උඩරට මැනිකෙට පටසළු පොරවන සුදු මුදු මීදුම් පිරුනාවේ

  උඩරට මැනිකෙට පටසළු පොරවන සුදු මුදු මීදුම් පිරුනාවේ

             

                               කතන්දරයක් හිතේ තියනවා තමන්ට ආදරය කරන්න හිතෙන කෙල්ලව මනසේ මවාගෙන ඒකිව හොයනවා කියලා. ඒකට තමන්ගේ අම්මව බලපානවා කියන මනෝවිද්‍යාඥයන්ගේ කතාවත් අහක දාන්න බැහැ. ජීවිතෙන් ගත්තාම ඒක ඇත්තකටත් වඩා සැබෑවක් වගේ කියලත් හිතෙනවා. අන්තිමට අපි ආදරයට අම්ම සංකල්පය තෝර ගන්නවා කියලයි මැක්කගේ කතා කියන්නේ. අපව බලෙන් ගර්භාෂයෙන් තටමලා බලෙන් තවත් පැවැත්මකට තල්ලු කරල දාපු වෙලාවේ ලේ පෙරාගෙන එලියට ඇවිත් කෑගහගෙන විරෝධය පල කරන්න හැකි එකම ශබ්දය විදිහට අඬල මොර දෙනවා. කෙලින්ම විකල්පය අම්මගේ තනේ. ගැහැණියකගේ පියවුර. සමහර විට අදනම් ආටිපිෂල් සූප්පුව. ඒකෙන් ලේ කිරි කරනවා කියන තරම් භාවමය පැත්තකින් අපි කතන්දර දස දහස් ගානකින් පෝෂිත වෙච්ච මිනිස්සු. තවත් පැති ගැන කතා කරන්න හැකි වුනත් මේක ලියන්න ඒ ඇති. තවත් සරලව කිව්වොත් මේ ඡායා රූපයේ මූල කේන්ද්‍රීය අරමුණ තාරා දේවියක් නොවේ. අප්සරාවක්. තාරා දේවිලා හෙව්වේ 77ට පෙර. අද 77ට පසු යුගය. අද අපි අම්මා හරහා හොයන්නෙ තාරා දේවියන්ව නොවේ. අප්සරාවියන්ව. සීගිරි ළලනාවන්ට සීගිරි අප්සරාවන් කියන ලද පරණවිතානයන්වත් සිහිවෙනවා. මේ කෙල්ලව දැක්ක ගමන් ඇහැ හිටින්න ඇත්තේ ඒ නිසා වෙන්න හැකියි.
කොහොම නමුත් ඡායාරූප ශිල්පයේදි මොන තරම් අදහස් තිබ්බත් ඒ සම්බන්ධව ඡායාරූපකරණය ගැන දන්න ආදරවන්තයෝ පලමුව බලන්නේ ඒක තාක්ෂනික පැත්තෙන් ප්‍රකාශනය ජය අරන් තියනවාද කියන සැබෑවමයි. ඒක හරි. මොකද ඡායාරූපයක් කියන්නේ නිර්මාණාත්මක කලා කෘතියක් වුනත් විද්‍යාත්මක කැමරාවකින් ආලෝකයෙන් ගොදුරු කර ගන්න ආලෝක දඩයමක්. ඒ විද්‍යාව බටහිරද නැගෙනහිරද කියලා හොයන්නේ කොහෙට හෝ රැයක් කොහෙට හෝ දවාලක් කියන සැබෑව දන්නේ නැති කස්ටිය කියලයි මාරස හිතන්නේ. බලන්න දෘශ්‍යකලාවේ හැම තැනකදිම අපි ගණිතයේ වගේම ත්‍රිකෝණයක් මනසින් ඇඳගන්නවා. එරමිනියා ගොතන් සිටින සමාධි බුදුපිළිමයත් කෙලින්ම ත්‍රිකෝණයක්. ඇස සහ ත්‍රිකෝණාකාර දෘෂ්ටිය මාර සංකීර්ණයි කියන්නේ මාර