මහ එළිය හෙවත් ලෝකාන්තය
87-88 කාලේ ඉන්දුලංකා ගිවිසුම සමග හිරගත වූ අයගෙන් කෙනෙක් විදිහට මාරසද මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු ලෙස සිරකර හිටියා මතකය. මරණය අබියස එහි රැඳවියන් සමග සාංදෘෂ්ටිකවාදය පිළිබඳව තනි තනිවම පැටලෙමින් සිටි කාලය ඒ කාලයම කීවොත් නිවැරදිය. මේ සාංදෘෂ්ටිකවාදය ගැන ඒ කාලයේ මාරසට වැඩිමනත් තර්ක විතර්ක කරන ලද්දේ සර්පයා හෙවත් කේ කේ සමන් කුමාරය. අපි පැය ගනන් ගැටුම් මැදින් කතා බහ කළ බවද මතකයේ තිබේ.
සර්පයා කියන්නේ ගුහාගත සතෙකි. සර්පයන්ගේනම් ගුහාව වන්නේ වේයන්ගේ නිර්මාණයක් වූ මාලිගාවක් බඳු වේ තුඹසය. වේයන් විසින් මැටි උන්ගේ ඛේටය සමග මිශ්‍රකර ගොඩනගාගන්නා මේ උභතෝකෝටික නිර්මාණයට මිනිසුන් නයි තුඹස ලෙස කියන්නේ මේ තුඹසට නයා රිංගා වේයන්ද ගිල දමමින් තමන්ගේ වාසභවනය ලෙස සර්පයෙකු වූ නාගයාද වේ තුඹස නාග මාලිගාවක් බවට පත්කරගන්නා නිසාය. වේ තුඹසක් දුටු සැනින් එය මිනිසුන් විසින් මගහරින්නේ නාගයාට තිබෙන භය නිසාමය. පුරානයේ සිට සර්පයන්ව ලිංග සංකේතයක් වශයෙන් පිළිගෙන තිබුනද එහි මහා සර්ප සංකේතය වන්නේ නාගයාය. සර්පයන්ගේ රාජයා නයා ලෙසද පිළිගැනීම මිනිස් ලිංගික සංකේත ඉතිහාසයේ එසේ මෙසේ කාරණයක් නොවන්නේමය. ගුහා ගතවී සිටින නාගයා අප හිතන්නේ කිසිදා ගුහාවෙන් එලියට එන්නේ නැති බවය. නමුත් කාටත් හොරා ඒකා සිය ගුහාවෙන් එලියට විත් දස අත බඩගාගෙන ගොස් ඝණ කැලේ පමණක් නොව අවට ගම්මාන කරාද ගොස් මිනිසුන්ටද ඉඳහිට භීතිකාවක් ඇති කර නැවත ගුහා ගත වන්නේය. සර්පයන්ගේ ඇස් කන් බොහෝ විට දුර්වලය. කන් නම් නැත්තාසේය. සමීප රූප හැර දුර රූප පැහැදිලිව නොපෙනෙන බවද සැබෑය. නමුත් සර්පයාට ස්පර්ශයෙන් දැනීමේ සම්ප්රේශණය කිරීම කොතෙක්ද යත් හර්ට්ස් 200/500(Hz)ත් අතර ශබ්දයක් දැනිය හැකි බවට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙන බවද සැබෑවකි. සද්ගුරු සෘෂි වරයා දේශනා කර ඇත්තේ මේ අප අසල සිටින සර්පයන්ට ඇති ඒ දැනීමේ ශක්තිය ඈත ඈත කොන්ගෝ වැනි වනාන්තර වල සිටින සර්පයන්ටද යහතින් දැනෙනා බවය. මිනිසාගේ ආධ්‍යාත්මික ශක්තියද වඩා මැනවින් තේරුන් ගත හැක්කේ සර්පරාජයන් වූ නාගයන්ට බවද කියවේ. සද්ගුරු පමණක් නොව බොහෝ නූතන සෘෂිවරු ලෙස මිනිසුන් පිළිගත් බොහෝ දෙනා සර්පයින් සමග පවත්නා සම්බන්ධය තේරුන් ගත හැක්කේ තපස්වරුන්ට පමණක්ද යන්න සිතෙන අවස්ථාද නැත්තේ නොවේ. සර්පයන් ගැන කතා කරණ විට සෘෂි වරුන්ගේ සහ විද්‍යාත්මක පර්යේෂකයන්ගේ දැනුම බොහෝවිට අනුලෝමව සමානුපාතිකය.
