හංස පූට්ටුව මතක - ගිවන්ත අර්ථථසාද්
භීෂණ කාලය
එක මොහොතින් අවසාන වූයේ නැත. කිසිදා කසාදක් නොබඳින්නට තීරණය කර සිටි මමද ඒදා මගෙ පෙම්වතියව
දේශපාලනයෙන් සැගවෙන්නට මගුලක් කා කසාදයක් කරගත් කාලයයි. බයිසිකල් හැඬලය මත පැරණි වේවැල් පෙට්ටියක් එල්ලාගෙන
අලුත් බිරිඳත් සමග මරණයද අතින් ගෙන මොරටුව වටේ සවරන් ගැසූ කාලයයි. සර්පයා පමණක් පොත්
මල්ලක් එල්ලාගෙන අප දෙදෙනා සමග පාලු කැපීමට එන කාලයයි. කොටින්ම මාර භීතියක් මැද හංස
පූට්ටුව නම් නව කතාව (පිටු ගණනින් කෙටි නවකතාවකි) ලියා අවසාන කර ප්‍රකාශකයෙක් ලැබෙන
තුරු අහස බලාසිටි කාලයයි. නිකමට මෙන් මහජන බැංකුවට ගොස් පොතක් මුද්‍රනය කිරීමට ණයක්
ඉල්ලූ විට ඒ අවස්ථාවේදීම ණය ඉල්ලුම්පතක් දී එවකට කළමණාකාර දයාරත්න දික්කුඹුර මහතා සුභ පතා මා
පුදුම කළ කාලයයි. පොතක් වැදීමේ බරපතලකම මා තනිවම ඉගෙන ගත් කාලයයි. පොතට ගැලපෙන පිටකවරක්
නිර්මාණය කර ගැනීමට ගිවන්ත අර්ථසාද් සහෘදයා සොයා මා මොරටුව වටා දින කීපක් රස්තියාදු
වූ කාලයයි.
අවසානයේ
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය ඉදිරිපිට පාරකින්
හැරි හැරී “අර්ථසාද් කේන්ද්‍රය” සොයා පාපැදියෙන් ගමන් කළෙමි. අතුරු පාරක් පැත්තට
ඇලවුනු විශාල කුරුසයක නියමිත හැඩයක් නැති ලෑලි කෑල්ලක් එල්ලා තිබේ. කදිම නිර්මාණයකි.
ඒ බෝඩ්ලෑල්ලේ අර්ථසාද් කේන්ද්‍රය කියා ඔහේ ලියා තිබුනාද මතකයේ තිබේ. මම ගිවන්තගේ නිවසට
ගියෙමි. පැත්තෙන් පිහිටා තිබූ ඡායාරූප කටයුතු සඳහා කළුවර කාමරය කුතුහලය දෙගුණ කළ අතර
ප්‍රධාන දොර වසා තිබේ. අමුතුම විදිහකට පුංචි සීනුවක්ද දොර ඉදිපස වැනෙමින් ඇත. මම ආශාවෙන්
එය සෙලවූයෙමි. දොර වීවෘත විය. ඔහු පැමින මා සමග කතාවට වැටුනි. මම කියාගෙන ගියෙමි අම්මා
කියන්නෙත් බඩුව කියන්නෙත් එකම ගැහැණියකට. ඔව් මේ පොතේ ප්‍රියදර්ශිකා කියන්නේ ඒ බඩුවට තමා. නිර්මානි කියන්නේ අම්මට. රළුවට සාරංශය කියා අත් පිටපතක්ද ඔහුට දුන්නා
මතකයේ තිබේ.
නියමිත
වේලාවට මම පසුදින නැවත ඔහුව හමුවුනෙමි. ඔහු එකල සැබෑවටම අමුතුම දැවැන්තයෙකි. එදා අපිවැනි
ආධුනික කුරුපුංචන්ගේ වැඩකට ඔහු වැන්නෙක් සම්බන්ධ වේද යන්න ගැන මට තිබුනේ චකිතයක් පමණි.
ඔහු සරලවම පිටකවරයේ තාක්ෂණය කියාගෙන ගියේය. මම ඒක කරන්න පටන් ගත්තා. මෙන්න ඔයාගේ පොටෝ
එකම වැඩේට ගත්තා. හෙට මම ප්‍රෙෂ් එකට තේරුන් කරලා ආට් වර්ක් එක බාරදෙන්නම්. ලෙටර්ප්‍රෙෂ්නේ
කරන්නේ. පාට දෙකෙන් පාට තුනක් එන විදිහට වැඩේ කරමු. මට ඇතිවූ සතුට ඔබට කියන්නට මගේ
ශබ්දකෝෂයේ වචන සැඟවෙන්නේ ඔහුගේ සරලත්වයේ තිබි ගැඹුරේ බරට මා සතුව වචන නැති නිසා වීමට
පුලුවන.
කලාව
කලාව සඳහාය හෝ කලාව ජනතාව සඳහාය වැනි කිසිදු දෘෂ්ටි වාදයකට ඔහු අවනත වූයේ නැත. ඔහු
කලාවේ තාක්ෂණය පිළිබඳ විද්‍යාඥයෙකු වූවා සේය. ඔහුගේ දුටුගැමුණු කාටුන් චිත්‍රපටය
(1979) තහනම් වීම පිළිබඳ වෙනම කතාකළ යුතුය. නමුත් ඒ ඔහුගේ කලා තාක්ෂණ වේදයේ අග්‍රඵලය
සේ සලකන බැවින් ලාංකේය සංහල බෞද්ධ කලා මතවාදය නොමැකෙන කලුපැල්ලමක් ඉතිහාසයට තබාගත්තා
සේය.
ජීබී
සේනානායකට අත්වූ ඉරණම ගිවන්තටද අත්වූවා සේ විස්තර කිරිමටද බැරිකමක් නැත. ඒ දෙදෙනාම
අවසානයේ සිය දෑස් අන්දවීමේ රෝගයකට මුහුණ දීම නිසාම නොවන බවද සඳහන් කළ යුතුය. ලාංකේය
කලාවිචාර වේදයේ ගාමක බලය මෙහෙයවන්නන් මේ දෙදෙනාගේ නිර්මාණ නොසකා හරින පැත්තක් ඇතිබව
හැගී යන නිසාය. මේ දෙදෙනා කලාවේ පැති දෙකක් නියෝජනය කිරීම මීට අදාල වන්නෙ නැත.
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත යන කියමන බොරු
කරමින් ඔහු ග්‍රැෆික් සැලසුම් කිරීම, පින්තාරු
කිරීම, ඡායාරූපකරණය, නාට්‍ය,
සිනමාව, රූපවාහිනිය, සහ පුවත්පත් කලාව පමණක් නොව ඩිජිටල් කරණය ගැනද මනා ඉවකින් සිය හිතුක්කාර
පර්යේෂණ කටයුතු සිදුකළේය. ඔහු කළ සෑම නිර්මාණයක්ම පර්යේෂණයක් වන අතර සෑම පර්යේෂණයක්ම
නිර්මානයක්ද වන්නේය.
ජගත්
මාරසිංහ
09
03 2020