නංගි පෙන්නා අක්ක දීම හෙවත් මිනිස් හිසට බූරු හිසක්

 නංගි පෙන්නා අක්ක දීම හෙවත් මිනිස් හිසට බූරු හිසක්

          මේ දිනවල සයිබර් රස්තියාදුවේ යන කළ වෙළෙඳ ප්‍රකාශන සම්බන්ධ කටයුතු කරන්නන්ගේ ආයතන ඇති ඊ වීදිවලට වැඩියෙන් ඇස යන්නේය. ඒ අන්කරුණක් නිසා නොව වැදගත් මැතිවරණ දෙකක් ඉදිරියේදී පවත්වන්නට නියමිත නිසාය. ඒවා පවත්වන්නේ ඉස්සර මෙන් නොව නව වෙළෙඳ ප්‍රචාරණ රීතින් වලට අනුබද්ධව වන්නේය. ඒ මනසින් බලන කළ අලෙවි කරණය සඳහා අන් කවරදාවකටත් වඩා වෙළෙඳ ප්‍රකාශන ප්‍රචාරණය අද අමු ගොන්පාට් දමමින් ඊ බුකියේද සෙල්ලම් දාන්නට පටන් ගෙන තිබෙන නිසා වීමට පුළුවන. එහෙයින්ම මේ ඡායාරූපයේ ප්‍රචාරණ හැඟවුම් සාධක මතුකර ඇති ආකාරය ලියන්නට මත්තෙන්  මේ නිමේශයේ මැතිවරණ මාවතේ ටික දුරක් විපරම් කර හිටියානම් අගේය.
       ඊනියා ආධුනික වෙළෙඳ ප්‍රචාරණ ශිල්පියෝ කොතෙක් බිහිවුනද අවසානයේ ඒ පණ්ඩිත පිරිසටද අධිනිශ්චය වන්නේ මහා පරිමාන වෙළෙඳ ප්‍රචාරණ ආයතන විසින් උඩ ගෙඩි මත නිශ්පාදිත මාදිලි වල දුර්වල පොටෝ කොපිම බව පෙනේ. මහා ප්‍රචාරන වැඩ කිඩ තවම සමාජ ‌ජාලයේ සංසරණය වන්නේ කීපයක් පමණය. 
    මිනිසුන් යම් උත්සවයකට රතිඤ්ඤා මල්වෙඩි පුපුරවන විටද හොඳම ඒවා පුපුරවන්ට පටන්ගන්නේ කටයුත්තේ අවසාන භාගයේදීය. අවසානයේදී බොහෝ නිවෙස් වල අන්තිම මොහොතේ හඬ වැඩිම රතිඤ්ඤය පොඩි උන් ලවා පුපුරවන්නේද මහ මිනිසුන්ය. නිලා ආකාශ දැල්වෙන්නේය. අහස්වෙඩි උඩ ගොස් විසිල් හඬ නගමින් බිම වැටෙන්නේය. කාට විසිල් ගසනවාදැයි අප දන්නේ නැත. 