සංකේතයක් වශයෙන් හෝ සුරතල් නාමයක් ආකාරයෙන් සර්පයා නම්ලත් කේ කේ සමන් කුමාරද බොහෝ විට සිය කෘතීන්හි ලෝභකමකින් තොරව සර්ප සංකල්පය අනුදැන ඇති ආකාරය ඔහුගේ පාටකයෝ නොදන්නා කාරණයක් විය නොහැකිය. කෙසේ වුවද සංකේතීය චරිත වලට ඇත්තේ භූගත ජීවිත විලාසිතාවක් නොව පාර භෞතිකව ආධ්‍යාත්මිකත්වයට අනුව සංසාරයේ භූගත ජීවිතවලට ලැදි විලාසිතාවක්දෝයි සැක සිතෙන්නේය. කේ කේ සමන් කුමාර, රොහාන් පෙරේරා වෙනුවෙන් සොක පණිවුඩයක් ආකාරයෙන් ඊ පවුරට ලියා ඇත්තේ "මගේම ආශාව විසංයෝජනය කිරීමට මට හය හතර ඉගැන්වූ මගේම ආත්මයේ පැල්ම මට විවර කළ ඥාණයේ පිතාමහ , ගුරු පියාණනි සුබ ගමන්ය..." කියලාය. භූගත ආධ්‍යාත්මිකත්වයේ වායෝ ස්වභාවය දකින විට රොහාන් පෙරේරාගේ සහ කේ කේ සමන්ගේ භූගත ජීවිත චලිතයන් මේ දෙදෙනාම මහ එලිය නොහොත් ලෝකාන්තයේ මහා ගැහැනිය වීමට පාරමිතා වඩා පෙරුම් පුරණවා වැනිය. කලක් සර්පයා ආදරය කිරිමට හෝටන් තැන්න යන මානයේද සැරිසැරුවේය. එලෙසම හෝටන් තැන්නේ අංඇති කටුස්සන් සොයමින් සංසාරගත අතීත ගැහැනුන්ට ආවේශවී වෙනම පාර භෞතික සිතීමක නිමග්නව සිටියේය.
මාරස මැගසින් බන්ධනාගාරයේ සිටි අවධියේදී ජනතා විමුක්ති පෙරමුණ රජය සමග සාකච්ඡාවකට එන්නේනම් පක්ෂ තහනම ඉවත් කර සියලු රැඳවියන් නිදහස් කළ හැකි බව ඒ දින වල පත්තර වල පලවී තිබුණි. මේ කතාව මැගසිමේ සිටි දෙවැනි තුන්වෙනි පන්තිවල රැඳවියන් අතර තමන්ගේ නිදහස ගැන සිතා විවිධ කතා ඇති වන්නට විය. අවසානයේ පත්තරවල තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ රජය සමග සාකච්ඡාව බාරගත් බවත් ඊට පක්ෂයේ සාමාජිකයෙක් ඉදිරිපත් වීමට නියමිත බවය. නමුත් පක්ෂයේ ලොකු ලොකු අයගේත්, වැඩි දෙනාගෙත් මතය වූයේ පක්ෂය කිසිදා ඒ නොකරන අතර මෙය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවය. කලක් ගතවන විට මානව හිමිකම් යටතේ මාරසද නඩුවක් දැමූ විට අදාල පුද්ගලයා නොවන බව ලියා නිදහස් කරන ලදී. නිදහස් වී එලියට ආවේ රැඳවියෙකු වී සිටියදී ජීවත් වූ රටකට නොව තනිකරම අපායකට බව පියවි ඇසින්ම දුටුවෙමි. මිනිසුන් පනපිටින් පාරවල් අයිනේ පුලුස්සනවා සොයිසා මහල් නිවාසයේ කවුළු වලින් දකින්නට තරම් මාරසද අවාසනාවන්ත අයෙකු විය. දකින දකින මිනිසුන් මාරස දෙස නොබලා