නොමැකෙන නොසිතන ආදරයේ ආලෝකයේ කෝණ මාන

        නොමැකෙන නොසිතන ආදරයේ  ආලෝකයේ 

කෝණ මාන 

                            ඡායාරූපයක් යනු කැමරාවේ බොත්තමක් ඔබනවාට වඩා විශාල දෙයක් බව සැබෑ ඡායාරූප ශිල්පියෝ දනිති.මෙහි ගැඹුර වටහා ගැනීමට යාමේදී ‌විශිෂ්ට ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ ජීවිත කාලයම ගත කර තිබෙන්නේ ඡායාරූප ශිල්පය ප්‍රගුණ කරන්නටදැයි සැක සිතේ. විශිෂ්ට ඡායාරූපයකින් හැම විටම ඒ නරඹන සහෘදයාට සදාකාලික හැඟීමක් ජනිත කරනවා නියතය. ශිල්පියා ප්‍රවේශමෙන් ක්‍රියා කරන්නේනම් රසිකයාගේ ගැඹුරු චිත්තවේග අවධිකර සංකීර්ණ කතන්දර පමණක් නොව වසර ගණනාවක් හැදෑරිය යුතු දර්ශනයක්ද ක්ෂණයෙන් ඉගැන්විය හැකිය. මේ ආලෝක දඩයම කර ඇත්තේ එලියට් අර්විට් (ELLIOT ERWIT)  නැමති ප්‍රවීණ ඡායාරූප ශිල්පියාය. එලියට් අර්විට් යනු මෙතෙක් කැමරාවක් අතට ගත් ශ්‍රේෂ්ඨතම ඡායාරූප ශිල්පීන්ගෙන් කෙනෙකි. ඔහුගේ නිර්මාණ වනාහී මනුෂ්‍යත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි කියා ලෝකයට විවරණය කිරීමට ගත් සැබෑ උත්සාහයන් වන බව විචාරකයන්ගේ මතය වී තිබේ. එලියට් එර්විට් 1928 දී ප්‍රංශයේ පැරිස් නුවර උපත ලැබූ අතර 1939 දී එක්සත් ජනපදයට සංක්‍රමණය වී තිබේ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිහි නව යොවුන් වියේදී එලියට් ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දැක්වූ අතර එහිදී විදිමත් අධ්‍යාපනය හැදෑරීම අතරද ඡායාරූපකරණයේ නියැලෙමින් අඳුරු කාමරයක වැඩ කිරීමට පටන් ගෙන තිබෙන බවද පෙනේ. ඡායාරූප ශිල්පය පිළිබඳ අධ්‍යනයේදී 1951 දී ඔහු එක්සත් ජනපද හමුදාව විසින් කෙටුම්පත් කරන ලද අතර ජර්මනියේ සහ ප්‍රංශයේ සිටියදී ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කර තිබේ. 1953 දී අර්විට් "Magnum Photos" නම් ඡායාරූප ශිල්පීන්ගේ සමූපාකාරය සමඟ සම්බන්ධ වූ අතර 1960 ගණන්වල වසර තුනක් සංවිධානයේ එහි සභාපති වී සිටි බවද සඳහන්ය. Erwitt Collier's, Look, LIFE සහ Holiday වැනි ප්‍රකාශන සඳහා නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමද ඡායාරූප ශිල්පය සම්බන්ධව පොත් පත් සහ ප්‍රකාශන ගණනාවක් ලෝකයට දායාද කිරීමද ඔහු අතින් සිදුවී තිබේ. වඩාත් බලගතු ඡායාරූප ශිල්පීන්ගේ කාර්යන් අසාමාන්‍ය වන අතර ඔවුන්ගේ විනයද නිර්දෝෂී වේ.

