උපැස් ලද්දෝ

උපැස් ලද්දෝ

      රත්පිත හිසට ගැසීමෙන් හෝ ඕනෑම මිනිසෙකුට වරින් වර ජීවිතය ගැන බරපතල කලකිරීම් ඇති වන වග සැබෑවකි. මතක අවධි කරන්නට මේ නිමේශයන් ඉතා වටිනා වගද කිව යුතුය. මතකයක් ලියනවා යනුද රචනාවක් ලියනවා මෙන් වැඩකි. තවත් පසකින් බ්ලොග් රචනා ලියනවා යනු වෙනම ක්‍රියාවකි. කොටින්ම විද්‍යුත් කැටපත් පවුරක ලිවීම වනාහී වෙනම කලාවකි. අප බොහෝ දෙනෙක් යම් තරමකට එය ජය ගෙන තිබෙන වග පෙනේ.සැබෑවටම එය සතුටට කාරණයකි.

    පරාක්‍රම නිරිඇල්ල සහෘදයා විසින් කළ බර්ටෝල් බ්‍රෙෂ්ගේ ගැලිලියෝ ගැලිලි නාටකය බලා මා පිස්සු වැටුන කාලය මට අද මෙන් මතකය. දින තුනක්ම මේ නාටකය බලා පෙම්වතිය ඇරලීමට මිනුවන්ගොඩ නගරයට ගියේ පත්තර වෑන්වලට පින්සිදු වන්නටය. මන්ද ලයනල් වෙන්ට් රගහලේ සිට පිටකොටුවට එන විට එකල මිනුවන්ගොඩට යාමට නියමිත බස්රතයක් නැත.

    අද වන විට  විවිධ මතවාද තිබෙන නමුත් එදා මේ නාටකය බැලූ පසු මට ඒබ්‍රහම් ටී කොවූර් පිළිඹද නාටකයක් කිරීමේ සිහිනයක් පහල විය. ඒ සදහා මා කළ පළමු කාරිය වූයේ කාලෝ පොන්සේකා සහෘදයාට ලිපියක් ලිවීමයි. ඒත් ඔහු හමුවීමට ඉඩ දේවිදෝ යන සැකය මා තුළ හොල්මන් නොකළා නොවේ. මගේ සිතුවිල්ල විනාශ කරමින් කාලෝ සහෘදයාගෙන් මට ලිපියක් ලැබුණි. ඒ අහවල් දවසේ අහවල් වේලාවට කොළඹ වෙද විදුහලට පැමිණ තමාව හමුවන ලෙසයි. මා ප්‍රීතියෙන් පිනා ගියේය. මම ගියෙමි. පැයකටත් අධික කාලයක් මා වෙනුවෙන් වෙන් කරමින් ඔහු කියූ කෙරූ දේවල් ලියා තැබීමට මේ සටහන තරම් නොවන වගද ලියා තැබිය යුතුය. තප්පර ගාණනකින්ම මා මේ කතා කරමින් සිටින්නේ මහාචාර්ය වරයෙකු සමග බව අමතක විය.

      කොවූර්ගේ තර්ක ඥානයෙන් පටන්ගෙන අක්කා කොවුර් ගැනද එකල ඔහු සමග කළ කටයුතු වල භයානක කම සහ රසවත් බවද කාලෝ තරම් දක්ෂ ලෙස මට පැවසිය නොහැකි බව මට සිතේ. අප කතාව අවසාන කර මා එලි බසින විටම ඔහු හමුවීමට දොරකඩට වී සිටියේ කේ කේ සමන් කුමාර සහ තවත් දෙදෙනෙකු බවද මතකයේ තිබේ. ගැලිලියෝ සහ කොවුර් දෙදෙනා දෙදෙනෙකු වුවද මට තරකයක් කලාත්මකව ගෙන පෑමට තිබි ආශාවට අනුව ඒ දෙපලගේ වෙනස්කම් තරම් නොවීය. දැන් ගැලිලියෝ ගැලිලි පසකට වී කොවූර් මගේ හිස තුළ ලැගුම් ගෙන හමාරය. දැන් ලියන්නට හිතන්නට දෙයක් නැත. කොටස් කීපයක්ම ඉබේටම ලියවුනේය. විවිධ ලිපි ලේඛන සපයා කේ කේ සමන් කුමාර මට බොහෝ සහය දුන් වගද මතකයේ තිබේ. මා කළ පරවේණි නාටකයට කම්කරු මාවත පත්තරයේ පියසීලී විජේගුණසිංහ සහෝදරිය කළ විචාරය නිසා ඒ වන විට මා ජනතා වාදයට සමු දී අවසානය. පසු කලක මා රෝහල් ගත වී සිටි අවස්තාවක මා සිටි වාට්ටුවේම ගැලිලියෝට රඟපෑම නිසාම මා සිත් ගත්  රෝහල් ගතවී ජීවිතයට සමුදෙන්නට අවසන් දවස් කීපය ගෙවමින් සිටි එච් ඒ පෙරේරා දෙස තෙත් වූ නෙතින් මා බලා සිටි අයුරුද මතකයේ තිබේ. මතවාදීව පසු කලක මා චිංතනයේ බොහෝ වෙනස් කම් ඇති වූවද ඔවුන් එදා සාධනීය වැඩ කොටසක් කළ වග මා පිළි නොගන්නවා නොවේ. ඒවා වෙනම කතා බහ කළ යුතු දේවල් බවද ලියා තබමි.