අහක බලාගෙන යන්නට විය. සියල්ලන්ටම වඩා කලාවේ නාමයෙන් සැබෑ යථාර්තය සේ වටහාගෙන සිටි දේශපාලන දර්ශනවල තිබි පටුකම සහ කුහකත්වය වඩා හොඳින් තහවුරු වී සමාජය විසින් මාරස තනිකළ අවධියක කිසිදු බියක් සැකක් නොමැතිව මාරස හමුවී දුක සැප බෙදා ගන්නට පැමිණියේ කේ කේ සමන්කුමාර නොහොත් සර්පයා නැමති මාරස එකල ගමන් සගයා පමණය. ඒකා එන්නේ දර්ශනයේ නව මානයන් පිළිබඳ රෝනියෝ කළ ලිපි ගොනු සහ සාහිත්‍යය පොත්ද එකක් හෝ දෙකක් රැගෙනය. මතකයේ විදිහට ඒකා එන්නේද සර්පයෙක් එනවා වගේමය. වෙනසක් වී තිබිණි. වසර දෙකකට පමණ පෙර සාංදෘෂ්ටිකවාදයේ කතන්දර වෙනුවට ඩෙරිඩලා, පුකෝලා සොයා සංවාදය වෙනතකට හැරුනේ ඉබේටම වාගේය. සමහර සඟරා වල මේ නව සංවාද ගැන ලිපි එකක් දෙකක් පලවූ බවද මතකයේ තිබේ. කෙසේ හෝ සර්පයා හෙවත් කේකේ සමන් කුමාර විනිවිදිමින් මාරසද රොහාන් පෙරේරාව අවතාරක් මෙන් හිත් ගත් චරිතයක් වූයේ කඩා වැටී තිබි දර්ශන ධාරාවකට උත්තර පත්තර දීමට රොහාන් පෙරේරාට හැකියාවක් තිබුණ බව පෙනී ගිය නිසාය. එලෙසම එදා ජනතා විමුක්ති පෙරමුනේ සාකච්ඡා කතන්දරයද උනගේ නොව රොහාන් පෙරේරාගේ නිර්මාණයක් බව මේ අස්සේ මාරසට දැනී ගියේ සර්ප භාෂාව ගැනද ඩිංගක හෝ හුරුවක් මාරසටද ඇති නිසා වන්නට පුළුවන.
කාලය කෙමෙන් ගතවන විට තැබෑරුම් රෝහල් හරහා නන්නත්තාරේ මාරස ඇවිද යන විට භීෂණයද සැඟවී ගියා සේ විය. පසුව මරදගහමුල හංදියේ පත්තර කඩයක තිබී "මාතොට" නැමති සඟරාව දැක එය මිලට ගත්තෙමි. මා දන්නා කියනා අයගේ ලිපි කියවමින් නව පනක් ලබා මාරස නැවත ගම්පහ දිශාවෙන් මොරටුවට සේන්දු විය. මාතොට සඟරාව ලංඩන් නම් විය. අවසානයේ රොහාන් පෙරේරාට බුද්ධ කියනා පිරිසක්ද බිහිවූ අතර රොහාන් පෙරේරාවද විසංයෝජනය කළ අයුරු සහ වූ අයුරුද මාරස සැඟවී රචනා කාරයෙක් වශයෙන් බලා සිටිබවද මතකය. සර්පයා සහ අන් අය සමග ඉඳහිට හෝ මාරසට ඇසුර ලැබුණ මුත් රොහාන් පෙරේරාවද මා වටහාගෙන සිටියේ ගුහා ගතවී භූගත ජීවිතයක් ගතකරන අමුතුම මිනිසෙකු ලෙසය. නමුත් ඔහුගැන සෙවීමේ කුතුහලය මාරසට තිබි බව දන්නෝ දනිති.
අවසානයේ නුඹ නුඹේ මිතුරන් රාශියක් මාරසට හඳුනා ගන්නට ඉඩ ඇරියේය. නමුත් රොහාන් පෙරේරාව හඳුනාගැනීමට ඇති ඉඩ මග හැරියේ මන්දැයි කියා මා සර්පයාගෙන් ප්‍රශ්න කෙරුවාද මතකය.