        ඊප පසු අළුත් අවුරුද්දේ තෙල් ගෑමේ නැකතින් චාර්ත්‍ර අවසන් වූ පසු චුල්ල නැකත වන්නේ රැකියා සඳහා පිටත් වීමය. මැතිවරණය අවසන් වන්නේද මීට සමගාමීව පෙන් පෙනේ. අවුරුද්ධ අවසාන වූ පසු නැකැත් ඇල්ලූ  බොහෝදෙනා කියන්නේ ‌ගිය අවුරුද්ද තරමක් හොඳයි කියලාය. තවත් සමහරු කියන්නේ ගිය අවුරුද්දනම් එලකිරි කියලාය. හතේ හත වැදී වලටම වැටුන උන්ද කියන්නේ ගිය අවුරුද්ද වරදක් නැහැ කියාය. ඒ හීනමාන මහාමාන කතාය. කෙසේ හෝ ඊ ළඟ අවුරුද්දේද සීත නිද්‍රාවේ භුගතව සිට වැස්සත් සමග මතුපිටට එන මගුරන් මෙන් ජ්‍යෝතිෂ නැකතියෝද උඩට මතුවී ‌සෙල්ලන් දමනවා නියතය. ගණිතයෝ එකතුවී ඒවා ගැන කතා බහ කරමින් ඉදිමෙනවාද නියමය. මැතිවරණය සඳහාම මතුවන්නට භූගතව සිටි ආවාගියෝ නම් දැන් ඊ පවුරේ මතුවී සිටිනවා පෙනේ. කොහොමත් උන් මේ ඉගිල්ලෙන්නේ අවසන් ගමන බව ආවා ගියෝ දන්නේ නැති බව අපට අම්මලා තාත්තලානම් කියා දී තිබෙන්නේය. දැනටද ‌කෘතීම බුද්ධිය ආවා ගියෝ වෙළෙඳ ප්‍රචාරණ පොරවල් භාගයකටත් වඩා මිහිදන්කර අවසානය. එහෙයින් අර වෙනදා ප්‍රචාරණ පත්තර පිටින් ලැබෙන පරංගි මාක්ස් වාදීන්ට දැන් තිබෙන්නේ අතේ වියදම ලබා ගත හැකි යූ ටියුබ් නාලිකා කීපයක් පමණි. නමුත් ඒ වායේ ලියා  කතාකර අනාගතයේ ගුටි  පූජාවක් නොව කල්දේරම් බත් කෑමේ අවස්ථාවක් ලැබේද යන භීතිකාවද අද කරලියට විත් හමාරය.
         මැතිවරණ්‍ය ප්‍රකාශ කළ පසු මාධ්‍ය හරහා කලියට එන්නේ මැතිවරණ කොමසාරිස් වරයාය. අපක්ෂපාතී බව පෙනී ගියත් ඔහුද මේ වෙළෙඳ ප්‍රචාරණයට අසුවී සිටින මිනිසුන්ගෙන් තවත් පුද්ගලයෙක් පමණක් බව පෙනී යන්නේ මැතිවරණය අවසානයේදීය. නමුත් මැතිවරණ කොමසාරිස් වරුන් මේ කාලයේදී මහා පෞරෂයකින් යුතු අය බව පෙනේ. හරියට තෝරා බේරා හොයාගත්තා වාගේය. කාටත් අන නිකුත් කරන්නේ රජුන්ගේ රජ ලෙසටය. ඒ පාසැල් මනසින් මිදුන විට දැනෙන්නේ ඒ ගාම්භීරත්වය පෞරෂය තිබුණේ අපේ හිතේ විනා ඒ අයගේ කයේ සහ මනසේ නොවන බවය. පෙරහැරක අවසානයේ ගමන් ගන්නේ පොලිස් නිළධාරීය. ඔවුටත් පසුව පොලිස් රථය. පසුදින ගමන්කරනේ කසල සෝධකයෝය. ‌ඉස්සර පෙරහැරවල් වලනම් ලොකුම කසල වී තිබුනේ අලින් විසින් මහ මගේ දමා ගොස් තිබි අලිගේ අලිම අලි අලි බෙටිය. මෙවර මැතිවරණ පෙරහැරවල් වලට අලින්ද වෙනම සංවිධානය කිරීමට සිදුවී ඇත්තේ පාරිසරික ගැටලු නිසා නොව වෙළෙඳ ප්‍රචාරකයින්ට සැලකීමේ තරම බව අලි අයිතිකාරයෝ  හීනියට වටහාගෙන තිබෙන බවද පෙනේ.