සරලයි. දෙයක් සංකීර්ණ වෙන තරමටම ඒක සරල වෙනවා. ඒ වගේම දෙයක් සරල වෙන තරමටම ඒක සංකීර්ණ වෙනවා. දයලෙක්තිකව ලියන්න ගියොත් මේ සම්බන්ධව ලියලා ඉවර කරන්න බැරි බව මාක්ස්ලානම් වටහාගෙන හිටියා. නිකන් ලැජ්ජාවකුත් ආවා වගේ. මා සම්බන්ධවම විතරක් නෙවේ. වමේ සනුහරය ගැනම. මෙතන මාර ත්‍රිකෝණයක් ආලෝකයෙන් නිර්මාණය වෙලා. ප්‍රධාන චරිතය මේ අප්සරාවිය. කෙලින්ම වෙළෙඳපලකරණයට ලක්වූ තාරා දේවිය. අනික කොච්චියේ මුහුණ. අනික දකුනේ තියන අර්ධ නීල වර්ණ සුදු කළු මුසු ආකාශ කොටසක්. පසුබිම කොළපාටේ ප්‍රභේද. සම්භාව්‍ය ආදරයේ වර්ණය. මනස නිරවුල් කරන වර්ණය. ලෝකයේ ලෙඩුන්ව නිරෝගී වෙන්න රොහල් වල බිත්තිත් කොළපාට වර්ණ ප්‍රබේද වලින් අලංකාර කරනවා. විවේකාගාර වලත් තාමත් ඒක සම්ප්‍රධායක් වෙලා. වේදිකාවේ රංග ත්‍රිකෝණයට සමානුපාතිකව මෙන් මේ ඡායාරූපයේද ඒ අප්සරාවියව ශිල්පියා අතින් ඇසේ ප්‍රධාන අරමුණ බවට පත්කරලා තියෙනවාහෝ අහබ්බෙන් වෙලා තියනවා. ඕනෑම ඡායාරූපයට අහඹුව අනිවාර්ය වීම සැබෑවක් තමා. ඒකිගේ වර්ණ කලු පාට පසුබිම කරන් ලිංගිකත්වයේ හැට හතර දෘශ්‍ය මානයම අනුදකිමින් ලලිත කළාවන් අනුදකින ඒ පා නැත්නම් ස්ත්‍රී කකුල් නැතිනම් ගල් දෙකද නිරුවත් නොවී පුරුෂ ලිංගික මානසිකත්වයට ඕජෝ ධාතුවේ මහිමයෙන්ම වදින්න සැලසිලා. කෝචිය එන්නේ ගල්ගුහාවකින්. යනවාද එනවාද කියන කතන්දරය කොච්චි මුහුනේ ප්‍රධාන ආළෝක ධාරාවේ මීදුම හරා සිදුවන වර්තන ආලෝක ප්‍රකාශනයෙන් මැවෙනවා. කෝච්චිය යම් වේගයකින් ගමන් කරනවා කියන කතන්දරය දැනෙන්න සමාන්තර වක්‍රරේකා දෙකක තිරස් රේකාවන් සිරබරන් කොට මගින් දනවන ආලෝක ප්‍රතිබිම්භ මාර දේවල් බවට පත්වෙලා. අප හදවත් කම්පනය කරනවා. ඒක ජිවී පරාවර්තනයන් බවට පත්වෙලා. ශිල්පියා අජීවී දඩයමේ සියල්ලටම පන දීලා වගේ. මඩ ගොඩේ තියන අඩි සලකුණුත් මාර කතන්දර මතු කරනවා. ගල් ගුහාව, දකුනේ හෙලක් පේන අනාතනාතකම පයින් යන්න කොන්ක්‍රිට් පාරක් තියෙද්දි මේ අප්සරාවිය නටන පිස්සුව මාරයි නේද කියලා හිතෙනවා. ගැහැණු එහෙම තමා. අර ස්ත්‍රිය සහ පුරුෂයා ගේ දෘෂ්ටිය ගැන කියන පොතක තිබ්බා මතකයි පාරක පයින්න ගියත් පිරිමියා කෙලින්ම පනිනවා. ගැහැනු අවුල් කරගන්නවා