ඉක්බිති සියලු සංවාද වටා තිබී ආදරය නිෂ්ක්‍රීය වූ කාලයක් උදා විය. අවසානයේ මාරස වෙනත් පාරක ගමන් කරන්නට විය. තැබෑරුම්, රෝහල්, පොලිසි, උසාවි ඇති පාරවල් හරහා ඒ මගේ යන විට කිසිදු පැරණි සංවාදාත්මක මිතුරෙක් මාරසට හමුවූයේ නැත. ඒ ඔවුන්ට තහනම් මගක්දැයි මාරස තහනම් මගක යනවාදැයි යන මානසික අරගලයේ ප්‍රතිපලය වූයේ කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව ග්‍රන්ථයේ පසු බිම් කතාවම වන්නේය. ඒ තත්වයන් ලිවිය හැක්කේ සජීවී වාර්ථා භාෂාවකින් නොව ගූඨ නිර්මාණාත්මක බසකින් නිසා ඒවා කල්දමන්නට වන්නේය.
කෙසේ නමුත් ආදරය කිරීමට හෝටන් තැන්න යන සංකල්පීය තලයක සිටි කේ කේ සමන් කුමාරද හෝටන් තැන්නේ අංඇති කටුස්සන් සොයා ගිය ගමනේ මනෝවිශ්ලේෂණය වන් දේ නොව රොහාන් පෙරේරා සදහටම සිතීම නැවැත්වූයේ බොහෝදේ ඉතිරි කර බව පැහැදිලිය.
දේශපාලනයෙන්ද කාලයේ සුළිසුලඟ වෙනත් අතකට කැරකෙන වකවානුවක මාරස ලයනල් වෙන්ට් රඟහල ඉදිරි පිට මිතුරන් රැලක් දැක ත්‍රී වීලයෙන් බැස එනට දිව ගොස් මොහොතකට විනෝදයෙන් කල් ගෙව්වා මතකය. ඒ මොහොතේ පස්සෙන් විත් නාඳුන චරිතයක් මා සමග ඉතා සමීපව කතා කළ අයුරු අමතක නොවන මතකයන් අතරට එක් විය. ඒ රොහාන් පෙරේරාය. දෙදෙනාම දෙදෙනා හඳුන ගත්තේ කෙසේද යන්න තවමත් ප්‍රෙහෙලිකාවකි. නමුත් මග හැරී සිටි ඔහුව හමුවී නැවත සජීවීව කතා බහ කිරීමට මාරසට ඉඩ කඩ ලැබුනේ නැත. පවුල් කුණාටු සහ රැකියා අහිමිවීම් වැනි දහසක් භාදක හමුවේ මාරස තැබෑරුම නැමති ස්වයං හිරගෙදරින් මීදීමට අසීමිත සටනක යෙදුනේය. නමුත් මී ළඟට බයිපාස් සැත්කම් හමුවේ දැඩි වේදනා විඳිමින් මා ජීවත් වූවාද නැතිනම් නැවත ඉපදුනාද යන මානසිකත්වයද මෙවන් භාෂාවකින් ලිවිය නොහැකි බව මාරස නොදන්නවා නොවේ. එහෙත් සජීවීව රොහාන් සමග පාරභෞතිකය ගැන කතා කිරීමට තිබි බලාපොරොත්තුව තවම මිය ගියේ නැත. සාංකාමය හිස්තැනක් ඉතිරි වූවා සේය.
කෙසේ හෝ නිදහසේ 2024 අළුත් අවුරුද්ද සම්බන්ධව වෙනත් ආරක ලිපියක් දෙකක් ලියන්නට බලාපොරොත්තුවෙන් සිටින මොහොතක ඊ පවුරෙන් රොහාන් පෙරේරා සදහටම සිතීම නවත්වා ඇති බව කවුදෝ ලියා තිබෙනවා දුටුවෙමි. විපරම් කළෙමි. මාක් පෙරේරා මිතුරාද මේ ආරංචිය ලියා තිබිණ. එයා යන්නම යන්න ගිහින් යන්න සැක හැර දැනගත්තෙමි.
කෙසේ හෝ වේවා පාරභෞතික කීවද සූර්ය මාසයෙන් රවි හෙවත් සූර්යා ස්ත්‍රී රාශියක් වූ මීන රාශියෙන් මහා පුරුෂ රාශියක් වන මේෂයට යාමට ඔන්න මෙන්න නිමේශයකදී රොහාන් පෙරේරා සූර්යා ස්ත්‍රී රාශියක චලිත වන නිමේශයේම සියල්ලන් දමා යන්න ගොස් ඇත. පුරුෂ සූර්යා ස්ත්‍රී රාශියක චලිත වීම වනාහී ඉතිහාසයේ සංකල්පීය සැබෑවක් මෙන් දැනෙන්නේය.
