කඩා වැටුන තාරකාව 

                         අසූව මුල වෙද්දි අපි සිනමාව හෙව්වේ අන්තර් ජාලයේ සැරිසරල නෙවේ. විදේශ සංස්කෘතික සම්බන්ධතා ඇති තැන්වලට පයින් ගිහින්. කොහොම කොහොම හරි ඒ කාලේ ඉන්දියානු චිත්‍රපට උලෙලක් කොළඹ රීගල් සිනමා හලේ තිබ්බා මතකයි. තාම ටිකට් කෑලි සහ පත්තර වල පලවූ අතිරේක සමග ප්‍රචාරක දැන්වීම් පවා දිනපොත් අස්සේ තියනවා. ඒ.කේ ශ්‍යාම් බෙනගාල්ගේ "භූමිකා" චිත්‍රපටය බලලා එලියට එද්දි මම දැනගත්තා මාව කැරකෙන්න පටන් අරන් කියලා. ඒකාලේ මම හිටියේ සොයිසා මහල්වල. ගාමිණී අයියා කියන චරිතෙ හිටියෙත් සොයිසා මහල් වල. එයා තමා මට ලෝක සිනමාවේ හතර මායිම් පෙන්නුවේ. එයත් සිනමා විෂ්ව කෝෂයක්ම තමා. ඔච්චර දේවල් සිනමාව ගැනත් හදාරලා මොකුත් ලියන්නේ නැත්තේ ඇයි කියලා එයාගෙන් අහපුවාම එයා දෙන උත්තරේ හරිම සරළයි. ඒයා කියන්නේ මම රසිකයෙක් විතරයි කියලා. ඒ කතාවත් මට අමතක නොවන මතකයක්. ඒ කාලේ අපි චිත්‍රපටයක් බලලා ඉවර වුනාම කට්ටිය එක්ක ප්ලේන්ටියක් ගහලා හිටගෙන හරි ටික වෙලාවක් ඒ ගැන කතා කරලා තමා ගෙදර යන්නේ. නැවත නැවත එකතු වෙමින් පවා සංවාද කරනවා. සමහර දවස් වලට ටවුන් හෝල් හරහා බබ්බලපිටිය දක්වා අපි කතා කර කර පයින් යනවා. මහ රෑ මිනී පිච්චෙන කාලෙත් එහෙම ගිය අවස්තා තියනවා. එදා යුගය ගැන කියන කොට කලාව ගැන භෞතිකවාදීව බොහෝ දේවල් හදාරන්න මහන්සි වුනා වගේම පුදුම විදිහට කලාවට ආදරය කරපු යුගයක් කියලා කිව්වත් වරදක් නැහැ. කොටින්ම කලාව සහ දේශපාලන දර්ශන ජීවිතය වුන යුගයක්. තාමත් අපි එහෙම නෙවේ කියන්න බැහැ. විදිහ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කාලේ මට ගෙදරට යනකම්ම කතා කර කර යන්න ගාමිනී අයියා ඉන්නවා. ඒක මාර වාසනවාක්. ඒත් අපි කතා කරපු හැම දෙයකම ඒකඟතා වලට වඩා තිබුනේ ප්‍රතිවිරෝධතා. එයා එදත් මගෙන් හැමදාම වගේ අහන විදිහට කොහොමද භූමිකා කියලා ඇහුවා මට අද වගේ මතකයි. මම කිව්වා මාව තාම කැරකෙනවා කියලා. ඒ ඇයි කියන එකට උත්තරේ උනේ අපි හදාරපු ස්ත්‍රී වාදය ඇත්ත ජීවිත ඇතුලේ චලනය වෙන ආකාරය බෙනගාල් සංකල්ප රූප ඇසුරෙන් අපේ ඔලුවටයි, හදවතටයි දමලා ගැහුවා  කියන කාරණය. ශබානයි, ස්මිතයි තව පාරක් ස්ත්‍රියව කරකවලා තිරේ පලාගෙන ඇවිත් අපේ ඔළුවටම අතහැරියා වගේ මට තාම දැනෙනවා. ඒ වෙනකොට අපි ඉන්දියානු සිනමාවේ නව රැල්ල ගැනත් යම් අදහසක් නොතිබුනා නෙවේ. ශ්‍යාම් බෙනගාල් ගැන "අංකූර්" බලලා ගොඩක් දේවල් අපි කතා කරලා තිබුනා. ඒත් ශබානාගේ තනියට ස්මිතා පටෙල් එකතු වුනා කියන එක අපට ඒ කාලේ මාර උනා . සමිතගේ ජීවිතය ඛේදවාචකයක් වීම අපේ තරුණ කමත් ඒක්ක තවත් පැත්තකින් ඒ කැරකැවීම  වේගවත් වෙන්න ඇති කියලා දැන් හිතෙනවා. මට මතකයි ඊට පස්සේ "චක්‍ර" චිත්‍රපටය මම බැලුවේ සිනමාව පමණක් නෙවේ සියල්ල දාලා යන්නම යන්න ගිය ස්මිතා පටෙල්ව නැවත බලන්න.