      ඊට පසු කරලියට එන්නේ මැතිවරණ පැමිණිලිය. ප්‍රඡාතන්ත්‍ර විරෝධීව මැතිවරණය පැවැත්වූ බවත් හොර චන්ද සහ අනියම් අවජාතක චන්ද කොල්ලකෑම් ගැනත් කියවෙන්නේද මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයට අනුවය. ඉන්ද නොනවතින මේ ප්‍රචාරණ ප්‍රාග්ධන පොරවල් මැතිවරණයේ වැරදි අන්තර්ජාලයට හරවන්නේ අන්තර් ජාලයේ මෘදුකාංග දක්ත පිටපත් ඔවුන් විසින් මුලසිටම අධ්‍යනය කළ ඈයෝ මෙන්ය. ඉක්බිති ඡන්දදායකයෝ දෙළොවක් අතර මග්බෝධ වන්නේය.               අනිවාර්යෙන්ම මැතිවරණය නැවත පැවත්වීමට සිදුවෙන බවට කට කතා ඇතිවෙයි. නීති වේදියන්ගේද මල්ල තර වන්නේය. ඉහල පහල උසාවී පිරීතිරී යන අවස්තානම් අතීතයේ තිබුණේය. කාරණය මෙසේ වුවද ශුවිශේෂ ප්‍රාග්ධන ‌වෙළෙඳ ප්‍රචාරණකාරයෝ ලාභයේ ගණන්හිලව් බලා ජයපැන් බොන්නේය. ඒවා ප්‍රචාරණය කරන්නට කිසිවෙක් තොරතුරු දන්නේ නැත. තියුණු මාධ්‍ය වේදීන් දන්නා නමුත් කට වසාගෙන ඉන්නේ ඒකුන්ද මේ අස්සේ යම් සංකේතීය තත්ත්වයක් හෝ තම මල්ලට යම් යම් ලැජ්ජාසහගත දේ දමාගත් නිසා වීමටද පුළුවන. 
    දැන් මුග්ද ප්‍රචාරණ කතන්දරය ඉදිරි නිමේශයේ කරගන යාමට මාරසට පහසුය. මැතිවරණයෙන් දිනන්නේ කවුද කියා මාරස ඉතා හොඳින් දන්නේය. මැතිවරණයට මුහුන දෙන්නේ අන්තිමට පැති දෙකක් පමණි. ඒ පාලක පැලැන්තිය සහ ජනතාවය. හැම මැතිවරණයකදී මෙන්ම මෙවරද පාලක පන්තිය දිනනු ඇත. කුමන මුහුණින් මොන සලකුනෙන් ආවත් රාජ්‍යය පවත්වාගෙන යාමට ආණ්ඩුවක් බිහිවෙනවා හැර වෙනත් ඔය සිතන විප්ලවයක් සිදුවන්නේ නැත. ඒවා එසේ වන්නේ නම් ඉතිහාසිකව ඒවා සිදුවන බව ජනතාවට දැනෙන්නේය. ඒවා අහල ගම්මානයකවත් නැති බව පෙනී යන්නේ මැතිවරණ වෙළෙඳ ප්‍රචාරණයේ සජීවී නාටක හරහාය. 
      සජීවී නාටකද මහා ප්‍රචාරණයට විවිධ සන්දි ස්ථාන වලදී ‌මරාගෙන මැරෙන බෝම්බද පුපුරවනු ලැබේ. මේ ළඟකදී එක් රූපවාහිණී නාලිකාවක් එවන් දෙයක් කළා මෙන් පෙනේ. දැන් වම යන්නේ ඒකලා කැපූ පාරේය. මග කපන්නේ දකුණය. දැන් නොදැනුවත්වම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නොහොබිනා කම් පැරණි සිවිල් කැළඹීලිවල ප්‍රධාන වම්මුන්ගේ වැරදි වලින් දකුනේ උන්ගේ වැරදි ප්‍රචාරණයෙන් වහගන්නා අයුරු මේ සිද්ධියෙන් කදිමට පෙනේ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමයටය. යන්නද දැන් වෙනස්ය. සමහරුන් නම් ප්‍රචාරයේ අර්තයෙන් නොව හදවතින්ම මැතිවරණය දිනා අවසානය.