සියල්ල සූදානම් කර උපැස් ලද්දෝ නමින් කෝවුර්ගේ තර්කන ඥනයේ තිබි හරයටත් වඩා මිහිර ජනතා ගත කිරීමට සුදර්ශියේ ප්‍රථම පුහුණුවට පෙර දවසේ රාත්‍රී දොළහට පමණ කවුදෝ දොරට ගැසුවේය. මම දොර ඇරියෙමි. පොළිස් නිළධාරීන් කීප දෙනෙක් ගෙට ඇතුළු විය. මුලු ගෙයම පරීක්ෂා කර කට උතිතරක් ගැනීමට මා පොලීසියට කැඳවාගෙන ගියේය. එතනින් මැගසින් බන්ධනාගාරය වෙත ගෙන ගිය මා වසර දෙකකට ආසන්න කාලයක් රැදවියෙකු ලෙස මැගසින් බන්ධනාගාරයේ හිර කරුවෙකු බවට පත්විය. ඒ ඉන්දු ලංකා ගිවිසුම නිසා සිදුවූ දෙයක්බව පසුව වටහා ගතිමි. 
      
      කොවූර් පිටපතේ යම් යම් කොටස් මට වරින්වර පොත් පත් අස් පස් කරන කල හමුවේ. අපගේ කලාවට සහ දේශපාලනයට තිබි ලැදිකම අබමල් රේනුවකින් වෙනස් කිරීමට මේ කිසිවකට නොහැකි විය. කිසිදු දේශපාලන සංවිධානයක සංවිධාන ගත නොවීමේ හේතුවද මේ මොහොතේ කතා කිරීමෙන් පලක් නොවේ. එහෙත් ආ මග සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව සඳහන් කළ යුතුය. ඒ යුගයක දේශපාලනයේ ස්වරූපයක චලිතයේ ස්වරූපය බවද මා නොදන්නවා නොවේ. ලෝකයද ගෝලීයව වෙනස් විය. පාන් සහ බත් පරයා කොත්තු රජ කරන කාලය ගැන දැන් ලියන්නට වෙනත් බොහෝ දේ තිබේ. නාට්‍ය සහ චිත්‍රපට පැත්තකින් තබා මොනවා හෝ ලියන්නට පටන් ගත්තේ ඉන් පසුවය. සැබෑවටම ඒවාට පුද්ගලික ආර්ථික හේතුද බලපා තිබේ. එහෙත් නාටකයක් හෝ චිත්‍රපටයක් වැනි පොදු කලා කෘතියක් කිරීමෙන් ඇති වන සතුට සදය සතුටක් මෙන් මනස තුළ තවමත් වේදනාවක් ඇති  කරන්නට සමත් වූ වග නොකීවොත් මා බොරු කාරයකු වනු ඇත. මේවා මට පමණක් වූ දේ නොවන වගද මම දනිමි. කටු ගසා කරත්තයක එල්ලාගත් කොවූර් ගීත නාදයක් මැද වේදිකාවට එනවා කිසිවෙක් දුටුවේ නැත. එය මගේ සිහින ලෝකයේ අසුන්දර මතකයක් පමණක් බවට අද පත් වී හමාරය.

රෑ වෙලා මොනරු ගස් යන        වෙලාවේ
ඇහැරිලා බිලිඳු කිරි බොන         වෙලාවේ
එලි වෙලා කුකුළො හඩලන      වෙලාවේ
කෑරලා හැඬුවෙ දොරකඩ             මරාවේ
(ජන කවි)

සටහන- ජගත් මාරසිංහ






Powered by Blogger.

Follow by Email