   සයිබර් රස්තියාදුවේ යන කළ මේ ඡායාරූපය දුටු සැනින් මාරස සිත් ගත්තේ ඇස් වසා හිතන්නේනම් මෙහි ඇති ආලෝක කිරණයන්ගේ පොකුරු ස්වභාවය තප්පර ගානකින් සංවිධානය කිරීම සහ ඉවසීමේත් ශිල්පීය වශයෙන් කැමරාව සැකසීමේත් ඔහුගේ දක්ෂතාවය හිතා ගැනීමටවත් නොහැකි නිසා කිව්වාටද කම් කිම්. වාහනයක ‌ඉදිරියේ ගමන් කරන්නේ ආදර යුවලක් බව ඇස දුටු විටම අපට නිවේදනය කරන්නේ ඒ දෙදෙනාගේ ප්‍රතිබිම්බය කවුළු හරහා ඉලක්ක කරගනිමිනි. අභ්‍යන්තර ආලෝකය විශාල කර පැති කණ්නාඩියෙන් ඒ දෙදෙනාගේ රූපයේ එළිය අඳුරද සකසා නියමිත මහ මුහුදක පසු බිමද අහසෙහි අඳුරු ස්වභාවයද ද්විතීය කර අරමුණ ඉලක්ක කර නියමිත වෙලාවටම ෂටරය ක්‍රියාත්මක කර ඇති බව දැනේ. මේ ඡායාරූපය නම් කර තිබෙන්නේද "The Benevolent Voyeur යනුවෙනි. දයාබරත්වයට සහ  ආදරයේ විශ්වීයත්වයට ඇත්තෙන්ම වචන කුමටදැයි මේ ඡායාරූපයද අපෙන් අසනවා වැනිය. යෝජිත ඡායාරූපයට තබූ විශේෂන නාමකරන පද සමග‌ වාහනයේ වේගය නිසල වී ඒ ආදරය රසිකයාගේ හදවතේ පතුලේම නැවත තැන්පත් වන වග අපට දැනේ.  ‌අලෝක දඩයමේ ඉලක්කයද කවුළුවක් හරහාය. අරමුණද කවුළුවක් හරහාය. ආලෝක කිරණ පොකුරු වේගය කවුලු අතරින් පාලනය කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. නමුත් අර්විට්ගේ ඡායාරූපවල කවුළු අතරින් ගණුදෙනුව විශේෂිත බව පෙනේ. තවත් පැත්තකින් එලියට් වන් ශිල්පීන්ගෙන් අහම්බයකින් දඩයම් කරණ ලද කෘතියක් මෙන් කිසිසේත්ම අපට ‌යෝජිත ඡායාරූපය සිතන්නට පුළුවන් කමක් නැත. ඡායාරූප ශිල්පියාට ඕනෑම තැනක ඡායාරූප දඩයමට අරමුණක් සොයාගත හැකිය යන්න එලියට අපට කියාදෙන්නේ තට්ටය හිල්වෙන්නට ටොකු පහරක්ද දී මෙන් යැයි හැඟීමක්ද ජනිත වේ. වේගයක් මැද මහ මුහුදක් සහ අහසක් පසුබිම් කර කවුළු තුළින් ගමන් ගන්නා ආලෝක කදම්බ හරහා ආදරයේ නාමයෙන් ඒ දෙන තොත්තුව වනාහී මොනතරම් ආදරයේ සන්නි වේදනයක් ඒ දෙදෙනාට දැනෙන්නට ඇතිද යන්න මොනවට නිරූපනය වී තිබේ. ඒ තොත්තුව නැත්නම් කිස්එක තුළ අපිත් හිරවී ඒ ආදරයේ සුවඳ අපටද දැනීගොස් අප සර්වාංගයේ ස්නායු පද්ධතියද ‌මොහොතකට වෙව්ලා යනවා සේය. එලියට් අර්විට්ට රුසියන් සම්බන්ධයක්ද ඇති බවට සමහර ලිපිවලින් කියවේ. කොටින්ම 1928 ජූලි 26 වන දින ප්‍රංශයේ පැරීසියේ උපත ලැබුවේ යුදෙව්-රුසියානු සංක්‍රමණික දෙමව්පියන්ගේ දරුවෙකු ලෙසය. එලියට්ගේ ඡායාරූප ගැලරිය නරඹන විට රුසියන් සාහිත්‍යට ලැදි රසිකයන්ට මේ සියුම් ජානමය අංශුවද දැනී යනවා මෙන් සිතෙන්නට පුළුවන.  කෙසේ නමුත් ඔහු ඉතා ඉක්මනින් ඉතාලියට සංක්‍රමණය වීමේදී තමන්ගේ ඉදිරි ගමනේ සහකරු ලෙස කැමරාව ජීවිතය කරගත් බව කියන්නට ඔහුගේ එක් ඡායාරූපයක් පමණක් රස විඳීම හොඳටෝම ප්‍රමාණවත් බවද සටහන් කළ යුතුය. 2023 නොවැම්බර් 09 දා ඔහු සදහටම සිතීම නවතා ඇති නමුත් ඔහුගේ ඡායාරූප තුල තවමත් ඔහුගේ  ඇස සහ හිස හරහා අදටද  ජීවමානව අනාගතයේද හොල්මන් කරනවා නියතය. හැකි අවස්ථාවල ඔබේ තවත් නිර්මාන ඔස්සේ මාරස පාටකයන් හා සමාධිගත වීමට මාරසට කැමැත්ත ඇත්තේ මනුෂ්‍යත්වය ආලෝක තිතකින් දැකීමට සහ ලිවීමට ඇති ආශාව නිසා වීමට පුළුවන. 

       ඉතින් එලියට් ඔබ මිය ගිය බව සැබවි. එහෙත් ඔබ සම්පූර්ණයෙන්ම මිය නොගිය බව අපට සූර්යා පවසනවා සේය. විශ්වීය වර්ෂ වලින් සූර්යාද දැන් ගොඩක් වයසය. නමුත් ගෝලීය වර්ෂ වලින් ඔබ වැනි ඡායාරූප ශිල්පියෝ අමතක කිරීමට කිසිදා සූර්යා අපට ඉඩ දෙන්නේ නැත. ආලෝක දඩයම් සෙල්ලමක් නොවන බව සටහන් කරමින් මාරස අකමැත්තෙන් නමුත් සටහන මදකට අවසාන කරන්නම්.

                                                        ELLIOT ERWIT

ජගත් මාරසිංහ

09 04 2024

https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.