පංචමහා භූතයෝ රොහාන් පෙරේරාව සූර්යා අති පුරුෂ රාශියක් වන මේෂයේ ගමන් කරන කාලයේ ලොකාන්තයට ගෙන යාමට ස්වභාවයා කැමති නැති සැටියකි. නමුත් රොහාන් පෙරේරාගේ ලිපි සටහන් කියවද්දී ලෝකාන්තයටද ඔහුගේ ඇති සෙනෙහස දැනී යන්නේය. දාර්ශනික ස්ත්‍රී ජල රාශියක් වන මීනයෙන් පුරුෂ මේෂයට ගොස් ලෝකාන්තයට යාමට රොහාන් සහෘදයාද අකැමැති වූවා සේ හැඟීමකි. සූර්යා පුරුෂ මේෂයට පනින්නට ඔන්න මෙන්න මොහොතේදී රොහාන් සහෘදයාට සදහටම සිතීම නවත්වන්නට සිදුවිය. ඔහුගේ අනුගාමිකයන් අද රාත්‍රියේ සිට රොහාන් ගැන ලියන්නට කියන්නට අරඹන්නේ මහා පුරුෂ රාශියක් වූ ශක වර්ෂය පටන් ගන්නා මේෂ රාශියේ සූර්යා ගමන් කර සම්මුති ලෙස ශක නැමති අධිරාජ්‍යාගේ නාමයෙන් වසර ආරම්භ කරන මහා පුරුෂ මොහොතකය. දාර්ශනික පුද්ගලයෙකු මිය ගිය පසු ඒ පුද්ගලයා සංස්ථාපිත වී වෙන බවට ත්‍රාන්තිකව ලියා ඇති සිතිවිලිද සිහවන්නේය. දාර්ශනිකයාන්ට මෙන්ම ගුරු වරුන් සහ ආගමික නායකයන්ටත් වූ දේ සිය අනුගාමිකයන්ගෙන් රොහාන් පෙරේරාට සිදුවෙනවාදැයි මගේ අනිකා ප්‍රශ්න කරන්නේ නැත. මන්ද මාරසේ උත්තරය මගේ අනිකා හොඳින් දන්නා නිසාය. අනෙක ඉතිහාසයේ එකම දේ වෙනස් ස්වරූප වලින් නැවත නැවත සිදුවීමට විරුද්ධව ඇත්තේ තර්ක විතර්ක පමණි. සම්මුති වශයෙන් හෙටත් උදයේ හිර පෑයිමට නියමිතය. හෙට පායන්නේ අද ඉර නොව දවසකින් වයස් ගත වූ සූර්යා වන්නේය.
මේ සියලු තත්ත්වයන් සිහි කර සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණී නවකතාව ඇරඹීමට පෙර පිටුවේ ලියා තිබි ශකරාජාවලීයේ පාටයකින් මේ ලිපිය අවසාන කිරීමට සිතිනි.
රොහාන්!!!
ඔබ නැති අඩුව සංසාරයේ සාපේක්ෂණීලාගේ සහ උනගේ ආත්මීය පොසිල සෙවූ ඔබගේ නොනවතින සටනේ අගය දැනෙන්නේ තවත් ශක වර්ශ ගණනාවකින්දැයි නොදනිමි. සටනක් යනු අරමුණක් ඇතිව මිනිසුන් සමග මිනිසුන් විසින් කළ යුතු දෙයක් විනා ඉබේ සිදුවන්නක් නොවන්නේමය.
"මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද,
ආරණ්ය සේනාපතීහු ද,
බිහිසුණු සේ යුද වැදුණහ.
ඔවුන්ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"
"ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ.
"අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ,
ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය"
බිහිසුණු සේ යුද වැදුණහ.
ඔවුන්ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"
"ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ.
"අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ,
ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය"
_ශක රාජාවලිය_
ජගත් මාරසිංහ
13 04 2024
(නොනගතය හෙවත් නැකැත් නැති මොහොතේ ලියා නිමකරන ලදී)