                කොහොම හරි ග්‍රහචාරයේ අපෝහකය හොයන එක විනෝදයක් වුන මට ස්මිත  පටෙල්ගේ ජීවින දක්ත හමු වෙලා වෙනත් ඉසව්වකින් එයා වටා තවත් චාරිකාවක් යන්න පුළුවන් වුනා. මේ විකාර විදිහට විද්‍යාව වෙනත් තැනකින් ගොඩක් අය අල්ල ගැනීමත් එක්ක මට ග්‍රහ සිතීම් වල තියන ‌භෞතික මානසික දේවල් බෙදාගන්න කට්ටිය තවම අඩුයි. ඒ උනාට ග්‍රහචාරය කියන්නෙත් අනාවැකි මගුලකටත් වඩා සිනමාවට හපන් කලාවක්. ඒ ගැන තව දුරටත් පස්සේ කතා කරමු. සමිතා පටෙල්ව මතක් වුනේ ට්‍රිෂා ක්‍රිෂ්නන් කියන නව දෙමල නිලිය ගැන දේවල් වගයක් හොයාගෙන යන ගමනෙදි. කෙනෙක් අහන්න පුලුවන් මොකටද ‌‌මේවා  හොයන්නේ කියලා. බුද්ධිමය ජීවිතයක් කියන්නේ අමුතු උද්දච්ච සිවිල් එකක් කියලා හදාගත්ත අයට කොහොමත් ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තර නැහැ. බුද්ධිමය ජීවිතයකදි දේවල් හොයන්නේ හදාරන්නේ කුමණ හෝ ප්‍රති ලාභයක් ලබන්නම ‌‌නෙමේ. කැටපත් පවුරේ මිනිස්සු කවි ලිව්වේ අපිට බලන්නද? සතුට තියෙන්නේ කොතනද වගේ ප්‍රශ්න දැන් අපිට  කඩයීම් ප්‍රශ්න.
       
              ගාමිනී අයිය එක්ක ඉස්සර වගේ දැන් මට කතා කරන්න අවසර නැහැ. එහෙම උනේ ඒ කාලේ මගේ ඇල් කොහොල් සීමාවේ ගැටලුවක් නිසා. නව සිනමාවෙ විතරක් නෙවේ. සිනමාවේ නලු නිලියෝ සමග අහසට ගිහින් විනෝද වෙද්දිත් තාම ගාමිනී අයියලා, සර්පයලා,දීප්ති කුමාරලා, අජිත් කුමාරසිරිලා,ජනක ජයසිංහලා, , මනු බන්දු විද්‍යාපතිලා සහ තවත් අය මතකෙට එනවා. ඔව් ඒ තවත් විදිහකට කිව්වොත් ඉමේජ් වෙනවා වගේ තමයි. ඔක්කොම එක්ක හද පතුලෙන් තවමත් සාකච්චා කරනවා. බැරිම තැනක ‌පෝන් එකට යනවා. එතනදි විරෝධය පවා රොමැන්ටික් වෙනවා කියන එක ඇත්තක්. ඒකත් මරුනේ. සර්පයානම් දැන් කයිවාරු ගහන්න අකමැතියි. ඒ උනත් මාත් එක්ක ලෝක ධර්මය කතා කරන එක තාම නතර වෙලා නැති නිසා මට තියන අතුරු කම්මැලි කම අඩුයි. අලුත් කොල්ලෝ කෙල්ලෝ ටිකත් නිකන් වලා කුලු වගේ හරි හිටි ගමන් ඇවිත් රන්ඩුවෙලා හරි යන එකත් මරු. ඒකට මොකෝ, රණ්ඩු වෙලා ගියත් ආයෙත් පාරක් එනවනේ. 
          