       කාරණා කෙසේ නමුදු මැතිවරණ මෙවර මැතිවරණයෙන්ද වම පැරදීම අනිවාර්ය වේ. මන්ද මැතිවරණයේ ව්‍යුහ නිර්මාණය වී තිබෙන්නේ ධනේශ්වර පක්ෂ සඳහාය. ප්‍රචාරණය සඳහා වමේ පක්ෂයෝ මැතිවරණ තෝරා ගත්තේ අද ඊයේ නොවේ. ඉස්සර වමද සභාග යටතේ දිනපු අවස්ථාද තිබේ. නමුත් ව්‍යුහාත්මකව කුමන නාමයෙන් ඉදිරිපත් කළද ඌරු කොටුවේ සටන ඌරු කොටුවේ සටනම වන්නේය. මොකා දිනුවත් ඇමරිකාවට ඉන්දියාවට සහ චීනයට පිටින් වැඩ කරන්නට නොහැකි වීම මේ පවතින තත්ත්වයේ අනිවාර්යකි. ‌ඒකුන් සමග කළ හැකි විප්ලවයක් හෝ නව ප්‍රචාරනයක් තිබේනම් වමට දිනන්නට හැකිය. කොටින්ම වමේ නාමයෙන් මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ වම නොව වම නොවන වමය. වම වූ වම කිව්වත් වම   නොවූ වම කියන්නේ දකුණම තමාය. ඒ දයලෙක්තිකයේද හැටිය.
         මේ වෙළෙඳ ප්‍රකාශන ඡායාරූපය විලාසිතා පිටුවකදී ඇස හිටි තැනකි. වාසනාව ලෙස නම් කර තිබි මේ ඡායාරූපයේ ප්‍රධාන නාභි ලක්ෂ්‍ය වී ඇත්තේ කාන්තාවකගේ උපැස් පැළඳි මුහුණය. ඉන්ද ප්‍රධාන ඉලක්කය වී තිබේන්නේ ඇස් කන්නාඩියේ රවුම් කර ඇති කන්නාඩි දාරයන්ට මැදිවූ ඇගේ තීක්ෂණික දෑස්ය. ඇගේ බැල්මට කෑදර කමක් ඇතිවේ. ඇයගේ ඇඳුම සහ අඳුර මැද දෑස් මතුවීමට සියල්ල සංවිධානය වී තිබේ. අපට ඊර්ෂියාවක්ද මතුවේ. මන්ද ඇය බලා සිටින්නේ අප දෙස නොව නිරුවත් සිරුරක් දෙසය. ඒ සිරුර පිරිමි සිරුරක් සේ අපට පෙනී යන්නේ පළළ උකුල පටු ඉඟක් එහි නැති නිසාය. තට්ටම් වලට උඩින් ඇති වලවල් මෙන් හෑරීගිය සලකුණු දෙකක් තිබේ. සිරුරක් කෙලින් සිට දෑත් එසවූ කළ කාගේත් අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණ මතුවේ. එහෙත් ඇය ගිජුව සෘජුව බලා සිටින්නේ ඒ ශරයේ කුමක් දෙසද? ලිඟුව දෙසත් විය නොහැක. පියවුරුද විය නොහැක. බැල්ම පැත්තකට නිසා බලා සිටින රුවට සාපේක්ෂකව පෙකනිය දෙසද බලා නොසිටන බව පෙනේ. නමුත් ඒ බැල්මේ ඇත්තේ විශේෂ යමක් දෙස බලා සිටිනවා වාගේ හැඟීමකි. ඒ ඇය වශීවූ දෙයක් කෙරෙහිය. කුමක්ද මේ වශීවීමේ දකින වස්තුවේ විශේෂය යන්න රසික මනස අතරමං කරයි. ඡායාරූපයේ කූටප්‍රාප්තිය මතුවේ. විලාසිතා ඡායාරූපයක් රසික පාරිභෝගිකයාව කරකවා අතහැර දමා තිබේ. මොකක්ද මේ වාසනාව යනුවෙන් අපි ඒ දැක්ම මනසේ මවාගන්නා ප්‍රශ්නයට හිමි මානසික වපසරියට විලාසිතා ලෝකයට කදිම අරමුණකටම හිස් තැනක් ඇති වෙයි. ඡායාරූප ශිල්පියා වෙළෙඳ ප්‍රචාරණ ශිල්පීන්ගේ බොහෝ කැටගරි වලට වැඩක් ගතයුතු මානසික ප්‍රකාශනයක් ඡායාරූප ගත කර තිබේ. දැන් ඉතින් අපි නොදන්න වාසනාව යටතේ ඒ අයට ඇවැසි දේ පාරිභෝගිකයාගේ ඔලුවටම බැස්සවිය හැකිය. කලාවට ඇති භක්තිය දුෂ්ට අවියක් වී තිබේ.
