"වසම මිසී හොඳම මිසී" iv
1990 දශකය ආරම්භය වගේ මතකය. මම එකල බල්ලපාන වෙන්දේසි වත්තක ගේ කෑල්ලක් හදාගෙන ජීවත් වුනෙමි. තනියට සිටියේ මගේ පොත් පත් සහ හනිපානම් නන්නත්තාර ආදර මිතුරෙකු පමණි. ඒ දොස්තර කාලෝපොන්සේකා මහතාගේ මහගෙවල් අසල වෙන්දේසි වත්තකය. මා නිවස ඉදිරි පිට බල්ලපාන වාසනා චිත්රපට ශාලාව තිබීම මට මහත් ආශ්වාදයක් විය. ඒ සිනමාශාලාවේ ගඩොලක්වත් දැන් ඒතන නැත. කේ කේ බාලචන්දර් මතක් වන සෑම විටකම මට ඒ සිනමා ශාලාව සිහියට නැගේ. ඒ කාලයේ මගේ විනෝදය වූයේ ඒ පලාතේ හේතුවාදීන් ගැන සෙවීමය. ඊට ඇති විශේෂය ඔබට වැටහෙන බව මම දනිමි.
කෙසේ හෝ තනියට ඔසුවක් වූ ඇල්කොහොල් නිසා මා අඩපණ වූ බව මට දැනිණි. මම හොරගස්මුල්ල රෝහලට ගියෙමි. ලොකු දොස්තර මහතා සමග ඇත්ත කීවෙමි. ඒ වන විට පෑරොන්ටුවයිට් සේලයන් අයින් කර ඇල් කොහොල් රෝගීන්ට ලබා දෙන්නේ පොලිබියෝම් විටමිනයයි. එයද සේලයින් එකට කලවම් කර දිය යුතුය. ලොකු දොස්තර මහතා කීවාට සෑහෙන වෙලාවක් යනතෙක් මට පරතිකාර නැත. මා බලා සිට එතැන සිටි මිසීගෙන් මේ බව විමසුවෙමි. ඒ වසම වස මිසී කෙනෙකි. මගේ ඇගට කඩාගෙන පැන්නාය. මේවා අසරණ ලෙඩ්ඩුන්ට ආණ්ඩුවෙන් දිල තියන බේත්. බේබද්දන්ට දීපුවා නෙවේ කීවා මතකය. මගේ ඇල්කොහොල් යකා කියාත්මක විය. මේ කතන්දරයෙන් කොටසක් කැත කතුන් ගරන්තයට ඇතුලත් කර ඇත. ආවේශ වූ යකා නව වාමාංශික යකෙක් වූවා සේය. ඇල්කොහොල් බද්ද සහ සුරා දඩය සහ ආණ්ඩුවේ සේවකයන්ගේ පඩියද මම ගණිතයෙන් සංසංදනය කර ඉතා ලස්සන කතන්දරයක් කියාගෙන ගියේය. යකෝ බේබද්දන්ට ආණ්ඩුවෙන් බේත් ගන්න සුද්ධ වූ අයිතියක් තියනවා කියා කීවාද මතකය. අපි ඇල්කොහොල් වලට ගෙවන බද්ද නුඹලාගේ වැටුපටද සම්බන්ධ බව කීවාද මතකය. වටේ පිටේ ඇල්කොහොල් ලෙඩුන් මගේ පැත්ත ගත්තේය. බැම්මක් උඩ තබා තිබි මල් පෝච්චියක්ද බිම වැටුනා මතකය.
මා රෝහල් පොලීසියෙන් එනතෙක් බලා සිටිමි. නමුත් ආවේ අර වසම වස මිසීය. මම ඩොක්ටත් ඒකත් කතා කළා. ඔයාට අමාරුවක් වෙන්නේ නැහැ. ඔයා වගේ සහෝදරයෝ මටත් ඉන්නවා. අපි මේ බීම කොහොම හරි නතර කරමු කියා සේලයන් එක එල්ලා පොලිබියම් දුන්නේය. එදා රාතතිරියේද සිටියේ ඇයමය. තවත් සේලයින් එකක් දී එය නිමවූූ විට බඩගිනියි නේද කියා අසා මට ඉඳිආප්ප මුලක්ද ගෙනත් දී බලෙන් හරි කටක් දෙකක් කන්න කිවාද මතකය. පියවි සිහිය ලැබිණි. ඒ මිසී මා සමග කතාකරමින් මට දහසක් අවවාද දුන්නාය. කෙලින්ම ඒ මොහොතේ ඇය මගේ අම්මා විය. අවසානයේ ඇගේ අත පමණක් නොව හස්තරේකා හැදෑරීමට වැදගත් අයගේ අත් බලන්නටද මට උපදෙස් දුන්නාය. මා රෝහලෙන් සමුගත්තේ ඇයට මවකට මෙන් නමස්කාර කරමින් වන්නටද පුළුවන. ඊට පසු දින දෙකකට තුනකට පසුව මා ඇය හමුවූවාය. ඒ හැම වතාවකම කීවේ පුතෙකුගෙන් වගේ ඉල්ලන්නේ බොන්න එපා කියාය. ඇයද මගේ ජීවිතයේ හමුවූ වසම මිසී කෙනෙකි.
කොටින්ම වසම මිසී හොඳම මිසී සටහන් පෙලින් රජයේ රෝහල්වල ඇති ආදරයේ දේශපාලනය මට දැනෙන ආකාරය ලිපි මාලාව අවසාන වන විට කියවෙනු ඇත. එතෙක් දොස්තර සේනක බිබීලෙලාගේ පරපුරේ දේශපාලනය ඖෂධ වලට පමණක් සීමා නොකරන ලෙස ඉල්ලා සිටීමට මට ශරීරයෙන් අයිතියක් ඇත. ඒ මානව දයාවේ ආදරයයි. ජීවිතයයි. එලෙසෙම අපේ රාජ්‍ය සේවයේ ආදර අහංකාරයයි.
ජගත් මාරසිංහ
22 08 2020