                 ග්‍රහයෝ ගැනත් ටිකක් දැනගත්තම පුලුවන් වලාකුලක නැගලා අහස වටේ සැරි සරන්න. මොකටද ඒකට බය වෙන්නේ. වලාකුළක නැගල යන්න පුළුවන් හීන වලට විතරමයි. හීනෙකට කවදාවත් කඩා වැටෙන්න බැහැ. ඇයි දන්නවද? කඩා වැටෙන්න හීනයකට කොහෙන්ද ගුරුත්වාකර්ෂණයක්. අපි හීන වලට ආසා උනාට සමිතා පටෙල් අපට හීනයක් නෙවේ. අපිට එයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයා  ඉන්දියාවේ ‌‌වේදිකාව  සහ සිනමාව දුටු විශිෂ්ටට නිලිියක්. ගැඹුරු සුන්දරත්වයක් හා භාව ප්‍රකාශනයෙහි අද්විතීය නිපුණත්වයත් සහජයෙන්ම ඇයට පිහිටා තිබූ බව විචාරක මතයක්. ඇය ජීවත් වූ ‌කෙටි ජීවිත කාලය තුල දී ඇය ජාතික සම්මාන දෙකකින් හා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වුණා. වැදගත්ම කාරණය ‌වෙන්නේ ඇය  කාන්තාවන්ගේ ජීවන අරගලයන් හා සමානාත්මතාව වෙනුවෙන් ද හඬ නගපු එකයි.  ක්‍රි.ව 1986 දෙසැම්බර් මස 13 වන දා ඇය සිය දිවියෙන් සමු ගන්නේ සිය කුළුඳුල් දරු උපතින් සති දෙකක් පසුවූ ‌නිමේෂයේ  ‌කොහොමත් වයස 31දි ඇය මිය ගියා. ඇයට උපන් පිරිමි දරුවා අද ඉන්දියාවේ සිනමා නළුවෙක්. පුතීක් බබ්බර් කියන්නේ එයාට.  

     මේ අපේ කාලේ ලෝකයේ තවත් අපට අමතක නොවන ඉතිරියකගේ ශ්‍රමයේ සුවඳ ටිකක් විතරයි. ග්‍රහයන්ගෙනුත් ඒක භෞතිකවම මතු කරගන්න පුළුවන්. බලන කෝණය විතරයි පොඩ්ඩක් වෙනස් කරන්න වෙන්නේ. ස්මිත පටෙල් කියන්නෙත් රසිකයන්ට සුන්දරත්වය විතරක් නෙවේ ඔළුව හදා ගන්නත් ලොකු දායකත්වයක් දීලා අකාලයේ ජීවිතෙන් සමුගත්ත ඉතිරියක්. සමාජය වෙනස් කරන්න විලාසිතාවක් ‌නොවී  ඉස්සරහට පනින අය‌ෙගෙ හැම ‌දේකම වගේ වැඩි ලස්සනක් ‌පේන ගතියක් අපට තියනවා කියන එකත් ඇත්තක්. බටහිර ක්‍රමයට හරි එයාගේ ලග්නය මේෂය වෙලා තියෙන්නෙ ස්වභාවයේ සරදමට වගේ. ස්මිතා. නිකන් ඉන්න ‌‌වෙලාවක අපේ ආධ්‍යාත්මික ‌ලෝකෙට ආයෙත්  ඇවිත් යන්න එන්න.

ජගත් මාරසිංහ
2019 01 19


1 comments:

මම සම්භාව්‍ය හෝ සාමාන්‍ය හින්දි සිනමාපට වැඩිය බලලා නැති උනත්, ස්මිතා පටෙල් මගෙත් සිත් ඇදගත් නිලියක්. ඇගේ අකල් මරණයෙන් මමත් හුඟක් කම්පාවට පත් උනා. ඔබේ ලිපිය කියවීමත් සතුටක්, ස්මිතා ගේ මරණයේ කම්පනය නැවත මතක් කර දුන්නා උනත්.


Powered by Blogger.

Follow by Email