         සංඥාව, අරමුණ  වස්තුව සහ සංඥාකරණය අතරට පනින වෙළෙඳ ප්‍රචාරණය පොල් ගෙඩියක් ඡායාරූප ගතකර පොල්ටොපී කාපල්ලා කියන සරළ මානසිකත්වයෙන් ඈත් වී පාරිභෝගිකයාගේ හිසෙහි මානසික අභ්‍යන්තරයද විශෝධනය කර ක්ෂණයෙන්ම විකුණුම් භාණ්ඩයේ ගුප්ත ශක්තිය එහි පැලපදියම් කිරීමට අද වෙළෙඳ ප්‍රචාරණ ශිල්පියෝ ඉතා උසස් මානයක සිට සිය කාර්යන් කරගෙන යයි.  ඒකුන්ගේ ඊ පවුරු පිටුවල ලයික් දැකි විට සම්භාව්‍යය ඊ පවුරු හිමියන්ගේ මොළය  කචල්වන්නේ නිකන්ම නොවන වග දැනේ. වෙළෙඳ ප්‍රචාරණයද කටක් මෙන්මය. මන්ද හොඳට නරකට දෙකට කටමය නිසාය.
           කෙසේ වුවද මෙවර මැතිවරණයේ සමාජ මාධ්‍ය දුහුනන්ගේ ප්‍රචාරණය දෙස බලා සිටිය යුත්තේ ඒකුන්ව මෙහෙය වන ‌මහා වෙළෙඳ ප්‍රචාරකයන්ගේ ‌වැඩ ගැන දැනගැනීමටය. පක්ෂ නායකයන්ගෙන් තුට්ටුවක් ණයට ගෙන බල්ලන් බූරුවන්සේ හැසිරෙන පිරිස් හදා වඩාගෙන ඇත්තේ අති සංඛීර්ණ මහා ප්‍රචාරණයේ ගූඨ මොළ සේදීම මතම වන්නේය. දැනට අපට මැතිවරණ පෙරහරේ දකින්නට ලැබෙන්නේ පෙරහැර එනවා කියා ජෝගි නටමින් ගැහැනු ළමුන්ට උසුලු විසුලු කරමින් සෙල්පි ගසමින් යන බේබද්දෝ ටිකක් පමණි. කොටින්ම කස කරුවන් තවම පැමිණ නැත ප්‍රචාරණයේ ගිණිබෝල එන්නට තව කල්තියනවාය. වෙළෙඳ ප්‍රචාරනයේ ධාතු කරඩුව තාම එන්නට හිතලාවත් නැත. ප්‍රචාරණවාදීන්ට එක් දෘෂ්‍ය රූපයකින් මෙන්ම ඒක් බ්‍රේකින් නිවුස් එකකින් පෙරහැර ආපසු හැරවීමටත් හැකිය. නැතිනම් නන්නත්තාර කළ දැමිය හැක.ඒවාට කියන්නේ ඇමරිකානු ෂොක් ට්‍රීට්ස්මන්ට් කියාය. අරගලයද අවසානයේ දකින සඳ ෂොක් ට්‍රීට්මන් ආකරයේ ප්‍රචාරනයක්දෝයි සිතෙයි. නමුත් ඒවා දැන ගත හැක්කේ තව කාලයක් ගිය පසුවය. හුවමාරු භාණ්ඩයක  අතීතකාමය ගැන පමණක් කියවා නිගමන දෙන සමාජයට අද හුවමාරු භාණ්ඩයක ආවේශය ඇත්තේ කොතනදැයි වටහා දීමට සිතන මිනිසුන්ද මෙවර සිංහල අවුරුද අල්ලාම ස්වභාවයා විසින් මරා "යක්" කළාසේය. ජීවත්ව සිටින ඉතිරි සගයන්ම නොමරා "යක්" කරමින් සිටිනවා මෙන් පෙනේ.
මරා යක්  කිරීම සහ නොමරා යක් කිරීම වනාහී ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම ප්‍රචලිත ‌සැබෑ කතන්දරයක්ම වන්නේය. 
ජගත් මාරසිංහ
28 04 2024
https://jagathmarasinghe.wixsite.com/mare




Powered by Blogger.