කියලා. ඒ මානසික අවුලක් නෙවේ ස්ත්‍රීන් දැක්මේ සමස්තය සමස්තය විදිහටම දැකීමේ මාර කතාවක්. තාක්ෂණය හොයා ගත් පුරුෂයන් ගණිත සමීකරණ නැතිව කියන්න බැරි දේ බැලලියත් බැල්ලියත් නොවේ පැටවෙකු අඩුවුනොත් උන්ගේ ගැහැණු සතාට දැනෙන බව පරිසරය සමග ජීවත්වෙන කවුරුත් දන්නවා. කොහොම නමුත් මේ ඡායාරූපයේ ඒ අප්සරාවිය මාරසේ පමණක් නොවේ ගොඩක් අයගේ හිසේ සිටින ප්‍රාර්ථනාගාමී ස්ත්‍රියම විය හැකියි. ස්ත්‍රීන්ටද එසේමයි. ස්ත්‍රි සිතීම සහ පිරිමි සිතීම ගැන මැක්කගේ කතා සමග ප්‍රශ්නයක් ආවොත් පස්සේ ලියමු. අන්තිමට ඡායාරූපවලත් වර්ගීකරණයක් තියන බව සැබෑවක්. කොටස් කර හදාරන්න එහෙම දෙයක් තිබිය යුතුයි. ඒක ධනේශ්වර දෙයක් නොවේ. පැවැත්මේ විදිහක්. මාරසටනම් මේක හැම වර්ගීකරණයක්ම දාලා කතා කළ හැකි උනත් අපේ පරපුරේ ඡායාරූප ශිල්පයේ ගුරුදෙවියා වගේ වර්තමාන ඡායාරූප දුහුනන්නොව දන්නෝ සලකන ඡායාරූප වර්ගීකරනයේ විශ්ව කෝෂයක් වන් ඉන්ද්‍රනාත් තේනුවර සමග මම දොඩමලු වුනා. එයා ගේ වර්ග කිරීමට අනුව මේක කැන්ඩිඩ් (Candid) ඡායාරූපයක්. මේකට සිංහල තේරුමක් නැහැ. අවංක ඡායාරුපකරණයක් කියලත් සරලව කියන්න හැකියි.කොටින්ම ඡායාරූපයක අවංක ස්වභාවය. ඡායාරූප ගැනිම සම්බන්ධව සංකල්පයක් හරහා වර්ග කිරීමක්. ඒක දිග කතාවක්. කොටින්ම විෂය පිළිඹඳ දැනුමට සහ කැමැත්තට කැන්ඩිඩ් ඡායාරූප සම්බන්ධයක් නැහැ වගේ. රහසිගත නොවන අවංක දෙයක් කියලා සටහනට අදාලව සටහන් කරන්නම්. තේනුවර සහෘදයාගේ වර්ගීකරණ දැක්මත් නිවැරදියි වගේ දැනෙනවා. ඒක සාධනය කිරීමටත් කරුණු තියනවා. මේ ආලෝක ත්‍රිකෝනයේ කොච්චි මුහුනේ මැද මෙසේ සටහන් වී තිබෙනවා. S12 MCC 934 කියා. ඒ කියන්නේ ශ්‍රි ‌ලාංකේය දුම්රිය සම්ප්‍රධායට අනුව ‌S12 ප්‍රමිතියට පැමිණි බලවේග කට්ටලයයි. 934 වෙනි යට ආනයනය කරන ලද දුම්රිය එංජිම කියන කතන්දරය තමා. මෙයා ඒ කාලේ ගියේ කඳුකරයෙම තමා කියලා එක්තරා කාලයකට අනුව කිව හැකියි. සයිබර් රස්තියාදුවේදි දැක්කා දැන්නම් මෙයා හැම තැනම යනවා කියලා. අම්මාගෙන් පටන්ගන්නවා කියන පුරුෂ මූලිකත්වයේ ආදරයේ ඔලුවේ ඇඳෙන රූපයත් මරු. කොච්චිය කියන්නෙත් ගැහැණියක් වගේ. පිරිමියෙකුට බරක් දරන්න ස්වභාවයෙන් අවසර