නොදුටු තැන්

නොදුටු තැන්

       සයිමන් නවගත්තේගම වනාහී පතල කීර්තියක් ඇති චරිතයකි. නමුත් ඕනම ජීවිතයක කවුරුත් දැනගත යුතු ශුවිශේෂ මතක කාටත් හොරා වැලලී යන ආකාරයද ස්වභාවිකය. ඒ නිමේශයේ නවගත්තේගමයෝ සැත්කමකට මුහුණ දී අසනීප තත්ත්වයක සිටි බැවින්  ඉතා අපහසුවෙන් සිටි කාලයකි. මතකයේ විදිහට අනූව දශකයේ මුල කීවාට වරදක් නැත. අප දෙදෙනාම එකල ජීවත් වූයේ මොරටුව මහල් නිවාස සංකීර්ණයේය. ඒ යුගය අසනීප තත්ත්වය නිසා නවගත්තේගමයනට ඇල්කොහොල් තහනම් වූ යුගයකි. එහෙත් මා ඇල්කොහොල් හරහා මොනවදෝ හොයන යුගයක් වූ බව මතකයේ තිබේ. ඇල්කොහොල් නැති මා ශරීරය පට පට ගා වෙව්ලන යුගයක් වූ වගද මතකයේ තිබේ. එහෙත් මා ඒ නිමේශයේ බොහෝ දේ සිහියෙන් කළ බවද සාධනය කළ හැක. සැබෑවටම අන් දෙයක් සඳහා නොව පුරුද්දට මෙන් මා එදින සයිමන් හමු වීමට ගියේ ඉස්තිර වශයෙන්ම පෙරවරු දහයට පෙරය. මන්ද මටද මටම ආවේනික දින චරියාවක් තිබේ. මම ඔහුගේ අසනීප තත්ත්වය විමසුවෙමි. ඒ ගැන කිසිත් නොපැවසූ ඔහු මා ප්‍රශ්න කිරීම ඇරඹුවේය. මටද කිසිදා මවා පා පුරුද්දක් නැති වග මා ගැන දන්නා ඈයෝ දනිති. එහෙයින් මා ඉතා කෙටියෙන් පිලිතුරු දුන් බවද මතකයේ තිබේ.

“දැන් ඔයා බොනවා වැඩී“
“ඔව්“
“පවුලත් අවුල් වෙලා“
“ඔව්“
“සල්ලි ප්‍රශ්නත් වැඩි වෙලා“
“ඔව්“
“තනියම ඉන්නේ“
“ඔව්“
“ඒ උනාට ගැහැනු දරුවන්ටත් ආදරෙයි“
ඔව්
“තව ඔය විදිහට බිව්වොත් අකාලයේ මැරෙනවා කියලත් දන්නවා“
“ඔව්“
“ජීවත් වෙන්නත් ආසයි“
“ඔව්“
“ඒත් බොනවා“
“ඔව්“

   සිය  අසනීපය ගැනවත් නොතකා පුටුවෙන් නැගිට ගත් ඔහු හරි ප්‍රශ්නයක්නේ කියමින් නාටකයක මෙන් මහ හඬින් හිනා වන්නට පටන් ගත්තේය. ඉක්බිති මල්ලිකාවන් මගින් මට රෝස පාට අලුත්ම කමිසයක් පිරිනැමුවේය. මා එය ඇඳගන්නා විට හැඩ බැලුවාද මතකයේ තිබේ. මා අපසු යන විට ටික දුරක් මා පසුපස පැමිණ මගේ කමිස  සාක්කුවට රු 500/= දැමුවේය. මෙය මා කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.  කෙසේ හෝ අන් දෙයක් කරන්නට පෙර බඩ පුරවාගන්නා ලෙස තරයේ උපදෙස් දුන්නේය. ඉන් පසුවද මට ප්‍රතිකාර ගැනීමට අසීමිත ලෙස උදව් කර තිබේ. කෙසේ හෝ එදින මේ සිදුවීම නොවූනා නම් කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව ග්‍රන්ථය මා අතින් නොලියවෙනු ඇත. මන්ද සියල්ලට පෙර මිනිසා ජීවත් වී සිටිය යුතුය. “කැත කතුන්“ ග්‍රන්තයේ සටහනකින් මෙම මතකය අවසාන කිරීම වඩාත් කාලෝචිත වග දැනේ. ජීවත් වෙනවාට ජීවත් වී පුරුද්දක් මා සතුවද තාමත් නැත. ජීවිතය ගැන බයිලා අසන්නට මාද අකමැතිය. ඒ ඇයිදැයි මා නොදනිමි.

(කැතකතුන්ගේ පතිවත පිඳිඹඳ අධීක්ෂණ වාර්තාව 19 පිට)
“ලස්සන“ ඔබ කොහිද?
         මම අවලස්සන තුළ සිටිමි.
“හොඳ“ ඔබ කොහිද?
        මම නරක කුළ සිටිමි.
“ප්‍රේමය“  ඔබ කොහිද?
        මම වෛරය තුළ සිටිමි.
“ප්‍රීතිය“ ඔබ කොහිද.
       මම ශෝකය තුළ සිටිමි.
“සත්‍යය“ ඔබ කොහිද?
         මම අසත්‍ය තුළ සිටිමි
“ආලෝකය“ ඔබ කොහිද?
         මම කළුම කළු අඳුර තුළ සිටිමි
“කාලය“ ඔබ සිටින්නේ කාලයක් නැති තැනද?
                   එසේය!!!
පැවැත්මනම් එයයි.

සටහන- ජගත් මාරසිංහ
2017 12 19



Powered by Blogger.

Follow by Email