවිධාන කරන්නේද ඒ කැත නීති පද්ධතියේ කන්යාසිවිය ආරක්ෂා කිරීම පමණි. තනි පුද්ගලයෙකුට එය වෙනස් කිරීමට නොහැකි නමුදු විශ්වාසය තැබිය හැකි මානවවාදියෙක් එහි උසස් තනතුරකට පත්වීනම් ඒ සම්බන්ධව යම් සතුටක් හදවතේ ඇති වන නිසාම මේ සටහන මාරස ලියනවා වන්නට හැක. නමුදු ඒ ව්යුහාත්මක පදනම කෙසේ වෙතුදු මානව අයිතීන් ගැන කතාකරන මානව හිමිකම් සංවිධාන ධනේශ්වරයේ ඒ ව්යුහාත්මක පදනම රැක්කාට අර මිනිසාගේ අයිතිවාසිකම් සම්බන්ධ කතන්දරය රාජ්ය නොවන සංවිධාන හරහා හෝ වෙනසකට බඳුන් විය. ආයුර්වේදයේ සිට නොව සෘග් වේදයේ සිටි අයෙක් මාක්ස්වාදය සහ ජාතිකත්ව ගැටුම් කෙටුම් දන්නා කෙනෙක් ගැන ලියනවා කියන්නෙ මාර අභියෝගයකි. මක් නිසාද ඒකා හෙට මක්කරනවාද ලියන්නා නොදන්නා නිසාය. නමුදු එසේ වීමට කිසිසේත්ම අතීතයෙන්නම් ඉඩක් නැති බව ලියා තැබීම යම් අස්වැසිල්ලක් හුදී ජනතාවට ගෙනදෙනවා නියතය.
කොටින්ම අද පොලීසියේ අයටත් එදා මෙන් මිනිසුන් වද බන්ධනයට යටත් කළ නොහැක. අන්ත අසරණයන්ට ඒ දේ කිරීමට හැකි වුවද ඒකත් සෙල්ලමක් නොවේ. අප කවුරුන් කීවත් සයිබරයේ දියුනුව වනාහී එක පැත්තකින් දේශපාලන අර්බුදයක් නිර්මානය කළද හැමටම සැබෑවෙන් සැඟවෙන්නට ඉඩක් තිබිය නොහැක. කොටින්ම එදා මෙන් අද රාජ්ය නිළධාරීන්ට පිස්සු නටන්නට නොහැකි වීම සම්බන්ධව යම් සාධනීය අදහසක් මිනිසුන්ට නැත්තාද නොවේ.
දිනක් මා සමග හිරබත් කෑ රතන හිමියන්ගේ සදහම් සෙවනේ ලැගුම් ගෙන සිටි කාලයක මහා සිවිල් පොරවල් එතනට සාකච්ඡා සඳහා එතනට ආවා මා භාවනා කුටියක ලැගුම් ගෙන බලා සිටියා මතකය. දවසක් උසම උස සිවිල් පොරවල් වගයක් වටකරගත් චූටි මිට්ටෙක් මහාපොරක් සේ යනවා දැක මා එ් කවුදැයි දැනගැනීමට ආශාවක් ඇතිවිය. දේශපාලනික සහ සාමාජීය මත වලින් රතන හිමියන් සහ මම අහසයි පොළවයි කීවාට කම් නැතිය. මම උන්වහන්සේගෙන් ඒ මිට්ටා කවුදැයි විමසුවෙමි. මන්ද එයාලාගේ සම්මන්ත්රණ ශාලාවේ අල්ලපු කාමරයේ නිහඬව එ් නිමේශයේ පොත් කියවන ආගන්තුක පාඨකයා මම මාරේය. රතන හිමි දේශපාලනයෙන් කුමන චරිතයක් වුවද මිතුරෙකු වශයෙන් සදා කාලිකව මා ආදරේය. මිතුරෙකුගේ බඩගින්න දන්නා නිසාම මා ඒකා වහන්සේට දක්වන ආදරය කිසිදා ඒ කෝණයෙන් අඩුවක් නොවනු ඇත. රතන හිමියන් මගෙන් ඇහුවේ ඒ මිට්ටාව අඳුනන්නේ නැතිද කියාය. මම නැහැ කීවෙමි.
“ඇයි යකෝ අපි සමග මැගසිමේ හිටි නාට්ය කළ නිමල්ව මතක නැතිද?”
මා තක්බීර් විය. ඇත්තටම මග්බෝධ විය. දැන් මගේ මතකය දිග හැරෙන්නට විය. මැගසින් මතක දිග හැරීම මගේ ඓතිහාසික යුතුකමක් ලෙස මම සිතා සිටිමි. සමහර විට සමහරුන්ට එය වදයක් හෝ විහිලුවක් වන්නට පුළුවන් බව දනිමි. මන්ද මගේ මතක අමතක කිරීමට බැරි අතීතකාමී ලෙඩක් නිසා වන්නට පුළුවන් කියා මා නොකියන්නේ මනෝවිද්යාත්මක දර්ශන වල තත්වයන් මා අත්දැකීමෙන් දන්නා නිසාය.