දීලා නැහැ. ස්ත්‍රියගේ ශක්තිය දරුවන් වැදීමේ ක්‍රියා වලියේම සිට අප දන්නවා. අර වරක් ත්‍රාන්ත්‍රික විද්වතෙක් කියනවා පිරිමියෙකුට ලමෙක් හම්බ වෙන්න ආවොත් අනිවාර්යෙන්ම තට්ටු ගානක් උඩ නැගලා බිමට පනී කියලා. ඒව ස්වභාවයේ දයලෙක්තිකය ගැන කතා කරන යාන්ත්‍රික භෞතික කට්ටියට අහුවෙන්නේ නැහැ කියන කතාව කේදවාචකයක් නොවේ. යුගයක සැබෑමිනිසුන්ව මර්ධනය කිරීමේ හිස්තැන ගැන කඳුලක්. ඒත් ඒ කඳුල වියැකිලා යනවා අනිිවාර්යයි. කතාවක් තියනවා ඕනෑම මිනිහෙක් කෝච්චියක් අලියෙක් ගුවන්යානයක්දැක්කම මග්බෝධ වෙනවා කියලා. ඒකට මාරස තවත් එකක් එකතු කරනවා වදින ස්ත්‍රියක් දැක්කත් එහෙම තමා. පුරුෂ මූලිකද ස්ත්‍රී මූලිකද පුරුෂ මූලික චින්තනය නිසාද යන්න මේ ලිපියට තරම් නැති නිසා මට මේ ටික කියන්න අම්මා සංකල්පය වගේම ක්ලැරන්ස්ගේ මේ ගීතය මතකයට ආවේ අත් තටු ගගහා එන කොහාගේ කඩහඬ තියන උකුස්සෙක් හදවත කන්න එනවා වගේ. මුල් පද ටික සහ‍ සංගීත සුසරත්වයේ ක්ලැරන්ස්ගේ සප්ත නාදයන්ගේ හඬත් දැමිය යුතුයි. සිහසුන සිනමා පටය පමණක් නොවේ සෝමදාස ඇල්විටිගලන්ද සිහිවේවි. කෙනෙකුට පැනයක් නගන්න පුලුවන් මේ ලංකාවේ මැනිකේ කෙනෙක් නෙවේ කියලා. මතක තියා ගන්න අපේ යුගය ඡාත්‍යන්තරවාදයේ ආදරයගැන රැඩිකල්වත් එසේ නැතිවත් සමාධිගත වුන යුගයක් කියලා. ඉතින් ආදරෙයි කොයි රටක හිටියත් මැනිකේ. “උඩරට මැනිකෙට පට සළු පොරවන සුදුමුදු මීදුම් පිරුනාවේ කඳුරට දිව යන දුම්රිය මැදිරිය ආලේ ආලක මන්දාවේ. කඳුරැලි දිය ඇලි තුරුලිය මල් ගොමු විසිතුරු සිතුපෙම් මාලාවයි නෙතකට නෙත යන හිතකට හිත යන අපමන අරුමැති දෝලාවයි. …” ගීතයත් එක්ක සුසංයෝගීව මේ ඡායාරූපය දෙස බලා ඉන්න. ආදරයේ මොකක්ද මගුලක් හමුවෙයි කියලා මාරස හිතනවා. ආදරය කියන්නේ නිවන නෙවේ. ගැඩවිලෙක් වෙලා හරි නිවන් දකින්න පෙරුම් පුරන සැබෑ කතන්දරයක්. ඉතින් මේ ලිපියක්ද සටහනක්ද කියලා මාරස දන්නේ නැහැ. ඕන විදිහකට හිතා ගන්න. “කඳුරැලි දිය ඇලි තුරුලිය මල් ගොමු විසිතුරු සිතුපෙම් මාලාවයි” කියමින්මින් සටහනින් තාවකාලිකව දැහැන් මිදෙන්නට පාටක නුඹලාට අවසර දෙන්නම් 

ආදරෙයි!!!

jagath marasinghe 07 10 2022







Powered by Blogger.