නිමල් කරුණාසිරි ඒ කාලයේ ආයුර්වේද කොමසාරිස්ය. මම අතීතයට යමි. මැගසිමේ අපි සිටි වාට්ටුව උඩු මහලකි. ඈතින් පෙනෙන්නේ වනාත මුල්ලය. ලගට පෙනෙන්නේ ජේ ආර් සහ ඇතුලත් මුදලිලා විසින් නිර්මාණය කළ අහිංසක රොබෝවන් සොල්දාදුවන් ඉන්නා ටරට්ය. මැගසින් මතක වල මමත් ප්රේමලාලුත් රංජිදනුත් සිටියේ එක පේලියේ එකටය. රංජිදම් සමග එක පැදුරේ එකට සිටියා කියන්නේ ගැම්මක් ගැනීමට නොවන බවද කවුරු කවුරුත් දැනගත යුතුය. එතැනට එදා විශ්ව විද්යාල වල කොල්ලොද ගෙනත් දැම්මා නොව සතුන් මෙන් ගාල් කළහ. මට එදා රංජිදම් කීවේ විප්ලවේ ගිණිසිළුව යන ශිෂ්යන් යන කතාවය. මගේ මතකයේ විදිහට පසුගිය යහ පාලනයේ කළු තිත තිබ්බේද මහ පාරේ තනිවූ මැරයන් සේ හැඟන අහිංසක කෙල්ලෙකුගේ ඡායාරූපයකි.
ඉතින් මේ නිමලයා ඒ කාලයේ මහතය. සුදුය. කමිසයක් ඇන්දා මතක හිරගෙදරින් එලියට යන දාය. මේවා රැඳවුම් කියන්නේ උන්ය. තනිකරම ඒවා හිර ගෙවල්ය. හිර ගෙවල් වල නීතියක් ඇත. දේශපාලන රැඳවියන් කොයි වේලේද දන්නේ නැත. නිමලයා වනාහී මහා හිනාවක් තිබි කොල්ලෙකි. කියන්න තියන දේ මූනටම දමා ගසන අයෙකි. ආදරය ගැන කතා කරන්නට ගියොත් ඒද එසේය. රඟපෑම සම්බන්දව සහතික දිය හැකි මැගසිමේ මගේ හයියක් ඇති බව මට සිහිනයකි. සිහිනයක් යනුද යථාවේ ප්රතිබිම්භයක් නිසා ඒකා වනාහි මාර නලුවෙක්ද කියන්නට මට හැකිය. ආයුර්වේද කොමසාරිස් වූවාට දුක හිතෙන්නේ එතනදීය. නමුදු පසු කළක මා නිමලයාව අමතද්දී ඒකාට චරක සංහිතාව කටපාඩම්ය. එදා මෙන්ම අදද දයලෙක්තික භෞතික වාදයත් සක් සුදක් සේ මතකය. මම ඒකාගේ සයිබර් පිටු බැලුවෙමි. නමුදු ඒවා තවම රතු පාටය. මම මේකා පෙරට්ටෙක්ද නැතිනම් ජෙප්පෙක්ද කියා සිතමින් සිටිනවා හැර සැබෑව 80 දශකයේ උන්ගෙන් සැබෑ මිතුරෙකුටවත් දැන ගත නොහැකි හෘද ශාක්ෂියක් බව මම දනිමි. එදා මැගසින් දේශපාලන හිර කඳවුරේ රෝගී වූ සහෘදයන්ට කළ සත්කාර ගැන තාමත් මගේ ඇස් දෙකට කඳුලු උනයි. සරමක් පමණක් ගසාගෙන දත්තිස්දෙකම දමා සිනාසීගෙන රංජිදම් සහෝදරයා කියා දේශපාලනයෙන් පටන් ගෙන අවසානයේදී සාහිත්යයෙන් අවසන් කරන කතා මට මැවී පෙනෙන්නේය.
අවසානයේ මට නැවත දුරකතන නම්බරය පමණක් හමුවිය. මා මැගසිමෙන් පසුව තවමත් ඇස් දෙකට දැක නැති බව කියන්නේ ඇත්ත බව ලියන්නට කාරණාවක් කියමි. ඒ ටික ලියන්නේ ඇස් පිහදාගෙනය. අප අතරින් බොහෝ අය මිය ගොස් ඇත. නැතිනම් මරා දමා ඇත. ඇහැට දැක්කත් අසූවේ අපේ සිරිතක් තිබේ. ඒක මාරය. මොන කොමසාරිස් නොව මොකා වුවද අනියමින් අප උදව් පදව් ඉල්ලන්නේ නැත. දැන් නිමල් කරුණාසිරියා ආයුර්වේද කොමසාරිස් නොව මානව හිමිකම් කොමසාරිස්ය. මානව වේදනාව විඳි සැබෑ මිනිසෙකු ඒ තනතුරට පත්වී සිටින්නේ අවැසිම කාල පරිච්ඡේදයකය. කුම්භ ලග්නයෙන් උපන් නිමල් නම් ඒකාගේ කේන්දර සටහන ඒකාට කිව්වාම ඇතිය.සැබෑවටම තමන්ට කරන්නට බැරි නියෝගයක් ආවොත් දමා ගසා අස් වී යන්නට තරම් දේ ඒකාගේ හදවතේ තිබෙන්නා සේද අහස් සටහනේද තිබෙන්නේය. මේ දවස්වල හරියටම වැඩ ටික කරපන් කියනු කුමට. මාරයි බන් ජීවිත මේ යන විදිහ. ආදරෙයි. ගොඩක් ආදරෙයි.
ජගත් මාරසිංහ

05 06 2022


Powered by Blogger.